ආර්ථිකය ගොඩ ගන්නට කතා කළේය. සංචාරක කර්මාන්තය “ජනගත” කරන්නටත් ඔහු කතා කළේය. ඉන් පසුව, එවැනි කතාවක් ඇසුවේ මීට දින කිහිපයකට පෙර වත්මන් මාලිමා ආණ්ඩුවේ සංචාරක ඇමති විජිත හේරත් ගෙනි.

ඉකුත් 28 වන දින ශ්‍රී ලංකා හෝටල් සංවිධානයේ 59 වන සංවත්සර උළෙල අමතමින් ඔහුද සංචාරක විෂය භාර ඇමති ලෙස කියා තිබුණේ ආර්ථික වර්ධනයේ මුල් ගලක් ලෙස සංචාරක කර්මාන්තය තහවුරු කරන බවය.
ඔහු සැළකිය යුතු විස්තරයක් කරමින් කියා තිබූ කතා කිහිපයකි. ඒ බොහෝමයක් තනි වාක්‍යයකට ගොනු කළහොත් ඉහළ පෙළ ස්ථිරසාර සංචාරක ව්‍යාපාරයක ප්‍රධාන නැවතුමක් ලෙස විදේශ විනිමය ඉපැයීමේත්, රැකියා උත්පාදනයේත්, සමානාත්මතාවක් සහිත සංවර්ධනයේත් හිමිකාරිත්වයක් ඇති රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට ස්ථිර අධිශ්ඨානයකින් යුතුව ආණ්ඩුව කටයුතු කරන්නේය.
ඔහුගේ ඉංග්‍රීසි කියමනක් සිංහලට නගන්නේ නම්, “සංචාරක ව්‍යාපාරය හුදු කර්මාන්තයක් නොවේ. එය ශ්‍රී ලාංකීය සංස්කෘතිය, ඉතිහාසය සහ ස්වභාවික සෞන්දර්ය විදහා දක්වන්නකි. ජීවන පැවැත්ම වෙනස් කිරීමේ දැවැන්ත ශක්‍යතාවක්ද ඇතිව ආර්ථිකයටද දායක වන්නකි.”

විජිත හේරත් ඇමති ඉන් අදහස් කළේ කුමක්දැයි මට පැහැදිලි නැත. නමුත් පළමුව මතක තබා ගත යුත්තේ, සංචාරක ව්‍යාපාරය කර්මාන්තයක් බවට පත් වන්නේ දූෂිත, ජාවාරම්කාර විවෘත වෙළඳපල ආර්ථිකයෙහි යන්න ය. දෙවැන්න, සංචාරක කර්මාන්තය තරම් පරිසරය සහ සමාජයේ සදාචාරමය ශිෂ්ට පැවැත්ම විනාශ කරන වෙනත් ආර්ථික ක්‍රියාවලියක් නොමැති බව ය. තෙවැන්න, සංචාරක කර්මාන්තයේ ආදායම් ඉපැයීම පිළිබඳ ගණන් හිලව් දූෂිත ව්‍යාපාරික පැවැත්ම සමාජය හමුවේ සාධාරණය කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන අනුමාන ගණන් හැදීම් බව ය.
අප පළමු කාරණයෙන් පටන් ගතහොත්, පෞද්ගලික ආයෝජන සඳහා විවිධ වාසි වරප්‍රසාද දීම මහ පරිමානයෙන් ආරම්භ වන්නේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි ය. සංචාරක කටයුතු සඳහා යැයි වන සියලු ආනයන සඳහා බදු අහෝසි කිරීම්, බදු විරාම, බදු සහන පසුගිය අවුරුදු 40 ට ආසන්න කාලයක් පුරා සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමට යැයි හැම ආණ්ඩුවෙන්ම පාහේ දෙනු ලැබුවේය. දැනටද දෙනු ලැබේ. එබැවින් සංචාරක කර්මාන්තය දේශීය ආර්ථිකයට දායක වන කර්මාන්තයක් ලෙස සමාජය හමුවේ සනාථ කිරීම සඳහා රටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාවෙහි ඉහළ යාමක් සහ ආදායම් ඉහළ යාමක් පෙන්විය යුතු වන්නේය. ඒ ගැන සවිස්තරව කතා කිරීම පසුවට තබමි.
දෙවැන්න කතා කිරීම, ඊට පෙර කළ යුතු හෙයිනි. පරිසර විනාශය හා සදාචාරමය පිරිහීමට, මුදල්මය වටිනාකමක් දිය නොහැක. එහෙත් එවැනි විනාශ දරා ගැනීමේදී සමාජයක් වශයෙන් සිදුවන බිඳ වැටීම හා ස්වභාවික අවදානම සතු අගයක් ඇත. පරිසර විනාශය හුදෙක් කාලගුණික විපරියාස හා ගෝලීය උණුසුමට සීමා වන්නක් නොවේ. ඊට පෙර මුහුණ දෙන්නට සිදුවන අවහිරතා, අනතුරු සහ විනාශ ඇත. එය අපි මේ දිනවල අත් දකිමින් ඇත්තෙමු. ඊයේ පෙරේදා වන තෙක් නොවැම්බර මාසය අතරදී දිස්ත්‍රික්ක 08 ක් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 30 ක් සඳහා “නාය යෑම්” සම්බන්ධ අනතුරු ඇඟවීම් දේශීය ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් විටින් විට ප්‍රකාශයට පත් කරනු ලැබිණ. එවගේම බොහෝ ස්ථානවල නාය යෑම් සහ නිවාස විනාශවීම්ද පුද්ගල අවතැන්වීම්ද වාර්තා විය. මනුස්ස ජීවිත බිඳ වැටීමද ඇතුළුව ඒවායේ මුදල්මය අගය තීන්දු කළ හැකිද? මේ සියල්ලට ප්‍රධානම නැතිනම් එකම සාධකය සංචාරක කර්මාන්තය නොවුනත් සංචාරක කර්මාන්තය ඊට සැළකිය යුතු අයුරින් හවුල් වූවකි.

සංචාරක කර්මාන්තය හේතුවෙන් බරපතල පාරිසරික විනාශ වලට ගොදුරුව ඇත්තේ බස්නාහිර සිට දකුණු පළාතේ අනෙක් කෙළවර දක්වා වන වෙරළබඩ තීරුව සහ නැගෙනහිර වෙරළබඩ තීරුවය. මේ වෙරළබඩ තීරුවෙහි සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් අවුරුදු 30 ක 35 ක පමණ කාලයක ඉදිකර ඇති ගොඩනැගිලි වැඩි ප්‍රමාණයක් නීති විරෝධී ඉදිකිරීම් ය. නමුත් ඒවාට අවසර පත්, අනුමත කිරීම් සහ ලියාපදිංචි කිරීම් සහතික ලැබුණේ කෙසේදැයි යන්න විස්මිත කාරණයකි. වෙරළ සංරක්ෂණ නීතිය යටතේ තහනම්කර ඇති ඓන්ද්‍රීය ශාක වගා තීරයේ සිට මීටර 100 ක් අභ්‍යන්තරයට වන වෙරළ තීරයේ මෙතරම් ගොඩනැගිලි ඉදිකිරීමට අවසර ලැබුණේ කෙසේදැයි කිසිදු සංචාරක ඇමතිවරයෙකු මෙතෙක් ප්‍රශ්න නොකෙරුවකි. ඒ සියල්ලෙන් පරිසර විනාශයක් දෛනිකව නොකඩවා සිදුවන්නේය. වෙරළ කාදනයද සිදු වන්නේය. කෙටියෙන් කිවහොත් ඒ බොහෝමයකින් වෙරළ තීරය බරපතල ලෙස පරිසර ආපදාවන්ට හා විනාශයන්ට ගොදුරුව ඇත.
නොකඩවා සිදුවන එවැනි පාරිසරික ආපදාවන් සමග, මහජන බදු මුදලින් සංචාරක කර්මාන්තය සඳහා ලබා දෙන වාසි වරප්‍රසාද වල සමස්ථ අගය ගත් කළ, සංචාරක ව්‍යාපාරයෙන් උපයනවා යැයි කියන්නාවූ ඩොලර බිලියන 03 ට වැඩි වාර්ෂික ආදායමෙන් රටට ලැබෙන ලාභය කොපමණ විය හැකිද? ඒ ලාභය ගණන් හැදීමට පාරිසරික විනාශයේ වටිනාකම පැත්තකින් තැබුවත් සංචාරක කර්මාන්තයෙන් උපයන ආදායමෙන් අප අත් හරින බදු අය කිරීම් අඩු කළ යුතුය. එහෙත් එවැනි ගණන් හැදීම් සිදු වන්නේ නැත.
මෙම 2024 වර්ෂයෙහි පළමු මාස 08 ඇතුළත සංචාරක කර්මාන්තයෙන් ඉපැයූ ඩොලර ආදායම බිලියන 02.17 ක් යැයි මහ බැංකුව කියන්නේ, “සංචාරක ප්‍රවර්ධන ආයතන” උපුටා දක්වමින් ය. “සංචාරක ප්‍රවර්ධන ආයතන” යනු කවර ආයතනදැයි සඳහන් නොවන අතර, ඔවුන්ගේ තොරතුරු සහ දත්ත කෙතරම් නිවැරදි දැයි මහ බැංකුව සහතික කරන්නේද නැත. ඒ ගණන් හැදීම් ගැන විස්තර කතනය සඳහා මෙහි ඉඩ අපතේ නොයවා, “සංචාරකයින් රට සංවර්ධනය කරයිද?” මැයෙන් වූ මගේ පෙර ලිපිය නැවත කියවන්නට යැයි මම ඇරයුම් කරමි.
අපගේ වැනි අව වර්ධිත දුප්පත් රටවලට සංචාරකයින් එන්නේ, විජිත හේරත් ඇමතිවරයා කියූ ශ්‍රී ලාංකීය සංස්කෘතිය රස බලන්නට නොවේ. “අපේ සංස්කෘතිය” යැයි ඔහු කියන්නේ අනුරාධපුර-පොළොන්නරුව ඇතුලු වැඩවසම් රාජ්‍යයන්හි නටඹුන් සතු ඉතිහාස කතා වලටය. ඒ සඳහා පැමිණෙන අයද සිටිය හැක. මෙයද මෙහි කිව යුතුය. “සංචාරක වීසා” ලබාගෙන පැමිණෙන සියල්ලන් සංචාරකයින් නොවේ. සැළකිය යුතු සංඛ්‍යාවක් වාණිජ වෙළඳ කටයුතු සඳහා දකුණු ඉන්දියාවෙන් පැමිණෙන වුන්ය. ඊට අමතරව, නිතර දෙවේලේ මහ මග හමුවන විදේශිකයින්, හේරත් ඇමතිවරයා කියූ ශ්‍රී ලාංකීය සංස්කෘතිය රස බලන්නට පැමිණෙන සංචාරකයින් නොවේ. ඔවුන් බහුතරය එන්නේ පසුගිය වික්‍රමසිංහ ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ දිගින් දිගටම කතා කළ රාත්‍රි සමාජ ජීවිතය සඳහා ය. ඇය කංසා ගැන කතා කළේද ඒ රාත්‍රි සංස්කෘතිය සොයනවුන් බොහෝ දෙනෙකුට අවශ්‍ය මත්ද්‍රව්‍යයක් ලෙසින් ය.
එදා රාජ්‍ය ඇමතිනී ගමගේ එවැනි සංස්කෘතියක් ගැන කතා කෙරුවේද නාගරික සල්ලිකාර සංස්කෘතියක විනෝදාංශයෙහි පැතිකඩක් ලෙසින්ය. දුර බැහැර ප්‍රදේශවල පවා නගර ආශ්‍රිත සංචාරක සංස්කෘතිය එවැනි නිදහසක් සොයන්නකි. එවැනි නිදහස් සංස්කෘතියක ආදායම් සෙවීමේ එක් වෘත්තියක් බවට පත්ව ඇත්තේ ලිංගික ශ්‍රමය සැපයීමේ වෘත්තිය ය. අර්ධ නාගරික ප්‍රදේශවල තරුණියන් බොහෝමයක් කොටු වන්නේ එවැනි වෘත්තීන්ට ය. “ස්පා” ජනප්‍රියව ඇත්තේද එබැවින්ය. සංචාරක ව්‍යාපාරය සතු “ජීවන පැවැත්ම වෙනස් කිරීමේ දැවැන්ත ශක්‍යතාවයක්” ඇතැයි හේරත් ඇමතිවරයා කියූ කතාව ඒ අර්ථයෙන් නම් සැබෑය.

අවසන් වශයෙන් කිව යුත්තේ සංචාරක කර්මාන්තයෙන් රටක් බුද්ධිමය වශයෙන් දියුණු, විනයගත ශිෂ්ඨ සමාජයක් ලෙස සංවර්ධනය කළ නොහැක. සංචාරක කර්මාන්තයෙන් කළ හැක්කේ සංවරයක් සදාචාරයක් නොමැති, කලු සල්ලි අපුල්ලන්නට හැකි, ජාවාරම්කාරයින් සමග හැදෙන විවෘත වෙළඳපල ආර්ථිකයෙහි මුදල් ගැවසෙන නාගරික සමාජයක් හදා ගැනීම පමණි. “සංවර්ධනය” යනු එය නොවන බව තේරුම් ගත යුතුය.
(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2024 දෙසැම්බර 02



