The Leader News
BREAKING
ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●
Top Ad
විශේෂාංග

පාර්ලිමේන්තු මන්ත්‍රී ඇඳුම් පුරාණය - (කීර්ති තෙන්නකෝන්)

T

The Leader Desk

December 2, 2024 • 5:33 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී ඇඳුම් පුරාණය - (කීර්ති තෙන්නකෝන්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නවක මන්ත්‍රීවරුන් 168 ක් සහින පාර්ලිමේන්තුවක් තේරී පත් වී ඇත.
  • ඡන්දය දුන් මහජනතාවට ගෞරවයක් ලැබෙන ලෙස, නියෝජිතයින් සභාවට ගෙන්වා ගැනීම සඳහා සැකසුණු රීතියකි.
  • බර්නාඩ් සොයියා | ස්ටැන්ලි තිලකරත්න සමගි පෙරමුණු ආණ්ඩුවේ දකුණු කොළඹ මන්ත්‍රී බර්නාඩ් සොයියා ටයි පටිය නොමැතිව, ෂර්ට් - කලිසම සහ කබාය ඇදගෙන පාර්ලිමේන්තුවේ සභාවට පැමිණි විට කතානායකවරයා ඔහුට සභාවෙන් ඉවත් වෙන ලෙස දැන්වීය.
  • මෙයින් ටික කලකට පසුව, දෙවන වරටත් වෙනත් මන්ත්‍රීවරයෙකුත් එවැනිම සිද්ධියකට මුහුණ දුන් විට, 1973 නොවැම්බර් 14 දින පැවති පක්ෂ නායක රැස්වීමේ දී කතානායක ස්ටැන්ලි තිලකරත්න ඇඳුම ගැන දැනුම්දීමක් සිදු කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


නවක මන්ත්‍රීවරුන් 168 ක් සහින පාර්ලිමේන්තුවක් තේරී පත් වී ඇත.  ආයතනයක් නවකයින්ගෙන් පිරෙන විට ‘සාම්ප්‍රදායට’ අගයක් ලැබීම අනිවාර්ය ප්‍රතිඑලයකි. මන්ත්‍රී ඇඳුම ගැන කතාව වැදගත්වන්නේ ඒ නිසාය.

‘පිරිපුන් අංගසම්පූර්ණ ඇඳුම’ සංකල්පය අහසින් කඩා පාත්වූවක් හෝ එංගලන්ත පාර්ලිමේන්තුවෙන් ගෙඩිය පිටින් ආනයනය කළ හෝ දෙයක් නොවේ. ඡන්දය දුන් මහජනතාවට ගෞරවයක් ලැබෙන ලෙස, නියෝජිතයින් සභාවට ගෙන්වා ගැනීම සඳහා සැකසුණු රීතියකි.

xdgertබර්නාඩ් සොයියා | ස්ටැන්ලි තිලකරත්න


 සමගි පෙරමුණු ආණ්ඩුවේ දකුණු කොළඹ මන්ත්‍රී බර්නාඩ් සොයියා ටයි පටිය නොමැතිව, ෂර්ට් - කලිසම සහ කබාය ඇදගෙන පාර්ලිමේන්තුවේ සභාවට පැමිණි විට කතානායකවරයා ඔහුට සභාවෙන් ඉවත් වෙන ලෙස දැන්වීය. මෙයින් ටික කලකට පසුව, දෙවන වරටත් වෙනත් මන්ත්‍රීවරයෙකුත් එවැනිම සිද්ධියකට මුහුණ දුන් විට,  1973 නොවැම්බර් 14 දින පැවති පක්ෂ නායක රැස්වීමේ දී කතානායක ස්ටැන්ලි තිලකරත්න ඇඳුම ගැන දැනුම්දීමක් සිදු කළේය.

 ජාතික ඇඳුම, සාම්ප්‍රදායානුකුල ඇඳුම (පූර්ණ යුරෝපීය ඇඳුම), කලිසම හෝ රෙද්ද සමඟ බෙල්ල දක්වා පියවන ලද අත් දිග දිග ටියුනික් කොලරය සහිත කබාය, පිළිගත් ආගමික විශ්වාසයන්ට අදාළ වන තොප්පිය, භාවිතයට පැමිණියේ ඒ අනුවය.  මේ මුලික නිර්ණායකයට මන්ත්‍රීවරුන් සෑම විටම ලා පැහැදි ඇඳුම් ඇඳිය යුතු යැයි ද, තද පැහැති/වර්ණවත් හෝ ඉරි සහිත/චෙක් ඇඳුම් පාර්ලිමේන්තු සභාවට ඇඳිමෙන් වැළකිය යුතුය යන නියෝගය ද ලැබී ඇත. (ඊ - අමුණුම)

dryt346
 මුල් යුගයේ (පිරිමි) මන්ත්‍රීවරුන් ජාතික ඇඳුම (ආර්ය සිංහල ඇඳුම) හෝ පූර්ණ යූරෝපීය ඇඳුමෙන් පාර්ලිමේන්තුවට පැමිණියෝය. පසුව, ටියුනිප් කොලරය සහිත අතර මැද ඇඳුම, නැත්තම් කපටි සූට් එක මුලින්ම ඇන්දේ කලවාන මන්ත්‍රී සරත් මුත්තෙට්ටුවේගම යැයි අදහසක් ඇතත්, ලලිත් ඇතුලත්මුදලි ද එයම කළේය. පසුව ජනතා විමුක්ති පෙරමුණේ සමාජික මන්ත්‍රීවරුන් බහුතරයක් ඇන්දේ ඒ ඇඳුමය.

jyftyu
1956 දේශපාලන විප්ලවයත් සමඟම යුරෝපා ඇඳුම වෙනුවට, ජාතික ඇඳුම අදින පිරිසක් පාර්ලිමේන්තු ආවේය. එයින් බහුතරය බණ්ඩාරනායකයන් අනුගමනය කරමින් ජාතික ඇඳුම ඇන්දේ ජීවිතයේ පළමුවරට යුරෝපා ඇඳුම හැඳ එය තමන්ට නොගැලපෙන බව වැටහුණු විටය. සරළව ෆුල් සූට් ඇඳ කෙලින් ඇවිදින්නට බැරි නිසාය.  1956 පැමිණි සැලකිය යුතු පිරිසක් 1960 මාර්තු ඡන්දයෙන් ද, 1965 ඡන්දයෙන් සම්පූර්ණයෙන්ම වාගේ ගෙදර ගියෝය.  

1970 පාර්ලිමේන්තුව පිරුණේ බුලත්විට කන, සෙරෙප්පු දාන, යුරෝපා ඇඳුමත් නොවන ජාතික ඇඳුමත් නොවන එදිනෙදා සමාන්‍ය ජනතාව ඇඳින වේට්ටිය, කමිසය කලිසම අඳින ගුරුවරුන්, විදුහල්පතිවරුන්, රජයේ මධ්‍ය මට්ටමේ රැකියා දැරූ ලිපිකරුවන්, කේෂ්ත්‍ර නිලධාරීන්, වෛද්‍යවරුන්, වෙද මහත්වරුන්ගෙනි. 1970 දෙසැම්බර් 29 මන්ත්‍රී විශ්‍රාම වැටුප පාර්ලිමේන්තුවේ සම්මත වූ වේ මේ අහිංසක, නිර්ප්‍රභූ මන්ත්‍රීවරුන්ගේ ජීවිතයේ සැදෑ සමය වෙන අයෙකුට අත නොපා ජීවත්වන්නට පාර කපන්නය.

 වත්මන් කතානායකවරයා අදිනු ලබන්නේ 2000 වසරේ දී අනුර ප්‍රියදර්ශන බණ්ඩාරනායකට එංගලන්ත පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ නිල ඇඳුම් සපයන්නා විසින් කැපුම් කොට මසා දුන් ඇඳුමයි (Robe).  එහි රෙද්ද, බොත්තම්, ලේස් සහ අනෙකුත් දැ එංගලන්ත ප්‍රමිතියටම සකස් කර තිබුණි. (a roge of black satin damask trimmed with gold lace, a mourning rosette (also known as a ‘wig bag’) and grogs with full bottomed wig.)

ht76
 වෙනත් කතානායකවරුන් විසින් ඇඳින ලද ඇඳුම් ඇඳීම අනුර විසින් ප්‍රතික්ෂේප කළ බැවින්, පාර්ලිමේන්තුව විසින් අනුරගේ මිම්මට නව ඇඳුම මස්සවනු ලැබීය. එතෙක් අනුර මුල් පුටුවේ සිටින විට ද ඇන්දේ ජාතික ඇඳුම පමණී. අද පාවිච්චි කරන කතානායක සිල්ක් එක (හිස් පළදනාව) ද මුල්වරට අදිනු ලැබූවේ අනුර විසිනි.  

 අනුර සෑම විටම පාහේ කතානායක හිස්පලදනාව මගහරින්ට උත්සහ කළේය. පාර්ලිමේන්තුවේ උත්තරීතර බව දැක්වෙන, ඔහුගේ අති උද්කෘෂ්ඨ තීන්දුව ප්‍රකාශයට පත් කළේ ද, හිස් පලදනාව රහිතවය. ආනන්ද තිස්ස ද අල්විස් කතානායක හිස්වැසුම තබා කතානායක ඇඳුම් ආයිත්තමය අදින්නට පවා කැමති වූවෙකු නොවීය.

jhggt
රාජපක්ෂ පවුල කුරහන් සාටකය දමාගෙන පාර්ලිමේන්තු ආවේ කෙසේ දැයි නවක මන්ත්‍රීවරයෙකු විමසා තිබුණි. 1947 ඩී.ඒ.රාජපක්ෂ ගේ සිට මහින්ද, චමල්, බැසිල්, නාමල් යන සියළුම හම්බන්තොට රාජපක්ෂවරු කුරහන් පාට සාටක පැලදියේය. මොණරාගල ශෂින්ද්‍ර රාජපක්ෂ ද පසුව ඒ ලැයිස්තුවට එක් විය.    

 එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, එස්.ජේ.වී.චෙල්වනායගම්, සී.සුන්දරලිංගම් වේටිටිය ඇඳ සාටකයක් දමා පාර්ලිමේන්තු පැමිණි මුල්ම පරම්පරාවේ උදවියයි. ඔවුන් පාර්ලිමේන්තුවට සැරසී ආවේ  ‘ඕෆ් වයිට්‘ (රත්තරං පාට නූල් සහිත සුදු) සාටකයකි. යාපනයේ ද්‍රවිඩ ජනතාව උත්සව අවස්ථාවන්ට අදින වේටිටිය හා එහි බෝඩරය ඔවුන්ගේ අනන්‍යතාවයයි.  

අනුරාධපුර තිස්ස කරලියද්ද, ත්‍රිකුණාමලයේ එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන නිල් පාට සාටක පැලඳියේය. එජාපයෙන් පැමිණි ගාල්ලේ හේමකුමාර නානායක්කාර කොළ පාට සාටකයක් පැලැන්දේය. මේ ව්‍යවහාරය නිසා සාටකය පාර්ලිමේන්තු ඇදුමේ පිළිගත් අංගයකි.    

 බණ්ඩාරනායකයන් ශ්‍රීලනිප දේශපාලන කටයුතු සඳහා නිල් පැහැති සාටකයක් පැළදි නමුත් පාර්ලිමේන්තුවට ඇන්දේ සුදු රත්තරං පාට බෝඩරයක් සහිත සාටකයකි. අනුර බණ්ඩාරනායක විපක්ෂ නායක තනතුරට පත් වූ පසුව ජාතික ඇඳුම සමඟ රත්තරං පාට කුඩා තීරු දෙකක් සහිත සුදු සාටකයක් ඇන්දේය. අනුර විපක්ෂ නායකවරයා ලෙස මුලින්ම ඇන්දේ නිල් පැහැති තීරු දෙකක් සහිත සුදු සාටකයකි.  (1950 – 1977 විවෘත ආර්ථිකය දක්වාම සාටකය ආර්ය සිංහල ඇඳුමේ අංගයකි)

සිලෝන් පබ්ලික් සර්විස් හි අනුරාධපුර හා පොලොන්නරුව දිසාපතිවරුන් වූ නිශ්ශංක විජේරත්න හා සී.පී.ද සිල්වා ද පාර්ලිමේන්තුවට ආවේ මෆ්ලර් එකක් දමාගෙන ය. මාලිගාවට යන විට සුදු පාට මෆලර් දැමූ විජේරත්නයන්, පක්ෂයේ වැඩවලට කොළ පාට ද, පාර්ලිමේන්තුවට එදා ප්‍රංශයෙන් ගෙන්වා ගත් ලා පාට එකතුවෙන් මෆලරයක් ද තෝරාගත්තේය.

 මන්ත්‍රීවරුන්ගේ පුහුණු සැසියට සෙරෙප්පු දමාගෙන පැමිණීම ගැන සමාජ මාධ්‍ය වාර්තා පළ කර තිබුණි. වැලිමඩ මන්ත්‍රී එස්.ඒ.ආර්. මද්දුම බණ්ඩාර, විදුර වික්‍රමනායක, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන පාර්ලිමේන්තුවට ආවේ සෙරෙප්පු නැතිවය. සෙරෙප්පු දමාගෙන පාර්ලිමේන්තු ආ මන්ත්‍රීවරුන් නොමැති තරම්ය.

 1994 හම්බන්තොට ලැයිස්තුවට පිටින් පත් කළ ප්‍රගතිශීලි පෙරමුණේ මන්ත්‍රී නිහාල් ගලප්පත්ති දිවුරුම් දෙන්නට පැමිණියේ තද රතුපාට අත් දිග කමිසයක් ඇඳගෙනය. එය නැවත සිදු නොකරන ලෙස දැන්වීමෙන් පසුව ඔහු සුදු කමිසය අදින්නට පටන් ගත්තේය. මෙවර හරිනි අමරසූරිය අගමැතිනිය ද මේ සිද්ධිය දැන හෝ නොදැන පාර්ලිමේන්තුව විවෘත කිරීමේ අවස්ථාවට පැමිණියේ තද රතු සාරියකින් සැරසී ය.

srtw453f
හිටපු පරිසර අමාත්‍යවරියක වූ ශ්‍රීමනී ඇතුලත්මුදලි උදරය ආශ්‍රිත සැත්කමකට භාජනය වීම නිසා සාරිය ඇදිය නොහැකි තත්වයකට පත් වූ විට දිගු ගවුමක් අදින්නට වෛද්‍යමය හේතුමත කතානායකවරයා අනුමැතිය ලබා දුන්නේය. පරිසර අමාත්‍යාංශයට අදාල ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නට ගවුමකින් සැරසී පැමිණි ඇය, තම වගකීම නිම වූ වහාම සභාවෙන් පිටවිය. බ්‍රිතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර් ලංකා පාර්ලිමේන්තුව අමතනු ලැබූවේ ද, ගවුමකින් සැරසීගෙන ය.

erw332බ්‍රිතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර් ගවුමකින් සැරසී ලංකා පාර්ලිමේන්තුව අමතූ අවස්ථාව. 1985/4/13
 ජවිපෙ නියෝජනය කරමින් ගම්පහින් පත් වූ අන්ජාන් උම්මා හිජාබ් ඇඳුමෙන් පැමිණි එකම මන්ත්‍රීවරියයි.

 අන් සියළුම කාන්තා මන්ත්‍රීවරු ඇන්දේ ඉන්දීය හෝ උඩරට සාරියයි. පවිත්‍රා, සුදර්ශනී, තලතා, ගීතා ඉන්දීය සාරියට කැපී පෙනුනු අතර සිරිමා, චන්ද්‍රිකා, සුමිත්‍රා ප්‍රියංගනී, සීතා අරඹේපොල, රෝහණී කවිරත්න උඩරට සාරියට කැපී පෙනුනෝය. උඩරට සාරිය ද, සාරි පොට සකසන ආකාරය අනුව, ඔසරිය සහ ඔහොරිය යැයි කොටස් දෙකකි. සාරි පොට මැදින් නමා අඳින, සාම්ප්‍රදායික උඩරට ඔහොරිය පාර්ලිමේන්තු අඳින එකම මන්ත්‍රීවරිය රෝහිණී කුමාරි විජේරත්න ය.
‍

වැඩියෙන්ම මේකඅප් ආලේපන දමා පාර්ලිමේන්තු ආවේ ගීතා කුමාරසිංහ සහ ඩයනා ගමගේ ය. සිරිමා මැතිනිය සමඟ 1989 පාර්ලිමේන්තුවේ සිටි සුමේධා ජයසේන, හේමා රත්නායක සහ සුමිත්‍රා ප්‍රියංගනී සිව් දෙනාම ආලේපන දැම්මේම නැති වුවත් ඇට මාල දැම්මෝය. සමාන ඇඳුම් විලාසිතාව නිසා ඔවුන් ආච්චී සමඟ යන මිණිබිරියන් ලෙස පෙනුනි.    

 මුස්ලිම් ජාතිකයින්ට අනන්‍ය වූ තුර්කි තොප්පියෙන් කල්මුණේ මන්ත්‍රී එම්.එස්. කාරියප්පර් ද, සමන්තුරේ මන්ත්‍රී යූ.එල්.එම්. (තොප්පි) මොහිඩීන් ද සභාවට ආවෝය. මැද කොළඹ ශ්‍රීමත් රසීක් ෆරීඩ් තුර්කි තොප්පිය ද, කබායේ ගැසූ ඕකිඩ් මල ද සිය අනන්‍යතාවය කරගත්තේය.  

ජාතික ලැයිස්තුවෙන් පැමිණි මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රී එන්.එම් බුහර්දීන් ද රතු පාට තොප්පියක් ඇන්දේය. ලංකාවේ මෙන්ම තවත් රටවල ද ආසියානු මුස්ලිම්වරුන්ට සිය සංස්කෘතික අනන්‍යතාව දැක්වීමට තොප්පිය පැලදීමට අවසර දී තිබුණි.

1989 පාර්ලිමේන්තුවට පැමිණි ඒ.එච්.එම්. අශ්රොෆ් වසර දෙකක් පමණ මුස්ලිම් ජාතිකයින් පළදින සුදු තොප්පිය පැලඳුවේය. වන්නි දිස්ත්‍රක් මන්ත්‍රී එස්.එස්.එම්. අබුබකර් ද සුදු මුස්ලිම් තොප්පිය දැම්මේය.

 පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත් වූ විට එම මන්ත්‍රීවරුන් ඇඳිය යුත්තේ කුමන ඇඳුම ද යන්න පිළිබඳ දේශපාලන පක්ෂ නිර්දේශ කරන අවස්ථා ද නැතිවා නොවේ.  

 වියත්මග වෛද්‍ය උපාධිධාරීන් තොග පිටින් 2020 පාර්ලිමේන්තුවට පැමිණි විට වෙද නලාව පාර්ලිමේන්තු ඇඳුමේ අංගයක් විය හැකි බව උපහාසයට කියවුනේ පොහොට්ටුවේ වියත්මග කැම්පේන් ඒක වෙද නලාව සමඟම දියත්වූ නිසාය.  මෙවර කැලණිය හා ජයවර්ධනපුර උපාධිධාරී සටන නිසා කැම්පස් කලර් ටයි - කබාවලින් පාර්ලිමේන්තුවට යා හැකි යැයි විහිළු කතා කියන්නේ ද ඒ නිසාය. තම ඉස්කෝල ටයි පටියෙන් පාර්ලිමේන්තු ආ මන්ත්‍රීවරුන් ද වෙති.

 1989 බදුල්ලේ එඩ්වින් වික්‍රමරත්න ඇතුළු පිරිසක් තමන්ට ආරක්ෂිතව නවතින්නට තැනක් නැතැයි කියමින් පාර්ලිමේන්තුවේ පැදුරු දමා නිදාගත්තේය. පසුවදා ඔවුන් ඒ ඇඳුම් පිටින්ම සභාවට පැමිණීමට උත්සහ දැරූ නමුත් වේත්‍රධාරී එය වැලැක්වීය. මන්ත්‍රීවරුන්ට තැබ්‍රොබෙන් හෝටලයේ ද, ශ්‍රාවස්තියේ ද නවාතැන් ලැබුනේ ඒ අනුවය.

භිෂණය නිසා ගම් රටවලට යා නොහැකි මන්ත්‍රීවරුන් ඇඳුම් මාරුකරගෙන ඇන්ද බව ද, එස්.බී.දිසානායක ගේ රතුළුණු, උම්බලකඩ, අමුමිරිස් බයිට් එක ‘ජාතියේ පාර්ලිමේන්තු බයිට් ඒක’ බවට පත් වූවේ ද එහි ප්‍රතිඑල ලෙසිනි.  

අවසානයේ මාදිවල කම්කරුවන්ට සකස් කළ නිවාස සංකීර්ණයක්, මන්ත්‍රී නිවාස බවට පත් වූවේ ද එඩ්වින් ලා ගේ විප්ලවය නිසාය.

t4543
 උතුරෙන් තේරී පත් වූ දෙමළ මන්ත්‍රීවරුන් ‘සෆාරි ඇඳුම’ යැයි ප්‍රකට වූ සාක්කු හතරක් සහිත අත්කොට කමිසය හා කලිසමින් සභාවට පැමිණීමට උත්සහ කළ නමුත් එයට අවස්ථාව ලැබුණේ නැත.

 ජාතික ඇඳුම ද, ආර්ය සිංහල ඇඳුම ද යුග දෙකක ටියුනිප් කොලරය සහිත හා රහිත ලෙසින් පැවතුණි. ද්‍රවිඩ ජාතිකයින් ද, කුරුණෑගල යූ.බී.විජේකෝන් වැනි අය ද, ඇන්දේ කොලරය රහිත, අත මැනික් කටුවෙන් විවරව පේන ජාතික ඇඳුමකි.

 ආර්ය සිංහල ඇඳුමේ අත මැනික් කටුව අසල තිබූ ලොකු විවරය, පාර්ලිමේන්තු ඇඳුමේ දී අත අග බොත්තමක්, පිත්තල හෝ සුදු යකඩ බොත්තමක්, කෆ්ලින්ස් සවි කිරීමෙන් වසා දැමුණි. පසුව ජාතික ඇඳුමට බෙල්ල වැහෙන ටියුනිප් කොලරය අනිවාර්ය වූවේය. දැන් නම් අතේ මැනික් කටුව පෙනෙන සේ අත් සහිත ජාතික ඇඳුම කිසිවෙකු අදින්නේම නැත.

 යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පාර්ලිමේන්තුවට පැමිණියේ තුන්නූරු ඉරි තුන සහ රතු තිලකය තබා ය.  කොවිලක සාමාන්‍ය යෙන් ගාන තුන්නුරු වලට වඩා පැහැදිලි හා දීප්තියෙන් යුතු හා රතු තිලක ඔහුගේ කැපී පෙනුණි.  එයින් මතු වූයේ යාපනයේ බ්‍රාහ්මණ ප්‍රභුත්වය යි.

rt4345

 ද්‍රවිඩ ජාතිකයින්ගේ ජාතික ඇඳුම -- ‘දෝතිය‘ හැඳ කිසිම මන්ත්‍රීවරයෙකු මේ දක්වා පාර්ලිමේන්තු පැමිණ නැත.

 අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා 2021 දී කළු පැහැති මෝස්තරයක් සහිත කමිසයකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණි විට ඔහුට සභාවෙන් ඉවත්වීමට බල කරනු ලැබීය.

 විමල් වීරවංශ හා අනුර කුමාර දිසානායකගේ ටියුනිප් කොරල් කමිසය හා ඒවා ඇඳිය යුතු ආකාරය ගැන වි.ජ.මූ. ලොකුබණ්ඩාර කතානායකවරයා දෙවරක් අදහස් දක්වා තිබුණි. අනුර කුමාර මන්ත්‍රීවරයා මුල් කාලයේ උඩ බොත්තම විවර කර කතා කරන්නට කැමති වූ බව සජීවි විකාශන නැරඹූ අයට රහසක් නොවේ.

 ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි තම පක්ෂයේ පාට නිසා දෝ ලා නිල් පැහැති ජාතික ඇඳුමින් සභාවට පැමිණි අතර, බතික් ඇමති කාලයේ බතික් ඇඳුමකින් පාර්ලිමේන්තු ආවේය. මහ ලේකම් ධූරය ද, බතික් ඇමතිකම ද අහිමි වූ පසුව දයාසිරිගේ ඒ විලාසිතා නැති විය.

 වත්මන් කතානායක රන්වල මෙන්ම 1977 කතානායක ධූරයට පත් ආනන්ද තිස්ස ද අල්විස් ද මුලින් කතානායක ධූරයට පත්ව දෙවනුව මන්ත්‍රී වූ පුද්ගලයින් ය. මාගේ මතකය නිවැරදි නම් ආනන්ද තිස්ස ද අල්විස් කතානායක විග් (සිල්ක්)  එක දැමූවේ නිල අවස්ථා කිහිපයක දී පමණී. ඔහු කතානායක නිල ඇඳුම ඇන්දේම නැති තරම්ය. විග් ඒක දැම්මේම නැත.  

rtrter

 සී.වී.ගුණරත්න හා කිංස්ලි වික්‍රමරත්න යුරෝපීය ඇඳුමට තද රතුපාට ලේන්සුව පැලදීම නිසා පාර්ලිමේන්තුවේ කැපී පෙනුණු මන්ත්‍රීවරුන් ය.  වරක් ඒ.එච්.එම්.අස්වර් හා සී.වී.ගුණරත්න පාර්ලිමේන්තුවේ පැටළුණු විට සී.වී. සභාව හිනස්සමින් අස්වර්ට කිවේ ‘රතු පාට ලේන්සු දැක්කාම ගොන්නු කොහොමත් කලබල වෙනවා කියාය. කිංස්ලි කබායේ පාටට ගැලපෙන ලේන්සුවක් සාක්කුවේ දමා සිටියේය.

 මන්ත්‍රී සුරේන් රාගවන් ‘බෝ ටයි’ එක පැලද සභාවට පැමිණි විට විපක්ෂය එයට විරෝධය පළ කළ නමුත් ‘බෝ ටයි එකට වඩා රටේ ප්‍රශ්න ඇතැයි’ එය ලිස්සා ගියේ පසුගිය සභාවේ දී ය.

 සරම, උඩ රත්තරං පාට පියවන බොත්තම දැමූ කමිසය, කෝට් එක සමඟ සභාවට ආ අයි.ඩබ්ලිව්. ප්‍රනාන්දු (කොණ්ඩ වෙදමහත්තයා) පැරණි සමාජයේ වෙද පරම්පරාව නියෝජනය කළේය.

srte4534

 ජේ.ආර්.ජයවර්ධන පාර්ලිමේන්තුවට ඇන්දේ තමාමට ආවේනික ලෙස සකස් කරගත් ඉණ ට පොඩ්ඩක් උඩින් සාක්කු දෙකක් ඇති අමුතුම ජාතික ඇඳුමකි. අගමැති රත්නසිරි වික්‍රමනායක ද එම ඇඳුමේ ආරයට සැකසූ ඇඳුමකින් පාර්ලිමේන්තු ආවේය.  

පාර්ලිමේන්තුවට පමණක් නොව පළාත් සභාවට ද, දිස්ත්‍රික්ක සංවර්ධන සභාවට ද සුදුසු යැයි සම්මත ඇඳුමක් විය.  කොළඹ දිස්ත්‍රික්ක සංවර්ධන සභාවට ජවිපෙ උපතිස්ස ගමනායක ඇතුළු පිරිස සම්පූර්ණ ඇඳුමකින් සැරසී නොපැමිණි විට ඒ බව වීරසිංහ මල්ලිමාරච්චි අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබීය.  ජවිපෙ මන්ත්‍රීවරුන්ට විහිළුවට මෙන් තමන්ට එවැනි ඇඳුම් නැතැයි කී නමුත්, ඔවුහු සුදුසු ඇඳුම් සම්ප්‍රදායට වහා අනුගත වූවෝය.

 අලුත් පාර්ලිමේන්තුවට ක්‍රමය වෙනස් කරන්නට ජනවරමක් තිබේ. පළමු දිනයේ ඔවුන් කතානායක ඇඳුමේ සිට රතු සාරිය දක්වා බොහෝ දේ වෙනස් කළේය. පුහුණු සැසියේ දී මන්ත්‍රී ඇඳුමේ බොහෝ සම්ප්‍රදායන් උඩ යට හැරවී තිබුණි. ක්‍රම වෙනස මන්ත්‍රී ඇඳුමෙන් ඇරඹී හැකි නමුත්, ඉක්මනින්ම ආණ්ඩුකරණය ද, රටේ ප්‍රශ්ණ විසඳීම ද එයට පෙරම ඇරඹිය යුතුව ඇත.  

Rajith Keerthi(රජිත් කීර්ති තෙන්නකෝන්)
Former Governor of Uva, Southern and Central Provinces
Former Executive Director of Campaign for Free and Fair Elections (CaFFE) and Center for Human Rights and Research - CHR Sri Lanka

rajith_tennakoon@yahoo.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...