The Leader News
BREAKING
විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●
Top Ad
විශේෂාංග

නාඩු සහල් මුල් කොට ජනතාව ගෝරනාඩු නොනැඟීමට නම්.. - (සුනිල් කන්නන්ගර)

T

The Leader Desk

December 3, 2024 • 6:43 AM

නාඩු සහල් මුල් කොට ජනතාව ගෝරනාඩු නොනැඟීමට නම්.. - (සුනිල් කන්නන්ගර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ ලියන්නේ ඒ කරුණ මුල් කොට ජාජබ ආණ්ඩුවට කෝචොක් කරන්න හෙම නොවේ.
  • ආණ්ඩුවත් සමඟ ඇරියස් ඇති අයට නම් එයින් පොඩි “ත්‍රිලක්” ලැබිය හැකි ය.
  • ඒ නිසා මේ ලියන්නේ වෙන්න තියෙන අලකලංචිය බේරාගෙන අපිටත් හාල් පෝලිමේ නොලැග ඉන්න පුලුවන් වේදැයි බලන්නට බව සියලු සුධීමත්හු කරුණාවෙන් පිළිගනිත් වා!.
  • මේ වන විටත් ඉදිරියේ හාල් හිඟයක් එතැයි හාල් රැස්කරන්නට අතේ සල්ලි තියෙන ඇත්තන් පටන්ගෙන ඇතිදැයි හිතෙන්නේ සුපිරි වෙලඳ සල්වල ඇති කීරිසම්බා ද කිලෝ දහයේ පහේ බෑග් කඳු වේගයෙන් මිටියාවත් වනු දකින විට ය.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ ලියන්නේ ඒ කරුණ මුල් කොට ජාජබ ආණ්ඩුවට කෝචොක් කරන්න හෙම නොවේ. මීට පෙරත් ලිපියක ලියූ පරිදි ආණ්ඩුවට කෝචොක් කිරීමෙන් ජනතාවට සත පහක ප්‍රයෝජනයක් නැත. ආණ්ඩුවත් සමඟ ඇරියස් ඇති අයට නම් එයින් පොඩි “ත්‍රිලක්” ලැබිය හැකි ය. හැබැයි ත්‍රිල අරගන්න කියා ආණ්ඩුවට කෙලවෙනතුරු බලමින් කාලකන්නි සතුටක් ලැබීම නම් අන්තිම භයානක වැඩකි. ඒක හරියට ඇඟ පතේ හීතල නිවා ගන්න ගෙදර වහලෙට ගිනි තිබ්බා වාගේ ගොන් කමකි. ඒ නිසා මේ ලියන්නේ වෙන්න තියෙන අලකලංචිය බේරාගෙන අපිටත් හාල් පෝලිමේ නොලැග ඉන්න පුලුවන් වේදැයි බලන්නට බව සියලු සුධීමත්හු කරුණාවෙන් පිළිගනිත් වා!.

 

සහල් හිඟය බොරුවක් : කෘත්‍රිමව මවන ලද්දක්!
මේ වන විට නාඩු සහල් වෙළඳපොලේ නැත. කීරිසම්බා වල නම් එහෙම හිඟයක් දක්නට නැත. සුපිරි වෙළඳ සැල් ජාලයක මේ වන විට කැකුළු හා සම්බා සහල් නිකුත් කරන්නේ එක් අයෙකුට කිලෝ තුනක සීමාවකට යටත්ව ය. මේ තවම දෙසැම්බරයේ එළිපත්තට පැමිණියා පමණි. ඊළඟට වෙන්නේ මිලදී ගත හැකි සහල් ප්‍රමාණය කිලෝ තුන දෙකක් වී තව සතියකින් එකක් වීම ය. මේ වන විටත් ඉදිරියේ හාල් හිඟයක් එතැයි හාල් රැස්කරන්නට අතේ සල්ලි තියෙන ඇත්තන් පටන්ගෙන ඇතිදැයි හිතෙන්නේ සුපිරි වෙලඳ සල්වල ඇති කීරිසම්බා ද කිලෝ දහයේ පහේ බෑග් කඳු වේගයෙන් මිටියාවත් වනු දකින විට ය.

සහල් සීමා කිරීමෙන් ඇඟවෙන්නේ ඉල්ලුමේ තරමට සැපයුම අපහසු බව ය. මෙබඳු අවස්ථාවල පාරිභෝගිකයා කරන්නේ අවශ්‍යතාව ඉක්මවා ඉල්ලුම් කිරීමට හා රැස්කර ගැනීම ය. ඒ තත්වය කිසියම් භාණ්ඩයක් අධි ඉල්ලුමක් බවට පත්වීමකි. එම අධි ඉල්ලුම සැපිරීම සඳහා ‘කළු කඩය’ නිර්මාණය වෙයි. ඒ සමඟම මිල ඉහල යාම ද පාලනය කළ නොහැකි වෙයි. පසුගිය ආර්ථික අර්බුදය උත්සන්නව පැවති සමයේ ඉන්ධන වලට සිදුවූයේ ද මේ අලකලංචියම ය. ඉන්ධන සැපයුම මුලුමනින්ම රජය අත තිබියදීවත් ඒ අවස්‍ථාවේ පැවති අධි ඉන්ධන ඉල්ලුම සැපයීමට,රජයට හැකිවුණේ නැත .සහල් පිළිබඳව දැන් ඇත්තේ ඉන්ධන ප්‍රශ්නය අරම්භ වූ දිනවල පැවති තත්වයයි.

ස්වයංපෝෂිත කතා ඉවරයි : සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ගෙන්න යයි

 

රජය මේ සහල් ප්‍රශ්නයට විසඳුම ලෙස සහල් ටොන් 70000ක් ආනයනය කිරීමට තීරණය කර ඇත. මේ ආනයනික සහල් වෙළඳ පොළට ලැබෙන්නේ අඩුම තරමින් දෙසැම්බර් තුන්වන සතියේ ය. එතෙක්, සති තුනක් දිනකට ටොන් 6575 බැගින් සහල් වෙලඳ පළ වෙත එවීමේ වගකීම ආණ්ඩුව සතු වෙයි. රටේ දිනක සහල් පරිභෝජනය ටොන් 6575, ලෙස ගණන් බලා ඇත. එසේ වුවත් ඒ වගකීම ඉටුකිරීම කළ යුතු වන්නේ පෞද්ගලික අංශයේ වී මෝල් හරහා ය. කීරි සම්බා සහල් අවශ්‍ය ප්‍රමාණය වෙළඳ පොලට සැපයුණත් මෙතෙක් ගැටළුව තිබුණේ නාඩු සහල් සැපයුමේ ය. නමුත් රජයේ ගණනය කිරීම් අනුව නාඩු වී ප්‍රමාණවත් තොග ගොවීන් ළඟ හෝ වී මෝල් වල තිබිය යුතු වේ. ගැටලුව ඇත්තේ එසේ තිබෙතැයි අපේක්ෂා කරන වී සහල් බවට පරිවර්තනය වී වෙළඳ පොලට නොපැමිණීම ය.

මේ හිර වීමට ප්‍රධාන හේතුව ලෙස අපට නිරීක්ෂණය වන්නේ රජය විසින් සහල්වලට පනවා ඇති උපරිම සිල්ලර මිල ය. 2022වසරේ පැවති රජය නාඩු සහල් විකිණිය හැකි  උපරිම සිල්ලර මිල නියම කර ඇත්තේ කිලෝ එක රුපියල් 220 ටය. පසුගිය යල් කන්නයේ නාඩු වී වල පැවති මිල මට්ටම අනුව වෙළඳපොලේ සිල්ලර මිල ලෙස රුපියල් 220ට නාඩු සහල් විකිණීම අපහසු ය. අඩුම වශයෙන් සහල් සඳහා පාරිභෝගිකයා ගෙවන මිලෙන් 75%වත් වී වටිනාකම ලෙස ගොවියාට හිමි වියයුතු ය. සහල් කිලෝ එකක් නිපදවීමට වී කිලෝග්‍රෑම් 1.54 අවශ්‍ය වේ. ඒ අනුව සහල් මිල 220 පවත්වා ගැනීමට නම් පිරිසිදු වී මිලදී ගත යුත්තේ කිලෝ එක රු107.14ට අඩුවෙනි. නමුත් පසුගිය යල් කන්නයේ පිරිසිදු වී කිලෝ එකක් රුපියල් 125 තරම් වන ඉහළ මිලකට ගොවීන්ගෙන් මිල දී ගෙන තිබුණි. ගොවීන් වී අලෙවි කරන්නේ පිරිසිදු කර නොවේ. ගොවීන් වෙතින් මිලදී ගන්නා වී වල 6%පමණ කෘෂිකාර්මික අප ද්‍රව්‍ය තිබේ. රජය විසින් නාඩු වී සඳහා පවත්වා ගෙන යන සහතික මිල රුපියල් 110 කි. එම මිලට ම පිරිසිදු වී මිලදී ගත්තත් නාඩු සහල් රජයේ සහතික මිලට වෙලඳ පොළට ලාභයක් ඇතිව සැපයීම අපහසු වේ. මේ වනවිට ගොවීන් ළඟ කලාතුරකින් ඉතිරි වී ඇති නාඩු වී මිලදී ගන්නේ කිලෝ එකක් රුපියල් 150 කට සමාන මිලකට ය. නාඩු සහල් පිළිබඳ අර්බුදයක් පවතින්නේ මේ හේතුව නිසා ය.

සඟවා තිබු සහල්-සීනි තොග රාජසන්තක කරන කතා බොරු !

 

මීට විසඳුම විය යුතුව ඇත්තේ රජය 2022,වර්ෂයේ නියම කළ උපරිම සිල්ලර මිල සංශෝධනය කිරීමයි. එය රුපියල් 240 කළා නම් ගැටලුවකින් තොරව නාඩු සහල්වෙළඳ පොලට සැපයුම සිදු වනු ඇත.එ සේම සෑම අවස්ථාවකදීම රජය සැලකිලිමත් විය යුතු වන්නේ සහල් සිල්ලර මිලෙන් 75%ක් ගොවියාට වී වෙනුවෙන් ද ඉතිරි 25% සහල් කර්මාන්තයේ නියුතු වී රැස් කරන්නන් ප්‍රවාහන කරුවන් මෝල් හිමියන් තොග වෙළඳුන් හා සිල්ලර වෙළඳුන් වෙත යැවීමට රජය සැලකිලිමත් විය යුතු ය. 

මේ අනුපාතයන් වෙනස් වන ලෙස වෙළඳපොලේ මිල පැවතීම වලක්වා ගැනීමට රජය උපරිම සිල්ලර මිල නියම කිරීම කළ යුතු ය. මෙම අනුපාතයන් නොසලකා සහල් මිල නියම කිරීමෙන් රජය බලවත් වරදක් සිදුකර ඇත. එය නිවැරදි කිරීම රජයේ යුතුකමයි. නමුත් ඒ සඳහා තිබුණු අවස්ථාව දැන් ගිලිහෙමින් පවතින බව ද නිරීක්ෂණය වීම කනගාටුදායක ය. බරපතල සහල් හිගයක් ඇතිවී අධි ඉල්ලුමක් නිර්මණය වූ පසු මේ මිල සංශෝධනයෙන් සැපයුම යථාවත් කළ නොහැකි ය. ඒ එම අවස්ථාව වන විට වැඩේ කුරුවළු වී සහල් මිලට ගන්නේ පාරිභෝජනය කිරීමට වඩා රැස්කිරීමට නිසා අධි ඉල්ලුම වෙනස් නොවන බැවිනි. ඊට පස්සේ “ඌට මූට” ඇඟිලි දික් කොට වැඩක් නැත. සහල් වෙළඳ පළ සම්බන්ධ මෙම යථාර්ථය රජය නිවැරදිව තේරුම් ගෙන තිබේ ද යන්න සැක සහිත ය.

 

වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් අල්ලන්න පොලිස් මෙහෙයුමක්! - සහල් මෝල්වලටත්  කඩා පැනීමට යයි!!

එම නිසා රජයේ බලධාරීන් ආනයනික සහල් වලින් සහල් අර්බුදය විසඳිය හැකියැයි සිතා සිටීම නතර කර ඉදිරි සති තුන තුළ දිනකට සහල් ටොන් 6575බැගින් වෙළඳපොලට සැපයෙන අන්දමට කටයුතු සම්පාදනය කළ යුතු වේ. නැත්නම් ආණ්ඩුව බලවත් අපහසුතාවයටත් ජනතාව ඊටත් වඩා අපහසුතාවයටත් පත් ව නාඩු සහල් මුල් කොට ජනතාව ගෝරනාඩු නැඟීම වලක්වා ගැනීමට රජයට නොහැකි වනු ඇත.


සබැඳි ලිපියක් :
වත්මන් සහල් අර්බුදය රට හාලෙන් විසඳන්න පුළුවන් ද? - (සුනිල් කන්නන්ගර)

(සුනිල් කන්නන්ගර) 
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...