The Leader News
BREAKING
ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●
Top Ad
විශේෂාංග

අතුරු සම්මත ගිණුම - (ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග)

T

The Leader Desk

December 4, 2024 • 10:06 AM

අතුරු සම්මත ගිණුම - (ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රථම මාස හතර සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බැව් ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ප්‍රකාශ කර ඇත.
  • විධායකයට අනුයුක්ත විවිධ ගණයේ රාජ්‍ය නිලධාරීන් විසින් රාජ්‍ය ආදායම් එකතු කිරීම, වියදම් දැරීම හා ණය ගැනීම් ආදී කටයුතු සිදු කරනුයේ ව්‍යවස්ථාදායකයේ අනුමැතිය ඇතිවය.
  • ඉන් අදහස් වනුයේ විධායකයට රිසිසේ වියදම් කළ නොහැකි බවයි.
  • රජය විසින් විවිධ ආදායම් මූලාශ්‍ර ඔස්සේ මහජනතාවගෙන් අරමුදල් රැස් කළද, ව්‍යවස්ථාදායකයේ (පාර්ලිමේන්තුවේ) අනුමැතිය ලබා නොගෙන එලෙස රැස්කරන අරමුදල් වියදම් කළ නොහැක.
අකුරු ප්‍රමාණය (Font Size):


2025 ප්‍රථම මාස හතර සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බැව් ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ප්‍රකාශ කර ඇත. 2025  වර්ෂය සඳහා අයවැයක් ඉදිරිපත් කිරීමට පෙරාතුව රාජ්‍යය වියදම් සඳහා අනුමැතිය ලබා ගැනීම පිණිස මෙම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කෙරේ.

1931 ඇරඹී රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ පටන් අතුරු සම්මත ගිණුම් රාශියක් ඉදිරිපත් කර තිබුණද මෙවර ඉදිරිපත් කරන මෙම අතුරු සම්මත ගිණුම විශේෂ තත්ත්වයක් උසුලයි. පාර්ලිමේන්තුව සම්මත කළ නීති ප්‍රතිපාදන පදනම් කරගනිමින් ඉදිරිපත් කරන ප්‍රථම අතුරු සම්මත ගිණුම මෙය වීම එයට හේතුවයි.


2024 අගෝස්තු මස අටවන දින සිට ක්‍රියාත්මක වන අංක 44 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත තුළ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට අදාළ වන නෛතික ප්‍රතිපාදන ඇතුළත්ය


2024 අගෝස්තු මස අටවන දින සිට ක්‍රියාත්මක වන අංක 44 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත තුළ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට අදාළ වන නෛතික ප්‍රතිපාදන ඇතුළත්ය. එබැවින් අතුරු සම්මත ගිණුමෙහි පසුබිම් විස්තර හා ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වෙනවා මෙන්ම කාලෝචිතය.

විධායකයට අනුයුක්ත විවිධ ගණයේ රාජ්‍ය නිලධාරීන් විසින් රාජ්‍ය ආදායම් එකතු කිරීම, වියදම් දැරීම හා ණය ගැනීම් ආදී කටයුතු සිදු කරනුයේ ව්‍යවස්ථාදායකයේ අනුමැතිය ඇතිවය. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව සිතු මනාපය පරිදි විධායකයට (රජයට) රාජ්‍ය මුදල් වියදම් කල නොහැක. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක ඕනෑම රාජ්‍යයක රාජ්‍ය මුදල් පාලනය ව්‍යවස්ථාදායකය සතු කාර්යයකි.


ඒ අනුව ඒකාබද්ධ අරමුදලින් මුදල් වියදම් කිරීමට නම් ව්‍යවස්ථාදායකයේ අනුමැතිය අත්‍යවශ්‍යය. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ව්‍යුහයක අන්තර්ගත රාජ්‍ය මූල්‍ය වගකීම පිළිබඳ මූලික මූලධර්ම දෙකක් මෙහිදී අවධානයට ලක් විය යුතුය.

එනම්,

 (අ ) ආදායම් නැංවීමට සහ වියදම් දැරීම සඳහා ව්‍යවස්ථාදායකයේ පූර්ව අනුමැතිය ලබාගත යුතුය

 (ආ)  රාජ්‍ය වියදම් පිළිබඳව අධීක්ෂණය ද ව්‍යවස්ථාදායකය සතු කාර්යයකි.

 



ව්‍යවස්ථාදායකගේ පූර්ව අනුමැතියකින් තොරව ආදායම් උත්පාදනයට හෝ කිසිදු වියදමක් දැරීමට විධායකයට බලයක් නොමැත. එනම් රාජ්‍ය අරමුදල් වියදම් කිරීම මෙන්ම බදු පැනවීම ඔස්සේ ආදායම් රැස් කිරීමට අදාළ වන ප්‍රතිපත්ති පාර්ලිමේන්තුව විසින් ප්‍රථමයෙන් අනුමත කර තිබිය යුතුය. එමෙන්ම ආදායම් වියදම් පරතරය පියවා ගැනීම පිණිස රජය විසින් ණය ලබා ගැනීම සඳහාද පාර්ලිමේන්තුවේ පූර්ව අනුමැතිය ලබාගත යුතුය. අවශ්‍යතාවය පරිදි හෝ අදාළ තත්ත්වයන් යටතේ රජය අනුදත් පරිදි ආදායම් රැස්කිරීම සඳහා ව්‍යවස්ථාවේ පූර්ව  අනුමැතිය විධායක විසින් ලබාගත යුතුය.

එහෙත් වියදම් සඳහා විධායකය විසින් එක් ප්‍රධාන විධික්‍රමයක් පදනම් කරගනිමින් ව්‍යවස්ථාදායකගේ අනුමැතිය ලබා ගැනේ. එය වාර්ෂික විසර්ජන කෙටුම්පතයි. ඉන් අදහස් වනුයේ විධායකයට රිසිසේ වියදම් කළ නොහැකි බවයි. රජය විසින් විවිධ ආදායම් මූලාශ්‍ර ඔස්සේ මහජනතාවගෙන් අරමුදල් රැස් කළද, ව්‍යවස්ථාදායකයේ (පාර්ලිමේන්තුවේ) අනුමැතිය ලබා නොගෙන එලෙස රැස්කරන අරමුදල් වියදම් කළ නොහැක. එයට අමතරව රාජ්‍ය මුදල් පාලන කාර්යයේ ප්‍රදාන අංගයක් ලෙස වියදම් කෙලෙස සිදුවන්නේ ද යන්න පිළිබඳව අධීක්ෂණ කටයුතු ද ව්‍යවස්ථාදායකයේ සතුය.

 



වාර්ෂික විසර්ජන කෙටුම්පතට අමතරව රාජ්‍ය මුදල් වියදම් දැරීම පිණිස ව්‍යවස්ථාදායකයෙන් අනුමැතිය ලබා ගන්නා තවත් විධික්‍රමයක් විධායකය විසින් යොදා ගැනේ. එමෙන්ම රාජ්‍ය ණය ලබා ගැනීම පිණිස ද මෙම විධික්‍රමය භාවිතා කෙරේ. මුදල් වර්ෂයක් තුල කෙටි කාල පරිච්චේදයක් සඳහා ශ්‍රී ලංකාවේ උපයෝගී කර ගන්නා මෙම විධික්‍රමය අතුරු සම්මත ගිණුම ලෙස හඳුනා ගැනේ. අවශ්‍යතාවය, තත්කාලීන පරිසරය, නීතිය හා භාවිතයන් ආදිය මත පදනම් වෙමින් සමහර රටවල් අන්තර් කාලීන අයවැය, අතුරු අයවැය ආදී වෙනත් ස්වරූපයේ අයවැය සඳහාද ව්‍යවස්ථාදායකයේ අනුමැතිය ලබා ගනියි.

වරින් වර මතුවන අතිරේක වියදම් පිළිබඳ යෝජනා ව්‍යවස්ථාදායකයන් අනුමත කර ගැනීමට ශ්‍රී ලංකාවද ඉඳහිට යොමු වී ඇත. එහෙත් එය අයවැයක් ලෙස නොසැලකිය යුතුය. මුදල් වර්ෂයක් තුළ පුරෝකතනය නොකළ මෙන්ම අනපේක්ෂිත ලෙස වියදම් ඉහළ ගිය අවස්ථාවක එවැනි අතිරේක වියදම් යෝජනා ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කොට සම්මත කර ගැනේ.

අතුරු සම්මත ගිණුමක් යනු කුමක්ද?

සම්මත වූ වාර්ෂික අයවැයක් නොමැති තත්ත්වයක් යටතේ කෙටිකාලීන වශයෙන්  වියදම් දැරීමේ විධික්‍රමයක් ලෙස අතුරු සම්මත ගිණුම් ක්‍රමය බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් බොහෝ රටවල භාවිතා කෙරේ. සම්මත වූ අයවැයක් නොමැති තත්ත්වයක රාජ්‍ය සේවාවන් බිඳ වැටීම වළක්වාලමින් අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව මහජනතාවට ලබාදීම පිණිස මෙම කෙටිකාලීන වියදම් කිරීමේ විධික්‍රමය යොදා ගැනේ. ඉදිරි මුදල් වර්ෂය සඳහා අයවැයක්  ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර නොමැති අවස්ථාවක ඒකාබද්ධ අරමුදලින් මුදල් ලබාගැනීම පිණිස පාර්ලිමේන්තුවේ අවසරය ලබාදීමේ විශේෂිත වැඩපිළිවෙලක් ලෙසද අතුරු සම්මත ගිණුම සැලකිය හැකිය.

නිශ්චිත කාල පරිච්ඡේදයක් සඳහා (මුදල් වර්ෂයක් ) වියදම් ඇස්තමේන්තුවක් මෙන්ම එම වියදම් පියවා ගැනීම පිණිස අදාළ වන ආදායම් යෝජනාද ඇතුලත්ව, රජයේ මුදල් තත්ත්වය පිළිබඳව කෙරෙන ප්‍රකාශය අයවැයක් ලෙස පොදුවේ හැඳින්විය හැකිය. රාජ්‍ය මුදල් වියදම් කරන ආකාරය මෙන්ම ඒ සඳහා මුදල් උපයා ගන්නා ආකාරය ද වාර්ෂික අයවැය ලේඛනයක අන්තර්ගතය.  


මුදල් වර්ෂය ඇරඹීමට ප්‍රථම ව්‍යවස්ථාදායකය විසින් අයවැය අනුමත  කර නොමැති අවස්ථාවක, නිශ්චිත රාජ්‍ය සේවාවන් සැපයීම සඳහා කෙටි කාලයකට හෝ වැය කිරීමට ප්‍රමාණවත් මුදලක් රජය සතු විය යුතුය. පාර්ලිමේන්තුව තුළදී අතුරු සම්මත ගිණුමක් දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය නොවන අතර බොහෝ අවස්ථාවල ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කෙරෙනු ඇත. ඒ යටතේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, ණය පොලී ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම, සහනාධාර ලබා දීම ආදිය  සඳහා අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලට වියදම් දැරීමට බලය ලැබෙනු ඇත. එසේ වුවද නව වියදම් යෝජනා අතුරු සම්මත ගිණුමකට ඇතුළත් නොවේ.

අතුරු සම්මත ගිණුමක ස්වභාවය


election in sri lanka 2019

රාජ්‍ය අයවැයක මෙන් නොව අතුරු සම්මත ගිණුමක අන්තර්ගත වනුයේ වියදම් අංශය පමණි. එනම් මුදල් වර්ෂයක නිශ්චිත කාල පරිච්ඡේදයක් සඳහා වියදම් දැරීමට පමණයි මෙයින් අනුමැතිය ලැබෙන්නේ. එම අනුමැතිය මාස තුන හතරක් වැනි කෙටිකාලයකට පමණක්  සිමාවේ. අතුරු සම්මත ගිණුම ක්‍රියාත්මක කිරීමට බලපෑ නිශ්චිත තත්ත්වයන් (උදාහරණයන් ලෙස මැතිවරණ) නිමවූ පසුව වාර්ෂික අයවැය ඉදිරිපත් කරනු ඇත. එලෙස මුදල් වර්ෂය සඳහා ඉදිරිපත් කරන අයවැය තුළ අතුරු සම්මත ගිණුමට ඇතුළත් වූ සියලු වියදම් ද අන්තර්ගත කෙරෙනු ඇත.


ශ්‍රී ලංකාව තුළ හිඟ අයවැය පිළිවෙතක් කලක් තිස්සේ පවත්වාගෙන එන බැවින් අතුරු සම්මත ගිණුම තුළ වියදම් පිළිබඳ විස්තර වලට අමතරව එකී කාලයටම අදාලව ණය ගැනීමේ සීමාවන්ද ඇතුළත් කරමින් අනුමැතිය ලබාගෙනේ. අතුරු සම්මත ගිණුම පනතක් වශයෙන් සම්මත නොකෙරෙන අතර පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් වශයෙන් ක්‍රියාත්මක වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ නීතිමය විධිවිධාන


banner nsb ranmasu 2

1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XVII පරිච්ඡේදයේ 148 සිට 152 දක්වා ඇති ව්‍යවස්ථාවන් මගින් රටේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සඳහා වන ව්‍යවස්ථාමය පදනම සපයයි: ආදායම, ඒකාබද්ධ අරමුදල (CF), ඒකාබද්ධ අරමුදලෙන් අරමුදල් ආපසු ගැනීම, හදිසි අවස්ථා අරමුදල, සහ ආදායම් සම්බන්ධ පනත් කෙටුම්පත් හෝ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ක්‍රියා පටිපාටි එයට ඇතුලත්ය.


ඊට අමතරව, එම පරිච්ඡේදයේම 153 සහ 154 ව්‍යවස්ථාවල විගණනයට අදාල විධිවිධාන ඇතුලත්ය. රාජ්‍ය මුල්‍ය කළමනාකරණය පිලිබඳ පුළුල් සහ ප්‍රමුඛතම ප්‍රතිපාදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාවෙහි අන්තර්ගතවී ඇත. “රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන්නේය” යන්නෙන් එය ප්‍රකාශවී ඇත. 150 ව්‍යවස්ථාවෙහි  (1), (2), (3) සහ (4) යන උප ව්‍යවස්ථාවලින් ඒකාබද්ධ අරමුදලෙන් අරමුදල් ආපසුගැනීමේ දී පිළිපැදිය යුතු ක්‍රියා පටිපාටි සදහන් කර ඇත. රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධ මෙවැනිව්‍යවස්ථාමය විධිවිධාන බොහෝ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී රටවල බහුලව දක්නට ලැබේ.

150 වැනි ව්‍යවස්ථාවේ (3) උප ව්‍යවස්ථාව තුල සඳහන් ප්‍රතිපාදන වාර්ෂික විසර්ජන පනතකට පමණක් යොමුව තිබුණද,අතුරු සම්මත ගිණුමක් හෝ වෙනත් ආකාරයක වියදම් හෝ අයවැය සැකසීම් පිළිබඳ සඳහනක් නොමැත. නමුත් බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලීය භාවිතයන්  යොදාගන්න ඉන්දියාව වැනි සමහර රටවල අතුරු සම්මත ගිණුමක් වෙනුවෙන්වූ ප්‍රතිපාදන ව්‍යවස්ථාව තුළම අන්තර්ගතකර ඇත. මුදල්වලට අදාල පාර්ලිමේන්තු අනුමැතිය යන්න සාමාන්‍යයෙන් වාර්ෂික විසර්ජන පනත මගින් නිරුපනය කෙරේ. නමුත් අදාළ අනෙකුත් නීති සහ ක්‍රියා පටිපාටි ද රජයේ වියදම් කිරීම් වෙනුවෙන් අතිරේක නෛතික පදනමක් සපයයි.

 

state 240115

රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තුව සතු පූර්ණ පාලනය යන්නෙහි අර්ථය තුල, රාජ්‍ය වියදම් අධීක්ෂණය කිරීමේ බලයද ව්‍යවස්ථාදායකය සතුවන බවත්, ව්‍යවස්ථාදායකය විසින් අනුමත කරන ලද අදායම් සහ වියදම් සැලසුම්වලට විධායකය අනුගත වීමට අවසර දීමත්  ඉන් අර්ථවත් වන බවත්  සඳහන්ය කල යුතුය.


කෙසේ වෙතත්, මැතිවරණ වර්ෂයකදී, පවත්නා රජය ස්වකිය ප්‍රතිපත්ති මත පදනම්වූ වාර්ෂික අයවැයක් ඉදිරිපත් කරනවා වෙනුවට අතුරු සම්මත ගිණුම් විධික්‍රමය තෝරා ගනී. තාක්‍ෂණිකව බලනකල එම තත්ත්වයන් යටතේ, රජය විසින්  අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවේ. නමුත් එම වසරේම හෝ මැතිවරණය අවසන් වූ වහාම බලයට පත්වන්නාවූ නව රජයට පිළිගත හැකි හෝ පිළිගත නොහැකි ප්‍රතිපත්ති යටතේ අයවැයක් සම්මත කිරීම නුසුදුසු ය.

 

images 63

ඡන්ද විමසීමෙන් පසු අලුතින් පිහිටුවන රජයට පසුගිය රජයේ අයවැය ප්‍රතිපාදනවලින් බරක් වන තත්ත්වය වළක්වන යාන්ත්‍රණයක් ද අතුරු සම්මත ගිණුම් විධික්‍රමය තුල ඇතුලත්ය. මැතිවරණ වර්ෂයකදී වාර්ෂික අයවැයක් වෙනුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීම රජයට අනිවාර්යද? මැතිවරණ වර්ෂයකදී වුවද අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීම රජයකට අනිවාර්ය නොවේ. අතුරු සම්මත ගිණුම් විධික්‍රමය උපයෝගිකරගනිමින් වියදම් කිරීමට අවශ්‍ය අනුමැතිය ලබාගැනිම සම්ප්‍රදාය වුවද, රජයකට අවශ්‍ය නම් මැතිවරණ වර්ෂයකදී පවා වාර්ෂික අයවැයක් වෙනුවෙන් විසර්ජන කෙටුම්පතක් වුවද සම්මත කර ගැනීමට නීතිමය භාදාවක් නොමැත.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අතුරු සම්මත ගිණුමක් සඳහා වන නිශ්චිත ප්‍රතිපාදන සලසා නොතිබුණද, 2024 අගෝස්තු මාසයේදී සම්මත කරන ලද අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන අන්තර්ගත කර ඇත. එම පනතේ 23 වැනි වගන්තියේ මෙසේ සඳහන් වේ.

government 1

"23. (1) පවත්නා වර්ෂයේ දෙසැම්බර් තිස් එක් වන දිනය  වන විට ඉදිරි වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු නොලැබුවහොත් මුදල් අමාත්‍යවරයා විසින් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා සහ නිශ්චිත රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා මුදල් වෙන්කල යුතු අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතුය.

(2) අතුරු සම්මත ගිණුම යටතේ වියදම් වෙන් කරනු ලබන කාලසීමාව මාස හතරකට වැඩි නොවියයුතු අතර අතුරු සම්මත ගිණුම යටතේ වියදම් කරනලද මුදල්  ද ඇතුලත්ව  විසර්ජන පනත සම්මත කරගත යුතුය.”


ඉහත සඳහන් විධිවිධාන අනුව, අතුරු සම්මත ගිණුමක් මත පදනම් වූ වියදම් මාස හතරක සිමාවෙන් ඔබ්බට සිදු කළ නොහැක. දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ නිශ්චිත රාජ්‍ය සේවාවන් අඛන්ඩව පවත්වාගෙන යාමට මෙම වියදම් දැරිය යුතුය. තවද, මුදල් අමාත්‍යවරයා විසින් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ද මෙම ප්‍රතිපාදනයේ සඳහන් වේ.

වාර්ෂික අයවැය සහ අතුරු සම්මත ගිණුම

 

income ex

*වාර්ෂික අයවැය (සම්පූර්ණ අයවැය) වියදම් සහ ආදායම් යන අංශ දෙකම සලකිල්ලට ගනු ලබන නමුත් අතුරු සම්මත ගිණුම තුල රජයේ වාර්ෂික අයවැයේ වියදම්  අංශය පමණක්  සලක බැලේ .

*අතුරු සම්මත ගිණුමක් සාමාන්‍යයෙන් මාස කිහිපයක් සඳහා වලංගු වේ. නමුත් වාර්ෂික අයවැයක් මාස 12 ( මුදල් වර්ෂයක්) සඳහා වලංගු වේ.

*අතුරු සම්මත ගිණුම සම්ප්‍රදායිකව දීර්ඝ සාකච්ඡාවකින් තොරව පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබේ. සාකච්ඡාවක් කෙරුණත් එය දවසකට දෙකකට සීමාවේ. එහෙත් වාර්ෂික අයවැයක් (විසර්ජන පනත් කෙටුම්පත) පාර්ලිමේන්තුව තුළ අනුමත කිරීම සිදුවන්නේ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව සහ අවශ්‍යතාව මත ඡන්දය දීමෙන් පසුවය.

*අතුරු සම්මත ගිණුම හරහා අදායම් රැස්කිරීමේ නිති රීති  වෙනස් කළ නොහැක. එහෙත් වාර්ෂික අයවැය යටතේ අලුත් අදායම් පිලිබඳ නීති හඳුන්දිවාදිය හැකිය . එමෙන්ම පැරණි අදායම් නීති ඉවත්කලහැකිය.

අතීත භාවිතයන් :

 ඩොනමෝර් ව්‍යවස්ථාව 1931-47, සෝල්බරි ව්‍යවස්ථාව 1948-71; පළමු ජනරජ ව්‍යවස්ථාව 1972-1977; සහ 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව ද ඇතුලත්ව, 1931 සිට අද දක්වා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිසිදු ව්‍යවස්ථාවක අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් විධිවිධාන සලසා නොමැත. නිශ්චිත ව්‍යවස්ථාමය විධිවිධාන නොමැති වුවද, 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාව ආරම්භ වූ දින සිට අතුරු සම්මත ගිණුම් රාශියක් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය විසින් සම්මත ඇත.  



පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මහා භාණ්ඩාගාරය විසින් නිශ්චිත කාල සීමාවක් සඳහා සකස් කරන ලද වියදම් ලැයිස්තුවකි අතුරු සම්මත ගිණුම. එය  මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් අදාල පටිපාටි යටතේ පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කරනු ලැබේ. වාර්ෂික අයවැයකදී (විසර්ජන පනත් කෙටුම්පත) මෙන් එය විවාදයට නොගත් අතර එකඟතාවක් නොමැති අවස්ථාවලදී පමණක් නම් එය ඡන්දයට ඉදිරිපත් කරන ලදී. රජයේ විධායකය  විසින් වියදම් දැරීමට පෙර මෙම ක්‍රියාවලිය සම්පූර්ණ කළ යුතුය. අදාළ මුදල් වර්ෂය සඳහා වාර්ෂික අයවැය ඉදිරිපත් කරන විට, එම අ තුරු සම්මත ගිණුමට  ගැනුණු   වියදම්  අයවැයට අන්තර්ග්‍රහණය කරන ලදී.


වියදම් කිරීමට බලය ලබාගැනීම වෙනුවෙන් ව්‍යවස්ථාදායකයේ අනුමැතිය ලබා ගැනීම පිණිස නිශ්චිත තත්වයන් යටතේ ශ්‍රී ලංකාව අතුරු සම්මත ගිණුම් විධික්‍රමය පසුගිය දශක නවය පුරාවට යොදාගත් ආකාරය පහත වගුව 1 මගින් විස්තර කෙරේ.




මූලාශ්‍ර: මුදල් අමාත්‍යාංශය, වාර්ෂික වාර්තා
ශ්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තා


1931 සිට, 2020 දක්වා  පසුගිය දශක නවය තුළ ව්‍යවස්ථාදායකය විසින් අනුමත කරන ලද අතුරු සම්මත ගිණුම් 14ක් ඇත. මෑත දශකවලදී විශේෂයෙන් 1970 ගණන්වල සිට අතුරු සම්මත ගිණුම් බහුලව යොදා ගෙනතිබේ. හිඟ මූල්‍යකරණ තත්වයන් හේතුවෙන්, ණය ගැනීමේ සීමාවන් ද අතුරු සම්මත ගිණුම මත පදනම් වූ වියදම්වල කොටසක් ලෙස සලකා ඇත.  

සාමාන්‍යයෙන්, අතුරු සම්මත ගිණුම් මාස හතරක් දක්වා වන කාල පරාසයකට අනුමත කර තිබේ. මීට අමතරව, අත්තිකාරම් ගිණුම හා සම්බන්ධ වියදම් ද අතුරු සම්මත ගිණුම් ක්‍රියාවලියේ කොටසක් වශයෙන්  අන්තර්ගත වීඇත .

සාරාංශය :

වාර්ෂික අයවැයක් පාර්ලිමේන්තුව විසින් අනුමත කරන තෙක් රජයේ වියදම් දැරීම  පිණිස ලබාදෙන කෙටි කාලීන මූල්‍ය විධිවිධානයක් වශයෙන් අතුරු සම්මත ගිණුම සැලකිය යුතුය. සම්මතකළ වාර්ෂික අයවැයක් නොමැති විට රාජ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වා ගැනිම පිණිස මුදල් වර්ෂය තුළ කෙටි කාලයක් සඳහා වියදම් දැරීමට නීත්‍යානුකූල පදනමක් මෙමගින් විධායකයට සපයයි. සම්ප්‍රදාය අනුව එය යෝජනාවක් ලෙස ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කෙරේ.

ef039cfd6db2d9686b76c427c3e53c67 XL 1200x550

අතුරු සම්මත ගිණුම සඳහා යොදාගත් සියලු වියදම්, ඊළඟට අයවැය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන විට, අන්තර්ග්‍රහණය කලයුතුවේ.  ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන නොමැති සන්දර්භයක් යටතේ බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලීය පිළිවෙත් අනුව යමින් 2020 දක්වා පාර්ලිමේන්තුව විසින් සම්මත කළ  යෝජනාවක් ලෙස අතුරු සම්මත ගිණුම් වියදම් ක්‍රමය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වී ඇත.  


1970 ගණන්වල සිට අතුරු සම්මත ගිණුම ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වි ඇත. විශේෂයෙන් ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ වැනි සන්දර්භයක් තුල, පවත්නා රජය විසින් වාර්ෂික අයවැයක් ඉදිරිපත් කිරීම නුසුදුසු බැවින්, රාජ්‍ය වියදම් දැරීමට අවශ්‍ය නෛතික පදනම සපයා  ගැනීමට අතුරු සම්මත ගිණුම යොදා ගැනේ.

අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දශක ගණනාවක් තිස්සේ පැවති විශාලතම නීතිමය අඩුපාඩුව 2024 දී පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නීතියක් මගින් යථාවත් කරන ලදී.

dr r h s samaratunga
(ආචාර්ය  R.H.S. සමරතුංග)
මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් හා
අටවන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හිටපු ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක
ransamaratunga@gmail.com


(උපුටා ගැනීම : 2024 දෙසැම්බර් 03 ලංකාදීප පුවත්පතින් )


Vote on Account - (Dr. R.H.S. Samaratunga)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...