The Leader News
BREAKING
ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●
Top Ad
විශේෂාංග

වාමාංශිකයින්ට අද තිබෙන විකල්පය ධනවාදය රැකීම ද? - (අජිත් රාජපක්ෂ)

T

The Leader Desk

December 5, 2024 • 8:45 AM

වාමාංශිකයින්ට අද තිබෙන විකල්පය ධනවාදය රැකීම ද? - (අජිත් රාජපක්ෂ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමන් සමාජවාදීන් සහ මාක්ස්වාදීන් යැයි කියන සහ ඒ සදහා දීර්ග කාලයක් සටන් කල කණ්ඩායමක් මේ මොහොතේ රාජ්‍ය බලය අත්පත්කරගෙන සිටින නිසා නව රජය ක්‍රියාත්මක කරන්නට යන්නේ සමාජවාදයද නැත්නම් ධනවාදයද යන සාධාරණ ප්‍රස්නය මතුවෙනවා.
  • මෙවැනිම මාක්ස්වාදීන්ගෙන් සමන්විත වාමාංශික කණ්ඩායමක් 1970 වසරේදී ශ්‍රි ලංකා නිදහස් පක්ශය සමග එක්ව ගොඩනැගූ සමගි පෙරමුණු සංධාන රජයේ ප්‍රදාන ඇමතිදූර කිහිපයක් දැරුවා.
  • එහි ප්‍රථිපලයක් ලෙස රටේ විශාල ආහාර අර්බුදයක් සහ භාණ්ඩ හිගයක් ඇතිවුනා.
  • ඇත්තටම ජාතික ජනබලවේගය පෙනීසිටින්නේ සමාජවාදය වෙනුවෙන්ද නැතිනම් ධනවාදය ආරක්ෂා කිරීමටද?
අකුරු ප්‍රමාණය (Font Size):

තමන් සමාජවාදීන් සහ මාක්ස්වාදීන් යැයි කියන සහ ඒ සදහා දීර්ග කාලයක් සටන් කල කණ්ඩායමක් මේ මොහොතේ රාජ්‍ය බලය අත්පත්කරගෙන සිටින නිසා නව රජය ක්‍රියාත්මක කරන්නට යන්නේ සමාජවාදයද නැත්නම් ධනවාදයද යන සාධාරණ ප්‍රස්නය මතුවෙනවා. ඒ නිසා මේ මාතෘකාවට ඉතා කාලීන වැදගත්කමක් තියෙනවා.

 

අලුත් ආණ්ඩුවේ ප්‍රදාන අමාත්‍යාංශ වන මුදල්, ආර්ථික, ආරක්ශක, විදෙස් සම්බන්ධතා, ඉඩම්, සෞඛ්‍ය , කෘෂිකර්මාන්තය, කම්කරු, කර්මාන්ත, වරාය, ප්‍රවාහන යන ආදී අමාත්‍යාංශ සියල්ල මෙහෙයවන්නේ මෙම වාමාංශික කණ්ඩායමයි. මෙවැනිම මාක්ස්වාදීන්ගෙන් සමන්විත වාමාංශික කණ්ඩායමක් 1970 වසරේදී ශ්‍රි ලංකා නිදහස් පක්ශය සමග එක්ව ගොඩනැගූ සමගි පෙරමුණු සංධාන රජයේ ප්‍රදාන ඇමතිදූර කිහිපයක් දැරුවා. විශේෂයෙන් බලගතු මුදල් ඇමතිධුරය දැරුවේ සම සමාජ පක්ශයේ නායක ආචාර්ය එන් එම් පෙරේරා. කණ්ඩායම කුඩා වුවත් ඒ යුගයේ සෝවියට් සමාජවාදී සමූහ ආණ්ඩුව බලවත්ව පැවති හෙයින් සමාජවාදී ආර්ථික වැඩපිලිවෙලකට එදා ලොකු ඉඩ කඩක්ද තිබුනා.

එදා එම කණ්ඩායම නියෝජනය කලේ උගත්, බුද්ධිමත්, බටහිර රටවල අධ්‍යාපනය ලද ඉහල මැද පංතියයි. නමුත් ඔවුන්ගේ මැදිහත්වීමෙන් දියත්කල දේශීය ආර්ථිකය දියුනු කිරීමේ වාමාංශික වැඩපිලිවෙල අසාර්ථක උනා. එහි ප්‍රථිපලයක් ලෙස රටේ විශාල ආහාර අර්බුදයක් සහ භාණ්ඩ හිගයක් ඇතිවුනා. විරැකියාව වැඩිඋනා. ආර්ථිකය එක තැන පල්වෙන්න පටන් ගත්තා. ඒ නිසා එම ආර්ථික වැඩපිලිවෙලට විකල්පව විවෘත වෙළදපොල ආර්ථික ක්‍රමයක් යෝජනාකල කොම්පදෝරු ධනපතියන්ගෙන් සමන්විත දක්ශිනාංශික එක්සත් ජාතික පක්ශය 1977 දී 5/6 ක විශාල බලයක් ලබාගෙන බලයට පත්වූවා. 

 

පශ්චාත්-මාක්ස්වාදය ඔස්සේ සහශ්‍රක සමාජවාදය දක්වා (සයවෙනි කොටස) : සුමිත්  චාමින්ද
අද ඊට වසර 47 කට පසු, මාක්ස්වාදය, සමාජවාදය, වෙනුවෙන් දශක ගනනාවක් ධනවාදයට, ඇමරිකන් අධිරාජ්‍යවාදයට සහ විවෘත ආර්ථික ක්‍රමයට විරුද්ධව සටන්කල ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් ගොඩනගා ගත් ජාතික ජන බලවේගය 2/3 ක පාර්ලිමේන්තු බලයක් අත්පත් කරගෙන සිටිනවා. ඒ නිසා වෙන කවදාටත් වඩා මේ මාතෘකාව වැදගත් වෙනවා. ඇත්තටම ජාතික ජනබලවේගය පෙනීසිටින්නේ සමාජවාදය වෙනුවෙන්ද නැතිනම් ධනවාදය ආරක්ෂා කිරීමටද? සමාජවාදී ප්‍රතිපත්තිවල මුල් බැසගත් පක්ෂයකට ආර්ථික වශයෙන් බංකොලොත් වූ රටක් සාර්ථකව ගොඩගත හැකිද? මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට සමාජවාදයේ සහ ධනවාදයේ ඉතිහාසය නැවත ආවර්ජනය කිරීම වැදගත් වේ.

සමාජවාදය

සමාජවාදය ප්‍රථම වතාවට යතාර්ථයක් වූයේ සෝවියට් රුසියාවේය. ඉන්පසු එය නැගෙනහිර යුරෝපය පුරාත්, ඊට පසු චීනය, කියුබාව, උතුරු කොරියාව සහ වියට්නාමය දක්වා පැතිරගියේය. ඒ සමගම ධනවාදී ආර්ථිකය ලෝකය පුරා ප්‍රවර්ධනය කල ඇමරිකාවත් සමාජවාදය ලෝකයේ ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කල සෝවියට් දේශයත් අතර සීතල යුද්ධයක් ආරම්භ විය. කෙසේවෙතත් මුලදී ලෝක සමාජවාදය වෙනුවෙන් කැපවූ සෝවියට්දේශය ක්‍රම ක්‍රමයෙන් තමන්ගේ රටේ සමාජවාදය පමනක් ආරක්ෂා කරගැනීමේ තැනට පල්ලම් බැස්සේය. ඒනිසා සමාජවාදය ලෝකයපුරා පැතිරයාම එතනින් කෙලවරවිය.

 

Joseph Stalin and Nikita Khrushchev 
ලෝක සමාජවාදී කදවුරක් ගොඩ නගන්නේ නැතිව ධනවාදය අභිමුකයේ සමාජවාදී ආර්ථික ක්‍රමය පවත්වාගත නොහැකිබව විශ්වාස කල මාක්ස්වාදී චින්තනය ස්ටාලින් විසින් බැහැර කරන ලදී. එහි ප්‍රතිපලයක් ලෙස සෝවියට් රාජ්‍යය ක්‍රම ක්‍රමයෙන් පරිහානයට යමින් දරුනු ඒකාධිපතිවාදයක් දක්වා තල්ලුවිය. විරුද්ධ මතවාද, අදහස්, පලකල අය සිරගෙවල් වලට ගාල් කෙරුනි. 1917 සමාජවාදී සෝවියට් දේශය ගොඩනැගීමට මුල්වු නායකයන් සියල්ලම පාහේ ස්ටාලින් විසින් ඝාතනය කරන ලදී. ජීවිතය බේරාගෙන මෙක්සිකෝවට පැනගොස් සිටි සමාජවාදී රජයේ හිටපු ආරක්ශක ඇමති ලියෝන් ට්‍රොට්ස්කි පිටිපස හඹාගිය ස්ටාලින්ගේ ඝාතකයින් ඔහුද ඝාතනය කලේය. ස්ටාලින්ගේ පාලන සමය තුල මෙසේ මරාදමන ලද ප්‍රමාණය මිලියනයකට වඩා වැඩිය. තවත් මිලියන ගනනාවක් සාගතය නිසා මිය ගියේය.

සමාජවාදී ආර්ථිකය ක්‍රම ක්‍රමයෙන් පරිහානයට යද්දි සෝවියට් දේශය නිසා යැපුනු කුඩා සමාජවාදී ආර්ථිකද පරිහානයට ගියේය. මීට සමගාමීව ඇමරිකාව මූලිකත්වයෙන් ධනවාදී ආර්ථිකය ලෝකය පුරා විශාල වශයෙන් වර්ධනය විය. අවසානයේ සෝවියට් දේශයේ සහ යුරෝපයේ සමාජවාදී ආර්ථික කඩාවැටී විශාල ජනතා නැගිටීම් ඇතිවූ අතර අවසානයේ සියල්ල ධනවාදයට යටවිය. කියුබාව සහ උතුරු කොරියාව දැඩි ස්තාවරයක් ගනිමින් දරුනු ඒකාධිපතිවාදයක් හරහා සමාජවාදී ආර්ථික පවත්වාගෙන ගියත් මේ රටවල ජනයා ජීවත්වන්නේ ඉතාමත් දුක්කිත ආර්ථික තත්ත්වයන් තුලය.

 

74 වන ජාතික දිනය සමරන චීන මහජන සමූහාණ්ඩුව - නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර

කොමියුනිස්ට් පක්ශයේ ඒකාධිපති පාලනයකට නතුව පවතින මේ රටවල ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂනයන් ඇත්තේ නැත. චීනය හා වියට්නාමයද කොමියුනිස්ට් පක්ශයේ ඒකාධිපති බව එසේම පවත්වාගෙන ගියත් සමාජවාදී ආර්ථික ක්‍රමය වෙනුවට ධනවාදය වැලදගෙන ඇත. ධනවාදය නිරන්තරයෙන්ම ප්‍රාග්ධනය හිමි එක්තරා සුලු පිරිසක් විසින් ප්‍රවර්ධනය කරනු ලබන අතර ඔවුන් ගොඩනගාගන්නා ඒකාධිකාරී බලය හරහා විශාල ප්‍රතිලාබ එක් රැස් කරයි. මේ ධනවාදී ආර්ථික ක්‍රමයට දායකවන පුරවැසියන්ට නොයෙකුත් රැකියා අවස්ථා, නිවාස, ජීවන මට්ටම් ඉහල යෑම් යනාදී වාසි ලැබෙන නමුත් ප්‍රාග්ධන හිමියා අධික ලාභ එකතුකරගනී. ඒ නිසාම වැඩකරන මිනිසුන් සහ ප්‍රාග්ධනය හිමි මේ ඉහල පැලැන්තිය අතර තිබෙන පරතරය හා ගැටුම ඉතා සීග්‍රයෙන් ඉහල යයි. එසේම අධික ලාබ ලැබීමේ පරමාර්ථය සදහා මිනිස් වටිනාකම්, ආරක්ශාව, සෞඛ්‍ය, පරිසරය, නිදහස යන සියල්ල බිල්ලට ගනී.

අද ධනවාදී ආර්ථික ක්‍රමයක් ගෙනයන චීනය වැනි සමාජවාදී යැයි කියන රටවලද සිදුවන්නේ එයයි. යුරෝපීය සහ ඇමරිකානු වෙළදපොල සදහා ඉදිකට්ටේ සිට සංකීර්ණ යන්ත්‍ර සූත්‍ර දක්වා නොයෙකුත් භාණ්ඩ නිශ්පාදනය කරන චීන කම්කරුවන් වැඩකරන්නේ ඉතා අමාරු තත්වයන් යටතේය. ඔවුන් වෙනුවෙන් පෙනීසිටීමට ස්වාධීන වෘත්තීය සමිති නැත. නිදහස් මාධ්‍යන් නොමැත. වැඩපලේ තිබියයුතු සෞඛ්‍ය සහ ආරක්ශා තත්වයන් සම්පූර්ණයෙන්ම වාගේ නොතකා හැර ඇත. චීනය තුලද මේ නිශ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වී සිටින කොමියුනිස්ට් පක්ශයේ නිලධාරීවාදයත් සමග කිට්ටුවෙන් ගනුදෙනු කරන කර්මාන්ත ශාලා හිමි අලුත් ගජමිතුරු ධනපති පංතියක් බිහිවී ඇත. ඒ නිසා චීනය තුලද ඇති නැති පරතරය ඉතා විශාලය. නමුත් ඇමරිකාව සමග සම්මුතියෙන් ආරම්භ කල ධනවාදී ආර්ථික ක්‍රමය හරහා කෝටි ගනනක් ජනයා දුගී බාවයෙන් මුදවාගෙන ඇත. එසේ කිරීමට නොහැකිවූයේ නම් චීන කොමියුනිස්ට් පක්ශයටද සිදුවන්නේ රුසියන් කොමියුනිස්ට් පක්ශයට සිදුවූ දේමය.

 

ධනවාදය:

 

පුවත් - Results from #8295


ආර්ථික ක්‍රමයක් ලෙස ධනවාදය සමාජවාදයට වඩා කාර්යක්ෂම සහ පලදායී බව බොහෝ අයගේ පිලිගැනීමයි. සෝවියට් දේශය ගොඩ නැගූ මුල් අවදියේ ධනවාදී වෙළදපොල ආර්ථික ක්‍රමය මගින් මුලින් ආර්ථිකය සංවර්ධනය කලයුතු බවට ලෙනින්ද තර්ක කලේය. ආර්ථික වශයෙන් ඌන සංවර්ධිත සහ සමාජීය වශයෙන් පසුගාමී රටක නිෂ්පාදනය ඉහල දමා සමාජවාදය කරා යාමට අවශ්‍ය පදනම සකස්කල ගතයුතු බවට ඔහු තර්ක කලේය. ඔහු තර්කකලේ සමාජවාදයට රුසියාව තවම සූදානම් නැති බවයි. ඔහු යෝජනා කලේ රාජ්‍ය ධනවාදයයි. එවකට ජර්මනියේ තිබූ ආර්ථික මොඩලය ඉතා සුදුසු බව ලෙනින් කල්පනා කලේය. ඒ මොහොතේ ආර්ථිකය ඉතා අමාරු තත්වයක තිබූ අතර ආහාර පාන සලාක ක්‍රමයකට ලබාදුනි. නමුත් ටොට්ස්කි ඇතුලු අනිත් දැඩි මතදාරීන් පෙනී සිටියේ ධනවාදය මගහැර කෙලින්ම සමාජවාදය කරා යන නොනවතින විප්ලව නියායේය. ධනවාදී ආර්ථික ක්‍රමවේදය ඔවුන් ප්‍රතික්ෂේප කලේය.
 
සමාජවාදී ආර්ථික ක්‍රියාමාර්ග හරහා සෝවියට් දේශය ක්‍රම ක්‍රමයෙන් විශාල ආර්ථික දියුනුවක් කරා ලගාවූවත් දිගටම එය පවත්වාගෙන යෑම අසීරු විය. ක්‍රම ක්‍රමයෙන් නිලධාරිවාදය, අකාර්යක්ෂම බව, තරගකාරීතවයක් නොමැතිකම, ගෝලීය බලපෑම් ‍යනාදිය තීව්‍ර විය. ආර්ථිකය එකතැන පල්වූ අතර, උද්ධමනය සහ භාණඩ හිගය උග්‍රවිය. එලෙසම මධ්‍යගත ආර්ථික ක්‍රමය ඉතාමත් අකාර්යක්ෂම විය. උදාහරණයකට මධ්‍යගත ක්‍රමයට මුලු මොස්කව් නුවරටම රජයේ මැදිහත්වීමෙන් පාන් නිශ්පාදනය කිරීමට උත්සාහ කලත් නිතරම එක්කෝ පාන අධික ලෙස නිශ්පාදනය කෙරුනි නැත්නම් අවශ්‍ය ප්‍රමාණය ලබා දීමට අපොහොසත් විය.
464830534 8695507750536071 4511836849609393025 n
 
මේ අතර ධනවාදී නිදහස් වෙළදපොල ක්‍රියාත්මක වූ පැරිස් නුවර පාන් නිශ්පාදනය ඉතා සාර්ථකව කරගෙන යෑමට ස්වාධීනව ක්‍රියාත්මක වූ පෞද්ගලික බේකරි හිමියන්ට පුලුවන් විය. පැරිස් වාසීන්ට අවශ්‍ය පාන් ප්‍රමාණය තීරනය කිරීමට රජය හෝ දේශපාලන පක්ශ මැදිහත් නොවූ අතර ඉල්ලුම සැපයුම අනුව නිශ්පාදනය කලයුතු පාන් ප්‍රමාණය බේකරිකරුවන් අපූරුවට තේරුම් ගත්තේය. මෙන්න මේ සුලු උදාහරණය තරගකාරී විවෘත වෙළදපොලේ සහ මධ්‍යගත සමාජවාදී ආර්ථික ක්‍රමයේ ඇති අකාර්යක්ෂම බව තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය. සෑම අවස්ථාවකදීම නිලධාරි තන්ත්‍රයක් විසින් සැලසුම් කරන ලද මධ්‍යගත ආර්ථිකයට එරෙහිව වෙළෙඳපොළ පදනම් කරගත් ආර්ථිකයක් ජයගන්නා බව ධනවාදය විශ්වාස කරන අයගේ මතයයි.

ධනවාදය තුල ඇති ප්‍රතිවිරෝධතා

ධනවාදයට විශාල ආර්ථික වර්ධනයක් ඇතිකිරීමට හැකි වුවත් දුප්පතුන් සහ පොහොසතුන් අතර විශාල පරතරයක් නිර්මානය කලේය. ධනය එක්තරා සුලු කොටසක් අතර රැදුනු අතර සාමාන්‍ය වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් ඉහලට නොගියේය. 1917 දී ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 7500 ක් පමන වූ අතර 2023 වනවිට එය ඩොලර් 82,000 සීමාව ඉක්මවා ඉහල ගොස් ඇත. එලෙසම දළ ජාතික ආදායම ඩොලර් බිලියන 9,800 සිට ට්‍රිලියන 27 දක්වා ඉහළ ගොස් ඇත. 

කෙසේවෙතත් ඇමරිකාවේ සියලු වත්කම් වලින් සියයට 30 කට වැඩිය අයිති කරගෙන සිටින්නේ 1% ක් වන ධනකුවේරයන්ය. පහලම අඩියේ සිටින 50% කට ඇත්තේ රටේ මුලු වත්කම් වලින් 2.5% ක් පමන සුලු ප්‍රමාණයකි. මේ කොටස් තනිකරම සතිපතා ලැබෙන වේතන මත යැපෙන පිරිසකි. ඇමරිකාවේ පමනක් නොව සමස්ත ලෝකයේම තත්වය මෙසේය. අද ලෝකයේ සිටින ධනවත්ම 1% ක පිරිස හිමිකරගෙන ඇති වත්කම් ප්‍රමාණය සෙසු 99% ටම හිමි වත්කම වගේ දෙගුනයකට වැඩිය. ලෝක බැංකුවේ දත්තවලට අනුව අද ලෝක ජනගහනයෙන් 44% ක් ජීවත්වන්නේ දවසකට ඩොලර් 7 කට වඩා අඩු ආධායමකිනි. ලෝක ජනගහනයෙන් 8.5%ක් ජීවත්වන්නේ ඩොලර් 2.5 කටත් වඩා අඩු ආධායමකිනි.
 
p05n7yfwස්කොට්ලන්ඩ් ජාතික ඇඩම් ස්මිත්
නවීන ධනවාදී වෙලදපොළ ආර්ථිකයේ පියා ලෙස පිලිගැනෙන ස්කොට්ලන්ඩ් ජාතික ඇඩම් ස්මිත් යෝජනා කලේ ඉල්ලුම සැපයුම මත ක්‍රියාත්මක වන තරගකාරී ධනවාදී වෙළදපොල ආර්ථික ක්‍රමයකි. ඔහු මේ ක්‍රමය යෝජනා කරන ලද්දේ ලොකු සත්භාවයකිනි. නමුත් නොවැලැක්විය ලෙස ඇතිවන තරගකාරීත්වය සහ ලාබ උපරිම කරගැනීමට ඇති කෑදර කම නිසා වෙළදපොල ඒකාධිකාරීත්වයන් නිර්මානය කලේය. එලෙසම ඉන් අනතුරුව බිහිවූ බහුජාතික සමාගම්, කොටස් වෙළදපොල, මූල්‍ය වෙළදපොල, විවිධ මූල්‍ය ව්‍යත්පන්න, බැඳුම්කර වෙලඳපොලවල් යනාදිය ධනවාදයේ ඔහු නොදුටු බිහිසුනු පැත්ත නිර්මානය කලේය. සෑම දෙයක්ම වෙළඳ භාණ්ඩ බවට පත් කළේය. මේ නිසා තරගය සහ සූරාකෑම තවත් තිව්‍ර කලේය. එය විශාල ආර්ථික උත්පාත සහ අවපාත ඇතිකිරීමටත් ලෝකය පුරා බිහිසුනු යුද්ධ නිර්මානය කිරීමටත් දායකවුනි.
 
විකල්පය කුමක් ද?

සමාජවාදය මගින් විශාල වශයෙන් ධනය උත්පාදනය නොකලත් එය සමානත්මතාවය, සහජීවනය සහ මනුෂ්‍යයාගේ යහපත වෙනුවෙන් පෙනී සිටින්නේය. සමාජවාදය විසින් ධනය සාධාරණ ලෙස බෙදීයන රාජ්‍යය මුල්කරගත් ක්‍රමයක් යෝජනා කලත් එම ක්‍රමයට ආර්ථිකය සංවර්ධනය කිරීම සහ ධනය උපදවීම විශාල අභියෝගයකි. ඒ සදහා නිදහස් වෙළදපොල ආර්ථිකයක් අත්‍යාවශ්‍යයි. ඒ නිසා ඒකාධිකාරී ධනවාදයෙන් බැහැර නිදහස් වෙළදපොල ආර්ථිකයක් සහිත නව පන්නයේ ආර්ථික මොඩලයක අවශ්‍යතාවය අද මතුවී ඇත. විශේෂයෙන් අද ගෝලීය ධනවාදය එහි උපරිම තලයට පැමින ඉන් ඉදිරියට යා නොහැකි තැනක සිරවී ඇත. දැන් මේ අර්බුදය දේශගුනික, පාරසරික, සමාජයීය අර්බුදයක් සේම ලෝකයම විනාශ විය හැකි ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වෙමින් පවතී.
 
මැතිවරණ සටන ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ සටනද වේ -ජයදේව උයන්ගොඩ
 
මේතාක් කල් මුලු ලෝකයේම බලවත්ම රාජ්‍ය ලෙස පැවති ඇමරිකා එක්සත් ජනපදය අද විශාල අභියෝගයන්ට මුහුන දෙමින් සිටී. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මාණව අයිතීන් යනාදී විශ්වීය අගයන් පිලිබඳව ලෝකයට පරමාදර්ශ පෙන්වූ ඔවුන් තවදුරටත් ඒ වටිනාකම් වෙනුවෙන් පෙනී සිටින බවක් නොපෙනේ. තමන්ගේ දේශපාලන බල ව්‍යාපෘති අනුව ඒ වටිනාකම් වරින් වරට වෙනස් කරනු පෙනේ. රට තුලද මේ වටිනාකම් පරිහානියට යමින් පවතී. ඇමරිකාවට අභියෝගයක් ලෙස මතුවී සිටින චීනයද මෙවැනි විශ්වීය අගයන් වෙනුවෙන් පෙනී නොසිටියි. ඔවුන්ද තමන්ගේ ආර්ථික සහ දේශපාලනික ඕනෑ එපා කම් සදහා කපටි න්‍යාය පත්‍රයකට අනුව වැඩ කරයි. තමන්ගේ රටේ මිනිසුන්ට නැති නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හෝ මාණව අයිතීන් පිලිබඳව පෙනීසිටීමට ඔවුන්ට නොහැකිය. එනිසා ප්‍රජාතන්ත්‍රවාදය, පරිසරය, මිනිස් සබදතා යනාදිය රැකගැනීමත්, උත්පාදනය කරන ධනය සම බරව බෙදීයන නව වෙළදපොල ආර්ථිකයක අවශ්‍යතාවය අද අප ලෝක තලයේ මුහුනදෙන අභියෝගයයි.
 
මාක්ස්වාදී බුද්දිමතෙකු සහ යුරෝපයේ ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ ව්‍යාපාරයේ (DiEM25) නායකයකු වන හිටපු ග්‍රීක මුදල් ඇමති ආචාර්‍ය යානිස් වරුෆාකිස් පවසන්නේ අද අන්තර් ජාලයත්, දත්තත්, ඇල්ගොරිතම්ස් (පරිගණක තාක්ශනය මගින් නිශ්චිත ගැටළුවක් විසඳීම සඳහා පියවරෙන් පියවර ක්‍රියා කිරීමට සකස් කල සංකීර්ණ ක්‍රියා පටිපාටි), මෘදුකාංග සහ දත්ත ගබඩා පාලනය අයිතිකරගෙන සිටින දැවැන්ත ගෝලීය ව්‍යාපාර සියල්ල මෙහෙයවන බවයි. එනම් ඇමශන්, ෆේස් බුක්, යූටියුබ්, නෙට්ෆ්ලික්ස්, මයික්‍රොසොෆ්ට්, අලිබාබා, වොල්මාර්ට්, ගූගල්, ටික් ටොක් වැනි ඒකාධිකාරයන් සියල්ල පාලනය කරන බවයි. මෙය නව පන්නයේ වැඩවසම් යුගයක් නිර්මානය කොට ඇති බව ඔහුගේ අදහසයි. 

යානිස්ට අනුව වාමාංශිකයින් ධනවාදයේ අර්බුදයන් නිවැරදිව පෙරදැක්කත් ඊට විසදුමක් ලෙස "තාක්ෂණිකව දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල් සමාජවාදී සමාජයක්" පිළිබඳ විකල්ප දැක්මක් ඉදිරිපත් කිරීමට අසමත් විය. වම ඉතිහාසයේ විශාලතම පරාජිතයන් වන්නේ ඒ නිසයි. වම සෑම විටම යම් දෙයකට එරෙහිව ප්‍රතිරෝධය දැක්වූ නමුත් කළ යුතු දේ පිළිබඳ දැක්මක් සකස් කිරීමට කිසි විටෙකත් සමත් වූයේ නැත. ඒ නිසා වමේ අදාළ තාවය නැති විය. ඒ නිසාම වාමාංශික ප්‍රජාව විශාල අර්බුදයට ගොස් තිබේ.

ආචාර්ය යානිස් වරුෆාකිස් පවසන්නේ ලෝකයේ තවදුරටත් තරගකාරී වෙලදපොලක් නොපවතින බවත් ඒ නිසා ධනවාදය අවසන්වී ඇති බවයි. ඔහු තර්ක කරන්නේ වැඩවසම් යුගයේ ප්‍රවේනිදාසයන් ඉඩම් හිමියන්ට කුලී ගෙවුවාසේ මේ කොම්පැනි කාරයන්ට දැන් අපි කුලී ගෙවන බවයි. ඒ නිසා නැවතත් වටයකින් අපි අමුතු ආකාරයේ වැඩවසම් යුගයකට සම්ප්‍රාප්ත වී ඇති බවයි. වෙළදපොල ආර්ථිකයක් අත්‍යාවශ්‍ය බව පවසන යානිස් කොල්ලකාරී ධනවාදී මැදිහත්වීම් අහෝසි කල යුතු බව පවසයි. ඔහු යෝජනා කරන්නේ ධනවාදය නැති නිදහස් වෙලඳපොලකි.

ශ්‍රී ලංකාව
 
ශ්‍රී ලංකාවේ බිඳෙනසුලු බව අඩු කරගන්නේ කෙසේ ද ? - (මහාචාර්ය රොහාන් සමරජීව)
 
ඉහතකී අභියෝගයන් ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට දැඩිව බලපාන නමුත් ඒවෙනුවෙන් කල හැකි දේ ඉතා සීමිතය. සියල්ල තීරණය කරන්නේ විශාල බලවතුන්‍ විසිනුයි. කුඩා රටවල් මේ බලවත් රාජ්‍යවල බල ව්‍යාප්පෘතිවල සිරකරුවන් බවට පත්ව ඇත. එවැනි අභියෝග රැසකට වර්තමාන ශ්‍රී ලංකාවද මුහුන දෙමින් සිටී. විශේෂයෙන් ආර්ථික වශයෙන් බංකොලොත්වී ණය උගුලක සිරවී සිටින රටක ආර්ථිකය වර්ධනය කරන්නේ කෙසේද යන්න මූලික අභියෝගයයි. ඒ සදහා යෝජනා කරන වැඩපිලිවෙල කුමක්ද? දේශපාලන මතවාදය කුමක්ද? අප ජීවත්වන්නේ ඇමරිකාව, රුසියාව, ඉංදියාව සහ චීනය ඇතුලු විශාල බලවතුන් තරගවැදී සිටින ධනවාදී වෙළදපොල ආර්ථිකය තුලයි. ඒ නිසා අර්බුදයට සමාජවාදී විසදුම් නොමැති බව සක් සුදක් සේ පැහැදිලිය.
 
එසේ නම් යම් ආර්ථික වර්ධනයක් ලබාගැනීමට සිදුවන්නේ ධනවාදය ප්‍රවර්ධනය කිරීම මගිනුයි. ඒ සදහා විවිධ කොම්පැනි කාරයින්ට, බහුජාතික සමාගම්වලට, ප්‍රාග්ධන හිමියන්ට අපේ ශ්‍රමය, වෙළදපොල අත්පත්කරගැනීමට ඉඩ දීමට සිදුවේ. ව්‍යාපාර ආරම්භ කිරීමට ඔවුන්ව උනන්දු කල යුතුයි. වෙළදපොල විවුර්ත කල යුතුයි. බදු සහන ඇතුලු නොයෙකුත් දිරිගැන්වීම්ද ලබාදීමට සිදුවේ. රාජ්‍ය අංශය කුඩා කිරීමටත්, පෞද්ගලික අංශය පුලුල් කිරීමටත් සිදුවේ. එමගින් රැකියා උත්පාදනය කෙරනු ඇත. ධනය නිපදවනු ඇත. ජීවන මට්ටම සාපේක්ෂව ඉහළ යනු ඇත. ඒ වාගේම ධනවාදයේ මුලදී සදහන් කල ආකාරයේ සියලු පල විපාකද ඒ සමගම ලැබෙනු ඇත. එය යම් ප්‍රමාණයකට කලමණාකරනය කරගන්නවා හැර වෙනත් විකල්පයක් නොමැත. 

එකම විකල්පය සියලු පුරවැසියන් අල්පේච්ච ජීවත ගත කිරීමට එකගවා කර ගැනීමයි. නමුත් ස්වභාවයෙන්ම පරිබෝජනවාදයට පුරුදුවී සිටින පුරවැසියන් පාලකයින්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ විවිධවූ ආශාවන් තෘප්තිමත් කරන ලෙසටය. ඒ අය ඉල්ලන්නේ ධනවාදයයි. ධනවාදය ප්‍රවර්ධනය කල හැක්කේ දක්ශිනාංශිකයන්ටය. වාමාංශිකයින් එය කිරීමට උත්සාහ කලොත් එය විකාරයක් බවට පත්වීමට හෝ විශාල විනාශයකින් කෙලවරවීමට තිබෙන ඉඩ කඩ වැඩිය. 
 
ජාජබ vs ජවිපෙ - (එරන්ද ගිනිගේ)
ජවිපෙ මූලිකත්වයෙන් ගොඩනැගුනු ජාතික ජන බලවේගයද අද දවසේ මේ උභතෝකෝටිකයට මුහුන දෙමින් සිටී. සමාජවාදී ව්‍යාප්පෘති කරන්නට ගියොත් ආර්ථිකය කඩා වැටෙනවාය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුලු ආයෝජකයින් විරසකවනවාය. ධනවාදය වැලදගතහොත් කාඩරය අවුල් වෙනවාය. මේ අදහස පිලිබඳව සමහර මාක්ස්වාදීන් පවසන්නේ ජවිපෙ උත්පත්තියේ සිටම නිර්මාක්ස්වාදී බවයි. එය වරෙක ජාතිවාදය සහ ජාතිකවාදයටත් මාරුවෙමින් ධනවාදය ක්‍රියාත්මක කල ජාතිකවාදී නායකයින්ට මුක්කු ගැසූ පක්ශයක් බවයි. එය සුලුජාතිකයින්ගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටි මාර්ක්ස්වාදී බුද්දිමතුන් ඇතුලු කම්කරු නායකයන් ඝාතනය කල පක්ශයක් බවයි. ඒනිසා එවැනි ව්‍යාජ මාක්ස්වාදී පක්ශයකට ධනවාදය වැලදගැනීම එතරම් අපහසු නැත. ඒ නිසා බොහෝදුරට සිදුවිය හැක්කේ එයයි. 

නමුත් ජවිපෙහි මාක්ස්වාදී වැඩපිලිවෙල විශ්වාස කරමින් ඔවුන් පිටුපස ගිය විශාල ප්‍රමාණයක් තවමත් සමාජවාදී සිහිනයේ ජීවත්වෙති. ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ අරටුව මේ පිරිසයි. පෝස්ටර් ගැහීම, වේදිකා සැකසීම ඇතුලු සියලු බර ඇද්දේ මේ කාඩරයයි. මේ අය නොදුරු අනාගතයේදී ඉච්ඡාබංගත්වයට පත්වීමට නියමිතය. ජවිපෙ සාමාජිකත්වයේ අභිලාෂයන් නොතකා හරිමින් මධ්‍යම පංතික ලිබරල්වාදීන් සමග ජාතික ජන බලවේගය ඉදිරියට ගමන් ගැනීමට තිබෙන ඉඩ කඩ වැඩිය. ඊලගට මතුවන අභියෝගය වන්නේ සැබෑලෙස ධනවාදය විශ්වාස නොකල මෙම කොටස් එම ක්‍රමය බිම්මට්ටමේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රභූ පංතිය, ධන පතියන්, කළමනාකරුවන්, ෆැක්ටරි හිමියන්, සහ එහි විවිධ පාර්ශවයන් දිනාගන්නේ සහ එම බලවේග බලමුලුගන්වන්නේ කෙසේද යන්නයි. එසේ කිරීමට නම් ඔවුන් සම්ප්‍රදායිකව නියෝජනය කල ගොවියන්, කම්කරුවන්, ගුරුවරුන්, වුර්තීය සමිති නායකයින්, වෙනුවට ප්‍රාග්ධන හිමියන්, ආයෝජකයින්, ප්‍රභූන් සමග අත්වැල් බැදගැනීමට සිදුවේ. ව්‍යාපාරිකයන්ට මිත්‍රශීලී පරිසරයක් නිර්මානය කිරීමට සිදුවේ.
 
මෙන්න මේ අභියෝගයන් නිසා ඇත්තටම මාක්ස්වාදීන් මේ යුගයේ බලය ලබාගැනීම වෙනුවට ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කාරණා ඉෂ්ට කරවාගැනීම වෙනුවෙන් පෙනී සිටීමට පමනක් සීමාවී ඇත. සැබෑවටම ධනවාදයට විකල්පයක් නිර්මානය වන්නේ අප වැනි ආර්ථිකව සහ සමාජයීය වශයෙන් පසුගාමී කුඩා රටවල් මුල් කරගෙන නොවේය. එය වියහැක්කේ දියුනු ධනපති රටවලයි. එනිසා අපට එවැනි විකල්පයක් පිලිබඳව යම් බලාපොරොත්තුවක් තබාගත හැක්කේ ඉදිරියේදී විශාල ආර්ථික වර්ධනයක් ලගා කර ගැනීමට නියමිත අපේ අසල්වැසි බලවතාවන ඉංදියාව තුල හෝ ගොඩනැගෙන එවැනි විශාල පෙරලියක් තුලය. ඒ නිසා ඉංදියානු උප මහද්වීපය තුල එවැනි සමාජයක් පතන සියලුම ආකාරයේ ප්‍රගතිශීලීන් සමග එක්ව ක්‍රියාකිරීම අත්‍යාවශ්‍ය කාරනයකි.
 
Ajith Rajapaksha(අජිත් රාජපක්ෂ)
ajith823@gmail.com
විදුලි ඉංජිනේරු (ඔස්ට්‍රේලියාව)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...