The Leader News
BREAKING
ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●
Top Ad
විශේෂාංග

මුතුරාජවෙලින් මතු වූ අද්භූත උස මිනිසා; පෙක්කෝලියා - (තිලක් සේනාසිංහ)

T

The Leader Desk

December 5, 2024 • 10:10 AM

මුතුරාජවෙලින් මතු වූ අද්භූත උස මිනිසා; පෙක්කෝලියා - (තිලක් සේනාසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත්, රාත්‍රී කාලයේ නොව මහ දවාලේ ද සමහරුන්ගේ නෙත ගැටෙන අපූරු හොල්මනක් පිළිබඳව හැත්තෑව දශකයේ දී මට අසන්නට ලැබිණ.
  • “කඳානේ සෙබස්තියන් පල්ලිය, නෑදුරුපිටිය පහු කළාම හම්බවෙන ජයසූරිය වේල්ලට දවල්ටත් පෙක්කෝලියා කියලා හොල්මනක් එනවා.
  • කවුරු හරි ටිකක් බය වුණත් ඔය තෙල් ටිකක් මතුරවා ගත්තම ඇති.
  • ජයසූරිය වේල්ල යනු උතුරින් මීගමු කලපුවත්, දකුණින් කැලණි ගඟටත්,නැගෙනහිරින් කොළඹ පුත්තලම් ඕලන්ද පැරණි ඇල මාර්ගයටත්, බස්නාහිරින් මහ මුහුදටත් මායිම් වූ හෙක්ටයාර් 3068 හෙවත් අක්කර 7581ක විශාලත්වයකින් යුතු මුතුරාජවෙල තෙත් බිම් පරිසරය ඔස්සේ වැටීගත් මාර්ගයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත්, රාත්‍රී කාලයේ නොව මහ දවාලේ ද සමහරුන්ගේ නෙත ගැටෙන අපූරු හොල්මනක් පිළිබඳව හැත්තෑව දශකයේ දී මට අසන්නට ලැබිණ.

ඒ වන විට මම ගලහිටියාව මැදි විදුහලේ අධ්‍යාපනය ලබමින් සිටියෙමි. එම ‘හොල්මන් පණිවිඩය’ මා වෙත මුලින්ම ගෙනෙන ලද්දේ කඳානේ සිට පැමිණි ලාලිත නන්ද ජයසූරිය නම් සිසුවකු විසිනි.

“කඳානේ සෙබස්තියන් පල්ලිය, නෑදුරුපිටිය පහු කළාම හම්බවෙන ජයසූරිය වේල්ලට දවල්ටත් පෙක්කෝලියා කියලා හොල්මනක් එනවා. ඒ පැත්තේ ගම්වල හුඟ දෙනෙකුට ඒ පෙක්කෝලියා මුණගැහිලා තියෙනවා. හැබැයි පෙක්කෝලියා කියන්නේ අහිංසක හොල්මනක්. දැක්කා කියලා කවුරුවත් ලොකුවට බය වෙන්නේ නැහැ. කවුරු හරි ටිකක් බය වුණත් ඔය තෙල් ටිකක් මතුරවා ගත්තම ඇති. කතෝලික අය නම් කරන්නේ ඔරසන් කියන එක.එතකොටත් ඒ බය යනවලු” මගේ පාසල් මිතුරා කීය.

jayasuriya wella3

 ජයසූරිය වේල්ල යනු උතුරින් මීගමු කලපුවත්, දකුණින් කැලණි ගඟටත්,නැගෙනහිරින් කොළඹ පුත්තලම් ඕලන්ද පැරණි ඇල මාර්ගයටත්, බස්නාහිරින් මහ මුහුදටත් මායිම් වූ හෙක්ටයාර් 3068 හෙවත් අක්කර 7581ක විශාලත්වයකින් යුතු මුතුරාජවෙල තෙත් බිම් පරිසරය ඔස්සේ වැටීගත් මාර්ගයකි. එය නෑදුරුපිටිය ඔස්සේ ගලන පැරණි ඕලන්ද ඇල සමීපයේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි මහ නුගපේ හන්දිය තෙක් වැටීගත් පාරකි.

වත්මන් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා විට මෙම ජයසූරිය වේල්ල නම් මාර්ගය නෙත නොගැටෙයි. ඒ අධිවේගී මාර්ගය තනන විට ජයසූරිය වේල්ල මාර්ගය සඳහා ගුවන් පාලම් පැන්නුමක් නිර්මාණය කොට තිබීම නිසාය. අධිවේගී මාර්ගය වැටී ඇත්තේ ඒ පාලම යටිනි, “ඔය ජයසූරිය වේල්ල හැදුවේ අපිට දුරින් සීයා වෙන කෙනෙක්. ඒ කාලේ එයා ආණ්ඩුවේ ලොක්කෙක්.” එකල ලාලිත නන්ද ජයසූරිය මගේ පාසල් මිතුරා කීයේ ආඩම්බරයෙනි.

 

muthurajawela 3 මුතුරාජවෙල තෙත්බිම් පරිසරය

පසු කලෙක මට දැනගන්නට ලැබුණු අන්දමට ඒ ජයසූරිය නම් ‘ආණ්ඩුවේ ලොක්කා’ 1931 වසරේ ඇරඹි රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ ඩී.පී.ජයසූරිය හෙවත් දොන් පන්තිනියෙස් ජයසූරිය මහතා ය. එකල ඔහු කා අතරත් ජනප්‍රියව ඇත්තේ “පන්ති මහත්තයා” යන ආදරණීය නමිනි. එමෙන්ම නොඋස් සිරුරකින් යුතු ඔහු කඩියෙකු මෙන් කඩිසර පුද්ගලයෙකු බව ද සඳහන්ය. ලාලිත නන්ද ජයසූරිය පාසල මිතුරා දුන් හෝඩුවාව අනුව මෙම පෙක්කෝලියා සියැ`සින් දැක ගැනීම පිණිස ජන ශූන්‍ය මුතුරාජවෙල තෙත්බිම් පරිසරය මැදින් වැටී තිබූ කට්ට අවුවේ වේලෙමින් දවල් කාලයට “හොල්මන් කිරීමේ” ඇබ්බැහියාවක් එවක මා තුළ ද ඇති වී තිබිණ.


dp jayasuriyaමෙහි වාඩි වී හිඳිනුයේ ඩී.පි ජයසූරිය (පන්ති මහත්තයා)ය. කඳානේ ශාන්ත සෙබස්තියන් මුනිඳුන් ගේ දේවස්ථානයේ 1921 වසරේ පැවැති වාසප්පුව නම් කතෝලික ජන රංගනයේ දී ගනු ලැබූ මෙම දුලබ සේයාරුව අප වෙත සපයන ලද්දේ කඳානේ චමිලා නිශා කුමාරප්පෙරුම මහත්මිය විසිනි.

“මේ නුගපෙයි, නැදුරුපිටියයි කියන ගම්මාන දෙක මුතුරාජවල වගුරු බිමෙන් වෙන්වෙලා තිබීම හින්දා නුගපේ, පමුණුගම, බෝපිටිය, උස්වැටකෙයියාව වගේ ගම්වල මිනිස්සුන්ට කඳානට එන එකේ ලොකු ප්‍රශ්න ඇති වුණා. ඒ කාලෙ කඳාන පුංචි කඩ මණ්ඩියක්.ඒ කාලෙ මිනිස්සු කඳානට කිව්වේ අම්බලන් දෙක කියලා. ගෙදර දොරට උවමනා හාල්.තුන පහ, දුරු මිරිස් ගේන්න කඳානෙ යන එකට ඒ කාලෙ මිනිස්සු කිව්වේ “අම්බලං යනවා” කියලා. හැබැයි වැහි කාල වලට මිනිස්සු ඒ ගමන් ගිහින් තියෙන්නේ දනක් මඩේ එරි එරී. ඒකට විසඳුමක් හැටියට තමයි පන්ති මහත්තයා ඔය වගුර මැද්දෙන් පස් දාලා උසට වේල්ලක් හැදුවේ. ඕකට පස් ඇද්දේ මිලිටරි ට්‍රක්වලින් කියලත් අපි අහලා තියෙනවා. කොහොම හරි ඔය වේල්ල පාරක් හැටියට විවෘත කරලා තියෙන්නේ 1948 ආණ්ඩුවේ වැඩ හා කර්මාන්ත ඇමති සර් ජෝන් කොතලාවල මහත්තයා ඇතෙකුගේ පිටේ ඔය වේල්ලේ එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවරට ගිහින්ලු.

එදා ඔය ජයසූරිය වේල්ල විවෘත කරන වෙලාවේ සර් ජෝන් කියලා තියනවා මම යෝදයෝ ගැන අහලා තිබුණා. ඒත් යෝදයෙක්ව දෑහින් දැක ගත්තේ අද. ඒ තමයි උඹලගේ මේ අඩි හතරේ යෝදයා කියලා. ඊට පස්සේ සමහරු ආදරේටයි සරදමටයි පන්ති මහත්තයට අඩි හතරේ යෝදයා කිව්වලු.


sirjohn සර් ජෝන් කොතලාවල
ඒත් ඉතින් ඔය පෙක්කෝලියා කියන හොල්මන ඊට පස්සේ ඔය පාරේ ඉඳලා මිනිස්සුනට පෙනුණේ කොහොමද කියලා නම් අපි දන්නේ නැහැ.” එවක එහි දී හමුවූ එම ප්‍රදේශයේ ගැමියෝ මා හා කීහ.

නමුත් මෙම පෙක්කෝලියා නම් අවතාරය දර්ශනය වන්නේ ඉද්ද ගැසුවාක් මෙන් එක දිගට වැටීගත් මාවත ඔස්සේ ඉදිරිය බලාගත්වනම ගමන් ගන්නා මගීන්ට ය.

එකල ගෙයක් දොරක් තබා මිනිස් පුළුටක්වත් නැති දෙපස ජලාශ්‍රිත ශාඛවලින් වැසීගත් ඒ පාළු මාවත ඔස්සේ තනිව ගමන් කරන්නෙකු හට පාරේ ඈත කෙළවරින් කුඩා මිනිස් රූපයක් ලෙස මේ පෙක්කෝලියා දර්ශනය වෙයි. එමෙන්ම ඒ දෙස බලා සිටියදීම පොල් ගස් දෙකක් පමණ උසක් දක්වා උස්ව නැගෙන මෙම අද්භූත රූපය දකින්නාගේ සියොළඟ කිළිපොළා යාමේ කිසිදු අරුමයක් නැත.

 

images 64තනිව ගමන් කරන්නෙකු හට පාරේ ඈත කෙළවරින් කුඩා මිනිස් රූපයක් ලෙස මේ පෙක්කෝලියා දර්ශනය වෙයි.

පමුණුගම, නුගපෙ ජන්ම ලාභය ලත් ප්‍රවීණ භාෂා පරිවර්තකයකු, ලේඛකයකු සහ ගත් කතු වරයකු වන සිසිල් රුද්‍රිගු සූරීන් ලියූ ” මගේ ගම හෙවත් මුතුරාජවෙල”ග්‍රන්ථයේ ද පෙක්කෝලියා නම් මෙම අද්භූත මිනිසා ගැන සඳහන් වේ. මගේ සුහද මිතුරකු වන ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් ද තම බිළිඳු, ළමා සහ යොවුන් විය ගෙවා ඇත්තේ කඳානේ ශාන්ත සෙබස්තියන් සිද්ධස්ථානය අද්දර නිවසක ය.ඔහු ද ජයසූරිය වේල්ලේ හොල්මනක් පිළිබඳ රස කතාවක් තම පාසල් මිතුරන් ගෙන් අසා තිබේ. එහෙත්, එය පෙක්කෝලියා ද යන්න පිළිබඳ නිනව්වක් ඔහු තුළ නැත. ”ඔය කියන හොල්මන ජයසූරිය වේල්ලට එන්නේ රෑ දහයෙන් පසේ කියලලු ඒ කාලෙ හැමෝම දැන ගෙන හිටියේ. ඒ හින්දා කිසිම කෙනෙක් රෑ දහයෙන් පස්සේ ඔය ජයසූරිය වේල්ලට තනියම අඩියක් වත් තියලා නැහැ. ඔන්න දවසක් කොහේ හරි රස්තියාදුවක් ගිය කොල්ලෙක් රෑ දහයට කලින් ජයසූරිය වේල්ල පහු කරන්න හිතාගෙන වේල්ල දිගේ පුළුවන් තරම් ඉක්මනින් නුගපෙ පැත්තේ ඉඳලා කඳාන පැත්තට එනවලු.


old1ජයප්‍රකාශ් ශිවගුරුනාදන්

මෙන්න එතකොටම ඒ වගේම තවත් කවුරු හරි තමන්ගේ පිටිපස්සෙන් ඇවිදගෙන එන බව මේ කොල්ලට තේරුණා ලු. මම මේ පුළුවන් තරම් ඉක්මනින් යන්නේ රෑ දහයෙන් පස්සේ මේකට අර පෙක්කෝලියා එන හින්දා. කෝකටත් අපි ඉක්මන් කරමු කියලා කොල්ලා අර පිටිපස්සෙන් එන හාදයට කියලා ගමන තවත් ඉක්මන් කළාලු. එතකොට ඒ හාදයත් අප්පට සිරි; එතකොට මල්ලි තාම රෑ දහය පහුවෙලා නැද්ද? අහලා බලනවකො මගේ මේ ඔර්ලෝසුව කැඩිලා හදා ගන්න විදිහක් නෑනෙ කියලා එක පාරටම අතුරුදන් වුණාලු”

හාත්පස පිළිබඳව කිසිදු අවධානයකින් තොරව කිසියම් නිශ්චිත ඉලක්කයක් වෙත යම් වේලාවක් එක එල්ලේ බලා සිටියදී එම අන්තය වෙතින් යම් යම් දෘශ්‍යමය මායාවන් මතුවීමේ සම්භාවිතාවක් තිබේ. එහෙත්, එය ඉඳහිට කලාතුරකින් යමෙකුට මුහුණදීමට සිදුවන මායාත්මක අත්දැකීමකි. එමෙන්ම යම් පුද්ගලයෙකු මෙවන් අත්දැකීමකට මුහුණ දුන් පසු සෙස්සන් අතරේ ද එය සන්නිවේදනය වෙයි. එවිට ඔවුන් තුළ ද ඒ මුල්කොට ඇතිවන පරිකල්පනයන් මත මෙවැනි මායාත්මක දර්ශන වැඩි වැඩියෙන් මැවී පෙනීමේ සම්භාවිතාවක් තිබේ.

image 73bf574c8f

මුතුරාජවෙල අවට ගම්මානවල ගැමියන් පෙක්කෝලියා යන අමුතු නමකින් හඳුන්වන ලද්දේ ඔවුන් මුහුණ දෙන මෙම අසාමාන්‍ය අත්දැකීමට ය. නමුදු අද වන විට එම ජයසූරිය වේල්ල හාත්පස පරිසරය ජනාවාසකරණයට ලක්ව තිබීම නිසාත් එහි ගොඩනැඟී ඇති පුබුදුගම නම් ගම්වරය මුල්කොට පෙර පැවති මුතුරාජවෙල නිහඬ නිසංසල තෙත්බිම් පරිසරය පද්ධතිය දක්නට නොලැබීම නිසාත් ‘අඩි හතරේ යෝධයා’ගේ වේල්ල මතට නැගි පෙක්කෝලියා අද වන විට අතුරුදන්ව ගොස් ඇති සේය.

Thilak Senasinghe
(තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com


(උපුටා ගැනීම- vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...