The Leader News
BREAKING
ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●
Top Ad
විශේෂාංග

ඇෆ්ඝනිස්ථානයේ කාන්තා මාධ්‍යවේදිනියන්ට සිදුවූයේ කුමක් ද?

T

The Leader Desk

December 6, 2024 • 5:58 AM

ඇෆ්ඝනිස්ථානයේ කාන්තා මාධ්‍යවේදිනියන්ට සිදුවූයේ කුමක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තාලිබාන් සංවිධානය බලයට පත් වීමත් සමග, කාන්තාවන්ට රැකියාවක නිරත වීමට, ඉගෙනීමට, ජීවත් වීමට ඉඩ දෙන බවට මෙම අන්ත ගතානුගතිකයෝ ලෝකයට පොරොන්දු ලබා දුන්හ.
  • ඇතුළට යාමට ඉඩ දෙන ලෙස තර්ක විතර්ක කරමින් ඇය මිනිත්තු 30ක් පමණ සිටගෙන සිටියා ය.
  • දේශසීමා විරහිත වාර්තාකරුවන්ට අනුව, කාන්තා මාධ්‍යවේදිනියන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුට වැඩ කිරීම නැවැත්වීමට සිදුව තිබේ.
  • ඇෆ්ඝනිස්ථාන කාන්තා මාධ්‍යවේදිනියන් ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් ෂබ්නම්ගේ කතාව කාබුල්හි හැදී වැඩුණු ෂබ්නම් ඩවුරාන්, ඇගේ සමහර සගයන් මිය ගිය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් දිවි ගලවාගෙන අනතුරුදායක බවට හුරු වී සිටියා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

"2021 අගෝස්තු 15 වෙනි දා උදේ මම නැගිටලා ඩේටා ඔන් කරලා මොනව ද වෙලා තියෙන්නේ කියලා බල බල ඉන්නකොට, ඩෙස්ක් එකේ මම ප්‍රවෘත්ති කියන්න වාඩි වෙන්න පාවිච්චි කරපු පුටුවේ තාලිබාන් කෙනෙක් වාඩිවෙලා හිටියා." 

 

බටහිර හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් වන විට, ෂබ්නම් ඩවුරන් ඇෆ්ඝනිස්ථාන ජාතික විකාශකයා RTAහි ප්‍රවෘත්ති නිවේදිකාවක වශයෙන් සේවය කරමින් සිටියා ය. තාලිබාන් සංවිධානය බලයට පත් වීමත් සමග, කාන්තාවන්ට රැකියාවක නිරත වීමට, ඉගෙනීමට, ජීවත් වීමට ඉඩ දෙන බවට මෙම අන්ත ගතානුගතිකයෝ ලෝකයට පොරොන්දු ලබා දුන්හ.

 

දින තුනකට පසුව ඩවුරන් එම ප්‍රතිඥාව පරීක්ෂා කිරීමට සහ එදින රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය සිදු කිරීමට තීරණය කළා ය. තාලිබාන් තුවක්කුකරුවන් විසින් ඇ‍යව නවත්වනු ලැබීමට පෙර ඇය රූපවාහිනී නාළිකාවේ ගේට්ටුව දක්වා පැමිණියා ය. ඇතුළට යාමට ඉඩ දෙන ලෙස තර්ක විතර්ක කරමින් ඇය මිනිත්තු 30ක් පමණ සිටගෙන සිටියා ය.

 

"තුවක්කුවක් තියාගෙන ඉන්න තාලිබාන් කෙනෙක් මුහුණට මුහුණ හමුවුණ පළමු වතාව නිසා මම ගැහෙමින් හිටියේ. ඊට පස්සේ ඒ මනුස්සයා කිවුවා 'මෙතනින් පලයන්. ඉක්මනට මෙතනින් පලයන්. උඹ ගියේ නැත්නම් මම උඹට වෙඩි තියනවා."

 

ඇය අවසානයේදී ආපසු හැරුණා ය. අද දක්වා කාන්තා මාධ්‍යවේදිනියන් දහස් ගණනකට ඔවුන්ගේ රැකියාවලින් ඉවත් වීමට බල කෙරී තිබේ. දේශසීමා විරහිත වාර්තාකරුවන්ට අනුව, කාන්තා මාධ්‍යවේදිනියන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකුට වැඩ කිරීම නැවැත්වීමට සිදුව තිබේ. ඉතිරි අය සියලු ම ආකාරයේ සීමා කිරීම් සහ අපයෝජන්ට යටත් ය.

 

නමුත් සමහරුන් ඔවුන්ගේ මව්බිමේ දේශසීමා තුළ සහ ඉන් පිටත සිට තවමත් ඔවුන්ව වටහා ගන්නා තෙක් සටන් කරති.

 

බීබීසී සියයක් කාන්තාවෝ වෙනුවෙන්, අපි ඇෆ්ඝනිස්ථානයේ සේවයේ යෙදී සිටින කාන්තා මාධවේදිනියන්ගෙන් ඔවුන්ගේ ජීවිතය කෙබඳුදැයි විමසුවෙමු.

 

මේ ඔවුන්ගෙන් සමහරකගේ කතා ය.

 

ඇෆ්ඝනිස්ථාන කාන්තා මාධ්‍යවේදිනියන් ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින්

 

ෂබ්නම්ගේ කතාව

 

කාබුල්හි හැදී වැඩුණු ෂබ්නම් ඩවුරාන්, ඇගේ සමහර සගයන් මිය ගිය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් දිවි ගලවාගෙන අනතුරුදායක බවට හුරු වී සිටියා ය. අධ්‍යාපනය ලැබීමට සහ රැකියාවක් කිරීමට ඇයට ඇති අයිතිය ගැන විශ්වාස කළ ඇගේ පවුලෙන් පූර්ණ සහය හිමි වූ නිසා ඇයට අවශ්‍ය දේ කිරීමට ඇය පුරුදු වී සිටියා ය. 

 

ඇගේ සේවා ස්ථානයේ ගේට්ටුවෙන් ඇයව ආපසු හරවා එවීම පිළිබඳ කෝපයෙන්, ඇය තීරණය කළේ තමා මුහුණ දුන් තාලිබාන් 'සැබෑ මුහුණ' ලොවට හෙළිදරව් කිරීමට අවශ්‍ය බව ය.

 

ඇගේ වැඩිමහල් සහෝදරිය සහයට කැඳවාගෙන ඇය තාලිබාන්වරුන් බොරුකාරයන් ලෙස හංවඩු ගසා ඇගේ අත්දැකීම් පිළිබඳ වීඩියෝවක් රූගත කර Xහි පළ කළා ය.

 

පැය දෙකක් ඇතුළත එය ඉතා වේගයෙන් පැතිරී ලොව පුරා සිටි පුද්ගලයින් එය නරඹා හිලරි ක්ලින්ටන් ඇතුළු පුද්ගලයින් විසින් අදහස් පළ කරනු ලැබ තිබිණි. ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාළිකා ඇය සමග කතා කිරීමට පොර බැදීය.

 

නමුත් ඒත් සමග ම තාලිබාන්වරුන් ගෙයින් ගෙට පරීක්ෂා කිරීම් සිදුකිරීමත් සමග, ඇගේ ආරක්ෂාව සීමා වන්නට විය.

 

තාලිබාන් සංවිධානය බලයට පැමිණ දින කිහිපයක් පමණක් ගත වන විට කිසි දිනෙක ඇෆ්ඝනිස්ථානයෙන් පිටතට නොගොස් තිබූ ඩවුරාන්ට, රටින් පිටව යාමට බල කෙරිණි.

 

අරියානාගේ කතාව

 

2021 වන විට ඇෆ්ඝනිස්ථානයේ කාන්තා මාධ්‍යවේදිනියන් 1,400ක් පමණ ඇෆ්ඝනිස්ථානයේ සේවය කළ හ. අද වන විට එම සංඛ්‍යාව 600කට ආසන්න සංඛ්‍යාවක් දක්වා පහළ බැස ඇතැයි සැලකේ. ඔවුන්ගෙන් බහුතරයක් පිටව ගියේ බිය නිසා ය.

 

පළිගැනීම් සිදුවෙතැයි බියෙන් අප සමග සාකච්ඡා කළ බොහෝ කාන්තාවන්ට ඔවුන්ගේ සැබෑ නම්, අනන්‍යතා හෝ සිටින ස්ථාන හෙළි කළ නොහැක.

 

අප අරියානා ලෙස හඳුන්වන ඇය, තාලිබාන් උත්තරීතර නායකයා සිටින ඇෆ්ඝනිස්ථානයේ දකුණු ප්‍රදේශයේ වසර 10ක් පුරාවට ශක්තිමත් වෙමින් පැවති දේශීය ගුවන් විදුලි කර්මාන්තයේ සේවය කළා ය.

 

2021ට පෙර නගරය පුරා තනිව යාමට, ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් සමග සම්මුඛ සාකච්ඡා කිරීමට, ගමන් යාමට, මවක ලෙස රැකියාවේ යෙදී සිටීමට අරියානාට නිදහස තිබිණි. හිරිහැර, අසමාන වැටුප්, සහ ආරක්ෂක ගැටලු විඳ දරාගැනීමට සිදුවීම පහසු දෙයක් නොවූවත්, එලෙස වැඩ කිරීමට ඇයට හැකියාවක් තිබිණි.

 

බටහිර හමුදා ඉවත් වී තාලිබාන්වරුන් නැගී ඒමට පටන් ගත් විට, දකුණේ ඇගේ නගරය තෙක් සටන් පැතිරි යා හැකි බවට කට කතා පැතිර ගියේ ය. රැකියාව නවත්වන ලෙස ඇයගේ සැමියාගේ පවුලේ අය තරයේ ඉල්ලා සිටියහ.

 

ariyana

 

දැන් අරියානා කලාතුරකින් හෝ සතියකට වරක් නිවසින් පිටවන්නේ ඇගේ මව දැකීමට හෝ වෙළෙඳපොළටයි.

 

ඇය එලෙස ගමන් කරන විට තාලිබාන්වරුන් විසින් පනවන ලද නීති පිළිබඳ මනා අවබෝධයකින් යුතුව කටයුතු කරයි. නීත්‍යනුකූලව කාන්තාවන් සිය නිවසේ සිට කිලෝමීටර 70කට වඩා වැඩි දුරක් ගමන් කරන්නේ නම් පිරිමි භාරකරුවෙකු සමග යා යුතුයි. ඔවුන්ට යාමට නොහැකි ස්ථාන තිබේ. ඔවුන්ගේ හඬ පවා නොඇසිය යුතු ය.

 

සියල්ලට ම වඩා අරියානාට බියක් ඇත්තේ ඇගේ නව හැවිරිදි දියණිය පිළිබඳව ය.

 

"දිගට ම මේ දේවල් මෙහෙම වුණොත්, මම හිතන්නේ නෑ ඇයට කිසි දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. ඇයට හයේ පන්තියෙන් එහාට යන්න බැරි වෙයි. එයා තාම පොඩියි, නමුත් එයාට තේරෙනවා.

 

"සමහරවෙලාවට එයා මට කියනවා, 'මම හයේ පන්තිය සමත් වුණා ම ඔයා මට උපාධි ගවුමක් මහලා දෙන්න, එතකොට මම ඒක ඇඳගෙන ගෙදර වාඩි වෙලා ඉන්නම්,' කියලා."

 

kabul කාබුල්හි සේවය කරන කාන්තා මාධ්‍යවේදිනියෝ බහුතරයක් රට හැර ගොස් හෝ සැඟව සිටිති

 

සනාගේ කතාව

 

තාලිබාන්වරුන් යටතේ ඇෆ්ඝනිස්ථානයේ දිගට ම සේවය කරන මාධ්‍යවේදීන්ට ජීවිතයේ ප්‍රායෝගිකත්වය පිළිබඳ අඛණ්ඩ පීඩනයක් තිබේ.

 

කාන්තාවෝ මාධ්‍ය සමග අදහස් දැක්වීමට බියක් දක්වති. ඔත්තු ලබා දෙන්නන් සිටිනවා ද යන්න ගැන තැනකට යාමට පෙර ඔවුන්ට එම ස්ථාන ගැන සොයා බැලිය යුතු ය. රාජ සන්තක වනු යැයි හෝ අපරාදයක් බවට පත් කළ හැකි කුමක් හෝ දෙයක් සොයා ගනු ඇතැයි බියෙන් ජංගම දුරකතනයේ ඇති දේවල් දිනපතා මකා දමනු ලැබේ.

 

සනා අතාෆ් ද සිටින්නේ අරියානා ජීවත් වන ප්‍රදේශයේ ම ය. එය ඇයගේ සැබෑ නම නොවන අතර, උතුරු ඇමෙරිකාවේදී සංස්කරණය වන කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන බහුභාෂා පුවත් වෙබ් අඩවියක් වන Zan Times සඳහා වාර්තා ලිවීමට ඇය භාවිත කරන නම යි. 

 

ආර්ථිකය බිඳ වැටෙන රටක ජීවත්වීමේ දුෂ්කරතා, දැඩි පීඩනයකට ලක්ව ඇති මාතෘ හා සෞඛ්‍ය සේවා, සහ වාර්තා වී ඇති කාන්තාවන් හා LGBTQ+ පුද්ගලයන් ඝාතනය කිරීම් සහ සිරගත කිරීම් ගැන සනා ලියයි.

 

පසුව තාලිබාන් සංවිධානය ද්විතීය අධ්‍යාපනය සීමා කිරීමත් සමග, ගැහැනු දරුවන් සඳහා කාන්තාවන් විසින් රහසිගත පවත්වාගෙන යනු ලබන පාසල් ද ඇය සහ Zan Times කණ්ඩායම ආවරණය කරයි.

 

'ගෘහස්ථ ප්‍රතිරෝධයන්' ලෙස හඳුන්වන, විරෝධතා, ගීත ගායනා සහ නර්තනයන් ද ඔවුහු වාර්තා කරති.

 

women studentරහසිගත පාසල්වල ගැහැනු දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන අතර, ඇතැම් මාධ්‍යවේදීහු ඒ පිළිබඳ වාර්තා කිරීමේ අධිෂ්ඨානයෙන් කටයුතු කරති

 

සීමාකීරිම්වලින් හඟවන්නේ ඇයට මහ්රම්, හෝ පිරිමි භාරකරුවෙකු සමග ගමන් කළ යුතු බව ය. බොහෝ වේලාවට ඇය ඇගේ බාල සොයුරාව පාසල් නොගොස් කතා සෙවීමට යාමට පොළඹවයි. ඇය ඒ වෙනුවට ඔහුගේ ගෙදර වැඩවලට සහය වෙයි.

 

ඇයගේ පවුලේ සාමාජිකයින් හැර පිටස්තර කිසිවෙක් ඇය මාධ්‍යවේදිනියක බව නොදනිති.

 

"මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා, මොකද මගේ ගමේ ඉන්න මගේ නෑදෑයන්ගෙන් වැඩි පිරිසක් තාලිබාන් සංවිධානයේ ඉන්නේ. මට මම මාධ්‍යවේදිනියක් කියලා එයාලට කියන්න බෑ, මොකද එයාලා දැනගත්තොත් මටයි මගේ පවුලටයි ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා."

 

අනාගතය

 

බීබීසී ලෝක සේවය සඳහා 'Byline Afghanistan' වාර්තා වැඩසටහන සෑදීමේදී අපි ඇෆ්ඝනිස්ථානයේ වැඩ කරන අනෙකුත් මාධ්‍යවේදීන් සමග සම්බන්ධ වන්නෙමු.

 

කොන්දේසි වෙනස් බව අපට පෙනී ගිය අතර, ඊසානදිග ප්‍රදේශයේ අප සමග කතා කළ කාන්තාවකට තවමත් කාන්තාවන් පමණක් කතා කරන සිය වැඩසටහනේ කටයුතු කිරීමට හැකි ය. 

 

පිරිමින්ට තවදුරටත් කාන්තාවන් සමග වැඩ කිරීමට නොහැකි නිසා කාර්යාලය දෙකට බෙදා ඇති බව ඇය අපට පැවසුවා ය. කාන්තාවකට තොරතුරු රැස් කිරීමට හෝ ප්‍රශ්නයක් විමසීමට අවශ්‍ය නම් පිරිමියෙකු මාර්ගයෙන් සිදු කරගත යුතුයි.

  

තවත් මාධ්‍යවේදිනියක අපට පැවසුවේ, තාලිබාන් නීති උල්ලංඝණය වනු ඇතැයි බියෙන් සම්පත්දායකයින් ඔවුන් ඔවුන්ට ම ස්වයංවාරණයක් පනවා ගෙන ඇති බව ය.

 

සැම අයෙකුම අරමුදල් හිඟවීම පිළිබඳව සැලකිලිමත් ය.

 

c48164d0 abfb 11ef 9684 9717b5a4f667.jpgෂබ්මන් ඩවුරන් ඇෆ්ඝනිස්ථාන ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති මැදිරිය තුළ

 

බාල සහෝදරියක සහ සහෝදරයෙකු සමග එක්සත් රාජධානියට පිටව ගිය ෂබ්මන් ඩවුරාන් ඉංග්‍රීසි කතා කරන්නේ අල්ප වශයෙනි. ගොඩබිමක් සහිත රටක සිටි කාන්තාවකට ආගන්තුක රැකියාවක් වූ මාළු වෙළෙඳසළක සේවය කිරීම ඇගේ පළමු රැකියාව විය.

 

දැන් ඇය නැවතත් එක්සත් රාජධානිය පදනම් කරගත් සෞදි ව්‍යාපාරිකයෙකුගේ ලියාපදිංචිය යටතේ ඇති ඇෆ්ඝනිස්ථාන ජාත්‍යන්තර රූපවාහිනී නාළිකාවේ ඇයගේ ම වැඩසටහන් සහ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සිදු කරයි.

 

ඒ සියල්ල ම සරල නොවීය. මුල් අවස්ථාවේදී ඇෆ්ඝනිස්ථානයේ රැඳී සිටි ඇයගේ පවුල තාලිබාන් සංවිධානයේ ඉලක්කයට ලක් වූ බව ඇය අපට පැවසුවා ය. හමුදාවේ ගුවන් නියමුවෙකු වූ ඇගේ පියාට ඔවුන් කිහිප වරක් පහර දී ඇති අතර (එයට සම්බන්ධතාවයක් නැතැයි තාලිබාන් සංවිධානය ප්‍රතික්ෂේප කරයි) ඔහුට ඇවිදීමට නොහැක.

 

ඇගේ පවුලේ සමීපතයන් සියල්ලෝ ම දැන් රටින් බැහැරව සිටිති. ඔවුන්ට තාලිබාන් සංවිධානයෙන් දිගට ම පණිවීඩ ලැබෙන බව ඇය පවසයි (ඇයට ද ලැබෙයි ). නමුත් දැන් සාපේක්ෂව ආරක්ෂිත ස්ථානයක සිටිමින්, නිහඬව සිටීම ප්‍රතික්ෂේප කළ ඇෆ්ඝනිස්ථාන මාධ්‍යවේදිනියක වන ඇය ගැන ඇයගේ දෙමාපියන්ට අභිමානයට පත් විය හැක.


(සනා සාෆි සහ ඇලෙක්ස් ලෙවිස්)
බීබීසී සියයක් කාන්තාවෝ

උපුටා ගැනීම - BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...