The Leader News
BREAKING
ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●
Top Ad
විශේෂාංග

ඇමති ලාල් කාන්ත කියන විදිහට වන සතුන් මරා ගොවි බිම් බේරා ගත හැකි ද? - (නිරංජන් චාමින්ද කරුණාතිලක)

T

The Leader Desk

December 7, 2024 • 11:32 AM

ඇමති ලාල් කාන්ත කියන විදිහට වන සතුන් මරා ගොවි බිම් බේරා ගත හැකි ද? - (නිරංජන් චාමින්ද කරුණාතිලක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුලින්ම මහනුවර දිස්ත්‍රික්කයේ රිළවුන්ගෙන් සිදු වන වගා හානි පිළිබඳ පවසමින් ආරම්භ කළ මේ ප්‍රකාශය පසුව සමස්ත ගොවි ජනතාවට වන සතුන්ගෙන් සිදු වන හානි දක්වා විහිදී ගිය අතර ඔහු මේ ප්‍රකාශය සිදු කළේ ඒ අවස්ථාවේදීය.
  • වගා බිම්වලට ඇතුළුවන රිළවුන්, වල් ඌරන්, ඉත්තෑවුන් ආදී සතුන් මූලික කර ගනිමින් මේ ප්‍රකාශය සිදු කෙරෙන්නට ඇතැයි සිතිය හැකි වුව ද වගා බිම්වලට ඇතුළුවන වන අලින් සම්බන්ධයෙන් ද මෙය ක්‍රියාත්මක වන්නට පටන් ගතහොත් මහත් ව්‍යසනයක් වනු ඇතැයි විවිධ පාර්ශ්ව මෙහිදී ප්‍රකාශ කළ සිටියහ.
  • මිනිසුන් වන සතුන්ගේ භූමි අත්පත් කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මේ ගැටලුව මතු වී ඇති බැවින් එහි කෙළවරින් නොව මුලින්ම අල්ලා විසඳුම් දීම සිදු කළ යුතු යැයි ද එකී පාර්ශව පෙන්වා දුන්හ.
  • වන සතුන්ගේ ගහනය වැඩි වීම යන්නෙහි ඇති සැබෑ විද්‍යාත්මක අර්ථකථනය නම්, වන ගහනයන් අඩුවීමට සාපේක්ෂව ඔවුන් මානව ජනාවාස කරා සංක්‍රමණය වී තිබෙනවාය යන්නය.
අකුරු ප්‍රමාණය (Font Size):


මුලින්ම මහනුවර දිස්ත්‍රික්කයේ රිළවුන්ගෙන් සිදු වන වගා හානි පිළිබඳ පවසමින් ආරම්භ කළ මේ ප්‍රකාශය පසුව සමස්ත ගොවි ජනතාවට වන සතුන්ගෙන් සිදු වන හානි දක්වා විහිදී ගිය අතර ඔහු මේ ප්‍රකාශය සිදු කළේ ඒ අවස්ථාවේදීය.

වගා බිම්වලට ඇතුළුවන රිළවුන්, වල් ඌරන්, ඉත්තෑවුන් ආදී සතුන් මූලික කර ගනිමින් මේ ප්‍රකාශය සිදු කෙරෙන්නට ඇතැයි සිතිය හැකි වුව ද වගා බිම්වලට ඇතුළුවන වන අලින් සම්බන්ධයෙන් ද මෙය ක්‍රියාත්මක වන්නට පටන් ගතහොත් මහත් ව්‍යසනයක් වනු ඇතැයි විවිධ පාර්ශ්ව මෙහිදී ප්‍රකාශ කළ සිටියහ. මිනිසුන් වන සතුන්ගේ භූමි අත්පත් කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මේ ගැටලුව මතු වී ඇති බැවින් එහි කෙළවරින් නොව මුලින්ම අල්ලා විසඳුම් දීම සිදු කළ යුතු යැයි ද එකී පාර්ශව පෙන්වා දුන්හ.

 



වන සතුන්ගෙන් වගාවට සිදු වන හානි පිළිබඳ පාර්ලිමේන්තුවේ දී මෙන්ම ඉන් පිටතදී ද කතාබහට ලක් වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. එය අවසන් කතාව වන්නේ ද නැත. වන සතුන්ගේ ගහනය වැඩි වීම යන්නෙහි ඇති සැබෑ විද්‍යාත්මක අර්ථකථනය නම්, වන ගහනයන් අඩුවීමට සාපේක්ෂව ඔවුන් මානව ජනාවාස කරා සංක්‍රමණය වී තිබෙනවාය යන්නය. මේ නිසා ගොවි බිම් ප්‍රදේශවල වන සතුන් ගහනයක් වැඩි වශයෙන් දක්නට හැකිය. මෙයට පෙර අවස්ථාවල දී දේශපාලනඥයන් ඇතුළු වගකිව යුතු නිලධාරීන් වන සතුන් මරා දැමීම හොඳම විසඳුම යැයි නොකියා පවසා සිටිය ද මේ අවස්ථාවේ දී ලාල් කාන්ත ඇමතිවරයා එය ඍජුවම ප්‍රකාශ කොට තිබේ.


chart imageවගා භූමි මහ වනාන්තරය අතර නිදහස් කලාප ඇති කිරීම

මෙහි දී ලාල්කාන්ත ඇමති වරයා රිලවුන් ගෙන් වන වගා හානිය ත්‍රස්තවාදයක් සේ නම් කිරීම ද විශේෂත්වයකි. එහෙත් ඒ සඳහා තමන් යෝජනා කරන ඔවුන් වනසා දැමීම “කුමන වාදයකට “අයත් වන්නක් දැයි දේශපාලන ත්‍රස්තවාදය හා සබැඳි අතීතයක් හිමි පක්ෂයක් නියෝජනය කරන ඇමති වරයා සිතා නොමැති බව පෙනේ. එම කණ්ඩායම මේ වන විට සිය සුපුරුදු ගමන් මඟ වෙනස් කොට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට පිවිසීම අපි අතිශයින් අගය කරමු. එහෙත් ඔවුන් ගේ ඒ සාධනීය අභිලාෂය ඉෂ්ඨ සිද්ධ වීමට නම් මිනිසුන් ගේ සේම සතුන් ගේ ජීවිත ද වැනසිය යුතු බව පැවසෙන ත්‍රස්තවාදී සංකල්ප මුළුමනින් මනැසින් සෝදා හැරිය යුතු ය. නැති නම් එම අතිශය බිහිසුණු මාරාන්තික වෛරසය යළි ව්‍යාප්ත වීමේ පැහැදිලි අවකාශයක් තිබේ.

device වඳුරන් පළවා හරින අතිස්වනික උපකරණය

වන සතුන්ගෙන් මිනිස් ක්‍රියාකාරකම්වලට හානි සිදුවීමේ දී ඔවුන්ව පාලනය කිරීමේ අවසන් විසඳුමක් ලෙස මරා දැමීම ලෝකයේ බොහෝ රටවල සිදු වන අතර එය හඳුන්වනු ලබන්නේ Culling නමිනි. මේ සඳහා සිංහල වදනක් සොයා ගැනීමට නොහැකි අතර මෙය නිර්වචනය කොට ඇත්තේ නිශ්චිත නිර්ණායක මත පදනම්ව විශාල කණ්ඩායමකින් යම් යම් පුද්ගලයන්ව හෝ අයිතම තෝරා ගැනීම ඉවත් කිරීමේ ක්‍රියාවලිය ලෙසය.  

වගා කටයුතු සම්බන්ධයෙන් මෙය ක්‍රියාත්මක වන්නේ වගාවට හානි කරන වන සතුන් තෝරා ඔවුන් ඉවත් කිරීම හෙවත් මරා දැමීමය. වන ජීවය සංරක්ෂණයේ දී පාරිසරික පද්ධතියට හානි සිදු කරන තරමට ගහනය ඉක්මවා ගිය සතුන් පාලනය කිරීමට සහ පශු සම්පත් කළමනාකරණයේ දී රෝගී වූ, මහලු සහ ඵලදායි නොවන සතුන් ඉවත් කිරීම සඳහා මේ ක්‍රමය උපයෝගී කර ගැනේ. එමෙන්ම වගාවන් අතර ඇති ඵලදායී නොවන බෝග ඉවත් කිරීමේ ක්‍රියාවලිය හැඳින්වීමට ද මේ නම භාවිතයට ගැනේ.


ali wataඅලි වැට

වන සතුන්ගේ අධික ගහනය පාලනය කිරීම, මානව – වන සත්ත්ව ගැටුම් අවම කිරීම, යම්කිසි සත්ත්ව ප්‍රජාවක් අතර පැතිර යන ලෙඩ රෝග පාලනය කිරීම, අධික ගහනයක් ඇති සතුන් නිසා පාරිසරික පද්ධතිය යම් හානිකර සහ අසමබර තත්ත්වයකට පත්ව ඇත්නම් එය නිවැරදි කර ගැනීම සඳහා මේ ක්‍රියාවලිය යොදා ගත හැකිය. නමුත් වන සතුන් තෝරා ඉවත් කිරීමේ මේ ක්‍රියාවලියේ ධනාත්මක මෙන්ම ඍණාත්මක ප්‍රතිඵල ද බොහොමයක් තිබේ.

ඍණාත්මක ප්‍රතිඵලයන්ගෙන් එකක් වන්නේ යම් යම් සත්ත්ව විශේෂ නිශ්චිත පාරිසරික පද්ධතියකින් බහුල ලෙස ඉවත් කිරීම ආහාර දාමයට සහ පාරිසරික සමබරතාවට සිදු වන බාධාවය. නිදසුනක් ලෙස විලෝපිතයන් යම් කිසි පාරිසරික පද්ධතියකින් බහුල වශයෙන් ඉවත් කළ හොත් ඔවුන්ට ගොදුරු වන සතුන්ගේ ජනගහනය ශීඝ්‍ර ලෙස ඉහළ යාම සිදු වීමය. එමෙන්ම මේ නිසා සතුන්ගේ චර්යා රටාවන්ගෙන් වෙනස් වීම් හේතුවෙන් ඔවුන්ගේ පැවැත්මට දීර්ඝ කාලීන බලපෑම් එල්ල විය හැකිය. නිදසුනක් ලෙස යම්කිසි පාරිසරික පද්ධතියක සිටින සියලු රිළවුන් ඉවත් කළ හොත් එවිට ඔවුන්ගෙන් සිදු වන වගා හානි අවම විය හැකි නමුත් ඔවුන්ව ගොදුරු කර ගන්නා වෙනත් සතුන්ගේ ජීවන චර්යාවන්ට බාධා විය හැකි අතර එය පසුව වෙනත් අර්බුදයක් ලෙස පරිසරයට සහ මිනිසුන්ටම අත්විඳින්නට සිදු විය හැකිය.

 

Dubai Lanka News 2 1 10යම්කිසි පාරිසරික පද්ධතියක සිටින සියලු රිළවුන් ඉවත් කළ හොත් එවිට ඔවුන්ගෙන් සිදු වන වගා හානි අවම විය හැකි නමුත් ඔවුන්ව ගොදුරු කර ගන්නා වෙනත් සතුන්ගේ ජීවන චර්යාවන්ට බාධා විය හැක

සාමාන්‍යයෙන් පොදු පිළිගැනීම වී ඇත්තේ වන සතුන් තෝරා ඉවත් කිරීමේ මේ Culling ක්‍රියාවලිය වන සතුන්ගෙන් වගාවන්ට සිදු වන හානි වළක්වා ගැනීම සඳහා වූ කෙටි කාලීන විසඳුමක් පමණක් බවය. එය තිරසාර විසඳුමක් ලෙස ලෝකයේ කිසිදු රටක පිළිගෙන නැත. ඕනෑම වන සත්ත්වයකු මරා දැමීම සඳහා නීත්‍යානුකූලව පවරන මේ බලය බොහෝ විට අවභාවිත වීම වළක්වා ගත නොහැකිය. අප රටේ දුර්ලභ වෙමින් පවතින වන අලි ගහනය කෙරෙහි ද මෙහි බලපෑම එල්ල විය හැකි ඇති අතර ඔවුන්ගෙන් ද වගා හානි සිදු වන බැවින් වගා භූමියට ඇතුළුවන වන අලියකු වුව ද මරා දැමීමේ බලය මෙහිදී නීත්‍යානුකූලව ලැබී ඇති පෙනෙන්නට තිබේ. අනෙක මේ Culling ක්‍රියාවලිය නිසි පරිදි කළමනාකරණය කර නොගතහොත් වගාවන්ට හානි නොකරන වෙනත් සතුන් ද මරණයට පත් වීමේ අවදානම තිබේ.


vegiප්‍රවාහනයේ දී සිදු වන භෝග හානිය

අනෙක මේ ක්‍රමය ලෝකයේ සෑම රටකම පාහේ ක්‍රියාත්මක වන්නේ පළමු විසඳුම ලෙස නොව අවසන් විසඳුම වශයෙනි. මේ ක්‍රියාවලියට පිවිසෙන්නට පෙර වන සතුන්ගෙන් සිදු වන හානි අවම කිරීම සඳහා ගත හැකි තවත් පියවර ගණනාවක්ම තිබේ. වන සතුන් වගා බිම් කලාපවලට ඇතුළු වීම වැළැක්වීම සඳහා භෞතික බාධක ඉදිකිරීම එක් ක්‍රමයකි. එමෙන්ම ප්‍රජා මූලික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ද තවත් එක් විසඳුමකි. වන සතුන්ගේ සීමාව සහ වගා බිම්වල සීමාව අතර යම් නිදහස් කලාපයක් ඇති කිරීම එවැනි එක් විසඳුමකි.

වන සතුන්ගේ ආකර්ෂණය අවම වන පරිදි බෝග විවිධාංගීකරණය ද තවත් එක් විසඳුමකි. එමෙන්ම මාරක නොවන ක්‍රමෝපායයන් තුළින් වන සතුන් පලවා හැරීමේ උපක්‍රම භාවිතය ද තවත් එක් පියවරකි. අප රටේ ද එවැනි ක්‍රම භාවිත නොවන බව මෙයින් ඇඟවෙන්නේ නැත. වන සතුන් පලවා හැරීමේ උපක්‍රම, අලි වැට වැනි පියවර ගෙන තිබුණ ද වගා හානි සිදු වන බව සැබෑ නමුත් එය මුල් කර ගනිමින් නිර්දය ලෙස වන සතුන් මර්දනය කිරීම තිරසාර විසඳුමක් වන්නේ නැත.

 

EFP 5373

වගා බිමේ දී සතුන්ගෙන්  වගාවන්ට හානියක් සිදු නොවේ යැයි කිසි විටෙක පැවසෙන්නේ නැත. නමුත් මේ භව භෝග ප්‍රවාහනයේ දී, අළෙවියේ දී, බොහෝ විනාශයක් සිදු වන බව වැඩි කතාබහකට ලක් වන්නේ නැත. ඇතැම් අස්වනු අලෙවි කර ගනු නොහැකිව විනාශ වන අවස්ථාවන් ද ඕනෑ තරම් දැකිය හැකිය. එමෙන්ම ආර්ථික මධ්‍යස්ථානවල භෝග විශාල ප්‍රමාණයක් අපතේ යයි. කෘෂිකර්ම අමාත්‍යංශයේ වෙබ් අඩවියේ සඳහන් වන අන්දමට එළවළුවලින් 19% ක්ද, පලතුරුවලින් 21% ක්ද වාර්ෂිකව අපතේ යයි. මෙය ප්‍රමාණාත්මකව ගෙන බැලුවහොත් එළවළු මෙට්‍රික් ටොන් 221,995 ක් සහ පලතුරු මෙට්‍රික් ටොන් 290,151ක් වේ. මෙය අති විශාල ප්‍රමාණයකි. මෙහි මුදල් වටිනාකම සඳහන්ව නැත. 2021 වසරේ  පමණක් මෙසේ අපතේ ගිය එළවළුවලින් මිනිසුන් ලක්ෂ 10කට ආහාර සැපයීමට හැකියාව තිබූ ද වෙබ් අඩවියේ සඳහන් විය.


අනෙක සෑම වසරකම අළෙවි කර ගත නොහැකිව අපතේ යන බෝග වර්ග ද බොහොමයකි. මේවා අපතේ නොයවා කල් තබා ගැනීමට හෝ අපනයනය කොට ආදායම් ඉපයිය හැකි ක්‍රම පිළිබඳව හෝ සැලසුම් ඇති කරනු දක්නට ලැබෙන්නේ නැත.

එබැවින් වන සතුන් තෝරා බේරා ඉවත් කිරීමේ Culling ක්‍රියාවලියම පමණක් වන සතුන්ගෙන් වගාවන්ට සිදු වන හානිය වළක්වා ගැනීම සඳහා තිරසාර විසඳුමක් වන්නේ නැත. මේ සඳහා බහුමුහුණුවර වැඩසටහන් ඔස්සේ ප්‍රවේශ විය යුතු අතර සියල්ලම වන සතුන් මත පමණක් පැටවීම යුක්ති සහගත වන්නේ නැත. යම් කිසි සත්ත්ව විශේෂයක් නිශ්චිත පාරිසරික පද්ධතියකින් ඉවත් කළ පමණින් වගා හානි අවම වන්නේ ද නැත. පසුකාලීන ව නව සත්ත්ව විශේෂයක් මගින් වගා හානි සිදු වන්නට ද ඉඩ තිබේ. එබැවින් දේශපාලනඥයන් සහ බලධාරීන් වන සතුන් ගැන පමණක් කියමින් මේ ගැටලුවට විසඳුම් ලබා දීම පසෙක තබා කල් පවතින තිරසාර විසඳුම් ලබා දීමට පියවර ගත යුතුව තිබේ.


chaminda karu
(නිරංජන් චාමින්ද කරුණාතිලක)
hnckcreations@gmail.com

උපුටා ගැනීම -vinivida.lk



සබැඳි ලිපි :

ඇමති ලාල් කාන්තගේ රිලා කතාවට විරෝධයක්

රිළව් සහ ලාල්... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...