The Leader News
BREAKING
ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●
Top Ad
විශේෂාංග

තදබල රෝග තත්ත්වයන්වලදී සමහර රෝගීන් නන්දොඩවන්නේ මරණය ආසන්න වීම නිසාද?

T

The Leader Desk

December 7, 2024 • 2:35 PM

තදබල රෝග තත්ත්වයන්වලදී සමහර රෝගීන් නන්දොඩවන්නේ මරණය ආසන්න වීම නිසාද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “ඔය ඇවිත් ඉන්න කට්ටියට තේ ටිකක් හදලා දෙන්න” ඇය පැවසුවේ තමන් රෝහල් වාට්ටුවක නොව තමන්ගේ ගෙදර සිටින අයුරිනි.
  • කිසියම් රෝගියකු මෙලෙස නන්දොඩවන විට පවුලේ අය බෙහෙවින් බියට පත් වෙති.
  • නමුත් ඇත්තටම මෙය මරණාසන්න අවස්ථාවට කිසිසේත්ම සම්බන්ධ දෙයක් නොවේ.
  • එසේ වන්නේ එම රෝගියාගේ කායික රෝගය උත්සන්න වීමේ ප්‍රතිඵලයක් ලෙස ය.
අකුරු ප්‍රමාණය (Font Size):


“ඔය ඇවිත් ඉන්න කට්ටියට තේ ටිකක් හදලා දෙන්න”

ඇය පැවසුවේ තමන් රෝහල් වාට්ටුවක නොව තමන්ගේ ගෙදර සිටින අයුරිනි. ඒ මොහොතේ ඇගේ ඇඳ අසල සිටියේ ඇගේ දියණිය පමණි.

“ඒගොල්ලෝ මට කතා කරනවා. එයාලා ළඟට ඉන්න කියලා”

තවත් අවස්ථාවක ඇය කීවාය.

“උන් මාව මරන්න හදන්නේ. බුදුඅම්මෝ මාව බේරගනියෝ” කියමින් තවත් වරෙක ඇය දුවන්නට සැරසුණාය.

කිසියම් රෝගියකු මෙලෙස නන්දොඩවන විට පවුලේ අය බෙහෙවින් බියට පත් වෙති. අපේ සංස්කෘතිය තුළ බොහෝ විටම මෙවැනි දේවල් සලකන්නේ මරණාසන්න අවස්ථාවලදී සිදුකරනු ලබන නන්දෙඩවීමක් හැටියට ය. නමුත් ඇත්තටම මෙය මරණාසන්න අවස්ථාවට කිසිසේත්ම සම්බන්ධ දෙයක් නොවේ. යම් රෝගියකු මෙලෙස නන් දොඩවමින් හිඳ ඊට දවසකට, දෙකකට පසුව හෝ මියයන්නට බැරිකමක් නැත.

එසේ වන්නේ එම රෝගියාගේ කායික රෝගය උත්සන්න වීමේ ප්‍රතිඵලයක් ලෙස ය. එවිට අර නන්දෙඩවීම සහ මරණය අපූරුවට ගැළපුනත් විශේෂයෙන් අප මෙහිදී අවධාරණය කරන්නේ රෝගියා නන් දෙඩෙව්වේ මරණයට ආසන්නව සිටි නිසා නොවන බව ය. මරණය එක කාරණාවකි. නන්දෙඩවීම තවත් කාරණාවකි. මේ දෙක අතර කිසිදු සම්බන්ධයක් නොමැත.

එසේ නම් මේ කුමක්ද?

අපි දැන් එය පැහැදිලි කරගනිමු.

මේ තත්ත්වය හඳුන්වන්නේ delirium ලෙසිනි. ඩිලීරියම් යන්නට පැහැදිලි සිංහල තනි වචනයක් සොයා ගැනීම අසීරු වුවත් එය සිහි මුලාව, වික්‍ෂිප්තභාවය, විභ්‍රමය, ව්‍යාකූලත්වය වැනි අර්ථ ගෙන දෙයි.

ඩිලීරියම් යනු කිසිසේත්ම මානසික රෝගයක් නොවේ. මෙය කායික රෝග තත්ත්වයක් නිසා ඇතිවන්නකි. වයස්ගත රෝගීන් තුළ මේ තත්වය සුලභ අතර තරුණ වියේ පසුවන රෝගීන් තුළත් ඉඳහිට දක්නට ලැබේ.

දින ගණනක් තිස්සේ පවතින තදබල උණ රෝගයක් හෝ වෙනත් කිසියම් ආසාදනයක් අක්මාව, පෙනහලු ආදී වශයෙන් වූ යම් අවයවයකට නැතහොත් අවයව කිහිපයකට වුවද පැතිරීම නිසා රෝගියා තුළ මෙම ඩිලීරියම් තත්ත්වය ඇතිවිය හැකිය. එසේම වයස්ගත කාන්තාවක් හෝ පිරිමියෙක් දින ගණනක් තිස්සේ මළබද්ධයෙන් පෙළෙන අවස්ථාවලදී පවා ඩිලීරියම් තත්ත්වය ඇතිවන්නට ඉඩ තිබේ.

සාමාන්‍යයෙන් වයස්ගත කාන්තාවන්ට ඩිලීරියම් ඇතිවන සුලබ හේතුවක් වන්නේ තදබල මුත්‍රා ආසාදනයන් ය. වයස්ගත පිරිමි අයට මේ තත්ත්වය පෙනහළු ඇතුළු ස්වසන මාර්ගයේ ආසාදනවලදී වැඩියෙන් දක්නට ලැබේ. නමුත් ඉහතද සඳහන් කළාක් මෙන් ඕනෑම තදබල ආසාදන තත්ත්වයකදී හෝ සුව නොවන තදබල උණ රෝගයකදී ඩිලීරියම් හටගත හැකි බව විශේෂයෙන් අවධාරණය කළ යුතු වෙයි.

ඩිලීරියම්වලදී මුලින්ම සිදුවන්නේ වෙලාව, එනම් කාලය පිළිබඳ දැනීම (disorientation time) නැති වී යාමයි. ඒ අනුව දිවා, රෑ ආදී වශයෙන් වන කාලය පිළිබඳ මතකය නැති වී යයි.

ඒ තත්ත්වය තවදුරටත් වර්ධනය වූ පසු ඊළඟට සිදු වන්නේ ස්ථානය පිළිබඳ මතකය (disorientation place) නැතිවීම ය. තමා සිටින්නේ කොතනකද යන හැඟීමක් එවිට රෝගියාට නැත.

තුන්වෙනි අවස්ථාවට පැමිණි පසු තමා කවුද යන්නත් රෝගියාට අමතක වේ. ( disorientation person ) මෙහිදී රෝගියා තමන්ගේ පවුලේ අයව පවා නොහඳුනයි.

විශේෂයෙන් වැඩිහිටි රෝගීන් බහුලව සිටින කායික රෝග වාට්ටුවල (medical wards) ඩිලීරියම් තත්ත්වය සහිත රෝගීන් සුලභ ය. මෙම ලක්ෂණය වැඩිවූවිට රෝගියා තුළ සිහි මඳ ගතිය, කලබල වීම, ඇඳෙන් පනින්නට උත්සාහ කිරීම වැනි ලක්ෂණ ඇතිවන අතර ඔවුන් තුළ නොයෙකුත් වැරදි විශ්වාස හෙවත් මෝහ (delusions ) ඇතිවේ.

මේ අනුව වෛද්‍යවරයා හෝ හෙදිය නැතහොත් රෝහල් කාර්ය මණ්ඩලයේ කෙනෙකු තමා වෙත එන විට ඒ තමාගේ ගෙල මිරිකා මරා දමන්නට එන කෙනෙකු ලෙස රෝගියාට හැඟෙන්නට පුළුවන. එනිසා කෑ ගසන්නට, පැන දුවන්නට රෝගියා උත්සාහ කරනු ඇත.

මේ හැරුණු විට ඩිලීරියම් තත්ත්වය නිසා විවිධ භ්‍රාන්ති (hallucinations) ද මෙම රෝගීන් තුළ ඇති විය හැකිය. මෙහිදී දෘෂ්ටි භ්‍රාන්ති ලෙස, තමා අසල කිසිවෙකු නොසිටින අවස්ථාවලදී පවා නොයෙකුත් අය සිටිනු දැකීම, විශාල පිරිසක් අවි ආයුධ ගෙන තමා මරන්නට එනු දැකීම ආදී සැබෑවක් නොවන මායාකාරී දේවල් රෝගියාට පෙනෙනු ඇත. ඇතැම් විට තමාට එවැනි අනතුරක් කරන්නට එන බවට විවිධ කටහඬවල්ද ශ්‍රවන භ්‍රාන්ති ලෙස ඇති විය හැකිය.

මෙවැනි භ්‍රාන්ති තත්ත්වයන් නිසා මහත්සේ බියට පත්ව කලබල වන රෝගීන් වාට්ටුවෙන් පැන දුවන්නට උත්සාහ කරනු ඇත. හදිසියේවත් එවැනි අවස්ථාවකදී රෝගියා ළඟ වෙනත් කිසිවකු නොසිටියොත් රෝගියා හිස් ලූ අත දිව ගොස් වාට්ටුවේ ජනේලවලින් හෝ ඇතැම් විට උඩුමහල්වලින් පවා එළියට පනින්නේ තමා පසුපස කිසියම් කෙනෙක් හෝ පිරිසක් තමා මරා දමන්නට ලුහු බඳින බවට දකින මායාත්මක දර්ශනය නිසා ය.

මෙහිදී රෝගියාට ජනෙල්වලින් හෝ උඩුමහල්වලින් පිටතට පැනීමේදී සිය ජීවිතයට සිදුවිය හැකි අනතුර වටහා ගැනීමට හැකියාවක් නැත. රෝගියා මෙහිදී කල්පනා කරන්නේ තමා පසුපසින් එලවාගෙන එන පුද්ගලයාගෙන් බේරීම සඳහා වන මගක් පමණි. සැබෑවටම රෝගියා මරා දැමීම සඳහා එලෙස පසුපසින් ලුහුබඳින කෙනෙකු නොමැති වුවත් එම භ්‍රාන්තිමය තත්ත්වය නිසා අවසානයේ සිදුවන්නේ රෝගියා ඉහළක සිට පහළට වැටී මිය යාම ය. උඩුමහල් සහ උස් ස්ථානවලින් පැන රෝගීන් මියගිය බවට වාර්තා වන බොහෝ අවස්ථාවන් පිළිබඳව සොයා බැලුවහොත් ඔවුන් මෙම delusions සහ ඒ ඔස්සේ හටගත් hallucinations තත්ත්වයන්ගෙන් පෙළුනු බවට අනාවරණය කරගත හැකි වනු ඇත.

රෝගීන්ට මෙවැනි ලක්ෂණ ඇතිවූ විටදී එම වාට්ටුවල වෛද්‍යවරුන් රෝගියා මානසික රෝග වාට්ටුවට මාරු කරන්නට පෙළඹීම බොහෝ විට සිදුවේ. එය නොකළ යුත්තකි. රෝහල් කාර්ය මණ්ඩලය පවා තීරණය කරන්නේ රෝගියා මානසික රෝගියෙකු බවයි. නමුත් ඇත්තටම මෙවැනි තත්ත්වයකදී මානසික වෛද්‍යවරයෙකුට කළ හැකි දෙයක් නොමැත. හේතුව මෙය කායික රෝගයක් නිසා හටගත් ලක්ෂණ වන බැවිනි.

දින කිහිපයක් තිස්සේ අඩු නොවී පවතින උණ හෝ ශරීරයේ ඉන්ද්‍රියන් කිහිපයකටම වුව බලපෑ හැකි තදබල ආසාදන තත්ත්වයන් නිසා ශරීරයේ ලවණවල සාන්ද්‍රනයන්හි ඇතිවන වෙනස්කම් සහ ශරීරය විජලනයට පත්වීම යන මේ කාරණා තුන හේතුවෙන් ඩිලීරියම් ලක්ෂණ එම රෝගීන් වෙතින් තාවකාලිකව පළවනු ඇත. නමුත් මේ හේතුවෙන් සමහරුන් ඔවුන් මානසික රෝගීන් සේ දැක්වීම එම රෝගීන්ට කරනු ලබන බරපතල අසාධාරණයකි.

රෝගියාගේ එම මානසික වෙනස්කම් ඇතිවීමට බලපෑ මූලික කායික රෝගයට ප්‍රතිජීවක ඖෂධත්, රෝගියාගේ විජලන තත්ත්වය සහ රුධිරයේ ලවණ සාන්ද්‍රණය නිසි තත්ත්වයට ගෙන ඒමට සේලයින් ඇතුළු අවශ්‍ය ඖෂධ ප්‍රතිකාරත් ලබාදීම තුළින් දින දෙක තුනක් වැනි කෙටි කාලයකදීම රෝගියාගේ මේ ලක්ෂණ පහ වී සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇත. මෙම මානසික ලක්ෂණවලට දීර්ඝකාලීන ප්‍රතිකාර අවශ්‍ය නොවේ.

මානසික රෝගයක් නිසා හටගන්නා මෝහ හෙවත් delusion තත්ත්වය මෙන්ම භ්‍රාන්ති හෙවත් hallucinations තත්ත්වයන් ද මෙලෙස දින කිහිපයක් වැනි කෙටි කාලයක් තුළදී සුව වන්නේ නැත. මානසික රෝග නිසා හටගන්නා එවැනි තත්ත්වයන්වලදී ඒවා සුව වීමට වැඩි කාලයක් රෝගියාට එක දිගට මානසික වෛද්‍ය ප්‍රතිකාර දීමට අවශ්‍ය ය. මේ දෙකෙහි ඇති වෙනස එයයි.

Dr Gihan Abewardhana(විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන)

සටහන - ඉන්දු පෙරේරා

(උපුටා ගැනීම - vinivida)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තදබල රෝග තත්ත්වයන්වලදී සමහර රෝගීන් නන්දොඩවන්නේ මරණය ආසන්න වීම නිසාද? | The Leader