The Leader News
BREAKING
ගුවන් යානා නිරීක්ෂණය: අහස ජයගත් ලෝකයේ නැගී එන විනෝදාංශය●තත්පර 30ක සිරස් වැටීම: අහසේ සිදුවූ අදහාගත නොහැකි ආශ්චර්යය●සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : විපක්ෂයේ මධු සාදයක්

T

The Leader Desk

December 8, 2024 • 7:05 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : විපක්ෂයේ මධු සාදයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිගු කලක් ආණ්ඩු පක්ෂයේම සිටි හෙයින්, ඔවුහු හැම කෙනෙක්ම වාගේ, විපක්ෂයට නවකයෝ වූහ.
  • අපි ටික දෙනා හරි ඇතුළට රිංග ගත්තනෙ.
  • ” “ජාතික ලැයිස්තු කේස් එකෙන්, ජනතාව තේරුම් ගත්තා අපි අතර සමගියක් එකමුතු බවක් නෑ කියලා.” “සන්ධාන කියන්නෙම, කේස් තමයි.” කාරණය බැරෑරුම් වූ හෙයින්දෝ, පිරිස මොහොතකට නිහඬ වූහ.
  • අපි මොනව කිව්වත්, ඒගොල්ලො නිශ්ශබ්දව ඉන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):

දිගු කලක් ආණ්ඩු පක්ෂයේම සිටි හෙයින්, ඔවුහු හැම කෙනෙක්ම වාගේ, විපක්ෂයට නවකයෝ වූහ. මධු සාදයේ, එක් අරමුණක් වූයේද, විපක්ෂයේ කාර්යභාරය කුමක්දැයි විසඳා ගැනීමය.

දෙවැනි මධුවිත පිරෙත්ම, එක් මන්ත්‍රීවරයෙක් මෙසේ කීය.

 

“අර උතුරේ මන්ත්‍රීතුමාට, ආසනේ වැරදිච්ච එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. තව පොඩ්ඩෙන් මාත් ඉඳගන්නෙ, මගෙ පරණ පුටුවෙ.”

“මටත් ඕක වෙන්ඩ ගියා.” තව මන්ත්‍රීවරයෙක් කීවේය. “හොඳ වෙලාවට, මම යනකොට, අලුත් සෙට් එක පුටුවල ඉඳගෙන... තුනෙන් දෙකක්ම ඒගොල්ලො අල්ලගෙනනෙ.”

“ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනෙ.” තවකෙක් කට දැම්මේය.

“ජන්මෙ නෙවෙයි, පරාජය. පැරදිලත් අපි තාම වැඩ කරන්ඩ යන්නෙ දිනලා වගේ.” එසේ කියුවේ, කලින් රාජ්‍ය ඇමැතිවරයකුව සිටි අයෙකි.

ඊළග පාර්ලිමේන්තු මැතිවරණයට පෙර - (කුසල් පෙරේරා)

 

“කමක් නෑ. අපි ටික දෙනා හරි ඇතුළට රිංග ගත්තනෙ. නැත්තං, ගෙදර කට්ටියටවත් මුහුණ දෙන්නෙ කොහොමද?” තවකෙක් කීවේ, බිඳුණු හඬිනි.

“දැන් අපි මොකද කරන්නෙ, විපක්ෂයෙ ඉඳන්?” නිවෙස් හිමි මන්ත්‍රී, මාතෘකාවට බැස්සේය.

“විපක්ෂය කියන්නෙ, හැම තිස්සෙම ආණ්ඩු පක්ෂයට විරුද්ධ වෙන කණ්ඩායම.”

හිටපු රාජ්‍ය ඇමැති කීය. එතැන් සිට, එකිනෙකා තම අදහස් කියන්නට ගත්හ.

“ඒත්, ඒකට තාම කල් වැඩි නැද්ද? කැබිනට් එක රැස්වෙලා තියෙන්නෙත්, තුන් හතර පාරයි. තාම, බජට් එකක් ඉදිරිපත් කරලත් නෑ.”

“එහෙම බලං ඉඳල බෑ... ආණ්ඩුවෙ අය කියන කියන දෙයට අපි, ලෙඩේ දාන්ඩ ඕන.”

“අන්න හරි... කතානායකත් තාම එල් බෝඩ්නෙ. අපිට බය නැතුව, ලෙඩ අදින්ඩ පුළුවන්.”

“ඔව්. එතකොට තමයි, ජනතාවට ඇඟවෙන්නෙ අපි ශක්තිමත් විපක්ෂයක් කියලා. ”

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට 'ක්‍රොස් ඕවර්' කිරීමට ඉඩ දිය යුතුයි - නීතිඥ  චන්ද්‍රසිරි සෙනෙවිරත්න

 

“ජාතික ලැයිස්තු කේස් එකෙන්, ජනතාව තේරුම් ගත්තා අපි අතර සමගියක් එකමුතු බවක් නෑ කියලා.”

“සන්ධාන කියන්නෙම, කේස් තමයි.”

කාරණය බැරෑරුම් වූ හෙයින්දෝ, පිරිස මොහොතකට නිහඬ වූහ.

“ඉස්සර වගේ නෙවෙයි, දැන් පාර්ලිමේන්තුව හරි නිශ්ශබ්දයි නේද? එක් අයෙක් නිහැඬියාව බින්දේය.

“ඔව්. අපි මොනව කිව්වත්, ඒගොල්ලො නිශ්ශබ්දව ඉන්නවා. අදාළ නං විතරක් කවුරු හරි උත්තර දෙනවා. ඉතින් කොහොමද ලෙඩ අදින්නෙ?”

“ඒගොල්ලො තාම ඉගෙනගෙන තියෙන්නෙ, මේසෙට තට්ටු දාන්ඩ විතරයි... කාලයක් යනකොට, අපි වගේ හැදෙයි.”

“කටවල් ලොක් කරගෙන ඉඳල කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය රකින්නෙ?”

“කවුරු මොනව කිව්වත් මම නං කතා කරනවා. නැතුව කොහොමද පක්ෂය ඇතුළෙ තැනක් හදාගන්නෙ. දැන් ටී.වී. එකෙන් පෙන්නන හින්දා, සද්දයක් දාන්ඩ ඕන, ජනතාවට පේන්ඩ.”

පොරොන්දු දේශපාලනය - (කපිල කුමාර කාලිංග)

 

තරුණ මන්ත්‍රීවරයෙක්, තරමක ආවේගයකින් කියා, වීදුරුව උගුරට හළා ගත්තේය.

“හැබැයි යාළුවා, මේ මාලිමා සෙට් එක කියන දේවල් ක්‍රියාත්මක කෙරුවොත්, ලබන සැරේ අපිට ඇපත් නෑ.”

රාජ්‍ය ඇමැති ඇස් ලොකු කළේය.

“ඒක තමයි, අපි දැන්ම ඉඳන් විරුද්ධ වෙලා ඒවා කරන්ඩ දෙන්ඩ හොඳ නෑ. ප්‍රබල විපක්ෂයක කාර්යභාරය ඒකනෙ.”

“ඒක රටට නං හොඳ නෑ නේද?”

“රට ගොඩදාන එක අපි බාරගමු. ලබන සැරේ අපිටත් සටන් පාඨයක් තියෙන්ඩ එපායැ.”

“තව කාරණයක්... මාලිමා සෙට් එක, නිතරම ජනවරම ගැන කියනවා. ඒකටත් විරුද්ධ වෙන්ඩ ඕන... ඇයි, අපිත් මෙතැන ඉන්නෙ ජනවරමකින්නෙ.”

“ඔව්. නායකතුමාට ඒ ගැන කියමු. එතුමාටත් කියමු, අපිට ලැබුණු ජනවරම නිසා, ශක්තිමත් විපක්ෂයක් ගොඩනගාගන්න ලැබුණය කියලා.”

ව්‍යවස්ථාදායකය හා රටේ අනාගතය - (සාලිය නවරත්න)

 

“විපක්ෂය කෙසේ වෙතත්, විපක්ෂ නායකකම බේරගත්ත එකත් ලොකු වරමක්නෙ.”

තවත් විතක් පුරවාගත්, රාජ්‍ය ඇමැති ඉක්මනින්ම දොඩමළු විය.

“මිත්‍රවරුනි, අපිත් කොළ බලන්නෙ නැතුව කතා කරන්න පුරුදු වෙන්න ඕනෙ. දැන් බලනවකො ජනාධිපතිගෙ ඉඳල මාලිමාවේ එල් බෝඩ්කාරයො හිටං ගිරව් වගේ කතා කරන ලස්සන. අපි කොළේ බලාගෙන කතා කරලත්, කොළේ ඉරා ගන්නවා.”

“ඔව්... අපි ඉස්කෝලෙ යන කාලෙ වගෙ කට පාඩම් කරන්න පුරුදු වෙමු.” තරුණ මන්ත්‍රී, හිස සැලීය.

ටික දිනකට පසුව, විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්, පාර්ලිමේන්තු පුස්තකාලයේ සිටිනු දුටු, ඔහුගේ මිත්‍රයෙක්, මෙසේ ඇසීය. “මොකද මෙහෙ? පොත් බලනවද?”

“නෑ... මං ආපහු විභාගයක් කරන්න ලෑස්ති වෙනවා.”
“හැබෑට? ඒ මොකද හදිස්සියෙම?”

“කොහොම හරි ආචාර්ය පට්ටමක්වත් ගන්ඩ ඕන. එහෙම නැතුව මේ පාර්ලිමේන්තුවෙ ඉන්ඩ ලැජ්ජයි. “එල් බෝඩ්” කෑල්ලෙ හැම පේළියෙම ඉන්නෙ, ආචාර්ය, මහාචාර්යවරුනෙ.”


කපිල කුමාර කාලිංගගේ හීසරය : දන්සල් වන්දනාව(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : විපක්ෂයේ මධු සාදයක් | The Leader