The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

ඇත්ත තිත්ත වීමට පෙර… වස කනව ද ? පලිබෝධ නාශක පාලනය කරනව ද?

T

The Leader Desk

December 9, 2024 • 2:17 PM

ඇත්ත තිත්ත වීමට පෙර… වස කනව ද ? පලිබෝධ නාශක පාලනය කරනව ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගොවියා කබලෙන් ලිපට වට්ටමින් සහ ආණ්ඩුවට ගෙදර යන්නට එක් බලවත් හේතුවක් ද උදා කරමිනි.
  • අදවනවිට, තමන්ම ගෙවත්තේ වවා ගතහොත් හෝ ඉහළ මිලක් ගෙවා සුපිරි වෙළඳසළකින් මිලට ගතහොත් හෝ නොවන්නට කාබනික ආහාර පරිභෝජනයට අවස්ථාව අහිමි මෙරට ජනයාට වස යෙදූ බව දැන දැනම එළවළු ඇතුළු සෙසු ආහාර පරිභෝජනය කරන්නට සිදුව ඇත.
  • එසේම උඩරට සහ පහතරට එළවලු වර්ග බොහෝමයක් කෘෂි රසායනික නොයොදා වගා කළ නොහැකි බව ගොවීන්ගේ අත්දැකීමයි.
  • ලංකාවේ කෘෂිකර්මාන්තයේ ස්වභාවය අනුව සම්පූර්ණයෙන් ම කාබනික ගොවිතැනට යොමුවීම ප්‍රායෝගික නොවන අතර නිසි පිළිවෙත් අනුව රසායන භාවිතා කරමින් ගොවිතැන් කිරීම උපාය මාර්ගය විය යුතු බව කෘෂිකර්ම විශේෂඥයින්ගේ ද අදහස ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ගොවියා කබලෙන් ලිපට වට්ටමින් සහ ආණ්ඩුවට ගෙදර යන්නට එක් බලවත් හේතුවක් ද උදා කරමිනි.

අදවනවිට, තමන්ම ගෙවත්තේ වවා ගතහොත් හෝ ඉහළ මිලක් ගෙවා සුපිරි වෙළඳසළකින් මිලට ගතහොත් හෝ නොවන්නට කාබනික ආහාර පරිභෝජනයට අවස්ථාව අහිමි මෙරට ජනයාට වස යෙදූ බව දැන දැනම එළවළු ඇතුළු සෙසු ආහාර පරිභෝජනය කරන්නට සිදුව ඇත. ඊට හේතුව කාබනික ආහාර සුලබ නොවීම සහ කාබනික වගාවට පමණක් යොමුවීම දුෂ්කර වීම ය. එසේම උඩරට සහ පහතරට එළවලු වර්ග බොහෝමයක් කෘෂි රසායනික නොයොදා වගා කළ නොහැකි බව ගොවීන්ගේ අත්දැකීමයි.

ලංකාවේ කෘෂිකර්මාන්තයේ ස්වභාවය අනුව සම්පූර්ණයෙන් ම කාබනික ගොවිතැනට යොමුවීම ප්‍රායෝගික නොවන අතර නිසි පිළිවෙත් අනුව රසායන භාවිතා කරමින් ගොවිතැන් කිරීම උපාය මාර්ගය විය යුතු බව කෘෂිකර්ම විශේෂඥයින්ගේ ද අදහස ය. මහජන සෞඛ්‍ය සහ තවත් කරුණු ගණනාවක් සලකා බලන විට කාබනික මෙන්ම අවශ්‍ය නම් පමණක් නිසි ප්‍රමිතීන්ට අනුව නිර්දේශිත පිළිවෙළට රසායනික භාවිතා කරන තිරසාර ගොවිතැනට යොමු විය යුතු බව සඳහන් කරන කෘෂි විශේෂඥයෙකු වන බිඳුණුවැව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ ජී. ඒ. ඒ ගුරුසිංහ සඳහන් කරන්නේ ගොවීන් ද, කෘෂි ව්‍යාප්ති සේවාව ද, කෘෂි රසායන අලෙවියට සම්බන්ධ ව්‍යාපාරිකයන් ඇතුළු සමාගම් ද ඒකාබද්ධ ප්‍රවේශයකින් ගැලුළුවලට විසඳුම් සෙවිය යුතු වන අතර ඇතැම් කරුණුවලට අදාළව දැනුම සහ පිළිවෙත් යාවත්කාලීන විය යුතු බවයි.


ඉවක්බවක් නැතිව රසායන භාවිතා කිරීම අවුලක්

උඩරට එළවළු වගා කරන බදුල්ල දිස්ත්‍රික්කයට අයත් වැලිමඩ කෘෂිකර්ම කලාපය මෙරට අර්තාපල් නිෂ්පාදනයේ ප්‍රමුඛ භූමිභාගය වන අතර සෙසු එළවලු වර්ග නිෂ්පාදනයෙන් ද ඉදිරිපෙළ ස්ථානයක හිමි කරගෙන ඇත.

නිදසුනක් ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව දිවයිනේ අර්තාපල් නිෂ්පාදනයෙන් සියයට 75ක් බදුල්ල දිස්ත්‍රික්කය තුළ නිපදවන විට ඉන් වැඩි ප්‍රමාණය වගා කරන්නේ වැලිමඩ කෘෂිකර්ම කලාපයේ ය. ඒ හැරුණුවිට බෝංචි සහ තක්කාලි නිෂ්පාදනයෙන් ද බදුල්ල දිස්ත්‍රික්කය මුල්තැනට එද්දී සෙසු උඩරට එළවළු බහුලව නිපදවන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කය බව දත්තවලින් පෙන්නුම් කරයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන මේ සංඛ්‍යාලේඛනවලින් නිගමනය කළ හැකිවන්නේ, කෘමිනාශක දිලීරනාශක බැක්ටීරියානාශක ලෙස වර්ග කළ හැකි විෂ සහිත රසායන ද මේ දිස්ත්‍රික්ක දෙක තුළ බහුලව භාවිතා වන බවයි.

එහෙත්, එකී භාවිතා වීමේ ස්වභාවය සම්බන්ධ ඇතැම් දත්තවලට අනුව රසායන භාවිතයේ අනුක්‍රමික වැඩිවීමක් පෙන්නුම් කරයි. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ පර්යේෂණ වාර්තාවකට අනුව 2006 වසරට සාපේක්ෂව 2011 වසරේ දී මෙරටට ආනයනය කළ කෘෂි රසායන ද්‍රව්‍යවල සහ ඒවායෙන් සංශ්ලේෂිත යෙදවුම්වල ප්‍රමාණාත්මක අගය වැඩිවීම 49%කි.

2020 වසරේ නිකුත් වූ ලෝක බැංකු වාර්තාවකට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් 85%ක් තම වගාවට කිසිම උපද්‍රවයක් ඇතිවීමට පෙරම කෘෂි රසායන භාවිතා කිරීම ආරම්භ කරයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතය සියයට 66%කි. මෙය ඉතාමත් භයානක තත්ත්වයක් බව වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නුවන් වරුෂවිතාන පවසයි. ඔහුට අනුව ගොවීන් නිසි දැනුමකින් තොරවීම, ප්‍රමිතිගත නියාමනයක් නොමැතිවීම, කෘෂි ව්‍යාප්ති සේවාවේ දුර්වලතා ආදිය නිසා මෙවැනි තත්ත්වයක් පැන නැගිය හැකි අතර ඉන් සෞඛ්‍ය තර්ජනයක් උද්ගත වීමට ඉඩ තිබේ.

zxdstw45“මූලිකවම මේ රසායන භාවිතා කරන ගොවීන් සහ ආසන්න ජනයා අයහපත් සෞඛ්‍ය තත්ත්වයන්ට ගොදුරු වෙන්න පුළුවන්. අපි දකිනවා ඇතැම් ගොවියො ආරක්ෂාකාරී පිළිවෙත් අනුගමනය නොකරමින් රසායන භාවිතා කරනවා. හිස් භාජන ඇළ, දොළවලට දානවා. දියර ඉසින ඒ ඒ තැන්වල හෝදනවා. අනික මට අහන්න ලැබිලා තියෙනවා බොහෝ වෙලාවට පෙර අස්වනු කාලය නොසලකා රසායන යොදනවා කියලා. තක්කාලි හෙට වෙළඳපොළට යවනවා නම් අද වස ගහන අවස්ථා අපිට දකින්න ලැබෙනවා. එතකොට ඒ එළවලු පාරිභෝගිකයා මිලට ගන්නේ අහිතකර විය හැකි රසායන, වියෝජනය වෙන්න කලින්. එහෙම වුණාම රසායනිකත් ආහාරයට එකතුවෙලා පිළිකා වගේ රෝග ඇතිවෙන්න අවදානමක් තියෙනවා. දැන් කොහොමත් කතාබහක් තියෙනවානේ පිළිකා වගේ ලෙඩ හැදනවා වැඩියි කියලා. අනික  පානීය ජලයට මේ රසායන එකතුවීමත් බරපතළ ගැටලුවක් විදිහට මං දකිනවා. තවම හරියට ඔප්පු කරල නැතත් වතුරට රසායන එකතුවීමයි සමහර රෝගයි අතර සම්බන්ධයක් තියෙන්න පුළුවන්.”

වෛද්‍ය නුවන් වරුෂවිතාන පෙන්වා දෙන මේ භයානක යැයි සැලකිය හැකි තත්ත්වයට වගකිව යුතු වන්නේ කවුරුද? නිලධාරීන්ට අනුව උපදෙස් පිළිපදින්නේ නැති ගොවියා වරදකරු ය. ගොවියාට අනුව නිලධාරීන් උපදෙස් ලබාදීමට ගොවිබිම්වලට නොඑන නිසා තමන් අලෙවිසැල්වලින් උපදෙස් ලබාගෙන වගාවට රසායනික යෙදීම සිදුකරයි.

වැරැදිකරුවා නම් කරන්නට පෙර වරද වටහා ගත යුතුයි

වැලිමඩ නුවරඑළිය බොරලන්ද හා බණ්ඩාරවෙල සිදු කළ අපේ අධ්‍යයනවලදී පැහැදිලි වූයේ ගොවීන් වැඩිදෙනකු කෘෂි රසායන භාවිතය පිළිබඳ උපදෙස් ලබා ගැනීමේ දී නිලධාරීන් කෙරෙහි විශ්වාසය නොතබන බවයි. වංගියකුඹුරේ අර්තාපල් ගොවියකු වන සුසන්ත බණ්ඩාර පැවසුවේ, කෘෂිකර්ම නිලධාරීන් හමුවීම අපහසු නිසා උපදෙස් ලබා ගැනීමට යොමු නොවන බවයි.

“අපි උපදේශක මහත්තුරු මුණ ගැහෙන්න නම් ගොවිජන සේවා මධ්‍යස්ථානෙ තියෙන කාර්යාලයට සඳුදා දවසේ යන්න වුවමනායි. හැබැයි සඳුදාත් අපිට වගාබිම්වල වැඩ නම් යන්න වෙන්නේ නැහැ. ඊට ලේසියි දන්න වෙන කෙනෙක්ගෙන් අහලා වැඩ කරගන්න එක.”

ඒ අතර කැප්පෙටිපොළ හෙවණකුඹුරේ උඩරට එළවළු ගොවියකු වන ප්‍රේමරත්න පවසන්නේ වෙනස් කතාවකි.

“අපි අවුරුදු ගාණක් තිස්සේ ‌ගොවිතැන් කරනවා. උපාධි නැතත් අපිට තියෙනවා ප්‍රායෝගික දැනීම. උපදේශක මහත්තුරු නිතර වගාබිමට ආවේ නැතත් ටෙලිෆෝන් කරාම කරුණු කාරණා අහගන්න පුළුවන්. හැබැයි ඒක නෙවෙයි ප්‍රශ්නය. ඒ සමහරු අලුත් දේවල් දන්නෙ නැහැ. ඒවා දන්නේ කඩේ ඉන්න අයයි. කොම්පැනිවල මහත්තුරුයි තමයි”

මේ හා සමාන අදහසක් දරන බණ්ඩාරවෙල හීල්ඔය ප්‍රදේශයේ ගොවියකු වන දමිත කුමාර ද පැවසුවේ නිලධාරීන් යාවත්කාලීන වූ දැනුමකින් යුක්ත විය යුතු බවයි. ඔහු පවසන්නේ පොතේ කුමක් තිබුණද ඇත්ත දුෂ්කරතාවලට මුහුණ දෙන්නේ ගොවීන් බවයි. කෙසේවෙතත් මේ ගොවීන් තිදෙනා සහ අප හා කතා කළ සෙසු ගොවීන්ද පොදුවේ පිළිගන්නා කරුණක් පවතී. ඒ, කෘෂි රසායන භාවිතයේ අවිධිමත් ස්වරූපයක් තිබෙන බවයි.

පෝෂණවේදය සඳහා උපාධිධාරියෙකු වන සුසිල් තල්දෙන බණ්ඩාරවෙල තල්දෙන ඇග්‍රෝ හී අධිපතිවරයා ය. ගොවීන් නිලධාරීන්ට වඩා තමන් වැනි ව්‍යාපාරිකයින් සහ සමාගම්වල නියෝජිතයින් වෙත යොමු වීමේ ප්‍රවණතාවයක් පවතින බව ඔහු ද පිළිගනියි. ඒ හේතු සහිතව ය.

dr6t34“පළවෙනි කාරණය තමයි නිලධාරීන් කියන තරම් ගමට යන්නේ නැති එක. ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්. නමුත් ඒකෙන් වෙන්නෙ ගොවියො එක්ක තියෙන සංවාදය දුර්වල වීම. අනෙක මං දකිනවා නිලධාරින්ගේ දැනුම අප්ඩේට් වෙන්න අවශ්‍යයි කියලා. සමහර කම්පැනි ඒජනට්ස්ලා ඉන්නවා නිලධාරීන්ට වඩා අලුත් දේවල් දන්නවා. ගොවියෝ කැමතියි එයාලගේ උපදෙස් ගන්න. අනිත් කාරණය තමයි පනතත් අප්ඩේට් වෙන්න වුවමනායි.”

ඔහු මේ පවසන්නේ පලිබෝධ නාශක පාලනය කිරීමේ පනත පිළිබඳවයි. කෙසේවෙතත් පලිබෝධනාශක ඇතුළු කෘෂිරසායන භාවිතයේ අවිධිමත් හා නිවැරදි විය යුතු තැන් ගණනාවක් ඇති බව සුසිල් තල්දෙන ද පිළිගනියි.

“දැන් තව ගැටලු තියෙනවානේ අපි ඇඩ්රස් කරන්න අවශ්‍ය. මේ පළාතෙ සමහර ගොවියෝ බෝංචිවලට ඩෙටෝල් ගහනවා. තව සමහරු හාපික් ගහනවා. බල්ලන්ගේ හරකුන්ගේ කිනිතුල්ලන්ට යොදන රසායන වගාවට භාවිතා කරනවා. අජිනමොටෝවලට පෙට්‍රල් කළවම් කරලා දාලා වල් මරනවා. මේවත් ප්‍රශ්න. අනික දැනට තහනම් කරලා තියෙන මැලතියන් වගේ රසායන ගොවියො ගාව තියෙනවා. ඒවා ලංකාවට එන විදියත් බලන්න වුවමනායි. මුහුදු මාර්ගයෙන් එනවා වෙන්නත් පුළුවන්. ගොවියෝ අපෙන් උපදෙස් ගන්නවා කියන එක සුළු දෙයක් ඒවත් එක්ක බලද්දී”

කෙසේවෙතත්, “කෘෂි සමාගම්වල නියෝජිතයෝ කෘෂිකර්ම නිලධාරින්ට වඩා  දැනුවත් පිරිසක් වීම නිසා ගොවීන් ඔවුන්ගෙන් උපදෙස් ලබනවා” යන කරුණ ද සැළකිල්ලට ගැනීම වැදගත් ය. දැනුවත් බව කෙසේවෙතත්, ඔවුන් උත්සාහගන්නේ සිය සමාගම්වල නිෂ්පාදන අලෙවිකර ගැනීමට ය. එකී ව්‍යාපාරික වුවමනාව නිසා වරදක් සිදුවුවහොත් වගකියන්නේ කවුද යන්න බරපතළ ගැටලුවකි.

පාලනය කරන්නේ කවුද? කොහොමද?

xfgt45පලිබෝධනාශක පාලනයට අදාළ නිසි බලධාරියා පලිබෝධනාශක රෙජිස්ටාර්වරයා ය. වර්තමානයේ දී ඒ තනතුර දරන්නේ ආචාර්ය ජේ. ඒ. සුමිත් ය. ඔහු සමග කතා කිරීමට පෙර ඔහුගේ ආයතනයේ වෙබ් අඩවිය වෙත පිවිසුණු අපි ලංකාවේ කෘෂිරසායන භාවිතය පිළිබඳ දත්ත පිරික්සීමට උත්සාහ ගත්ත ද එම දත්ත අදාළ වෙබ් අඩවියේ ප්‍රගාමීව හෙළිදරව් කර නැත. කෙසේවෙතත් අපට අවශ්‍ය දත්ත පිළිබඳව විමසූ විට සිය ආයතනයෙන් ඒවා ලබාගත හැකි බව ඔහු පැවසුවේ ය.

ආචාර්ය සුමිත්ට ට අනුව කෘෂිරසායනික වන පලිබෝධනාශක අවභාවිතය පාලනය කරන්නේ සිය ආයතනය යි. එමනිසා ඒ පිළිබඳ පැමිණිළි ඇත්නම් යොමු කළ යුතු වන්නේ පලිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයට ය. මේ විමසුමේ දී අනාවරණය වූ තවත් කරුණක් නම් පලිබෝධනාශක ව්‍යාජව නිෂ්පාදනය කිරීම ය. ඒවායෙහි රසායනික අන්තර්ගතය පිළිබඳ ගැටලු පවතින බැවින් වඩා අනතුරුදායක විය හැකි ය.

නිදසුනක් ලෙස මේ දිනවල දොම්පේ සහ දොළොස්බාගේ ප්‍රදේශවලින් ඇග්ස්ටාර් ඩයියුරොන් නම් රසායනිකයේ ව්‍යාජ අනුකාරක හමුවී ඇත. එසේ ම මිට්සු ඇබමෙක්ටීන් නිෂ්පාදනයේ ව්‍යාජ අනුකාරකයක් උඩරට ප්‍රදේශවල අලෙවි වෙමින් පවතී. ප්‍රමිතිය පරීක්ෂා නොකළ සහ අනුමත නොකළ මෙවැනි අනුකාරක සහ අපේ රටේ අලෙවියට අවසර දී නොමැති පලිබෝධනාශක රසායනික සිය ගණනක් භාවිතයේ පවතින බව පලිබෝධනාශක රෙජිස්ටාර්වරයා නිවේදනය කරන අතර ඉන් සමහරක් පිළිබඳ විස්තර පලිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ වෙබ් අඩවියේ සඳහන් වේ. මේ නීතිවිරෝධී පලිබෝධනාශක සහ කෘෂිරසායන භාවිතයෙන් වැළකීමට ගොවීන් උනන්දු විය යුතු වන්නේ ඒවා ඔවුන්ගේ ද, පාරිභෝගික ජනයාගේ ද ජීවිත අනතුර‌ට ඇදහෙළන බැවින් ය.

අවසානයේ පිළිතුර කුමක් ද?

බිඳුණුවැව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ ජී. ඒ. ඒ ගුරුසිංහ පෙන්වා දෙන පරිදි පලිබෝධ නාශක පාලනය කිරීමට අදාළ පනත 1994 අංක 06 දරන පලිබෝධ නාශක පාලනය කිරීමේ සංශෝධිත පනත ය. පලිබෝධනාශක රෙජිස්ටාර්වරයාට බලතල ලැබෙන්නේ එම පනතෙනි.  එහෙත් අණපනත් තිබූ පමණින් මේ සම්බන්ධ ගැටලු විසඳිය නොහැකි ය.

නිදසුනක් ලෙස විද්‍යාත්මක කෘෂිකර්මාන්තයට අනුව නම් ගොවියා වගාව ඇරඹීමට පෙර කළ යුතු පළමු කාර්යය පස පරීක්ෂාවයි. එය ඉතාම සුළු මුදලකට කළ හැකිව තිබියදී නොතකා හරින ගොවීන් ඉවක් බවක් නැතිව රසායන පොහොර යොදා පස විෂබවට පත්කරන අතර පොහොර සහනාධාර දෙන රජය ද ඊට උඩගෙඩි දෙයි. අවසානයේ දී පොහොර අධිකවීම නිසා වඩාත් මෘදුව වැඩී රෝග හා පලිබෝධවලට පහසුවෙන් ගොදුරු වන බෝගවලට වැඩිවැඩියෙන් පලිබෝධනාශක යොදන්නට ගොවියා පෙලඹෙන බව බිඳුණුවැව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ ව්‍යාප්තිසේවා නිලධාරිණියක වන වාසනා පවසයි. ඇය පවසන්නේ ඒකාබද්ධ ප්‍රවේශයකින් ගැටලුවලට උත්තර සෙවිය යුතු බවයි.

ජී. ඒ. ඒ. ගුරුසිංහ ට අනුව, මේවනවිට පනතට අනුව පලිබෝධනාශක පාලනය සිදුවන නමුත් අදට ගැළපෙන පරිදි පනත සංශෝධනය කළයුතු නම් විශේෂඥ උපදෙස් මත රජය ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුතුය. එසේම ගොවීන්ගේ ආකල්ප ද සංවර්ධනය විය යුතුව තිබේ. පලිබෝධනාශක සහ කෘෂිරසායන ඇසුරුම් බැහැරලීම සඳහා යාය වශයෙන් ගොවීන් මැදිහත් කරගනිමින් ක්‍රියාත්මක ක්‍රමවේද දැනට පැවතිය ද ඒවාට ගොවි සහභාගීත්වය අඩුය. පෙර අස්වනු කාලය හෙවත් අස්වැන්න නෙළීමට දින 14කට පෙර රසායන යෙදිය යුතුය යන නිර්දේශය ගොවීන් පිළිපදින්නේ නැත. එමනිසා ගොවි ආකල්ප ද වෙනස් විය යුතුය.

කෙසේ නමුත් මේවනවිට පලිබෝධනාශක පාලනයට නියාමනයට සහ ප්‍රමිතිකරණයට අදාළව පනතක් හෙවත් නීතියක් තිබේ. ඒ මගින් ස්ථාපිත කරන ලද බල අධිකාරියක් ද තිබේ. නිලධාරි තන්ත්‍රයක් ද පත්කර ඇත. එසේ තිබියදී  ‘වස කෑමෙන් මියයෑම වළක්වා ගතයුතු ය’ කියමින් තවදුරටත් කයිවාරු ගසමින් සිටීම පමණක් සිදුවන්නේ නම් වහා දැඩි හා ප්‍රායෝගික පියවර ගැනීම සඳහා වගකිවයුතු සියලු පාර්ශ්ව කටයුතු කිරීම ද ඒ වෙනුවෙන් ජනතාවගේ සහාය ලබාදීම ද සිදුවිය යුතුය.

Lasantha de silva(ලසන්ත ද සිල්වා)
නිදහස් මාධ්‍යවේදී
lasanmedia@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇත්ත තිත්ත වීමට පෙර… වස කනව ද ? පලිබෝධ නාශක පාලනය කරනව ද? | The Leader