එහිදී ජනාධිපති වරයාගේ සුපුරුදු පාලන ශෛලිය පවා යම් පමණකට වෙනස් වූ බවක් ද දැක ගන්නට ලැබුණි.
සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා මෙතෙක් පෙන්නුම් කළේ ඉවසිලිවන්තව මැදහත්ව තීන්දු තීරණ ගන්නා පාලන ශෛලියකි. එහෙත්, මෙවර ඒ සුපුරුදු ශෛලිය වෙනුවට මෙවර සාකච්ඡා මේසයට අත ගසා කළ තීරණාත්මක ප්‍රකාශය තුළ වෙනදා නැති කිසියම් දැඩි බවක් දක්නට ලැබුණි. ඉන් පිළිබිඹු වන්නේ සහල් ප්‍රශ්නය ජනාධිපති වරයාට කොතරම් පීඩනයක් ඇති කර ඇතිද? යන්න මිස වෙනත් කිසිවක් නොවන බව මගේ අදහසයි.
සහල් යනු අතීතයේ දී නම් මේරට දේශපාලනයේ තීරණාත්මක සාධකයකි.1953 හර්තාලයට ප්‍රධාන හේතුවක් වුණේ අය-වැය යෝජනාවකින් ශත විසිපහේ හාල් සේරුව ශත හැත්තෑව කිරීම ය. එහි ප්‍රතිඵලයක් ලෙස එදා අගමැති ඩඩ්ලි සේනානායකට කැබිනට් මණ්ඩලය රැස් කිරීමට සිදු වූයේ ද කොළඹ වරයේ නැංගුරම් ලා තිබුණු නැවක ය. අන්තිමේ දී රට පුරා ස්ථාන කීපයකදී සටන්කාමී කම්කරුවන් නව දෙනෙකු හමුදා වෙඩි පහරින් අවසන් ගමන් ගොස් ඩඩ්ලි සේනානායක අගමැතිවරයාට ඉල්ලා අස් වී ගෙදර යාමට ද මග පෑදුවේ ඒ හාල් මිල ය.
1953 හර්තාලය
අන්තිමට ඉරහඳ පවතිනා තාක් හාල් සේරුව ශත විසිපහයැයි කියා බලයට පැමිණි ආණ්ඩු ද තිබුණි. එමෙන්ම නොමිලේ සේරුවයි මුදලට සේරුවයි හාල් දෙන ආණ්ඩුවක් පරදා හඳෙන් හෝ ගෙනැවිත් සේරු දෙකම හාල් නොමිලේ දෙනවාය කියූ ආණ්ඩුවක් 1970 බලයට පත් විය. අන්තිමේ දී 1977දී නොමිලේ ධාන්‍ය රාත්තල් අටක් දෙනවා කියා හඳෙන් හාල් ගෙනැත් දෙනවාය කියූ ආණ්ඩුව ගෙදරම යැව්වේය. ධාන්‍ය රාත්තල් අට දෙන්න ආ ආණ්ඩුව හාල් පොතත් අහෝසි කර දමා ලංකා දේශපාලනයට සම්බන්ධ කර තිබුණු හාල් බන්ධනය කපා දැම්මේය.
එසේ වුණත් මෙදා පාර හාල් අර්බුදය දුරදිග ගියොත් වෙන්නට පුලුවන් දේ ගැන කිසියම් අන්දමක පීඩනයක් ආණ්ඩුව තුළ මතුව ඇති බව ජනපති ගේ කතාවෙන් පැහැදිලි විය.
සහල් සාකච්ඡාවේ හිටියේ වෙළඳ ඇමති හා නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීන් හා අප රටේ මුල් පෙළේ සහල් නිෂ්පාදකයින් කීප දෙනෙකි.
එම සහල් සාකච්ඡාවේ හිටියේ වෙළඳ ඇමති හා නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීන් හා අප රටේ මුල් පෙළේ සහල් නිෂ්පාදකයින් කීප දෙනෙකි. සාකච්ඡාවේ අවසාන ප්‍රතිපලය සහල් මිල රුපියල් දහයකින් ඉහළට දමා ඒ මිලට හෝ අඛණ්ඩව වෙළඳපොලට සහල් සැපයෙන බවට අධීක්ෂණය කළ යුතු බවට නියමයන් නිකුත් වීම ය. මෙය පූර්ව එකඟතාවයක් මත ගනු ලැබූ තීරණයක් ප්‍රසිද්ධියේ කල එළි දැක්වීමකැයි සමහරු කියති. කෙසේ හෝ මේ රැස්වීමෙන් සහල් අර්බුදය අවසන් වේ නම් එය ඉතාම හොඳ ය. එහෙත්, පවතින ප්‍රායෝගික තත්වය අනුව නම් සහල් අර්බුදය මින් අවසන් වන්නේ නැත.
සහල් අර්බුදය ඇතිවුණේ සහල් නිෂ්පාදනයේ යෙදෙන මහ පරිමාන මෝල් හිමියන්ගේ සට කපට වැඩ නිසායැයි තමත් බොහෝ දෙනෙකු සිතා සිටින බව පෙනේ. එය පසුගිය කාලය පුරා සිදු වූ දේශපාලනික වෛරස පැතිරීමක ප්‍රතිඵලයකි. මහා පරිමාන මෝල් හිමියන් යනු දස සිල් සමාදන් වූ උපාසක පිරිසක් නොවේ. ඔවුන් ස්වකීය ආයෝජනය මත ලාභාපේක්ෂාවෙන් මේ කර්මාන්තයට පිවිසුණු ව්‍යාපාරික පිරිසකි. අන් සැම දෙනා සේම ඔවුන්ට ව්‍යාපාර ක්ෂේත්‍රයේ හුරුපුරුදු සටකපට කම් කිරීමට අවස්ථාවක් ලදොත් එය නොකර සිටීයි යැයි සහතිකයක් දෙන්නට කිසිවෙකුටත් බැරි ය. එසේ වුවද දේශීය සහල් කර්මාන්තය මේ සා දියුණු තත්වයකට ගෙන ඒමටත් ගොවියාට සිය අස්වැන්න වැඩි කරදරයකින් තොරව අලෙවිකර ගැනීමට ඉඩකඩත් විවර කළේ ද මේ මහ පරිමාණ සහල් මෝල් හිමියන් බව ද අප අමතක කළ යුතු නැත. ඒ නිසා මේ සහල් අර්බුදය විසඳීම යනු මහා පරිමාන සහල් නිෂ්පාදකයින්ට පාඩමක් ඉගැන්වීමෙන් කළ හැකි දෙයකැයි සිතා සිටියොත් ඒකාන්ත වශයෙන් එය වලිගය පාගා ගැනීමකි.
කීරි සම්බා, සම්බා සහ නාඩු සහල් සඳහා තමන්ගේ සහල් සන්නාම ඇති කරගත් සහල් ව්‍යාපාරිකයෝ සිටිති.
වෙළඳපොල සහල් හිඟයට ප්‍රධාන හේතුව මහා පරිමාන මෝල් හිමියන් වී හංගා සහල් වෙලඳපොළට එවීම අඩුකිරිම නිසා සිදු කළ කුමන්ත්‍රණයක් යැයි විශ්වාස කරන්නවුන් ජීවත් වෙන්නේ අදින් වසර පනහකටත් එහා තිබුණු මානසිකත්වයෙනි. එදා මෝල් හිමියා යනු අමු අමුවේ ගොවීන් සූරා කෑමට ලක් කරමින් අඩු මිලට වී මිලදී ගෙන වැඩි මිලටක් පාරිභෝගිකයාට සහල් අලෙවි කරමින් දෙපැත්තකින් ලාභ සෙවූ අයෙකි. නමුත් අද මහ පරිමාන මෝල් හිමියන් යනු විධිමත් ව්‍යාපාරික ව්‍යුහයක් තුළ වෙළඳ පොලේ තරඟකාරී මිලට වී මිලදී ගනිමින් ඉහළ මට්ටමේ සහල් නිෂ්පාදන කරමින් තමන්ගේ සහල් සන්නාමයන් වැඩි දියුණු කරමින් කර්මාන්තයන්හි නිරත වන පිරිසකි.
මේ වන විට කීරි සම්බා, සම්බා සහ නාඩු සහල් සඳහා තමන්ගේ සහල් සන්නාම ඇති කරගත් සහල් ව්‍යාපාරිකයෝ සිටිති. මේ සහල් නිෂ්පාදකයන්ගේ මෝල් සංකීර්ණ දෛනිකව නියමිත ධාරිතාවයෙන් නිෂ්පාදනයේ යෙදවීමට ඔවුන් වග බලා ගන්නේ එසේ නොවුනහොත් බරපතල පාඩු විඳීමට සිදුවන නිසා ය. ඊළඟ කන්නයේ වී නිෂ්පාදනයට යොමු කරන තෙක් ඔවුන් මිලදී ගෙන ඇති වී තොග යොදා ගනිමින් දෛනික සහල් නිෂ්පාදනය අඛණ්ඩව ගෙන යාම සිදුවේ. මේ නිසා මහා පරිමාන වී මෝල් හිමියන් අමුතුවෙන් වී හංගාගෙන සහල් හිඟයක් ඇතිකර මිල ඉහළ දමා ඇතැයි යන කතාව පිළිගත නොහැක.
රජය සහල් මිල තීරණය කිරීමේ දී වී මිල ලෙස සලකන්නේ රජය නියම කර ඇති සහතික මිලයි.
දැනට සිදුවී ඇත්තේ රජය මීට වසර දෙක හමාරකට උඩදී නියම කළ උපරිම සිල්ලර මිලට නාඩු සහල් සැපයීම අසීරු වීමයි. සහල් මිල පිළිබඳ නියාමනයක් රජය විසින් පවත්වාගත යුතුව ඇත්තේ එය රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරය වීම නිසා ය. ඒ මිල තීරණයේදී සලකා බැලිය යුතු නිර්නායකයන් නිසි ලෙස හඳුනාගෙන ඇති බවක් රජය පැත්තෙන් දක්නට නැත. සහල් මිලට තීරණාත්මක පළමු කරුණ වී මිල ය. වී සඳහා රජය සහතික මිලක් නියම කරන්නේ උපරිම මිලක් ලෙස නොව අවම මිලක් ලෙස ය. මේ නිසාම රජයේ සහතික මිල ඉක්මවා වෙලඳපොලේ වී සඳහා ගොවියාට ගෙවීමට මෝල් හිමියන්ට සිදු වේ. රජය සහල් මිල තීරණය කිරීමේ දී වී මිල ලෙස සලකන්නේ රජය නියම කර ඇති සහතික මිලයි.
දැනට නාඩු වී සඳහා රජයේ සහතික මිල කිලෝ එකකට රු.110කි. මේ දිනවල වෙළඳපොලේ නාඩු වී විකිණෙන්නේ රුපියල් 145 පමණ මිලකට ය. රුපියල් 145 මිලට ගන්නා වී වලින් නිපදවන සහල් කිලෝ එකක නිෂ්පාදන වියදම රුපියල් රු. 260 පමණ වනු ඇත. පසුගිය යල් කන්නයේ ගොවීන් ගෙන් නාඩු වී මිලට ගැනුණේ රුපියල් 115 ඉක්ම වූ මිලකට ය. ඒ අනුව රජය සහල් මිල තීරණය කිරීමේදි වී කිලෝ එකක් සඳහා ගොවියාට අලෙවියේ දී ලැබුණු මුදල රුපියල් 125 පමණ වේ යැයි උපකල්පනය කළ යුතු වේ.
වී වගා කරන පලාත්වල එක් කන්නයක් සඳහා කුඹුරු අක්කරයක් බදු දෙන අවම මුදල රුපියල් 45000ක් වන අතර උපරිම රු. 70000ක් දක්වා මේ මිල පවතී
සහල් මිල තීරණය කිරීමේ දී ඊළඟට සැලකිල්ලට ගත යුතු කරුණ වන්නේ සිල්ලර සහල් මිලෙන් 75%ක ප්‍රමාණයක් වී සඳහා ගොවියාට යා යුතු බව ය. දැනට වෙළදපොලේ පවතින සහල් මිල අනුව බොහෝ දුරට ඒ සහල් මිලෙන් 75%හෝ ඊට ආසන්න මුදලක් ගොවියාට වී සඳහා ලැබෙන බව පෙනේ. ඒ නිසාම වී ගොවිතැන බොහෝ දුරට ලාබදායක තත්වයක පවතී. දැනට වී වගා කරන පලාත්වල එක් කන්නයක් සඳහා කුඹුරු අක්කරයක් බදු දෙන අවම මුදල රුපියල් 45000ක් වන අතර උපරිම රු. 70000ක් දක්වා මේ මිල පවතී. ඉන් ඇඟවෙන්නේ කුඹුරු අක්කරයක් වවන ගොවියාට සියලු වියදම් හා ඉහත බදු මුදල ද ඉක්මවා සැලකිය යුතු මුදලක් ලාභය ලෙස උපයා ගත හැකි මට්ටමක වී වගාව පවතින බවයි.
සාමාන්‍යයෙන් පලදායකත්වය අඩුම කුඹුරු අක්කරයක් රුපියල් 40000 බදුගන්නා තැනැත්තාට වී සහතික මිලට දුන්නත් සියලු වියදම් හැර රුපියල් 75000 ට වඩා ලාභයක් ලබාගත හැකිය. බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට වී වගාවේ තත්වය මෙයයි. මෙය ආරක්ෂා කරගත යුත්තේ රටේ ප්‍රධාන ආහාරය නිපදවන ගොවියාට ජීවත්වීමට ප්‍රමාණවත් ආදායමක් ලැබෙන පරිදි ගොවිතැන පවත්වා ගැනීම අනිවාර්ය බැවිනි. උදාහරණයට අක්කරයක වගාව පිළිබඳ පෙන්නුවාට සාමාන්‍යයෙන් අක්කර දෙක හමාරක ඉඩමක් වත් වී ගොවියා සතු වේ. වී ගොවිතැනේ මේ සත්‍ය තත්වය පසුගිය කාලයේ දේශපාලන ගොවි සංවිධාන නායකයන් කතා කළේ නැත.

ඔවුන් මාධ්‍ය මඟින් රටට පෙන්නුවේ ගොවීන් යනු අන්‍ත අසරණ සූරා කෑමට ලක්වූ ජන කොට්ඨාශයක් බවයි. දේශපාලන ගොවි සංවිධාන නායකයන්ට අනුව ගොවීන්ට රජයෙන් කිසිම සහනයක් ගොවියාට නොලැබේ. ඒ නිසා ඔවුහු උද්ඝෝෂණ සංවිධනය කර සටන් කර ගොවියාගේ ඉල්ලීම් රජයෙන් උදුරා ලබාදෙති. ඒනිසා ගොවියාට පිහිටට ඉන්නේ තමන් ය යන චිත්‍රය රටටත් ගොවියන්ටත් පෙන්නීම ඔවුන්ගේ ක්‍රමය විය. ”අපි මෙච්චරම අසරණ බව අපි දැන ගත්තේ ටීවී නිවුස් වලින් මිසක් අපේ ජීවිත වලින් නෙවෙයි” එම මවා පෑම් පිළිබඳ කතා කරන ගොවීහු කියති.
මහා පරිමාන මෝල් හිමියා ඇතුලු මෝල් හිමියන් ගොවියාව සූරාකමින් ධනය උපයන මහා ධනපතියන් හා මාෆියා කරුවන්ය යන චිත්‍රය ද මේ ඊනියා දේශපාලන ගොවි නායකයින් විසින් ඔවුන්ගේ දේශපාලන දර්ශනයට ගැලපෙන්නට ගොඩ නැගූ අමුම අමු කෙබරයකි. නමුත් මෙවර ජනාධිපති වරයා ප්‍රකාශ කළ කරුණු වලදී පැහැදිලි කළ වී වගාව සඳහා රජය කරන මැදිහත්වීම පිළිබඳව අර දේශපාලන ගොවි නායකයින් පිළිගන්නේ නම් ඔවුන් රජයෙන් කිසි සැලකිල්ලක් වී ගොවියාට නැතැයි කියා මෙතෙක් කල් දවසින් දවස වැල් පොලී ක්‍රමයට ජනතාව හමුවට ගෙන ආ ටොන් පචය ගැන ගොවීන්ගේ දෙපා නමැද සමාව ඉල්ලිය යුතු ය. නමුත් ජනාධිපතිවරයා මෙවර පෙන්වා දුන් ඒ කරුණ නම් එදා සිටම ප්‍රායෝගිකව අත්දැක පිළිගෙන සිටියෙමු. නමුත් ඒ මත රජයට සහල් සිල්ලර මිල තීරණය කල් හැකිය යන අදහස නම් පිළිගත නොහැක.
සහල් මිල සඳහා රජය කිසියම් නියාමනයක් කරන්නේ නම් වී මිලදී ගනීමේදී අවම හා උපරිම මිල පරාසයන් තීරණය කර ඒ අනුව ගොවියාට ලැබෙන මුදල 75%ලෙස සලකා ඉතිරි 25%සහල් කර්මාන්තයට ලැබෙන පරිදි සිල්ලර සහල් මිල සඳහා ද අවම උපරිම පරාසයක් ද තීරණය කර වෙළඳපොලට මග පෙන්වීම කළ යුතු ය.
මේ නිසා නිවැරදිව සිදුවිය යුත්තේ සහල් මිල වෙළඳපොල අනුව නිදහසේ තීරණය වීමට ඉඩ හැරීම ය. එමෙන්ම සහල් මිල සඳහා රජය කිසියම් නියාමනයක් කරන්නේ නම් වී මිලදී ගනීමේදී අවම හා උපරිම මිල පරාසයන් තීරණය කර ඒ අනුව ගොවියාට ලැබෙන මුදල 75%ලෙස සලකා ඉතිරි 25%සහල් කර්මාන්තයට ලැබෙන පරිදි සිල්ලර සහල් මිල සඳහා ද අවම උපරිම පරාසයක් ද තීරණය කර වෙළඳපොලට මග පෙන්වීම කළ යුතු ය. එහිදී සියලු පාර්ශව කරුවන් කැඳවා සාකච්ඡා කර සැමගේ ම ගැටලු විසඳෙන ලෙස මේ කාර්ය කිරීමට රජය ක්‍රියා කරනවා මිස සෙසු පාර්ශවයන් නිහඬ කර “මේ මිලට විකුණනු නැතිනම් බලා ගමු” පන්නයේ විසඳුම් වලින් තව බොහෝ ප්‍රශ්න මතුවිය හැකි බව ද සටහන් කරනු කැමැත්තෙමි.
(සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com
(vinivida.lk)
සබැඳි පුවත් :
දේශීය සහ ආනයනික සහල් සඳහා උපරිම මිලක් - අතිවිශේෂ ගැසට්ටුව එළියට
භාණ්ඩ නොවිකිණීම හෝ සැඟවීම වරදක් - තරිඳු උඩුවරගෙදර
සහල් මෝල් කිහිපයක් රජයට පවරා ගැනීමේ සුදානමක් !
'ආණ්ඩුව මෝල් හිමියන්ගේ ඔඩොක්කුවේ' - රංජිත් මද්දුමබණ්ඩාර
නාඩු තොග 225යි, සිල්ලර 230යි - පිළිනොපදින අයට දැඩි ක්‍රියාමාර්ග
සහල් අර්බුදය: නත්තල් වෙද්දි හාල් මිල අහස උසට යයි ද?
සහල් මාෆියාව මට්ටුකරන හැටි ජනපති හෙළිකරයි
ඉදිරි සති දෙකේ සහල් ආනයනය නොකළොත් ප්‍රශ්න ගොඩක්
සහල් පාලන මිල : 'සිල්ලර මුදලාලිලාට දඩ ගැහුවට ලොකු මෝල් හිමියන්ට දඩ ගහන්න නීතියක් නෑ'
සහල් ආනයනය අලුත් ආණ්ඩුවේ අනුවණ කමක් ද? - (රේණුකා දමයන්ති ගමගේ)
නාඩු සහල් මුල් කොට ජනතාව ගෝරනාඩු නොනැඟීමට නම්.. - (සුනිල් කන්නන්ගර)
වත්මන් සහල් අර්බුදය රට හාලෙන් විසඳන්න පුළුවන් ද? - (සුනිල් කන්නන්ගර)
සහල් අර්බුදය : 'සදාකාලික උත්තර අපි ළඟ නෑ' - ලාල්කාන්ත
නව රජයේ පළමු කැබිනට් හමුවේදී ම සහල් ආනයනයට තීරණය කළේ ඇයි?



