හූනාට “ගෙදර සාස්තරකාරයා” හෙවත් ගෘහස්ථ අනාවැකි පළ කරන්නා යන නම පටබැඳී ඇත්තේ කරුණු දෙකක් මුල්කර ගනිමිනි. මුල් කරුණ හූනාගේ හැඬීම ය. හූනා කිසියම් කෙනෙකුගේ සිරුර මතට පතිත වීම හෙවත් ඇඟ වැටීම දෙවන හේතුව ය.
‘‘ඔය හූනු සාස්තරේට හැම හූනෙකුම අදාළ නැහැ. කිඹුලෙකුට සමාන පෙනුමක් තියෙන කබර හූනා තමයි ඔය කියන ඇත්තම සාස්තරකාරයා.’’ හූනු ශාස්ත්‍රය පිළිබද සුලමුල සෙවීමට පටන්ගත් මුල්ම යුගයේ මහනුවර යුගයේ බිතු සිතුවම් සහිත බුදු මැදුරකින් යුතු ගණේමුල්ලේ, තිබ්බටුගොඩ ශ්‍රී සුගතාරාම පුරාණ විහාර බුදු මැදුරේ දී මා හා මේ කතාව කීයේ ගණේමුල්ලේ, තිබ්බටුගොඩ පදිංචිව සිටි පියදාස විද්‍යාරත්න (විපුලසේන අයියා) මහතා ය.ඒ දිනපතා හිරු බසින වේලාවට ඒ පැරණි බුදු මැදුරේ වහළයේ හිඳින හූනන් දිගට හරහට “සාත්තර කීමට”පටන් ගන්න බැවින් ඒ සම්බන්ධයෙන් ඔහු ගෙන් කළ විමසුමක දී ය. කපුවෙකු හෝ යකැදුරෙකු නොවූජ්‍යෝතීර්වේදී පරපුරකින් පැවත ආ ඔහු, බුදුගුණ බලයෙන් සෙත් ශාන්ති කරන්නෙකු ලෙස එවක ගම්මුන් අතර ප්‍රසිද්ධියට පත්ව සිටියේ ය.
දංගල්ල රජ මහා විහාරයේ දාගැබ
‘‘මොකක් හරි ජලාශයකට ගිහින් කිඹුලෙකුට අහුවෙලා අමාරුවෙන් ජීවිතේ බේරාගෙන ගොඩ එන මිනිහට කිඹුලා හිනාවෙලා කියනවලු, ‘හරි කමක් නෑ උඹ මගෙන් බේරිලා පලයන්, ඒත් උඹලගෙ ගෙදර ඉන්න මගෙ මල්ලිගෙන් නම් බේරුමක් වෙන එකක් නෑ’ කියලා. කිඹුලා මේ උඹලගෙ ගෙදර ඉන්න මල්ලි කිව්වේ කබර හූනාට. සමහරු ඌට කිඹුල් හූනා කියලත් කියනවා. එහෙම නැතුව නිකම් හූනෝ ඔය හූනු සාස්තරේට සම්බන්ධ නැහැ. මොකද මිනිස්සු අතරේ වුණත් හැමෝම සාස්තරකාරයෝ නෙවෙයිනේ.’’ විපුලසේන අයියා කී අයුරු මට හොඳින් මතක ය.

අතීතයේ මෙරට තිබූ කටු මැටි නිවාසවල දැකිය හැකි වූ කිඹුල් හූනන්ගේ සංඛ්‍යාව සුමට බිත්ති සහිත නූතන නිවාසවල දක්නට නොමැත. නමුත් අදටත් ගස් බෙන, ගල් ගුහා ආදියේ ජීවත්වන හූනන් අතුරින් වැඩිපුරම දැකිය හැක්කේ කබර හූනන් හෙවත් කිඹුල් හූනන් ය.මෙම හූනු ශාස්ත්‍රය පිළිබඳව මම ද නොයෙක් කතා අසා ඇත්තෙමි. ඒ අතුරින් වඩාත්ම රසවත් කතාව මට අසන්නට ලැබී මේ වන විට වසර හතලිහක් පමණ වේ. පූගොඩ, ඕවිටිගම, බෝධිමළු විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ පූජ්‍ය ඕවිටිගම නන්දසාර හිමියන් වෙතින් අසා දැන ගත් ඒ කතාව මට කිසිදා අමතක නොවේ. උන් වහන්සේ ගේම මුවින් පැවසුණු අන්දමට එය මෙසේ ය.
“ඔය පැපිලිවල දංගල්ල රජ මහා විහාරය වලගම්බා රජ්ජුරුවන් ගේ කාලේ ඉඳලම පැවතුණු පුද බිමක් බවට සාක්ෂි තියනවා. කැලණි ගඟේ රන්වල තොටුපළට සමීපව පිහිටලා තියන ඔය පන්සල කන්ද උඩරට රාජ්‍යයේ ඉඳලා සීතාවක හරහා කැලණි ගඟෙන් එගොඩ වෙලා රුහුණට යන හාමුදුරුවරුන් ගේ වගේම ගිහියන් ගේ තාවකාලික නවාතැන් පොළක් හැටියටත් ප්‍රසිද්ධව තිබුණා. ඔන්න කොහොම හරි දවසක් ඔය පන්සලට කන්ද උඩරට රාජධානියේ ඉඳලා ආගන්තුක හාමුදුරු නමක් වැඩම කළා. ඒ වගේ හාමුදුරු නමක් වැඩම කළාම තකහනියක් ඒ පන්සලට ගිහින් ඒ හාමුදුරුවන් ගේ සැප දුක් විමසලා ඇප උපකාර කිරීමේ හොඳ සිරිතක් ඒ ගම්මුන් ළඟ තිබුණා. ඉතින් ඒ හැන්දෑවෙත් ගමේ මිනිස්සු පන්සලට ගිහින් ආවාසෙ ආලින්දයේ වැඩ ඉන්න ඒ ආගන්තුක හාමුදුරුවොත් එක්ක කතා බහ කරමින් ඉන්න කොට ආවාසෙ වහලෙන් හූනෙක් හඬන සද්දයක් ඇහුණා. මේක ඇහුණා විතරයි අර හාමුදුරුවන්ට එක පාරටම හිනා පහළ වුණා. එතකොට ඒ දායකයොත් අවසරයි,අපේ හාමුදුරුවනේ ඇයි ඔබ වහන්සේ හිනා වුණේ කියලා ඇහුවා. එතකොට ඒ හාමුදුරුවෝ කියනවා, තමුන්නැහේලා දන්නේ නැතුවට ඒ කෑගැහුවෙ හූනෙක් නෙවෙයි, හූනියෙක්, ඒ කියන්නේ ගෑනු සතෙක්. ඒ හූනි කියපු සාත්තරේටයි මට හිනා ගියේ. කියලා. එතකොට ඒ දායකයොත් පුදුම වෙලා මොකක්ද අපේ හාමුදුරුවනේ ඒ සාත්තරේ කියලා ඇහුවා. එතකොට ඒ හාමුදුරුවොත් හිනාවෙලා ඒ හූනි කියනවා; අද ඒකිට අලුත් ස්වාමි පුරුෂයෙක් ලැබෙනවා කියනවානෙ කිව්වා විතරයි ඒ දායකයෝ අන්දුන් කුන්දුන් වුණා. මොකද? ඒ සිහි කල්පනාව නරක් වුණු හාමුදුරු නමක් කියලා ඒ අයට තේරුණු හින්දා.
Common house gecko
තිබ්බටුගොඩ ශ්‍රී සුගතාරාම පුරාණ විහාරයේ මහනුවර යුගයට අයත් බිතු සිතුවම්සූනන් හැඬීම සහ ඇඟ වැටීම සම්බන්ධ ජන විශ්වාසය ඉන්දීය හින්දු පුරාවෘත්ත ඇසුරින් ඇති වූවකි. වරාහ මිහිර නම් සෘෂිවරයා සහ ඔහුගේ ලේලිය සම්බන්ධ පුරාවෘත්තයක් ද මීට පාදක වී ඇත. එමෙන්ම ඉන්දීය ජන විශ්වාසවලට අනුව එසේ ගුප්ත ජන විශ්වාසවලට පදනම් වන හූනා Common house gecko යනුවෙන් හැඳින්වෙන අතර, ඒ අප කබර හූනා හෝ කිඹුල් හූනා ලෙසින් සලකන සතාම බව පෙනේ. ඒ හැරුණුකොට සාමාන්‍ය ගෘහස්ථ හූනා හැඳින්වීමට යෙදෙනුයේ Common wall lizard යන නමයයි.. පැරණි මතයට අනුව ඔහු ‘සාස්තරකාරයෙක්’ නොවේ.
ඉහත සඳහන් හින්දු ජන විශ්වාසයට අනුව යමෙකු අදහසක් ප්‍රකාශ කරන විට හූනෙකු හැඬුවහොත් ඉන් ඉඟි කෙරෙනුයේ අසුබදායී ප්‍රතිඵලයක් ලැබෙන බවයි. එහෙත් ඒ අනාවැකිය පැවසෙනුයේ කබර හෙවත් කිඹුල් හූනෙකුගේ හැඬීමක් මුල්කරගෙන පමණි.
ආර්.එල්.බ්‍රෝහියර් සූරින් ලියූ Discovering Ceylon නම් කෘතියනමුදු විසිවන සියවසේ මුල් භාගයේ මෙරට මිනින්දෝරු වෘත්තියේ යෙදෙමින් මානව ශාස්ත්‍ර සම්බන්ධ විශිෂ්ඨ හැදෑරීමක් කළ ආර්.එල්.බ්‍රෝහියර් සූරින් ලියූ Discovering Ceylon නම් කෘතියෙහි අතීතයේ මෙරට පැවති හූනු ශාස්ත්‍රය සම්බන්ධ විස්තර දක්වා ඇත්තේ මීට වෙනස් අයුරකිනි. එනම් එම හූනන් හැඬීමේ ප්‍රතිඵලය දවස සහ දිශාව අනුව ද වෙනස් වන බවට ජන විශ්වාසයක් පැවති බව සඳහන් කරමිනි.
එම හූනු ශාස්ත්‍රය මුල්කොට ගත් චක්‍රයක් ඉදිරිපත් කරන බ්‍රෝහියර් සූරීන් දවසට සහ දිශාවට අනුව සූනන් හැඬීමෙන් සුබපල අත්වන බවට පැවති ජන විශ්වාසයක් පිළිබඳව විස්තර කොට ඇත. නිදසුනක් ලෙස සඳුදා දිනයක ඊසාන දෙසින් හූනෙකු හඬනු ඇසීම සතුටුදායක පුවතක් අසන්නට ලැබීමේ පෙරනිමිත්තකි.
අප රටේ පැරණි හූනු ශාස්ත්‍රයට අනුව හූනාගේ පැහැය සේම එම හූනු හඬ අසා සිටින්නා හැඳ සිටින වස්ත්‍රයේ පැහැය ද සැලකිල්ලට ගත යුතු ය.හූනෙකු හඬනු ඇසුණහොත් එය සුවිසල් ලාභයක් ගෙනදීමේ පෙර නිමිත්තක් ලෙසද ජන විශ්වාසයක් තිබූ බවද බ්‍රෝහියර් පෙන්වා දෙයි. ඔහු අනාවරණය කළ අප රටේ පැරණි හූනු ශාස්ත්‍රයට අනුව හූනාගේ පැහැය සේම එම හූනු හඬ අසා සිටින්නා හැඳ සිටින වස්ත්‍රයේ පැහැය ද සැලකිල්ලට ගත යුතු ය. එමෙන්ම එම කෘතියේ හූනා හැඳින්වීම පිණිස යොදා ඇති Lizard යන වදන කටුස්සා යන අරුත සඳහා ද යොදා ගැනෙයි. එහෙත්, බොහෝ කටුසු විශේෂ නිහඬ සත්වයන් බැවින් බ්‍රෝහියර් සූරීන් මේ පවසනුයේ කබර හූනා හෙවත් කිඹුල් හූනා පිළිබඳවම විය යුතු ය.
අද ද ලිත් මගින් ප්‍රකාශයට පත් කෙරෙන ‘සූනන් ඇඟවැටීමේ පලාපල’ වල ඊට අදාළ හූනු විශේෂය සහ සතියේ දින අනුව හූනන් ඇඟවැටීමේ පලාපලය වෙනස් වන බවක් දක්වා නැත. එහෙත් හූනෙකු ඇඟ වැටෙන ශරීර ඉන්ද්‍රිය, අවයවය අනුව එහි ප්‍රතිඵලය වෙනස් වන බව පැවසෙයි. එම ලිත් විස්තරය අනුව යමෙකුගේ හිසකෙස් මතට හූනෙකු වැටීමේ ප්‍රතිඵලය මරණයයි. එහෙත් එම හූනාගේ ඇඟ වැටීම සහ මරණය සිදුවන දිනය සහ වේලාව සම්බන්ධ නිශ්චයකොට නොදැක්වීම බරපතළ අඩුවක් සේ හැඟේ. මක් නිසාද එම හූනු ශාස්ත්‍රයට අනුව යමෙකුගේ හිසකෙස් මතට හූනෙකු වැටී ඊට වසර පනහකට පසුව ඔහුගේ හෝ ඇයගේ මරණය සිදුවුවද එය හූනු ශාස්ත්‍රය සැබෑ වී සිදුවූ මරණයක් ලෙස යමෙකුට තර්ක කළ හැකි බැවිනි.
හූනු ශාස්ත්‍රයට අනුව යමෙකුගේ හිසකෙස් මතට හූනෙකු වැටී ඊට වසර පනහකට පසුව ඔහුගේ හෝ ඇයගේ මරණය සිදුවුවද එය හූනු ශාස්ත්‍රය සැබෑ වී සිදුවූ මරණයක් ලෙස යමෙකුට තර්ක කළ හැකි බැවිනි.එමෙන්ම මෙම හූනු ශාස්ත්‍රයට අනුව පෙන්නුම් කෙරෙන අනාවැකියකට පසු යමෙකුට නපුරක්, විපතක්, අයහපතක් වීමේ ස්වභාවික සම්භාවිතාවක් ද තිබේ. එහෙත් පසු සිදුවීම පෙර සිදුවීමේ ප්‍රතිඵලයක් (Post hoc ergo propter hoc) යන මිථ්‍යා විශ්වාසය මුල්කොට එය ගෙදර සාස්තරකාරයාගේ අනාවැකියක් සඵලවීමක් බව බොහෝ දෙනෙක් සිතති. මෙවන් මිථ්‍යා විශ්වාස සමාජයේ පැළපදියම් වීමට සැබෑ හේතුව එයයි.




