The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

අශෝක රංවල: කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීම සහ මාලිමා ආණ්ඩුවේ ඉදිරි ගමන

T

The Leader Desk

December 14, 2024 • 3:13 PM

අශෝක රංවල: කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීම සහ මාලිමා ආණ්ඩුවේ ඉදිරි ගමන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික ජනබලවේග ආණ්ඩුවට මසක් ගතවීමටත් පෙර තම කුළුදුල් ආණ්ඩුවේ සුජාතභාවය ආරක්ෂාකර ගැනීමට මුහුණ දීමට සිදු වූ අභියෝගාත්මක ලිට්මස් පරීක්ෂාවක් බවට පත්විය.
  • දෙසැම්බර් 13 වන දා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ශ්‍රී ලංකා ඉතිහාසයේ අඩුම කාලයක් කතානායක ධුරය දැරූ කතානායකවරයා බවට අශෝක රංවල පත්විය.
  • ඉල්ලා අස්වීම ජනධිපතිවරයා විසින් භාර ගැනීමත් සමග ඔහුගේ ධූර කාලය දින 22 කට සීමා වුණි.
  • නොවැම්බර් 21 වැනි දා ඔහු කාතානායක ධුරයට පත් වූ දා පටන්ම ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව විවිධ පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කරන්නට විය එය අවසානයේ කෙළවර වූයේ අශෝක රන්වලට ධුරයෙන් ඉල්ලා අස්වීමට තරම් බරපතල සමාජ බලපෑමක් ඇති කරමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාතික ජනබලවේග ආණ්ඩුවට මසක් ගතවීමටත් පෙර තම කුළුදුල් ආණ්ඩුවේ සුජාතභාවය ආරක්ෂාකර ගැනීමට මුහුණ දීමට සිදු වූ අභියෝගාත්මක ලිට්මස් පරීක්ෂාවක් බවට පත්විය.

දෙසැම්බර් 13 වන දා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ශ්‍රී ලංකා ඉතිහාසයේ අඩුම කාලයක් කතානායක ධුරය දැරූ කතානායකවරයා බවට අශෝක රංවල පත්විය.

ඉල්ලා අස්වීම ජනධිපතිවරයා විසින් භාර ගැනීමත් සමග ඔහුගේ ධූර කාලය දින 22 කට සීමා වුණි.

නොවැම්බර් 21 වැනි දා ඔහු කාතානායක ධුරයට පත් වූ දා පටන්ම ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව විවිධ පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කරන්නට විය
එය අවසානයේ කෙළවර වූයේ අශෝක රන්වලට ධුරයෙන් ඉල්ලා අස්වීමට තරම් බරපතල සමාජ බලපෑමක් ඇති කරමිනි.

ධූරයෙන් ඉල්ලා අස්වීමේ තීරණය දැනුම් දීමේ මාධ්‍ය නිවේදනය

අශෝක රංවල විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් (දෙසැම්බර් 13 වැනිදා) ජාතික ජනබලවේගයේ මාධ්‍ය අංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබීය.

එම නිවේදනය මෙසේ ය.

"පසුගිය දින කිහිපය තුළ මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ගැටලුවක් සමාජය තුළ මතු කරනු ලැබ තිබේ. මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් මා විසින් ප්‍රකාශ කර නැත. එහෙත් එම අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය සමහර ලියකියවිලි මේ මොහොතේ මා සතුව නොමැති බැවින් ද එම ලියකියවිලි මේ මොහොතේ කඩිනමින් ඉදිරිපත් කිරීම දුෂ්කර වී තිබේ."

"මා හට ආචාර්ය උපාධිය ලබාදුන් ජපානයේ වසීදා විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාළ අධ්‍යාපන ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර ඒවා හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට අදහස් කරමි"

"කෙසේ වෙතත් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුවත් අප කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවත් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා මා දැනට දරන කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මෙයින් දැනුම් දෙමි".

WhatsApp Image 2024 12 13 at 5.12.33 PMඔහු ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් දෙසැම්බර් 13 වන දා දහවල් විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා මන්ත්‍රීවරුන්ගේ අත්‍සන් ලබා ගැනීම ආරම්භ කළේය.


කතානායක අශෝක රන්වලගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගනී

අශෝක රංවල සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර වෙත ලිඛිතව දැනුම්දී ඇත.

දහවැනි පාර්ලිමේන්තුවේ අභිනව කතානායකවරයා ලෙස පත්වූ අශෝක රංවල තමා ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දී තිබිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64(2) ව්‍යවස්ථාව අනුව කතානායක, නියෝජ්‍ය කතානායක හෝ නියෝජ්‍ය කාරක සභා සභාපති යන කවර පදවියකින් හෝ ඉල්ලා අස් වන්නේ නම් ඒ බව ස්වකීය අත්සන යටතේ වූ ලිපියක් මගින් ජනාධිපතිවරයාට දැනුම්දිය යුතු වේ.

ඒ අනුව ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරියට මෙම ලිඛිත දැනුම්දීම සිදුකර ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිවේදනය කළේය.

'ආණ්ඩුවට තිබුණා මහජන විරෝධය එන්න කලින්ම මේක කරන්න'

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් කියා සිටියේ කතානායකවරයා සම්බන්ධයෙන් රජය කටයුතු කළ ආකාරය ආණ්ඩුවේ අනාගතය සම්බන්ධයෙන් හොඳ පියවරක් බවය.

"අනාගතය සම්බන්ධයෙන් මේක ඉතාම හොඳ දෙයක්. ඒකෙන් තේරුණා ජනමතයට සවන් දුන්නා කියන එක. විවේචනයක් තිබුණානේ. මේක ආණ්ඩුවට අපකීර්තියක්. හොඳ දෙයක් නෙමෙයි කියලා. ඒ නිසා මේ පියවර හොඳ දෙයක්."

ඔහු පැවසුවේ වත්මන් ආණ්ඩුව මහජනතාවගේ දැඩි සුපරීක්ෂාවට ලක්ව ඇති බව ය.

"වැදගත්ම දේ තමා මේක හොඳ පාඩමක්. මේ ආණ්ඩුව තමයි අපි කියන්නේ "they are under heavy public scrutiny" ඒ කියන්නේ ඔවුන් මහජනයාගේ සුපරීක්ෂාවට ලක් වෙලා තියෙනවා. ඒ සුපරීක්ෂාවෙන් මිදිලා කටයුතු කරන්න එගොල්ලන්ට බැහැ කියලා තමා මෙකෙන් පෙන්නුම් කරන්නේ."

කෙසේවෙතත් කතානායකවරයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී ආණ්ඩුව යම් මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කළ බවද ඔහු පෙන්වා දුන්නේ ය.

"මම හිතන්නේ ටිකක් කල් ගත්තා වැඩියි කියලා. මොකද ඒක ආණ්ඩුවටමයි ඩැමේජ් එක. මේ වගේ එකක් දැන ගත්ත ගමන්ම මේක ටෙලිෆෝන් කොල් එකක් දීලා චෙක්කර ගන්නවා වගේ වැඩක් නේ. සරලයි නේ. ඉන්ඩිවිජුවල් ට්‍රස්ට් එක උඩනේ වැඩ කරන්නේ පක්ෂයක්. එතකොට ඒ මට්මෙන් ඒක විසඳගන්න හැකිව තිබුණා ඔච්චර දුරදිග ගෙනියන්නේ යන්නේ නැතිව. මේකෙන් ආණ්ඩුවට ලොකු අපකීර්තියක් ආවනේ" ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි කියා සිටියේය.

"මේක අපි වගේ අයට හොඳයි බලපෑම් කරලා මේ වගේ තීරණ වෙනස් කරන්න පුළුවන් කියලා කියන එක. නමුත් ඒක ආණ්ඩුවට හොඳ නැහැ. ආණ්ඩුවට තිබුණා මහජන විරෝධය එන්න කලින්ම මේක කරන්න. එහෙම වුණා නම් මීට වඩා වැඩිපුර කීර්තියක් එනවා මේකෙන්."

ආණ්ඩුවට මෙවර ජනතාව ලබා දී ඇත්තේ 'නිකම්ම ජනවරමක්' නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය.

"මේ ඡන්දය දුන්නේ ඇවිල්ලා ඕන දෙයක් කරන්න නෙමේ. 2010 එහෙම දීලා තමා රාජපක්ෂලා අරගෙන තමන් හිතූ හිතූ දේ කළේ. තනතුරු කාලය දික්කර ගන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවශ්‍ය විදිහට වෙනස් කරන්න. දැන් එහෙම බෑ කියන එන තමා මේකෙන් පෙන්නුම් කළේ. ගොඩක් අය ඉන්නවා විවේචනාත්මකව යන.. Critical distance එකක් තියාගෙන හිටපු අය ඉන්නවා කියන එක මේකෙන් හොඳට පෙන්නුම් කෙරුණා. ඒක හොඳ තත්ත්වයක්." හෙතෙම වැඩිදුරටත් පැවසීය.

'ආණ්ඩුව විහිළුවට ලක්වෙනවා'

වයඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා කියා සිටියේ ආණ්ඩුව බොරු කරන බව සමාජ ගතවුවහොත් එය ආණ්ඩුවේ ප්‍රතිරූපයට විශාල හානියක් විය හැකි බව ය.

"පළවෙනිම දේ තමයි මේ ආණ්ඩුව පත්වෙච්ච තැන ඉදලා පේන්නේ ආණ්ඩුව විහිළුවට ලක්වෙනවා නේ. එකක් තමයි ආණ්ඩුව බොරු ..ජනාධිපතිවරායගේ ඉදලා බොරු කියනවා කියන එක සමාජ ගත වෙන්න පටන් අරන් තියෙනවා."

"දැන් ලිස්ට් එකක් එනවා අරයාගේ උපාධිය, මෙයාගේ මහාචාර්යකම ඔක්කොම බොරු කියලා. ඕක ගොබෙල්ස් තියරි එක වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඇත්ත වෙන්නත් පුළුවන්. ඕක සමාජ ගතවුණොත් ආණ්ඩුවේ ප්‍රතිරූපයට ලොකු හානියක්." මහාචාර්යවරයා කියා සිටියේය.

"මිනිස්සු දැන් ලින්කින්ඩ් ප්‍රොෆයිල් වලින් අයින් වෙනවා. වෙබ් සයිට්වල නම් වෙනස් කරනවා. රජයක් ජොක්වුණාම.. විහිළුවට ලක්වුණා ම හරිම නරකයි."

"රනිල් වික්‍රමසිංහ වුණත් 1977 -2001- 2002 වෙනකම් ලොකු ප්‍රතිරූපයක්. ගාමිණි දිසානායකලා, ලලිත් ඇතුලත්මුදලිලා එක්ක සමකාලීනව හිටපු කෙනෙක්. හැබැයි එයාව මිස්ටර් බීන් ට සම්බන්ධ කලාට පස්සේ 2001 න් පස්සේ මංගල සමරවීරලාගේ ව්‍යාපෘතියත් එක්ක එයා ජොක් එකක් වුණානේ. ඊට පස්සෙ මිනිස්සුන්ට පෙන්නේ එයා කතා කළත් ජෝක්… අත ඉස්සුවත් ජොක්..හැබැයි ඒ පරණ හිටපු රනිල් වික්‍රමසිංහම තමයි."

"රටේ නායකයා කියන්නේ බොරු කියලා ඒක සමාජ ගතවුණොත් මිනිස්සුන්ට රජය ගැන පාර්ලිමේන්තුව ගැන ජනාධිපතිවරයා ගැන තියෙන ප්‍රතිරූපය හරි සෘණාත්මකයි. ඒක විහිළුවට එහා ගියපු දේශපාලන පරිහානියක් එන්න පුළුවන්."

"159ක් ඉන්න තැනක විශ්වාසභංගය අත්සන් කරන්නේ සුළු පිරිසක්. විශ්වාසභංගය අත්සන් කරන කොට මේ අයට ස්ටෙප්ඩවුන් කරන්න සිද්ධ වුණා. ස්ටෙප්ඩවුන් වුණේ පාර්ලිමේන්තුවේ මේ විවාදය ගියා නම් ගොඩක් අයගේ රෙදි ගැලවෙනවා."

"ඊට පස්සේ වත්කම් ගැන… පුද්ගලයින් ගැන හොයන්න පටන්ගන්නවා. බොරු කාරයෝ කියන එක සමාජ ගත වුණොත් ආණ්ඩුව ගැන තියෙන ප්‍රසාදය සහ විශ්වාසය නැති වෙනවා."

"පහුගිය කාලේ සජිත් ප්‍රේමදාස කියපුව එක්ක සමාජ මාධ්‍ය තුළ වැඩිපුරම සර්ච් කරලා තිබ්බේ සජිත් ජොක් කියන එක නේ. පොසිටිව් නෙමේ. සජිත් ජෝක්ස් කියන එක."

"සජිත් ප්‍රේමදාසගේ නායකත්වය දැන් අර්බුදයට ලක්වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහටත් ඒ දේ වුණා. මේ ආණ්ඩුවටත් එහෙම වෙන්න පුළුවන්." මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා වැඩිදුරටත් පැවසීය.

'ස්වයං විවේචනයක් අවශ්‍යයයි'

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය විශාකා සූරියබණ්ඩාර පෙන්වා දුන්නේ මේ අවස්ථාවේදී ආණ්ඩුවට ස්වයං විවේචනයක් අවශ්‍ය බවය.

"මිනිස්සු මේ ආණ්ඩුවෙන් ඉල්ලන්නේ අවංකකම. පළවෙනි දේ. මිනිස්සුන්ට ඕනේ අපි රැවටුණේ නැහැ කියලා හිතන ඒ සිතුවිල්ල ඔළුවට දාගන්න. ඒකට ඉඩක් තියෙනවා නම් හොඳයි කියන එක හොඳයි කියන එක තමා මම නම් හිතන්නේ පක්ෂයක් විදිහට."

"සාම්ප්‍රදායීක දේශපාලන පක්ෂ එපා කියලා මේ ඡන්දෙදි ජනතාව මේ ගොල්ලන්ට ඡන්දය දුන්නේ පිරිසිදු දේශපාලනය හිතාගෙන. මිනිස්සු ඇත්තටම හිතුවේ පිරිසිදුබව (Purity) කියන එක. එක නැතිවුණාම විවාහයකද වුණාත් ඒක නැතිවුණාම මිනිස්සු මාර විදහට කඩා වැටෙනවා. මිනිස්සුගේ මනස ව්‍යාකූල වෙලා තියෙනවා. මිනිස්සු බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. මිනිස්සු දේශපාලනයෙන් ඈත්වෙනවා මේ තත්ත්වයත් එක්ක." මහාචාර්යවරිය පෙන්වා දුන්නාය.

ආණ්ඩුවේ ප්‍රතිචාරය

කතානායකවරයාගේ ආන්දෝලනයට තුඩු දී ඇති 'ආචාර්ය උපාධිය' සම්බන්ධයෙන් දෙසැම්බර් 10 වැනි දා ඔහුගේ ඉල්ලා අස්වීමේ තීරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර පැවති කැබිනට් තීරණ දැණුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් විමසා සිටියේ ය.

එහිදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ "කතානායකවරයා මේ සම්බන්ධයෙන් ඉතා ම පැහැදිලි ප්‍රකාශයක් තව දින කිහිපයකින් සිදුකරාවි. බලාගෙන ඉන්න."

"ඒ සම්බන්ධයෙන් අපි ඉතා වගකීම්සහගත ප්‍රකාශයක්; කතානායකවරයාගේ පැත්තෙන් සිද්ධ කරාවි."

"කතානායකවරයා තමන්ගේ සුදුසුකම් පිළිබඳ වාර්තා කරහා ම බලමු," යනුවෙනි.

 
'රට තුළ වැරදි කරන කිසිවෙකු, කිසිම හේතුවකට ආරක්ෂා කිරීමට අපේ ආණ්ඩුව සූදානම් නැහැ'
 
දෙසැම්බර් 13 වන දා, රජයේ මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවක දී ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කොට තිබුණේ ''රට තුළ වැරදි කරන කිසිවෙකු, කිසිම හේතුවකට ආරක්ෂා කිරීමට අපේ ආණ්ඩුව සූදානම් නැහැ. රට තුළ පමණක් නෙවෙයි, අපේ ආණ්ඩුව තුළ කවර තරාතිරමක කෙනෙක් වුණත් වැරැද්දක් කරනවා නම් ඒ වැරැද්දට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න අපි පැකිළෙන්නේ නැහැ.'' යනුවෙනි.

දශක 07ක් තිස්සේ රැවටීමට ලක් වූ ජනතාව තමන් කෙරෙහි තබා තිබෙන විශ්වාසය සුරක්ෂිත කිරීමට සහ රට වඩා යහපත් රටක් කිරීමට තම රජය කොන්දේසි විරහිතව කැප වෙන බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

(BBC සිංහල සේවය)


සබැඳි පුවත් :
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අශෝක රංවල: කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීම සහ මාලිමා ආණ්ඩුවේ ඉදිරි ගමන | The Leader