The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : රිළා ප්‍රශ්නය

T

The Leader Desk

December 15, 2024 • 8:53 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : රිළා ප්‍රශ්නය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “ඩාවින්ට වඳුරා නෑ වුණේ, අම්මගෙ පැත්තෙන්ද අප්පගෙ පැත්තෙන්ද” ඩාවින්ගේ පරිණාම සංකල්පය ගැන, පසු කලෙක, විද්‍යාත්මක වශයෙන් ද, ආගමික වශයෙන් ද නොයෙක් වාද විවාද ඇතිවුණි.
  • සත්ව විද්‍යාඥයකු වන ඩෙස්මන්ඩ් මොරිස් වඳුරන් හා වෙනත් වානරයන් ඇතුළු, අපගේ ‘කිට්ටුම නෑයන්’ ලෙස සැලකිය හැකි සතුන් ගැන පර්‌යේෂණ කළේය.
  • ඔහු මිනිසා තුළ ඇති වානර ගතිය ගැන, පොතක් ද ලිවීය.
  • ඩෙස්මන්ඩ් මොරිස්ගෙ හැඳින්වීමේ දැක්වෙන අන්දමට, අද ලෝකයේ විවිධ වානර වර්ග 193 ක් දක්නට ලැබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

“ඩාවින්ට වඳුරා නෑ වුණේ, අම්මගෙ පැත්තෙන්ද අප්පගෙ පැත්තෙන්ද”

ඩාවින්ගේ පරිණාම සංකල්පය ගැන, පසු කලෙක, විද්‍යාත්මක වශයෙන් ද, ආගමික වශයෙන් ද නොයෙක් වාද විවාද ඇතිවුණි. සත්ව විද්‍යාඥයකු වන ඩෙස්මන්ඩ් මොරිස් වඳුරන් හා වෙනත් වානරයන් ඇතුළු, අපගේ ‘කිට්ටුම නෑයන්’ ලෙස සැලකිය හැකි සතුන් ගැන පර්‌යේෂණ කළේය. ඔහු මිනිසා තුළ ඇති වානර ගතිය ගැන, පොතක් ද ලිවීය. එය නම් කළේ The Naked Ape මැයිනි. එස්.එම්. බන්දුසීලයන් එය සිංහලට පෙරළුවේ ‘නිරුවත් වානරයා’ යනුවෙනි.

 

ඩෙස්මන්ඩ් මොරිස්ගෙ හැඳින්වීමේ දැක්වෙන අන්දමට, අද ලෝකයේ විවිධ වානර වර්ග 193 ක් දක්නට ලැබේ. ඉන් 192 කම, සිරුරු රෝමවලින් වැසී ඇත. රෝමවලින්, සම්පූර්ණයෙන්ම නොවැසුණු සිරුරක් ඇති එකම වානරයා, මිනිසාය.

‘හෝමෝසේපියන්’ නමැති ජීවවිද්‍යාත්මක නාමයකින් තමාවම හඳුන්වා ගන්නා, මිනිස් වානරයාට, අනෙක් සතුන්ට වඩා විශාල මොළයක් පිහිටා ඇත. එසේම, ඔහුට බුද්ධිමත්භාවයක්ද ඇත. එසේ වුවත්, ශරීරයේ යම් යම් තැන්වල, රෝමයන් වැඩී සැඟව ඇත්තාක් මෙන්ම පරණ වඳුරු ගතිද වරින් වර ප්‍රදර්ශනය කෙරේ.

රිලා ප්‍රශ්නය: ඇත්තටම සිදුවෙමින් පවතින්නේ කුමක් ද?

 

මට මේ පැරණි වඳුරු නෑකම ගැන යමක් ලියන්නට සිතුණේ, මේ දිනවල උද්ගතව ඇති රිළා, වඳුරු ප්‍රශ්නය නිසාය.

රිළවා සැලකුණේ අහිංසක සතකු ලෙසිනි. ඌ, මේ තරම් අපේ මිනිසුන්ට සතුරු වූ කලක්, වෙනත් කිසි කලෙක නොවූ තරම්ය.

අහිකුණ්ඨික ජනයා, රිළවුන් හීලෑ කරගෙන, තැන තැන ගෙන යමින්, රිළා නැටුම් දක්වමින්, එදා වේල හොයා ගත්හ.

“පුතේ, නැන්දම්මලාගෙ ගෙදර යන හැටි පෙන්නපන්” යැයි, අහිකුණ්ඨිකයා කියූ විට, ඇඳුමකින්ද සැරසී සිටින රිළවා, කෝටුවක අග බැඳි පොදියක් ද කර තබාගෙන, රවුමට ගමන් කරයි. බලා සිටින්නෝ, සතුටින් සිනාසෙති.

 

අතීතයේ, රිළවා සමඟ, මිනිසාගේ ගැටුමක් තිබුණේ නැත. කවුරුන් හෝ තවකෙකුට රිළවා හෝ වඳුරා යැයි කියූ විටෙක නම්, එය අපහාසයක් ලෙස සැලකුණි. ඒ රිළවා, කැත හෝ මෝඩ සතකු ලෙස සැලකුණු බැවිනි. සිරි ලංකාවේදී, රිළවා, මිනිසාගේ - විශේෂයෙන්ම ගොවියාගේ සතුරකු බවට පත්වූයේ මෑතක සිටය.

පරිසරවේදීහු ඊට නොයෙක් හේතු දක්වති. කෘෂිකර්ම ඇමැතිවරුද නොයෙක් විසඳුම් පෙන්වති. රිළවුන්, චීනයට පැටවීමටද යෝජනා වූයේ මීට කලකට පෙරය. විවිධ විරෝධතා නිසා, එය ද ක්‍රියාත්මක වූයේ නැත.

 

රිලා ප්‍රශ්නය: අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක්
ඒ දිනවල, මම ඈත පෙදෙසක පිහිටි දිය ඇල්ලක් නැරඹීමට යමින් සිටියෙමි. ගැමි නිවසක, ඉදිරිපස සිටි මැදිවියේ කාන්තාවක්, ඇගේ වගාවකට කිට්ටු කර සිටි රිළවුන් එළවමින් සිටියාය. මම ඇය හා කතාවට වැටුණෙමි.

“රිළවුන්ගෙන් හරි කරදරේ නේද?”

“මොනව කරන්නද මහත්තයා - උනුත් ඉන්න ඕනෙ. අපිත් ඉන්න ඕනෙ.”

“ඒ වුණාට, ගහක ගෙඩියක් තියාගන්න බෑනේ නේද? ළඟදිම රිළවු අල්ලල චීනෙට යවන කතාවක් නං තියෙනවා.”

ගැමි කත, මා කියූ දෙය නෑසුණාක් මෙන් ඉවත බලා සිටියාය.

මොහොතකට පසු, මම එතැනින් පිටව යාමට සැරසුණෙමි. ගැමි කත, මා පසුපස පැමිණියාය. හඬ බාල කොට මෙසේ ඇසුවාය.

“රිළව්, චීනෙට යවන වැඩේ ඉක්මනට වෙයිද මහත්තයා...?” ගැමියන්ගෙ හැටි එහෙමය.

 

සල්ලි අහේනිය ලංකාවේ අලි වෙඩිවලටත් ගිනි තියන ලකුණු

රිළව් එනවාට කැමතිත් නැත. මරනවාට කැමතිත් නැත. විසඳුමකුත් අවශ්‍යය. අලියා, වල් ඌරා, මොණරා, ඉත්තෑවා ආදී මොන සතා ගැනත්, ගැමියන්ගේ අදහස එසේය. එහෙත්, තමන් දුක් මහන්සියෙන් කරනා වගාවන්, වනසනු දකින විට නම්, ඔවුන්ගේ සත්ව කරුණාව අතුරුදන් වෙයි. ආණ්ඩුවෙන් අලි වෙඩි, ගිනිඅවි, විදුලි වැට ඉල්ලා උද්ඝෝෂණ කරන්නේ එවිටය.

VwRStV56Xdxstz5UrZDsYA

 

නාසා ආයතනය, සිය අභ්‍යවකාශ පර්යේෂණ සඳහා, වඳුරන්, චිම්පන්සින් හා සුනඛයන් ඇතුළු සත්වයන් තිහකට අධික සංඛ්‍යාවක් යොදාගෙන ඇත. ඒ අතරින් වැඩි දෙනෙක් වඳුරන්ය. උන්ගෙන් කිහිප දෙනෙක් විවිධ අනතුරුවලින් මිය ගියහ. නාසා ආයතනය තමන්ට සහාය වූ ඒ සතුන් ගැන (ගොලියාත්, ඒබල්, බේකර්, ඇල්බර්ට්, හැම්, ගොර්ඩෝ ආදී නම්වලින් හැඳින්වුණු) සඳහන් කර ඇත්තේ, කෘතඥ පූර්වකවය.

කෙසේ වෙතත්, මෙතෙක් කිසිම රිළවකු, වඳුරකු, හඳට ගියේ නැත. රිළා අතිරික්තයට විසඳුම් සොයන, සිරි ලංකාවට, නාසා ආයතනයේ උපකාරයෙන්, උන් අභ්‍යවකාශ ගත කළ හැකිය. බ්‍රහස්පති, අඟහරු වැනි ග්‍රහලෝකයක්, උන්ට වාසභූමිය කළ හැකිය. එමගින්, අනාගතයේදී, Planet of the Apes වැනි චිත්‍රපටයක දැක්වෙන පරිදි, සිරි ලාංකික වඳුරු හෝ රිළවුන්ගේ ග්‍රහලෝකයක් නිර්මාණය වීමට ඉඩ ඇත.

රිළවුන් ගැන වේදනාවෙන් කතා කරන පරිසරවේදීන් කිහිප දෙනකු ද, ඒ සමඟම අභ්‍යවකාශ ගත කිරීමෙන්, මේ ප්‍රශ්නය හොඳින්ම විසඳා ගත හැකිය. වනජීවී පර්යේෂකයන්ට හා සත්ව විද්‍යාඥයනටද ඒ සඳහා අවස්ථාව ලබා දිය හැකිය.

එවිට, සිරි ලාංකිකයා පොහොසත් රටක ලස්සන ජීවිතයක් ගත කරන අතරම, සිරි ලාංකික රිළවාටද, තමන්ගේම ලෝකයක, නිදහස් ජීවිතයක් ගත කළ හැකිය.


කපිල කුමාර කාලිංගගේ හීසරය : ඉස්සන් මගුරන් ලොකු වැලිගොව්වන්(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...