The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

සිරිමා බෝ හාමුදුරුවන්ට සිදු කළ විපත්තිය - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

December 16, 2024 • 8:15 AM

සිරිමා බෝ හාමුදුරුවන්ට සිදු කළ විපත්තිය - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශාරීරික පාරිභෝගික උද්දේසික වශයෙන් බෞද්ධයන් තම ආගමික පුජනීය වස්තුන් වර්ග කරති.
  • උදාදේසික යනු පිළිම වහන්සේ ආදි එතුමන් උදෙසා නිර්මානය කළ දෑ වෙති. ඉහත කවියෙන් කියැවෙන්නේ ලංකාවේ පවත්නා බෞද්ධ පූජාර්හ වස්තුන් ත්‍රීත්වය කවියෙකු (ශ්‍රී රූපදේව ආනන්ද රාජකරුණා) ඉතා සරල ලෙස අභිවාදන පූර්වකව මෙනෙහි කළ අවස්ථාවකි.
  • මගේ සටහන් අතර ජූලි මස 30 වෙනි දිනයට සිරි මහ බෝ සාමින් සම්බන්ධ ආගමික නොවන ''සහාසික'' සංවත්සරයක් මුණ ගැසෙයි.
  • එය සිදු වී එළඹෙන 2029ට සත සංවත්සරයක් සපිරෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කුඹුරක මුත්තෙට්ටුව සප්පායම් වන අතර පවා වෙනත් විශේෂ කතාබහක් නොවේ ගොවීන් ගෙවි ලියන් පවා රට ජාතිය පිළිබඳ අතීත තොරතුරු සිහිපත් කරති. 

ඒවා අළුවිහාරේ ධර්ම සංගායනාවත තෙක් ත්‍රීපිටකය කටින් කට පැවත ආවාක් මෙන් ජනශ්‍රති අතර ගැවසිණ. 

සිරි දළදා               වහන්සේ   ය 
සිරි මහ බෝ            වහන්සේ  ය 
ජාතක පොත්           වහන්සේ  ය 
ජාතික මිනි             පහන්සේ  ය  


slider1

ඒ කවිය සිහි කරමින් මම දොහොත් මුදුන් දි උඩ මලූවේ ජයසිරි මහ බෝ හැමුදුරුවන් වෙත යොමු වෙමි. ශාරීරික පාරිභෝගික උද්දේසික වශයෙන් බෞද්ධයන් තම ආගමික පුජනීය වස්තුන් වර්ග කරති. ඉන් ශ්‍රී දළදා වහන්සේ අයත්  වන්නේ ශාරීරික හෙවත් ශ්‍රී බුද්ධ ශරීරයෙන් ඉතිරි හෝ අවශේෂ භාෂ්මාවශේෂ හැටියට ය. සිරිමා බෝධින් වහන්සේ අයත් වන්නේ පාරිභෝගික හෙවත් බුදුන් වහන්සේ පාවිච්චි කළ හෝ පරිභොග කළ පුජා වස්තූන් හැටියටය. පාත්‍ර ධාතුන් වහන්සේ  පඨී ධාතුන් වහස්සේ මේ අතරට ගැනෙති. උදාදේසික යනු පිළිම වහන්සේ ආදි එතුමන් උදෙසා නිර්මානය කළ දෑ වෙති. 

ඉහත කවියෙන් කියැවෙන්නේ ලංකාවේ පවත්නා බෞද්ධ පූජාර්හ වස්තුන් ත්‍රීත්වය කවියෙකු (ශ්‍රී රූපදේව ආනන්ද රාජකරුණා) ඉතා සරල ලෙස අභිවාදන පූර්වකව මෙනෙහි කළ අවස්ථාවකි.

මගේ සටහන් අතර ජූලි මස 30 වෙනි දිනයට සිරි මහ බෝ සාමින් සම්බන්ධ ආගමික නොවන ''සහාසික'' සංවත්සරයක් මුණ ගැසෙයි. එය සත්තකින්ම සංවත්සරයක් නොව මිනිස් ඉතිහාසයට කළු පැල්ලමකි. එය සිදු වී එළඹෙන 2029ට සත සංවත්සරයක් සපිරෙයි. සිදුවීමෙන් සිය වසක් එළඹීමට ආසන්න මේ සිද්ධිය මා නැවත මෙසේ ස විස්තරව ලියා අනාගතයට භාර කරන්නේ ඒ සියවස එළඹෙන 2029 ජූලි මස 30 වෙනි දිනයට අප ජීවත්ව සිටින්නට නුපුළුවන් හෙයිනි.

 

සමහර සිද්ධින් කාලය තුළ ගිලා බැසින තෙක් බලා සිටීම අපරාධයකි. ඒවා අප විසින් මතකයෙහි රඳවා ගත යුතුව ඇත. හරියටම ඉහත උපුටා දැක් වූ කවිය වාගේ ය. බෞද්ධ සාහිත්‍යයේ එන දඹදිව මහා බෝධින් වහන්සේට මඩු කටු ගැසු රාජකීය කතාවත් මහා බෝධියට සිදුවූ ආපදාවත් අනේ අපොයි කියැවෙන පහන් සංවේගය දනවන සිද්ධි මාත්‍රයකි.  

මේ සිද්ධිය සම්බන්ධ තොරතුරු ගැන නිවැරදිව මා දැනුවත් කළ දඹුල්ලේ පල්ලේගම පදිංචි විශ්‍රාම ලත් සමුපකාර පරීක‍ෂක සහ ගත් කතුවර නැසීගිය කේ. බී.පොතුවිල මහතා මා මිත්‍ර වර්තමාන අටමස්ථානාධිපති පල්ලේගම ඤාණරතන නායක හාමුදුරුවන් වහන්සේගේ පියානන් වෙති.   

වර්ෂ 1912 නොවැම්බර් මස 12 වෙනි දින පල්ලේගම ධම්මරක්ඛිත නමින් පැවිදි බිමට පත්වූ පාලි සංස්කෘත ඉංග්‍රීසි දෙමළ ආදි භාෂා භාවිතයෙහි බුහුටි පල්ලේගම ධම්මරක්ඛිත සාමනේයන් වහන්සේ, 1919 ජූනි මස 05 වෙනි දින මල්වතු මහා විහාර උපෝෂිත පුෂ්පාරාම පෝයගෙහිදී උපසම්පදා ශීලය සමාදන් වූහ. පසුව රුවන්වැලි චෙත්‍යස්ථානාධිපති තනතුර ලබන තෙක්ම උන්වහන්සේ වැඩ වාසය කරන ලද්දේ උඩමලූව පන්සලේය.

 

Photograph of Jaya Sri Maha Bodhi Anuradhapura Sri Lanka

ඉහතින් සඳහන් කළ අවාසනාවන්ත සිද්ධිය සිදුවූ දිනයෙහි එතුමන් වහන්සේ සිරිත් පරිදි උඩමලූව පන්සලේ වැඩ සිටියාහ පැරණි තොරතුරු අනුව 1949 වසර වන තෙක්ම සිරිමා බෝධින් වහන්සේ වැඩ සිටින මලූව වෙත කිසිදු අවහිරයකින් තොරව සැදැහැතියන්ට ලඟා වී සිත් සේ වන්දනාමාන කිරිමේ හැකියාව පැවතිණ. ඒ සඳහා මහ පියගැට පේළි දෙකක් විය. එක් පියගැට පෙළක් නැගෙහිර දිශාවෙන් පිහිටා තිබිණ. අනෙක් පඩිපෙළ අදටත් දැකිය හැකි උතුරු පඩි පෙළය.

මේ කියන සිද්ධිය 1929 ජූලි 30 වෙනි දින සිදු විය. වෙලාව උදේ 7ට පමණට ය. ඒ යුගයේ අද මෙන් ආරක්ෂක පවුරු සිරිමා බෝධින් වහන්සේ වටා ඉදි කර තිබිලා නැත. කේ. බී.පොතුවිල මහතාට පල්ලේගම ධම්මරක්ඛිත හාමුදුරුවන් වහන්සේ ඒ සිද්ධිය මෙසේ විස්තර කරති. 

''මට එදා දවස මතකයි. හරියටම ජූලි මාසෙ 30 වෙනිදා. මම වෙනදා වාගේ උදෑසන බෝධින් වහන්සේ වන්දනා කළා. මම වන්දනා කරන්නට උඩ මලූවට යන කොටත් කිරි ආහාර පුජා කරන්නට පැමිණි පිරිස් උඩමලූවේ  හිටියා. වන්දනා කරලා ඇවිත් දන් ගෙට ගිහින් හීල් දානේ වළඳන්නට පිගාන අතට ගත්තා විතරයි, මට බෝධින් වහන්සේ පැත්තෙන් මහ ගෝෂාවක් ඇසුණා

''අපේ බෝධින් වහන්සේ කපනවෝ කියමින් මිනිසුන් කෑ ගහන මහා ගෝසාවක් උඩ මලුව පැත්තෙන් ඇහුණා. මට යමක් හිතා ගන්න බැරිවුණත් මගේ ඇඟට දැනුණ හිතට මහ ජවයකින්, මම වන්දනා කාරයන් පෙරළාගෙන මලූවට ගොඩවුණා. ඒත් එක්කම මට පෙනුණා මිනිහෙක් පොරවක් උස්සනවා. ඒ සමග මොකක්දෝ ආරූඩයකින් වෙන්න ඇති මගේ දකුණු පා පහරක් වැදිලා ඒ කාලකන්නියා පොරවත් එක්කම ඒ වීසිවෙලා ගියා. වන්දනා කාරයෝ ඒ මිනිහා වටකර ගත්තා. මගේ ඉක්මන වාසනාවක් වුණා කියලා මට හිතෙනවා. මිනිසුන් කෑ ගහලා තියෙන්නේ පොරව අතේ තිබුණ නිසා ළං වෙන්ට බයවෙලා. මේ ඔක්කොම සිද්ධ වෙන්න විනාඩියක් දෙකක් යන්න ඇති. (මේ කියන කාලයේ උඩ මළුවේ ලැගුම් ගෙය පිහිටා තිබුණේ මළුවේ ගිනිකොන පැත්තේ මළුවට ආසන්නයේය.) පස්සේ තමයි ආරංචි වුණේ වුණා අර මිනිහාගේ නම කටුවාවල ජේමිස් හෙවත් ජෙමා කියලා මිනිස්සු දන්න පිස්සෙක් කියලා.

bodhi bo tree

 

මේ සිද්ධිය වෙන කොතනක හෝ මේ ආකාරයට ඇසින් දුටු කෙනෙකු කළ විස්තරයක් සවිස්තරව ලියැවිලා නැතුවා විය හැකියි. අනුරාධපුර නුවරවැව ආසන්යේ පිහිටි වීරසේකරාරාමයේ අද පිහිටා තිඛෙන බෝධින් වහන්සේ මේ සිද්ධියට සම්බන්ධ ජීවමාන සාක‍ෂියක් බව බොහෝ දෙනා නො දනිති. අර කාලකන්නියාගේ පොරෝ පහර වැදී ජයසිරි මහ හාමුදුරුවන්ගේ කෙඳන් කැපී ගිය එක් පොත්තක් අහුලා ගත් සැදැහැතියෙකු මැදිහත්ව, ඉහත කී වීරසේකරාරාම විහාර මළුවේ රෝපනය කර තිබේ. අද එකී විහාර භූමියෙහි අතු පතර විහිදී සැදැහැතියන්ගේ සර්ධාව වඩවන බෝධින් වහන්සේ ඒ සිද්ධියේ දරමාණ සාක‍ෂියක් විය හැකිය. 

මේ කියන දවසේ උඩ මලුවේ කිරි ආහාර පුරාවට රැස්ව සිටි සැදැහැති පිරිස් අතර, වීරසේකරරාමයේ දායකයෙක් පොරෝ පහරෙන් කැපී ගිය පොත්තක් සිය උතුරු සලුවේ ඔතා ගෙන ගෙදරට වැඩමවා ඇත. මේ ශුද්ධ වස්තුව ගෙදරක තබා ගැනීමට බියවු ඒ සැදැහැතියා එ දිනම ඒ බුදුන්ගේ පාරිභෝගික වස්තුවෙන් ශේෂවූ මේ ශුද්ධ වස්තුව වීරසේකරාරාම පන්සලේ හාමුදුරුවන් වහන්සේට භාරදී ඇත. මහා බෝධියේ ඓතිහාසික දක්ෂිණ ශාඛාවෙන් කැපී වෙන් වී ගිය මේ වස්තුව තමන් අතට පත්වීම හාස්කමක් සේ සිතූ උන්වහන්සේට එකී කැපි ගිය පොත්තෙහි නිරෝගීව වැඩුණ කුඩා රිකිල්ලක් නිරීක්ෂණය විය. පන්සලේ ලොකු හාමුදුරුවෝ එකී රිකිල්ල මහත් පරෙස්සමින් පන්සල් භූමියෙහි උත්සවශ්‍රීයෙන් රෝපනය කළහ. අදත් වීරසේකාරාමයේ රන්වන් පාටින් දළු ලමින්, පූජෝපාහාර ලබන බෝධින් වහන්සේ අටරුහ පළ නොවෙති. මහා බෝධියේ දක්ෂිණ ශාඛාවෙන් කැපි වෙන්වූ තවත් ඓතිහාසික වෘක්ෂයකි. 

මේ සිද්ධිය ඇසු එ දවස ප්‍රදේශවාසී බෞද්ධ අබෞද්ධ ජනී ජනයා මේ මහා සාසන විරෝපනයෙන් කැළඹී, පරල ව, ඇඳී වතින් උඩ මලූව දෙසට දිව ආ බව කියති. 

 

1 nb8xQbew4FCnRSd9 haiIw
මේ අපරාධය කුමන්ත්‍රණයක් ලෙස කල්පනා කළ බොදු සැදැහැති පිරිස් තමන් පාලනය කර ගත නොහැකි උද්වේගයකින් හැසිරෙනු දක්නට ලැබිණ. අඟහරුවාදා දවසක් වූ මෙදින අනුරාධපුර උසාවියේ නඩුවක් සඳහා පැමිණි සිටි කීර්තිමත් ලාංකික බෞද්ධයෙකුවූ රාජ නීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක වහා එහි ගොස් ජනතාවට තමන් කවුදැයි හඳුන්වා දෙමින්, කුපිතවු පිරිස් සංසුන් කළේය. රාජ නීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක නොවන්නට ඒ දිනය කළු ජූලිය මෙන් ඓතිහාසික ඛේදවාචකයක් වෙනවා සිකුරුය. බෞද්ධ අපට ශ්‍රී මහා බෝධින් වහන්සේ අපරාජිතත්වය පිළිබඳ  ශුද්ධ වස්තුවකි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මාර පරාජයේදී වැඩ සිටියේ මේ මහා අපරාජික ජය වෘක‍ෂ රාජයානන් සෙවනෙහිය. 

වර්තමානයෙහි එහි පරම හිමිකම, එහි ජීවමාන සිථිල ස්පර්ශය ලබන ශ්‍රී ලාංකික අප සතුය. අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ ලෝකයේ ජීවමානව පවත්නා ඉපැරණී වෘක‍ෂයන් අතරින් එකකි. මේ ලිපියේදී පොරෝ පහරෙන් වෙන්වු කොටස හෙවත් පොත්තට ගෞරවය මුසු ශාසනික ව්‍යවහාරයක් ඇතිදැයි මම අසා නැත්තෙමි. එසේ කියන්නේ පැරණි ව්‍යවහාර අනුව රෝපනය කිරීමට සුදුසු කුඩා බෝ පැලය රන් පැලයක් ලෙස සමහර තැනෙක හඳුන්වා ඇති හෙයිනි. මෙවැනි යෙදුම්වලට ඇත්තේ බොහෝකොට ශාසනික ව්‍යවහාරයන් නොවේ. ලේඛකයන් තම ගෞරවය දැක්වීමට යෙදූ විශේෂණයන් වෙති.

අනුරාධපුර ශ්‍රී වීරසේකරාරාමයේ බෝධින් වහන්සේ ගැන ඉහත දැක්වෙන සටහන මා ඇසු කතාවක් පමණකි. ඒ කතාව මා සමග කීවේ පුජ්‍ය රැළපනාවේ ධම්මාලංකාර හාමුදුරුවන් වහන්සේ හෝ උන්වහන්සේගේ පැවිදි ශිෂ්‍යයෙකි. එහෙත් ශ්‍රී මහා බෝධින් වහන්සේ එදා අනතුරෙන් මුදාගත් ගෞරවාර්හ පල්ලේගම ශ්‍රී සුමන ධම්මරක්ඛිත නායක හිමිපානන් වහන්සේ වාර්තාගත චරිතයකි. එසේම රාජ නීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක මහතාගේ විශිෂ්ඨ මැදිහතවීමද වාර්තාවී තිබේ. මේ සිද්ධියේදී ගෞරවාර්හ පල්ලේගම ශ්‍රී සුමන ධම්මරක්ඛිත නායක හිමිපානන් වහන්සේ බෝධින් වහන්සේට ආරක‍ෂාව ලබාදීමේද, රාජ නීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක මහතා බෞද්ධ ජනතාවගේ ගෞරවය ආරක්ෂා කර දීමෙන්ද චරිතවද අපේ සම්භාවනාවට නිස්සන් වන්නාහ. 

 

Pallegama hemarathana thero
ගෞරවාර්හ පල්ලේගම ශ්‍රී සුමන ධම්මරක්ඛිත නායක හිමිපානන් වහන්සේ බොහෝ හේතු නිසා අපේ ගෞරවයට පාත්‍ර විය යුත්තාහ. උන්වහන්සේ ස්වකීය පැවිදි සොහොයුරු අනුරාධපුර අටමස්ථානාධිපතිව වැඩවිසූ උඳුරුව හල්මිල්ලෑවේ ශ්‍රී සුමන රේවත නා හිමියන් වහන්සේ අපවත්වූ පසුව ඒ තානාන්තරයේ හිමිකම තිබුණේ මුන්වහන්සේ වෙතය. එහෙත් මේ අල්පේච්ඡ බුද්ධ පුත්‍රයානන් වහන්සේ මේ ඓතිහාසික පූජනිය තානාන්තරය තම බාල පැවිදි සහෝදර පල්ලේගම ඤාණරතන හිමියන්ට පවරා සතුටු වූහ. අපේ ගරුතර නායක හාමුදුරුවෝ 1980 නොවැම්බර මස  25 දින අපවත්වන තෙක්ම රුවන්වැලි චෛත්‍යස්ථානාධිපති තනතුර දැරූහ. උන්වහන්සේට පසුව රුවන්වැලි චෛත්‍යස්ථානාධිපති තනතුර වර්තමානයේ හොබවනු ලබන්නේ ප්‍රකට ගීත රචක අප මිත්‍ර පල්ලේගම හේමරත්න නායක හාමුදුරුවන් වහන්සේය. 

නුවර කලාවියේ සැදැහැති බෞද්ධයන් උඩ මලූවේ බෝධින් වහන්සේ වැඳ පුරා ගනිද්දි ගායනා කරන ගීතවත් පාලි ගාථාවකින් මහා බෝධින් වහන්සේට නමස්කාර කරමින් මේ ලිපිය හමාර කරනු කැමැත්තෙමි. 

සුපතිට්ඨිත රට්ඨනුරාධපුරේ
සමදිට්ඨිත දක්ඛිණ ශාඛ භවං 
ශුභ මේඝවනම්බර මේඝනිභං 
ජය බෝධිමහං පනමාසි වරං



රනිල් ආයේත් පරද්දමු - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

(2009 ජූලි මස 18 වෙනි දින. රිවිර පුවත් පත හිටි පියවර)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සිරිමා බෝ හාමුදුරුවන්ට සිදු කළ විපත්තිය - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න) | The Leader