The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

'නිවහල්` වුනු කඳුකරයක මල් පිපේවි. ගෙඩි හැදේවි - (ඉෂංඛා සිංහආරච්චි)

T

The Leader Desk

December 16, 2024 • 10:52 AM

'නිවහල්` වුනු කඳුකරයක මල් පිපේවි. ගෙඩි හැදේවි - (ඉෂංඛා සිංහආරච්චි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයට මහජන ජන්දයෙන් තේරී පත්වූ පළමු දෙමළ ජාතික මන්ත්‍රීවරයා වාර්තා වන්නේ ද මේ මැතිවරණය ඔස්සේය.
  • ජනතා විමුක්ති පෙරමුණ [JVP] ප්‍රසිද්ධ දේශපාලනයට විත් නොබෝ කලකින්ම පුර්ණ කාලිනව දේශපාලනයට පිවිසි ඇය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් මනාප 33,346 ක් ලබා ගෙන නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ පළමු මලයහ දෙමළ මන්ත්‍රීවරිය වුවාය.
  • කඳුකරයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙකු වූ ඇගේ වැඩිමල් සොයුරු අශෝකන් සොයා පැමිණි රජයේ හමුදා 13 හැවිරිදි සෙල්වී ඇතුළු ඇගේ පවුලේ අය අත්අඩංගුවට ගෙන රැගෙන ගියේ එවකට හමුදා වධකාගාරයක් ලෙස පවත්වාගෙන ගිය උඩුපුස්සැල්ලාව තේ කර්මාන්ත ශාලාව වෙතය.
  • ඔවුන්ගේ වැලිමඩ නිවසට පැමිණෙන විට ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කළ සෙල්විගේ වැඩිමල් සොයුරිය තෙන්මොලි හමුදා අත්අඩංගුවට පත්ව තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මලෛයහ දෙමළ ජනයා ඉන්දීය කුලී සේනාංකයක් බවට වූ යම් නිශේධනාත්මක මතයක ආරම්භයේදී එල්බ සිටී මෙම බලවේගය පසුව එය බැහැර කරමින් සිය ජයග්‍රහණය සනිටුහන් කරනුයේ ලංකා කම්කරු කොංග්‍රසයත් [CWC], දෙමළ ප්‍රගතිශීලි සන්ධානයත් [TPA] මෙතෙක්  තම බලය පවත්වා ගෙන සිටි කේන්ද්‍ර ස්ථානය වූ නුවරඑලිය දිස්ත්‍රික්කය ජය ගැනීම මගිනි. ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයට මහජන ජන්දයෙන් තේරී පත්වූ පළමු දෙමළ ජාතික මන්ත්‍රීවරයා වාර්තා වන්නේ ද මේ මැතිවරණය ඔස්සේය. මලෛයග දෙමළ මංත්‍රිවරියන් දෙදෙනෙකු පළමු වරට නුවරඑළියෙන් සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් පාර්ලිමේන්තුවට පත් වීම ද සුවිශේෂී අවස්ථාවකි.

සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් ජනතා ජන්දයෙන් ප්‍රතික්ෂේප වීම ද බැහැර කළ නොහැකිය.

සෙල්වී - අම්බිගා පළමු මලෛයහ දෙමළ මංත්‍රීවරියෝ 

 

krishan kalayichelviක්‍රිෂ්ණන් කලෛසෙල්වී
සිංහල අපේක්ෂයන් බහුතරයකගෙන් සමන්විත වූ ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් කණ්ඩායමේ මලෛයහ දෙමළ ජනයාගේ නියෝජනයවුයේ ක්‍රිෂ්ණන් කලෛසෙල්වී. ජනතා විමුක්ති පෙරමුණ [JVP] ප්‍රසිද්ධ දේශපාලනයට විත් නොබෝ කලකින්ම පුර්ණ කාලිනව දේශපාලනයට පිවිසි ඇය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් මනාප 33,346 ක් ලබා ගෙන නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ පළමු මලයහ දෙමළ මන්ත්‍රීවරිය වුවාය.

ජනතා විමුක්ති පෙරමුණේ පුර්ණ කාලිනයෙකු වූ සෙල්විගේ වැඩිමහල් සොහොයුරු අශෝකන් හරහා දේශපාලනයේ මුල් පොත කියවූ ඇයට සහ ඇගේ පවුලේ සැමට විවිධ වධ බන්ධනයන්ට ගොදුරු වන්නට සිදු වුයේ 88/89 භීම සමයේදීය. කඳුකරයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙකු වූ ඇගේ වැඩිමල් සොයුරු අශෝකන් සොයා පැමිණි රජයේ හමුදා 13 හැවිරිදි සෙල්වී ඇතුළු ඇගේ පවුලේ අය අත්අඩංගුවට ගෙන රැගෙන ගියේ එවකට හමුදා වධකාගාරයක් ලෙස පවත්වාගෙන ගිය උඩුපුස්සැල්ලාව තේ කර්මාන්ත ශාලාව වෙතය. සති කිහිපයක් එහි රඳවා ගෙන සිටී ඔව්හු පසුව නිදහස් කළහ. ඔවුන්ගේ වැලිමඩ නිවසට පැමිණෙන විට ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කළ සෙල්විගේ වැඩිමල් සොයුරිය තෙන්මොලි හමුදා අත්අඩංගුවට පත්ව තිබිණි. පසුව ඔවුන්ට ඇය ගැන තොරතුරක් ලැබුනේ තවත් දේශපාලන ක්‍රියාකාරිනියන් පිරිසක් සමග කඩවත, රම්මුතුගල රැඳවුම් කඳවුරේ රඳවා සිටිය දියි. රජයේ හමුදා පොලිසියට අමතරව එවකට  කඳුකරයේ දේශපාලන බලවතා වූ  තොන්ඩමාන්ගේ මැර බලකායන්ද  සෙල්විගේ වැඩිමල් සොයුරු අශෝකන් පසුපස ලුහුබඳිමින් තිබිණි. අවසානයේ වෙඩිතබා මරා දැමුණු අශෝකන්ගේ සිරුර හමුවුයේ  නානුඔය ලයින් කාමර පෙළක් පිටුපස තිබීය දිය.

ඇගේ වැඩිමල් සොයුරිය තෙන්මොලි පසු කාලෙක රාජ්‍ය සේවයට එක්වෙමින් දේශපාලනයට සමුදුන්න ද සෙල්වී සිය සොයුරු අශෝකන්ගේ මග යමින් වැලිමඩ සිට නුවරඑලියට පැමිණ ජනතා විමුක්ති පෙරමුණේ සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම්වරිය ලෙසින් සිය දේශපාලන ගමන ඇරඹුවාය.

 

තරුණ ගෝලීය නායකයකු වශයෙන් තෝරා ගත් ලංකාවේ ඇමැතිජීවන් තොණ්ඩමාන්
මෙතෙක් කඳුකරයේ බලය තහවුරු කරගෙන සිටී ලංකා කම්කරු කොංග්‍රසය මෙවර අලියා ලකුණ යටතේ එක්සත් ජාතික පක්ෂයෙන් [UNP] තරග කළද පරාජයට පත්විය. පක්‍ෂ නායක ජීවන් තොණ්ඩමාන් පමණක් මන්ත්‍රීධුරයක් සඳහා සුදුසුකම් ලැබුවේ මනාප 46,438 ක් ලබා ගනිමිනි. ජාතික කම්කරු සංගමයේ [NWU] නායක පලනි දිගම්බරම් මනාප 48,018 ක් ද, කඳුරට ජනතා පෙරමුණේ [UPF] නායක පෙරියසාමි රාධාක්‍රිෂ්ණන් මනාප 42,273 ක් ද ලබා ගෙන සිය මන්ත්‍රීධුර රැකගැනීමට සමත්විය. ඔවුන් මැතිවරණයට ඉදිරිපත් වුයේ සමගි ජන බලවේගය යටතේයි. 

 

anusha chandrasekaranපෙරියසාමි චන්ද්‍රසේකරන් ගේ දියණිය නීතිඥ අනුෂා චන්ද්‍රසේකරන්
මෑතකදී ඇරඹි රන්ජන් රාමනායකගේ නායකත්වයෙන් යුත් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ [UDV] ඉදිරිපත් වූ කඳුරට ජනතා පෙරමුණේ නිර්මාතෘ පෙරියසාමි චන්ද්‍රසේකරන් ගේ දියණිය නීතිඥ අනුෂා චන්ද්‍රසේකරන් ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ වරම් මෙවර අහිමිවුයේ ජන්ද 800 කින්ය. මලෙයහ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ [MDF] නමින් දාදු කැටය සලකුණින් ස්වාධීන කණ්ඩායම 11 යටතේ තරඟ කළ කණ්ඩායම ට ද කිසිදු ජයග්‍රහණයක් අත් කර ගැනීමට නොහැකි විය.

මැතිවරණය ආසන්නයේදී ගොඩනැගුනු මෙම පෙරමුණ යටතේ ඉදිරිපත් වුවන් පැවසුවේ වතුකරයේ ඉපදී හොඳින් අධ්‍යාපනය ලබා ඉහල වෘත්තියන් හි නියැලෙන ඔවුන්ව බලයට පත්කරන ලෙසයි. එහෙත් මොවුන් බහුතරයක් වතුකරයෙන් පිටමන්වූ පිරිස්ය. මැතිවරණයෙන් ජයග්‍රහණයක් ලබා ගත නොහැකි වුවද මලෛයහ ප්‍රජාතන්තරවාදී පෙරමුණ නමින් ඉදිරියටත් කඳුකරයේ දේශපාලනයේ නියලෙන්නට ඔව්හු අපේක්‍ෂා කරති.

මෙවර නුවරඑලිය දිස්ත්‍රික්කයට පමණක් නාමයෝජනා ඉදිරිපත් කළ ස්වාධීන කණ්ඩායම් 11 කි. පල්ලර නම් දෙමළ කුලය නියෝජනය කරන අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් වුවද එය ප්‍රතික්ෂේප වුයේ එහි තිබු තාක්ෂණික දෝෂයක් නිසාවෙනි. එසේ නොවිණි නම් මෙවර මැතිවරණයේදී ප්‍රමාණාත්මක නොවුණත් කුලය පදනම් කරගත් ව්‍යාපාරයක් දියත් වීම නියතය. 

ඩේවිඩ් සුරේන් නව ප්රජාතන්ත්රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂයඩේවිඩ් සුරේන් නව ප්රජාතන්ත්රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය
නුවරඑලිය නියෝජනය කරනු ලැබූ මන්ත්‍රීවරයෙකු වූ තිලකරාජ්ගේ කණ්ඩායමක් ආනන්දසංගරීගේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ [ TULF ] හා එක්ව කඳුකරය ඇතුළු උතුරු නැගෙනහිර පළාත් සඳහා තරඟ කළද කිසිදු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් නොවිණි.

කලක් කඳුකරයේ දේශපාලනයේ නිරතවූ නීතිඥ එළියතම්බි තම්බයියාගේ නව ප්‍රජාතන්තරවාදී පක්ෂයෙන් බිඳී ගිය නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් -ලෙනින්වාදී පක්ෂය [NDMLP ] ජන අරගල සන්ධානයේ [PSA] හවුල්කාර පාර්ශවයක් ලෙසින් තරඟ කළද මුළු දිවයින පුරාම ඔවුන්ට ලබා ගත හැකි වුයේ ජන්ද 29,611 ක් පමණි. මිට අමතරව සිරිතුංග ජයසුරියගේ එක්සත් සමාජවාදී පක්‍ෂය [USP], දීපාල් ජයසේකර නායකත්වය උසුලන සමාජවාදී සමානතා පක්‍ෂය [SEP], දීප්ති කුමාර ගුනරත්නගේ සමබිම පක්‍ෂය [SP] ද කඳුකරය වෙනුවෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කර තිබිණි.

 

අම්බිගා හෙවත් කඳුරට දෙමළ කාන්තා නායකත්වය සහ සිංහල පිරිමි - (අජිත් පැරකුම්  ජයසිංහ)අම්බිගා සැමුවෙල්

මෙවර බදුල්ල දිස්ත්‍රික්කයෙන්ද මලෛයහ ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන් දෙකක් හිමි වීම කැපී පෙනෙන සිදුවීමකි. සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපතිවරයා වූ පස්සර නමුණුකුල වත්තේ කිට්නන් සෙල්වරාජ් මනාප ජන්ද 60,041 ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරීපත් විය. හපුතලේ වත්තේ පදිංචි පෙර පාසැල් ගුරුවරියක සහ සමාජ සේවිකාවක වූ අම්බිගා සැමුවෙල් මනාප ජන්ද 58,201 ලබා ගනිමින් මලෛයහ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පළමු මන්ත්‍රීවරියක් වීමේ භාග්‍ය හිමි කරගත්තාය.

kitnan sivaRAJAකිට්නන් සෙල්වරාජ්

බදුල්ල දිස්ත්‍රික්කයේ  කඳුකර දෙමළ ජනතාව තුල මෙතෙක් ආධිපත්‍ය පතුරුවා සිටී ලංකා කම්කරු කොංග්‍රසය සහ එක්සත් ජාතික පක්ෂයේ බලය මෙහිදී බිඳ වැටුනේ කිසිදු නියෝජනයකට ඉඩ නොතබාය. එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ වතු වෘත්තීය සමිතිය වූ ලංකා ජාතික වතු සේවක සංගමයේ නායකත්වය කලක් හෙබවූ සුරේෂ් වඩිවේල් ට ද සිය මන්ත්‍රී අසුන අහිමිවිය. ඔහු මෙවර තරඟ කළේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙනි. රාජපක්‍ෂ රෙජීමය සමග මෙන්ම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමග ද හාදකම් පැවැත්වූ, මලයග ජනතාව නියෝජනය කළ අරවින්ද කුමාර් ට ද හිමිවුයේ පරාජයේ අමිහිරි වේදනාවයි.

රුවන්පුර පළමු දෙමළ මන්ත්‍රී

 

Sundaralingam Pradeepසුන්දරලිංගම් ප්‍රදීප්

ජාතික ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට ඉදිරිපත් වූ  සුන්දරලිංගම් ප්‍රදීප් මනාප ජන්ද 1,12,211 ක් ලබා ගෙන මෙම ජයග්‍රහණය ලබා ගන්නට සමත් විණි.  කහවත්ත, ඕපාත වත්තේ පදිංචි ප්‍රදීප් වෘත්තීය සමිති හා සමාජ සේවා ක්‍රියාකාරිත්වය තුලින් ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනයට දායක වූවෙකි. 2003 වසරේදී පොලිස් සේවයට එක්වෙන ඔහු පුහුණුවෙන් පසුව අක්කරෙයිපත්තු, අට්ටාලච්චේනෛ වැනි නැගෙනහිර පළාතේ සේවයට එක්විය. ඉන් වසරකට පසුව ගුරු සේවයට එක්වෙන ප්‍රදීප්  ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ ලංකා ගුරු සේවා සංගමයේ උප සභාපති ලෙස පත් වීමත් සමගින් පොලිස් සේවයට සමුදෙන අතර පසුව අධ්‍යාපන සමුපකාර සමිතියේ නිලවරණයෙන් ජය ලබා එහි උප සභාපතිධුරයට පත්විය. මැතිවරණ ජයත් සමගින් ඔහුට වැවිලි හා වතු යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යධූරය හිමිවීමද සුවිශේෂය.

මලෛයහ දෙමළ ජනයා වෙසෙන තේ හා රබර් වතු පනකට වඩා රත්නපුර දිස්ත්‍රික්කය පුරා විසිරි පැවතිය ද මෙතෙක් ඔවුන්ට පාර්ලිමේන්තු නියෝජනයක් නොලැබුණි. වරක් ලංකා කම්කරු කොංග්‍රසය විසින් රාජන් නමැති මන්ත්‍රීවරයා රත්නපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් පත් කළ ද ඒ ජාතික ලැයිස්තුවෙන් ය. 

වෘත්තීය සමිති බලය 

සජබ මන්ත්‍රී වේලු කුමාර් රනිල්ගේ සහයට එක්වේවේලු කුමාර්


දෙමළ ප්‍රගතිශීලි සන්ධානය [TPA] නියෝජනය කරමින් 2019 මහ මැතිවරණයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තේරීපත්වූ එකම මන්ත්‍රීවරයා වූ වේලු කුමාර් ට මෙවර එම අවස්තාව අහිමිව තිබේ. ඔහු දෙමළ ප්‍රගතිශීලි සන්ධානය හැර දමා රනිල් වික්‍රමසිංහ යටතේ වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින්  [NDF] මැතිවරණයට ඉදිරිපත් විය. 

ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කළ ආචාර්ය පී. සිවප්‍රගාසම් ගේ පරාජය මහනුවර දිස්ත්‍රික්කය වෙනුවෙන් වූ මලෛයහ දෙමළ ජනයාගේ පාර්ලිමේන්තු නියෝජනය අහිමිවිමකි. කෑගල්ල, අම්බන්පිටිය වත්තේ වතු කම්කරු පියෙකුට දාව උපන් සිවප්‍රගාසම් පේරාදෙණිය සරසවියේ උපාධිධාරියෙකි. මහනුවර ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියා ලෙස ද ඔහු කටයුතු කරයි. 

කුරුණෑගල, මාතලේ, කෑගල්ල, කළුතර වැනි මලෛයහ දෙමළ ජනයා වෙසෙන දිස්ත්‍රික් වල දී කිසිදු දේශපාලන පක්ෂයකින් පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගැනීමට සමත් වී නොමැත.
 
ramalingam chandrasekaran. MINISTER OF FISHERIESරාමලිංගම් චන්ද්‍රසේකරන්
 
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පත් කොට සිටින රාමලිංගම් චන්ද්‍රසේකරන් ද මලෛයහ දෙමළ ජනයා නියෝජනය කරන්නෙකි. සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ප්‍රධානියා මෙන්ම, ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක ද වූ ඔහු මිට පෙර කීප වතාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කර ඇත. යාපන දිස්ත්‍රික් සංවිධායකයා ලෙස රාමලිංගම් පත් කරනු ලැබුවේ යුද්ධය අවසන් වීමෙන් පසුවය.
 
ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පුර්ණ කාලිනයෙකු ලෙස වතුකරයේ දේශපාලනය කළ ඔහු  88/89 භීම සමයේ රජයේ ආරක්‍ෂක හමුදා අත්අඩංගුවට පත්ව නුවරඑලිය නගරසභා ශාලාවේ ක්‍රියාත්මක වූ වධකාගාරයේ දී අමානුෂික වධ බන්ධනයට ලක්වුවෙකි.

රාමලිංගම්, නව ආණ්ඩුවේ ධීවර ඇමතිවරයා ලෙස කැබිනට් මණ්ඩලයේ සිටින එකම මලෛයහ දෙමළ නියෝජිතයාවේ. 
 
ගැහැනු අපි පෙරට එමින් සිටිනවා - හරිනි අමරසූරියසරෝජා සාවිත්‍රි පෝල්රාජ්
මලෛයහ දෙමළ ප්‍රජාව නියෝජනය නොකළ ද සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මාතර දිස්ත්‍රික්කයෙන් ඉහල මනාපයෙන් පාර්ලිමේන්තුවට පත්ව කාන්තා හා ළමා කටයුතු ඇමැතිනිය ලෙස කැබිනට්ටුව නියෝජනය කරන්නීය. 

ලංකා කම්කරු කොංග්‍රසය හා එක්සත් ජාතික පක්‍ෂය කඳුකරයේ යම් දේශපාලන පසු බෑමකට ලක් වුවද, වෘත්තීය සමිති ක්ෂේත්‍රය තුල තවමත් විශාල බලයක් පවතින්නේ ඔවුන් සතුවය. හාම්පුතුන්ගේ සංගමය විසින් වෘත්තීය සමිතියක් ලෙස ප්‍රමුඛත්වය දෙන්නේ ලංකා කම්කරු කොංග්‍රසයටයි. විශේෂයෙන් කම්කරුවන්ගේ වැටුප් ඇතුළු අනෙකුත් සුබ සාධන කටයුතු ගැන සාමුහික ගිවිසුම් වලට එළඹීමේදී  වෘත්තීය සමිති මැදිහත්වීම අනිවාර්යවේ. මෙම පාර්ශවයන් දෙක සතු සාම්ප්‍රදායික  වෘත්තීය සමිති බලය ද පරාජය කිරීමට ලැබූ මැතිවරණ ජය කෙසේ බලපානු ඇත්ද යන්න වතු කම්කරු ජනයා ඉදිරියේ ඇති අභියෝගයකි. 

ISHANKHA SINGHE ARACHCHI FREELANCE JOURNALIST(ඉෂංඛා සිංහආරච්චි) 
නිදහස්  මාධ්‍යවේදිනි
ishanka.singhe@gmail.com

[මෙම ලිපිය 'අනිද්දා' සතිඅන්ත පුවත් පතේ පළ වුවකි]


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...