10 හැවිරිදි සාරා ෂරීෆ් ඝාතනය සම්බන්ධ නඩු විභාගයට සති හතරක් සපිරෙන නොවැම්බර් 13 වන දින උදෑසන, ජූරි සභිකයන් කම්පනයට පත් කළ සහ ඕල්ඩ් බේලි අධිකරණ ශාලාව භීතියෙන් පිරී ගිය එක් අවස්ථාවක් විය.
සාරාගේ පියා උර්ෆාන් ෂරීෆ්ට සාක්ෂි දීමේ හත්වන දින විත්ති කූඩුවේ වැඩි වේලාවක් ගත කිරීමට සිදු නොවිණි. ඔහු හදිසියේ ම වෙව්ලමින්, නඩු විභාගයේ ගමන් මග වෙනස් කරන වචන පහක් ප්‍රකාශ කළේ ය.
"එයා මැරුණේ මම නිසා තමයි."
එය සති අටක මිනීමැරුම් නඩු විභාගයක තීරණාත්මක අවස්ථාව වූ අතර ජූරි සභිකයින්ට දරා ගැනීමට අපහසු සහ හද කම්පා කරවනසුලු අවස්ථාවක් ද විය. ඔවුන්ට වධ හිංසා පැමිණවීම්, පහර දීම්, තුවාල සිදු කිරීම්වලින් පිරිණු සාරාගේ කෙටි, ඉතා දුෂ්කර ජීවිතය ගැන බිහිසුණු තොරතුරුවලට සවන් දීමට සිදුවූ අතර අධිකරණ ශාලාව තුළ ස්වාමිපුරුෂයා සහ භාර්යාව එකිනෙකාට දොස් පවරා ගන්නා ආකාරය දෙස ද බලා සිටීමට සිදු විය.
අවවාදයයි: මෙම ලිපියේ ශාරීරික හිංසන පිළිබඳ කරුණු අඩංගු වේ
'අපහසුවක් දැනෙන තරම් සමීපයි'
නඩු විභාගය ආරම්භ වූයේ සාරා ඇගේ නිවසේ තට්ටු ඇඳක් මතදී මිය ගොස් වසරකට පසුව ය. ඒ වන විට ඇය සිටියේ තනිව ම සහ ඇගේ පවුලේ ඇය අතහැර දමා ගොස් සිටි තත්ත්වයක ය.
ලන්ඩනයේ ඕල්ඩ් බේලිහි වීදුරු පුවරු සහිත විත්ති කූඩුවේ ඇගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයන් තිදෙනා වන සාරාගේ පියා, උර්ෆාන් ෂරීෆ්, ඇගේ සුළු මව, බෙයිනාෂ් බටූල් සහ ඇගේ මාමා වන ෆයිසාල් මලික් සිටියහ. නිලධාරීන් ඔවුන් වෙන් වෙන්ව හිඳුවා තිබුණ ද, මට හැඟී ගියේ ඔවුන් අපහසුවක් දැනෙන තරම් එකිනෙකාට සමීපව සිටි බවකි.
ෂරීෆ් සුදු පැහැති කොලරයක් සහිත කමිසයකින් සහ කළු පැහැති ජැකට් එකකින් සැරසී සිටියේ ය. ඔහු අප දුටු පින්තූරවල සිටියාට වඩා බොහෝ කෙසඟ විය. අබ පැහැති ජැකට්ටුවක් පැළඳ කොණ්ඩය පිටුපසට බැඳ සිටි බටූල් රන්වන් පැහැති රාමුවක් සහිත කණ්නාඩියක් පැළඳ සිටියා ය.
ඔවුන් එකට විත්ති කූඩුවේ ගත කළ සති කිහිපය තුළ ඔවුන් දෙදෙනාගේ දෑස් එකිනෙක ගැටෙන බවක් මම එක වරක් හෝ නොදිටිමි. බොහෝ අවස්ථාවලදී ඔවුහු ඉදිරිය බලා සිටියහ. තවත් අවස්ථාවලදී ඔවුහු සාක්ෂි ගොනු දෙස බලා සිටියහ.
බටූල් මුලින් පැමිණි දිනවලදී, ඇගේ සැමියාට ඔහුගේ අසුනට යාමට ශරීරයේ ගෑවී නොගෑවී යාමට සිදු විය. ඔවුන් කිසි විටෙකත් එකිනෙකා දෙස හැරී කතා කළේ නැත.
දෙදෙනා ම නිතර හඬා වැටිණි. ඇගේ හැඬුම් හඬින් අධිකරණ ශාලාව පිරී යයි. එක් දිනක් අවුල්සහගත තත්ත්වයකට පත් වූ ෂරීෆ් විත්ති කූඩුවෙන් පිටව යාමත් සමග නඩු කටයුතු අත්හිටුවීමට සිදු විය.
සාක්ෂි කූඩුවේදී ඔහු තම බිරිඳ "පිස්සියක්" ලෙස හංවඩු ගැසුව ද පසුව ඔහු එම ප්‍රකාශය ඉල්ලා අස් කර ගත්තේ ය. එක් දිනක් ඇය ඔහු සාක්ෂි දෙමින් සිටියදී "බොරු කාරයා" ලෙස හඬ නගා පැවසුවා ය.
සාරාට බිහිසුණු තුවාල විශාල ගණනක් සිදුව ඇති බව අධිකරණයේදී ප්‍රකාශ වියනඩු විභාගයේ පළමු දින කිහිපය විශේෂයෙන් ම කම්පනයට පත්කරවනසුලු විය. සාරාට සලකා තිබුණේ ම්ලේච්ඡ ආකාරයෙන් බව පැමිණිල්ලේ නීතිඥවරයා පැවසීය.
තිරයේ ප්‍රදර්ශනය කෙරුණු එක්ස් කිරණ වාර්තාවල ඇගේ අස්ථි බිඳී ඇති ආකාරය දිස්විය. පරිගණකයෙන් නිපදවන ලද ඡායාරූපවල ඇගේ සිරුර පුරා ඇති විශාල තැලීම් පෙන්නුම් කළේ ය. "මට සමාවෙන්න, මේ රූපවල පේන දේවල්වලින් ඔබ කම්පනයට පත් වේවි," නීතීඥවරයා ජූරිය හමුවේ පැවසීය.
රාජකීය නීතිඥ එම්ලින් ජෝන්ස්, පැරණි සහ නව - අස්ථි බිඳීම් සහ නැවත අස්ථි බිඳීම්, සිදුරු කිරීම්වලින් ඇති වූ තුවාල සහ සීරීම්, පිළිස්සුම්, බිබිලි සහ සපාකෑම් වැනි භයානක තුවාල විශාල ගණනක් අප වෙත පෙන්වීය.
එහි තවත් නරක අතට හැරීමට කිසිවක් නොමැති යැයි අප සිතන විට, සාරාගේ හිස වසා චලනය විය නොහැකි අයුරුන් කිහිප වරක් ම බැඳ දමා තිබුණු බවට වන ඊට ත් වඩා කම්පනයට පත් වන සාක්ෂි තිබෙන්නට විය.
අධිකරණයේදී, සාරා ජීවත් වූ සහ අවසානයේ ඇය ඝාතනය කරන ලද සරේහි වෝකිංහි නිවස තුළට නීතිඥවරයා අපව රැගෙන ගියේ ය.
රාජකීය නීතිඥ බිල් එම්ලින් ජෝන්ස් සාරා ෂරීෆ්ගේ තුවාල පිළිබඳ කම්පනයට පත්කරවනසුලු තොරතුරු විස්තර සහිතව පැවසීයඇයගේ සිරුර සොයා ගැනීමට පොලිසිය පැමිණි මොහොතේ නිලධාරියෙකු සිරුරේ පැළඳ සිටි කැමරාවේ සටහන් වුණු කම්පනයට පත්කරවන සුලු දර්ශන දැක ගැනීමට අපට හැකි විය. සාරා සොයාගත් පොලිස් නිලධාරියා "අවුරුදු 10ක ගෑනු දරුවෙකුගේ මළ සිරුරක් කවරය ඇද දමා සොයා ගත්" ආකාරය සිහිපත් කළේ ය.
ඇතැම් සාක්ෂිකරුවෝ විත්තිකරුවන් සහ මහජනතාව හමුවේ පෙනී නොසිට ආරක්ෂක තිරයක් පිටුපස සිටිමින් සාක්ෂි ලබා දුන්හ. ඔවුන්ගෙන් එක් අයෙකු වූයේ සාරාගේ ප්‍රාථමික පාසල් ගුරුවරියයි. නඩු විභාගයේදී සාරාගේ පෞරුෂය පිළිබඳව මුල් වරට පවසනු ලැබුවේ, හෙලන් සිමන්ස් විසිනි.
ඇය තම පැරණි ශිෂ්‍යයාව ගැන විස්තර කළේ, "සැම විට ම ජීවගුණයෙන් හෙබි සහ "සමහර වෙලාවට මුරණ්ඩු," ගැහැනු දරුවෙකු ලෙසිනි. ඇය "ප්‍රීතියෙන් කාලය ගත කළේ" වේදිකාව මත නැග ගීත ගායනා කිරීමේදී සහ ඉදිරිපත් කිරීම්වලදී බව ඇය පැවසුවා ය.
එක් වීඩියෝවක මරණයට පත් වීමට දින දෙකකට පෙර සාරා නිවසේදී නර්තනයේ යෙදෙන අයුරු අපි දුටුවෙමු. එය ප්‍රදර්ශනය කළ අවස්ථාවේදී බටූල් හඬා වැටුණා ය. තවත් වීඩියෝවක, සාරා මිය යාමට මාස දෙකකට පෙර හිරු එළිය සහිත එක් දිනයක ඇය අනෙක් දරුවන් සමග ගෙවත්තේ සෙල්ලම් කරන අවස්ථාවේ ඇගේ කටහඬ අපට ඇසෙන්නට විය.
කම්පනය භීතියකට හැරිණි
නඩු විභාගය යන්තම් සති තුන ඉක්මවා යන විට ෂරීෆ්ගේ රාජකීය නීතිඥ නයීම් මියන් යමක් පැවසීමට සිය අසුනෙන් නැගී සිටියේ ය.
"දැන් වෙන්න යන දේ තමයි ෂරීෆ් එයාගේ ජීවිතේ දුර ම ගමන, අර කූඩුවේ ඉඳලා සාක්ෂි කූඩුවට යන එක" ඔහු පැවසීය. මුළු අධිකරණ ශාලාව ම නිහඬ බවින් පිරී ගියේ ය.
සුදු පැහැති කබායක් සහ ඩෙනිම් කලිසමකින් සැරසී සිටි කෙසඟ සිරුරක් ඇති සාරාගේ පියා, විත්ති කූඩුවේ ඉදිරියේ පෙනී සිට, පඩි තුනක් බැස අධිකරණ ශාලාවේ මූලික කොටස වෙත පිවිසියේ ය.
සාක්ෂි කූඩුව වෙත ගොඩ වන විට, ඔහු අවුල්සහගත තත්ත්වයකට පත්ව, තමා ඉදිරිපිට තිබුණු බඳුනෙන් ටිෂූ කිහිපයක් ඉවතට ගත්තේ ය. ඔහු හිඳ ගත් පසු නීතිඥවරයා සෙමෙන් ඔහුගේ ප්‍රකාශය අධිකරණය හමුවේ සිදු කිරීමට අවශ්‍ය මග සෑදී ය. ඔහු එතරම් ශබ්ද නැගීමකින් තොරව කතා කළ අතර ඇතැම් අවස්ථාවලදී මිමිණීය.
ඊළඟ දින හය පුරා ම ෂරීෆ් කියා සිටියේ, තම දියණියගේ මරණයට තමාට කිසිදු සම්බන්ධයක් නොමැති බව ය. ඔහු සාරාට අතුල් පහර එල්ල කළ බව පිළිගත් නමුත් ඇයට පහර දුන් බව ප්‍රතික්ෂේප කළේ ය. අපයෝජනය සිදු වන විට ඔහු කිසි විටෙකත් එහි නොසිටි බව පවසමින් තම බිරිඳ මත දැඩි ලෙස වරද පැටවීය. ඔහු අතිශයින් ම සාවද්‍ය ප්‍රකාශ සිදු කරන්නෙකු බව ඉන් පෙනී ගියේ ය.
"ඔබට ඇය සමග සමීප සම්බන්ධයක් තිබුණා ද?" නීතිඥවරයා ප්‍රශ්න කළේ ය. "ඔව්," ෂරීෆ් පිළිතුරු දුන්නේ ය.
තම දියණිය තම දෑත මත මිය ගිය පසු "කිසිත් නොදැනී" ගිය බව ඔහු පැවසීය. "මම කුඩු පට්ටම් වෙලා ගියා. මුළු ලෝකය ම කඩන් වැටුණා."
ෂරීෆ්ගේ සාක්ෂියේ දෙවන දිනයේ නාටකාකාර අවස්ථාවක් විය. හඬ නඟා හැඟීම්බරව, ෂරීෆ් විත්ති කූඩුවේ සිටි තම බිරිඳ දෙසට ඇඟිල්ල දිගු කර ඔහු ඇයව "පිස්සියක්" සහ "යක්ෂණියක්" ලෙස හැඳින්වීය.
නමුත් අවසානයේ ෂරීෆ් අසාර්ථක වූයේ ඔහුගේ බිරිඳගේ නීතිඥවරිය යොමු කළ හරස් ප්‍රශ්නවලදී ය.
රාජකීය නීතිඥ කැරොලයින් කාබෙරි ඔහුගේ අසුන්දර අතීතය, එනම් ඔහුගේ මරණ තර්ජනයට ලක් වූ බව කියන පෙර සහකාරියන් සහ ඔහුට කිසි දා දඬුවම් නියම නොවුණු බලහත්කාර රඳවා ගැනීම් ගැන සිහිපත් කළා ය.
"ඔබ බොරු කියන, මිනිස්සු හසුරුවන, පාලනය කරන මිනිහෙක්," රාජකීය නීතිඥ කැරොලයින් නොනවත්වා පැවසුවා ය.
සාක්ෂි කූඩුවෙන් නැගී සිට තම ප්‍රශ්නවලට පිළිතුරු දෙන ලෙස ඇය ඔහු වෙත පැවසූ අතර තම සේවාදායකයා වෙත ඇඟිල්ල දිගු කිරීම ගැන ඇය ඔහුව දැඩිව විවේචනය කළා ය.
උර්ෆාන් ෂරීෆ් ඕල්ඩ් බේලිහි සිටින අයුරුසියල්ල වෙනස් වූයේ ඔහුගේ සාක්ෂියේ හත්වන දිනයේදී ය.
තම දරුවා උපදින විට එහි නොසිටියේ ඇයි දැයි ෂරීෆ්ගෙන් ප්‍රශ්න කෙරිණි. ඔහු ඇයට බාධා කිරීමට උත්සහ කළ අතර, ඇය දිගින් දිගට ම තම ප්‍රශ්නවලට පිළිතුරු ගැනීමට උත්සහ කළා ය.
අවසානයේ ඔහු ඉන් මිදීමට සමත් විය. "මට දෙයක් කියන්න ඕනේ."
"දුරකතන සංවාදයේදී කියපු සහ මම ලියපු ලියවිල්ලේ තියෙන හැම වචනයක් ම මම පිළිගන්නවා."
ඔහු පැවසූ දේ ත් සමග සැවොම නිසොල්මන්ව බලා සිටියහ.
එවිට රාජකීය නීතිඥ කාබෙරි එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඔහු තම දියණියගේ සිරුරේ තබා තිබූ සටහනේ පිටපතක් අතට ගත්තේ ය. ඇය එය පෙළින් පෙළට කියවීමට පටන් ගත්තා ය.
"ඔබ තමන්ගේ දුව මැරුවේ පහර දීලා ද?" "ඔව්," ඔහු පිළිතුරු දුන්නේ ය. "එයා මැරුණේ මම නිසා තමයි."
"ඇයට තුවාල සිදු කළේ ඔයා? එහෙම නේද?" "ඔව්," ඔහු පැවසීය.
"අස්ථි බිඳීම් ඇති වීමට හේතුව ඔබ කියලා ඔබ පිළිගන්නවා ද?" "ඔව් මැඩම්." "ක්‍රිකට් පිත්ත ද ඔබ භාවිත කළේ?" "ඔව් මැඩම්." "ඔබ සුදු යකඩ පොල්ල භාවිත කළා ද?" "ඔව් මැඩම්."
ඔහු තම සාහසික ක්‍රියා එකිනෙක පිළිගන්නා මොහොතේ පුදුමය කම්පනයකටත්, කම්පනය භීතියකටත් පත් විය. ඇතැම් ජූරි සභිකයෝ මුඛයන් විවර කර ගෙන හිඳ ගෙන සිටියහ.
"හැම දේක ම සම්පූර්ණ වගකීම මම භාර ගන්නවා," ඔහු පැවසීය.
ඔහු සිටියේ වෙව්ලමින් සහ හඬා වැටෙමිනි. බටූල් විත්ති කූඩුවට වී ඉකි බින්දා ය.
ෂරීෆ්ගේ නීතිඥවරයා පවා මුළුමනින් ම පුදුමයට පත් විය. "ඔහු එහෙම කරයි කියලා මට කිසි ම අදහසක් තිබුණේ නැහැ. ඒක වුණ වෙලේ මගේ ප්‍රතිචාරය ඔබට හිතා ගන්න පුළුවන් නේ ද? ඔහු පසුව ජූරි සභාවට පැවසීය.
අවසානයේ බටූල් හඬා වැළපෙමින් අධිකරණයෙන් පිටතට දිව ගිය අතර නඩු විභාගය අත්හිටුවන ලදී. ඇතැම් ජූරි සභිකයන් පසුව කඳුළු සලමින් සිටිනු දක්නට ලැබිණි.
සාරාගේ පිළිස්සුම් සහ සපාකෑම් සලකුණුවලට හේතුව තමන් බව ෂරීෆ් දිගින් දිගට ම ප්‍රතික්ෂේප කළේ ය.
මිනීමැරුම් චෝදනාව නැවත වරක් සලකා බැලීමට අවශ්‍ය දැයි රාජකීය නීතිඥ කාබෙරි ෂරීෆ්ගෙන් විමසුවා ය.
"ඔව් මැඩම්," යැයි ඔහු පැවසුවේ, ඔහුගේ නීතිඥවරයා මැදිහත් වී ඔහු සමග කතා කිරීමට අවසර ඉල්ලා සිටීමට පෙර ය.
අධිකරණය යළි කැඳවූ විට ෂරීෆ් කියා සිටියේ, තමා මිනීමැරුම් චෝදනාවට වැරදිකරු බව පිළිනොගන්නා බව ය. "මම ඇයව මරන්න අදහස් කළේ නැහැ," ඔහු පැවසීය.
'තවත් කොච්චර පහත් තත්ත්වයකට වැටෙන්න ද ඔබ හිතන් ඉන්නේ?'
ෂරීෆ් සාක්ෂි කූඩුවේ දින නවයක් ගත කළේ ය. අවසානයේ ඔහුගේ උත්සහය අසාර්ථක වීමට හේතුව කුමක් දැයි අප කිසි දා දැන නොගනු ඇත. එයට හේතුව දිගින් දිගට ම බොරු කීමෙන් ඇති වූ පීඩනය? එහෙමත් නැතිනම් ගැළවීමට මගක් නොමැති බව අවබෝධ වීම ද?
ජූරි සභාවට සාරාගේ කුඩම්මාගෙන් කිසි දා කිසිවක් අසන්නට නොලැබිණි. සාක්ෂි ලබා දීමට බටූල් ප්‍රතික්ෂේප කළා ය. එබැවින් සාරාගේ සපාකෑම් සලකුණු සමග සංසන්දනය කිරීම සඳහා ඇය දන්ත සලකුණු ලබා දීම ප්‍රතික්ෂේප කළේ මන්දැයි ඇය පැහැදිලි කරන්නේ කෙසේදැයි අපට කිසි දා අසන්නට නොලැබිණි. ෂරීෆ් සහ මලික්ගේ සලකුණු නොගැළපීම නිසා ඔවුන් එම සැකයෙන් ඉවත් කෙරිණි.
සාරාගේ ශරීරයේ පිටුපස කොටසේ පිළිස්සුම් ඇති කළේ කවුදැයි අපට කිසි දා දැන ගැනීමට ඉඩ නොලැබෙනු ඇත. ෂරීෆ් තරයේ කියා සිටියේ, ඒ ඔහු නොවන බව ය.
දිනක් පැමිණිල්ල මෙහෙය වූ නීතිඥවරයා පෙන්වා දුන්නේ, සාරා අල්ලාගෙන ඇයව පුළුස්සා දැමීමට දෙදෙනෙකු අවශ්‍ය වන්නට ඇති බව ය. "කවුද ඒ?" ඔහු ප්‍රශ්න කළේ ය.
"මම දන්නේ නැහැ සර්. ළමයි වෙන්න ඇති?" ෂරීෆ් පිළිතුරු දුන්නේ ය. "තවත් කොච්චර පහත් තත්ත්වයකට වැටෙන්න ද ඔබ හිතන් ඉන්නේ?" නීතිඥවරයා ප්‍රතිචාර දැක්වීය.
අපි දන්නා දේ නම්, බටූල් තම සැමියා සාරාට පහර දෙන බව වසර දෙකක් තිස්සේ දැන සිටි බව ය.
පැය නවයක් සහ විනාඩි 46ක් සලකා බැලීමෙන් පසු ජූරි සභාව තීරණය කළේ ෂරීෆ් දස හැවිරිදි දරුවා තනිව ඝාතනය නොකළ බව ය. බටූල් සාරාට පහර දෙන්නට ඇත. නැතහොත් අවම වශයෙන් ම්ලේච්ඡ ප්‍රහාර කිහිපයක් සිදු කිරීමට ෂරීෆ් දිරිගැන්වීම හෝ ඔහුට සහය ලබා දී ඇත. ඒවා ඇගේ මරණයට හේතු වී හෝ සැලකිය යුතු ලෙස දායක විය.
සාරාගේ පියා උර්ෆාන් ෂරීෆ් සහ සුළු මව වන බෙයිනාෂ් බටූල් මිනීමැරුම් චෝදනාවට වැරදිකරුවෝ වූහසාරාගේ මාමා වන ෆයිසාල් මලික් ද නඩු විභාගයේදී සාක්ෂි දීම ප්‍රතික්ෂේප කළේ ය.
සාරාගේ මරණයට හේතු වූ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට හෝ නැවැත්වීමට සාධාරණ පියවරක් නොගැනීම සහ නිවසේ සිදුවන දේ ඔහු දැන සිටින්නට ඇති බව ජූරියට සහතික වනු ඇත.
නඩු තීන්දු ප්‍රකාශයට පත් කිරීමට අධිකරණය රැස් වූ විට විනිසුරුවරයා එහි සිටි පිරිසෙන් නිහඬ වන හා ගෞරවණීය ලෙස හැසිරෙන ලෙස ඉල්ලා සිටියේ ය.
ෂරීෆ් සහ බටූල් යන දෙදෙනා ම මිනීමැරුම් චෝදනාවට වැරදිකරුවෝ වූහ. සාරාගේ ඝාතනයෙන් නිදහස් වූ මලික්, ඇයගේ මරණයට හේතුව හෝ ඉඩ දීම සම්බන්ධයෙන් වරදකරු විය. තීන්දු ප්‍රකාශයට පත්වන අවස්ථාවේ ෂරීෆ් එක එල්ලේ ඉදිරිය බලා සිටි අතර, බටූල් හඬා වැළපෙමින් සහ මලික් අඬමින් සිටියේ ය.
සති ගණනාවක් අධිකරණය තුළ දැනුණු භීතිය නිහඬව ම, බැලේ නර්තන ශිල්පිනියක වීමේ සිහින දකිමින් සිටි අධිෂ්ඨානශීලී, මුඛරි සහ දයාබර 10 හැවිරිදි දැරිය සාරාට ගැඹුරු දුකක් බවට පත් විය.
| හෙලේනා විල්කින්සන්
ඕල්ඩ් බේලිහි බීබීසී පුවත් වාර්තාකරු
BBC සිංහල සේවය



