අප එවක ‘ගම දිහා”යනුවෙන් හැඳින් වූ ගණේමුල්ල, හොරගොල්ලේ මහ ගම නම් කොටසේ දහනව වන සියවසේ අග භාගයේ උපන් ඔහු ඒ වන විට ද හැත්තෑ විය ඉක්මවා හිඳින්නට ඇතැයි මට සිතේ. තුනටිය අතගාමින් තමන්ට වැළඳී ඇති තුනටියේ කැක්කුමක් ගැන නිතර කතා කළ ඔහු තරුණ වියේ කළ කී හපන්කම් පිළිබඳව අප හා කීයේ ඒ වේදනාව පහ කරගැනීමට වෙර දරන්නාක් මෙනි.
‘‘අපි කොල්ලෝ කාලේ මෙලෝ යකෙකුට බය නැහැ. ඒ කාලේ අපි කොල්ලො කතා වෙලා කුරුඳු වාඩි ගහගෙන කුරුඳු තලන්න සිංහලේ මූකලාන්වලට යනවා. එහෙම ගියාම ආපහු එළියට එන්නේ මාසෙකට විතර පස්සේ.’’ ඔහු කී අයුරු තවමත් මගේ මතකයේ ඇත. ඒබරන් උන්දෑ සිංහලේ යනුවෙන් සඳහන් කරන ලද්දේ අප රට යටත් විජිත සමයේ විදේශිකයන්ට යටත් නොවී කන්ද උඩරට පාලනය යටතේ පැවැති රටේ අභ්‍යන්තර ප්‍රදේශයන් ය. මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ‘ගම්පෙරලිය’ නවකතාවේ ජිනදාසගේ ‘සිංහලේ යාම’ද මෙහිදී මට සිහිපත් වෙයි.

‘‘සිංහලේ මූකලාන්වල ගස්වල යක්කු ඉන්නවා. උන් රෑට බිමට බැහැලා හැම තැනම ඇවිදිනවා. ජාම වෙලාව පහුවුණාම තමයි ඒ යක්කු ගස් නගින්නේ.ඒ අතරේ උන් මහ රෑ ජාමේ තරඟෙට හූ කියනවා. ඒ හූ සද්දේ හරිම අමුතුයි. අහගෙන ඉන්නකොට ඇඟේ හී ගඩු පිපෙනවා. ඒ වෙලාවට අපි වාඩි ඇතුළේ මුළුගැන්විලා ඉන්නවා මිසක් බැරිවෙලාවත් එළියට බහින්නේ නැහැ. එහෙම වුණොත් ඒ යක්කු ගහනවා. ඔය අතරේ සමහරුන්ට ඔය යක්ෂ හූව ඇහුණත් උණ ගැනෙනවා. ඒකට කියන්නේ යක් උණ කියලා. ඊට පස්සේ ඒ මිනිහත් උණ විකාරෙන් අර වගේම හූ කියනවා. එතකොට ඉතිපිසෝ ගාථාවෙන් වතුර ටිකක් මතුරලා හරි තෙල් සාත්තුවක් කරලා හරි ඒ යක් උණ නිකම්ම සනීප කරන්න පුළුවන්. නැත්නම් දවස් තුන හතරකින් ඉබේටම ඇරිලා යනවා.’’ ම` පියාණන් සමඟ රාත්‍රී කාලයේ ඒ පොල් අතු මඩුවේ කුරුඳු වාඩියට ගොස් ඒබරන් උන්දැලා කුරුඳු තලනු බලා සිටින අතරේ ඔහු මේ අද්භූත කතා ඇසින් දුටුවකු සේ විස්තර කළ අයුරු මට තාම මතක ය.
එහි දී හාත්පස අවුරා ගත් ගණ`ඳුර තුළින් යක් රූප මැවෙතැයි යන බිය නිසා බැරි වෙලාවත් දෙනෙත ඒ පොල් අතු මඩුවෙන් බැහැරට නොයැවීමට මා දැරූ වෙහෙස මට අද ද හොඳින් මතක ය.
නමුත් කාලයත් සමඟ ඒබරන් උන්දෑ කී ඒ ‘යක්ෂ හූවේ’ කතාව මනඃකල්පිතයක් විය යුතු ය යන අදහස කෙමෙන් මගේ සිතට පිවිසුණි. ඒ ඉන්පසු කාගෙන්වත් ‘යක්ෂ හූ කතාවක්’ අසන්නට නොලැබුණු බැවිනි.
එහෙත්, ශ්‍රී ලංකාවේ එළිමහන් සිරකරුවෙකු වශයෙන් වසර විස්සකට ආසන්න කාලයක් මෙරට දිවි ගෙවා පසුව මව්රටට පලා ගිය ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් නම් නාවිකයා ලියන ලද An historical relation of the Island Ceylon නම් කෘතියේ එන විස්තරයක් කියැවූ මගේ මතකයට වරක් දෙවරක් නොව සිය දහස් වාරයක් ආවේ ඒබරන් උන්දෑගේ කතාව ය.
රොබට් නොක්ස්
රොබට් නොක්ස්ගේ කෘතියේ එන විස්තරය මෙලෙසිනි.
‘රාත්‍රී කාලවලදී ඇසෙන සුනඛයෙකුගේ උඩුබිරීමක් වැනි බියකරු නාදයක් මම නිතර අසා ඇත්තෙමි. මේ යක් හඬ නිසා කිසිවෙකුට රෝගාබාධ හෝ වෙනයම් විපත් ඇති වී නැත. එහෙත්, මෙම යක්ෂ හඬ නැගීමට මොහොතකට පෙර හෝ ඉන් මොහොතකට පසුව රාජ උදහසින් හිස් ගැසුම් කෑ කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරක් අසන්නට ලැබේ. මම ද එය අත් දැක ඇත්තෙමි. මෙම දිවයිනේ වැසියන් දන්නා කිසිදු සතෙකුට මෙබඳු හඬක් නැගිය නොහැක. එමෙන්ම කිසිදු පක්ෂියෙකුට යම් දුරක් ඉගිල යාමට බැරි තරම් කෙටි කාලයක් තුළ මේ හඬ දෙතැනකින් මතුවෙයි. එනිසාද මෙය යක් හඬක් වශයෙන් ගැමියෝ පිළිගනිති. මෙම හඬ හමුවේ සුනඛයෝ ද බියෙන් වෙව්ලති. එමෙන්ම කඳු පෙදෙසකින් මිස පහත් බිමකින් කිසිදු විටෙක නොනැගෙන මෙම යක් හඬ ගැමියෙකුගේ නිවසක් අද්දරින් නැගුණහොත් ‘ගෙරි උලමා තොලොංචිවෙලා පල, හැඳි ගෑවිලා පල, හෙණ වැදිලා කෑලිවෙලා පල’ යනාදී උස් හඬින් සාප කරමින් බැණ වැදීම කරනු ලැබේ. මෙසේ බැණ වදින විට ඒ මිනිස් හඬ යටපත් කරමින් යක් හඬ ඉස්මතු වුවද පසුව යක්ෂයා පලා ගිය බව අඟවමින් එය ඈතින් ඇසෙන්නට පටන් ගනී.’
මෙම හඬ හමුවේ සුනඛයෝ ද බියෙන් වෙව්ලති.
ඒබරන් උන්දෑගේ යක් හූව පිළිබඳ ප්‍රකාශය මනඃකල්පිතයක්, ප්‍රබන්ධයක් ලෙස උපකල්පනය කළද ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් මීට වසර තුන්සිය හතළිහකට පෙර තබන ලද එම සටහන අතිශය අව්‍යාජ එකක් බව එම කෘතියේ එන සෙසු කරුණු හා සසඳා බලන විට පෙනෙයි. එසේ නම් මේ හූ හඬ නගන යක්ෂයා හෝ යක්ෂයෝ කවරහුද? ඔවුනට අද කුමක් සිදුවීද? මේවා පිළිබඳවද අප සිතා, විමසා බැලිය යුතු ය.
ඒබරන් උන්දෑගේ කතාවට අනුව නම් යක්ෂ හූව යනු කිසියම් ගුප්ත භීතියක් සන්ත්‍රාසයක් සිත තුළ දරා හිඳිනකු ගේ ආවේග පිට කිරීමකි.එය ඇසී බියපත්ව උණ ගැනෙන්නෝ ද ඊට පසුව එම යක්ෂ හූ හඬම නඟති. එවිට එම දෙවන යක්ෂ හූව මිනිස් හඬකි. ඒ හඬ තමන් ඉදිරියේ සිටින පුද්ගලයා විසින් ඒ හඬ නිකුත් කළහොත් ඒ අසවලා බව අවට සිටින්නවුන්ට පහසුවෙන් වටහාගත හැකි ය.එහෙත්, පිටතින් එවන් හූ හඬක් නැගුණහොත් රොබට් නොක්ස් ඇතුළු එයට සවන් දෙන සියලුමදෙනා සිතන්නේ එය යක්ෂයෙකුගේ හඬ නැඟීමක් ලෙසින් මිස මානව ක්‍රියාකාරකමක් ලෙස නොවේ.
යමෙකු මහා වනයක් මැද හුදෙකලා වී සිටින විටෙක එම වනය තුළින් ද කිසියම් සතෙකුගේ හෝ පක්ෂියෙකුගේ හඳුනාගත නොහැකි හඬක් ඇසුණහොත් ඊට දක්වන භාවාතිශය ප්‍රතිචාරයක් ලෙස ඒ තැනැත්තා වෙතින් ද අවිඥානගතව හූ හඬක් නිකුත් වීම
රොබට් නොක්ස් ජීවත් වූ දාහත්වන සියවස සේම ඒබරන් උන්දෑ ජීවත් වූ විසි වන සියවස ද අපේ රටේ ප්‍රදේශ බොහෝමයක් සාම්ප්‍රදායික ගැමි චින්තන රටාවන්ට නතුව තිබූ බව පෙනෙයි. විශේෂයෙන් යමෙකු මහා වනයක් මැද හුදෙකලා වී සිටින විටෙක එම වනය තුළින් ද කිසියම් සතෙකුගේ හෝ පක්ෂියෙකුගේ හඳුනාගත නොහැකි හඬක් ඇසුණහොත් ඊට දක්වන භාවාතිශය ප්‍රතිචාරයක් ලෙස ඒ තැනැත්තා වෙතින් ද අවිඥානගතව හූ හඬක් නිකුත් වීමට පුළුවන. එවිට ඒ හූ හඬ අසන තවත් එබඳුම දුබල පෞරුෂයකින් යුතු අයෙකු ඒ ආකාරයේම හූ හඬක් මගින් අවිඥානිකව ප්‍රතිචාර දැක්වීමේ ඉඩක් පවතී.
රොබට් නොක්ස්ගේ කෘතියේ දැක්වෙන අන්දමට ශාපකිරීම්, බියවැද්දීම් සහ අසභ්‍ය වදන්වලින් යකුන් බිය ගැන්වෙන බව අප අසා ඇත. නමුත් එහිදී සිදුවන්නේ බැණුමේ ස්වභාවය අනුව බැණ වදින්නා තුළ සේම බැණුම් අසන්නා තුළ ද එතෙක් පැවති ‘ගුප්ත බිය’ සුණුවිසුණු වී යාම පමණි.
| තිලක් සේනාසිංහ
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com
(උපුටා ගැනීම- vinivida.lk)



