The Leader News
BREAKING
සංචාරක ආදායම වැඩිකරන්න කෝට්ටේ තෙත්බිම් වලින් අලුත් පියවරක්●ශ්‍රම බලකාය වැඩි වුණත් රැකියා හිඟයි●පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●
Top Ad
විශේෂාංග

අපේ රටේ හොඳම නත්තල් කෑම මේසය ඇත්තේ පුංචි රෝමයේ ද? පුංචි ඉතාලියේ ද?

T

The Leader Desk

December 21, 2024 • 11:04 AM

අපේ රටේ හොඳම නත්තල් කෑම මේසය ඇත්තේ පුංචි රෝමයේ ද? පුංචි ඉතාලියේ ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නත්තල යනු සමස්ත ලෝ වැසි කිතුණුවන් ගේ අති උතුම් ආධ්‍යාත්මික සැමරුම බව නිසැක ය.
  • එමෙන්ම ජාති, ආගම් භේදයකින් තොරව අප සමාජයේ බොහෝ දෙනකු විසින් පවසනු ලබන ‘හැමදාම නත්තල් නෑ” යන ජන වහර මගින් පැවසෙනුයේ ද විනෝදමත් සමයක් වන නත්තලේ දී ලැබෙන සතුටක් විනෝදය ජීවිතයේ සතුට විනෝදය සැමදා එක ලෙස නොලැබෙන බවය.
  • ඉහත සඳහන් පසුබිම යටතේ මගේ හිතවතා කී නත්තලේ “සරු බව” හුදෙක් ආහාර පාන, ඇඳුම් පැළඳුම් යන විනෝදාංශවල බහුලත්වය, විවිධත්වය හා විචිත්‍රත්වය මත පදනම් වන්නක් බව නිසැක ය.
  • අප කවුරුත් දන්නා අන්දමට අප රටේ පුංචි රෝමය ලෙස හැඳින්වෙන නගරයක් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

නත්තල යනු සමස්ත ලෝ වැසි කිතුණුවන් ගේ අති උතුම් ආධ්‍යාත්මික සැමරුම බව නිසැක ය. එහෙත්, එහි පවත්නා ආධ්‍යාත්මික අගයට අමතරව ඉතා ප්‍රබල සංස්කෘතික, කලාත්මක හා විනෝදාත්මක පක්ෂයක් ද තිබේ. හුදෙක් ආධ්‍යාත්මික පක්ෂයට මුල් තැනක් දෙන නත්තල සැමරීම පිණිස ‘නත්තල් කෑම’ යන වදන යෙදෙනුයේ එබැවිනි. එමෙන්ම ජාති, ආගම් භේදයකින් තොරව අප සමාජයේ බොහෝ දෙනකු විසින් පවසනු ලබන ‘හැමදාම නත්තල් නෑ” යන ජන වහර මගින් පැවසෙනුයේ ද විනෝදමත් සමයක් වන නත්තලේ දී ලැබෙන සතුටක් විනෝදය ජීවිතයේ සතුට විනෝදය සැමදා එක ලෙස නොලැබෙන බවය.


ඉහත සඳහන් පසුබිම යටතේ මගේ හිතවතා කී නත්තලේ “සරු බව”  හුදෙක් ආහාර පාන, ඇඳුම් පැළඳුම් යන විනෝදාංශවල බහුලත්වය, විවිධත්වය හා විචිත්‍රත්වය මත පදනම් වන්නක් බව නිසැක ය. මෙම “සරු” කතාව අලුත් අවුරුද්ද වැනි ලෞකික උත්සව උදෙසා මිස වෙසක් පොසොන් ආදී ආගමික උත්සව උදෙසා නොයෙදීම ද විශේෂත්වයකි.

 



අප කවුරුත් දන්නා අන්දමට අප රටේ පුංචි රෝමය ලෙස හැඳින්වෙන නගරයක් තිබේ. ඒ වැඩිම කිතුණු ජනතාවක් සේම කිතුණු ආගමික සංස්කෘතික පසුබිමක් සහිත මීගමු පුරවරයයි. ඒ අනුව අප රටේ හොඳම නත්තල් කෑම මේසය ද මීගමු පුරවරයෙන් වාර්තා වීමේ අරුමයක් නැත.

ශ්‍රී ලාංකේය ජන සමාජයේ ආහාර සංස්කෘතීන් හා උප සංස්කෘතීන් කිහිපයක් දක්නට ලැබේ. එක් එක් ජාතීන්, ජන වර්ග සහ ආගමික පසුතලයන් මත ඒවා සැකසී ඇති බව ද පෙනේ. ඒ අනුව මීගමු ජනතාව ගේ ආහාර සංස්කෘතිය තුළ ඇති සුවිශේෂතා කිහිපයක් හඳුනා ගැනීමට 1990 දශකයේ මැද භාගයේ මට අවකාශ ලැබිණ. ඒ මගේ සමීපතම පාසල් මිතුරකු වූ එවක ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනයේ (නාරා) ව්‍යාප්ති නිලධාරී ලෙස කටයුතු කළ ආනන්ද ලාල් ලියනගේ මීගමුවේ ධීවර ජන සංස්කෘතිය මුල් කොට සිදු කළ පශ්චාත් උපාධි නිබන්ධන ක්ෂේත්‍ර අධ්‍යයනයකට ස්වේච්ඡාවෙන් සහාය වීමට මට ද අවකාශ ලැබුණු බැවිනි.

මීගමු ජනතාවගේ ආහාර රටාවේ මා දුටු එක් සුවිශේෂත්වයක් වූයේ මස්, මාංශ භාවිතයේ පැවැති බහුලත්වයයි. සාමාන්‍යයෙන් අප සමාජයේ බොහෝ දෙනෙක් එකම කෑම මේසයට මස් හෝ මාලු වර්ග කිහිපයක් එක් කර නොගනිති. එහෙත් මීගමු මධ්‍යම පාන්තික ජනතාවගේ විශේෂිත කෑම මේස වලට කිරට, මිරිසට, තෙලට ආදී විවිධ ආකාරවලින් සැකසුණු මස් සහ මාලු වර්ග කිහිපයක් එක් වීම සාමාන්‍ය දෙයකි. එම තත්වය නත්තල් කෑම මේසය තුළින් මනාව දිස්වන අතරේ මීගමු, දූවේ “ජවුසන්” නම් ජන රංගන උපදේශකයකු වන ලක්ෂ්මන් ද මෙල් මහතා ගේ ඥාති නිවෙසක නත්තල් මේසයක විවිධ ක්‍රම වලට සැකසූ හරක්, ඌරු, කුකුළු, එළු ආදී මස් වර්ග සහ නොයෙක් ක්‍රම වලට පිසින ලද මාළු සහ ඉස්සන්, දැල්ලන්, කකුළුවන් ආදී මුහුදු ආහාර  දහයක් පහලොවක් මට දැක ගත හැකි විය.

 

සාමාන්‍යයෙන් අප රටේ මුඛ්‍ය සංස්කෘතික ධාරාවට අනුව දිය මස්, ගොඩ මස් සහ පුළුටු එකම ආහාර වේලකට එක් කර ගැනීමට බොහෝ දෙනෙක් බිය වෙති. ඒ බලි, තොවිල් ශාන්ති කර්ම වලදී යකුන්ට දොළ පිදේනි පිණිස ඒවා යොදා ගන්නා බැවිනි. එමෙන්ම හිරු බැස ගිය පසු බැදුම් හා පුළුටු වර්ග ආහාරයට ගැනීමෙන් ඒ පුද්ගලයන් අමනුෂ්‍ය බලපෑම් වලට ලක් වෙතැයි යන බිය නිසා එවක සමාජයේ බොහෝ ගෘහණියන් රාත්‍රී කාලයට පපඩමක් වත් බැද නොගත් බව ප්‍රසිද්ධ රහසකි. ඒ එම තත්වය යටතේ මීට දශක හතර පහකට ඉහත මා ඉපිද හැදී වැඩුණු ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරළයේ ගැමියෝ “මීගමුවේ මිනිස්සු කොහොමත් කන්නේ යකාගේ කෑම නේ” යනුවෙන් අවලාද නැඟූ අයුරු තවමත් මගේ මතකයේ තිබේ.


වරක් මගේ මිතුරු ආනන්ද ලාල් සමඟ මීගමුවේ අප දන්නා හඳුනන නිවසක නත්තල් භෝජනයක් භුක්ති විදින අතරේ එකම කෑම මේසයට විවිධ ක්‍රම වලින් සැකසූ මස් සහ මාළු වර්ග කිහිපයක් එක් කර ගැනීමට හේතුව නිකමට මෙන් අසා සිටියෙමි.

එවිට ඒ ගෙහිමියා සිනාසෙමින් කීයේ ‘මෙහේ මූදු වැලි පොළවේ ඔයාලගේ ගම් පළාත්වල වගේ එළවළු කොරටු හරියන්නේ නෑනේ. ඒ හින්දා අපිට ඉතින් කෑම වේලක අඩු පාඩු වැඩිපුර පිරිමහ ගන්න තියෙන්නේ මස් මාළු වලින් තමයි’ යන්නය. නමුදු ඒ සම්බන්ධයෙන් කිව යුතු සුවිශේෂත්වයක් ද තිබේ. එනම් ඔවුන් එලෙස විවිධ ක්‍රම වලට පිසින ලද මස් මාළු වර්ග කිහිපයක් කෑමට එක් කර ගත්ත ද ඒ එක් එක් ව්‍යංජනයේ පැහැය, සුවඳ හා රසය එකි’නෙකට හාත්පසින් ම වෙනස් බව ය.

 

hghg

පුංචි රෝමය නම් වන මීගමුවේ හෝ පුංචි ඉතාලිය නම් වන වෙන්නප්පුවේ නත්තල් කෑම මේස වලට එක්වන පරිප්පු, අල තෙල් දැමීම, වම්බටු මෝජුව බෝංචි ව්‍යංජනය, සිංහල සහ මැලේඅච්චාරු, සලාද වර්ග, චට්නි, කට්ලට් ආදී ව්‍යංජන සහ අතුරු ආහාර පිසීම් වල ද එක්තරා සුවිශේෂ බවක් දක්නට ලැබේ. එනම් ඒවා සඳහා තෙල්, මිරිස්, තුනපහ , සූදුරු මිරිස් හිතේ හැටියට යෙදීම ය. මේ අතර එම කෑම මේස වලට විශේෂිත බත් වර්ග කිහිපයක් එක් වීමේ නැඹුරුවක් ද පවතී.


මීට දශක කිහිපයක් තෙක් නත්තල් ආසන්න වන විට මීගමුවේ අතිශය කාර්ය බහුල වන ගම් වරයන් දෙකක් පිළිබඳව 1990 දශකයේ දී මට අසන්නට ලැබිණ. ඒ අතීතයේ හකුරු මුඩුක්කුව ලෙස හැඳින්වුණු වත්මන් සිරිවර්ධන පෙදෙස සහ මීගමුවේ මුන්නක්කරයයි. ඒ මීගමුවට පමණක් ආවේණික යැයි සැලකිය හැකි මිරිස් ගුලි අලෙවිය සම්බන්ධයෙන් සහ නත්තල් කෑම පිසීම සඳහා වන පොල් පැණි, තෙල් ආදිය සේම පොල් කේක් හෙවත් පුස්නාම්බු අලෙවිය සම්බන්ධයෙනි.

මීගමුවේ මිරිස් ගුලිය යනු එහි ගෘහණියන් හට ව්‍යංජන සඳහා යෙදීමට හැකි වන පරිදි මිරිස් ගම්මිරිස් සහ ලුණු මිශ්‍ර කොට තැනූ කුඩා තලපයක් බඳු ගුලියකි. කරල් වශයෙන් මිලදී ගන්නා වියළි මිරිස් ගම්මිරිස් සහ ලුණු මිශ්‍ර කොට ජාඩි වතුරෙන් අඹරා සූරිය කොළ වල ඔතා අලෙවි කිරීම මෙහි නියම ක්‍රමය යැයි කියනු ලැබේ. මෙය මීගමු කතුන් ගේ සාම්ප්‍රදායික ගෘහ කර්මාන්තයක් හා ස්වයං රැකියාවකි. එහෙත් මේ වන විට ජාඩි වතුර සොයා ගැනීමට ඇති නොහැකියාව මත ඒවා ඇල් දියෙන් අඹරා අලෙවි කරන බව ද පැවසෙයි. එමෙන්ම නත්තල ආසන්න වත්ම මේවායේ පොල්තෙල්, පැණි සහ පොල් කේක් අලෙවිය සියයට පන්සිය ගුණයකින් පමණක් ඉහළ යන බව ද පසුගිය කාලයේ මට දැන ගත හැකි විය. මීගමුවේ නත්තල් කෑම මේසය ආහාර අතින් මෙවන් විවිධත්වයක් සහ විචිත්‍රත්වයක් පළ කරන අතරේ ඒ සඳහා ම සැකසුණු විශේෂිත පාන වර්ග ද එපරිද්දෙන්ම සැකසෙයි. 

නත්තලට සති කිහිපයකට පෙර විවිධ පළතුරු ආදියෙන් වයින් සකසා ගන්නා අතරේ එලෙස නත්තල උදෙසා පළතුරු වර්ග පල්කොට ගෘහස්ථ මට්ටමින් මත් පැන් පෙරා ගන්නා ගෘහණියෝ ද එවක මීගමුවේ දුලබ නොවූහ. මෙය ඔවුන් විසින් හඳුන්වන ලද්දේ “නත්තල් වඩිය” යන නමිනි.


image 1d604dc4a4මර්සිලීනු ජයකොඩි පියතුමන්

‘ඒ කාලේ මේ මීගමු දූවේ වැඩ හිටපු ජීවමාන දිවැසි වරයෙක් තමයි අපේ මර්සිලීනු ජයකොඩි සුවාමි. උන්නාන්සේ 1937-1939 කාලයේ දූවේ සින්ද්‍රාති දේව මාතා පල්ලියේ මීසම් බාර පියතුමා හැටියට කටයුතු කරලා තියනවා. එතකොට සුවාමි ගෙ වයස අවුරුදු තිස් ගණන් වල මැද  වගේ. ඒ කාලේ හැමදාම නත්තල් රෑ ප්‍රධාන පූජාව ඉවර වෙලා දේශනාවෙ දි සුවාමි කියන දෙයක් ගැන අපේ  සීයලා කියනවා, ඒ වෙලාවට සුවාමි කියනවලු ‘දැන් ගෙවල් වලට ගිහින් තරම දැනගෙන කාපල්ලා, බීපල්ලා ජොලි කරපල්ලා හැබැයි නත්තල බෙදා ගෙන මිසක් බදාගෙන නම් කන්න එපා කියලා’ මීගමුවේ ආහාර සංස්කෘතිය සම්බන්ධයෙන් මා කළ විමසුමක දී එසේ ප්‍රකාශ කළේ මීගමු, දූවේ වර්ණකුලසූරිය ජූඩ් මර්වින් ප්‍රනාන්දු මහතා ය.


‘ ඒත් මොනවා වුණත් මේ මිනිස්සු හැමදාම දුක් විඳිනවානේ, ඒ හින්දා අද වගේ දවසක වත් සතුටු වෙන්න එපා කියලා කටක් ඇරලා කොහොම කියන්නද?’ කියලා ඊට පස්සේ සුවාමි පල්ලියේ ඇන්නැවිරාළ සන්කිරිස්තියන් එක්ක කියනවලු’ ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කීය. එමෙන්ම තම වසමේ වෙසෙන කිතුනුවන්ට එවන් සහනශීලී නිදහසක් ලබා දෙමින් උන් වහන්සේ කී ‘නත්තල බෙදා ගෙන මිසක් බදා ගෙන නම් කන්න එපා’ යන සරල වදන් කිහිපය තුළ කිතුනු දහමේ හරය කෙතරම් ගැඹුරින් තැන්පත්ව තිබේද? යන්න පිළිබඳ විස්මයක් මගේ සිත තුළ ජනිත කරවයි.
 Jackson.10 1ජැක්සන් ඇන්තනි

පසුගිය සමයේ අප අතරින් සදහටම වෙන් වූ කෘතහස්ත කලාකරු ජැක්සන් ඇන්තනි 1975 වසරේ සිට මා හා ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ එකම පන්තියේ එක ළඟ අසුන් දෙකක වාඩි වී ශිල්ප හැදෑරු මගේ සමීපතම මිතුරෙකි. ඒ අනුව ඒ වසරේ සිටම අපගේ සෙසු පාසල් මිතුරන් වන ජනප්‍රිය නළු උපතිස්ස බාලසූරිය සහ රංජිත්  ජයසූරිය සමඟ සෑම නත්තලකටම ජැක්සන් ලාගේ මහගෙදර වූ රාගම, පොඩි වී කුඹුරේ ‘ප්‍රාර්ථනා’ නිවසට යාමට අපි පුරුදු වී සිටියෙමු. ජැක්සන් ගේ පියා බෙනඩික්ට් ඇන්තනි මහතා එවක ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි අධිකාරී හෙවත් ෆෝමන් වරයෙකි.

එමෙන්ම සෑම නත්තලක් මුල් කොට දෙසැම්බර් 25 දා දහවලට ඉතා අගනා භෝජන සංග්‍රහයක් එම නිවසේ සැකසී තිබිණ. මගේ මාධ්‍ය ජීවිතයේ ප්‍රධාන ගුරුවරයකු වන ජැක්සන් ගේ වැඩිමල් සොයුරු ප්‍රවීණ රංගනවේදී සේනක ටයිටස් ගේ මෙන්ම සුදත්, සමන් යන බාල සොයුරන් ගේ මිතුරන් සේම ඔවුන් ගේ පියාගේ විදුලි බල මණ්ඩල මිතුරන් ද ඒ භෝජන සංග්‍රහය සඳහා එක්වීම සාමාන්‍ය සිදුවීමක් විය.

එහෙත් එදින දහවල් එම භෝජනය පිළියෙල වූ මොහොතේ සිට එම නිවසට පැමිණෙන සියල්ලන් සඳහා ඒ නත්තල් කෑම මේසය එක සේ විවෘත වූ අතර ඒ කාල සීමාව තුළ ඉතා අහඹු ලෙස පැමිණෙන දුගී, මගී යාචකාදීන්ට පවා පැත්තකට කොට කෑම ටිකක් නොදී ජැක්සන්ලාගේ පියා ඔවුන් ද සාදර ගෞරවයෙන් යුතුව එම කෑම මේසය වෙත කැඳවා ගෙන යන අයුරු මම අනේක වාරයක් සියැසින් දැක ඇත්තෙමි. ඒ අනුව “වෙසක් එකට වගේ නත්තලට දන්සල් නැත්තේ මොකද?” යන පැනය එදා මෙදා තුර කිසිවකු ගෙන් ඇසීමට මගේ මනැස පෙළඹී නැත.

470206355 628939779573209 3748013352551942127 n

මා මීගමුවේ ආහාර සංස්කෘතිය සම්බන්ධයෙන් විමසුමක් කළ 1990 දශකයේ මැද භාගයට සාපේක්‍ෂව මේ වන විට මීගමු ජන සමාජය තුළින් නව ඉහළ මධ්‍යම පාන්තික ලක්ෂණ සහිත ජන කොටසක් නිර්මාණය වී තිබේ. විවෘත ආර්ථිකයත් සමඟ නව උද්දීපනයකට ලක් වූ බටහිර අධ්‍යාපන රටාව මුල් කොට හිමි කර ගත් විවිධ සමාජයීය වරප්‍රසාද මුල් කොට එහි මධ්‍යම වයසේ පසුවන ඇතැම් දෙනකු මීගමු නගරාශ්‍රිතව තාප්ප වලින් වට කරගත් මහ මැදුරු තනා ඒවා තුළ ජීවත් වෙති. නමුත් සියලු යස ඉසුරින් සපිරි ඔවුන් ගේ ජීවන රටාව හෝ නත්තල් කෑම පිළිබඳ විමසුමක් කිරීමට බාහිර සමාජයේ කිසිවකුටත් අවකාශයක් නොමැති තරම් ය. එමෙන්ම ඔවුන් ගේ නත්තල් කෑම මේස ද මුළුමනින්ම බටහිර පන්නයට සැකසී නොතිබුණ හොත් එය ලෝක පුදුමයකි.


images 73ෆ්‍රෑන්ක් මාකස් ප්‍රනාන්දු රදගුරුතුමා

මීගමුවට ඔබ්බෙන් පිහිටි වෙන්නප්පුවට පුංචි ඉතාලිය කියන නම වැටී ඇත්තේ එහි ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් ඉතාලියේ සේවා නියුක්තියන් වශයෙන් කටයුතු කොට ඇති හෝ කටයුතු කරන නිසාය. වෙන්නප්පුව ආසන්නයේ ඇති වයික්කාල බෝලවත්ත, බොරලැස්ස, කම්මල, බණ්ඩිරිප්පුව ලුණුවිල, නයිනමඩම, කොලින් ජාඩිය නයිනමඩම, තල්දෙන, උල්හිටියාව ආදී ප්‍රදේශ එසේ ඉතාලි ශ්‍රමිකයන් වැඩිම දෙනකු ජීවත් වන ප්‍රදේශ ලෙස සැලකේ. එමෙන්ම මේ වන විටත් එම ප්‍රදේශවලට යුරෝ වලින් පෙරී නිතිපතා ගලා එන විදෙස් මුදල් සම්භාරය නිසා වෙන්නප්පුව අවට ජන ජීවිතයේ පැහැදිලි ආර්ථික ප්‍රගතියක් බැලූ බැල්මට වුව දැකිය හැකිය.

අසූව දශකයේ දී පමණ එම ප්‍රදේශයේ තරුණයන් ඉතාලි රැකියා වෙත යොමු කරවීම හලාවත හිටපු රදගුරු තුමකු වූ ෆ්‍රෑන්ක් මාකස් හිමිපාණන් ගේ මඟ පෙන්වීම මත සිදු වූවක් බව  මගේ මිතුරු රෝයි නෙල්සන් මා හා කියා තිබේ. එමෙන්ම අප රටේ පුංචි ඉතාලියේ ඇතැමුන් නත්තල් සැමරුම් සඳහා ඉතාලියේ නත්තල් සැමරුම් සඳහා යොදා ගන්නා පැනටෝනෙ නම් රස කැවිල්ල යොදා ගන්නා බව ද රෝයි නෙල්සන් කීය. මා සිතන අන්දමට මෙලෙස අප රටේ පැනටෝනෙ යොදා ගැනෙනෙනුයේ පුංචි ඉතාලියේ නත්තල් සඳහා පමණි.


panatona පැනටෝනෙ රස කැවිල්ල

ඒ කෙසේ හෝ අද එම ප්‍රදේශයේ බහුලව ම දක්නට ඇති නිසැක ලෙසම සිටු මැදුරු සේ පෙනෙන සුවිසල් නිවාස බොහොමයක් තුළ ද මගේ මිතුරා කී අන්දමටම රාජකීය මට්ටමේ නත්තල් භෝජන සංග්‍රහයන් පැවැත්වෙනු ඇත .එහෙත්, මර්සිලීනු ජයකොඩි පියතුමන් ගේ වදන් වලට අනුව ඒවායේ වැඩිදුරට සිදු වනුයේ “නත්තල බෙදා ගෙන කෑමක් ද? නැතහොත් බදාගෙන කෑමක් ද?” යන්න නිශ්චිතව පැවසීමේ හැකියාවක් මා තුළ නැත.

 

ඒ අනුව සැබෑ කිතුනු ආධ්‍යාත්මික හරයන්ට අනුව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අප රටේ “හොඳම නත්තල් මේසය” ඇත්තේ පුංචි රෝමයේද ? නැතහොත් පුංචි ඉතාලියේ ද යන්න තීරණය කිරීම එම සැමරුම් හා සම්බන්ධ වන්නවුන් විසින්ම කළ යුතු යැයි මට සිතෙයි.



Thilak Senasinghe
(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී 
thilaksenasinghe@gmail.com


(උපුටා ගැනීම- vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...