The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

ආණ්ඩුව පොල් හිඟ කාලයට ජනතාවට රිලා නැටුම් පෙන්වීමට වඩා යමක් කළ යුතුයි

T

The Leader Desk

December 22, 2024 • 11:22 AM

ආණ්ඩුව පොල් හිඟ කාලයට ජනතාවට රිලා නැටුම් පෙන්වීමට වඩා යමක් කළ යුතුයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශේෂයෙන්ම දිනපතා පොල් පරිභෝජනය කරන ජනතාවගෙන් එල්ල වන බරපතල විවේචන වත්මන් රජය ඉකුත් රජයන් ගේ සිට ගස් මත දුව පැන ඇවිදිමින් ජීවත් වන රිලාහාමිලා තෙක්ම එල්ල වන බවක් පෙනෙයි.
  • එමෙන්ම සෑම වසරකම මෙලෙස පොල් මිල ඉහළ යාම සම්බන්ධ අර්බුදයට බලපාන සැබෑ හේතු කාරණා සහ ඒවාට නිසි විසඳුම් ඉදිරිපත් වීමේ පැහැදිලි අඩුවක් ද දක්නට ලැබේ.
  • මෙරට වාර්ෂික පොල් පරිභෝජනය පොල් ගෙඩි මිලියන 1800ක් වන අතර එක් පුද්ගලයෙකු වර්ෂයකට පොල් ගෙඩි 105ක් ආහාර පිණිස ගන්නා බවට අනුමාන කෙරේ.
  • අප රටේ පොල් ඵලදාව අඩුවීමට බහු විධ හේතු සාධක ඉවහල් වන බව නොරහසකි.
අකුරු ප්‍රමාණය (Font Size):
විශේෂයෙන්ම දිනපතා පොල් පරිභෝජනය කරන ජනතාවගෙන් එල්ල වන බරපතල විවේචන වත්මන් රජය ඉකුත් රජයන් ගේ සිට ගස් මත දුව පැන ඇවිදිමින් ජීවත් වන රිලාහාමිලා තෙක්ම එල්ල වන බවක් පෙනෙයි. එමෙන්ම සෑම වසරකම මෙලෙස පොල් මිල ඉහළ යාම සම්බන්ධ අර්බුදයට බලපාන සැබෑ හේතු කාරණා සහ ඒවාට නිසි විසඳුම් ඉදිරිපත් වීමේ පැහැදිලි අඩුවක් ද දක්නට ලැබේ. අප එසේ පවසනුයේ ඉහළ යන පොල් මිල පාලනය කිරීම සඳහා විසඳුම් සොයා ගැනීම සාමාජයේ සියළු පාර්ශවයන් වෙත පැවරුණු ජාතික වගකීමක් බැවිනි. 


පොල් කිරි ශ්‍රී ලාංකේය ආහාර රටාව සමඟ බැඳුණු අත්‍යාවශ්‍ය දෙයකි. දිනපතා ආහාර සඳහා පොල් කිරි මිටක් එක් නොකරන නිවසක් සොයා ගත් නොහැකි තරම් ය. මෙරට වාර්ෂික පොල් පරිභෝජනය පොල් ගෙඩි මිලියන 1800ක් වන අතර එක් පුද්ගලයෙකු වර්ෂයකට පොල් ගෙඩි 105ක් ආහාර පිණිස ගන්නා බවට අනුමාන කෙරේ. දේශීය පරිභෝජනයට මෙන්ම අපනයනය සඳහාත් අපේක්ෂිත වාර්ෂික පොල් අස්වැන්න බිලියන තුනකි.

 

ඵලදායි නොවන පොල් ඉඩම් සහ ප්‍රජාතන්ත්‍රවාදය - (මහාචාර්ය රොහාන් සමරජීව)

අප රටේ පොල් ඵලදාව අඩුවීමට බහු විධ හේතු සාධක ඉවහල් වන බව නොරහසකි. ඒ අතුරින් කිහිපයක් මේ වන විට හඳුනාගෙන තිබේ. වන සත්ව හානිය ඉන් එකක් පමණි. දේශගුණික විපර්යාස, පළිබෝධ හානිය සහ පොහොර භාවිතය අඩුවීම ඒ අතුරින් මුල් තැනක් ගන්නා සෙසු කරුණු අතරට ගැනේ. මේ අතරින් පොල් වගාවට වැඩිම හානියක් සිදු කර ඇත්තේ රිලවා, වඳුරා සහ දඬුලේනා ආදී සතුන් විසින් බව පවසනු ලැබේ. රතු කුරුමිණි, කලු කුරුමිණි සහ සුදු මැස්සා හානිය මෙන්ම පළිබෝධ හානිය පොල් වගාවේ 10% ත් -15% අතර ඵලදාවට බලපෑම් එල්ල කර ඇති බව ද පැවසෙයි. එහෙත්, මේවා නියත නොවන සාධක සේම මෙම බහු විධ සාධක වසරින් වසර වෙනස් වන බව ද කිව යුතු ය.

 

එහෙත්, පොල් මිල ඉහළ යාම සම්බන්ධ හේතු විමසීමේ දී මෙම හේතු පමණක් විමසා බැලිය යුතු නැත. පසුගිය වර්ෂ කිහිපය තුළ පැවැති දැඩි නියඟය, විදේශ වෙළෙඳ පොළෙහි පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා පැවති අධික ඉල්ලුම, වගාකරුවන් පොල් වගාව සඳහා ආයෝජනය කිරීමට දක්වන උනන්දුව හීන වීම, හේතුවෙන් පොල් ඵලදාව පහත වැටීම, පොල් ඉඩම් කට්ටි වීම එම ඉඩම් මානව ජනාවාස සඳහා යොදා ගැනීම සේම දේශීය වශයෙන් පොල් පරිභෝජනයේ දී සිදුවන නාස්තිය ද ඊට හේතු වී ඇති බව පෙනෙයි. 

පොල් ඵලදාව ඉහළ යාම පොල් මිල අඩුවීමට ඉවහල් වන බව අර්ධ සත්‍යයකි.ඉතිහාසයේ වැඩිම පොල් ඵලදාව 2015 වර්ෂයේදී වාර්තා වූ අතර එය ගෙඩි මිලියන 3056ක වාර්තාගත පොල් ඵලදාවක් බව තහවුරු වී තිබේ. එසේ එම වසරේ වාර්තාගත පොල් අස්වැන්නක් ලැබුණ ද පොල් මිලෙහි අඩු වීමක් දක්නට නොතිබිණ. එයට හේතුව පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා විදේශීය වෙළෙඳපොළ තුළ පැවැති අධික ඉල්ලුම හා ඉහළ මිලක් ලැබීම බව අනාවරණය විය.

නමුත් මේවා රටේ සාමාන්‍ය ජනතාව හමුවේ අනාවරණය නොවේ. ඒ අනුව සිදුවිය යුත්තේ දේශීය හා විදේශීය වෙළෙඳ පොළට අවශ්‍ය පොල් ගෙඩි ප්‍රමාණය නිෂ්පාදනය කොට ඉල්ලුම හා සැපයුම තුලනය කිරීම මඟින් පොල් වගා කරුවාට මෙන්ම පාරිභෝගිකයාට සාධාරණ මිල මට්ටමක් පවත්වා ගැනීම සඳහා රජය මැදිහත් වීම මිස රිලා ප්‍රශ්නය ඇද ගෙන රිළවුන් මෙන් දැඟලීම නොවේ.

 

පොල් යනු දීර්ඝ කාලීන වගාවකි. එය කෙටි කාලීන එනම් මාසයක් හෝ මාස කිහිපයක් තුළ ප්‍රතිඵල ලබාගත හැකි වගාවක් නොවේ. එසේ හානියට පත්වන පොල් ගස නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට සාමාන්‍යයෙන් වර්ෂ තුනක පමණ කාලයක් ගත විය හැක. සමහර පොල් ගස් යථා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකි තත්ත්වයට ද පත්විය හැකිය. මේ අතර සෑම වසරකම ඔක්තෝබර් සිට ඊළඟ වසරේ පෙබරවාරි දක්වා මාස පහක් තුළ රටේ පොල් හිඟයක් මතුවන බවත් ඒ සම්බන්ධයෙන් රිලවුන්ට දඬුලේනුන්ට එම කාලවලදී චෝදනා නොකර ජනතාවට හිඟයකින් තොරව පොල් ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට පොල් සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කටයුතු කළ යුතු බවත් පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා පවසයි.

p04w6prg

 

රටේ වාර්ෂික පොල් නිෂ්පාදනය පොල් ගෙඩි බිලියන තුනයි දශම දෙකක්, බිලියන තුනයි දශම හතරක් පමණ වන බවත් වර්ෂයකට රටේ පොල් අවශ්‍යතාවය පොල් ගෙඩි බිලියන එකයි දශම හතක්- එකයි දශම නවයක් බවත් ඔහු පවසයි. බුද්ධික ද සිල්වා වැඩිදුරටත් පවසනුයේ සෑම වර්ෂයකම ඉහත මාස පහ තුළ පොල් හිඟය ගැන කතා කළත් පෙබරවාරි වලින් පසු රටේ පොල් ඵලදාව වැඩි වන නිසා පොල් හිඟය මාතෘකාව සැමට අමතක වන බවකි.

එම නිසා, සෑම වසරකම රිලා සහ දඩුලේන් මාතෘකාවට පමණක් මුල් තැන නොදී පොල් හිඟවන කාලයට අපනයනය සීමාකර හෝ නතර කර මෙරට පාරිභෝගිකයන්ට මුල් තැන දීමට පොල් සංවර්ධන අධිකාරිය කටයුතු කළ යුතු බවත් අවධාරණය කරන බුද්ධික ද සිල්වා, රිලවුන්ගෙන් සහ දඬුලේනුන්ගෙන් පොල් වගාවට යම් තරමකට හානි වන බව තමන් ද කියා සිටින නමුත් පොල් හිඟයට ප්‍රධානම හේතුව පොල් සංවර්ධන අධිකාරියේ ඇතැම් නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව බව අවධාරණය කරයි. ඇතැම් නිලධාරීන් බහුජාතික සමාගම් වලට වාසි වන ලෙස පොල් අපනයනය කිරීමට සහයෝගය ලබා දෙන බවත් එසේ අපනයනය කළත් ඊට සරිලන විදේශ විනිමය රටට නොලැබෙන බව තමා පමණක් නොව විගණකාධිපති දෙපාර්තමේන්තු වාර්තාවලින් පෙන්වා දී තිබෙන බවත් ඒ පිළිබඳ දත්ත හා තොරතුරු තමන් සතුව තිබෙන බව බුද්ධික ද සිල්වා වැඩිදුරටත් පවසයි.මෙය ඉතා වැදගත් ප්‍රකාශයකි.

 

ඇෆ්ලටොක්සින් නැති පොල්තෙල් ලබාගන්නේ කෙසේද?

නමුත් කවර තත්වයක් යටතේවත් පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන විදේශ වෙළෙඳ පොළට යැවීම දුර්වල නොකළ යුතු බව අප ගේ වැටහීම ය. එයට හේතුව විදේශ වෙළෙඳ පොළ තුළ ශ්‍රී ලංකා පොල් සඳහා ඇති ඉල්ලුම අඩු කර ගැනීම මගින් නැවත තරඟකාරී මට්ටමින් එම වෙළෙඳ පොළට ඇතුළු වීම ගැටලු සහගත විය හැකි බැවිනි. ඒ අනුව පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා පවසන අන්දමට ක්‍රියා කළ යුත්තේ විදේශ වෙළෙඳපොළ පිළිබඳව මනා අවබෝධයකින් යුතුව ය.

dirt path leads palm tree filled with coconuts 1134821 564

 

ශ්‍රී ලංකාව තුළ වගා කර ඇති පොල් ඉඩම් වලින් උපරිම පොල් ඵලදාවක් ලබා ගැනීම සඳහා වගාකරුවන් උනන්දු කිරීම හා ඔවුන් දිරිගැන්වීම මගින් පොල් ඵලදාව ඒකාකාරී ලෙස වීමෙන් තොරව පවත්වා ගැනීම සඳහා කටයුතු කළ යුතු අතර පොල් ඉඩම්වලින් උපරිම ඵලදායිතාවක් ලබා ගැනීමට හැකි වන පරිදි අතුරු වගාවන්, සත්ව පාලනය වැනි ක්‍රම වේද වඩාත් දිරිමත් කළ යුතු ය. එමගින් පොල් වගාවට අවශ්‍ය ජල සැපයුම සිදුවන බැවින් නියං තත්ත්වයන් තුළදී පොල් ඵලදාවේ විචල්‍යතාවයන් වළක්වා ගැනීම සිදු කළ හැකි වනු ඇත. 

ශ්‍රී ලංකාව ආසන්නයේම ඇති ඉන්දියාවේ; කේරලයේ පොල් අක්කරයකින් ලබන ඵලදාව ශ්‍රී ලංකාවේ අක්කරයකින් ලබන ඵලදාව මෙන් දෙගුණයක් බව වාර්තා වේ. එම තාක්ෂණය ශ්‍රී ලංකාව තුළ ද යොදා ගැනීම මගින් දැනට පවතින පොල් වගාවෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා උනන්දු විය යුතුය. නමුත් මේවා තවමත් ක්‍රියාත්මක වී නොමැත. එමෙන්ම නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශ වල උද්‍යාන බෝගයක් ගෙවතු වගාවක් ලෙස අභිජනනය කළ පොල් විශේෂයන් හඳුන්වා දීමට ද රජයට පුළුවන.

 

අරගලයේ දෙවන අදියර ඡන්දයෙන් ප්‍රකාශයට පත්වෙනවාඅමාත්‍ය සමන්ත විද්‍යාරත්න

මේ අතර වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසන්නේ වර්තමානයේ පවතින පොල් අර්බුදයට විසඳුමක් ලෙස පොල් වතුහිමියන්ට පොහොර සහනාධාර ලබාදීමට ඉදිරියේදී රජය පියවර ගන්නා බවයි. මෙරටට ආනයනය කළ පොහොර මෙට්‍රික් ටොන් 55,000න් මෙට්‍රික් ටොන් 27,500ක් පොල් වගාකරුවන් සඳහා ලබා දීමට සැලසුම්කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි. තම අමාත්‍යාංශයේ අක්කර දස දහස් ගණනක පොල් වගාවන් සඳහා වසර පහකින් පොහොර යොදා නොමැති වීම අස්වැන්න අඩු වීමට හේතු වී ඇති බව ඇමති වරයා පවසයි.

”ඔය අතරේ සාමාන්‍ය ජනතාවත් පොහොර දාගන්න පුළුවන් තත්ත්වයක හිටියේ නෑ. පොහොර නැවක් ආවා පහුගිය කාලයේ කැබිනට් එකේ කතා කරලා ඒ පොහොර නැවෙන් භාගයක් පොල් වගාවට ලබාදෙන්න අපි තීරණය කළා.”යනුවෙන් පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනුයේ, ලබන වසර වන විට රට තුළ පවතින පොල් අර්බුදයට ස්ථිර විසඳුම් සෙවීමට හැකි වනු ඇති බව ය. 

ඒ අනුව වත්මන් ආණ්ඩුවේ ඇතැමුන් තුළ පවත්නා රිලවුන් ඇතුළු වන සතුන් “ඇලජික් වීම” සියල්ල වැනසුමේ ඇරඹුමක් මිස කිසිදු සාධනීය තත්වයක් නොවන බව ඒකාන්ත සත්‍යයකි. එනිසා පොල් හිඟ කාලයට ජනතාවට රිලා නැටුම් පෙන්වීමට වඩා යමක් කිරීමට ආණ්ඩුව දැන් වත් තරයේ සිතට ගත යුතු ය.

| රේණුකා දමයන්ති ගමගේ
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආණ්ඩුව පොල් හිඟ කාලයට ජනතාවට රිලා නැටුම් පෙන්වීමට වඩා යමක් කළ යුතුයි | The Leader