The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

සඳේ හෝ අඟහරු මත අපගේ නිවස මෙලෙස විය හැකි ද?

T

The Leader Desk

December 22, 2024 • 2:53 PM

සඳේ හෝ අඟහරු මත අපගේ නිවස මෙලෙස විය හැකි ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අභ්‍යවකාශ ගතවන ඉන්දියානු ගගනගාමීන්ගේ අනාගත නිවහන මෙම බිත්තර හැඩැති ව්‍යුහය වැන්නක් විය හැකිද?
  • හැබ් -1 යන කෙටි නමින්ද හැඳින්වෙන හැබිටැට් -1, ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය වන ISRO හි පළමු "ඇනලොග් මෙහෙයුම" යි.
  • සැබෑ අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා ගගනගාමීන් සූදානම් කිරීම සඳහා, අභ්‍යවකාශයේ ඇති තත්ත්වයන් අනුකරණය කිරීම එයින් සිදු කෙරේ.
  • ගුජරාට් හි පිහිටි ආකා සමාගමේ අභ්‍යවකාශ ගෘහ නිර්මාණ ශිල්පී ආස්තා කචා-ජාලා බීබීසී යට කියා සිටියේ සැබෑ අභ්‍යවකාශ මෙහෙයුම්වලදී ගගනගාමීන්ට සහ උපකරණවලට මුහුණ දීමට සිදුවිය හැකි ගැටළු හඳුනා ගැනීමට සහ විසඳීමට මෙම ආකෘතිය උපකාරී වන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


අභ්‍යවකාශ ගතවන ඉන්දියානු ගගනගාමීන්ගේ අනාගත නිවහන මෙම බිත්තර හැඩැති ව්‍යුහය වැන්නක් විය හැකිද?

හැබ් -1 යන කෙටි නමින්ද හැඳින්වෙන හැබිටැට් -1, ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය වන ISRO හි පළමු "ඇනලොග් මෙහෙයුම" යි. සැබෑ අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා ගගනගාමීන් සූදානම් කිරීම සඳහා, අභ්‍යවකාශයේ ඇති තත්ත්වයන් අනුකරණය කිරීම එයින් සිදු කෙරේ. එය මෑතකදී හිමාලය කඳු වැටියට අයත් ලඩාක් හිදී සති තුනක් තිස්සේ අත්හදා බලන ලදී.

ගුජරාට් හි පිහිටි ආකා සමාගමේ අභ්‍යවකාශ ගෘහ නිර්මාණ ශිල්පී ආස්තා කචා-ජාලා බීබීසී යට කියා සිටියේ සැබෑ අභ්‍යවකාශ මෙහෙයුම්වලදී ගගනගාමීන්ට සහ උපකරණවලට මුහුණ දීමට සිදුවිය හැකි ගැටළු හඳුනා ගැනීමට සහ විසඳීමට මෙම ආකෘතිය උපකාරී වන බවයි.

හබ් -1, අභ්‍යවකාශය සඳහා භාවිතා කරන ටෙෆ්ලෝන් යොදා නිර්මාණය කර ඇති අතර කාර්මික ක්ෂේත්‍රවල භාවිතා කෙරෙන ස්පොන්ජ් සමඟ සකස් කර තිබේ. එහි ඇඳක්, වැඩ මේසයක් ලෙස භාවිතා කළ හැකි ස්ටෝවේ තැටියක්, සැපයුම් සහ හදිසි අවශ්‍යතා උපකරණ තබා ගැනීම සඳහා ඉඩක්, ආහාර උණුසුම් කිරීම සඳහා මුළුතැන්ගෙයක් සහ වැසිකිළියක් තිබේ. මෙම අභ්‍යවකාශ ආකෘත්‍රික මධ්‍යස්ථානයේ ගගනගාමියෙකු සති තුනක් වාසය කර ඇත.

"හබ් -1 නිර්මාණය කර ඇත්තේ සඳ හෝ අඟහරු මත ඇති අවකාශය ඉතා සීමිත බව සිහි තබා ගනිමිනි" යැයි කචා-ජාලා පවසයි. "ගගනගාමියාටත් ලැබෙන්නේ ඉතා සීමිත ජල ප්‍රමාණයක් බැවින්, අපි වියළි වැසිකිළියක් නිර්මාණය කළා. වාසස්ථනය දුර්ගන්ධයෙන් තොරව පවත්වාගැනීමට අප වග බලාගත් අතර, අපද්‍රවය බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් සූදානම් කළා"

ඉන්දියාවේ පළමු ස්ථිර 'ආකෘතික අභ්‍යවකාශ මධ්‍යස්ථනය' ලඩාක් හි ඉදිකිරීම සඳහා ඇය දැන් ISRO සමඟ සාකච්ඡා කරමින් සිටී.

tye56dඅභ්‍යවකාශ ගෘහ නිර්මාණ ශිල්පී ආස්තා කචා-ජාලා පවසන්නේ Hab-1 නිර්මාණය කර ඇත්තේ සඳෙහි හෝ අඟහරු ග්‍රහයා මත අවකාශය සීමා වන බව සිතේ තබාගෙන බවයි
ඉන්දියාව සිය පළමු ගගනගාමීන් අභ්‍යවකාශයට යැවීමට සූදානමින් සිටින මොහොතක මෙම ආකෘතිමය මෙහෙයුම සිදු කර තිබේ.

අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු පෘථිවි කක්ෂයට පහළින් කිලෝමීටර් 400 හෙවත් සැතපුම් 248ක උන්නතාංශයක දින තුනක කාලයක් පුරා රඳවා තැබීමට ISRO හි ගගනයාන් මෙහෙයුම මගින් සැලසුම් කර තිබේ. සියල්ල සැලසුමට අනුව නිවැරදිව සිදු වුවහොත්, මෙහෙයුම ලබන වසරේ දියත් කරනු ඇත. 2035 වන විට සිය පළමු අභ්‍යවකාශ මධ්‍යස්ථානය පිහිටුවීමටත්, 2040 වන විට සඳ වෙත මිනිසෙකු යැවීමටත් ඉන්දියාව සැලසුම් කර තිබේ.

නාසා ආයතනය, යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය, රුසියාව, චීනය සහ අභ්‍යවකාශ වැඩසටහන් සහිත වෙනත් රටවල් සහ පෞද්ගලික සමාගම් මෙවන් අනුකරණ මෙහෙයුම් රැසක් මෙහෙයවන අතර, ගගනයාන් මෙහෙයුම සඳහා තෝරාගත් ඉන්දියානු ගගනගාමීන් සිව් දෙනාගෙන් දෙදෙනෙක් මේ වන විට නාසා ආයතනයේ පුහුණුව ලබමින් සිටිති.

"අපේම ආකෘතික මෙහෙයුමක් තියෙනවා නම්, අපගේ ගගනගාමීන් පුහුණු කිරීම සඳහා විදේශීය අභ්‍යවකාශ ආයතන මත යැපීමට අවශ්‍ය නැහැ" යැයි මේ ව්‍යාපෘතිය වෙනුවෙන් එකතු වූ ලඩාක් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අධ්‍යයන අංශයේ පීඨාධිපති මහාචාර්ය සුබ්රත් ෂර්මා පවසයි.

"භූගෝලීය දෘෂ්ටි කෝණයකින් බලන කල, ලඩාක් හි ඇති පාෂාණමය ස්වභාවය, නිසරු භූ දර්ශනය සහ අඟහරු මත සහ චන්ද්‍රයාගේඇතැම් ප්‍රදේශවල දක්නට ලැබෙන පාෂාණ සහ පස සමඟ දක්වන සමානකම් හේතුවෙන්" මෙම ප්‍රදේශය මේ අත්හදා බැලීම සඳහා තෝරාගත් බව ඔහු බීබීසී යට පැවසීය.

එමෙන්ම, අභ්‍යවකාශයේ නිවාස ඉදිකිරීම සඳහා ගගනගාමීන් විසින් දේශීයව එකතු කරගත් ද්‍රව්‍ය භාවිතා කිරීමට හැකිවේද යන්න සොයා බැලීම සඳහා මෙම මෙහෙයුමේදී ලබාගත් පාංශු සාම්පල විශ්වවිද්‍යාලය විසින් පරීක්ෂා කරනු ලැබේ.

ryte5yfඇනලොග් ගගනගාමියෙක් ඉන්දියාවේ පළමු ඇනලොග් අභ්‍යවකාශ මෙහෙයුමේ සති තුනක් ගත කළේය
ඉන්දියානු-චීන දේශ සීමාවේ පිහිටි හිමාල කලාපය මීටර් 3,500 ක් හෙවත් අඩි 11,483 ක උසකින් පිහිටා ඇති අතර ආන්තික දේශගුණික තත්ත්වයන් තිබේ. එක් දිනක් තුළ, මෙහි උෂ්ණත්වය උපරිමය 20C සිට අවමය -18C දක්වා වෙනස් විය හැකිය.

එය උෂ්ණත්වය -153C ට වඩා අඩු විය හැකි අඟහරු, සමහර ගැඹුරු ආවාටවල -250C ක උෂ්ණත්වයක් ඇති චන්ද්‍රයාට කිසිදු සමානත්වයක් නොදැක්වූවත් එය මිනිසාට විඳ දරාගැනීමේ හැකියාව පෙන්වන පරීක්ෂණයකි. එමෙන්ම මහාචාර්ය ශර්මා පවසන ආකාරයට "ඔබට සෑම අවස්ථාවකම මෙවන් පරීක්ෂා සඳහා අභ්‍යවකාශයට යා නොහැකි නිසා, අභ්‍යවකාශයට සමාන තත්ත්වයන් ඇති මෙවන් පහසුකම් අවශ්‍ය ය."

එසේම, ලඩාක් යනු ඉන්දියාවේ ඇති නිසරු භූමි කලාපයක් වන අතර එය සැතපුම් ගණනක් ඈතට විහිදෙන්නේ පෘථිවියේ "හුදෙකලා වූ හැඟීම ඔබට ලබා දෙමිනි."


අයිස් සහිත සීතල කාන්තාරයේ ඇති කැප්සියුලය තුළ සති තුනක් වාසය කළ ගගනගාමියාට සැබෑවට ම දැනුණේ එය යි.

"මම මිනිස් පරිසරයෙන් හුදෙකලා වුණා. මම කළ සෑම පියවරක්ම, අවදි විය යුත්තේ කීයටද , නිදා ගත යුත්තේ කීයටද ආදී සියල්ලම කාල සටහනකට අනුව සිදු වුණේ. පැය විසි හතරම, දින හතම කැමරාවක් මගේ සෑම පියවරක්ම නිරීක්ෂණය කළා, මගේ ක්‍රියාකාරකම් සහ සෞඛ්‍ය පිළිබඳ ඔවුන් දත්ත රැස්කර ගත්තා"යි නම හෙළි කිරීමට අකමැති වූ 24 හැවිරිදි ගගනගාමියා පැවසුවේ ය.

"ආරම්භක දින කිහිපය ඉතා හොඳයි. නමුත් කාලයත් එක්ක එය පීඩාවක් වුණා.. ඒක මගේ එදිනෙදා වැඩට බලපාන්න පටන් ගත්තා. මගේ නින්දේ කාලසටහනට එය බලපෑවා. එයින් මගේ ඒකාග්‍රතාවය පිරිහුණා."

අභ්‍යාවකාශ ආකෘතික මධ්‍යස්ථානය තුළදී ගගනගාමියාගේ නින්දේ රටාව, හෘද ස්පන්දන වේගය සහ ආතති මට්ටම නිරීක්ෂණය කිරීම සඳහා ඔහු ජෛවමිතික උපාංග පැළඳ සිටියේය. ඔහුගේ රුධිරය සහ ඛේටය දිනපතා පරීක්ෂා කරන ලද්දේ ඔහු මෙම තත්ත්වයන්ට මුහුණ දෙන ආකාරය බැලීමටය.

cty56gලොව පුරා අභ්‍යවකාශ ඒජන්සි සඳ වෙත ගගනගාමීන් යැවීමට ඉලක්ක කරයි. මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ 1969 දී බස් ඕල්ඩ්‍රීන් සඳ මත ඇවිදිමින් සිටින ආකාරයයි
විද්‍යාඥයන් පවසන්නේ අභ්‍යවකාශයේදී මිනිසුන්ගේ මානසික මට්ටම කෙසේ වනු ඇද්දැයි දැන ගැනීම සඳහා මනෝවිද්‍යාත්මක සාධක අනුකරණය කර බැලීම මෙහෙයුමේ වැදගත්ම අංගය බවයි.

ලොව පුරා ඇති අභ්‍යවකාශ ඒජන්සි, ඉදිරි වසර කිහිපය තුළ ගගනගාමීන් සඳ වෙත යැවීම සහ එහි ස්ථිර කඳවුරු පිහිටුවීම අරමුණු කරගෙන සිටින අතර, මෙවැනි අනුකරණ මෙහෙයුම්, එම පර්යේෂණ හා පුහුණුව සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පසුගිය අප්‍රේල් මාසයේදී විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් කණ්ඩායමක් ඔරිගන්හි අත්හදා බැලීම් ආරම්භ කළේ නාසා ආයතනයේ රොබෝ බල්ලා වන ලැසී චන්ද්‍රයා මත ඇවිදීමට සූදානම් කිරීම සඳහායි. අඟහරු මත ජීවය අනුකරණය කරමින් ටෙක්සාස් හි විශේෂයෙන් ඉදිකරන ලද මෙවන් "ඇනලොග්" පහසුකමක වසරක් ගත කිරීමෙන් පසු ජූලි මාසයේදී ස්වේච්ඡා සේවකයෝ සිව් දෙනෙක් නැවත පැමිණියහ.

ඒ වගේම ඉකොනොමිස්ට් සඟරාවට අනුව, නාසා ආයතනය බලාපොරොත්තු වන්නේ චන්ද්‍රයාගේ පෘෂ්ඨය මත ඇති දෑ පමණක් භාවිතා කරමින්, මෙවන් මධ්‍යස්ථානයක් 3D මුද්‍රණ තාක්ෂණයෙන් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන අතර, චීනය සහ රුසියාව ඔවුන්ගේම සැලසුම් මත එකිනෙකා සමග සහයෝගයෙන් කටයුතු කරමින් සිටිති.

"ඉන්දියාව පසුබසින්න කැමති නැහැ." මහාචාර්ය ෂර්මා පවසන්නේ ලඩාක්හිදී රැස් කරන ලද දත්ත විශ්ලේෂණය කිරීම තුළින් සිය ගගනගාමීන් අභ්‍යවකාශයේදී ගැටලුවකට මුහුණ දුන්නොත් ඔවුන්ට සහය වීම සඳහා අවශ්‍ය වෛද්‍ය තාක්ෂණය සංවර්ධනය කිරීමට උපකාරී වනු ඇති බවයි.

"පෘථිවියට වඩා දහවල සහ රාත්‍රී කාලය බොහෝ සෙයින් දිගු වන සඳ මත හෝ ඔක්සිජන් ප්‍රමාණවත් නොවන අභ්‍යවකාශයේදී අපගේ ශරීරය ක්‍රියා කරන්නේ කෙසේදැයි අප දැන ගත යුතුයි" යි ඔහු පවසයි.

(සටහන | ගීතා පාණ්ඩේ)
බීබීසී පුවත්, නව දිල්ලි
Twitter, @geetapandeybbc

(උපුටා ගැනීම - BBC සිංහල සේවය)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...