The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

ඔව්හු කුරුස ගසේ තබා ඇන ගැසුහ ! - මරා දැමුණු හා අතුරුදහන් කළ ක්‍රිස්තියානි පියවරුන්ගේ කථාව

T

The Leader Desk

December 24, 2024 • 5:30 AM

ඔව්හු කුරුස ගසේ තබා ඇන ගැසුහ ! - මරා දැමුණු හා අතුරුදහන් කළ ක්‍රිස්තියානි පියවරුන්ගේ කථාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අතීතයේ වෙළඳ නගර ලෙස තිබු අනුරාධපුරයෙ පුරාවිද්‍යාත්මක ගවේෂණ වලදී හමුවූ ``වෙස්ටෝරියන්``කුරුස ක්‍රිස්තියානි වෙළෙන්දන් පැමිණි බවට සාක්ෂි දරන මුත් කිතුදහම එකල මෙරට ප්‍රචලිත නොවිණි.
  • ගෙවා දැමූ දශක වල උතුරේත්, දකුණේත් ජන අරගලයන් පසුබිමේ සිදුවූ බලහත්කාරී අතුරුදහන් කිරීම්, මරා දැමීම්, ඇතුළු මානව හිමිකම් කඩ කිරීම් වලට එරෙහිව පීඩිතයන්ගේ රැකවරණය වෙනුවෙන් පෙනී සිටීම නිසා අතුරුදහන් කෙරුණු හා මරා දැමුණු ක්‍රිස්තියානි පියවරුන් ගණනාවකි.
  • ඔවුන් ගොදුරුව ඇත්තේ විටෙක රජයේ හමුදාවන්ගේ වෙඩි පහරකටය නැත්නම් ඔවුන්ගේ අනුග්‍රහය ලැබූ අතුරු හමුදා කල්ලියක වෙඩි පහරකටය.
  • වෙඩි වැදී ඇද වැටුණු කුඩා කුසුම 1983 ජුලි දෙමළ ජනයාට එරෙහිව ප්‍රචන්ඩ ක්‍රියා රට පුරා පැතිර යමින් තිබියදී, පස්සර, ලුණුගල මලෛයහ දෙමළ ජනයා රැකවරණ පතා පැමිණියේ කුඩා කුසුම් කන්‍යාරාමයට ය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
අතීතයේ වෙළඳ නගර ලෙස තිබු අනුරාධපුරයෙ පුරාවිද්‍යාත්මක ගවේෂණ වලදී හමුවූ ``වෙස්ටෝරියන්``කුරුස ක්‍රිස්තියානි වෙළෙන්දන් පැමිණි බවට සාක්ෂි දරන මුත් කිතුදහම එකල මෙරට ප්‍රචලිත නොවිණි. ක්‍රිස්තියානි දහම මෙරට තුල මුල් බැස ගත්තේ පෘතුගීසීන්ගේ පැමිණීමත් සමගය. 


ජේසුස් වහන්සේ විසින් බිහි කළ කිතුදහම ලංකාවේ ඇදහිලිවන්තයන්ට අනුව ප්‍රභේද කිහිපයකි. එයින් බහුතරය කතෝලිකයන්ය. ඇන්ගලිකන් ක්‍රිස්තියානි [ලංකා සභාව], මෙතෝදිස්ත, බැප්ටිස්ට්, වෙස්ලියන් සහ පෙන්තකොස්ත සෙසු ප්‍රභේද වේ.

ගෙවා දැමූ දශක වල උතුරේත්, දකුණේත් ජන අරගලයන් පසුබිමේ සිදුවූ බලහත්කාරී අතුරුදහන් කිරීම්, මරා දැමීම්, ඇතුළු මානව හිමිකම් කඩ කිරීම් වලට එරෙහිව  පීඩිතයන්ගේ රැකවරණය වෙනුවෙන් පෙනී සිටීම නිසා අතුරුදහන් කෙරුණු හා මරා දැමුණු ක්‍රිස්තියානි පියවරුන් ගණනාවකි. මෑත කාලින ඉතිහාසයේ කිතු දහමේ විමුක්ති හරයන්ට අනුව සිය ප්‍රාණ පරිත්‍යාග කළ පියවරුන්ගේ කතාව ඇරඹෙන්නේ අසුව දශකයේ සිටය. ඒ අතරින් බොහොමයක් දෙමළ භාෂාව කතා කරන උතුරු නැගෙනහිර පීඩිත ජනයා වෙනුවෙන් පෙනී සිටියවුන්ය. ඔවුන් ගොදුරුව ඇත්තේ විටෙක රජයේ හමුදාවන්ගේ වෙඩි පහරකටය නැත්නම්  ඔවුන්ගේ අනුග්‍රහය ලැබූ අතුරු හමුදා කල්ලියක වෙඩි පහරකටය. එසේ නැතහොත් බලහත්කාරී පැහැර ගැනීමකටය.

වෙඩි වැදී ඇද වැටුණු කුඩා කුසුම 

1983 ජුලි දෙමළ ජනයාට එරෙහිව ප්‍රචන්ඩ ක්‍රියා රට පුරා පැතිර යමින් තිබියදී, පස්සර, ලුණුගල මලෛයහ දෙමළ ජනයා රැකවරණ පතා පැමිණියේ කුඩා කුසුම් කන්‍යාරාමයට ය. වතු කම්කරු ජනයා වෙනුවෙන් සේවය කිරීම නිසා ප්‍රදේශයේ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ උදහසට ලක්ව සිටී  මිසම බාර පියනම වූ බොස්කෝ මධුරනායගම් සොයා ජාති ආලයෙන් මත්වූ මාර සේනාවෝ ඉව අල්ලමින් සිටියහ. පියතුමා ඇතුළු බියපත් මලෛයහ ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වුයේ කුඩා කුසුම් කන්‍යාරාමයේ මේරි ඇග්නේටා කන්‍යා සොයුරියයි.

 

sister maryමේරි ඇග්නේටා කන්‍යා සොයුරිය

ඇඳිරි නිතිය පනවා තිබු 1983 ජුලි 27 දින රාත්‍රියේ කන්‍යාරාමය ඉදිරිපිට විශාල පිපිරීමක් සමග ගිනි දැල් නැගෙන බව දැන ගත් ඇග්නේටා සොයුරිය, ජනෙල් කවුළු විවර කළ බලනවා දුටු මැරයෝ ඇය දෙසට පෙට්ට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කරමින්, වෙඩි තැබුහ. අධික ලේ ගැලීමෙන් සිහිසුන්ව වැටි සිටී ඇයව ලුණුගල රෝහලටත්, පසුව බදුල්ල රෝහලටත් ඇතුලත් කරන විට පසුදා මධ්‍යහනයවී තිබිණි. පසුව බදුල්ල මිසම බාර පියතුමාගේ මැදිහත් වීමෙන් කොළඹ මහ රෝහලට ගෙන එමෙන් අනතුරුව හෝරා පහක් පුරා කළ හදිසි ශල්‍යකර්මයකින් පසු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කළ ද ඇගේ දිවි රැක ගැනීමට නොහැකි විණි. ඇගේ සිරුරට ඇතුල්වූ තිබු වෙඩි උණ්ඩ අටට ඔරොත්තු නොදුන් ඇගේ දිවිය හැර දා ගියේ එළඹී දින කිහිපයකට අනතුරුව අගෝස්තු 03 වැනිදාය.

ජාතිවාදී ප්‍රචන්ඩ ක්‍රියා ඇතිවීමට ඉඩ දී බලා සිටී ජයවර්ධන ආණ්ඩුව නියෝග කළේ ඇග්නේටා කන්‍යා සොයුරියගේ දේහය ඥාතීන්ට බාර නොදී, පොලිසියට අවසන් කටයුතු කිරීමටයි. එහෙත් කතෝලික සභාව හා පවුලේ ඥාතින් මැදිහත්ව ආණ්ඩුවෙන් කළ ඉල්ලීමට අනුව විශේෂ අවසරයක් මත දේහය ඔවුන්ට ලැබුණි.

මන්නාරමේ පියවරු 

 

george jayrajasinghamජෝර්ජ් ජෙයරාජසිංහම් පියතුමා
මන්නාරමේ යුද ගැටුම් උත්සන්න වූ  1984 දෙසැම්බරයේ  උන්හිටි තැන් අහිමිවුන්ගේ සුබ සාධනය වෙනුවෙන් මැදිහත්වූවන් කෙරෙහි රජයේ ආරක්ෂක හමුදාවන්ගේ ඇස යොමුවී තිබිණි. 83 ජුලි ප්‍රචණ්ඩ ක්‍රියා වලින් දිවි ගලවා ගෙන අනාථයන් ලෙස මන්නාරමට පැමිණි මලෛයහ දෙමළ ජනයා ඇතුළු සෙසු පිරිස් වෙනුවෙන් ``ජිවෝදය``නමින් ගොවිපලක් සහ ``ජීවනගර්`` නමින් නිවාස සංකීර්ණයක් පවත්වාගෙන ගිය මුරුක්කන් හි මෙතෝදිස්ත සභාවේ ජෝර්ජ් ජෙයරාජසිංහම් පියතුමාව 1984 දෙසැම්බර් 13 වැනිදා තල් අඩි හමුදා කඳවුරට කැඳවා තිබුනේ ඔහුගෙන් ප්‍රශ්න කිරීමටය. 

දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව කඳවුරෙන් පිටවූ ජෙයරාජසිංහම් පියතුමා මන්නාරම් නගරයට ගොස් එන අතර මගදී ගමනගමන පහසුකම් ඉල්ලු පොලිස් නිලධාරියකු ද සිය වෑන් රථයට නංවාගෙන ගමන් ඇරඹිය. අනතුරුව ආයුධ සන්නද්ධ කණ්ඩායමක් පැමිණ මන්නාරම් මුරුක්කන් පාරේ ගමන් කරමින් තිබු වෑන් රථය හරස් කොට  පියතුමා, ඔහුගේ රියදුරා සහ පොලිස් නිලධාරියා ද සමගින් වෑන් රථය ගිණි තබා පළා ගියහ.

ජෙයරාජසිංහම් පියතුමා ඇතුළු තිදෙනාත්, ඔහුගේ වෑන් රථයත් හඳුනා ගැනීමට ප්‍රදේශයේ ජනයාට සමත් වුවද, ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට කිසිවෙකු සමත් නොවිණි. තල්අඩි හමුදා කඳවුර පේන මානයේ සිදුවූ මේ ඝාතනය ගැන ක්‍රියාත්මක වුයේ ප්‍රදේශයේ මානව හිමිකම් කඩවීම් ගැන නොබියව ක්‍රියා කළ වන්කාලේ මිසම බාර මේරි බැස්ටියන් පියනම පමණි. ජෙයරාජාසිහම් පියතුමා ඇතුළු සෙසු දෙදෙනාගේ පිලිස්සී ගිය සිරුරු කොටස් එක්කොට ගෞරවාන්විතව භුමිදානය කරන්නට ද ඔහු පසුබට නොවිය.

1984 වසරේ මන්නාරමේ සිදුකළ මිනිස් සංහාරයන් ගැන විමර්ශනයට පැමිණි කණ්ඩායම හමුවේ මන්නාරම් වැසියන් 83,000 කට වැඩි පිරිසෙන් කිසිවෙකු ඉදිරිපත් නොවිය. එහෙත් අවශ්‍ය සාක්ෂි ලබා දීමට ඉදිරිපත්වූ මේරි බැස්ටියන් පියතුමා විමර්ශන කණ්ඩායම මන්නාරම පුරාම රැගෙන යාමට ද  නිර්භීත විණි.

 

fr bastianමේරි බැස්ටියන් පියතුමා
බැස්ටියන් පියතුමා රජයේ හමුදාවන්ගේ උදහසට ලක්වන්නට මේ කරුණම හේතුවිය. 1985 ජනවාරි 06 වැනිදා උදෑසන වන්කාලේ දේවස්ථානයේ ඔහුගේ ලැගුම් හලේ ජනෙල් අතරින් එල්ල කළ වෙඩි පහරකින් ලේ විලක් මත ඇද වැටුනු පියතුමාගේ සිරුර ද අතුරුදහන් ය.

බැස්ටියන් පියනමගේ මරණය ගැන හමුදාවට එල්ලවූ චෝදනා ප්‍රතික්ෂේප කළ එවකට ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි කියා සිටියේ පියතුමා ඉන්දියාවට පළා ගොස් ඇතිබවය.

ලේ බත් වුණු බුත්තල අල්තාරය

තිස්ස බාලසුරිය පියතුමා සමග මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රය ගොඩ නගන්නට මැදිහත් වූත්, මොණරාගල ගොවියන් බහුජාතික සමාගම්වල වගා කම්කරුවන් කිරීමට හා බලහත්කාරයෙන් ඉඩම් පවරා ගැනීමට එරෙහිවුත් මයිකල් රොද්‍රිගු පියතුමා දකුණේ ජනයා අතර ප්‍රකට පියනමකි.

 

fr rodrigo මයිකල් රොද්‍රිගු පියතුමා
ප්‍රංශයේ අධ්‍යාපනය ලැබූ, අගනුවර පදිංචිය අත්හැර පිටිසර බුත්තල අළුකලවිට ගමේ සුබසේත් ගෙදර අල්පේච්ජ දිවියක් ගතකළ මයිකල් රොද්‍රිගු පියතුමාට ද එවකට දකුණේ පැවති භීම සමය මග හැර යා නොහැකි විය.

මානව හිමිකම් කඩ වීම් පිළිබඳව හඬක් නැගු ඔහුට ඇති අවදානම ගැන සිතා බලා ප්‍රදේශයෙන් පිටවන ලෙසට ඔහුගේ හිතවතුන් කළ ඉල්ලීම් සලකා බැලු ඔහු අවසානයේ තීරණය කළේ තව දුරටත් අළුකලවිට ගැමියන් සමග රැඳී සිටීමටය. 

එම තීරණයට එළඹි 1987 නොවැම්බර් 10 වැනිදා සන්ධ්‍යා දිව්‍ය පුජාවට සහභාගී රාත්‍රී 7.45 ට පමණ නිවසේ කවුළුවක් දෙසින් එක්වරම වෙඩි ප්‍රහාරයක් එල්ලවුයෙන් පියතුමා අල්තාරය මත ඇද වැටිණි. 

හිසට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ හිස කැබිලි වී තිබු අතර ඇසක් ගැළ වී ගොස් තිබිණි. වෙඩි වැද ඇද වැටුණු මිල්බර්ගා සොයුරියත්, සිහිසුන් ව ගිය බෙනෙඩික්ටා සොයුරියත් ඒ අසළම වූහ.

නිර්නාමික පෙත්සම් මගින් මයිකල් පියතුමා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ  තරුණයන්ට සහාය ලබා දෙන බවට වූ චෝදනාවක් විභාග කිරීමට හමුදා නිලධාරීන්  නිරන්තරයෙන් සුබසෙත් ගෙදරට පැමිණෙන්නට වුහ. ඒ අතර ගම්මාන වැටලීම් වලදී ද සුබසේත් ගෙදර ද රජයේ හමුදාවන්ගේ පරික්ෂාවට ද ලක්විය. වරක් එහි පැමිණි තරුණයෙකුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මඩකළපුවේ  ඉන්දිය හමුදා භිෂණය 

දකුණේ තරුණ නැගිටීම් මර්දනය කිරීම වෙනුවෙන් එතෙක් උතුරු නැගෙනහිර පලාත්වල වාඩිලා සිටී රජයේ හමුදා දකුණට කැඳවන අතරේ 1987 අගෝස්තුවේදී උතුරු නැගෙනහිරටට පැමිණි ඉන්දීය සාම සාධක හමුදාවේ දරුණු ක්‍රියා කලාපය  දෙමළ ජනයා තවත් වටයකින් පිඩාවට පත් කරමින් තිබුනි.

ඉන්දීය සාම සාධක හමුදා පාලනය යටතේද එම පළාත් වල පහර දීම්, පැහැර ගැනීම්, අතුරුදහන් කිරීම්, ස්ත්‍රීන්ට එරෙහි ලිංගික බලහත්කාරය හා අපරාධ, මිනිස් ඝාතන හා දේපොළ හානි ඉහළ යාමත් සමග ඊට එරෙහිව මඩකළපුව නගරේදී දැවැන්ත පෙළපාලියක් පැවැත්විණි.

ඊට මැදිහත්වූයේ මඩකළපුව, ශාන්ත මරියා දෙව්මැදුරේ චන්ද්‍ර ප්‍රනාන්දු පියතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් පුරවැසි කමිටුව, මානව හිමිකම් සංවිධාන හා ආගමික නායකයන්ගේ  එකතුවයි.

 

fr chandra fernando 1චන්ද්‍රා ප්‍රනාන්දු පියතුමා

සාමකාමී පෙළපාලියට ඉන්දියන් සාම සාධක හමුදාව පිළිතුරු දුන්නේ කඳුළු ගෑස් හා වෙඩි උණ්ඩ වලිනි. එතැන් සිට ඉන්දීය හමුදාවේත් ඔහුන් සමග හවුල්ව සිටී ප්ලොට් සහ ටෙලෝ සන්නද්ධ කණ්ඩායම් වලත් වෛරයට ලක් වන්නට චන්ද්‍රා ප්‍රනාන්දු පියතුමාට සිදු විය.

කෙතරම් ජිවිත තර්ජන තිබුනත් මඩකළපුව හැර දා නොගිය චන්ද්‍රා පියතුමා, 1988 ජුලි 06 වැනිදා සවස 5 ට සිය ලැගුම් ගේ තුලදීම මරා දමා තිබුණේ නාදුනන තුවක්කුරුවෙකුගේ වෙඩි පහරකින්ය.

දෙමළ -මුස්ලිම් සමගිය පැතූ ඇමෙරිකානු පියනම 

 

ඉයුජින් ජෝන් හර්බට් පියතුමාඉයුජින් ජෝන් හර්බට් පියතුමා
ඉයුජින් ජෝන් හර්බට් පියතුමා උපතින් ඇමෙරිකානුවෙකු වුද දශක ගණනාවක් පුරාම සිය ධර්මදුත සේවයේ යෙදුනේ ලංකාව මව්බිම කරගෙනය. 1990 දශකය නැගෙනහිර ඇවිල ගිය යුද ගැටුම් ඉතාමත්ම නරක අතට හැරෙන්නේ දෙමළ හා මුස්ලිම් කොටස් අතර විරසකය උත්සන්න වීමත් සමගය. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් කාන්තාන්කුඩි මුස්ලිම් දේවස්ථානයට එල්ල කළ ප්‍රහාරයත් සමග විරසකය ඒ අවට දෙමළ හා මුස්ලිම් ගම්මාන කරා ද පැතිරෙන්නට විය. 

වාලච්චේනෛ දෙමළ වැසියන් අනාථයන් ලෙස මඩකළපුවට ගියද එහි සිටී කන්‍යාසොයුරියන්, ගැහැණු දරුවන් හා ඔවුන්ගේ සහායිකාවන් එසේ යා නොහැකිව එහි කොටු වන්නේ මේ අතරතුරය.

ඔවුන් රැගෙන ඒමේ බාර දූර වගකීම සියතට ගත් ජෝන් හර්බර්ට් පියතුමා සිරවී සිටී සියල්ල ආරක්‍ෂිත ස්ථානයක් කරා පිටත් කර තම ශිෂයෙකු වූ බර්ට්‍රම් ෆ්‍රැන්සිස් ද යතුරු පැදියේ නංවාගෙන ආපසු එමින් සිටියදී එරාවුර් හිදී සන්නද්ධ කණ්ඩායමක් විසින් ඔවුන්ගේ මග හරස් කරනු ලැබිණි.

තමන් සමග සිටී ෆ්‍රැන්සිස් සිසුවා පැහැරගෙන යාමට එම සන්නද්ධ කණ්ඩායම දැරූ උත්සහායට දැඩි සේ එරෙහිවූ හර්බට් පියතුමාගේ දේහයවත් සොයා ගැනීමටත් නොහැකිවී ඇත. අතුරුදහන් කෙරුණු ලක්ෂ සංඛ්‍යාත ජනයා අතරට 1990 අගෝස්තු 15 වැනිදා, මානව හිමිකම් ක්‍රියාධරයෙකු ලෙස මඩකළපුව සාම කමිටුව නියෝජනය කළ ජෝන් හර්බට් පියතුමාගේ නමද එක්විණි.

යුද ගැටුම් උත්සන්න වෙමින් තිබියදී නගරයෙන් මදක් ඔබ්බෙන් පිහිටි සොරි කල්මුණේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වුයේ ඔවුන්ගේ දෛනික අවශ්‍ය දේ මිලදී ගැනීමට කල්මුනේ හෝ සමන්තුරේ නගර කරා පැමිණිය යුතුය. 

රෝගින්ට අවශ්‍ය බෙහෙතක් මිලදී ගැනීමට ද හැක්කේ මේ නගර කරා පැමිණීමෙන් පමණි.

fr selwarajaසන්තියාගුපිල්ලේ සෙල්වරාජ පියතුමා
සොරි කල්මුනේ මිසම බාර සන්තියාගුපිල්ලේ සෙල්වරාජ පියතුමාගේ මැදිහත්වීම අසරණ ගම් වැසියන්ට මහත් අස්වැසිල්ලක් විණි.

සුපුරුදු පරිදි 1997 ජුලි 11 වැනිදා කල්මුනේ නගරට පැමිණ සොරි කල්මුනේ දරුවන්ට ඇවැසි භාණ්ඩ කිහිපයක් හා ආහාරපාන ද රැගෙන  සිය යතුරු පැදියෙන් ආපසු ගමන් කරමින් සිටියදී සන්නද්ධ කණ්ඩායමක් විසින් අතරමග දී පියතුමා පහර ගෙන ගොස් ඇත. 

මරා දමන්නට ඇතැයි සැක කළද සෙල්වරාජා පියතුමාගේ දේහය මෙතෙක් සොයාගන්නට හැකිවී නොමැත.

යුද අවසානයේ අතුරුදහන් වීම

fr jim brownජිම් බ්‍ර්වුන් පියතුමා

 

අල්ලෙයිපිඩ්ඩි ශාන්ත පිලිප්නේරි දේවස්ථානයේ තිරුචෙල්වම් ජිම් බ්‍ර්වුන් පියතුමා සහ ඔහුගේ සහයකයා වූ වෙන්සස්ලව්ස් විමලදාස් නාවික හමුදාව විසින් පාලනය යටතේ ඇති ගමක අවතැන් වූ සිවිල් වැසියන් පිරිසක් බැලීමට යාමේදී අතුරුදහන් වී ඇත්තේ 2006 වසරේ අගෝස්තු 20 වැනිදායි.

ඔවුන් අවසන් වරට අල්ලෙයිපිඩ්ඩි හන්දියේ ආරක්ෂක මුරපොළකදී දැක ඇත්තේ නාරන්තනෛ මිසමේ තුරෙයිරත්නම් පියනමය . 

කතෝලික සභාව හා පොලිසිය මගින් කරන ලැබූ සොයා බැලීම් වලදී නාවික හමුදාව කියා ඇත්තේ පස්වරු 1.50 ට ප්‍රදේශයට ඇතුල්වී  පස්වරු 2.10 ට එම ස්ථානයෙන් පිටවීම ද ඔවුන් සටහන් කර ඇති බවය. එහෙත් අදාළ වාර්තා පොලිසියට පිරික්සා බැලීමට ලබා දීම නාවික හමුදාව විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

 

fr josephෆ්‍රැන්සිස් ජෝසෆ් පියතුමා

රජයේ හමුදාවට භාර වීම පිණිස කොටි සාමාජිකයන් පිරිසක් කැටුව පැමිණි යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ විශ්‍රාමික විදුහල්පති ෆ්‍රැන්සිස් ජෝසෆ් පියතුමාද අතුරුදහන් වුනු ලැයිස්තුවේ සටහන් වන්නේ 2009 මැයි මාසයේ යුද්ධය අවසන් වූ දිනයේදීය.  

අවසන් වරට ෆ්‍රැන්සිස් පියතුමාව දක්නට ලැබී ඇත්තේ හමුදාවට බාරවීමෙන් අනතුරුව හමුදා බසයකින් රැගෙන යනු ලැබූ අවස්ථාවේදීය. කතෝලික පුජකයෙකු ලෙස ඔහු එම බස්රථයට ගොඩ වී ඇත්තේ භාරවූවන්ට ඒ තුලින් රැකවරණයක් ලැබෙනු ඇතැයි යන නිගමනය මතය.

පාසැල් සිසුවෙකු ලෙස යාපනේ ශාන්ත පැට්‍රික්  විද්‍යාලයට පැමිණෙන මෝසස් අරුලානන්දන් ෆ්‍රැන්සිස්, කතෝලික පූජකවරයෙක් වීමෙන් අනතුරුව පාසැලට ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙස පාසලට පැමිණ පසුව ඔහු එහි විදුහල්පතිවරයා බවට පත් විය.

මේ ක්‍රිස්තියානි පියවරුන්ගේ හා කන්‍යා සොයුරියගේ ඝාතන හා අතුරුදහන් වීම් ගැන ස්වාධීන පරීක්ෂණයක් කොට යුක්තිය හා සාධාරණත්වය ඉටු කිරීමට මෙතෙක්  පැවති කිසිදු ආණ්ඩුවක් පියවර ගෙන නොමැත. දේශපාලන වේදිකාවන්හි තොරොම්බල් කෙරෙන සිදුවීම් කිහිපයක් හැරෙන්නට මෙවන් තවත් බොහෝ මානව හිමිකම් කඩවීම් කිසිදු වග විභාගයක් නොමැතිව යටපත් වනු ඇත.

ISHANKHA SINGHE ARACHCHI FREELANCE JOURNALIST(සටහන | ඉෂංඛා සිංහආරච්චි)
නිදහස් මාධ්‍යවේදිනි
ishanka.singhe@gmail.com

[කිතුසර / විකල්ප සහ JDS  මාධ්‍ය මුලාශ්‍ර ඇසුරින් සැකසු මේ ලිපිය 'අනිද්දා' පත්‍රයේ පළවූවකි]
 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඔව්හු කුරුස ගසේ තබා ඇන ගැසුහ ! - මරා දැමුණු හා අතුරුදහන් කළ ක්‍රිස්තියානි පියවරුන්ගේ කථාව | The Leader