The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

අධි පරිභෝජනවාදී මායාවෙන් අත් මිදී සැබෑ කිතුනු නත්තලක් උදා කර ගනිමු | රීටා ජෙනට් පෙරේරා

T

The Leader Desk

December 25, 2024 • 5:27 AM

අධි පරිභෝජනවාදී මායාවෙන් අත් මිදී සැබෑ කිතුනු නත්තලක් උදා කර ගනිමු | රීටා ජෙනට් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නත්තල හා සම්බන්ධ කේන්ද්‍රීය සිදුවීමේ අති උදාරත්වය අසිරිමත් බව පිළිබඳ කිසිදු ගැටලුවක් නැත.
  • එහෙත්, ගැටලුව පවතිනුයේ වත්මන් ශ්‍රී ලාංකේය ජන සමාජය විසින් අදහනු ලබන නත්තලේ ඒ අසිරිමත් බව කෙතෙක් දුරට ගැබ්ව තිබේද යන්න ය.
  • එහෙත්, අප හා ඔවුන් එදා අත් විඳි නත්තල් මිහිර හා අසිරිය අද එලෙසින්ම විඳ ගත හැකිද?
  • නූතන ළමා සහ යොවුන් පරපුරට එය කෙසේ නම් වටහා දිය හැකිද යන පැනය හමුවේ අප සැවොම පොදු අසරණ බවකට පත් වන බවක් මට හැඟෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):
එනම් ‘අසිරිමත්’ යන්න ය. නත්තල හා සම්බන්ධ කේන්ද්‍රීය සිදුවීමේ අති උදාරත්වය අසිරිමත් බව පිළිබඳ කිසිදු ගැටලුවක් නැත. එහෙත්, ගැටලුව පවතිනුයේ වත්මන් ශ්‍රී ලාංකේය ජන සමාජය විසින් අදහනු ලබන නත්තලේ ඒ අසිරිමත් බව කෙතෙක් දුරට ගැබ්ව තිබේද යන්න ය.


අතීත මතකයන් වෙත සිත මෙහෙයවන මට ළාබාල වියේ සිට මේ දක්වා මීට දශක හතරක පමණ කාලයක නත්තල් ස්මරණයන් පුබුදුවා ගත හැකි ය. මෙම දශක හතරේ සීමාව දශක හත අට තෙක් අතීතයක් දක්වා විහිදවිය හැකි වැඩිහිටියෝ ද අප අතරේ හිඳිති. එහෙත්, අප හා ඔවුන් එදා අත් විඳි නත්තල් මිහිර හා අසිරිය අද එලෙසින්ම විඳ ගත හැකිද? නූතන ළමා සහ යොවුන් පරපුරට එය කෙසේ නම් වටහා දිය හැකිද යන පැනය හමුවේ අප සැවොම පොදු අසරණ බවකට පත් වන බවක් මට හැඟෙයි.

 

33254521
හැත්තෑව දශකයේ ළමා විය ගත කරමින් සිටි අප මුලින්ම නත්තල හඳුනා ගත්තේ දේව ධර්මය, කිතුණු ජීවන හා සමාජ දර්ශනය මත පදනම්ව නොවේ. හාත්පස හිමිදිරියට පැතිර පවතින උඳුවප් සිසිලස සහ දවස පුරා හමායන වියළි සුළං රැලි ආදී දේශගුණික සාධක මත පදනම්ව ය. ඒ සමඟම ගමේ පල්ලියේ පියතුමන් වෙතින් ලැබෙන්නට වූ නත්තල ළඟ ළඟ එන බව පැවසෙන චමත්කාර ජනක පණිවිඩය සමඟ නත්තල් ගස, ගව ලෙන ආදී නත්තලට ආවේණික ජන සංස්කෘතිකාංග මගින් අපගේ ළමා සිත් සතන් මූලිකව පෝෂණය වූ බව අපට ඉතා හොඳින්ම මතක ය.

එමෙන්ම ඒ කාලයේ අපේ සිත් තුළ රජයන්නට වූ සතුට, සාමය, සමාදානය, චාම් බව, සරල බව, බැහැපත් බව ආදී සිත් සතන් පොබයන නත්තල් සිතුවිලි පෙරදැරි කර ගනිමින් නත්තල උදාවීම හා සම්බන්ධ අසිරිමත් පණිවිඩයෙන් අපි අමන්දානන්දයට පත් වීමු. එවක පුද්ගල, පවුල්, ප්‍රජා සේම සමාජයීය වශයෙන් වුව නත්තල බාල, තරුණ, වැඩිහිටි සැමගේ සිත් සතන් අමන්දානන්දයට පත් කරවන සමයක් වූ බව ඒකාන්ත සත්‍යයකි. ඊට හේතුව වූයේ නත්තල මුල් කොට ජන සමාජය පුරා පැතිර ගත් සහනශීලී සාමකාමී සහජීවනයයි. එවක ගමේ සිටි බලවතාගේ නත්තල් සිරිය එහි විසූ අන්ත දිළින්ඳාගේ පැල්පත තෙක් පිටාර ගලනු දක්නා ලදී. මෙය අදත් එම වයස් පරාසවල හිඳින සෑම කිතුනුවකුටම මෙනෙහි කළ හැක්කකි.

එහෙත්, 1970 දශකය අවසානයත් සමඟ අප රටට හඳුන්වා දුන් විවෘත ආර්ථිකයත් සමඟ ඒ දක්වා ජන මනැස් පුරා පැවැති සහනශීලීත්වය මඳින් මඳ දුරු වූ අතර පරිභෝජනවාදී ආකල්ප සමාජය පුරා ශීඝ්‍රයෙන් පැතිර යනු දක්නා ලදී. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඒ දක්වා සුළු, කුඩා, සරල, චාම්,නිවී සැනසිල්ලේ ආදී වශයෙන් පැවැති සමාජ පුරුෂාර්ථ වෙනුවට විසල්, මහා, විචිත්‍රවත්, බහු විධ, අධිවේගී ආදී නව සමාජමය පුරුෂාර්ථ ඉහවහා යාම ය.

 

ch7
මෙහි දී ඉන් පෙර සිදු නොවූ අයුරින් තෘෂ්ණාව, ආශාව පදනම් කර ගත් ලෞකිකත්වය සම්බන්ධ නිසරු අගයන් සමාජය පුරා පැතිර ගිය අතර ඒවාට මින් පෙර කිසිදා නොලැබුණු සමාජයීය අගයන් සහ වටිනාකම් ද හිමි වනු දක්නා ලදී. ඒ අතීතයේ අප සිත් සතන් පුරා අරක් ගත් සහනශීලී ආකල්ප අපට අහිමි කරමිනි.

ශුද්ධ වූ බයිබලයට අනුව තම ජීවිත කාලය තුළ ලෞකිකත්වය අත හැරීමට කිසිදු උපදෙසක් ලැබී නැත. මක් නිසා ද යත් ආධ්‍යාත්මය (ආත්මය ) සේම ලෞකිකත්වය (මාංශය ) ද මිනිසා ගේ නෛසර්ගික උරුමයක් බැවිනි. එහෙත්, සැමදා නොරඳන ජීවිත කාලය තුළ ලෞකිකත්වය අසීමාන්තික ලෙස ග්‍රහණය කරගැනීම කිතු දහමින් කිසිසේත් අනුමත නොවේ. ධනෝපානය මිනිසාගේ ලෞකිකත්වය කෙරෙහි සාධනීය ලෙස බලපාන බව පිළිගන්නා කිතු දහම මිනිසා විසින් තම ධනය සංයමශීලීව හැසිරවිය යුතු බව ඉතා පැහැදිලිව අවධාරණය  කරයි. ශුද්ධ මතෙව් සුභාරංචියේ සයවන පරිච්ඡේදයේ 10-21 දක්වා වන මතු දැක්වෙන ඡේදයන් ඒ සඳහා දැක්විය හැකි කදිම නිදසුනකි.

“පොළොවෙහි නුඹලාට වස්තු රැස් කර නොතබන්න. එහි දී කාවෝ ද මළකඩ ද ඒවා නාස්ති කරන්නාහ, සොරු ද උමං කැන සොරා ගන්නාහ. නමුත් ස්වර්ගයෙහි නුඹලාට වස්තු රැස්කර තබා ගන්න; එහිදී කාවෝ වත් මළකඩ වත් කා ඒවා නාස්ති නොකරන්නාහ, සොරු උමං කැන සොරා නොගන්නාහ. මක්නිසාද නුඹේ වස්තුව යම් තැනෙක්හි ද නුඹේ සිතත් එතැන්හිම වන්නේ ය.”

Christmas decoration for sale in a christmas shop 20191211110357

 

ඉහත සඳහන් දේව වාක්‍යය අනුව මිනිසාට ධනෝපායනය පිළිබඳ තහංචි පනවා නැත. එම අවවාදයෙන් පැවසෙනුයේ තමන් විසින් උපයා ගන්නා ලෞකික සම්පත් අනවශ්‍ය ලෙස ඒකරාශී නොකරන ලෙස පමණි.මෙම දේව වචනය  නූතන ව්‍යවහාරයට අනුව ලෙස හැඳින්වෙනුයේ සබුද්ධික පරිභෝජනය ( Conscious consumption )  ලෙසිනි. “නුඹලා පොළොවෙහි රැස් කරන වස්තු  කාවෝ ද මළකඩ ද ඒවා නාස්ති කරන්නාහ” යනු එසේ නොකිරීමෙන් අනර්ථය පිණිසම යෙදවෙන බවක් නොවේද? ඒ අනුව සැබැවින්ම වත්මන් සමාජය විසින් ග්‍රහණය කර ගෙන හිඳින අධිපරිභෝජනය (Hyper consumerism ) දේව වචනයට පිටු පෑමකි.

මිනිසා සතු ලෞකික අවශ්‍යතා කොටස් දෙකකි. එනම් මූලික සහ අනෙකුත් අවශ්‍යතා ලෙසිනි. ලෞකික ජීවිතය හා සම්බන්ධ ඉන් බැහැරට විහිද යන අරමුණු කියා තවත් කොටසක් ද තිබේ. ආශාවන් යනු ඉහත සඳහන් අවශ්‍යතා අරමුණු ආදිය ඉක්මවා යන තවත් මානසික නැඹුරුවීම් ය. ඒ අනුව ඉහත සඳහන් අවශ්‍යතා අරමුණු සහ ආශාවන් සංයමශීලීව විධිමත් අයුරින් හැසිරවීමට කිතු දහම අපට උපදෙස් දෙනුයේ එය හුදෙක් මිනිසකු හට ජීවත් වන කෙටි කාලය තුළ පමණක් පරිහරණය කළ හැකි තිරසාර නොවන ආයෝජනයක් බැවිනි. අප ජීවත් වන සමාජයේ මහා ධනවතුන් ලෙස වැජඹුණු පිරිස් ඒවායේ සැබෑ හිමිකරුවන් නොවූ බව අපට වැටහෙනුයේ ඔවුන් මියගිය පසුව ය.

 

1 9Y1A6364

නමුත් මේ වන විට ලෝකය පුරා ව්‍යාප්ත වී ඇති නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමය මඟින් ලෞකිකත්වය ඔස්සේ මිනිසාට පරම විමුක්තිය හිමිකර ගත හැකි බව පැවසෙන නරුම දර්ශනයක් මතු කොට දක්වයි. ඒ ඔස්සේ මෙම නත්තල් සමය මුල් කොට ව්‍යාපාරික ප්‍රජාව විසින් සමාජය පුරා පතුරුවා හරින ලද පාරිභෝගික උන්මාදය මගින් නත්තල මුල් කොට ගත් කිතුනු ජීවන සහ සමාජ දර්ශනය බරපතල ලෙස යටපත් කොට ඇති බව ඒකාන්ත සත්‍යයකි. එම තත්ත්වය මේ වන විට කොතෙක් අගතියට ගොස් තිබේද යත් මේ වන විට නත්තල යනු ආහාර, ඇඳුම් පැළඳුම් සහ උපභෝග පරිභෝග සම්පත් සම්බන්ධ අධිපරිභෝජනවාදී සැණකෙළි සමයක් බවට පත්ව තිබේ. එහි දී ලෞකිකත්වය හැසිරවීම සම්බන්ධයෙන් කිතු දහම විසින් උගන්වනු ලබන තිරසාර උපාය මාර්ගයන් වෙනුවට ව්‍යාජ හා නිසරු උපාය මාර්ගයන් සමාජගත වී තිබේද යත් වර්තමානයේ සාර්ථක නත්තල් කෑමක් උදෙසා කිතුනුවා අධිපරිභෝජනය හමුවේ අන්ධ ලෙසින් හැසිරිය යුතුය යන මතය වත්මන් කිතුනු ප්‍රජාව පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ.

එමෙන්ම නව ලිබරල්වාදය විසින් කුළුගන්වනු ලබන මෙම ගමන් මාර්ගය සුඛ පරමවාදය (Hedonism) හරහා ගොස් සාරධර්ම විරහිත අනෝමීය සමාජය (Anomic society) නම් ගමනාන්තයෙන් නිමාව දකිනු ඇත. මෙම බිහිසුණු සමාජ උවදුර කල් ඇතිවම දැන එය පිටුදැකීම පිණිස කිතුනුවන් තුළ අනිවාර්ය ආකල්ප පෙරැළියක් සිදුවිය යුතු බවට මීට දශක කිහිපයකට පෙර කතෝලික පූජක ප්‍රජාවෙන් කොටසක් ගෙන ගිය හඬ මේ වන විට මුළුමනින්ම පාහේ යටපත්ව ගොස් හෝ යටපත් කොට ඇති බවක් පෙනේ.

 

frch

එඩ්මන්ඩ් පීරිස් රදගුරු තුමා - මෝසස් පෙරේරා පියතුමා

 

එවක සැබෑ කිතුනු මඟ යමින් එම උදාර කටයුත්තේ යෙදුණු පූජක උතුමන් අතලොස්ස අතුරින් එඩ්මන්ඩ් පීරිස් රදගුරු තුමාණන් (ක්‍රි.ව 1897-1987) සහ මෝසස් පෙරේරා (ක්‍රි.ව 1899-1985 ) සහ මර්සිලීනු ජයකොඩි (ක්‍රි.ව 1902-1998) යන පියතුමන් ලා දෙපල මේ මොහොතේ මගේ මනැස හමුවේ විරාජමාන වෙති. කැලණිය විශ්වවිද්‍යාලයෙන් “සාහිත්‍ය චක්‍රවර්ති” යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූ “සිතින් දිළින්දෙකු වූ භාග්‍යවන්තයා” නමින් ප්‍රකට එඩ්මන්ඩ් පීරිස් රදගුරු තුමාණන් පිළිබඳව ගරු මර්සිලීනු ජයකොඩි පියතුමා ලියූ මේ සටහන සැබෑ කිතුණු දහම හා කෙතරම් බද්ධ ව තිබේ දැයි සිතා බලමු.

 

Fr jayakodi

මර්සිලීනු ජයකොඩි පියතුමා

 

“කොපමණ දස්කම් ඇති වුවත් උසස් තැන් දැරුවත් දිළිඳු බව, සරල දිවිය, යහපත්කම ආදී ධර්ම ගුණයන්ට ද ජීවිතයේ මුල් තැන දුන් නිසා මෙතුමා මගේ සාන්තුවරයන්ගේ නාමාවලියට ඇතුළත් වේ”.  පසුව එතුමන් ගේ මඟ තව දුරටත් කල එළි කළ පූජක තුමන්ලා සුළුතරය අතුරින් මෝසස් පෙරේරා සහ මර්සිලීනු ජයකොඩි ඇතුළු පියතුමන් ලා කිහිප දෙනෙක් එම අරමුණ උදෙසා පෙරමුණ ගෙන සිටියහ.

දේශීය ජන සංස්කෘතියේ එන සරල චාම් නිරහංකාර බව කිතුනු පරමාදර්ශයක් ද වන බව ජනතාව හමුවේ නිතර අවධාරණය කළ මර්සිලීනු ජයකොඩි පියතුමා එවක ‘පන්සලේ පියතුමා‘ යන විරුදාවලියෙන් ද පිදුම් ලබා කර ඇත. ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් විසින් ජයකොඩි පියතුමන්ගේ ජීවිතය පිළිබඳ කෘතියක් රචනා කොට තිබේ. “මල් පැලේ උපන් පන්සලේ පියතුමා” නම් වන එය කතෝලික පූජකවරයකු පිළිබඳ බෞද්ධ නායක හිමිපාණන් විසින් ලොව ප්‍රථම ග්‍රන්ථය ලෙස ද සටහන් ව තිබේ.

විශේෂයෙන් වර්ෂ 1962-1965  අතර වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති දෙවන වතිකානු සම්මන්ත්‍රණයෙන් පසුව කිතුනු දහමේ දැක්වෙන ජනතාවාදී අංග ප්‍රවර්ධනය කිරීම පිණිස ලතින් ඇමරිකානු රටවලින් මතුව ආ විමුක්ති දේව ධර්ම (Liberation  theology) සංකල්පය කෙරෙහි ලංකා කතෝලික සභාව මුල සිටම එතරම් රුචියක් හෝ උනන්දුවක් පළ කරන බවක් නොපෙනිණ. ඒ එය කතෝලික සභාව තුළට සමාජවාදී ආකල්ප පිවිසුවීමට දරන කිසියම් පාර්ශ්වයක වෑයමක් සේ එවක කතෝලික සභාව අර්ථ කථනය කළ නිසා බව මගේ පෞද්ගලික වැටහීම ය. ඒ අනුව මේ වන විට සෙමනේරිවලින් ආගමික හා ශාස්ත්‍රීය පරිචයක් ලබා පූජකත්වරයට පත්වන පූජක  තුමන්ලා හුදෙක් කිතු දහම යනු පූජා චාරිත්‍රවලියක් ලෙස පමණක් සිතා කටයුතු කරන බවක් පෙනී යයි.

එමෙන්ම නිරතුවම සයිබර් අවකාශයේ සැරිසරන එතුමන් බහුතරයකට ශ්‍රී ලාංකේය කිතුනු සමාජයේ බිම් මට්ටම නොපෙනීමේ අරුමයක් නැත. සෑම පූජක තුමකු හටම අදාල නොවන මෙම තත්ත්වය නිසා මේ වන විට ශ්‍රී ලාංකේය කතෝලික ප්‍රජාව නාමික කිතුනුවන් වී සැබෑ කිතු මගින් පිට පැන අයාලේ යාමට පටන් ගෙන ඇතැයි මා නඟන මැසිවිල්ලට ශ්‍රී ලාංකේය කතෝලික ප්‍රජාවේ එකඟත්වය හිමි වේද යන්න පවා ගැටලුවකි. මන්ද යත් ඔවුන් මේ වන විටත් ඒ ගමන් මාර්ගයේ බොහෝ දුරක් ගොස් ඇති බැවිනි. 

1735039445 CHRIS 6
නමුත් වත්මන් කතෝලික ආගමික පරිපාලන සංස්ථා ව්‍යුහය කෙසේ වෙතත් දේව වචනය පිළිගැනීමට හා ඒ අනුව කටයුතු කිරීමට කිතුණුවන්ට ඇති නෛසර්ගික අයිතිය, යුතුකම හා වගකීම කෙසේවත් බැහැර නොවීම ඒ සම්බන්ධයෙන් පවත්නා එකම සැනසුම්දායක පුවත වේ.

ඒ සම්බන්ධයෙන් ශුද්ධ මතෙව් සුභාරංචියේ පස්වන පරිච්ඡේදයේ 3-10 පාඨවලින් මෙසේ ප්‍රකාශ වේ.

“සිතින් දිළින්දෝ ආශීර්වාද ලද්දෝ ය; මක් නිසාද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය. ශෝක වන්නෝ ආශීර්වාද ලද්දෝය; මක්නිසාද ඔව්හු සනසනු ලබන්නෝ ය. මොළොක් ගුණ ඇත්තෝ ආශීර්වාද ලද්දෝය; මක්නිසාද ඔව්හු පොළොව උරුමකර ගන්නෝය. ධර්මිෂ්ඨකමට සා පිපාසා ඇත්තෝ ආශීර්වාද ලද්දෝය; මක්නිසාද ඔව්හු තෘප්තියට පැමිණෙන්නෝය. දයාවන්තයෝ ආශීර්වාද ලද්දෝය; මක්නිසාද ඔව්හු දයාව ලබන්නෝ ය. සිතින් පවිත්‍රව සිටින්නෝ ආශීර්වාද ලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන් වහන්සේ දකින්නෝ ය. සමාදානය කරන්නෝ ආශීර්වාද ලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන් වහන්සේ ගේ පුත්‍රයෝ යයි කියනු ලබන්නෝය. ධර්මිෂ්ඨකම නිසා පීඩා වින්ද තැනැත්තෝ ආශීර්වාද ලද්දෝය; මක්නිසාද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය”

සැමට කිතු දහමේ සැබෑ හරයන් මස්තකප්‍රාප්ත කර ගත හැකි අසිරිමත් නත්තලක් වේවා !

Screenshot 2024 12 25 at 10.13.44 copy(සටහන | රීටා ජෙනට් පෙරේරා)

උපුටා ගැනීම - vinivida

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...