The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

බුදු දහම සහ කිතු දහම එකට මුසු වූ 'රුවන්වැලි සෑයට රිදී දුන්' රිදී විහාරය

T

The Leader Desk

December 25, 2024 • 8:17 AM

බුදු දහම සහ කිතු දහම එකට මුසු වූ 'රුවන්වැලි සෑයට රිදී දුන්' රිදී විහාරය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුරුණෑගල, රිදීගම පිහිටි රිදී විහාරය සමග මට ඇති මතකය වසර 34ක් පමණ ඈතට දිව යයි.
  • එවකට 12 හැවිරිදි වියේ පසුවූ මා, මව සහ පියා සමග රිදී විහාරය නැරඹීමට ගියේ, මල් පහන් පූජා කිරීමේ මූලික අරමුණින් නොවේ.
  • අනුරාධපුර යුගයේ දුටුගැමුණු රජ සමය හා සම්බන්ධකම් ඇතැයි කියන රිදී විහාර පරිශ්‍රයේ, රුවන්වැලි සෑය ඉදිකිරීමේදී ඊට අවශ්‍ය රිදී ගොබයක් මතු වූ බව මා අසා තිබිණි.
  • ලංකාවේ හමුවූ හොඳ ම ඇත්දළ කැටයම් ද ඇත්තේ, එහි ය.
අකුරු ප්‍රමාණය (Font Size):


කුරුණෑගල, රිදීගම පිහිටි රිදී විහාරය සමග මට ඇති මතකය වසර 34ක් පමණ ඈතට දිව යයි.

එවකට 12 හැවිරිදි වියේ පසුවූ මා, මව සහ පියා සමග රිදී විහාරය නැරඹීමට ගියේ, මල් පහන් පූජා කිරීමේ මූලික අරමුණින් නොවේ. පුරාණ ඉතිහාසය සම්බන්ධයෙන් මා තුළ තිබූ කැමැත්ත සහ කුතුහලය හේතුවෙන් රිදී විහාරයේ පුරාණ තොරතුරු දැක බලා ගැනීමේ අදහසිනි.

අනුරාධපුර යුගයේ දුටුගැමුණු රජ සමය හා සම්බන්ධකම් ඇතැයි කියන රිදී විහාර පරිශ්‍රයේ, රුවන්වැලි සෑය ඉදිකිරීමේදී ඊට අවශ්‍ය රිදී ගොබයක් මතු වූ බව මා අසා තිබිණි.

ලංකාවේ හමුවූ හොඳ ම ඇත්දළ කැටයම් ද ඇත්තේ, එහි ය.

කෙසේ වෙතත්, මගේ සිත වැඩියෙන් ම ආකර්ෂණය වූයේ, බුදුන් වහන්සේගේ සැතපෙන පිළිමය අබිමුව පිහිටි මල් ආසනයේ ජේසුස් වහන්සේගේ ජීවිත කතාව සිතුවම් කරන ලද පිඟන් ගඩොල් සිය ගණනක් වෙත ය.


සැතපෙන පිළිමයේ මල් අසුනේ ජේසුස් වහන්සේගේ සිතුවම්


සැතපෙන පිළිමය ඉදිරියේ මල් ආසනය මත සවි කර ඇති පිඟන් ගඩොල්

පූජ්‍ය වලහාවිද්දවැවේ කස්සප හිමි පිඟන් ගඩොල් පිළිබඳ විස්තර කරමින්

වසර 34කට පසු යළිත් මා රිදී විහාරය වෙත ගියේ, ඓතිහාසික බෞද්ධ විහාරස්ථානයක දක්නට ලැබෙන ජේසුස් වහන්සේගේ ජීවිත කතාව දැක්වෙන පිඟන් ගඩොල් පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් සැපයීමේ අරමුණිනි.

"මෙතන සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට තියෙනවා, ඕලන්ද පිඟන් ගඩොල්. ඒවා මෙතනට කොහොම ද පැමිණියේ? ලංකාවේ අපට මේ විදිහේ ඩච් ටයිල්ස් දකින්න තියෙන්නේ මේ විහාරස්ථානයේ පමණ යි. වෙන කොහෙවත් අපට මේ ඩච් ටයිල්ස් අපට දැක ගන්න පුළුවන්කමක් නෑ," රිදී විහාරවාසී පූජ්‍ය වලහාවිද්දවැවේ කස්සප හිමි පැවසීය.


බයිබලයේ එන කතා වස්තු සිතුවම් කර ඇති පිඟන් ගඩොල් කිහිපයක් පහත දැක්වේ.


adamආදම් සහ ඒව තහනම් ගහේ ඵල අනුභව කිරීමෙන් පසු ලජ්ජාවට පත්වූ අවස්ථාව
baibalayaබයිබලයේ සඳහන් වන ඩේවිඩ් සහ ගොලියත් අතර ගැටුම දැක්වෙන සිතුවමක්

jesusජේසුස් වහන්සේ කුරුසිබත් කිරීමට පෙර වදහිංසාවලට ලක් කිරීම

 mosesමෝසෙස් රතු මුහුද තරණය කර ඊශ්‍රායල් ජනතාව පොරොන්දු දේශය කරා කාන්තාර මැද්දෙන් රැගෙන යද්දී කෑම නොමැති බවට දෙවියන් වහන්සේට චෝදනා කළේ ය. එහිදී, දෙවියන් වහන්සේ මන්නා නමැති ආහාර මවා කුසගිනි දුරු කළ බව සඳහන් ය

 marthaමාර්තා සහ මරියා යන සොහොයුරියන්ගේ නිවසට ජේසුස් වහන්සේ පැමිණීම. මාර්තා ජේසුස් වහන්සේ වෙනුවෙන් උපස්ථාන කරමින් සිටින අතර, මරියා ජේසුස්ගේ දේශනාව අසමින් සිටියා ය. මරියා වැඩක් නොකර සිටීම ගැන ජේසුස් වහන්සේට පැමිණිලි කළ විට "මරියා නිවැරදි දේ තෝරාගෙන තියෙනවා. ඒක ඇගෙන් පැහැර ගන්න එපා" යනුවෙන් ජේසුස් වහන්සේ පැවසූ බව බයිබලයේ සඳහන් වෙයි

 jesus 2ජේසුස් වහන්සේගේ මුල් සභාවේ ගෝලයන් 12 දෙනා අතර වූ පාවුළු, ජේසුස්ගේ අදහස් දේශනා කිරීම නිසා මරා දැමීමට සොයද්දී කූඩයක දමා ඔහු දියට බස්සවා බේරා ගැනීමට ක්‍රියා කළ අවස්ථාව

 
මෙම පිඟන් ගඩොල් පිරික්සීමේදී පෙනී යන්නේ, ඒවා නිසි අවබෝධයකින් සවි කර නොමැති බව ය.

ඒවායෙහි අනුපිළිවෙළක් නොමැති අතර, ඇතැම් පිඟන් ගඩොල් උඩු යටිකුරු කර සවි කර තිබේ.


ec888ec0 c133 11ef aff0 072ce821b6ab.jpgඇතැම් පිඟන් ගඩොල් උඩු යටිකුරු කර සවි කර ඇති අයුරු

ඓතිහාසික බෞද්ධ විහාරස්ථානයක සැතපෙන පිළිමය ඉදිරියේ මල් ආසනය මතට ජේසුස් වහන්සේගේ ජීවිත කතාව ආශ්‍රිත බයිබලයේ කතාවලට සම්බන්ධ සිතුවම් සහිත පිඟන් ගඩොල් පැමිණියේ කෙසේ ද?

ඊට බලපෑ ඉතිහාස කතාවක් තිබේ.

මහනුවර යුගය වන විට ලංකාවේ බුදු සසුන පිරිහීමට ලක්ව තිබූ අතර, යළිත් බෞද්ධ පුනරුදයක් ඇති කිරීමට සරණංකර සංඝරාජ හිමියෝ පෙරමුණ ගත්හ.
ඕලන්ද පිඟන් ගඩොල් රිදී විහාරයට ලැබීමේ නිධාන කතාව ඇරඹෙන්නේ එතැනිනි.


ලැබුණේ කාගෙන් ද?

18 වන සියවසේ අග භාගයේදී එවකට ආණ්ඩුකාර තනතුරක් දැරූ අයිමාන් විලියම් පැල්ක් නමැත්තා මෙම පිඟන් ගඩොල් පරිත්‍යාග කර තිබුණේ, තිබ්බටුවාවේ ශ්‍රී බුද්ධරක්ඛිත ප්‍රථම නායක හිමියන් සමග පැවති මිත්‍රත්වයේ සිහිවටනයක් වශයෙනි.

ඒ අනුව, මෙම සුවිශේෂී පිඟන් ගඩොල් තොගය ලක්දිවට රැගෙනවිත් ඇත්තේ, 1796 වසරේ පෙබරවාරි මාසයේදී ය.

ඒ, VOC නැවකිනි.

"නුවර යුගය වෙද්දී උපසම්පදා භික්ෂුවක් දැක ගන්න ලැබුණෙ නැහැ. හාමුදුරුවරු සීමා වෙලා හිටියෙ පන්සල් රැක ගැනීමට විතර යි. අන්තිමට ම ගණින්නාන්සේ කියන තැනට පත් වෙලා තිබුණා. නමුත්, මේක දැකපු වැලිවිට සරණංකර සංඝරාජ හාමුදුරුවන්ට මේ තත්ත්වය වෙනස් කරන්න ඕන වුණා. ඒ කාලයේ ලන්දේසි පාලන සමය තිබුණේ. සංඝරාජ හාමුදුරුවන් වහන්සේ ඕලන්ද ආණ්ඩුකාරවරයෙකුගෙන් සහය ඉල්ලනවා බුදුදහම විදේශීය රටකින් හරි මේ ලංකාවට ගෙනල්ලා ලංකාවේ පිහිටවන්න. ඊට පස්සේ දූත පිරිසක් යැව්වා සියම් දේශයේ පිරිසිදු බුදු දහම තියෙන බව දැනගෙන. ඊට පස්සේ ආණ්ඩුකාරවරයාගේ සහයෙන් මෙරටට බුදු දහම යළිත් ගේන්න කටයුතු කළා. ඉන්පසු නැවත උපසම්පදා කටයුතු ආරම්භ කරලා නැවත මෙරට බුද්ධ ශාසනය ඇති කරනවා. මේ ඕලන්ද පාලන සමයේදී තිබ්බටුවාවේ ශ්‍රී බුද්ධරක්ඛිත ප්‍රථම නායක හාමුදුරුවන් වහන්සේ එක්ක ඒ ඕලන්ද ආණ්ඩුකාරවරයා දැඩි මිත්‍රත්වයක් තිබිලා තියෙනවා. ඒ වගේ ම ආණ්ඩුකාරවරයා බුදු දහම පිළිබඳව ලොකු පැහැදීමකින් ඉඳලා තියෙනවා. ඒ අනුව, නායක හාමුදුරුවන් වහන්සේට ඔහු කරපු පරිත්‍යාගයක් වශයෙන් තමයි මේ පිඟන් ගඩොල් ලැබිලා තියෙන්නේ," වලහාවිද්දවැවේ කස්සප හිමි ඉතිහාසය ආවර්ජනය කළේ ය.


විවිධ සිතුවම්


මෙහි පිඟන් ගඩොල් 110ක් ඇති අතර, ඒවායෙහි සිතුවම්වල නිරූපණය වන්නේ ජේසුස් වහන්සේගේ ජීවන චරිතය පමණක් නොවේ.

ඕලන්දයේ එවකට පැවති සංස්කෘතික ක්‍රීඩා සහ සැරසිලි සිතුවම් ද ඒ අතර වෙයි.

පහත දැක්වෙන පිඟන් ගඩොල් ඊට නිදසුන් සපයයි.


4b8bbb40 c139 11ef aff0 072ce821b6ab.jpg මෙහි දැක්වෙන්නේ 'බට්ටා පැනීම' වැනි ඕලන්දයේ ජන ක්‍රීඩාවක් බව විශ්වාස කෙරේ

'ආගම් භේදයකින් තොරව ආරක්ෂා කරනවා'

මීට වසර ගණනාවකට පෙර මෙම පිඟන් ගඩොල් කැටයක් සඳහා රු. 500,000කට අධික මුදලක් ගෙවීමට ඕලන්ද රජය ඉදිරිපත් වී ඇතත්, ඊට එකඟ නොවී ඒවා ආරක්ෂා කර ගැනීමට රිදී විහාරය තීරණය කළ බව දැනගන්නට ලැබිණි.


මේ වන විට, එම පිඟන් ගඩොල්වල ආරක්ෂාව සඳහා වීදුරු ආවරණයක් ද සවි කර තිබේ.

"අපිට කිසි ම ආගම් භේදයක් නෑ. මේක පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා වටිනා සම්පතක්. ඒ වගේ ම ආගමික සංහිඳියාව ඉතා හොඳින් ප්‍රදර්ශනය වෙනවා මේකෙන්. ඒ නිසා අපි මේක ආරක්ෂා කර ගත යුතු යි. ඒ වගේ ම මේ සම්බන්ධයෙන් විදේශ සංචාරකයින්ගේත් විශාල උනන්දුවක් තියෙනවා," වලහාවිද්දවැවේ කස්සප හිමි පැවසීය.


ගමන් මග

ridi viharaya

රිදී විහාරය පිහිටා ඇත්තේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෑඋඩවිල්ලි හත් පත්තුවේ මාදුරේ කෝරළේ රිදීගම නමැති ගම් පියසෙහි ය.

කුරුණෑගල සිට කැප්පිටිගල පාරේ කිලෝමීටර් 17ක් පමණ දුරින් පිහිටි දේවාල හන්දිය ප්‍රදේශයේ රිදී විහාරය පිහිටා තිබේ.


(සටහන | කුමුදු ජයවර්ධන)

උපුටා ගැනීම - BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...