The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

වීර්ය පාරමිතා කතා වස්තුව | විෂ්ණු වාසු

T

The Leader Desk

December 26, 2024 • 7:55 AM

වීර්ය පාරමිතා කතා වස්තුව | විෂ්ණු වාසු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපි එයාගේ මූණ බලලා කතා කරන්නත් බයවෙන තරමට.
  • මට මතක වයසේ ඉඳලම මං විශ්වාස කළේ මගේ පිරිමි ශරීරය ඇතුලේ ගැහැණියක් ජීවත්වෙනවා කියලා.
  • ඒ බිත්ති හතර ඇතුලේ මම අප්‍රමාණ නිදහසක් බුක්ති වින්දා.
  • මිනිහා මාව නිරුවත් කරලා, කොහොඹ කොළ අත්තකින් මට හොඳටම තඩිබාලා කිව්වා දැන් සනීපයි ගෙදර යන්න කියලා. මම ගිය ඉස්කෝලෙට ආවේ ඇති හැකි පවුල්වල ළමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අපි එයාගේ මූණ බලලා කතා කරන්නත් බයවෙන තරමට.

මට මතක වයසේ ඉඳලම මං විශ්වාස කළේ මගේ පිරිමි ශරීරය ඇතුලේ ගැහැණියක් ජීවත්වෙනවා කියලා. මගේ සිත් ගත්තේ ලලනා විලාසිතාවන්. මම කොණ්ඩේ වවන්න ගත්තා. තොල් රතු කළා. කාන්තා ඇඳුම් වලින් සැරසුනා. අපේ තාත්තා මගේ හැසිරීමට එක හෙලාම විරුද්ධ වුනා. අම්මා තාත්තව අනුමත කළා. ඒ ගොල්ලෝ මට බලකළා පිරිමියෙක් වාගේ හැසිරෙන්න කියලා. ඒ වුනාට මට බැරිවුනා මගේ ආත්මය වසා සිටින ස්ත්‍රී චරිතයෙන් මිදිලා පිරිමි චරිතයකට රූපාන්තරණය වෙන්නට.

PHOTO 2024 12 26 12 51 38

 

දවසක් මම ගෑනු ළමයි රංචුවකුත් එක්කලා සෙල්ලම් කරමින් සිටියදී අපේ තාත්තාගේ අතටම අහුවුනා. එයා මගේ කොණ්ඩෙන් ඇදගෙන ගෙදර ඇවිත් මගේ කළවා දෙකට උණු වතුර වැක්කෙරුවා. කාටවත්ම බැරිවුනා තාත්තව නතර කරගන්න. මගේ කකුල් දෙක පිච්චිලා ගිණි ගහන වේදනාව ඉවසාගන්න බැරිව මම යටිගිරියෙන් කෑමොර දුන්නා. ඒ සිද්ධියෙන් පස්සේ තාත්තා මංව තුන් මාසයක් යනතුරු නිවාස අඩස්සියේ හිරකළා. මිතුරන් මුණගැහීම, පැසැල් යාම විතරක් නෙවෙයි, ඉර එළිය බැලීම පවා තහනම් වුණා. මම බිත්ති හතරකට කොටු වුනා. ඒ බිත්ති හතර ඇතුලේ මම අප්‍රමාණ නිදහසක් බුක්ති වින්දා. දෙමාපියන් අසල ඉන්නා වග දැනුනම පමණක් මම පිරිමියෙක් වාගේ හැසිරුනා. අන් හැම විටම මම මගේ ස්ත්‍රී ආත්මයත් සමග සංගතව ජීවත් වුනා. 

දවසක් මගේ තාත්තා මංව දොස්තර කෙනෙක් ළඟට එක්ක ගියා. ඔහු මගේ ශරීරයට වයර් සවිකරලා මොන මොනවදෝ පරීක්ෂණ වාගයක් කරලා කිව්වා මගේ කිසිම වරදක් නැහැ කියලා. හැබැයි මට බොන්න බෙහෙත් දුන්නා. ඊට ටික කාලෙකට පස්සේ දවසක මංව කට්ටඩියෙක් ළඟට එක්ක ගියා. මිනිහා මාව නිරුවත් කරලා, කොහොඹ කොළ අත්තකින් මට හොඳටම තඩිබාලා කිව්වා දැන් සනීපයි ගෙදර යන්න කියලා. 

මම ගිය ඉස්කෝලෙට ආවේ ඇති හැකි පවුල්වල ළමයි. අපට ඒ අයත් එක්ක තරඟ කරන්න වත්කමක් තිබුනේ නැහැ. මගේ ලලනා ගති ලක්ෂණ නිසා මම දිනපතාම වාගේ පැසැල් ළමයින්ගේ අඩන්තේට්ටම් වලට, අපහාසයට අවමානයට ලක්වුනා. මට ජීවිතේ එපා වුනා. මේ ජීවිතෙන් පලක් නැහැ කියලා මට හිතුනා. මම අම්මාගේ සාරියක් බාල්කයක ගැටගහලා, එල්ලිලා මැරෙන්න උත්සාහ කළා. මගේ බෙල්ල හිරවෙනවාත් එක්කම අපේ අයියා එතෙන්ට දුවලා ඇවිත් මාව බේරාගත්තා. එතකොට මට වයස අවුරුදු එකොළහ පිරුනා විතරයි. 

 

PHOTO 2024 12 26 12 51 39 2
ඒ කිට්ටුවම දවසක අපේ තාත්තා මගේ ඇඳුම් කෑලි දෙකක් මල්ලකට දාලා කරේ එල්ලලා මාව ගෙදරින් එලෙව්වා. එදා තමයි මම ලෝකය මේ සා විසාල තැනක් කියලා දැනගත්තේ. මම යන්න තැනක් දැනන් හිටියේ නැහැ. මම කිට්ටුවම තිබුනු ගුවන් පාලමක් යටට ගුලි වුනා. ඒ බියකරු ඔක්තෝබර් රාත්‍රියේ සීතල දරාගන්න බැරිව මගේ සර්වාංගයම හිරිවැටුනා. මම වෙව්ලුවා. මට ගෙදර දුවන්න හිතුනා. ඒ වුනාට ගෙදර ගියොත් මගේ තාත්තා මාව මරාදමයි කියලා බයට මම කකුල් දෙක අස්සේ අත්දෙක හංගාගෙන වකුටු වුනා.

මට මූත්‍රා විසර්ජනය කරන්නට ඕනෑ වුනා. මම අසල තිබුනු ප්‍රසිද්ධ වැසිකිලියකට ගොඩවුනා. එතැනට ආව පිරිමින්ට මගේ ලලනා ගති ඉව වැටුනා. ඒ අයට ඕනෑ වුනා මගෙත් එක්ක ලිංගිකව හැසිරෙන්න. මං ළවා ඔවුන්ගේ ආශාවන් සන්තෘප්ත කරගන්නට. අවුරුදු එකොළහක් වුනු මට ඒ පිළිබඳව හාංකවිසියක දැනීමක් තිබුනේ නැහැ. නමුත් ඔවුන් මංව බලහත්කාරයෙන් පාවිච්චි කළා. බිස්කට් දෙක තුනකට, තේ කෝප්පයකට, ටී බනිස් එකකට, විවිධ වයස් කාණ්ඩවල පිරිමි කීදෙනෙක් ඉදිරියේ මම දණගැහුවද කියලා දන්නේ වැසිකිලියේ බිත්ති හතර විතරමයි. දවල් වරුවේ මට ගුවන් පාලම යටින් ඉවත් වෙන්න කියලා තර්ජනය කළ පොලිස්කාරයෝ, රාත්‍රී කාලයේ ඔවුනගේ ලිංගික මනදොල සපුරාගන්නට මංව හොයාගෙන ආවා.

මේ විදියට මං දවස් දහයක් ජීවත් වුනා. ඉවසලා ඉවසලා බැරිම තැන මැරුවත් කමක් නැහැ කියලා හිත හදාගෙන මං ගෙදර ගියා. මං අපේ තාත්තා ඉදිරිපිට බිම දිගාවෙලා සමාව ඉල්ලුවා. මං පොරොන්දු වුනා මම මින් ඉදිරියට ‘පිරිමියෙක්’ වාගේ හැසිරෙනවා කියලා. 

මිතුරනි මා මේ දිනවල, පුංචි බැක්පැක් එකක් කරේ එල්ලාගෙන, ඉන්දියාවේ ප්‍රධාන නගරවල රස්තියාදුවේ යමින්, ‘කාමසූත්‍ර’ නමින් අභිනවයෙන් ලියන නවකථාවට තොරතුරු රැස්කරමින් ඉන්නවා. මෙහි ඇවිත් දැන් මාස තුනකට කිට්ටුයි. මේ බොහීමියානු ජීවිතයේ  ආනන්දය ගැන ලියන්නට මා දන්නා හෝඩියක අකුරු නැහැ. මේක ඒ තරම්ම සුන්දර අත්දැකීමක්.

 

PHOTO 2024 12 26 12 51 39

මගේ ‘කාමසූත්‍ර’ නවකතාවට පාදක වෙන්නේ ඉන්දියාවේ ‘හිජ්රා’ නැමැති සුවිශේෂ සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව වටා ගෙතුනු, ඇඟේ හිරිගඩු පුප්පන කතා තේමාවක්. මේ වනවිට මා බොම්බායේ කාමාතිපුරය, කල්කටාවේ සොනගචි, වරණාසියේ ශිවදාස්පූර්, දිල්ලියේ ජී බී රෝඩ්, චෙන්නායි නුවර නුංගම්බක්කම් ආදී වශයෙන්, වෛශා සේවනයටම කැප කළ අවකාශයන් රාශියක කරක් ගසා තොරතුරු රැස් කරගෙන තියෙනවා. ඒ ඇතැම් කතා ඔබට ඇදහිය නොහැකි තරමටම ආගන්තුකයි. සංවේදියි. ගුජුප්සාජනකයි.

ඉහත කථාව මට කිව්වේ ඉන්දියාවේ, සංක්‍රාන්තික ලිංගික ප්‍රජාවේ අයිතීන් ආරක්ෂා කරගනු වස්, දශක තුනක කාලයක් පුරා, අඛන්ඩ සටනක නිරත, ආචාර්ය අක්කෙයි පද්මශාලී මහත්මිය. මට ඇයව මුණගැහෙන්නේ ඇගේ උපන් නගරය වන බැංගලෝරයේදී. ගතවූ තෙමසකට ආසන්න කාලයේ මට හමුවූ චරිත අතර පද්මශාලිගේ කථාව සුවිශේෂයි. අප්‍රමාණ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දුන්නද ඇගේ කතාවේ වීරිය පාරමිතාවේ ගුණ සුවඳ තැවරී තියෙනවා. 

කාමසූත්‍ර : 2025 මුල් කාර්තුවේදී දී එළිදකිනවා

මේ ආණ්ඩුව මගේ දරැවගේ මරණෙට වගකියන්න ඕනේ -විෂ්ණු වාසු(විෂ්ණු වාසු |  Vishnu Vàsu)
ලේඛක /නිදහස් මාධ්‍යවේදී
බැංගලෝර් නගරයේ සිට
Villagemonk@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...