The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

ආචාර්ය උපාධි නැති මාතර යකැදුරෙකු ගේ පැටිකිරිය සොයා ගියෙමි | තිලක් සේනාසිංහ

T

The Leader Desk

December 27, 2024 • 11:50 AM

ආචාර්ය උපාධි නැති මාතර යකැදුරෙකු ගේ පැටිකිරිය සොයා ගියෙමි | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත් ආචාර්ය යන්න නියම සිංහලයෙන් පැවසෙන “ඇදුරු” ලෙසින් හැඳින්වෙන ජන කොටස් අප සමාජයේ කොතෙකුත් දක්නට ලැබේ.
  • “මාතර යකැදුරෙක් වැඩක් කළොත් ඉතින් කිරි ගහට ඇන්නා වගේ තමයි.” මා කුඩා කාලයේ වැඩිහිටියන් එසේ කියනු මම කොතෙකුත් අසා ඇත්තෙමි.
  • ඒ තොවිලයට උවමනා බෙර, ගෙජ්ජි, නැට්ටුවන්ගේ ඇඳුම් ආදිය සහිත පෙට්ටි හුඩ් රැක් එකේ බැඳගත් කළු පැහැති මොරිස් 8 වර්ගයේ මෝටර් රථයකිනි.
  • ඒ කාලයේ මා යකුන්ට කෙතරම් බිය වී ද යත් මට ඒ මෝටර් රථය පවා පෙනුණේ යක්ෂ මුහුණක් සහිත අමුතුම සත්වයකු ලෙසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):
එහෙත් ආචාර්ය යන්න නියම සිංහලයෙන් පැවසෙන “ඇදුරු” ලෙසින් හැඳින්වෙන ජන කොටස් අප සමාජයේ කොතෙකුත් දක්නට ලැබේ. වෙදැදුරු, බලි ඇදුරු, නැකත් ඇදුරු, සහ යකැදුරු ආදීහු ඒ ගණයට අයත් වෙති. එසේම මිනිසුන්ට වැළඳෙන යම් යම් දෝෂ තත්වයන් සඳහා කරනු ලබන ගුප්ත පිළියම් හැඳින්වෙනුයේ ද “ඇදුරු කම්” යනුවෙනි. 


ඒ අනුව අද මා පවසනුයේ එවැනි ආචාර්ය පට්ටමක් නොමැති යකැදුරකු පිළිබඳ කතාවකි.

“මාතර යකැදුරෙක් වැඩක් කළොත් ඉතින් කිරි ගහට ඇන්නා වගේ තමයි.” මා කුඩා කාලයේ වැඩිහිටියන් එසේ කියනු මම කොතෙකුත් අසා ඇත්තෙමි. එමෙන්ම වරක් අප ගම් ප්‍රදේශයේ කාන්තාවකට වැළඳී තිබූ බරපතල “යක්ෂ දෝෂයක්” දුරු කිරීමට මාතරින් යකැදුරන් ගෙන්වා නැට වූ තොවිලයක් ගැන ද මගේ මතකයේ තිබේ. එම තොවිලයට මාතරින් පැමිණි කණ්ඩායම දහ දෙනෙකුගෙන් හෝ ඊට අසන්න සංඛ්‍යාවකින් සමන්විත විය.

‘කනිටු කාර්යය මණ්ඩලය’ තොවිලයට දින කිහිපයකට කලින් නිවසට පැමිණ අවශ්‍ය කළමනා සුදානම් කළහ. නමුත් තොවිලයේ මහ ඇදුරා හෙවත් කොට්ටෝරු උන්නැහේ පැමිණියේ තොවිලයට පෙර දින රාත්‍රියේ ය. ඒ තොවිලයට උවමනා බෙර, ගෙජ්ජි, නැට්ටුවන්ගේ ඇඳුම් ආදිය සහිත පෙට්ටි හුඩ් රැක් එකේ බැඳගත් කළු පැහැති මොරිස් 8 වර්ගයේ මෝටර් රථයකිනි. ඒ කාලයේ මා යකුන්ට කෙතරම් බිය වී ද යත් මට ඒ මෝටර් රථය පවා පෙනුණේ යක්ෂ මුහුණක් සහිත අමුතුම සත්වයකු ලෙසිනි.

 

11Screenshot 2024 12 27 at 17.05.58 copy

ඩේවිඩ් ජයවර්ධන මහතා (සේරුගහහේනේ ලොකු මහත්තයා)

 

මාතර ප්‍රදේශයේ විවිධ තරාතිරම්වලට අයත් යකැදුරෝ වෙති. ඔවුන් අතරින් සමහරෙක් ඒ ප්‍රදේශයේ ප්‍රභූ පවුල්වලට අයත් වූහ. මගේ මාමණ්ඩිය වන බෙලිඅත්ත, කුඩාහීල්ලේ පදිංචිව සිට නැසී ගිය ඩේවිඩ් ජයවර්ධන මහතා ( සේරුගහහේනේ ලොකු මහත්තයා ) තමන් දන්නා කියන එම ප්‍රභූ යකැදුරන් පිළිබඳ තොරතුරු කොතෙකුත් මා හා කියා තිබේ.

ඒ අතරින් පසු කලෙක දෙවිනුවර නගරාධිපති ධුරයට පවා පත් බේබි සිඤ්ඤෝ මහතා පැරණි මන්ත්‍ර ශාස්ත්‍ර මනාව ප්‍රගුණ කළ ප්‍රභූ යකැදුරු පරපුරකට අයත් වූවෙකු බව මගේ මාමණ්ඩිය මා හා කීය. 

 

12Screenshot 2024 12 27 at 17.06.22 copy
මේ අතර ඔය කියන මහා බලසම්පන්න මාතර යකැදුරෙකු මුණගැසී තොරතුරු කතා කිරීමේ බලවත් ආශාවක් මගේ සිත තුළ ද ඉපිද තිබිණි. ඒ මීට දශක තුනකට පමණ ඉහත දී ය. එවිට මගේ මාමණ්ඩිය කියා සිටියේ එම යකැදුරු පරම්පරාවේ බොහෝ දෙනෙකු ඒ වන විට ජීවතුන් අතර නොමැති බවකි. එමෙන්ම ඒ වනවිට එම යකැදුරන්ගේ ඊළඟ පරපුර තම පාරම්පරික වෘත්තියේ නොයෙදීම මත මාතර යකැදුරු හිඟයක් පවතින බව ද දැනගන්නට ලැබිණි. ඔය අතරේ මගේ මාමන්ඩිය තමන් දන්නා හඳුනන කිහිප දෙනෙකුට කියා තොරතුරු විපරම් කරනු ලදුව මාතර යකැදුරු පරපුරේ අන්තිම පුරුකක් පිළිබඳ හෝඩුවාවක් මා වෙත ලබා දීමට සමත් විය.

මාතර නමින් හැඳින්වුවද ඔහු පදිංචිව සිටියේ ඉන් ඔබ්බට වන්නට පිහිටි උප නගරයක් ආසන්නයේ ය. ඔහුගේ පියා එම ප්‍රදේශයේ ප්‍රභූවරයෙකු වූ ඉඩම් හිමි වැවිලිකරුවෙකි. යකැදුරු වෘත්තියේ නොයෙදුණු මුත් ඔහු ද පාරම්පරික යකැදුරු පවුලක සාමාජිකයෙකි. මෙම යකැදුරාට සොයුරන් තිදෙනෙකු සහ සොයුරියෝ තිදෙනෙක් වෙති. ඒ සියල්ලන්ම දැන උගත්කමින්, සමාජ තත්වයෙන්, මිල මුදල් අතින් මෙම යකැදුරාට වඩා ඉහළ තත්ත්වයක වැජඹුණහ. නමුත් මේ යකැදුරා ද කිහිප අතකින් ඔවුන් කිසිවෙකුටත් නොදෙවෙනි බලසම්පන්නයෙක් විය. ඒ ඔහු හා යකුන් අතර පවතින සහසම්බන්ධතා නිසා විය යුතු ය.

ඔහුට එම යක්ෂ ආභාෂය ලැබී ඇතතේ මව් කුසේ සිටියදීම ය. ඔහුගේ මවට ඔහු ලැබෙන්නට සිටියදී බරපතළ යක්ෂ දෝෂ එල්ල වී තිබේ. ඒ අනුව ඇයට වැළඳුණු දොළදුක වී ඇත්තේ කුකුළෙකුගේ ගෙල සිඳ රුධිරය බීම ය. 

 

578Screenshot 2024 12 27 at 17.07.15 copy
අතිශය නොඉවසිලිවන්ත බවකින් යුතුව මගේ මාමණ්ඩිය ද සමඟ ඒ යකැදුරා හමුවීමට ඔහුගේ නිවසට යන විට ඔහු එහි නොවීය. ඔහුගේ නිවස අතිශය අපිළිවෙලකින් යුතු වූ අතර බැලූ බැල්මට එය ‘යක්ෂ භවනක්’ම විය. ඔහුගේ බිරිඳ ද කිළිටි අපිළිවෙල ඇඳුම් පැළඳුම්වලින් යුතු මැදිවිය ඉක්ම වූ කාන්තාවක වූවා ය. ටික වෙලාවකින් සුදු සරමකින් සහ කමිසයකින් සැරසුණු තද කාල වර්ණ මිනිසෙක් කොහේදෝ සිට අප ඉදිරියේ ප්‍රාදූර්භූත විය. ඔහුගේ දෙනෙත සහ දෙතොල තද රන් පැහැයෙන් යුතු වීම නිසා ඔහු කෙරෙන් දිස්වූයේ බියකුරු පෙනුමකි. මතක ඇති කාලයක පනාවක පහසක් නොලැබූ ඔහුගේ හැඩපළු ගෙතුණු කෙස් කළඹ කර තෙක් පහළට වැටී තිබිණ.

“ගම්පහ කිට්ටුව ගෙදරකට යක්ෂ දෝෂයක්.”මම එම යකැදුරා කතාවට අල්ලාගනු පිණිස අප පැමිණි කරුණ වශයෙන් ඔහු හමුවේ කෙබරයක් ඇද බෑවෙමි. ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ ඔහු අප ගැන වගේ වගක් නොමැතිව අප ගෙන ගොස් ඔහුගේ ආලින්දයේ කනප්පුව මත තැබූ කෙසෙල් ඇවරියෙන් ගෙඩියක් ගෙන එක්වරම  කටේ ඔබාගෙන එහි ලෙල්ල මගේ හිසට ද ඉහළින් මිදුලට විසිකොට දැමීය.

‘මූ නම් යකාගෙම මිනිහෙක් තමයි.’ එසැනින් මට සිතිණි.

“මට ඕවා කියන්න එපා. ඔය ඉස්සරහ දෙවෙනි වංගුව ළඟ වම් පැත්තේ තියෙන ගෙදර ඉන්නවා අපේ කොට්ටෝරු මහත්තයා. සේරම විස්තර එයත් එක්ක කතා කරන්න.” ඒ සමඟම ඔහු ගොර ගොර හඬින් කීයේ අප පිළිබඳ කිසිදු තැකීමක් නැතිව ය. ඒ තමන් යකුන් සමඟ මිස අප වන් “නර පනුවන්” හා කතා බස් කිරීමට වත් එතරම් කැමැත්තක් නොදක්වන බව අනියමින් කියා පාමිනි. ඒ අනුව එම නිවසින් පිටවීම පිණිස මාමණ්ඩියත් මමත් අසුන් වලින් නැගී සිටියෙමු.

 

6789OScreenshot 2024 12 27 at 17.07.38 copy
“තුන් මාසෙකින් ඔය හතරමායිමේ මළ කිල්ලක්, වැදුම් කිල්ලක් වෙලා නෑනේ? ඒ වගේම හත් දවසකින් මාස් කිල්ලක් වෙන්නත් බැහැ. එහෙම වුණොත් සේරම අවලංගුයි ඔන්න.” අප දෙදෙනා ආපසු ඒමට ගෙමිදුලට බැසගත් පසුව යකැදුරා මහහඬින් කෑගසා කීයේ නියෝගාත්මක ස්වරයකිනි. ඔහු ගේ හඬ අතිශයින් කඨෝර විය.

පසුව ඔහු කී අන්දමට එම තොවිලයේ කළමනාකරු හෙවත් කොට්ටෝරු උන්නැහේගේ නිවසට ගොස් තොවිලය සඳහා අප විසින් කළ යුතු දේ පිළිබඳව විස්තර විමසා සිටින අතරේ, එම යකැදුරාගේ පවුල් පසුබිම පිළිබඳ විස්තර ද විමසා සිටියෙමු. එහෙත්, ඒ යකැදුරුට වඩා බෙහෙවින් ආචාරශීලී බවක් පළ කළ ඒ කොට්ටෝරු උන්නැහේ ඒ වනවිට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ නිලයක් දරණ, ඊට ආසන්න ප්‍රදේශයක පදිංචි එම යකැදුරාගේ බාල මලනුවන් පිළිබඳ තොරතුරු ද අප හමුවේ ගෙනහැර දැක්වීය.

පසුව ඒ “බොරු තොවිල්”කතාව මුළුමනින් අතහැර දැමූ මම ඊට ආසන්නතම දිනෙක එම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ නිලයක් දරන්නාගේ හිතවතෙකුගේ මාර්ගයෙන් ඔහු හමුවීමට ගියෙමි.

“ඔය මනුස්සයා මගෙ ලොකු අයියා තමයි. ඒත් පුංචි කාලේ ඉඳලම මහ එපා කරපු වැඩමයි කළේ. පස්සේ ඔය මනුස්සයට ජීවත්වෙන්න කමක් නැතිකමටම තමයි ඔය යකැදුරු රස්සාවට බැස්සේ. එහෙම නැතුව අපේ සීයා කළාය කියන යකැදුරුකම් ගැන ලොකු අයියා මෙලෝ දෙයක් දැනගෙන නෙවෙයි. අනික ඉතින් ඔය යකැදුරුකම් කියන්නේ මානසික විජ්ජාවල්, ඇස්බැන්දුම්නේ.” අප සමඟ කතාබහකොට තරමක් සුහද වූ පසු ඔහු කීය.

“අනික අයියගේ පෙනුම, කතාබහ, හැසිරීම්වල තියෙන දඩබ්බර බවේ හැටියටයි, එයාගේ ඔය යකැදුරු රස්සාවේ හැටියටයි හැමෝම හිතන් ඉන්නේ එයා එහෙම හැසිරෙන්නේ යක්කු එක්ක වැඩ කරන හින්දා කියලා. අනික ඒවායින් වැඩි කොටස එයාගේ මවා පෑම්. අනික අයියා ඔය යකැදුරුකම්වලට යනකොට එක්ක යන කට්ටියම තමයි එයා ගොඩදාන හූනියම් වළලන්නේ. ඒ වගේම පාන්දරට ගස් අතු කඩාගෙන යක්කු යනවය කියන්නෙත් ඒ අයගේ උප්පරවැටියක්. අයියා පාන්දර ජාමේ ඒ තොවිලේ කරනකොට ඒ කට්ටියේම කොල්ලෝ කීපදෙනෙක් හොරෙන්ම ගිහින් ඒ කිට්ටුව තියෙන කොස් ගහක අත්තකට බරවෙලා ඒ අත්ත කඩා දාලා හීන්සීරුවේ මාරුවෙනවා.” තම සොයුරා මුල්කොට වුව අසත්‍යය වැපිරවිය යුතු නැතැයි සිතූ නිසාදෝ ඔහු කීය. එමෙන්ම ඔහු කීයේ අයියා ලැබෙන්නට සිටියදී තම මවට වැළඳුණු යක්ෂ දෝෂ කතාව ද පසු කලෙක ඔහු විසින්ම පතුරුවන ලද අමූලික බොරුවක් බවකි.

q34Screenshot 2024 12 27 at 17.06.41 copy

 

“අනික අයියා අසීමාන්තික විදිහට බොනවා. ඒත්, එයා යක්කුත් එක්ක වැඩ කරන හින්දා ඒකට මිනිස්සුන්ගෙන් විශේෂ සමාවක් තියෙනවා. ඒත් ලස්සනම වැඩේ ඒක නෙවෙයි. අයියට ඒ ගමේ පිට ගෙවල්වල ළමයි දහ පහළොස් දෙනෙක් ඉන්නවා. ඒත් ඉස්සර ගම්මු ඒකටත් මුකුත් නොකිව්වේ ඒවත් යක්කුන්ගේ වැඩ හැටියට විශ්වාස කරපු නිසා.” එම විද්වතා සිනාසෙමින් කීය. 

මේ වන විට ශාස්ත්‍රීය අධ්‍යයනයන්ට පවා බඳුන් වී ඇති අලෙවි උපාය මාර්ග යනු නවීන විෂයක් නොවේ. ඒ සම්බන්ධ බොහෝ දේ අතීතයේ සිට උපාය ශූර මිනිසුන් ගේ සිත් සතන් තුළ ගැබ් ව තිබේ. එමෙන්ම තම තමන් ගේ වෘත්තීන් අනුව ඒවා භාවිතා කිරීමේ හැකියාව මත ඔවුනට ඒ ක්ෂේත්‍ර වලින් ඉදිරියට යා හැක. නිදසුනක් ලෙස පාරිභෝගික භාණ්ඩ හා සේවා සැපයීමේ දී තම ගනුදෙනු කරුවන් හා සිනා මුසු මුහුණින් කටයුතු කිරීමට ව්‍යාපාරිකයකු හට ඇති හැකියාව අවමංගල භාණ්ඩ හා සේවා සපයන්නකු හට නැත.

එපරිද්දෙන් මෙබඳු යකැදුරන් හට තම බාහිර පෙනුම කතා බහ හැසිරීම් පවා සම්මත සදාචාර රාමුවෙන් පිට යක්ෂානුරූපී ලෙස පවත්වා ගෙන යාමෙන් තම වෘත්තීය අභිවෘද්ධිය සලසා ගත හැක. මෙම යකැදුරා ඒ සඳහා තම සෙසු සියළු ශක්තීන් සේම ලිංගික ශක්තිය පවා යෙදවීමෙන් පෙනී යනුයේ ඔහු ”යකාගේම මිනිහෙකු” බව ය. ඒ කෙසේ හෝ බලි තොවිල් ශාන්ති කර්ම යනු හුදෙක් මිථ්‍යා විශ්වාස මත පදනම් වූ ඒවා වුවද ඒවායේ මිනිසුන් ගේ කායික මානසික අසමතුලිතතා සමනය කරන ප්‍රාථමික මට්ටමේ නොවිධිමත් මනෝ චිකිත්සක අංග ගැබ් ව තිබේ.

ඒ අනුව වර්තමාන හොර කට්ටාඬින් මෙන් අසරණයන් ගේ ඉහ මොළ සූරා නොකා උපායශීලී ලෙසින් තම වෘත්තියේ යෙදුණු පාරම්පරික ඇදුරන් වෙත විද්‍යාත්මක චින්තනය මත පදනම් ව උපහාස අපහාස එල්ල කිරීමට පෙර අප මඳක් සිතා බැලිය යුතු බව මගේ වැටහීම ය.

WhatsApp Image 2024 02 13 at 4.20.58 PM(තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...