The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

ටවුමට ගිය ගමේ ඉස්කෝලේ අනුරාධපුර මැදි විදුහල | චන්ද්‍රසිරි සෙනෙවිරත්න

T

The Leader Desk

December 28, 2024 • 9:52 AM

ටවුමට ගිය ගමේ ඉස්කෝලේ අනුරාධපුර මැදි විදුහල | චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝපුර සහ ඉන්ද්‍ර ඛීලය යන වචන දෙකම පැරණී සාහිත්‍යයේ විශේෂයෙන් නගර වර්ණනා වලදී හමුවේ.
  • ’යථීන්ද ඛීලෝ පඨවිං සිතෝසියා චතුබබි වාතේහී අසම්ප කම්පියෝ’ රතන සූත්‍රයෙහි දැක්වෙන මේ ගාථා ඛණ්ඩයෙහි ඉන්ද්‍ර ඛීලය යන්න රූපකයක් ලෙස දක්වා ඇත.
  • සතර දිගින් එන සුළී කුණාටු වලින් නො සැලෙන පුරුෂ උත්තමයා ඉන්ද්‍ර ඛීලයක් වැනි බව ප්‍රකාශ වේ.
  • සම්භාව්‍ය සාහිත්‍යයේදී ඉන්ද්‍ර ඛීලය ලෙස දැක්වෙන්නේ නගර ද්වාරයක ගෝපුරට බද්ධ ඒ ඉන්න යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ගෝපුර සහ ඉන්ද්‍ර ඛීලය යන වචන දෙකම පැරණී සාහිත්‍යයේ විශේෂයෙන් නගර වර්ණනා වලදී හමුවේ. ’යථීන්ද ඛීලෝ පඨවිං සිතෝසියා චතුබබි වාතේහී අසම්ප කම්පියෝ’ රතන සූත්‍රයෙහි දැක්වෙන මේ ගාථා ඛණ්ඩයෙහි ඉන්ද්‍ර ඛීලය යන්න රූපකයක් ලෙස දක්වා ඇත. එයින් කියවෙන්නේ චරිත ලක‍ෂණයකි. සතර දිගින් එන සුළී කුණාටු වලින් නො සැලෙන පුරුෂ උත්තමයා ඉන්ද්‍ර ඛීලයක් වැනි බව ප්‍රකාශ වේ. වාස්තවිකව ගත් කල ඉන්ද්‍ර ඛීලය ද ගොපුරට අයත් උපාංගයක් හෙවත් කොටසකි.

අපේ නිවෙසක සමහර ගේට්ටුවල පලු දෙක එක් කොට රඳවා තැබීමට හරි මැද ඉන්නක් භාවිතා කෙරේ. එකී ඉන්න පොළොවට කිඳා බස්වා තිබේ. අරමුණ ඒ ගේට්ටුවෙන් පහසුවෙන් විවෘත කිරීමේ ඉඩ අහුරා දැමීමටය. නගරයක ගෝපුර අති විශාල එකකි. සම්භාව්‍ය සාහිත්‍යයේදී ඉන්ද්‍ර ඛීලය ලෙස දැක්වෙන්නේ නගර ද්වාරයක ගෝපුරට බද්ධ ඒ ඉන්න යි. දැවැන්ත බිහිදොර හෝ ගෝපුරක විවෘත කිරීමට හෝ වසා දැමීමට මහ පිරිසත් උවමනාවේ. එය තනි මිනිසෙකුට කළ නොහැකි හෙයිනි. බිහිදොර ශක්තිය පිළිබඳ සංඛ්‍යායක් පමණක් නොවේ. පාසලක බිහිදොර යනු එහි සම්ප්‍රදාය පිළිබඳ කියවීමක්ද වේ.


මේ කරුණු මට සිහිපත් වුණේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ අලුතෙන් ඉදි කෙරුණ අලංකාර බිහිදොර දැකීමෙනි. එය වාසල් දොරටුවක් මෙන්ය. මගියෙකුට යන ගමන නවතා නරඹන තරමට එය විචිත්‍රය. සකලාංග සම්පුර්ණය. මේ අලංකාර බිහිදොර මැදි විදුහලට හිමි උරුම කොට පවරා දෙන ලද්දේ එකී විදුහලේ 63 වෙනි සංවත්සර දිනයෙහිය. පාසලේ සංවිධායකවරු ඒ සංවත්සරය උපන් දිනය ලෙස දක්වති. මේ බිහිදොර නිර්මානය පිළිබඳ ලෙන්ගතු පුරෝගාමිත්වය ආදි ශිෂ්‍ය ප්‍රේමසිරි හේවා පතිරණ විසින් දරනු ලැබිය. ප්‍රේමසිරි හේවා පතිරණ මහජන බැංකුවේ වර්තමාන ප්‍රධාන විධායක නිලධාරි සහ සාමාන්‍යාධිකාරි වරයා වේ. ඊට අමතරව සහකාර පොලිස් අධීකාරි තිස්ස ලාල් ද සිල්වා, වාස්තු විද්‍යාඥ සම්පත් ද මේ සඳහා කැප කිරීම් කළ බවද සඳහන් විය.

අලංකාර බිහිදොරක ගෝපුරක උවමනාව කලින්ම හඳුනා ගත් විශ්‍රාමික විදුහල්පති වරුන් වන විපුලසේන රාජපක්ෂ සහ බී’ ඩී’ විමලසේන සද් පුරුෂයන් මෙම සංවත්සර හෝරාවේ කාගේත් සම්භාවනාවට පාත්‍රවිය. අවශ්‍ය සම්පත් දායක සම්බන්ධීකරණය මහනුවර මහ දිසාපති ආදි ශීෂ්‍ය ගෝඨාභය ජයරත්න මුල්ව කටයුතු කළ ප්‍රකාශ විය.

 

නිදහස් අධ්‍යාපන වංශ කතාවේ පෙරවදන මධ්‍ය විද්‍යාල පද්ධතිය වේ. එම පාසල් ස්ථාන ගත කරනු ලැබුවේ නගරයෙන් ඈත ගම්බද ප්‍රදේශවල ය. එහි අර්ථය මේ පාසල් පද්ධතිය ගම්බද හපන් සිසුන් ඉලක්ක කළ බව පමණක් නොවේ. දේශීය තෙතමනය රැඳී නෑඹුල් බිම් තීරුවල නව ජාතික අධ්‍යාපන සංකල්පය රෝපනය කළ යුතු බවය. ඒ සඳහා ශ්‍රී ලංකාවේ හරය ආත්මය එකට වෙලීගිය ග්‍රාමීය පරිසරය තෝරාගනු ලැබීය. ඒ අර්ථයෙන් ගත් කළ අද අනුරාධපුර මධ්‍ය විද්‍යාලය මුලින්ම ස්ථාපිත කරන ලද්දේ මහ නගරයක නොවේ.


අනුරාධපුර මැදි විදුහල 1947- 07- 2’ දින ආරම්භ විය. ඒ රත්මලේ හෙවත් ශ්‍රාවස්තිපුර ගම් ප්‍රදේශයේය. එකී කාලයේ එහි ශීෂ්‍යයෙකුව සිටි ආචාර්ය එම්.යූ.ඒ තෙන්නකෝන් මහතා ලියූ සටහනක බොහෝ  අපූරු සංවේදි තොරතුරු දැක්වේ. ඒ අනුව ආරම්භයේදී අනුරාපුර මැදි විදුහලෙහි සිටියේ ශීෂ්‍යත්ව ළමුක් දස දෙනෙකි. එදා නේවාසිකාර  හසුකම් නොවීය. ගැහැණු පිරිමි සිසු දරුවෝ ගුරු නිවාසයේ යාබද කාමර දෙකක බිම පැදුරු එළා නිදා ගත්හ. කොට බිත්තියකින් වෙන්වූ දොරක් නැති කාමර දෙක ඉබි යතුරු දැමූ බයිසිකයන් හරස් කර තිබිණ.

මැදි විදුහල රත්මලේ සිට පුලියන්කුලම (සාලිය පුර)ට ගෙන ආවේ 1948දීය.  ඊට හේතු දෙකකි. පළමුවැන්න නව පාසලට නව ගොඩනැගිලි අවශ්‍ය වීමය. දෙවැන්න දෙවන ලෝක යුද්ධය නිමවීම නිසා හිස්වූ පුලියන්කුලම කඳවුරු භූමියේ ගොඩනැගිලි රජරට තක්සලාවට හිමිවීමය. ශිෂ්‍යත්ව ලාභීන් නොවූ සිසුන්ටත් නේවාසික පහසුකම් දෙන තරමට එහි පහසුකම් විය. නව නේවාසිකාගාරයේ ශිෂ්‍යත්ව ලාභීන් නොවන සිසුන්ගෙන් අය කළ මාසික නේවාසික ගාස්තුව රුපියල් 22.50කි. 1952 ජනවාරියේ පාසල නව නගරයට ගෙන එන විට විදුහල්පති වරයා සුප්‍රකට ලේඛකයෙකුවූ ඊ.ආර්. එරත්න විය. ’ වර්තමානයෙහි එය අනුරාධපුර මහ නගර මධ්‍යයෙහි ස්ථාන ගත වන්නේ එසේය. එහෙත් එය හැඳීන්විය යුත්තේ නගරෙහි පිහිටි ගමේ ස්කොලය ලෙසය.


ඉහත කී බිහිදොර තැනෙන්නේ පාසල විසින් ලොකු මහත් කළ දූ පුතුන්ගේ දෑතිනි. ඔවුන්ගේ බර පැනෙනි. ඒ නව නගරයට පැමිණ පනස් අට වසරකට පසුවය. මැදි විදුහල පිහිටි ඉඩමේ පිඹුරු පතෙහි උතුර මහ පාර ආදි ලෙස පටන් ගෙන නැගෙනහිර දකුණ සහ බස්නාහිර යන භෞතික හතර මායිම් පැහැදිලිව දක්වා ඇතුවාට සැක නැත. එහෙත් පාසලේ අධ්‍යාත්මික හතර මායිම් පාසලෙහි මූලික අරමුණු අනුව සලකුණු වී අවසානය. ඒ අරුතින් ගත් කළ උතුරු මායිම  (සුනාථ ධාරේථ චරාථ යන ධම්මපද පාඨය අනුව සැකසුණ) අසමු දරමු හැසිරෙමු ආදි ලෙස නො වෙනස්ව පැවතිය යුතුවේ. නැගෙනහිරට බෞද්ධ සංස්කෘතියත් දකුණට ග්‍රාමීය චින්තනයත් බස්නාහිරට ලෝක දර්ශනයත් යන මායිම් වටකොට පවතී.

ඒ අධ්‍යාත්මික හතර මායිම් තුළ විශීෂ්ඨයන් බිහි වීමට උවමනා සියලු සාධක සදාකල් සුරක‍ෂීතව පවතී. ඒ අධ්‍යාත්මික හතර මායම් තුළ මැනෙවින් වැඩුණ කට ඇති පුතුන් දෙදෙනෙකු අප එහිදී දැක ගතිමු. සාම්ප්‍රදායික සංවත්සර උත්සවයේ පළමුවෙනි අත්පොළසන් නාදය හිමිවුණේ පෙර අපර දෙදිග සාහිත්‍ය සේවනය කළ චින්තක මදුෂාන් ගුණතිලක දරුවාගේ හරබර කතාවටය.  ස්තුති කතාව කළේ ප්‍රධාන ශීෂ්‍ය නායක පසක් නවෝද්‍ය බණ්ඩාර ය.

301582657 582727356724505 1133060046427474440 n

 

විදුහලේ උපන් දින උත්සවයේදී දීප්තිමත් ආදි ශීෂ්‍යයන් ගැන සඳහන් විය. සුප්‍රකට මහාචාර්ය වරුන් වූ සී එම් මද්දුම බණ්ඩාර,  ඩබ්ලිව් ඇම් සිරිසේන, ගාමිණි සමරනායක, කේ ප්‍රේමරත්න, සුජාතා පණ්ඩිතරත්න, රන්ජිත් දිසානායක ආදිහු ඒ අතර විය. මැදි විදුහලෙන් බිහිව රාජ්‍ය සේවය ඔප කළ නිලධාරි පරපුරෙහි පළමුවැන්නා වික්‍රම තිස්ස රාජකරුණා ය. තිස්ස රාජකරුණා නමින් රට දැන සිටි හෙතෙම 1959 වව්නියා සිංහල කොට්ඨාශයේ ප්‍රාදේශීය අදායම් නිලධාරි වරයා ලෙස පත්වි 1961දී ලංකා සිවිල් සේවයට ඇතුල්ව විදුලි බල හා බලශක්ති  ලේකම්වරයා ලෙස විශ්‍රාම ලැබීය. පී. බී. වන්නිනායක සහ එස්. එක්. බී. ඩබ්ලිව්. එම් මෛත්‍රීපාල මොනරාගල දිසාපති පදවි දැරූහ. ඩී. එම් . ආරියරත්න  අම්පාර හා ත්‍රීකුණාමලේ දිසාපති පදවිය දැරීය.  කේ.බී. සිරිසේන කම්කරු ලේකම් වරයා විය. ධර්මසේන දිසනායක වර්තමාන ස්වදේශ කටයුතු ලේකම් වරයා වේ. ගෝඨාභය ජයරත්න වර්තමාන මහනුවර දිසාපති වරයා වේ. ප්‍රේමසිරි හේවා පතිරණ වර්තමාන මහජන බැංකුවේ  වර්තමාන ප්‍රධාන විධායක නිලධාරි සහ සාමාන්‍යාධිකාරි වරයා වන අතර රත්නසිරි සිරිවර්ධන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධීතාරි වරයා වේ. වෛද්‍යවරු ඉංජිනේරුවරු නීතිඥවරු ආදි විශීෂ්ඨ වෘතිකයන් දහස් ගණනක් බිහිකළ මේ විශීෂ්ඨ විදුහලේ දායාදයන් වූ සයිමන් නවගත්තේගම, අධි නීතිඥ රන් බණ්ඩා සෙනෙවිරත්න ආදීන් ජනාදරය දිනූ ලේඛකයන් වෙති. පුලියන්කුලම හරහා අනුරාධුපර නගරයට පාසල සමග පැමිණී රන් බණ්ඩා සෙනෙවිරත්න තම විදුහල් මාතාව පසුකොට වලිසිංහ හරිශ්චන්ද්‍ර උද්‍යානයෙන් අවසන් ගමන් ගිය බව සිහිපත් කිරීම සංවේදි කාරණාවකි. බර්ටි ප්‍රේමලාල් දිසානායක, එච්.බී. සේමසිංහ වැනි ආදි සිසුන් දේශපාලන වගකීමේ දැරුවෝ වෙති.


මේ ආදි ලෙස තම අධ්‍යාත්මික සීමාවන් තුළ මැදි විදුහල තැබූ විශිෂ්ඨ වාර්තා අනන්ත ය. එසේම’ මේ පාසලෙන් කිසි දිනෙක අ විනය පැමිණිල්ලක අදාන්ත හැසිරම බිඳ වැටුණ ප්‍රතිපලයක් ගැන අසන්නට විදුහල වට කොට සිටින ආදි ශිෂ්‍ය පරපුර අපේක‍ෂා නො කරති. ඒ බව සංවත්සර දින පාසලෙන් තුළ ඇසුණ කතා බහෙන් මොනවට තහවුරු විය.  මේ සටහන 63 වෙනි සංවත්සරය දා පාසලේදී ඇසූ කතාවකින් නිම කරන්නට කැමතිවෙමි’  

 

BIpzK1W30onk6to8 2 රොබට් නොක්ස්

නාවලපිටිය රජයේ රෝහලේ දන්ත ශල්‍ය වෛද්‍ය වරයාව සිටි වෛද්‍ය රංජිත් ගුණතිලක මැදි විදුහලේ ආදි ශීෂ්‍යයෙකි. වර්තමානයේ මධ්‍යම පළාත් සභාවේ තනතුරක් දරන හෙතෙම 2010 ජූලි 21 දින මැදි විදුහලේ සංවත්සරයට සහභාගි විය. වෛද්‍ය රංජිත් ගුණතිලක ඊට පෙරදින එනම්  2010 ජූලි 20 දා පන්විලතැන්නේ ලැගුන්දෙණීය ප්‍රදේශයේ වෛද්‍ය සායනකට සහභාගි විය.’එහිදී හමුවූ මවකගේ පැවතුම් වෛද්‍ය ගුණතිලක තුළ සුවිශේෂයෙන් සටහන් විය. ඇය පැමිණ සිටියේ රෝගීවූ සිය ඤාණ දතක් ඉවත් කරවා ගැනීමටය.  එකී දතේ ශක්තිමත් භාවය තහවුරු කළ වෛද්‍ය වරයා ඇයට ප්‍රතිකාරයක් පමණක් නියම කළේය. පසුව ඒ අම්මා සමග සුහද වූ වෛද්‍ය වරයා රොබට් නොක්ස් පදිංචිව සිටි ලැගුන්දෙණීය ගැන පැරණි තොරතුරු විමසා සිටියේය. තමන් අනුරාධපුරේ බවත් ලැගුම්දෙණිය සැමියාගේ ගම බව කී ඇය මාතලේ එනසාල් වත්තක  රැකියාව කළ සැමියා ජීවතුන් අතර නැති බව කියා සිටියාය.

'අපි හෙට අනුරාධපුරේ යනවා’ වෛද්‍ය ගුණතිලක කී පසු  අම්මාගේ දෑස දීප්තියෙන් දිළීසිණ. ඉන්පසුව ඇය  විමසා ඇත්තේ මහත්තයා අනුරාධපුරේ ද කියාය’ තමන් යන්නේ මැදි විදුහලේ සංවත්සරයට බව කි පසුව ඒ අම්මා තවත් ආරංචියක් කීවාය’

''මමත් සෙන්ට්‍රල් එකේ ඉගෙණ ගත්තේ'' ඒ අම්මා එසේ කියා ඇත්තේ මහත් ආඩම්බරයෙනි. ජයලත් ගල්ගමුව ආදින් ඇයගේ සමකාලීනයන් බව කී ඇය නමින් ඇය එස් රන් එතනා ය. ගම කෑඳෑවය. ගම දුර බහැර හෙයින් නතරව සිටියේ මැදි විදුහලේ බාලිකා නේවාසිකාගාරයේම ය. සායනයට පැමිණී ඒ අම්මා තුළින් පිළීබිඹුවූ   සුවිශේෂ ඇවතුම් පැවැතුම්මැදි විදුහල ලාංකේය සමාජයට හිමිකළ පොදු දායාද බව වෛද්‍ය ගුණතිලක විශ්වාස කරයි.  මේ කතාවේ සිද්ධීමය වටිනාකම නිසාම මම වෛද්‍ය රන්ජිත් ගුණතිලකගේ වර්තමාන තනතුර විමසා සිටියෙමි.

343225498 246888044401985 8051579192683648486 n

සෙන්ට්‍රල් එකේ ආදි ශීෂ්‍යයෙක් කියනවාට වැඩිය තවත් තනතුරක් තියෙයිද? ඒ වෛද්‍ය ගුණතිලක දුන් පිළීතුරයි. ඉහක කී සිද්ධීය හරහා කරුණු දෙකක් නිරීක‍ෂණය කෙළෙමි. පළමුවැන්න මැදි විදුහල් මාතාව  බිහි කළේ ආචාර්ය මහාචාර්ය සිවිල් නිලධාර වෛද්‍ය ආදි වෘතිකයකන් පමණක් නොවේ. තමන් වෙත පැමිණී හැම දරුවාම සමාජයට ගැලපෙන චරිතයක් බවට පත් කළ බවය. දෙවැන්න වෛද්‍ය ගුණතිලක දුන් පිළිතුරයි. ඉන් කියැවෙන්නේ තම පාසල හිමිකළ නිහතමානිකම ඔහුගේ අනන්‍යතාවය වී ඇති බව සහ ඒ ගැන ඔහුට ඇති ආඩම්බරයයි. මේ පාසල් සම්ප්‍රදාය හෙට දවසට ඉතිරි කර තැබීමේ වගකීම පැවරී ඇත්තේ අද එහි සෙවන ලබන දූ දරුවන් සහ ඔවුන් යහමග යවන ගුරුවරුන්ය.



chandrasiri senevirathne
(සටහන | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...