The Leader News
BREAKING
පෞද්ගලික හෙද පුහුණු ආයතන නියාමනයට රජයෙන් දැඩි පියවර●ඥානසාර හිමිගේ සිවුර: කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට නිල දැනුම්දීමක්●පළමු වන පැමිණිල්ල හිටපු ඇමතිගේ උපදේශක සහ තවත් අයෙකුගෙන් - විමර්ශන නිලධාරියා බෙහෙත් නඩුවේදී කියයි ●මිල්ටන්ගේ ජීවිතයද? නැතිනම් අපේ නොස්ටැල්ජියාවද? ‘එදා රෑ’ කියවීමක් | Athulasiri Samarakoon●ජෙෆ්රි ආචර් සමුගනී: සාහිත්‍යයේත් දේශපාලනයේත් පෙරළිකාරයා●නව ත්‍රස්ත පනත සහ ක්‍රිකට් පනත් කෙටුම්පත අද මැතිසබයට●ඥානසාර හිමියන් ජම්පරයෙන් වැලිකඩ අයි වාට්ටුවේ●තිලීපන් පිළිමය ඉවත් කිරීම: 'සිංහල ජනතාවගේත් හිත් පෑරීමක්'●ඉන්ධන හිඟයක් නෑ: පෝලිම්වල කතාව මෙන්න●මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : මාලිමා බෝතලේ

T

The Leader Desk

December 29, 2024 • 6:34 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : මාලිමා බෝතලේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනතාව බලාපොරොත්තු පෝලිමකට එක්ව ඉදිරිය දෙස බලා සිටිති.
  • පසුගියදා නත්තල් සීයා ද සුපුරුදු ලෙසම තම මල්ල කර තබාගෙන, ජනතාව අතරට ආවේය.
  • බියර් සල්ලිවලින් අමද්‍යප සංගම් හා සුචරිත සංවිධාන ඇවිස්සීමටද ඉඩ ඇත.
  • මම ද නිතර නිතර ‘සුරාමේරය මජ්ජපමා දට්ඨානා’ ප්‍රතිඥාව දෙන හොඳ මිනිසෙක්මි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනතාව බලාපොරොත්තු පෝලිමකට එක්ව ඉදිරිය දෙස බලා සිටිති. බලාපොරොත්තු පෝලිම අඩු කිරීම හෝ නැති කිරීම, ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් අඩු කරන්නාක් මෙන් කටයුත්තක් නොවේ.

ගෑස් දුන් විට, ගෑස් පෝලිම අවසන්ය.

ඉන්ධන දුන් විට, ඉන්ධන පෝලිම අවසන්ය.

එහෙත් බලාපොරොත්තුවල ඉවරයක් නැත.

 

එකක් ඉටුවන විට, තව එකක් අලුතින් පෝලිමට එක්වෙයි.

පසුගියදා නත්තල් සීයා ද සුපුරුදු ලෙසම තම මල්ල කර තබාගෙන, ජනතාව අතරට ආවේය. එහෙත්, වෙනදා මෙන් නොව, මෙවර ඔහු බෙදා දුන් සෙල්ලම් බඩු හා රසකැවිලි වලින් ජනයා සතුටු වූයේ නැත.

“හාල්, පොල් ගෙනාවෙ නැද්ද?”

ජනයා ඇසූහ.

නත්තල් සීයා ආපසු ගියේ, ”ලබන නත්තලට බලමු” යැයි කියාගෙනය.

 

නත්තලට පොඩ්ඩන්ට තෑග්ගක් !
නත්තල් සාදවලදී තවත් අලුත් බලාපොරොත්තුවක් ගැන කතාවනු අසන්නට ලැබුණි. ඒ, රුපියල් දෙදාහේ අරක්කු බෝතලය ගැනය.

“අලුත් බෝතලේ ගාණ වගේම සැරත් අඩුයි කියල කතාවක් තියෙනව නේද?”

සමහරුන්ට ලොකු ප්‍රශ්නයකි.

සැර නැත්නම් වදින්නේ නැත. වෙරි වෙන්නේ නැත. සූර් නැත්නම් ආතල් නැත.

“එක බෝතලේට, දෙකක්ම ගහන්න වෙයිද?”

“එතකොට ආයෙත් පරණ ගාණටම සෙට් වෙනවා.”

“මේ ආණ්ඩුවත්, අලුත් බෝතලේ වගේ තමයි.”

 

බදු පොලු තැබූ මත්පැන් සමාගම් 9 ට අවසන් නිවේදනයක්


“ඇයි එහෙම කියන්නෙ?”

“තාම මිනිස්සුන්ට වැදුණෙ නෑනෙ. මිනිස්සුන්ට ඕනෙ ඉක්මනට වදින්ඩ.”

මාධ්‍යවල පළ වූ හැටියට, බියර්කාරයෝ අලුත් බෝතලයට විරුද්ධය. ඒ නිසා ඒ බලාපොරොත්තුවත් සුන් වේදැයි කිව නොහැකිය. බියර් සල්ලිවලින් අමද්‍යප සංගම් හා සුචරිත සංවිධාන ඇවිස්සීමටද ඉඩ ඇත. මීට කලකට ඉහත, කොළඹ ප්‍රදේශයේ රා තැබෑරුම්වලට විරුද්ධ උද්ඝෝෂණයක් පැවැත්වුණි. එහි මූලිකත්වය ගත්තේ, එකල දේශපාලනයට පිවිසෙමින් සිටි තරුණ දේශපාලනඥයෙකි. ටික කලකට පසු, ඔහුගේ ඡන්ද ව්‍යාපාරයට උදව්වක් වශයෙන් අලුත්ම මෝටර් රථයක්ද ලැබුණි.

දවසට දහ දොළොස් වතාවක් ජීවිතය පරදුවට තබන්නෝ - (දයා නෙත්තසිංහ)

පසුව දැනගන්නට ලැබුණු අන්දමට, එය ‘රා විරෝධය’ පසුපස සිටි අරක්කුකාරයන්ගෙන් ලැබුණු තෑග්ගකි. දුප්පතාගේ රා බෝතලයට විරුද්ධ වූ එම දේශපාලනඥයා, වේදිකාවල කතා කළේ, පීඩිත පන්තිය නගා සිටුවීම ගැනය.

මගේ අදහසේ හැටියට නම්, කවුරු විරුද්ධ වුණත් දෙදාහේ බෝතලය ඉක්මන් කළොත්, ඉදිරියේ එන පුංචි ඡන්දයත්, අලුත් ආණ්ඩුව දිනන්නෙ ‘ලොවෙත් නැති’ සයිස් එකටමය. හාල්, පොල් මෙන්ම මත්පැන්ද පොදු ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩයකි. එය ලබාදීමට සමත් වුවහොත්, ආණ්ඩුවේ ‘එල් බෝඩ්’ එක ද ගැලවී විසිවෙනවාට සැක නැත.

නිකං හාල් සේරුවක් දුන් නිසා ඩඩ්ලි සේනානායක අගමැතිතුමා ‘බත් දුන් පියා’ විය. දෙදාහේ බෝතලය දුන්නොත්, මේ ජනාධිපතිතුමාටද ‘අරක්කු දුන් සහෝදරයා’ යැයි නමක් පටබැඳෙන්නටද බැරි නැත. සියලුම මිනිසුන් මත්පැන් පානය කළ යුතු යැයි මම කිසිසේත් නොකියමි. මම ද නිතර නිතර ‘සුරාමේරය මජ්ජපමා දට්ඨානා’ ප්‍රතිඥාව දෙන හොඳ මිනිසෙක්මි. එහෙයින් සුරාවට, මිනිසුන් පොළඹවා පව් සිදුකර ගැනීමට බිය වෙමි. එහෙත්, බොරු කීමට ජනතාවට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සේම, මත්පැන් බීමට ඇති අයිතියටද ගරු කරමි.

සුරාලෝලී ජන කවියකු කියා ඇති කවියක් මගේ මතකයට නැගේ.

 

සුරාබදු ආදායම අඩුවෙයි : රටපුරා 'හොර මත්පැන්' වැඩිවෙලා
සුරාවෙහි අගයත්
එහි ඇති මනා ගුණයත්
බොන උතුමෝම මිසක්
නොබොන නුනුවණ දනෝ දොදනිත්.

සමහරු මෙහි ‘දනෝ’ වෙනුවට ‘ගැහැනු’ යනුවෙන්ද යොදති.

සෝවියට් රුසියාවද වොඩ්කා සුලභ කළේය. කියුබාව ඉස්තරම් රම් නිපදවයි. ඒ අනුව, අපට ද ජන හිතකාමී අරක්කු නිපදවිය හැකිය. එහි ලේබලයට ‘මාලිමා’ ලකුණ යෙදීමද කළ හැකි නමුත්, ගැටලුවකට තිබෙන්නේ මැතිවරණ සමයකදී ඊට නීතිරීති හරස් වීමට ඇති ඉඩය. ගල් බෝතලේ, පොල් බෝතලේ කියන්නා සේ, ‘මාලිමා බෝතලේ’ යැයි කීමටද ජනතාව පුරුදු වනු ඇත. ලෝකයේ විවිධ රටවල, විවිධ මත්පැන් වර්ග ඇතත්, ඉහළම තැන දිනා සිටින්නේ විස්කිය. ඒ ගැන මුහුණුපොතේ ස්නයිපර් ලියා තිබුණේ මෙලෙසිනි.

ඇවිදින රුවක් ඈතින් දුර අඩිය තියා
රෙඩ්, බ්ලැක්, ගෝල්ඩ් ලේබල් ලෙස පාට කියා
මඟුලට, පාටියට නැතුවම බැරිය මෙයා
දෙවියෝ රැක දෙන්න ‘වෝකර් ජොනී’ මයා

විපක්ෂයේ තවත් හතකට බාර් තෑගි !

 

පමණ ඉක්මවා බීගත් කල, බොහෝ දෙනා අමන වැඩ කරති. තවත් සමහරුන්ගේ සිහිය (මතකය) විකල් වෙයි. ජනප්‍රිය චිත්‍රපට නළුවකුට සිදුවූ එවැනි අකරතැබ්බයකින්, මෙවර තීරුව හමාර කරමි. (ඔහු මීට කලකට පෙර මියගිය බැවින්, මෙහිදී වෙනත් නමක් භාවිත කරමි.) මාලන්, සීමාවක් නැතිව බොන්නෙකි. එක් දිනක්, රෑ බෝවන තුරු පානය කළ ඔහු, තම නිවෙස බලා යාමට ත්‍රිරෝද රථයකට නැගුණි. එකල, ඔහු නතරව සිටියේ, කොළඹට මඳ දුරක් ඈතින් පිහිටි නිවාස සංකීර්ණයකය. බීමත්ව සිටි මාලන්ට, තම නිවස හඳුනාගත නොහැක. සියලු නිවාස එකම හැඩයේය. අවසානයේ, එක් නිවසට ගිය ඔහු, දොරට තට්ටු කළේය. එහි සිටින මහලු මහතෙක් ඉදිරියට පැමිණියේය. මාලන් ඔහු ඇමතීය. “මිස්ටර්... මට කියනවද අර මාලන්ලගෙ ගෙදර කොහෙද කියලා. අර ෆිල්ම් ඇක්ටර් මාලන්.”
මහලු මහතා පුදුමයට පත්විය.

“ඉතින්, ඔයානෙ මාලන්.”

“හරි හරි... මං ඇහුවෙ එයාගෙ ගෙදර තියෙන තැන.”

පදම වැඩි වූ විට කෙළින්නේ ඔවැනි පිස්සුය. නුදුරු අනාගතයේදී රුපියල් දෙදාහකට වුව, පිස්සු කෙළිය හැකිය.

කපිල කුමාර කාලිංගගේ හීසරය : ඉස්සන් මගුරන් ලොකු වැලිගොව්වන්(පිටපත | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...