The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඉහ කැටිය - ගමක නමක් පමණක්ද? - | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

January 3, 2025 • 4:17 PM

ඉහ කැටිය - ගමක නමක් පමණක්ද? - | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ධර්ම සංග්‍රහය, අපේ කාලයේ එනම් හැට හැත්තෑ ගණන්වල අපොස සා පෙළ බුද්ධාගම විෂයට නියමිත පෙළ පොත විය.
  • බුද්ධාගම සකල අයිතිය ඇත්තේ දෘෂ්ඨි කෞතුකාගාරයක් වන ඉන්දියාවට නොව ලංකාවටය.
  • ලංකාව ලිප්ටන්ගේ තේ වත්ත කීවාට උඩරට ගිවිසුමේ එවැන්නක් සඳහන්ව නැත.
  • ප්‍රේමලතා සෙනෙවිරත්න මහත්මිය මේ ප්‍රශ්නය ඇසුවේ දිස්ත්‍රීක් ඉඩම් නිලධාරිනියක ලෙස වික්ටෝරියා ජලාසය සහ පෝෂක ප්‍රදේශ සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ රාජකාරියෙහි යෙදී සිටියදීය.
අකුරු ප්‍රමාණය (Font Size):

යනුවෙන් දක්වා ඇත.  ධර්ම සංග්‍රහය, අපේ කාලයේ එනම් හැට හැත්තෑ ගණන්වල අපොස සා පෙළ බුද්ධාගම විෂයට නියමිත පෙළ පොත විය. භාරතය දෘෂ්ඨි කෞතුකාගාරයක් නම් ලංකාව....? සෙරන්ඩිබ්, ඉන්දියන් සාගරේ මුතු ඇටය, පෙරදිග ධාන්‍යාගාරය, ලෝකෙන් උතුම් රට ආදි වශයෙන් විවිධ පර්යාය නාමයෙන් හැඳින්විණ.  

සර් අයිවෝ ජෙනිංස් | බර්ට්‍රම් රසල්

සර් අයිවෝ ජෙනිංස්, ලංකාව දැක්කේ සංස්කෘතික කාන්තාරයක් හැටියටය. ජෙනිංස් උපන් එංගලන්තයේම ඉපදුණ බර්ට්‍රම් රසල් කීවේ තමන් ආගමක් අදහන්නේ නම් ඒ බුද්ධාගම කියාය. බුද්ධාගම සකල අයිතිය ඇත්තේ දෘෂ්ඨි කෞතුකාගාරයක් වන ඉන්දියාවට නොව ලංකාවටය. එහෙත් පෙරදිග ධන්‍යාගාරයකි. ලංකාවේ මිනිසුන් වැඩිය කන්නේ පිටරටින් ගේන හාල් ය. ලංකාව ලිප්ටන්ගේ තේ වත්ත කීවාට උඩරට ගිවිසුමේ එවැන්නක් සඳහන්ව නැත.

 

එසේම ජෙනින්ස් සංස්කෘතික කාන්තාරයක් හැටියට දුටු ලංකාවට බුද්ධාගම පොද වැස්සක්වත් වෙලා නැත. බුද්ධාගමේ නොව බෞද්ධ දර්ශනයේ සාරය බර්ට්‍රම් රසල් තේරුම් ගත්තාට ජෙනිංස් කතා කළේ ඔහු තේරුම් නොගත් අපේ සංස්කෘතිය ගැනය. මට මෙහිදී, ජෙනිංස් රසල් දෙදෙනාගේ ඔලූ එකට හප්පා මතුවන සද්දේ අසන්නට කැමැත්තක් නැත. හේතුව රසල් කතා කළේ ලංකාව ගැන නොවන නිසාය. එහෙත් ජෙනිංස් ලංකාවට එනවිට වසර දෙදහසක් කල් ලංකාවේ මිනිසුන් බුද්ධාගම විසින් මනාව හසුරුවා තිබිණ.

මාතෘකාවක් නැති මේ කල්පනාවන් මා අතින් ලියැවුණේ දයාබර බිරින්දෑ හදිසියේ ඇසූ ප්‍රශ්නයක් නිසාය.

''අප්පච්චි ඉහකැටිය කියන එකේ තේරුම මොකක්ද? අපේ පරම්පරාවේ බොහෝ වැඩිහිටි අඹු සැමියන් උනුන්ට කතා කළේ  අම්මා අප්පච්චි ආදි ආමන්ත්‍රණ වලිනි. වර්තමාන අඹු සැමියන් රාත්‍රී යහන් ගත වන තෙක්ම අයියලා සහ නංගිලා වෙති.

''කොහෙද එහෙම තියෙන්නේ '' මම පෙරළා විමසා සිටියෙමි.  

'' ඒක අපි ඉඩම් අත්පත් කර ගන්න ගහලා තියෙන ගැසට් එකක තියෙන ගමක නමක්. ප්‍රේමලතා සෙනෙවිරත්න මහත්මිය මේ ප්‍රශ්නය ඇසුවේ දිස්ත්‍රීක්  ඉඩම් නිලධාරිනියක ලෙස වික්ටෝරියා ජලාසය සහ පෝෂක ප්‍රදේශ සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ රාජකාරියෙහි යෙදී සිටියදීය.  ඇය සඳහන් කළ ඉහ කැටිය  පාත හේවාහැට ප්‍රදේශයේ මහනුවර රජ මාවත අයිනේ පිහිටා ඇති ප්‍රදේශයකි. ඉහකැටිය නම් ගම ලෝරි ගැසටියර් හි නො දැක්වේ. එයින් අදහස් වන්නේ එය මෑතක එක් දහස් නවසිය ගණන්වල ජනාවාස වූ බවකි. ඉහකැටිය යන්නෙහි ගැබ්ව ඇත්තේ උඩහ කොටස වැනි තේරුමක් ඇති වචන දෙකකි. එය ගමක නමක් වන විට එක් වචනයක් ලෙස ලියැවේ.


ඉහකැටිය යන්නේ තේරුම කුමක්ද? එක් වරම එකී නම ඇසුණ විටෙක කරකවාලා අත හැරියා සේ දැනෙනවාට ද සැක නැත. එහෙත් බොහෝ කුඩා විමසීම් හරහා ගමන් කළ හැකි දුර බොහෝය. ඉහ කැටියේ තේරුම සෙවීම භාෂා ප්‍රේමි ශාස්ත්‍ර වන්තයෙකුගේ සිතට ප්‍රබෝධය ගෙන දෙන අභ්‍යාසයකි.  

විශේෂයෙන් ගමක නමක් විමර්ශනය කිරීම යනු සමහර විට සාර සංග්‍රහයක් කියවීමට සමාන වේ. ලෑලි හේත්තුව කියන්නේත් ගමක නමකි. ඒ නමෙහි ඇත්තේ වචනාර්ථය ඉක්මවා නො යන සරල මෙන්ම සුගම අර්ථයකි. එහි සිද්ධිමය වටිනාකමක් නො දැකිය නොහැකිය. උඩගම පල්ලේගම යන ග්‍රාම නාමවල අර්ථයද ඒ ආකාරයන්ම සරලය. ලංකාවේ ඕනෑ තර්ම උඩගම් පල්ලේගම් නමින් හැඳින්වෙන ග්‍රාම නාමයන් භාවිතා වේ. පවත්නා භූගෝලීය පිහිටීමට අනුගතව එකී ග්‍රාම නාම ඉහළගම පහළගම ආදි ලෙස ද සමහර පළාත්වල විචිත්‍රවත්ව ව්‍යවහාර වේ. උඩගම ඉහළගම වීමත් පල්ලේගම පහළගම වීමත් විවරණයකට විග්‍රහයකට පාදක විය හැකිය. මෙකී සංසිද්ධින් තුළ මූලික කරුණු දෙකක් නිරීක‍ෂණය කළ හැකිය. පළමුවැන්න අපේ මව් බසෙහි පවත්නා පළල් මෙන්ම ව්‍යක්ත භාවයයි. දෙවැන්න සිංහල භාෂාව භාවිතා කරන්නන් තුළ පැවති නිර්මානාත්මක හා සංවේදී භාවයයි.  

ඉහකැටිය යන ග්‍රාම නාමයට සමගාමි ග්‍රාම නාම බොහෝ වෙති. වේවැල් කැටිය, මිණිරන් කැටිය, කන්දෙකැටිය, ගල්කැටිය, තිෙ`ගාල් කැටිය ආදි ග්‍රාම නාම ඊට උදාහරණ වෙති. මෙහි දැක්වෙන කැටිය යන්නට එකතුව, රාශිය, පිඩ, අහුර ආදි තේරුම් ඇති සමාන සමාන වචන බොහෝ වේ.    

ඉහ යන වදන හෝ යෙදුම අමුතු එකක් නොවේ, එය සිංහලයේ ප්‍රකට ස කාර හ කාර වීමකි. ඉස ඉද්දර ඉහ ඉද්දර වේ.  ඉස කුඩිච්චිය විය.  ඉසිලීම ඉහිළීම විය.  ඉස්මත්ත ඉහත්තාව වුණේද එසේය. එහෙත් ඉස්මත්ත ඉහත්තාව වීමේදී වඩාත් ප්‍රබල ලෙස නිෂ්පන්න ලක‍ෂණ ප්‍රකට වේ. එහිදී සිදු වී ඇත්තේ භාෂාවකට ආවේනික තාක‍ෂණික සිද්ධාන්ත ඉස්සර වීම නොවේ. ජන භාවිතය අතර  තවත් මොන මොනවාදෝ සිද්ධ වීමය.

මම රා කැටියක් බීලා හිටියේ......    පල්ලේ කුඹුරේ මුතු බණ්ඩයියා සණ්ඩුවකට මුල් වී බැනුම් අසන විට නිදහසට කියන්නේ එවනැන්නකි.  මුතු බණ්ඩයියාගේ මෙම ප්‍රකාශනයෙහි දැක්වෙන කැටියක් යන්න හුඟක් හෝ යම් ප්‍රමාණාත්මක බවක් ප්‍රකාශ කෙරෙයි.

 cyr57| ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම්

 

මේ සියලු භාෂා භාවිතයන් සමග සැසඳීමේදී ඉහ කැටිය යනු උස්බිම්  ප්‍රදේශය බව පැහැදිලිය. ( එහෙත් උතුරු මැද පළාතේ ඉහ යන නමින් හැඳින්වෙන කටු සහිත පඳුරු විශේෂයක් ද වේ.) මා මෙහිදී කියන්නට උත්සාහ කරන්නේ ගම් ප්‍රදේශයකට නමක් ආරෝපනය වීමේදී පවා අපේ භාෂාව කොතරම් සියුම් මෙන්ම ව්‍යක්ත ලෙස ජන විඥානය පෝෂණය භාවිතා වන්නද යන්නය.

 

මේ ග්‍රාම නාම කමිටු මණ්ඩල හෝ විද්වත් සභා විසින් නිර්මානය කරන ලද්දේ නොවේ. ඒවා ආවේග බහුලව රා කැටියක් බී  සීමාව ඉක්මවා ගිය විටෙක කුණුහරුපයෙන් බැන ගන්නා ලග්ගල පල්ලේකුඹුරේ මුතු බණ්ඩයියා වැනි ගැමියන්ගේ මුකරිකම විසින්ම නිර්මානය කරන බව  මගේ අවබෝධය වේ.

නිෂ්පන්න (අප අතරින්ම නිෂ්පාදනයවූ) ලක්ෂණ සහිත අපේ බොහෝ වචනවල අනන්‍යතාවය සුවිශේෂ ලක‍ෂණ ගනී. ඒවා ඉපැරණී හෙළ බසින් ඉතිරිවූ මතක විය හැකිය.  ක්‍රි ව 908-918 අතර කාල වකවානුවෙහි ලියැවුණා සේ සැලකෙන ධම්පියා අටුවා ගැටපද සන්නයෙහි හෙළටුවා යනුවෙන් සඳහනක් වේ. හෙළටුවා යනු ඈත යුගයක හෙළ බසින් හෙවත් එකල භාවිතාවූ සිංහල භාෂාවන් ලියන ලද අටුවා ග්‍රන්ථ සමූහයකි. දම්පියා අටුවා ගැට පදය යනු ධම්මපදට්ඨ කතා නම් පාලි ග්‍රන්ථයට හෙළ බසින් ලියන ලද අටුවාවේ හෙළ බස යන්න ධම්පියා අටුවා ගැටපද සන්නයෙහි හෙළ බසින්ම මෙසේ විග්‍රහ කරයි.

දීප භාසාය, හෙළ බසින් දීප වාසීනං භාසා දීප භාසා නැවත ධම්පියා අටුවා ගැටපදයේ පාලි බසින් පැවති අටුවා ග්‍රන්ථ හෙළ බසට නගා තිබුණ බව සඳහන් කරන්නේ මෙසේය. මගධ බසින් වැටෙමින් ආ බුදුකැලි අටුවා හෙළදිව ඇජුරෝ හෙළ බසින් තුබූහ. මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල ආදි විද්වතුන් කියන්නේ අද ව්‍යවහාර වන සිංහල භාෂාවේ උපත හෙළ බස බවයි.

එකී කිසිදු හෙළටුවා ග්‍රන්ථයක් අදට ඉතිරිව නැත. ඉහත දැක්වුණ ධම්පියා අටුවා ගැටපද සන්නයෙහි හෙළු බසින් ලියන ලද අටුවා වලින් උපුටා ගත් උදෘත අනුව එදා පැවති හෙළ බස පිළිබඳ යම් අදහසක් ගත හැකිය.

වෙරියෙක් විද මැරීය
ලකුණ්ටකෝ වදානි කිරස්ස නමි
රහදෝ වදාන කිඳ අවාටහි නමි

දායි මාලේ

ඉන්සෙ ඉන්සේ  

මේ  දැක්වෙන්නේ අතීතයේ පැවති අපේ හෙළ බසෙහි වදන් කිහිපයකි.

රහදෝ වදාන කිඳ අවාටහි නමි පදයෙහි  දැක්වෙන කිඳ යනු අදටත් භාවිතා වන වචනයකි. ''කිඳ'' යනු අවාටය දිය පිරුණ වල ආදි තේරුම් දෙයි. උඩරට ප්‍රදේශයේ උඩුකිඳ යටිකිඳ ආදි ග්‍රාම නාම බොහෝය. ධම්පියා අටුවා ගැටපදයෙහි දැක්වෙන මේ උදෘතය, රහදෝ (රසදිය) යනු ජලයට නමක් ලෙස විද්වතුන් අර්ථ දක්වා තිබේ. ඉහකැටිය යන්නෙහිද මෙහි විස්තර කළ පූර්ව භාෂා ලක‍ෂණ පවතිනවාට සැක නැත.

පිහිඹිය, උඳු පියලි, පොලොස්, වරකා, කොහොල්ලෑ වැනි අදටත් භාවිතයෙහි පවත්නා වචන හෙළ බසින් ඉතිරිවූ ව්‍යවහාර ලෙස පණ්ඩිත බද්දේගම විමලවංශ හාමුදුරුවන් වහන්සේ අනුමාන කරති. නිෂ්පන්න ලක‍ෂණ සහිත අපේ බොහෝ වචන හෙළ බසින් අපට ඉතිරීවූ බවට එසේ අනුමාන  කරන්නේ, මාතෘ භාෂා ලෙස අප සලකන පාලි සංස්කාත භාෂාවල ඌරුව මෙකී වචනවල නැති නිසාය.

gfur7567v
මෙම සටහන ආරම්භයේ අයිවෝ ජෙනිංස්ලා, බර්ට්‍රම් රසල්ලා පෙළ ගස්වා තැබුවේ ඇයි? අප අදටත් අත් විඳින මේ අපූරු භාෂා භාවිතාව ඇබ්බැහිකම බොහෝ දෙනෙකු තේරුම් ගෙන නැති බව කියන්නටය. එය ලැබුණේ බෞද්ධ දර්ශනය හරහා බව තහවුරු කරන්නටය. බුද්ධාගම අපට දායාද කළේ පන්සිල් දසසිල් හා උපසම්පදාව හා පින් පව් පමණක් නොවේ. සියවස් ගණනක් පුරා අපේ උරුමය වූ ව්‍යක්ත භාෂාව ගොඩ නැගීමට මුල් වූයේ බෞද්ධ භික‍ෂුන් ගිහි වියතුන් පමණක් නොවේ. සිංහල රජ වරුන් පවා අපූරු ග්‍රන්ථ නිර්මානය කරන ලද්දාහ. ඉහතින් උපුටා දැක්වූ ධම්පියා අටුවා ගැටපද සන්නය ලියන ලද්දේ ක්‍රි. ව. 918-928 කාලයේ රට පාලනය කළ පස්වෙනි කාෂ්‍යප රජු විසිනි. ධම්පියා අටුවා ගැටපද සන්නය නම් එකී ග්‍රන්ථයේ  කර්තෘ නාමය දැක්වෙන්නේ දෙබිසෙවැජා අභාසලමෙවන් කසුබ් මහරජ්හු යනුවෙන් ස්වකීය අනන්‍යතාව ග්‍රන්ථ කර්තෘ දක්වා තිබේ.

මෙකී  ග්‍රාම නාම කමිටු, මණ්ඩල හෝ විද්වත් සභා විසින් නොව ආවේග බහුලව කුණුහරුපයෙන් බැන ගන්නා ගැමි සමාජයේ මුකරිකම විසින්ම නිර්මානය කරන ලද බව මා සටහන් අපහාසයකට නොව දැඩි අභිමානයෙනි. මහ රජුගේ පටන් හේන් කොටන ගැමියා තෙක් හැම සිංහලයාම භාෂාවේදීන් හැටියට පෝෂණය කළ වර්තමාන සිංහල භාෂාව ජාතියේ ජීවය වූ බව කියන්නටය.

chandrasiri senevirathne(සටහන | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...