මොකක් ද දරුවෝ මේ පත්තරේ තියෙන්නේ? මේ අවුරුද්දේ පළමු වැනි දා, මේ සිංහල පත්තරෙත් ඉංග්‍රීසියෙන්?
ඔය මාමේ ක්ලීන් ශ්‍රී ලංකා දිවුරුම ගැන නේ... 2025 වසර හා හා කියා පටන් ගන්නේ ඔය ක්‍රියාන්විතයෙන් ලු!
මොන ක්‍රියාන්විතයෙන්... කලින් ශ්‍රී ලංකා... ඒ මොකෝ? කලින් ශ්‍රී ලංකාව වෙනස් කරන්න නේ අපි ඡන්දේ දුන්නේ?
නෑ නෑ මාමේ, කලින් ශ්‍රී ලංකා නෙවේ, ක්ලීන් ශ්‍රී ලංකා. ඔය අපේ අනුර කුමාර ජනාධිපතිතුමා ගේ ව්‍යාපෘතියක්. ඇත්තට ම පළමු ව්‍යාපෘතිය. රට ම වෙනස් කරන ප්‍රධාන ම ව්‍යාපෘතිය ලු!
ඉතින් බං, මොකෝ මේ පත්තරේ ඒ නම ඉංග්‍රීසි අකුරෙන්? මේ සිංහල පත්තරේ?
ඒ මාමේ ව්‍යාපෘතියේ නම. පිරිසුදු ලංකා! ජනාධිපතිතුමා ලංකාව ම පිරිසුදු කරන්න යි යන්නේ!
වාසනාවයි! පිරිසුදු ලංකා! අපූරු නම... ඇත්ත නේ, මේක හැම අතින් සුද්ද කරන්න එපැ යි! එහෙනම් අපේ බලාපොරොත්තු ඉටු වෙයි!
ඔව් මාමේ, නව වසරට ජනාධිපතිතුමා, ආණ්ඩුව, වැඩ අල්ලන්නේ ම, මේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියෙන් ලු!
අනේ මන්දා බං, කලින් ලංකාව එපා වුණ නිසා නේ, කලින් උන් එපා වුණ නිසා නේ අපි අනුර ජනාධිපතිතුමාට, මාලිමාවට ජන්දය දුන්නේ?
නෑ නෑ මාමේ, කලින් ශ්‍රී ලංකා නෙවේ, මම කලිනුත් කිවුවේ, ක්ලීන් ශ්‍රී ලංකා. පිරිසුදු ශ්‍රී ලංකා! අලුත් ආණ්ඩුව ලංකාව ම පිරිසුදු කරන්න ලු යන්නේ!
කොහේ ද බං එහෙම කතාවක් තියෙන්නේ, මොකෝ මේ සිංහල පත්තරේ පුරාවට ඉංග්‍රීසියෙන්...
ඒ ඔය නිවේදනය නේ.... ඒ ව්‍යාපෘතියේ නම ක්ලීන් ශ්‍රී ලංකා. ඒකයි ඔය ඉංග්‍රීසියෙන් යොදලා තියෙන්නේ.
ඒක මහ පුදුම හරුපයක් නේ බං! දැන් ඔය පිරිසුදු කරන වැඩේට සිංහල නමක් නැද්ද? අපේ ඉතිහාසයේ අපි අපේ රට පිරිසුදු කරලා ම නැද්ද... රට නෙවේ බං, අපි හිත පවා පිරිසිදු කරගන්න පුරුදු පුහුණු කරගත්ත ජාතියක්!
අනේ මන්දා මාමේ, නම යොදා තියෙන්නේ නම් එහෙම තමයි.
ඒ මාමේ ව්‍යාපෘතියේ නම. පිරිසුදු ලංකා! ජනාධිපතිතුමා ලංකාව ම පිරිසුදු කරන්න යි යන්නේ!
නෑ, මම ඇහුවේ ඉතින් සිංහල නම මොකක්ද?
සිංහල නම? අනේ මන්දා මාමේ, තාම සිංහල නමක් නැතුව වෙන්ට ඇති. ඔය සිංහල නිවේදනයේ තියෙන්නේ ඔය ඉංග්‍රීසි නම ම තමයි. භාගවිට තාම සිංහල නමක් දාලා නැති ව ඇති.
ඇයි උඹ දැන් අපූරුවට කිවුවේ, පිරිසුදු ලංකා කියලා... අපූරු නමක් නේ...
ඒ මම කිවුවේ මාමේ, ආණ්ඩුව එහෙම කියලා නෑ!
ඒක මාර හරුපයක් නේ. . . දැන් මේ අපේ ආණ්ඩුව වැඩ කරන්නේ සිංහලෙන් නෙවේ ද? මේ අපේ ගම්දනව්වලින් ආ හාදයෝ ටික... ඈ බං මට නින්ද ගිහින් ද... මේ හීනයක් ද? ඇත්තට ම තාම බලයේ ඉන්නේ රනිල් උන්නැහෑලා ද?
අවුරුදු 75 ක අතීතය පිරිසුදු කරන්න පටන්ගන්න ව්‍යාපෘතියක්.
නෑ නෑ මාමේ, මේ අපේ ම ආණ්ඩුවේ පළමු ව්‍යාපෘතිය. මම කිවුවේ, රනිල්ලා ගේ වැඩ, සීයලා ගේ වැඩ ක්ලීන් කරන්න යන්නේ කියා!
මක් කිවුවා, රනිල්ලාව කෙලින් කරන්න?
නෑ මාමේ, මේ මේ රනිල්ලා කරපු වැඩ, පිරිසුදු කරන්න.. අවුරුදු 75 ක අතීතය පිරිසුදු කරන්න පටන්ගන්න ව්‍යාපෘතියක්.
ඉතින් බං රනිලාවත් ඔහොම ඇනුවද... රනිලා හැදුවේ නම් ඉංග්‍රීසිය රජ කරවන්න තමයි!
ඒක තමයි මාමේ, ඒ අතීතයෙන් මිදීම, යටත් විජිත ඉතිහාසයෙන්, යටත් විජිත මානසිකත්වයෙන් මිදීම, පිරිසුදු වීම, මේ ව්‍යාපෘතියේ එක අරමුණක්. අද, නව වසරට, රජයේ ආයතන, අමාත්‍යාංශ ඔක්කෝම වැඩ ආරම්භ කරන්නේ මේ ප්‍රතිඥාව දීලා!
මොන ප්‍රතිඥාව ද?
ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රතිඥාව!
එතකොට ප්‍රතිඥාව දෙන්නේ සුද්දා ගේ කාලේ වගේ ඉංග්‍රීසියෙන් ද?

නෑ, මාමේ නෑ! සිංහලෙන්.
එතකොට උඹ කිවුවේ මේ පත්තරේ තියෙන්නේ ඒ ප්‍රතිඥාව කියා?
ඔව්.
ඉතින් බං මේ මුලින් ම තියෙන්නේ ඉංග්‍රීසි නේ... ප්‍රතිඥාව පුරාත් ඉංග්‍රීසි නේ... අනේ එතකොට අනුර ගේ ආණ්ඩුවත් ඉංග්‍රීසියට යට වුණා?
මොනවා ද මාමේ මේ කියන්නේ.... අනුර ජනාධිපතිතුමා ඉන්දියාවට ගිහින් සිංහලෙන් ලෝකය ම ඇමතුවා, දැක්කේ නැද්ද... ඇයි, මාමා ම නේ කිවුවේ රෝම කෙලින් වුණා කියලා.
ඔව් ඉතින්, එහෙව් එකේ ඇයි මේ අපේ ප්‍රතිඥාව ඉංග්‍රීසියෙන්? අනෙක මේ අපි අපි අතර?
ප්‍රතිඥාව සිංහලෙන් නේ?
ඒත් නම ඉංග්‍රීසියෙන්? ප්‍රතිඥාව පුරා ඉංග්‍රීසි නම!

අනේ මන්දා බං, මේ යටත් විජිත මානසිකත්වයෙන් මිදීමක් ද? සිංහල නිවේදනයෙත්, මාතෘකාව ඉංග්‍රීසියෙන්. තේමාව ඉංග්‍රීසියෙන්!
මාමා කියන එකෙත් ඇත්තක් තියෙනවා. අපේ සිංහල සර්ට පේන්න බෑ, සිංහල යි ඉංග්‍රීසි යි කලවම් කරනවාට.
පව්, අසරණයා, දැන් කොල්ලෝ කෙල්ලෝ මොනා නොකියා වි ද?
සිංහල සර් කියන්නේ සිංහලට නොසැලකීම, මවු බසට නොසැලකීම, අම්මාට නොසලකනවා වගේ කියලා.
ඒක නේ.. අනුර ගේ ආණ්ඩුවක දීත් අම්මා කුස්සියේ ද?
ඉංග්‍රීසිය කුඩම්මලා ගේ ය යි, සුදියන් ගේ නේ..,
අනේ මන්ද බං, අවුරුදු ගාණක් යටත් වෙලා ඉදලා අපට සුදු දේට ඇල්මක් පෙරේතකමක් ඇති වෙච්ච එකත් ස්වභාවික යි මගේ හිතේ... ඒත් මේ නිදහසින් අවුරුදු 75 පස්සෙත්!
අනේ ඇත්තට ම, මේක ද පුනරුදය?
(සටහන - ගජබා)



