The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සත්‍යය වටා ඒකරාශිවීමේ අවශ්‍යතාව | චරිත හේරත්

T

The Leader Desk

January 4, 2025 • 9:20 AM

සත්‍යය වටා ඒකරාශිවීමේ අවශ්‍යතාව  | චරිත හේරත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රටේ පාලන බලය රැක ගැනීමට එවකට බලයේ සිටි SLPP + UNP ආණ්ඩුවට හැකියාවක් නැති විය.
  • බලවේගය ජාතික ජනබලවේගය ලෙසින් රටේ බලය ලබා ගත්තේය.
  • මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ 2024 රටේ පාලන බලය වෙනස්වීමේ ක්‍රියාදාමයට බලපානු ලැබූ ප්‍රධාන කාරණා පිළිබඳවය.
  • ඊට පෙර සඳහන් කළ යුතු ප්‍රධාන කාරණයක් වන්නේ 2025 වර්ෂය වන විට අලුත් ආණ්ඩුවේ තත්වය පිළිබඳවය.
අකුරු ප්‍රමාණය (Font Size):

රටේ පාලන බලය රැක ගැනීමට එවකට බලයේ සිටි SLPP + UNP ආණ්ඩුවට හැකියාවක් නැති විය. එසේම ප්‍රධාන විපක්ෂයේ සිටි ස.ජ.බ. පක්ෂයටත් බලය ගැනීමට බැරි විය. විපක්ෂයේ ඈත කොනක සිටි ජ.වි.පෙ. බලවේගය ජාතික ජනබලවේගය ලෙසින් රටේ බලය ලබා ගත්තේය. මේ දේශපාලන වෙනස සිදු වූයේ කෙසේද යන ප්‍රශ්නයට විවිධ අය බොහෝ පිළිතුරු දෙමින් සිටිති.

මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ 2024 රටේ පාලන බලය වෙනස්වීමේ ක්‍රියාදාමයට බලපානු ලැබූ ප්‍රධාන කාරණා පිළිබඳවය. ඒ සමහර කරුණු තවදුරටත් සමාජයේ සාකච්ඡා අවකාශයේ තිබෙන ඒවාය.

ඊට පෙර සඳහන් කළ යුතු ප්‍රධාන කාරණයක් වන්නේ 2025 වර්ෂය වන විට අලුත් ආණ්ඩුවේ තත්වය පිළිබඳවය. මේ ආණ්ඩුවේ සමස්ත ක්‍රියාදාමය පිළිබඳව විමසීමක් කිරීමට තවමත් කල් මදිය. මා මුලින් කියූ පරිදි මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන කේන්ද්‍රීය කාරණයත් එය නොවේ. එහෙත් ‘‘පෙනෙන ටිකෙන්’’ කිව හැකි කාරණයක් වන්නේ ආණ්ඩුව ආර්ථික ක්ෂේත්‍රයේ විශාල ගැටලුකාරීත්වයකට යමින් සිටින බවය.

 

Leader and the presidential candidate of National People's Power Anura Kumara Dissanayake arrives at a polling station to cast his vote in Colombo, Sri Lanka, Saturday, Sept. 21, 2024. (AP Photo/Eranga Jayawardena)ජ.වි.පෙ. බලවේගය ජාතික ජනබලවේගය ලෙසින් රටේ බලය ලබා ගත්තේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආකෘතියෙන් පිට පනින්නේ නැතිව IMF එකේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කරන්නට ආණ්ඩුවට සිදු වූයේත් ආර්ථික ක්ෂේත්‍රයේ ගැටලුකාරීත්වයට ආරම්භයක් ලෙසය. දැන් ආර්ථිකයේ ‘‘අලුත්’’ දේවල් කරන්නට හැකි වටපිටාවක් නිර්මාණය කිරීම ඉතාමත් අපහසුය. වික්‍රමසිංහ මහතා ද විශේෂ ප්‍රකාශයක් කරමින් කියා තිබුණේ ‘‘ඔහොම යං’’ කියාය.

තවත් පැත්තකින් මේ ආණ්ඩුව බලයට පත් කරන්නට මහන්සි වුණු මධ්‍යම පන්තියේ බලවේගවලට ආර්ථිකයේ වෙනසක් අවශ්‍ය බවක් පෙනෙන්නේ නැත. ඒ හුඟක් අයට වික්‍රමසිංහ මහතාගේ ආර්ථිකය එතරම් වැරැද්දක් නැති ගානය. ආණ්ඩුව බලයට පත් කරන්නට සමාජ මාධ්‍යවල ලියූ එක් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් කියා තිබුණේ ‘‘හාල් නැතිකම – පොල් නැතිකම’’ වගේ ඒවා ප්‍රශ්න නොවන බවය. ඒ අයගේ ප්‍රධාන ප්‍රශ්නය ‘‘තමන්ගේ සුජාතභාවය ගැලවෙන කථානායකගේ උපාධි හොරකම’’ වගේ දෙයක් විසඳීම මිස හාල්, පොල් ප්‍රශ්න විසඳීම නොවේ.

 

moodys logoමූඩි ශ්‍රේණිගත කිරීමෙන් ඉහළට

මගේ මිතුරකු කීවේ ‘‘මූඩි ශ්‍රේණිගත කිරීමෙන් ඉහළට ගියාට නාඩු ටිකක්වත් නැති තත්වයක් හැදී ඇති වුණත් ආණ්ඩුව පාඩුවේ ඉන්න’’ බවය.

මේවා පිළිබඳව ඉදිරියේදී කථා කිරීමට අවශ්‍යය. දැන් නැවතත් මා යෝජනා කළ මාතෘකාව සාකච්ඡා කරන්නෙමි.

2015 සිට වෙනස්වන ඡන්දදායක භූමිකාව

d44601c8b1eb663829bac234fa4119f1 XL

අපේ රටේ දේශපාලනයේ බරපතළ වෙනසක් ව්‍යුහාත්මකව සිදුවන්ටන පටන් ගත්තේ 2015 සිටය. ඒ වසරේ පැවති ජනාධිපතිවරණය යනු මෙරට සමාජයේ නව මාධ්‍ය සංස්කෘතිය විසින් මහා පරිමාණයෙන් අත්පත් කරගත් ප්‍රථම මැතිවරණය විය. මා කියන්නේ 2015ට පෙර මැතිවරණවලට ඩිජිටෙල් අවකාශ තිබෙන මාධ්‍ය සම්බන්ධ වූයේ නැත කියා නොවේ. ඩිජිටෙල් අවකාශය බරපතළ ආකාරයෙන් අත්පත් කරගත් ප්‍රථම මැතිවරණය 2015 ජනාධිපතිවරණය බවය.


එතැන් සිට මේ වන විට ජනාධිපතිවරණ 03ක් පවත්වා ඇත. ඒ 2015, 2019 සහ 2024 වර්ෂවලය. මේ ජනාධිපතිවරණ 03 තුළ ජයග්‍රාහකයා තීරණය වුණේ ඒ ඒ පක්ෂ යාන්ත්‍රණයට තිබෙන ‘‘හයිය’’ මත නොව සමාජ මාධ්‍ය අවකාශයේ ඒ ඒ අපේක්ෂයා සහ ඔහුට අයත් ‘‘නැරටිව් එක’’ (narrative) ලබා ගත් ස්ථානය අනුවය.

මේ කාරණය තවත් පැහැදිලි කළ හැකිය. මේ ජනාධිපතිවරණ තුන තුළම ජයග්‍රහණය තීරණය කළේ ඩිජිටෙල් අවකාශය තුළ ස්වකීය ‘‘නැරටිව් එක’’ හෙවත් ‘‘විවේචන සහ විසඳුම සහිත කථාව’’ සමාජගතවීමේ ප්‍රමාණයටය.

JVP

එපමණක් ද නොවේ. මේ අවස්ථා තුන තුළදීම පක්ෂ යාන්ත්‍රණයට වඩා ඉහළට පැමිණි නව බලවේගයක් ඒ ඒ අපේක්ෂකයා සමග ගොඩනැගී තිබුණි. මෛත්‍රීපාල සමග එ.ජා.ප. සිටියාට එළියට පැමිණියේ සෝභිත හිමිගේ සාධාරණ සමාජයක් ව්‍යාපෘතියයි. ගෝඨාභය සමග පොහොට්ටු පක්ෂය සිටියාට එළියට පැමිණියේ වියත්මග ව්‍යාපෘතියයි. අනුර දිසානායක සමග ජ.වි.පෙ. සිටියාට එළියට පැමිණියේ ජාතික බලවේග ව්‍යාපෘතියයි. ඒ අනුව ඩිජිටෙල් අවකාශයේ ස්ථාපිත වන ‘‘කතාන්දරය’’ හෙවත් නැරටිව් එක සමගින් ඍජුවම පෙනී සිටියේ සාධාරණ සමාජය (2015), වියත් මග (2019) සහ ජාතික ජනබලවේගය (2024) යන ව්‍යාපාරයක් මිස එ.ජා.ප.ය, පොදු ජන පෙරමුණ සහ ජ.වි.පෙ. යන පක්ෂ නොවේ.


තවත් පැත්තකින් මේ තත්වය විමසා බැලිය හැක. ඒ කියන්නේ සමාජ මාධ්‍ය යුගයක දේශපාලන පක්ෂයක අදාළත්වය කුමක්ද යන කාරණය විමසීමෙන් ද මෙය පැහැදිලි කළ හැකි බවය.

සමාජ මාධ්‍ය සහ පක්ෂය

අපේ රටේ මේ වන විට ගොඩ නැගී ඇති වැදගත් වර්ධනයක් වන්නේ දේශපාලන පක්ෂවල සාමාජිකත්වය හා සම්බන්ධතාව ලබා ගන්නා ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩු වෙමින් තිබෙන බවයි. මේ තත්වය පටන් ගන්නේ 2015 සිටය. මෛත්‍රීපාල ජනාධිපති කිරීමට ඡන්දය දුන් බහුතරය එ.ජා.ප. + ශ්‍රීලනිප පාක්ෂිකයන් නොවුණා පමණක් නොව ඊළඟ ඡන්දයේ ඒ පැත්තේ සිටියේවත් නැත. 2019 ගෝඨාභය ජනාධිපති කිරීමට ඡන්දය දුන් බහුතරය පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් නොවුණා පමණක් නොව ඊළඟ ඡන්දයේ දී ඒ පැත්තේ සිටියේවත් නැත. 2024 දී අනුර ජනාධිපති කිරීමට ඡන්දය දුන් බහුතරය ජ.වි.පෙ. පාක්ෂිකයන් නොවෙනවා පමණක් නොව ඊළඟ ඡන්දයේ දී ජ.වි.පෙ. පැත්තේ සිට ගන්නවා යැයි කීමේ කිසිදු පදනමක් නැත.

 109610964 voters

සරළව කිවහොත් රටේ ඡන්දදායකයන් මිලියන 17 අතරින් මිලියන 10කට ආසන්න ප්‍රමාණයක් සිටින්නේ නිර්පාක්ෂිකයන් ලෙසින්ය. ඔවුන් එක ස්ථාවරයක හෝ එක පක්ෂයක සිටින බවක් පෙනෙන්නේ නැත. සමාජ මාධ්‍ය අවකාශය තුළ ස්වකීය ස්ථාවරය ගොඩනගා ගන්නා ආකාරයේ දේශපාලන සක්‍රීයත්වයක් මේ වන විට ගොඩනැගී ඇත.


ආර්ථිකය ද? අලංකාරිකය ද?

මෙවර ජනාධිපතිවරණයේ දී මෙන්ම මහ මැතිවරණයේදී ද සමාජයේ සිදුවූ සාකච්ඡාව විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ වී තිබූ බව පැහැදිලිය.

 

people 2020.04.142022 රටේ ප්‍රධාන ප්‍රශ්නය වුණේ ආර්ථික කඩා වැටීමය

2022 රටේ ප්‍රධාන ප්‍රශ්නය වුණේ ආර්ථික කඩා වැටීමය. 2023 වර්ෂය තුළ රටේ සාකච්ඡාව ඇති වුණේ ඒ ආර්ථික කඩා වැටීමට හේතුව කුමක්ද සහ එයට පිළිතුර කුමක්ද යන කාරණාවත්ය. මම මුලින් සඳහන් කළ ‘‘කතාන්දරය’’ හෙවත් ‘‘දේශපාලන නැරටිව්’’ එක සම්බන්ධ වෙන්නේ මෙතැනටය.

ආර්ථිකය කඩා වැටීමට හේතුව හොරකම සහ දූෂණය බව මාලිමාවේ කතාන්දරය විය. වසර 76 පුරාම පාලනයේ සිටි හැමෝම මෙයට සම්බන්ධ බවත් ඒ නිසා ඒ කිසිම පක්ෂයකට ‘‘ගෑවුණු’’ කෙනකුට බලය නොදිය යුතු බවත් එහි ඊළඟ කොටස විය.

රනිල්ගේ ජනාධිපතිවරණ වේදිකාව තුළ මතු වුණේ ආර්ථිකය කඩා වැටීමට හේතුව ‘‘වෙලාවට IMF එකට ගොස් ණය ගෙවන්නට පුළුවන් තත්වයක රට තියා ගන්නට ගෝඨාභයට බැරි වුණ නිසා’’ බවය. ඒ කතාන්දරයම අඩු වැඩි වශයෙන් ස.ජ.බ. වේදිකාවේත් ඉදිරිපත් විය. මේ කතාන්දර දෙක අතරින් ජනතාව බහුතරයක් (එක් පක්ෂයක් ලෙසින් ගත් විට) මාලිමාවේ මතය පිළිගත් අතර සියයට 50 ක් නොමැති වුවද ජනාධිපතිධුරය නියමාකාරව වත්මන් පාලනයට ලැබුණි.

 

coconut riceහාල් නැතිකම, පොල් ගණන් යාම වැනි ප්‍රශ්න තවදුරටත් ප්‍රශ්න නොවන බව

දැන් මාලිමාවට ඡන්දය දුන් ජනතාව සිතන්නේ ආර්ථිකය කඩා වැටුණේ හොරකම නිසා බවත් එය නවත්වන්නට අලුත් ආණ්ඩුවක් පත් කර ඇති නිසා දැන් ආර්ථිකය හොඳ වෙනවා කියාත්ය. හාල් නැතිකම, පොල් ගණන් යාම වැනි ප්‍රශ්න තවදුරටත් ප්‍රශ්න නොවන බවත්, කථානායකගේ උපාධි සම්බන්ධ ප්‍රශ්නය මේ ආණ්ඩුව සම්බන්ධයෙන් ඇත්ත ප්‍රශ්න බවත් අපේ හිතවත් එහෙත් මාලිමාවට උදව් කළ විශ්වවිද්‍යාල ආචාර්යවයෙක් ස්වකීය මුහුණු පොතේ ලියා තිබුණේ මේ නිසාය.

ඒ අනුව දැන් සමාජ මාධ්‍ය අවකාශයේ විසඳිය යුතු ගැටලුව වගේ පේන්නේ ‘‘මෙතෙක් කාලයක් පුරා ආණ්ඩුවේ තිබූ හොරකම්’’ නැවැත්වීම මිස ආර්ථික ක්ෂේත්‍රයේ උඩු දුවා ඇති ණය තිරසාරභාවයට පත් ආර්ථිකයක් ගොඩ නැගීමට අදාළ ප්‍රතිපත්ති සහ සැලසුම් නොවේ.

5ccf0c00 260c 11ee b872 fdcd6e0b12bc.jpg

මට පෙනෙන ආකාරයට මේ අලංකාරිත දේශපාලනය සහ ඇත්ත දේශපාලනයේ වෙනස වත්මන් ජනාධිපතිවරයාට මේ වන විට තේරුම් ගොස් ඇති අතර ඔහු විසින් සමහර කරුණු සම්බන්ධයෙන් ගෙන ඇති තීරණවලින් පෙනී යන්නේ එම කාරණයයි. IMF සංවිධානය සමග ණය තිරසාරභාවය සම්බන්ධ විශ්ලේෂණය හෙවත් DSA ලියවිල්ල සඳහා ඔහුගේ අනුමැතිය මගින් පෙන්නුම් කරන්නේ අලංකාරිත දේශපාලනයට වඩා ඇත්ත දේශපාලනයට ගමන් කිරීම අවශ්‍ය බවයි. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඇතිකරගත් ණය තිරසාරභාව විශ්ලේෂණය (DSA) පිළිගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ආණ්ඩුවේ ස්ථාවරය වී ඇති බව මේ වන විට ඉතාමත් පැහැදිලිය.


මේ වගේ වෙනස් වෙමින් ගමන් කරන ක්ෂේත්‍ර තවත් ගණනාවක් ඉදිරියේ දී මතුවන්නට නියමිතය. බලය ගැනීමට ඉදිරිපත් කරන අලංකාරිතය සහ ඇත්ත බලය ක්‍රියාත්මක කිරීම අතර වෙනස ලෙසින් එය මතුවීම වැළැක්විය නොහැකිය.

ඒ අනුව මේ සතියේ මගේ කිවිදා දැක්ම වන්නේ මීළඟ දේශපාලන වෙනස්වීමේ මූලිකාංග මේ වන විටත් සමාජ මාධ්‍ය අවකාශය තුළ නිර්මාණය වෙමින් පවතින බවයි.



charitha herath mp
(සටහන | මහාචාර්ය චරිත හේරත්)
charith9@yahoo.com


 (ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කළේය.)

(කිවිදා දැක්ම : ලංකාදීප)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සත්‍යය වටා ඒකරාශිවීමේ අවශ්‍යතාව | චරිත හේරත් | The Leader