The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ශ්‍රී ලංකාව බංගලාදේශය වගේ නොවූයේ ඇයි? | මහාචාර්ය රොහාන් සමරජීව

T

The Leader Desk

January 6, 2025 • 6:38 AM

ශ්‍රී ලංකාව බංගලාදේශය වගේ නොවූයේ ඇයි? | මහාචාර්ය රොහාන් සමරජීව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංගලි දේශයේ විදුලි කැපීම දෛනික සංසිද්ධියක් බවට පත්වුණේ හසිනා පැන්නීමෙන් පසුවය.
  • මෙම පැහැදිලි කිරීමේ සාරය නම් අපගේ ආයතන ඔරොත්තු දුන් බවයි.
  • ආයතනවලට වෘත්තීයවේදීන්ගේ සංගම්, වාණිජ මණ්ඩල, වෘත්තීය සමිති, විවිධ රාජ්‍ය නොවන සංවිධාන සහ පුරවැසියන්ගේ තාවකාලික ජාල වැනි ආයතන පවා ඇතුළත් වෙයි.
  • ආයතන නිසි ලෙස ක්‍රියාත්මක වුනු නිසා අපට කාලය තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

බංගලි දේශයේ විදුලි කැපීම දෛනික සංසිද්ධියක් බවට පත්වුණේ හසිනා පැන්නීමෙන් පසුවය. ලංකාවේ ඉරණම බංගලිදේශයේ වඩා වෙනස් වූයේ මන්දැයි නේපාල සගයකු මගෙන් විමසා සිටියේය. මේ මගේ නිරීක්ෂණවල පරාසයේ දුටු සාක්ෂි මත පදනම්ව සකසා ගත් පිළිතුරයි.

ඉතිහාසයේ බොහෝ දේ මෙන්, මෙම කරුණේ දී ඕනෑ ම නිරීක්ෂකයෙකුට දැකිය හැකි බලපෑම් සඳහා නිශ්චිත හේතු සියයට සීයක් තහවුරු කළ නොහැකි ය. සිදුවීමේ සංකීර්ණත්වය අනුව, සිදුවූයේ කුමක්දැයි කිසිදු එක් පුද්ගලයකුට දැනගත නොහැකි ය. එබැවින් සාක්ෂි අවශ්‍යයෙන් ම අසම්පූර්ණ ය.

මෙම පැහැදිලි කිරීමේ සාරය නම් අපගේ ආයතන ඔරොත්තු දුන් බවයි. ආයතන යන්නෙන් මා අදහස් කරන්නේ අධිකරණය හෝ ව්‍යවස්ථාදායකය පමණක් නොවේ. ආයතනවලට වෘත්තීයවේදීන්ගේ සංගම්, වාණිජ මණ්ඩල, වෘත්තීය සමිති, විවිධ රාජ්‍ය නොවන සංවිධාන සහ පුරවැසියන්ගේ තාවකාලික ජාල වැනි ආයතන පවා ඇතුළත් වෙයි.

ආයතන නිසි ලෙස ක්‍රියාත්මක වුනු නිසා අපට කාලය තිබිණි. ආරාජිකත්වය මගහැර ආර්ථිකයට හානිය අවම කර ගොඩින් බේරා ගැනීමට හැකි වුයේ අපට කාලය තිබු නිසා ය.

 

අරගලයේ දින 100ක කතාව - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
අරගලය ඇතිවූයේ ගාලුමුවදොර පිටියේ/ගොඨාගෝගම දී පමණක් නොවේ. එය එහි කේන්ද්‍රස්ථානය වූ නමුත් අරගලයේ ක්‍රියාකාරීත්වය, එය ජනාධිපතිවරයා ඉල්ලා අස්කර ගැනීමේ උත්සාහයන් ලෙස අර්ථ දැක්වුවහොත්, තත්‍ය සහ අතත්‍ය ස්ථාන ගණනාවක සිදු විය. එහි කාලසීමාව 2022 මාර්තු 31 වැනි දින ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස වටා විරෝධතා ඇති වූ දින සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය නිල වශයෙන් කථානායකවරයා වෙත ලැබුණු 2022 ජූලි 14 දක්වා කාලයට සීමා නොවීය. පසුගිය දා අවසන් වූ මැතිවරණ ද අරගලයේ දිගුවක් ලෙස අර්ථ නිරූපණය කල හැක.

ප්‍රචණ්ඩකාරී බාධාවකින් තොරව සමාජ දේහයේ ප්‍රතිනිර්මාණ සහ ගැලපීම් සිදු වීමට මාස තිහකට වැඩි කාලයක ඉඩක් ලැබිණි.

 

කැබිනට්ටුව පත්කිරීම ස්වාධින මන්ත්‍රී කණ්ඩායමේ යෝජනාවලියෙන් පසුවට !
ශ්‍රී ලංකාවේ බල හුවමාරුව මන්දගාමී එකක් වී ය. අගමැති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය ඉවත් කිරීමට මාසයකට වැඩි කාලයක් ගතවිය. ආණ්ඩු පක්‍ෂය කළමණාකරනය කළ රාජපක්‍ෂ සහෝදරයා ඉවත් කිරීමට තවත් මාසයක් සහ ජනාධිපති රාජපක්ෂගෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලබා ගැනීමට තවත් මාසයක් සහ දින කිහිපයක් (සම්පූර්ණ වශයෙන් මාස තුනහමාරක් පමණ) ගතවිය. 

එය සම්පූර්ණයෙන් ම අවිහිංසාවාදී නොවීය. අරගලයේ දී මරණ 12ක් සිදු වූ බව සඳහන් ය. ඊට හාත්පසින් ම වෙනස්ව, බංග්ලාදේශ වෙනස සති හතක් තුළ සිදු වූ අතර අවම වශයෙන් මරණ දහසකට වඩා වාර්තා වී ය. ජනගහනය සඳහා ගැලපුම් කළ විට පවා (මිලියන 22 සහ මිලියන 173) ශ්‍රී ලංකාවේ හානිය බංග්ලාදේශයේ මෙන් දහයෙන් එකකි.

දේශීය හා විදේශීය ණය සාර්ථකව ප්‍රතිව්‍යුහගත කිරීමත් සමඟ අවසන් වෙමින් පවතින ආර්ථික අර්බුදය 2021 දී ආරම්භ වී 2022 දී උපරිමයට පැමිණ 2023 දී දරාගත හැකි මට්ටමකට ගෙන එනු ලැබී ය. කාර්තු හයක සංකෝචනයකින් පසු, 2024 ජූනියෙන් අවසන් වුනු කාර්තු හතර තුළ ආර්ථිකය සාමාන්‍යයෙන් වසරකට සියයට 4කින් ප්‍රසාරණය විය. 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 70 ක ඉහළ අගයක් ගත් උද්ධමනය, 2023 දෙවන භාගයේ දී පහළ තනි ඉලක්කමක් දක්වා අඩු වූ අතර එය දැන් අවධමනකාරී ප්‍රදේශයක පවතියි.

ආයතන 

 

අරගලය: ඉතිහාසයෙන් අනාගතයට - (දෙසති මණ්ඩප පත්‍රිකා - 01)
විධායකයේ ප්‍රධානියා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සහ රාජපක්ෂ පවුලේ තවත් සාමාජිකයින් 4 දෙනෙකු ඇතුළත් කැබිනට් මණ්ඩලය වෙත විරෝධතාවල ඉලක්කගතවී තිබිණි. විධායකයේ උච්චස්ථානය වන, ගාලුමුවදොර විරෝධතා භූමියට යාබදව පිහිටි, ජනාධිපති ලේකම් කාර්යාලය මාස තුනකට අධික කාලයක් වටලා සිටිය ද, කැබිනට් රැස්වීම් පවත්වමින් ජනාධිපතිවරයා සිය නිල නිවසේ සිට ක්‍රියාත්මක විය.

උද්ඝෝෂණ පැවැත්වෙද්දී නිලධාරීහු සහ ඇමැතිවරු සැලකිය යුතු පිරිසක් ඉල්ලා අස්වූහ. අප්‍රේල් 3 වැනිදා අන්තර්ජාල සේවා නවතා දැමීමට විරෝධය පළ කළ විදුලි සංදේශ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්වීම වඩාත් වැදගත් වී ය. අවහිර කිරීමේ නියෝග සවස 3 වන විට ඉවත් කරන ලද අතර එතැන් සිට කිසිදු රජයක් අන්තර්ජාල ප්‍රවේශය වසා දැමීමට උත්සාහ කර නැත. මැයි 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා වලට පසුව අගමැතිවරයා ඉල්ලා අස්විය. ඇති වූ රික්තය විපක්ෂයේ මන්ත්‍රීවරයකුව සිටි රනිල් වික්‍රමසිංහයන් පත්කිරීමෙන් කඩිනමින් පුරවනු ලැබී ය. ත්‍රිවිධ හමුදාවේ හෝ පොලිසියේ නායකත්වයේ කිසිදු වෙනසක් සිදු වූයේ නැත.

ජනාධිපති රාජපක්ෂ විසින් 2020 දී නීතිගත කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යවස්ථාදායකය සැලකිය යුතු ලෙස දුර්වල කර තිබිණි. පහත දැක්වෙන අවස්ථාවේ හැර, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වන තෙක් ව්‍යවස්ථාදායකය විසින් අර්බුදයට ප්‍රතිචාර දැක්වීමට මූලිකත්වය ගත්තේ නැත.

විරෝධතා ගොඩනැගෙමින් තිබිය දී, පසුගිය 8 වැනි පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ හිටපු සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා අප්‍රේල් 6 වැනිදා පාර්ලිමේන්තුවෙන් පිටත දී සංවිධානය කල රැස්වීමට විපක්‍ෂයේ සියලු ම පක්‍ෂවලට, පාලක සභාගයේ අතෘප්තිමත් මන්ත්‍රීවරුන්ට සහ හිටපු කථානායකවරයාට ආරාධනා කළේය.

 

සර්ව-පාක්ෂික වැඩපිළිවෙලකට එකඟයි ඒත්, සර්ව-පාක්ෂික ආණ්ඩුවකට විරුද්ධයි ! -  (ගාමිණී වියන්ගොඩ)
එවකට ආණ්ඩු කළ රාජපක්ෂ ආධිපත්‍යය දැරූ අමාත්‍ය මණ්ඩලයට සර්ව පාක්ෂික විකල්පයක් ගොඩනැගීමේ අරමුණ සාර්ථක නොවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරගිය අය නොපැමිණි නිසා ය. කෙසේ වෙතත්, එම රැස්වීමේදී සෘජුව ම තේරී පත් වූ ජනාධිපති ධුරය අහෝසි කර ඒ වෙනුවට කැබිනට් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන රජයක් පිහිටුවීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් කෙටුම්පත් කිරීමට තීරණය විය.

ඉහත මුලපිරීම අර්බුද කාලය තුළ ව්‍යවස්ථාදායක සහ අධිකරණ අංශවල ක්‍රියාකාරිත්වය සඳහා නිදර්ශනයක් වෙයි. පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මසක් ඇතුලත මැයි මස 6 වැනිදා ගැසට් කර, මැයි 17 වැනිදා න්‍යාය පත්‍රයට ඇතුළත් කරන ලදි. මෙය පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් සඳහා අසාමාන්‍ය ලෙස වේගවත් ප්‍රගතියක් විය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැයි 26 වැනි දින එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සමාලෝචනය සඳහා කැඳවන ලදී. දින පහකින් කරුණු ඉදිරිපත් කිරීම අවසන් විය. එය බලාත්මක කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට වූ  තීන්දුව ජූනි මස මැද වන විට කථානායකවරයා ප්‍රකාශයට පත් කළේය. මෙම නිගමනය නිසා අර්බුදය සමනය කර ගැනීමට බලාපොරොත්තු වූ විසඳුම නොලැබුණ ද, ජනාධිපතිවරයා සහ විරෝධතාකරුවන් අතර පැවති හිරවීම බිඳ දැමීමට ක්‍රියා කිරීමට ව්‍යවස්ථාදායකයේ මන්ත්‍රීවරුන්ගේ සහ අධිකරණයේ තිබුණු කැපවීම ගත වූ කෙටි කාලයෙන් පැහැදිලි වෙයි.

mangala s

 

දේශපාලන පක්‍ෂ සහ පාර්ශව අතර සම්බන්ධකම් ඇතිකර ගැනීම ගැන ප්‍රසිද්ධියට පත්ව සිටි, 2021 දී මියගිය මංගල සමරවීර අමාත්‍යවරයාගේ හිතවත්තු සහ සගයෝ, විරෝධතාකරුවන් ප්‍රධාන ධාරාවේ දේශපාලන ක්‍රියාකාරීන් හා සම්බන්ධ කිරීමට 2022 අප්‍රේල් 21 වැනි දින උත්සාහයක් දැරූහ. විරෝධතාකරුවන් විසින් අල්ලාගෙන සිටි ගාලු මුවදොර පිටිය හැරුණු විට කොළඹ පැවති ප්‍රධානතම පොදු අවකාශයේ කථාවලින් තොර ආවර්ජනාත්මක ක්‍රියාවක් වන සත්‍යක්‍රියාවක් සංවිධානය කර තිබිණි. දැනට බලයේ සිටින එන්පීපී සහ විරෝධතා භූමියේ සහභාගීත්වයක් පෙන්නුම් කළ ඊටත් වඩා වාමාංශික පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැර සියලුම දේශපාලන නායකයෝ එහි පැමිණ සිටියහ. එහි සංවිධායකයෝ කහ මල් තමන්ගේ සංකේතය ලෙස ගත් අතර, අත්අඩංගුවට ගත් අය ඉදිරිපත් කරන අධිකරණවල වරින් වර කහ මල් ව්‍යාපාර පැවැත්වීම වැනි ක්‍රියාවල යෙදුනහ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) වැනි අනෙකුත් ආයතන වැදගත් දායකත්වයක් ලබා දුන්නේය. අත් අඩංගුවට ගත් විරෝධතාකරුවන් වෙනුවෙන් පෙනී සිටීමේ ඔවුන්ගේ ක්‍රියා හොඳින් දන්නා කරුණකි. එසේ වුවත්, වඩාත් ම  වැදගත් කරුණ වූයේ දේශපාලන හා ආර්ථික ස්ථාවරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වූ කරුණු 13කින් යුත්, 2022 අප්‍රේල් 23 වැනි දින නිකුත් කරන ලද ප්‍රකාශය යි. සකස් වෙමින් පවතින විවිධ විසඳුම් රාමු කිරීමේ දී පළමු නිර්දේශය ඉතා වැදගත් විය.

රජය මැතිවරණයට මැදිහත්වීමට දරන උත්සාහය ගැන නීතිඥ සංගම‌ය කනස්සල්ලෙන්

 

“සියලු ක්‍රියාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අදාළ නීතිමය උපකරණ සහ විනිවිදභාවයට අනුකූල විය යුත්තේ ය. නිර්දේශ කරනු ලබන සංක්‍රාන්ති විධිවිධාන හුදෙක් තත්ත්වයේ අවශ්‍යතාවය නිසා වන අතර ඒවා පූර්වාදර්ශයක් ලෙස භාවිතා නොකළ යුත්තේ ය.”

සතියක් ඇතුළත ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සංවිධානය කර තිබූ රැස්වීමක දී සර්ව ආගමික නියෝජිතයන්ගේ ආශිර්වාදය ඇතිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) යෝජනා දේශපාලන පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කොට තිබිණි. පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එම සන්ධානයේ කොටස් කරුවකු වූ මහජන එක්සත් පෙරමුණත් හැර අනෙකුත් සියලු ම පක්ෂ එහි නියෝජනය විය.

මැයි 01 වැනිදා විරෝධතාකරුවන් සහ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති “කතිකාව” වෙබ් සංවාදයක දී (webinar) ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) යෝජනා ද සාකච්ඡාවට ගැනිණි. ඒ, හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ගෞරවනීය සිවිල් සංවිධානයක් වන සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය (NMSJ) විසින් සතිපතා සංවිධානය කරනු ලබන වෙබ් සංවාද මාලාවේ එක් කොටසක් වශයෙනි. මේ වන විට NMSJ නිගමනය කර තිබුණේ සර්ව පාක්ෂික විසඳුමකට හිතකර කිසිදු වෙනසක් පිළිබඳව එවකට අගමැති මහින්ද රාජපක්ෂ මහතා කිසිදු නම්‍යශීලී බවක් නොපෙන්වනු ඇති බව යි.

වඩාත් යෝග්‍ය විසඳුම ලෙස පෙනී ගිය  සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා අපේක්ෂිත ගම්‍යතාවය ජනනය කිරීමට  පදනම් ආයතනයේ පැවති සමුළුව අපොහොසත් විය. එම බලාපොරොත්තු සුන්වීම, සියලු ආගම්වල නායකයින්ගේ දායකත්වය සහ සහයෝගය ඇතිව පුළුල් ලෙස පදනම් වූ ජනතා සංවිධානයක් මහජන සභාව/මක්කල් සබායි/ People’s Assembly ලෙස පිහිටුවීමට  NMSJ විසින් ආගමික නායකයින්ට සංවිධානාත්මක ශක්තිය ලබා දෙනු ලැබීමට හේතු විය.

 

ආණ්ඩු පක්‍ෂය උද්ඝෝෂණ භූමියට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව, මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්කර දින කිහිපයකට පසු මැයි 21 වැනිදා BMICH ප්‍රධාන ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමක දී  මහජන සභාව පුළුල් සහභාගීත්වයක් ඇතිව ආරම්භ කරනු ලැබීය. එහි දී බොහෝ හරවත් කතා කරන ලද්දේ ගාලු මුවදොර පිටියේ විරෝධතා භූමියෙන් පැමිණ නැවත ආපසු ගිය  තරුණ ක්‍රියාකාරීන් විසිනි. ඒ වන විට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පොරොන්දු වී තිබුණි.

විරෝධතාවය නැගී එමින් සිටි කාලයේ එවකට පැවති රජය විසින් අත් අඩංගුවට ගනු ලැබ නිදහස් කරන ලද රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති නායකයින් ඇතුළුව, රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති නායකයින් සමග සාකච්ඡාවකට මහජන සභාවට සම්බන්ධ වූ සමහර වෘත්තිකයන්ට (ලේඛකයා ද ඇතුළුව) ආරාධනය ලැබුහ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ කළ හැකි හා කළ නොහැකි දේ සහ දේශපාලන අස්ථාවරත්වයේ ආර්ථික ප්‍රතිවිපාක පිළිබඳව මෙම සංවාදයේ අවධානය යොමු විය. මැයි 26 වැනි දින කොල්ලුපිටියේ පැවැති මෙම වෘත්තීය සමිති රැස්වීමට සහභාගි වූ පිරිස අරගලයට සහය පළ කිරීම සඳහා විරෝධතා භූමියට පා ගමනින් ගියහ. සමහරු සටන් පාඨ කියමින් පෙළපාලි ගියහ.

ගෝඨා ගෙදර යවන්නට සැලසුම් කර තිබූ “අවසාන තල්ලුවට” දිනකට පෙර, ජුලි 8 වැනිදා, මහජන සභා නායකයෝ මහනුවරට ගොස් එහි දී සෙංකඩගල ප්‍රකාශය කියවා, ශ්‍රී ලංකා දේශපාලනයේ නිල නොලත් අධිකාරී තනතුරු දරන සියම් මහා නිකායේ මහානායක හිමිවරුන් දෙනම වෙත එය පිළිගැන්වූහ. ඔවුන් දෙදෙනා ම එයට අත්සන් කළේ නම්, අනෙකුත් නිකායන්හි මහානායක හිමිවරුන්ගේ සහ අනෙකුත් ආගමික නායකයින්ගේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු යොදා තිබිණි. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු ලියන ලද පොතේ සඳහන් කර ඇත්තේ නාහිමිවරුන් ඉල්ලා සිටි නිසා ඔහු ඉල්ලා අස් වූ බව යි. නමුත් ජූලි 8 වැනිදා වන විටත් ඔවුන් එක මතයක සිටියේ නැත.

මේ අනුව ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන්, විවිධ අන්තර් සම්බන්ධතා කළමනාකරණය කිරීමෙහි සමත් සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ අරගලයට නායකත්වය දෙන කණ්ඩායම් අතර සන්නිවේදන මාර්ග විවෘත වීමක් සහ සමහර විට විරෝධය සාමකාමී මාවතෙන් ඉවතට යාමේ අවදානම පිළිබඳව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ණය ගැතියන් සමග පවතින සාකච්ඡා මධ්‍යයේ දේශපාලන අස්ථාවරත්වයේ ආර්ථික ප්‍රතිවිපාක පිළිබඳව අවබෝධයක් සමග යම් පමණක අන්‍යෝන්‍ය විශ්වාසයක් ගොඩ නැගී තිබුණි.

 

රනිල් වික්‍රමසිංහ සහ කුඩුකේඩු රාජපක්ෂලා - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න) -  LNW Sinhala
විවිධ වාමාංශික කන්ඩායම්වල නායකයින් ජූලි 9 වන දින පාර්ලිමේන්තුව අල්ලා ගන්නා ලෙස විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටි විට ඔවුහු එය ප්‍රතික්ෂේප කළහ. එසේ වූයේ මාස තුනක කාලයක් තිස්සේ ගොඩනැගුණු විශ්වාසය නිසා විය හැකි අතර එමෙන් ම ඒ වන විට රට වැටී සිටි බව පැහැදිලි වූ දේශපාලන හා ආර්ථික අගාධයෙන් මිදීමට ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ විධිමත් ආයතන සක්‍රීයව ක්‍රියාත්මක වී සිටින බව පැහැදිලි වූ නිසා ද විය හැකි ය. අඩු සෙනග නවතා ගැනීමට පොලිසියට හැකි වීම නිසා පාර්ලිමේන්තුව බේරාගනු ලැබීය. මේ වන විට අගමැති කාර්යාලය අල්ලාගෙන තිබූ අතර අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස ගිනි තබා විනාශ කරනු ලැබීය. නමුත් හානිය පාලනය කරනු ලැබීය.

ජුලි 9 වැනි දින අතිවිශාල ජනකායක් ජනාධිපති මන්දිරය දෙසට ඇදී ආ නමුත් එහි ආරක්ෂාවට සිටි ආරක්ෂක අංශ වෙඩි නොතැබූ අතර, ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ උමගකින් පලා ගියහ. ජුලි 14 වැනි දින, එනම් බැස්ටිය් දිනයේ දී ඔහුගේ ඉල්ලා අස්වීම කථානායකවරයා වෙත ලැබුණු අතර අරගලයේ ප්‍රධානතම සහ සියලු දෙනා එකඟ වූ එක ම ඉල්ලීම වන ගෝඨා ගෝ හෝම් ඉටු විය.

කාලය 

 

අරගල බිමෙන් සංහිඳියාවට

ඉහත පෙන්වා ඇති පරිදි, ජනාධිපතිවරයා නෙරපා හැරීම දක්වා වූ බොහෝ දුරට සාමකාමී වූ මාස තුනක කාලසීමාව තුළ ප්‍රධාන ධාරාවේ දේශපාලන ක්‍රියාකාරීන් සහ විරෝධතා කණ්ඩායම්වල උප කුලකයක අතර සබඳතා සහ විශ්වාසය ගොඩනඟා ගැනීමට ඉඩ ලැබුණු අතර එමගින් ප්‍රචණ්ඩත්වය සඳහා ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට බිම සකස් කරන ලදි. විරෝධතා භූමියට ඇතුළුවීමට දේශපාලනඥයන්ට ඉඩ නොලැබුණු නමුත්, අඛණ්ඩව සපයන ලද සන්නිවේදන සේවා හරහා එම භූමියේ ස්ථාපිතව සිටි කණ්ඩායම්  සහ ඔවුන් ඇතුළු බාහිර බලවේගයන් අතර සැලකිය යුතු අන්තර්ක්‍රියා සිදුවිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කළ හැකි දේ සහ එයින් පරිබාහිරව කටයුතු කිරීමේ ආර්ථික ප්‍රථිවිපාක පිළිබඳව වැඩි අවබෝධයක් ලබා ගැනීමටද දිග ඇදුනු අරගලය නිසා ඉඩ ලැබිණි. නිදසුනක් වශයෙන්, අවම ස්ථාවරබවක්  ළඟා කර ගැනීමට පෙර කලින් මැතිවරණ කැඳවීමේ වාසි සහ අවාසි අප්‍රේල් මාසයේ දී අන්තර්ජාලය සහ මුද්‍රිත මාධ්‍ය හරහා විවාදයට ලක් වූ අතර කලින් මැතිවරණ පැවැත්වීමේ අදහසින් ඉවත්වීමක් සිදුවිය. 

 

IMF ණය අපගේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට සමත් ද ? - (ජයශ්‍රී ප්‍රියලාල්)
රජයේ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීම සඳහා සැලකිලිමත් නොවන්නේ නම් හදිසි ආධාර සඳහා සාකච්ඡා සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා අත්හිටුවීම සිදුවිය හැකි බව ජනතාව තේරුම් ගත්හ. 2022 මාර්තු මාසයේදී තනතුරු සඳහා පත්වීම් ලැබූ භාණ්ඩාගාර ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා වසර දෙකහමාරක අර්බුද කළමනාකරණයෙන් පසුව, විවිධ මුදල් අමාත්‍යවරුන් තිදෙනෙකු සමඟ සේවය කරමින් තවමත් තනතුරුවල රැඳී සිටිති.

2022 දී ඉහළ උද්ධමනය සහ රැකියා අහිමිවීම්වල දැවැන්ත ඍණාත්මක බලපෑම අවබෝධ කර ගනිමින්, පුළුල් වූ සහ වඩා හොඳින් ඉලක්කගත කළ, මුදල් හුවමාරු පදනම් කරගත් සමාජ ආරක්ෂණ ජාලයක් ගොඩ නැගීමට රජය කටයුතු කළේය. කර්තව්‍යයේ සංකීර්ණත්වය සහ සමාජ ලේඛන දත්ත ගබඩාව ගොඩනැගීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති හතක් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබියදීත්, 2023 මැද භාගය වන විට ගෙවීම් ආරම්භ කිරීමට රජය සමත් විය.

දෝෂ සහිතව වුව ද, රජය වඩාත් පීඩාවට පත් වූවන් අත් නොහරින බවට අස්වැසුම වැඩසටහන සංඥා ලබා දුන්නේ ය. අර්බුදය සමනය කරන කාලය තුල සාමකාමී වාතාවාරණයක් පවත්වා ගැනීමට එම වැඩ සටහන දායක වුනා යයි උපකල්පනය කල හැක.

නොගෙවා හැරිය හැකි පිළිකුල් සහගත ණය පිළිබඳව සහ පහසුවෙන් ලබා ගත හැකි ණය සමාවන් පිළිබඳව ප්‍රකාශ අතාත්වික බව වටහා ගන්නා ලදී. වසර දෙකහමාරක සාපේක්ෂ දේශපාලන ස්ථාවරත්වයකින් තොරව, අතාත්වික හිතළු පසුපස හඹා යෑම නවත්වා ගැනීමටත්, සාර්ව ආර්ථික කළමනාකාරිත්වයේ අභියෝග පිළිබඳ ජාජබයේ අවබෝධය වැඩි දියුණු කිරීමටත් නොහැකි වීමට ඉඩ තිබුණි.

 

මහා මැතිවරණය කල් යයි ද? - (රජිත් කීර්ති තෙන්නකෝන්)
මුදල් නැති කම නිදහසට කරුණක් ලෙස ලබා දෙමින්, ප්‍රතිසාධන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා ගැනීමට පෙර 2023 මුලදී පැවැත්විය යුතුව තිබූ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට රජය කටයුතු කළේය. රට පුරා මැතිවරණය එක දිනක පැවැත්වීමට නියමිතව තිබූ නිසා එහි ප්‍රතිඵලය ආණ්ඩු වෙනසක් සඳහා වූ ඡන්දයක් ලෙස අර්ථකථනය වීමට ඉඩ තිබිණි. ජනාධිපතිවරයා ඉවත් කළ නොහැකි නිසා, මධ්‍යයේ බලයේ සිටින අය සහ වෙනසක් සඳහා තමන්ට ජනවරමක් ඇතැයි විශ්වාස කළ අය අතර ඇති වන ආතතිය 2018-19 දී සිදු වූවාක් මෙන් අකර්මන්‍ය ආණ්ඩුවකට තුඩු දීමට ඉඩ තිබිණි. 

ජනාධිපතිවරණය නියම කාලයට පැවැත්වුණු අතර මහ මැතිවරණය නියමිත කාලයට පෙර පවත්වනු ලැබීය.

එහි අවසාන ප්‍රතිඵලය වූයේ ජනාධිපති ධූරය සහ පාර්ලිමේන්තුවේ සුපිරි බහුතර බලයක් ලබා ගැනීමට ජාතික ජන බලවේගය සමත් වීම යි. මෙම කාලය වන විට, රට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනේ අඩකටත් වඩා වැඩි දුරක් ගොස් සිටි අතර, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කොට බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසන් අදියරට ළඟා වී තිබිණි. ජයග්‍රාහී ජාතික ජන බලවේගය ආර්ථික කඩාවැටීමක් වළක්වා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ පරාමිතීන් තුළ දිගට ම ක්‍රියා කිරීමට තීරණය කළේය.

සාමකාමී බල හුවමාරුවක් සිදු වී ඇති අතර ආර්ථිකය යහපත් තත්ත්වයක පවතියි. ඒ සියල්ල අපගේ ආයතන පැවතීම සහ එමගින් අපට ප්‍රකෘතිමත් වීමට අවශ්‍ය ස්ථාවරත්වය ලබා දුන් බැවිනි. 

මීළඟ අභියෝගය වන්නේ මෙම පදනම භාවිතා කරමින්, අපට අපගේ ණය ආපසු ගෙවීමට සහ අපගේ බහුතර ජනතාවගේ බරපතළ ලෙස පිරිහී ඇති ජීවන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට ඉඩ සලසන ලෙස, ආර්ථිකය තිරසාර වර්ධන මාවතකට රැගෙන ඒම යි.

මංගල : මහ ගසක් ඇද වැටිණි. එහි ප්‍රතිවිපාක කවරේද? -මහාචාර්ය රොහාන් සමරජීව(සටහන | මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  

rohan@lirneasia.net

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...