The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

තිලක මතක (33) : සාත්තර මෑණි කෙනෙකු ඉදිරියේ දී කට උත්තරත් නැති වෙයි (ඉන්දු පෙරේරා ලියයි)

T

The Leader Desk

January 6, 2025 • 10:33 AM

තිලක මතක (33) : සාත්තර මෑණි කෙනෙකු ඉදිරියේ දී කට උත්තරත් නැති වෙයි (ඉන්දු පෙරේරා ලියයි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "දැන් ඔබව මම පෙර ආත්මයට කැඳවාගෙන යනවා.
  • ඔවුන්ගෙන් තොරතුරු විමසූ පසු විමලාවතී නම් සහෝදරියක තමාට සිටි බවත්, ඇය ඉන් වසර ගණනාවකට ඉහතදී, එනම් ඇගේ ළමා වියේදී හරකෙකු ඇන මිය ගිය බවත් එක් කාන්තාවක පවසා සිටියාය.
  • මෝහනය කිරීම මගින් මෙලෙස පෙර භවයන් පිළිබඳ තොරතුරු කිව හැකියි යනුවෙන් විශාල විශ්වාසයක් පැවති යුගයක් තිබිණි.
  • මාධ්‍යවලට ගෙන්වා මෙසේ මෝහනය කරන සමහර අය ඒ පවසන තොරතුරු අනුව රූපවාහිනී කණ්ඩායමක් එම මෝහනය වූ කාන්තාව හෝ පිරිමියා සමඟ එකී ප්‍රදේශවලට ගොස් ඒ විස්තර තහවුරු කරගෙන ඒවා ද විකාශය කිරීමේ ක්‍රමයක් මේ ඇතැම් රූපවාහිනී ආයතන මගින් අනුගමනය කරනු ලැබීය.
අකුරු ප්‍රමාණය (Font Size):
      
"දැන් ඔබව මම පෙර ආත්මයට කැඳවාගෙන යනවා. කොහෙද ඔබ ඉන්නේ?"
     
".........." මෝහනයට පත්ව සිටි කාන්තාව එක්තරා ගම් ප්‍රදේශයක් ගැන පැවසුවා ය.
     
"මොකක්ද ඒ කාලේ ඔබේ නම?" එසේ විමසුවේ එම කාන්තාව මෝහනයට පත් කරමින් සිටි තැනැත්තා ය.
     
"විමලාවතී" කාන්තාව සිහිනයෙන් මෙන් මිනිණුවා ය.
       
ඊළඟට මෝහනය කරවනු ලබන්නා විසින් විමලාවතීගෙන් ඒ ආත්මයේ තොරතුරු අසා ඇගේ මරණය සිදුවූ ආකාරය වෙත ඇය රැගෙන ගියේය.
       
"අක්කයි මමයි වත්ත පහළ දර කඩමින් හිටියා. එකපාරටම කුලප්පු වෙච්ච හරකෙක් දුවගෙන ආවා. අක්කා දිව්වා. ඒත් මට දුවන්න හම්බ වුණේ නෑ. කකුල පැටලිලා මාව වැටුණා. හරකා මට ඇන ගෙන ඇන ගෙන ගියා.මට එච්චරයි මතක. මම ඊට පස්සෙ මෙහේ ආවා"
 
 
ආචාර්ය නෙවිල් ද සිල්වා සමග මෝහන ප්‍රසංගයකට එක්වූ තිලක් මෝහනයට පත් කාන්තාවක් සමග
       
 
ඉන්පසු දිනක එම මෝහනයට පත් කළ කාන්තාව කී මං සලකුණු ඔස්සේ ඇය එහි කඳවා ගෙන ගොස් නිවසක් ඉදිරියේ එම කාන්තාවත් සමඟ කණ්ඩායම නතර වූහ. ඇය මෝහනය වී පැවසූ තොරතුරුවලට අනුව එය ඇගේ පෙර භවයේ නිවස යි. ඔවුන්ගෙන් තොරතුරු විමසූ පසු විමලාවතී නම් සහෝදරියක තමාට සිටි බවත්, ඇය ඉන් වසර ගණනාවකට ඉහතදී, එනම් ඇගේ ළමා වියේදී හරකෙකු ඇන මිය ගිය බවත් එක් කාන්තාවක පවසා සිටියාය.
     
මෝහනය කිරීම මගින් මෙලෙස පෙර භවයන් පිළිබඳ තොරතුරු කිව හැකියි යනුවෙන් විශාල විශ්වාසයක් පැවති යුගයක් තිබිණි. මෙයින් අදහස් කරන්නේ මාධ්‍ය ඔස්සේ රැල්ලක් මෙන් එය පැතිරී ගොස් තිබූ යුගයක් පිළිබඳවයි. මාධ්‍යවලට ගෙන්වා මෙසේ මෝහනය කරන සමහර අය ඒ පවසන තොරතුරු අනුව රූපවාහිනී කණ්ඩායමක් එම මෝහනය වූ කාන්තාව හෝ පිරිමියා සමඟ එකී ප්‍රදේශවලට ගොස් ඒ විස්තර තහවුරු කරගෙන ඒවා ද විකාශය කිරීමේ ක්‍රමයක් මේ ඇතැම් රූපවාහිනී ආයතන මගින් අනුගමනය කරනු ලැබීය. ඉහත විස්තර කළේ ද එවැනි වැඩසටහනකි.       
 
මෙවැනි වැඩසටහන් අහඹු ලෙස නරඹන්නට අවස්ථාවක් ලද තිලක්ට මේවා ඉතාමත් සැලසුම් සහගත ලෙස කරන ලද නරඹන්නන් මුලා කිරීමක් බව වටහා ගැනීමට අපහසු වූයේ නැත. නමුත් ජනතාව අතරේ විශාල ජනප්‍රියත්වයක් මෙවැනි වැඩසටහන්වලට ලැබී තිබිණි.  
       
මේ කාලයේ ලක්බිම පුවත්පත් සමාගමේ දැන්වීම් කළමනාකරු ලෙස සේවය කළ නිශ්ශංක කුරුකුලසූරිය සමඟ තිලක් සුහද පිළිසඳරක යෙදී සිටියදී මෙබඳු වැඩසටහන් සම්බන්ධයෙන් ද ඔවුන් අතර සාකච්ඡාවට පාත්‍ර විය.
     
 "අර තරම් ලොකු කාලයක් තිස්සේ මෝහන වැඩසටහන් කරන ඩොක්ටර් නෙවිල් ද සිල්වාව මං දන්නවා.එයාවත් ඕව පිළිගන්නේ නෑ"      
 
එහිදී නිශ්ශංක, තිලක් සමඟ පවසා තිබිණි. තිලක්ට ආචාර්ය නෙවිල් ද සිල්වාව සිහිපත් වූයේ එවිට ය. 70 දශකයේ "මෝහන රංග" නමිනුත්, 90 දශකයේ පමණ "සංසාර මන්දිර" නමිනුත් මෙරට අස්සක් මුල්ලක් නෑර, බොහෝ පාසල්වල පවා පවත්වන ලද මෝහන ප්‍රසංග වැඩසටහන් මාලාවෙහි නිර්මාතෘ ආචාර්ය නෙවිල් ද සිල්වා මෙරට මෝහන ප්‍රසංග කලාවෙහි පුරෝගාමියා ද විය. මෝහනය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ උනන්දුවක් ඇතිවූයේ ද ආචාර්ය සිල්වාගේ වැඩසටහන්වලින් පසුව ය. මෝහනය සම්බන්ධයෙන් ඔහු සමඟ සාකච්ඡා කිරීමට තීරණය කළ තිලක් එවකට රාජගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහුගේ නිවසට ගියේ කල් තබා කරන ලද දැනුම් දීමකට අනුව ය.
 hypnosis difference cover
         
 
ඉතා නිහඬ, වැඩි කතාබහක් නැති, අහිංසක පුද්ගලයකු වූ ආචාර්ය නෙවිල් ද සිල්වා මෝහනය සම්බන්ධයෙන් ඉන්දියාවට ද ගොස් එහි පූනා ආයතනයෙන් වැඩිදුර හදාරා තිබූ අයෙකි. තම ප්‍රසංගවලදී ද මෝහනයට පත්වූවන්, පෙර ආත්මයට ගෙන යාම සිදුකළ ද එලෙස පෙර භවය පිළිබඳ පැවසීම සත්‍යය අනාවරණය වීමේ ක්‍රමයක් නොබව ආචාර්ය සිල්වා ද පිළිගෙන තිබිණි.
       
"අපේ රටේ ගොඩක් දෙනෙක් ඔය වගේ ජනප්‍රිය අංගවලට කැමති නිසා විනෝදාංගයක් හැටියට මම එහෙම දේවල් ප්‍රසංගවලදී කළාට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන ඒ පෙර භවයට මෝහනයෙන් යන්න පුළුවන් කියන එක බුදු දහමටත් නිඟාවක්. මෝහනය කියන්නේ ඉතා සුළු මානසික ආබාධ, මානසික අර්බුද වගේ දේවල්වලට යොදාගත හැකි ප්‍රාථමික මනෝ චිකිත්සක ක්‍රමයක් විතරයි."
       
එදා ආචාර්ය නෙවිල් ද සිල්වා, තිලක් සමග එසේ පවසා තිබිණි. ඒ අනුව එවකට ඇතැම් රූපවාහිනී චැනලවල විකාශය වූ එවැනි වැඩසටහන් ඔහු ද සත්‍ය ලෙස පිළිගත්තේ නැත.නමුත් ඒ ගැන කිසිවකු හා සටන් වදින්නට ගියේ ද නැත.ආචාර්ය නෙවිල් ද සිල්වා ගේ මෙම නිහඬ අහිංසකත්වය නිසා පසුව තිලක් ඔහුගෙන් මෝහන ශාස්ත්‍රය ඉගෙන ඔහු හා මෝහන ප්‍රසංගවලට ද ස්වේච්ඡාවෙන් එක් විය.       
 
 මේ කාලයේ ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහන් නිෂ්පාදක මහසෙන් මොරවක පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් සහභාගි කරවාගෙන "අඳුරෙන් එළියට" නමින් සාකච්ඡාමය වැඩසටහනක් විකාශය කරමින් පැවතියේය. සෝම හිමියන් සමග තවත් ගිහි විද්වතෙකු ද සම්බන්ධ කර ගනිමින් සිදු කරන ලද එය සජීවී වැඩසටහනක් වූ නිසා අසන්නන්ට ද ඒ සඳහා විවිධ ප්‍රශ්න යොමු කළ හැකි විය. එවකට මෝහනය ඉතා ජනප්‍රිය මාතෘකාවක් ව පැවැති බැවින් "අඳුරෙන් එළියට" වැඩසටහනකට මෝහනය සම්බන්ධ කර ගැනිණි. ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන සෝම හිමියන් සමඟ මෙම වැඩ සටහන ඉදිරිපත් කළ අතර සෝම හිමියන් පැවසුවේ මෝහනය මගින් පෙර භවය පිළිබඳව කියන්නට යාම බුදු දහමට කරනු ලබන නිගාවක් බව ය. මෙය ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මූල අතරින් මෝහ ගණයට වැටෙන්නක් බව සෝම හිමියෝ එහිදී පහදා දුන්හ.
        
ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන මේ සම්බන්ධයෙන් දැරූ මතය වූයේ මෝහනය මගින් පෙර භවය පැවසිය හැකි බව ය. එය පර්යේෂණ මගින් සනාථ වී ඇති බව ද ඔහු වැඩිදුරටත් තොරතුරු ගෙන හැර දැක්වී ය.
 
 
IMG 20250105 WA0003සෝම හිමියන් වැඩ සිටි මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේදී පැවති සම්මන්ත්‍රණයක්. වෛද්‍ය හරිශ්චන්ද්‍ර සමග ප්‍රවීණ මාධ්‍යවේදී සුන්දර නිහතමානී මැල් ද මෙහි සිටියි.
       
 
මේ අනුව වැඩසටහන ඉදිරිපත් කරන දෙදෙනා අතර විසංවාදී තත්ත්වයක් මතුවූ බැවින්, ඊළඟ සතියේ පටන් මෙම වැඩසටහනට සෝම හිමියන් සමග ඉදිරිපත් කළ හැකි මේ සම්බන්ධ ප්‍රවීනයෙකු සොයා ගන්නේ කෙසේද? යනුවෙන් මහසෙන් තුළ ගැටලුවක් මතුවිණි. මහසෙන් ඊට තිලක්ගෙන් උපකාරයක් අපේක්ෂා කළේය. තිලක්ට මෙහිදී ආචාර්ය නෙවිල් ද සිල්වා ව සිහිපත් වුවත්, ඔහු කිතුනුවකු නිසා මෙම වැඩසටහනට සම්බන්ධ කර ගැනීමේ බාධාවක් පැවතිණි.
       
මෙයට විශේෂඥ මනෝ වෛද්‍යවරයකු සහභාගි කරවීම වඩාත් උචිතයැයි සිතූ තිලක්, විශේෂඥ මනෝ වෛද්‍ය අනුලා නිකපොත මහත්මියට දුරකථන ඇමතුමක් දී මේ සම්බන්ධයෙන් විමසා සිටියේය.
     
 "මම නම් ප්‍රතිකාර ක්‍රමයක් විදිහට මෝහනය යොදා ගන්නේ නෑ. ඒ වෙනුවට වෙනත් චිකිත්සක ක්‍රම තියෙන නිසා. හැබැයි මිස්ටර් සේනාසිංහ ගාල්ලේ කරාපිටියෙ සයිකියැට්‍රිස්ට් ඩොක්ටර් හරිශ්චන්ද්‍ර නම් සමහර රෝගීන්ට අවශ්‍ය විදිහට මෝහන ප්‍රතිකාරය යොදා ගන්න බව දන්නවා. ඔයා කරාපිටියේ හොස්පිට්ල් එකට කතා කරල බලන්න"
       
ඒ මොහොතේම ගාල්ල කරාපිටිය රෝහලට දුරකථනයෙන් කතා කළ තිලක් විශේෂඥ මනෝ වෛද්‍ය හරිශ්චන්ද්‍ර පිළිබඳව විමසූ කල එම වාට්ටුවට දුරකථන ඇමතුම සම්බන්ධ කිරීමට දුරකථන ක්‍රියාකරු පියවර ගත්තේය.
       
එලෙස වෛද්‍ය හරිශ්චන්ද්‍ර දුරකථනයට සම්බන්ධ කර ගැනීමට තිලක්ට අවස්ථාව ලැබිණි.
 
 
IMG 20250105 WA0002ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ පැවති බුදු දහම සහ මිථ්‍යාව පිළිබඳ සම්මන්ත්‍රණයකට සෝම හිමියන් සමඟ වෛද්‍ය හරිස්චන්ද්‍ර , වෛද්‍ය ආනන්ද පෙ⁣රේරා සහ තිලක් සම්බන්ධ වී සිටි අයුරු
       
 
තිලක් විස්තර කරන ලද කරුණ මනා අවධානයෙන් යුතුව සවන් දුන් විශේෂඥ මනෝ වෛද්‍ය හරිශ්චන්ද්‍ර ඊට එක එල්ලේ පිළිතුරක් දුන්නේ නැත. ඒ වෙනුවට,
       
"ඔයාට පුළුවන්ද කරාපිටියට ඇවිත් මාව හම්බවෙන්න" යනුවෙන් තිලක්ගෙන් විමසා සිටියේය.
       
"හොඳයි ඩොක්ටර් මම එන්නම්"
       
harischandraවෛද්‍ය හරිශ්චන්ද්‍රපසුදිනෙක තිලක් කරාපිටිය රෝහලට ගොස් වෛද්‍ය හරිශ්චන්ද්‍රව මුණ ගැසී මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය. වෛද්‍ය හරිශ්චන්ද්‍ර මේ සම්බන්ධයෙන් උනන්දුවක් සේම කැමැත්තක් ද පළ කළත් සෘජු පිළිතුරක් ඒ මොහොතේ දුන්නේ නැත. කෙසේ වුවද එම විශේෂඥ වෛද්‍යවරයා සමග කතාබහ කළ ඒ කෙටි කාලය තුළ මනෝ වෛද්‍ය විද්‍යාව සේම බුදුදහම සම්බන්ධයෙනුත්, සිංහල සහ ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍යා සම්බන්ධයෙනුත් ඔහු තුළ පැවති පෘථුල දැනුම තිලක්ට අදහා ගත නොහැකි තරම් විය. එම සියලු විෂයන් සම්බන්ධ ප්‍රාමාණික විද්වතකු වූ ඔහු මෙවැනි ප්‍රසිද්ධ මාධ්‍යයකට සෝම හිමියන් සමඟ එක්කර ගත හැකි නම් විශාල වැඩ කොටසක් කළ හැකි බව තිලක් ඒ කෙටි කාලය තුළ දී වටහා ගත්තේය. මෙවැනි විද්වතුන් මාධ්‍යවලට නොපැමිණ මෙසේ නිහඬව සිටීම මහත් අපරාධයකි. කෙසේ හෝ වෛද්‍ය හරිශ්චන්ද්‍ර ව මේ වැඩසටහනට සහභාගි කරවා ගත යුතු යැයි තිලක් තරයේම අදිටන් කරගෙන සෝම හිමියන්ට මේ පිළිබඳ පවසා සිටියේය.
     
 "ඔය ඩොක්ටර්ව මට මතකයි. අපේ ධර්මායතනයේ පෝය දින වැඩසටහන් කීපයකටම ඇවිත් දේශන පවත්වලා තියෙනවා. මම කතා කරන්නම් ඒ ඩොක්ටර්ට"
       
 
කෙසේ වුවද වෛද්‍ය හරිශ්චන්ද්‍ර අඳුරෙන් එළියට වැඩසටහනට සහභාගි වීමට කැමැත්ත පළ කර තිබිණි. රන් රස මෙන් වූ සෝම හිමියන් සහ වෛද්‍ය හරිශ්චන්ද්‍රයන්ගේ සුසංයෝගය එම වැඩසටහනට මනාව ගැළපුණු අතර එය ලංකාවේ ජනප්‍රියතම රූපවාහිනී වැඩසටහනක් බවට එකල පත්ව තිබිණි. වෛද්‍ය හරිශ්චන්ද්‍රයන් මාධ්‍ය ඔස්සේ පැමිණි දීර්ඝ ගමනට අත්පොත් තැබුණේ එලෙසිනි. 2013 මාර්තු 01දා එතුමාගේ 75 වෙනි ජන්ම දිනයට හරියටම දින දහයකට පෙරදී හදිසියේ හටගත් හෘදයාබාධයකින් මිය යනතුරුම එතුමා අපේ රටේ ශ්‍රව්‍ය, දෘෂ්‍ය, මුද්‍රිත යන තුන් ආකාරයේ මාධ්‍යවලටම නැතිවම බැරි විද්වතෙක් බවට පත්ව සිටියේය.නමුත් එතුමා ජන මාධ්‍ය වෙත කැඳවා ගෙන ඒම සම්බන්ධයෙන් තිලක් මුල් වූ බව අද දන්නේ ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහන් නිෂ්පාදක මහසෙන් මොරවක ඇතුළු කිහිප දෙනෙක් පමණි.
IMG 20250105 WA0005       
 
"අඳුරෙන් එළියට" ඉතා සාර්ථක ලෙස කරගෙන ගියත් හදිසියේම එම වැඩසටහන අතරමගදී නතර විය. ඊට බොහෝ විටම බලපෑවේ සෝම හිමියන් එවකට පැවති රජයේ ඇතැම් වැරදි සහගත දේවල් මෙන්ම දේශපාලනඥයන්ගේ වැරදි පවා නිර්භයව ප්‍රසිද්ධියේම විවේචනය කිරීම ය. මේ වැඩසටහන නතර වීමත් සමඟ එකල තිලක්, "ස්වාධීන රූපවාහිනියේ අඳුරෙන් එළියට වැඩසටහනෙන් සෝම හිමියන් එළියට" යනුවෙන් ඉරිදා ලක්බිම පුවත්පතට ලිපියක් ද ලිවීය. එම ලිපිය 1999 අප්‍රේල් 25 ඉරිදා ලක්බිම පුවත්පතෙහි පළ විය.
       
ඉන්පසු මෙම වැඩසටහන සෝම හිමියන්ගේ සහ වෛද්‍ය හරිශ්චන්ද්‍රයන්ගේ සහභාගිත්වයෙන් "නැණ පහන" නමින් ටී.එන්.එල්. රූපවාහිනියෙන් විකාශය ඇරඹීය. වැඩසටහන මෙහෙයවනු ලැබුවේ පසුව මෙරට ප්‍රවීන නිවේදකයෙකු බවට පත් වූ චමුදිත සමරවික්‍රම විසිනි.
       
රැජිණ පුවත්පතේ වැඩකටයුතුත්, මෙවැනි බාහිර කටයුතුත් කරන අතරේම ගුප්ත විද්‍යාව සම්බන්ධයෙන් කළ ගවේෂණාත්මක කටයුතු ද නොකඩවා කරගෙන යාමට තිලක් අමතක කළේ නැත.
       
ආවේශ වී සාස්තර කීම සම්බන්ධයෙන් මේ වන විට තිලක් බොහෝ කරුණු අනාවරණය කරගෙන තිබිණි. බොහෝ විට මේ කාර්යයෙහි යෙදෙන්නේ පිරිමින්ට වඩා කාන්තාවන් ය. ඉතා හොඳ මුඛරි කටක් තිබීම මෙහිදී අනිවාර්ය වන අතර ඒ මුඛරිකම තුළින් තැනට සුදුසු ලෙස කතා කිරීමෙහි හැකියාවක්ද තිබිය යුතුය. සාස්තර කීම තුළින් ඉතා ඉහළ තැනකට යා හැක්කේ එවැනි අයෙකුට පමණි.
         
ඒ ක්‍රම සහ විධි පිළිබඳව ඔවුන්ට විද්‍යාත්මක දැනුමක් නොතිබුණත් එහි එක්තරා විද්‍යාත්මක ක්‍රමවේදයක් තිබෙන බව එවැනි ස්ථාන ගණනාවකට ගොස් තමන් ද සාස්තර අසමින් සිදු කරන ලද ගවේෂණ තුළින් තිලක් අවබෝධ කරගත්තේය. ඒ සඳහා ඔහු ඒ සම්බන්ධ විද්‍යාත්මක කරුණු ද අධ්‍යයනය කර තිබිණ.
 
 
thelingu people in sri lanka1 1
මේ අනුව තැනට සුදුසු ලෙස උපරිමයෙන්ම කතා කිරීමේ මෙම ක්‍රමය එක්තරා අයුරකින් සිත් කියවීමේ කලාවකි. Cold reading ලෙස මෙය හඳුන්වයි. මේ සඳහා එම පුද්ගලයාගේ ශරීර භාෂාව, කතා විලාසය, කතා කරන වචන, වයස ආදී දේවල්වලින් තොරතුරු ලබා ගැනීමට සාස්තර කියන්නාට හැකියාව ඇත.
         
ඊළඟ ක්‍රමය Barnum effect ය. පී.ටී. බාර්නම් 19 වැනි සියවසේ ජීවත් වූ ඇමරිකානු ප්‍රසංග කලා ශිල්පියකු, ව්‍යාපාරිකයකු සහ දේශපාලඥයෙකුද වන පී.ටී. බාර්නම් මිනිසුන්ගේ හැසිරීම් වැනි දේවල්වලින් ඔවුන්ව ග්‍රහණය කර ගැනීමට මනා දක්ෂතාවයක් දැක්වූයෙකි. මේ ක්‍රමය සාස්තර කියන්නන් තුළද ඇත.    
        
තෙවෙනි ක්‍රමය process of illumination නම් වූ අනුයාත බැහැර කරලීමේ ක්‍රමය වන අතර මෙහිදී "දරුවා ප්‍රාණයක් නැති වීමක්ද, පාඩුවක්ද...... " ආදී වශයෙන් තම ගනුදෙනුකරුවාට ප්‍රශ්න හතරක් පහක් පමණ ඉදිරිපත් කර ඔහුගෙන්ම නිවැරදි පිළිතුර ලබාගෙන ඊළඟට ඒ ඔස්සේ කරුණු ඉදිරිපත් කිරීම සිදුවේ. සුප්‍රකට ෂර්ලොක් හෝම්ස් ග්‍රන්ථ මාලාවේ ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂකවරයා ද මෙම ක්‍රමය අනුගමනය කළ අතර ෂර්ලොක් හෝම්ස් ගැන මෙලෝ හසරක් නොදැන වුවද සාස්තරකාරියෝ ද මෙය අනුගමනය කරති. තිලක් ඒ ගැන මනාව වටහා ගත්තේ එවැනි සාත්තර මෑණිවරුන් සිය ගණනකගෙන් පර්යේෂණ මට්ටමින් සාත්තර අසා ඇති බැවිනි.
         
වරක් කඩුවෙල ආසන්නයේ මෙවැනි සාත්තර මෑණි කෙනකුන් වෙත ගිය තිලක් පේනයක් අසන්නට විය. ඒ ද තම ගවේෂණ කටයුත්තක් වෙනුවෙනි. එවැනි කෙනෙකු හමු වීමට යාම⁣ට පෙර එම තැනැත්තා හෝ තැනැත්තිය පිළිබඳව ඒ අවටින් කාටත් නොදැනෙන අයුරින් විපරම් කර තොරතුරු සොයා ගැනීම ද තිලක් සාමන්‍යයෙන් කරනු ලබන්නකි. පත්තිනි දෙවියන් ආරූඪ වී සාස්තර කියන මේ කාන්තාව පිළිබඳව තොරතුරු සොයාගෙන තිබූ තිලක් ඇයට ගැළපෙන පරිදි තම සාස්තරය ඇසීමට වග බලා ගත්තේය.
       
 "දරුවා ප්‍රාණකාරයෙක් ගැනද අහන්නේ?"
       
 "ඔව්"
         
"දරුවා දැන් ඒ ප්‍රාණකාරයා ජීවතුන් අතර නෑ නේද?
         
"ජීවතුන් අතරට ගන්න බැරුව තමයි මෑණියෝ අපි මේ වද විඳින්නේ"
       
 "ඒ කිව්වේ දරුවා?"
         
"අපට තවම දරු සම්පතක් නෑ මෑණියො"  
         
තිලක් තම ගවේෂණයට අවශ්‍ය වූ නිසා මෙවැනි මුසාවක් පැවසූවද ඒ වන විට තිලක්ගේ පුතු අට හැවිරිදි වියේ පමණ පසුවිය.
 
 
IMG 20250106 WA0001තිලක් ගේ බිරිඳ ලතා සහ පුතු
         
 
"දැන් බැඳලත් සෑහෙන කාලයක් නේද පුතේ?"
       
 "ඔව් මෑණියෝ දැන් අවුරුදු අටක් වෙනවා"
         
"මම පුතාට පත්තිනි මෑණියන්ගෙන් උදව් අරන් දෙන්නම් පුතේ"
       
 "කරගන්න පුළුවන් වෙයිද මෑණියෝ"
         
"මොකද දරුවා බැරි?"
         
"දරුවෝ නැති ඕනෙම ගෑනු කෙනෙකුට දරුවෝ දෙන්න පත්තිනි මෑණියන්ට පුළුවන්ද?" තිලක් විමසුවේ සිත යට යමක් තියාගෙන ය.
         
"එහෙම බෑනෙ දරුවා, කසාද බැඳලා ඉන්න ඕනෙ. පුරුෂයා ළඟ ඉන්නත් ඕනේ. එහෙම නැතිනම් දරුවෝ හදන්න බැහැනේ"
         
"ඒ විදිහේ අයට පත්තිනි මෑණියෝ පිහිට වෙනවද ?"
         
"නැතුව ඉතින් දරුවෝ"
 
 
kovoor 5හේතුවාදයේ පියා ලෙස සැලකෙන ඒබ්‍රහම් ටී කොවුර්
         
"හැබැයි ඉතින් මේ මෑණියන්ටත් දරුවො නැතිලු නේද? සාත්තර අහන්න ආපු කෙනෙක්මයි කිව්වේ"
         
තිලක් ඇසුවේ ඇඟට පතට නොදැනීම මඳක් සෙමින් ය. ඔහු එය තම විපරමේ දී කලින් සොයාගෙන තිබූ අතර තමන්ට දරුවන් නැති කතාවක් පවසා තිලක් සහ එම කාන්තාවගෙන් සාස්තර අසන්නට ගියේත්, මෙබඳු කරුණක් ගැන ඇගෙන් විමසා සිටියේත් එම මෑණියන්ට පාඩමක් උගන්වනු පිණිස ය.
         
" ඒක නම් මොකක්ද? පුතේ ඉතින්; මට විතරක්යැ පත්තිනි මෑණියන්ටත් දරුවො නෑ නේ"
           
ඇය එකවරම පැවසූ වදන්වලින් තිලක්ට දැනුණේ තමාගේ මුව ද "දඩාස්" ගා ලොක් වූ අන්දමකි. ඒ කෙසේ හෝ ඔහු ගේ මෙම ගවේෂණ සහිත ලිපි විශේෂාංග පුවත්පත්වල පළ වන විට සමහරුන් දුටුවේ තිලක් අප රටේ හේතුවාදයේ පියා ලෙස සැලකෙන ඒබ්‍රහම් ටී කොවුර් ගේ මඟ යන්නකු ලෙසිනි.
 
ලබන සතියේ යළි හමු වෙමු.
  
සටහන - ඉන්දු පෙරේරා

තිලක මතක (3) - ලොකු හාමුදුරුවන්ට බියෙන් උස්මුරුත්තාවට එනතුරු දන් වළඳයි (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (4) - අවංක වීමේ වරදට තිලක් ගේ පියාට දායක සභාවෙන් නින්දා ! (ඉන්දු පෙරේරා ලියයි)  

තිලක මතක (5) - තිලක් ගේ ළමා වියේ පාසල් මිතුරා ජවිපෙ සන්නද්ධ නායකයා වෙයි (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (6) - කෙසෙල් කොළය සහ හොදි බාල්දිය (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (7) - අඩි හතරෙ යෝධයා තැනූ දැවැන්ත වේල්ල (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (8) - පාසල් කට් කර ගොස් පරණ අම්බලමේ දී සමාජ අධ්‍යයනය හදාරයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (9) - ජැක්සන් ඇන්තනී සමඟ එකම කරලියේ රංගනයක (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (10) - පිටපත් දහයක් මුද්‍රණය කළ "මවිතෙ" පත්තරේ (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (11) - පත්තර සිහිනය වෙනුවෙන් කුළුඳුල් පෙමට සමු දෙයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (12) - "අරමුණ වෙනුවෙන් ඕනෙම ගුබ්බැයමක ලැගපන් මල්ලී" ! (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (13) - ගජමෑන් ගෙන් ආප්ප කා වෙන පත්තරයකට මාරු වෙයි (ඉන්දු පෙරේරා ලියයි)  

තිලක මතක (14) - අතිජාත මිත්‍ර වැසිකිළි පිරිසිදු කරන්නා! (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (15) - යුවතියන් ගේ අඩවියට මඟ පෙන්වූ සුමිතුරා හදිසියේ නික්ම යයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (16) - වෙළඳ කලාප යුවතියක ඉදිරියේ රහසින් කඳුළු සළයි (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (17) -  තිලක්ට ඔහුවත් නොදත් පෙම්වතියක්? (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (18) - හිමි නමක ද කැටුව පෙම්වතිය බලන්න කතරගම යයි (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (19) - මංගල රාත්‍රිය තනි යහනක ගත කරයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (20) - තිලක් ගේ හදිසි විවාහය වෙනුවෙන් ඥාතීන්ට කළුදොදොල් සංග්‍රහයක් (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (21) - "හෝම් කමින්" එකට රතු ඉඳි ආප්ප සහභාගීත්වය තුන් දෙනයි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (22) : පුටු නැති නිවසේ ගායකයන් එක් වූ පැදුරු සාජ්ජයක් (ඉන්දු පෙරේරා ලියයි)  

තිලක මතක (23) : "බාලගිරි හෙට නොවේ අද" අලුත උපන් බිළිඳු පුතු ගැන අලුත් යෝජනාවක් (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (24) :  අලුත උපන් බිළිඳු පුතු ද කැටුව අවදානම් ගමනක (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (25) : තනිව තේ එකක්වත් හදා ගන්නට නොදත් කාන්තා පුවත්පත් කතුවරයා (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (26) : අකල් මරණවලට හේතුවන්නේ කේන්ද්‍රයේ මාරක අපලවලට වඩා රාජ යෝග ද? බරපතල පැනයක් (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (27) : සූපවේදී පබිලිස් සහ එලොවින් ආ නූපන් පුංචි අම්මා මාධ්‍යයට ගෙනා හැටි (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (28) : උඹේ ඔළුවයි කඳයි බඩයි සේරම නැති වෙන්න පුළුවන් (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (29) : "රැජිණ කර්තෘ කෝපි කාලේ මිනිහෙක්" බහු ජාතික සමාගමකින් චෝදනා (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (30) :  පිරිසුදු බුදු බණ දෙසන "ටෙක්කාරාමයේ යකාගෙ හාමුදුරුවෝ"  (ඉන්දු පෙරේරා ලියයි)

තිලක මතක (31) : බෞද්ධයන්ගේ අන්ධ විශ්වාස ලුහුබැඳීම අරඹයි (ඉන්දු පෙරේරා ලියයි) 

තිලක මතක (32) : ඔළු නැති සමාජය මවිත කළ දොළුකන්දේ හාස්කම් ගැන ලියයි (ඉන්දු පෙරේරා ලියයි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...