ප්‍රශ්නය පැන නගින්නේ පරම්පරා ගණනාවක් සිය ගවයන්ට සෙවන දුන් මයිලත්තමඩු තෘණ බිම් පිටස්තර සිංහල ගොවීන් වෙනුවෙන් වගාවට ලබා දීමේ නැගෙනහිර හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්ගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතයි.
ගාලු මුවදොර අරගලකරුවන්ගේ විරෝධය හමුවේ පළා ගිය ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්යෙන් ඇරඹි `වියත් මග` සංවිධානයේ ඉහල පෙලේ නායිකාවක් සිට අද වන විට සර්වජන බලය පක්ෂයේ මුල් පෙළ නායිකාවක වන අනුරාධා යහම්පත් හිටපු ආණ්ඩුකාරවරිය මැදිහත්ව අනාදිමත් කලක පටන් සත්ව පාලනයට යොදා ගත් මේ තෘණ බිම් තම අනුගාමිකයන් වූ බඩඉරිගු වගා කරුවන් වෙත රිසි සේ පැවරිණි.
මයිලත්ත මඩු කිරි ගොවි උපවාසය
සිය තෘණ බිම් ආක්‍රමණය කළ සිංහල බඩ ඉරිඟු ගොවීන් හා දෙමළ කිරි ගොවීන් අතර ආරවුල ඇරඹෙන්නේ ඉන් අනතුරුවය. ඊට විරෝධය දැක්වීමට එක්වූ කිරි ගොවීහු කොළඹ - මඩකළපුව මාර්ගයේ සිත්තන්ඩි හි වාඩිලා ගත්හ. පසුව ජනාධිපති පුටුවේ වාඩි වූ රනිල් වික්‍රමසිංහ අනුරාධා යහම්පත් ඉවත් කොට සෙන්දිල් තොණ්ඩමාන් ආණ්ඩුකාරධුරයට පත් කළ ද කිරි ගොවීන්ගේ ගැටලුවට විසදුමක් ලබා දීමට ඔහු සමත් වුයේ නැත. ඔහු පැවසුවේ තෘණ බිම් පිළිබඳව තීරණය ගත යුත්තේ මහවැලි අධිකාරිය බවයි. මයිලත්තමඩු කිරි ගොවීන්ගේ ඉල්ලීමට විසදුමක් නොමැතිවම මේ වන විට වසරකුත් සිව් මසක් ගෙවා දමා හමාරය.
කිරි නිෂ්පාදනයේ මිටියාවත
මඩකළපුව දිසාවේ කෝරලේ පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩුම්බිමලෙයි ග්‍රාම නිලධාරි කොට්ටාශයේ හා එරාවුර් පත්තු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඊරනයිකුලම් ග්‍රාම සේවා වසමේ පෙරියමාතවනෛ හා මයිලත්තමඩු ප්‍රදේශයේ කිරි ගොවීන් වෙනුවෙන් වූ තෘණ භූමියක් ලෙස දශක හයකට එපිටින් වෙන්කරන ලද්දක් බවට මඩකළපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුව හමුවේ ද සනාථ වූ කරුණකි.
මයිලත්ත මඩු
මයිලත්තමඩු - මාතවනෛ ගොවිජන සේවා කිරි ගොවි සංගමයේ වාර්තාවන්ට අනුව ඊරනයිකුලම් ග්‍රාමසේවා වසමේ පුලුට්ටුමනොඩෙයි, පෙරියමාතවනෛ, මෙසිකල් මලෙයිවෙට්ටයි, වෙලික්කල් මලෙයිවෙට්ටයි, කිතුල්වැව ග්‍රාමසේවා වසමේ පුලියඩි පොතාන, කෝපාවේලි ග්‍රාමසේවා වසමේ කිඩාරම්පොට්ටු මඩු, වඩුමුනෛ ග්‍රාමසේවා වසමේ මිරුන්දාවිල්, කුඩිම්බමලෙයි ග්‍රාමසේවා වසමේ අම්බුමුනෛ, පාලක්කාට්ටු වෙට්ටයි, මුරුන්ගයඩිප්පට්ටි, චම්මික්කුලවෙට්ටයි, නෙලිගල් වෙට්ටයි සහ මයිලත්තමඩු ප්‍රදේශයන්ගේ හෙක්ටයාර් 8242 ක වපසරියක් පුරා පැතිරී තෘණ බිම් කිරි ගවයන් 3 50 000 කගේ පෝෂණය සපුරවාලයි.
චෙන්කල්අඩි, කොම්මන්තුරෙයි, චන්දාරුමුල්ලෙයි, මාවඩ්ඩිවෙම්බු, චිත්තාන්ඩි, මුරක්කොටන්චේනෙයි, චන්දිවේලි, කොරකල්ලිමාඩු, කිරාන්, කින්නයඩි, සුන්ගාන්කේනි, කරුවාකේනි ගම්මාන වල දහසකට ආසන්න කිරි ගොවීන්ගේ ද, තුන් දහසකට වැඩි කුලී කම්කරුවන්ගේ ද, ශ්‍රම දායකත්වයෙන් දිනෙකට නිපදවෙන කිරි ප්‍රමාණය ලීටර් පනස් දහසත් හැට දහසත් අතර ප්‍රමාණයකි. මෙසේ නිපදවෙන කිරි මිල්කෝ සමාගමට අමතර ව කිරි ගොවීන්ගේ සමුපකාර සමිති මගින් මිලදී ගනු ලබයි. කිරි ගොවි සමුපකාර සමිති හරහා ද තවත් වක්‍ර රැකියා අවස්ථා 1500 කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කර ඇත.
නැඟෙනහිර ප්‍රදේශයේ, මහවැලි සංවර්ධන සැලැස්ම මගින් ඇතැම් ප්‍රජාවන්ගේ, විශේෂයෙන් කිරි ගොවීන්ගේ තෘණ බිම් ඇතුළුව ඔවුන්ගේ ඉඩම්වලින් කොටසක් මහවැලි අධිකාරිය මගින් අත්පත් කර ගැනීම නිසා සත්ව පාලන කටයුතු වලට සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ලැබුවේ 1985 වසරේදී පමණය. ආණ්ඩුවේ සත්ව පාලන දෙපාර්තමේන්තු සමීක්ෂණ වාර්තාවන්ට අනුව මයිලත්තමඩු තෘණ බිම් ආශ්‍රිත මිටියාවත අයත් මහවැලි `බී ` කලාපය අනාදිමත් කලක සිට පැවතියේ විශේෂයෙන්ම කිරි නිෂ්පාදනය වෙනුවෙනී.
අනවසර වගා කරුවන්ගේ ආක්‍රමණය
යුද ගැටුම් ඇරඹීමත් සමගින් උන්හිටි තැන් අහිමිව කඳවුරු වෙත ගාල් කෙරුණු මඩකළපුවේ ජනයා 2009 දී යුද්ධයේ නිමාවත් සමග යළි සිය වාසස්ථාන කරා පැමිණි විට ඔවුන්ට දක්නට ලැබුනේ විනාශයට පත් ගේ දොර හා තෘණ බිම්ය. පිට පළාත් වලින් පැමිණි සිංහල ජනයා තෘණ බිම් අවට ප්‍රදේශ එලි පෙහෙළි කරමින් අනවසරයෙන් නව වාසස්ථාන ඉදිකරමින්, ගොවි බිම් සකසමින් සිටියහ.
මාතවනෙයි තෘණ බිම්
2011 වසරේ දී කැබිනට් මණ්ඩලය විසින් මයිලත්ත මඩු හා මාතාවනෙයි තෘණ බිම් වල සනාථ කළ අයිතිය, පසෙක ලා දිගින් දිගටම කෙරෙන මෙම බලහත්කාරී ආක්‍රමණයට එරෙහිව 2022 ජුලි මාසයේදී කිරි ගොවීන් විසින් ගොනු කළ පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය, තෘණ බිම් ආක්‍රමණික සිංහල ගොවීන් සියල්ලම ඉවත්කරන ලෙස මහවැලි සංවර්ධන අධිකාරියට නියෝග කෙරුණ ද ඒ ගැන ඔවුන් ක්‍රියා කරනු ලැබුවේ ඇල්මැරුණු ස්වරූපයෙනි.
ආක්‍රමණික සිංහල ගොවීන් 23 දෙනෙකුගෙන් 13 දෙනෙකුට එරෙහිව මහවැලි අධිකාරිය මගින් 2022 සැප්තැම්බර් 22 වැනිදා එරාවුර් අධිකරණයේ නඩු පවරනු ලැබුවේ නැගී එමින් තිබුණු කිරි ගොවි විරෝධය සමනය කරනු පිණිසය. එහි ප්‍රතිපලයක් අනුව සිංහල ආක්‍රමණිකයන්ට එම ප්‍රදේශයෙන් වහා ඉවත්වන ලෙස නොවැම්බර් 13 වැනිදා අධිකරණය මගින් නියෝග ලබා දුන්න ද මෙතෙක් එය ක්‍රියාත්මක වී නොමැත.
මාතවනෙයි කිරි ගොවි සංගමයේ සභාපති සීනතම්බි ත්‍යාගරාජා
``අපේ තෘණ බිම් බලහත්කාරයෙන් අත්පත් කරගත්තු අනවසර පදිංචිකාරයෝ අපේ හරක්ට වෙඩි තියනවා, කරන්ට් වයර් අදිනවා, කොටනවා, හක්ක පටස් දානවා එහෙම කරලා හරක් ගොඩ දෙනෙක් මරලා තියෙනවා. ඒ වගේම මේ තෘණ බිම් වල වෙනත් වගා කරන්න කෘමි නාශක ගහලා විනාශ කරනවා.``යැයි මාතවනෙයි කිරි ගොවි සංගමයේ සභාපති සීනතම්බි ත්‍යාගරාජා පවසයි. ඔහුට අනුව එක් ගවයෙකුගේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට ආසන්නය.
මයිලත්තමඩු කිරි ගොවි උපවාසය
ඉඩම් හිමි මහවැලිය
"කිසිම තැනැත්තෙකු අදාළ නීතිරීතිවලට අනුකූලව හැර, රක්ෂිත හෝ ග්‍රාමීය වනාන්තරයකට ඇතුළත් නොකළ ඕනෑම වනාන්තරයක් එළිපෙහෙළි කිරීම, ගිනි තැබීම හෝ පස පෙරලීම, හෝ එහි තණබිම් හෝ වන නිෂ්පාදන භාවිතා නොකළ යුතුය," යනුවෙන් 2009 වසරේදීම වන සංරක්ෂණ ආඥාපනතට සංශෝධනයක් එක් කළේ තෘණ බිම් රැක ගන්නට යැයි වන නිලධාරීහු කිරි ගොවීන්ට පැවසුහ. එහෙත් පසුව එම සංශෝධන කිරි ගොවීන් වෙනුවෙන් ද යන්න සැකයට තුඩු දෙන්නෙකි.
අපේ තෘණ බිම් බලහත්කාරයෙන් අත්පත් කරගත්තු අනවසර පදිංචිකාරයෝ අපේ හරක්ට වෙඩි තියනවා, කරන්ට් වයර් අදිනවා, කොටනවා, හක්ක පටස් දානවා එහෙම කරලා හරක් ගොඩ දෙනෙක් මරලා තියෙනවා. ඒ වගේම මේ තෘණ බිම් වල වෙනත් වගා කරන්න කෘමි නාශක ගහලා විනාශ කරනවා.``
"2019/20 කාලයේ දී ගවයින් වෙනුවෙන් තෘණ බිම් හෙක්ටයාර 21,000ක් අමාත්‍යංශයෙන් දුන්නා. ඊට පස්සේ ලියුම් එව්වේ 19,000ක් දෙනවා කියල යි අනුමැතිය දුන්නේ. පස්සේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය කියන නමින් හෙක්ටයාර 3275ක් දෙන්නම් කියල, පස්සේ අක්කර 7000ක් දෙන්නම් කියලා කිව්වා. නමුත් ඒක දුන්නේත් නැහැ.``යැයි ගොවිජන සේවා කිරි ගොවි සංගමයේ නියෝජිත සී. නිමලන් පවසයි.
අද වන විට මහවැලි අධිකාරිය පවසන්නේ තෘණ බිම් වෙනුවෙන් හෙක්ටයාර් 3000 ක් ලබා දිය හැකි බවයි. එහෙත් ගොවීන්ගේ ඉල්ලීම වන්නේ අඩුම තරමේ හෙක්ටයාර් 5000 ක් ලබා දෙන ලෙසයි.
කිරි ගොවීන්ගේ උපවාසයට සහාය පළ කරන නැගෙනහිර සරසවි සිසුන්
කෘෂි කර්මාන්තය යනු බව භෝග වගාව මිස සත්ව පාලනය ඊට අයත් නොවන හැඟීමකින් මහවැලි අධිකාරියේ නිලධාරින් කටයුතු කරන බවට ද මයිලත්තමඩු කිරි ගොවීන් නගන එක් චෝදනාවකි. දේශීය කිරි නිෂ්පාදනයට විශාල පංගුවක් එකතු කරන මොවුන්ට අනුව තම ජීවනෝපාය පමණක් නොව හම්බන්තොට හා පොලොන්නරුව වැනි ප්‍රදේශ වල සිට පැමිණෙන සිංහල කිරි ගොවියන්ගේ දහස් ගණන් ගවයන්ට අහර සපයන මයිලත්තමඩු තෘණ බිම් රැක ගත යුතුය.
විසදුම් ජාතික ජන බලවේග ආණ්ඩුව අත
ඉකුත් මහ මැතිවරණයේදී මයිලත්තමඩු තෘණ භුමි අයත් මඩකලපුව දිස්ත්‍රික්කය ඉලංගෙයි තමිල් අරසු කච්චි ජය ගත් අතර පාලක ජාතික ජන බලවේගයට එක් මන්ත්‍රීධුරයක් හිමිවිණි. ඒ කෙසේ වෙතත් දේශපාලන භේද පසෙක ලා වසර එක හමාරකට ආසන්න කිරි ගොවීන්ගේ ඉල්ලීමට විසදුම් සෙවීමේ වගකීම පැවරී ඇත්තේ ජා.ජ.බ. ආණ්ඩුව වෙතය.
ප්‍රතිපත්ති ප්‍රකාශනය
``පොහොසත් රටක් - ලස්සන ජිවිතයක්`` නම් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව කිරි ගව ක්ෂේත්‍රය නැංවීමට අදාළ යෝජනා රැසකි. දැනටමත් දේශීය කිරි නිෂ්පාදනයට වැඩි දායකත්වයක් ලබා දෙන මයිලත්තමඩු කිරි ගොවීන් කෙරෙහි අවධානයක් යොමු කිරීම ගොවි - කම්කරු නායකයන් වූ ඇමැති හා නියෝජ්‍ය ඇමැතිගේ අත්හල නොහැකි වගකීමකි.

(සටහන | ඉෂංඛා සිංහආරච්චි)
නිදහස් මාධ්‍යවේදිනි
ishanka.singhe@gmail.com



