සත්ව සුබසාධන සංවිධාන කිහිපයක එකමුතුවෙන් සැදුම්ලත් සත්ව සුබසාධන සංසදය මගින් 2024 ජනවාරි මස 7 වනදා කැඳවූ මාධ්‍ය හමුවකදී ඔහු මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වීය.
මිථ්‍යාව වපුරලා අර්බුද මවන්න එපා!
වෛද්ය චමිත් නානායක්කාර
“පසුගිය දා පුවත්පත් වාර්තාවක් පළ වෙලා තිබුණා වසරකට සුනඛයන් සපාකෑම නිසා බදුල්ල මහරෝහලට ඇතුළු වන පිරිස 6500කට ආසන්නයි කියලා. නමුත් කරුණු සොයා බලද්දී හෙළිදරව් වුණේ ඒ අතරින් සියයට අනූවකට අධික ප්‍රමාණයක් නිවෙස්වල හුරතලයට ඇති කරන සත්තු. නමුත් ප්‍රවෘත්තිය ප්‍රචාරය වෙන්නෙ වීදි සුනඛයො සපාකාලා කියලා.
යම්කිසි දිස්ත්‍රික් කමිටුවකදී නිලධාදීන් පිරිස කිව්වොත් අපිට වීදි සුනඛ ගහණය පිළිබඳ ගැටලුවක් තියෙනවා කියලා රිලව්, අලි සම්බන්ධයෙන් කළා වගේ දිස්ත්‍රික් කමිටුව මට්ටමෙන් ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙන්න ඔවුන්ට බලය තියෙනවා. ඒ හේතුව නිසාම අපිට ලොකු බයක් තියෙනවා හදිසි තීන්දු අරන්, හරිහැටි දැනුමක් නැතුව වැඩ කරලා ලොකු අර්බුදයක් නිර්මාණය වෙයි කියලා.
දෙදහස් හත වසරෙදි සුනඛයන් සපාකෑම නිසා මියගිහින් තියෙනවා 63 දෙනෙක්. හැබැයි 2024 අවුරුද්දේ මියගොස් තිබෙන්නෙ 20 දෙනයි. ඒ අතරිනුත් සුනඛයන් හපාකෑම නිසා මියගිහින් තියෙන්නේ 11දෙනයි. තව තැනක සඳහන් කරලා තිබුණා රජයට විශාල මුදලක් වියදම් වෙනවා මේ සත්තු හපාකෑවම රෝහල්ගත වෙන අයට ප්‍රතිකාර කරන්න කියලා.
නමුත් 2007දිත්, 2024දිත් ඒ් සඳහා දරපු වියදම රුපියල් මිලියන 600යි. මෙතනදී සැලකිල්ලට ගත යුතු කාරණය තමයි 2007දි ඩොලරයක අගය රුපියල් 150ක් වෙද්දී 2024දි ඩොලරයක අගය රුපියල් 300යි; එදා බෙහෙත් ගන්න රදපු වියදම වගේ දෙගුණයක් වියදම් වෙනවා ඒ බෙහෙත් ප්‍රමාණය ගන්න. එතකොට වයල් සංඛ්‍යාව අනුව ගත්තොත් එදා ආව ප්‍රමාණයෙන් භාගයක වයල් සංඛ්‍යාවක් තමයි අද රෝහල්වලට එවන්නෙ. එතනින් ම පේනවා අද වෙන විට මේ ප්‍රශ්නය බාගෙට බාගයක් විසඳිලා තිබෙන බව.
අද වෙනකොට වීදි සුනඛයන්ගෙන් සියයට හැටකට වඳ සැත්කම් කරලා තියෙන්නෙ. සියයට අසූවකට එන්නත් ගහලා. නමුත් අපි කොච්චර ඒ ගැටලුව විසඳන්න හැදුවත් වගකීමක් නැති මිනිස්සු පාරට බල්ලො ගෙනත් දානවා. අපිට මේ ක්‍රියාවලිය ජාතික වැඩපිළිවෙලක් විදියට ඉස්සරහට අරගෙන යන්න බැරි වෙලා තියෙන්නෙ මේ වගේ වගකීම් විරහිත මිනිස් ක්‍රියාකාරකම් නිසා. මේ තත්ත්වය පාලනය කරන්න නීති අවශ්‍යයි. ජලභීතිකා අඥා පනත, සත්ව සුබසාධන පනත යාවත්කාලීන කළා නම් මේ ගැටලු බොහෝමයකට විසඳුම් ලැබෙනවා.”
ජලභීතිකා මර්දනය පශු වෛද්‍යවරුන්ට බාරදෙන්න
චම්පා ප්‍රනාන්දු
පශු වෛද්‍යවරුන්ගේ හිඟය රජය විසින් මෙහෙයවන ජලභීතිකා මර්දන වයාපෘතියේ මන්දගාමීභාවයට හේතුවක් විය හැකි බවත්, දැනට සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පවතින මෙම ව්‍යාපෘතිය සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පවරන ලෙස රජයට යෝජනා කරන බවත් මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සත්ව සුබසාදන සංසදයේ විධායක කමිටු සාමාජිකා චම්පා ප්‍රනාන්දු ප්‍රකාශ කළාය.
ලංකාවේ සුනඛයන් අතරින් වීදි සුනඛ ගහනය සියයට තුනක් තරම් අවම අගයක් ගන්නා බවත්, වීදිවල ගැවසෙන සුනඛයන් අතරින් සියයට 79%ක්ම ගෘහාශ්‍රිතව ඇතිදැඩි කරන පිරිමි සතුන් බවත් ඇය පෙන්වාදෙයි. වීදි සුනඛයන් වීදිවලින් ඉවත් කිරීමට තැත් කිරීම විසඳුමක් නොවන බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.
“ජලභීතිකාව කියන්නේ ඕනම ක්ෂීරපායී සතෙකුට වැළඳෙන්න පුළුවන් ලෙඩක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා නිර්දේශය වෙන්නේ, මේ සුනඛයො වන්ධ්‍යකරණයට ලක් කරලා සියයට අසූවක්වත් එනනත් කළොත් අපිට ජලභීතිකාව මේ රටින් තුරන් කරන්න පුළුවන් කියන එක.
අපේ ගෙදරක එන්නත් කරපු බල්ලෙක් ඉන්නවා නම් වෙන වන සතෙක් එද්දී ඌ තමයි අපේ සමීපම ආරක්ෂකයා වෙන්නෙ. අපි බල්ලො ඉවත් කරොත් සිද්ධ වෙන්නෙ නරි, මුගටි වගේ සත්තුන්ගෙ ආක්‍රමණයකට උඩගෙඩි දීමක්. මෑතකදී කලවැද්දෙක් සපාකෑමෙනුත් මනුස්සයෙක් මැරිලා තියෙනවා. අපිට ඒ සත්තුන්ගෙන් සියයට අසූවක් එන්නත් කරන්න බැහැ. බල්ලා තමයි එහෙම එන්නත් කරලා සහජීවනයෙන් වසන්න පුළුවන් එකම සත්වයා.”
වන්ධ්‍යකරණට සහාය දක්වන්න ජනතාව සූදානම්
දෙදහස් විස්ස වසරේදී අනුරාධපුර නගරසභා බලප්‍රෙද්ශය සහ පූජාභූමි ආශ්‍රිතව සංවිධානය කළ ව්‍යාපෘතිය මගින් සුනඛයන් 12,000කට ආසන්න සංඛ්‍යාවක් සාර්ථකව වන්ධ්‍යකරණයට ලක් කළ බවත්, 2023 සහ 2024 වසරවලදී එම ව්‍යාපෘතිය නගරසභා බලසීමාවෙන් පිටත ප්‍රදේශ දක්වා ව්‍යාප්ත කළ බවත් ප්‍රකට සත්ව පුබසාධන ක්‍රියාකාරිණියක වන ටාෂියා කැප්ටන් ප්‍රකාශ කරයි.
ටාෂියා කැප්ටන්
ව්‍යාපෘතියේ මුල් අවධියේදී ගෘහාස්ශ්‍රිතව උපදින බලු පැටවුන් විශාල වශයෙන් පූජා නගරයට මුදා හැරීම නිසා උද්ගත වූ ගැටලුසහගත තත්වය නිසාම මෙම පියවර සඳහා යොමු වූ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.
“නගරසභා බලසීමාවට පිට ප්‍රදේශවලින් අපේ සායනයට ගෙනාපු සුනඛයන්ගෙන් සියයට අසූපහක්වත් ගෘහාශ්‍රිතව ඇති කරන සත්තු. ඒ අත්දැකීම ඇසුරින් අපිට තේරුම්ගිය කරුණක් තමයි, සුනඛ ගහනය පාලනයට සහය පැතිය යුත්තේ කාගෙන්ද කියලා අදහසක් නැතිව මේ මිනිස්සු අසරණ වෙලා ඉන්නෙ කියන එක. අපිට මේ සම්බන්ධයෙන් නිසි යාන්ත්‍රණයක් ස්ථාපිත කරන්න පුළුවන් නම් මේ ගම්වාසීන් තමන්ගේ සුනඛයන් වන්ධ්‍යකරණය කරන්න කැමතියි. නිසි සැලසුමක් ඔස්සේ ක්‍රියාත්මක වීමෙන් සුනඛ ගහනය සාර්ථකව කළමනාකරණය කළ හැකි බවට මේ ව්‍යාපෘතිය සහ තවත් නියමු ව්‍යාපෘති රැසක් සාක්ෂි සපයනවා.”
මිහිපිට අපායවල් වූ සුනඛ අනාථාගාර
වීදි සුනඛයන්ගේ ගැටලුවට පිළියම් වශයෙන් අනාථාගාර පිහිටුවීම පිළිබඳව ජනමතයක් ගොඩනැගෙමින් පැවතුණත්, එය සාර්ථක විසඳුමක් නොවන බවට මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සතුව සුබසාධන සංසදයේ විධායක සභික ගිහාන් දිනූෂ කරුණු පැහැදිලි කළේය. “පිටින් බලලා අදහස් දක්වන පිරිසට ලොකු අදහසක් නෑ අනාථාගාරයක සිදුවෙන ක්‍රියාවලිය ගැන.
මේ වෙනකොට අනාථාගාර කියන්නෙ ලෝක මට්ටමින් වුණත් යල්පැන ගිය සංකල්පයක්. මොකද සුනඛයා කියන්නෙ කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත්වෙන සත්වයෙක්. විවිධ ප්‍රදේශවලින් සතුන් රාශියක් ගෙනල්ලා එක තැනකට ගාල් කළාම ප්‍රබලයන් සහ දුබලයන් අතර වගේම කුඩා කණ්ඩායම් අතර ගැටුම් ඇතිවෙනවා. රජයෙන් ආරම්භ කරපු එවැනි ස්ථානවල සතුන් ගැන සංවේදීබවක්වත් මේ වැඩපිළිවෙල ගැන නිසි අවබෝධයක්වත් නැති පිරිස් තමයි සේවයේ යෙදවෙන්නෙ.
ගිහාන් දිනූෂ
ඒ වගේම මේ ස්ථාන නඩත්තු කරන්නත් විශාල පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. පිටින් ගෙනාපු එක සතෙක් නිසා අනාථාගාරයේ සුනඛයන්ට parvo, canine distemper වගේ රෝගයක් බෝ වුණොත් විශාල සතුන් පිරිසක් මිය යන්න පුළුවන්. දැනටමත් එවැනි සිදුවීම් වාර්තා වෙලා තියෙනවා.
රජයේ මැදිහත්වීමෙන් පහුගිය වකවානුවේ එවැනි සුනඛ අනාථාගාර කිහිපයක් ආරම්භ කළා. වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මැදිහත් වීමෙන් ආරම්භ කරපු වෙන්නප්පුව සුනඛ සෙවන කියන අනාථාගාරයේ සත්තු සීයක් විතර අවාසනාවන්ත විදියට ලෙඩ රෝගවලට ගොදුරු වීමෙන් මියගියා. අවසානයේ සත්ව සුබසාධන ක්‍රියාකාරීන් ප්‍රාදේශීය සභාව එක්ක සාකච්ඡා කරලා මෙම අනාථාගාරය වහන තැනට ක්‍රියාකළා.
ප්‍රාදේශීය සභාවම ‘බල්ලන් සහ බළලුන් ගෙනත් දමන අයට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග’ කියලා පුවරු ප්‍රදර්ශනය කරන තැනට පත්වුණා. මේ සෑම අනාථාගාරයකම පාහේ ප්‍රදේශවාසීන් සේවකයන්ට යම්කිසි මුදලක් දීලා සත්තු ගේට්ටුව ළඟට ගෙනත් අතහරිනවා.
මේ විදියට සතියකට ඇදහිය නොහැකි තරම් සත්තු ප්‍රමාණයක් ඒ ආසන්නයට ගෙනවිත් අතහරිනවා. සතුන්ගේ ආහාර වෙනුවෙන් වෙන් කරපු සහල්, එළවළු අස්ථානගතවීම් වැනි සිදුවීම් වාර්තා වුණා. නෙල්ලිකුලම අනාථාගාරයේ සතුන් කිහිපදෙනෙක් ම මිය ගියේ යකඩ ගහඩුවලට බෙල්ල කැපිලා. පසුගිය රජය රුපියල් මිලියන අසූවක් වියදම් කරලා ගොඩනැගූ අනාථාගාරයක් තවම ත්‍රිකුණාමලයේ ක්‍රියාත්මක වෙනවා.
මේ ස්ථානය දැනටමත් මිහිපිට අපායක් වී හමාරයි. මට අවසන් වශයෙන් කියන්න තියෙන්නේ, මේ ගැටලුවට විසඳුම් සෙවිය යුත්තේ ක්‍රමානුකූල වන්ධ්‍යකරණ වැඩසටහනකින් මිස මේ සත්තු මරා දාලාවත්, අනාථාගාරවලට ගිහින් අතඇරලාවත් නෙවෙයි.”
ජාතික ප්‍රතිපත්තියක්; තිරසර විසඳුමක්
“යම් කිසි පිරිසක් රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය ඔස්සේ නැති ප්‍රශ්න ඇති කරනවාද කියන සාධාරණ සැකය අපිට තියෙනවා. නිලධාරීන් විසින් තමන්ගේ වාසිය තකා වැරදි තොරතුරු මැති ඇමතිවරුන්ට ලබා දෙනවා. මේ හැම ප්‍රශ්නයක් ම විසඳිය හැකි ප්‍රශ්න. රජය ජනතාවට කියන්න ඕන අපිට කාලය දෙන්න; මේ තමයි අපේ වැඩපිළිවෙළ, අපි මාස හයක් ඇතුළත මේ ප්‍රගතිය අත් කරගන්න බලාපොරොත්තු වෙනවා, යම් කිසි නිශ්චිත කාලයක් ඇතුළත මේ ප්‍රශ්නය විසඳනවා’ කියලා.
මේවා අපේ මිනිස්සුන්ට අතිශයින් ම සංවේදී ප්‍රශ්න. ඉතින් ඒ වගේ සංවේදී ප්‍රශ්න ගැන තීන්දු තීරණ ගනිද්දි හොඳින් හිතලා බලන්න ඕන.” වෛද්‍ය චමිත් නානායක්කාර ප්‍රකාශ කරයි. මේ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව අවවධාරණය කළ ඔහු, ඒ සඳහා සම්පූර්ණ සහාය ලබා දීමට තම සංසදය සූදානම් බවද ප්‍රකාශ කළේය.
(සටහන | අරුන්දි ජයසේකර)
arundijayasekara@gmail.com



