The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මේ කාලේ පාන්දරට දෙහිවල ගල්කිස්ස සොහොන් බිමෙන් අද්භූත හඬවල් ඇහෙනවාලු - මොකක්ද මේ කතාවේ ඇත්ත නැත්ත

T

The Leader Desk

January 9, 2025 • 6:49 AM

මේ කාලේ පාන්දරට දෙහිවල ගල්කිස්ස සොහොන් බිමෙන් අද්භූත හඬවල් ඇහෙනවාලු - මොකක්ද මේ කතාවේ ඇත්ත නැත්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාලු පාර අද්දර පිහිටා ඇති මේ සුසාන භූමියට වසර තුන්සියයකට ආසන්න ඉතිහාසයක් ඇති බව එහි පැරණි සොහොන් ස්මාරක පරීක්ෂා කරන විට පෙනී යයි.
  • තමන් සේවයට පැමිණි දා සිට යම් යම් පුද්ගලයන් තුළ ඇතිවූ නොනිසි තැති ගැනීම් හැර කිසිදු අද්භූත දෙයක් එම සුසාන භූමි පරිශ්‍රය තුළින් වාර්තා වී නොමැති බව සහතික කොට පවසන ලක්ෂ්මන් ප්‍රනාන්දු අනතුරුව කී කතාව ඔබගේ අවධානයට යොමු කරමි.
  • සොහොන් පිටිවලට අමතරව මෘත ශරීරාගාර ද මෙබඳු අද්භූත බලවේග ක්‍රියාත්මක වන ස්ථාන ලෙස ජන විශ්වාසයේ පවතියි.
  • විශේෂයෙන් එහි විවීම් යන්ත්‍රාගාරය තුළ ඇති රෙදි වියන යන්ත්‍ර මහ හඬ නඟමින් දවසේ පැය විසි හතරේම එක ලෙස ක්‍රියාත්මක වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ගාලු පාර අද්දර පිහිටා ඇති මේ සුසාන භූමියට වසර තුන්සියයකට ආසන්න ඉතිහාසයක් ඇති බව එහි පැරණි සොහොන් ස්මාරක පරීක්ෂා කරන විට පෙනී යයි.

දීර්ඝ කාලයක් තිස්සේ එම සුසාන භූමි පාලක ධුරය හෙබ වූ ලක්ෂ්මන් ප්‍රනාන්දු මගේ හිතවතෙකි. ශ්‍රී ලංකා ගුවන් විදුලි ඉතිහාසයේ ජ්‍යෙෂ්ඨතම හා ජනප්‍රියතම සන්නිවේදකයකුව සිටි ලලිත් එස් මෛත්‍රීපාලයන්ගේ බාල සොයුරු වන ලක්ෂ්මන් ප්‍රනාන්දු තම වෘත්තිය තුළින් සමාජයේ විවිධ කොටස් සමඟ යහපත් සබඳතා ගොඩනංවාගෙන හිඳින්නෙකි.

තමන් සේවයට පැමිණි දා සිට යම් යම් පුද්ගලයන් තුළ ඇතිවූ නොනිසි තැති ගැනීම් හැර කිසිදු අද්භූත දෙයක් එම සුසාන භූමි පරිශ්‍රය තුළින් වාර්තා වී නොමැති බව සහතික කොට පවසන ලක්ෂ්මන් ප්‍රනාන්දු අනතුරුව කී කතාව ඔබගේ අවධානයට යොමු කරමි.

‘‘හැබැයි මේ සුසාන භූමිය සම්බන්ධයෙන් මෙන්න මේ වගේ දේවල් නම් මම ඕනෑ තරම් අහලා තියෙනවා. ඒ කියන්නේ සමහර කාලවලදී විශේෂයෙන් දෙසැම්බර්, ජනවාරි වගේ සීතල මාසවල පාන්දර යාමවලදී මේ සොහොන් පිටියෙන් වයසක මිනිස්සු කහින කාරන සද්ද, සමහරු වේදනාවෙන් කෙඳිරිගාන හඬවල්, ගෑනු අයගේ විලාප හඬවල්, පුංචි දරුවෝ හඬන සද්ද එහෙම මේකේ මුරට ඉන්න අයට ඇහිලා තියෙනවා. ඒකේ මට තේරුම් ගන්න බැරි කාරණේ මේ සුසාන භූමියට අලුතින් පත්වෙලා එන කම්කරුවොත් මේ අද්දැකීමට මූණ දීලා තියෙන එක. ඒ මිනිස්සු පරණ අයගෙන් ඔය වගේ කතාවක් අහලා තිබුණා නම් හිතේ තියෙන සැක සංකා උඩ ඔය වගේ දෙයක් හිතේ මැවුණා කියලා හිතන්න පුළුවන්නේ. නමුත් ඒ විදිහේ සද්ද අහපු හුඟ දෙනෙක් ඊට කලින් එහෙම දෙයක් ගැන අහලාවත් නැති අය.’’ ලක්ෂ්මන් ප්‍රනාන්දු මා හා කීය.


සොහොන් පිටිවලට අමතරව මෘත ශරීරාගාර ද මෙබඳු අද්භූත බලවේග ක්‍රියාත්මක වන ස්ථාන ලෙස ජන විශ්වාසයේ පවතියි. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මෘතශරීරාගාර සේවක ආර්.ඒ.සුනිල් මීට කලකට පෙර ඒ සම්බන්ධයෙන් මා හා කීයේ මෙබඳු කතාවකි.

 

mortuariesමෘත ශරීරාගාරයේ දවල් කාලයට පශ්චාත් මරණ පරීක්ෂණයක් දෙකක් වෙනවා. ඒ හින්දා ඒ කතුරු වගේ උපකරණ හැසිරවෙන ශබ්ද, ඒ වගේම යාන්ත්‍රික කියත්වලින් මෘත ශරීරවල හිස් කබල් වෙන්කරන ශබ්ද බොහොම සාමාන්‍යයි.

‘‘අපේ රෝහලේ මෘත ශරීරාගාරය තියෙන්නේ ප්‍රධාන ගොඩනැගිල්ලෙයි. ඒ වගේම ඒක තියෙන්නේ හෙද නේවාසිකාගාරයට යන පාර මායිමේ. ඒ හින්දා ඒක කාටවත් බය ගෙන දෙන තැනක් නෙවෙයි. ඒ වගේම අපේ මෘත ශරීරාගාරයේ දවල් කාලයට පශ්චාත් මරණ පරීක්ෂණයක් දෙකක් වෙනවා. ඒ හින්දා ඒ කතුරු වගේ උපකරණ හැසිරවෙන ශබ්ද, ඒ වගේම යාන්ත්‍රික කියත්වලින් මෘත ශරීරවල හිස් කබල් වෙන්කරන ශබ්ද බොහොම සාමාන්‍යයි.ඒත් රෑට මෘත ශරීරාගාරයේ ඒ වගේ දේවල් නොවුණත් සමහර රෑ කාලවලදී ඒ ශබ්ද ඒ විදිහටම ඇහිලා තියෙනවා කියලා අපේ කාර්ය මණ්ඩලයේ කීප දෙනෙක්ම මාත් එක්ක කියලා තියෙනවා. ඒත්, එහෙම වෙන්නේ කොහොමද කියලා මට නම් හිතාගන්න බැහැ.’’ හෙතෙම කීය.

වර්තමාන තත්වය කෙසේ වුව ද මීට දශක කිහිපයකට ඉහත පූගොඩ පෙහෙ කම්හල අතිශය කාර්ය බහුල තැනකි. විශේෂයෙන් එහි විවීම් යන්ත්‍රාගාරය තුළ ඇති රෙදි වියන යන්ත්‍ර මහ හඬ නඟමින් දවසේ පැය විසි හතරේම එක ලෙස ක්‍රියාත්මක වේ. ඒ හඬ නතර වනුයේ එම පෙහෙ කම්හල වසා දැමෙන සිංහල අලුත් අවුරුදු දින දෙක තුනක කාලය තුළ පමණි. ඒ කාලයට විවීම් යන්ත්‍රාගාරය අතිශයින් නිහඬ බවක් පළ කරන මුත් එම කාල සීමාව තුළ අළුයම් යාමයන් තුළ එම යන්ත්‍රාගාරයේ විවීම් යන්ත්‍ර ඉබේ ක්‍රියාත්මක වන හඬක් එහි ආරක්ෂක නිලධාරීන්ට ඕනෑ තරම් ඇසී තිබේ.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් සමකාලීනව ගොඩ නැඟුණු පොදු එකඟතාවක් ද තිබේ. එනම් පිට පලාත් වලින් එම පෙහෙ කම්හලේ සේවයට පැමිණ ඒ අවට නිවෙස් වල නතර වී සිට පෙහෙ කම්හලට තරමක් නොදුරින් ගලා බසින කැලණි නදියේ දිය නෑමට ගොස් දියේ ගිලී මිය ගිය තරුණයන් මරණයෙන් පසුව ද තම රෙදි විවීමේ වෘත්තිය අත හැර නොමැති බවකි. එමෙන්ම පෙහෙ කම්හල වසා දැමූ පසු ඒ විවීම් යන්ත්‍රාගාරය තුළ හොල්මන් කරන”කටානේ මර්වින්, බිබිලේ සමන් ආදී වශයෙන් එසේ මියගිය තරුණයන් ගේ නාම ලේඛනයක් ද එවක ප්‍රචලිතව පැවතුණි.

 

sri padaya 1 ශ්‍රී පාද අවාරය තුළ ඇතුම් අළුයම් කාල වල දී උඩ මළුව අවටින් තුන් සරණේ කවි හඬ මතු වනු තමන්ට කිහිප වරක්ම ශ්‍රවණය වී ඇති බව

එමෙන්ම පසුගිය කාලයේ ශ්‍රී පාදස්ථන උඩ මළුවේ මුර සේවාවේ යෙදී සිටි තිස්ස කුමාර ද මා හා මෙබඳුම කතාවක් කීය. එනම් ශ්‍රී පාද අවාරය තුළ ඇතුම් අළුයම් කාල වල දී උඩ මළුව අවටින් තුන් සරණේ කවි හඬ මතු වනු තමන්ට කිහිප වරක්ම ශ්‍රවණය වී ඇති බවකි. අනේක විධ හඬ,ශබ්ද වශයෙන් අප අසන සියලුම දේ කිනම් හෝ භෞතික ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. එහෙත්, එවන් භෞතික ක්‍රියාවලියෙන් තොරව අද්භූත ලෙසින් ඇතිවන ශබ්ද ද ඇතැයි යන ජන විශ්වාසයක් ලොව පුරා පවතී. නමුදු ඒසම්බන්ධ විද්‍යාත්මක නිගමනයන් ඊට ඉඳුරාම වෙනස් ය.

අපට පෙනෙන, ඇසෙන, ආඝ්‍රානය වන සහ ස්පර්ශ වන සියලු දේ භෞතික සබැඳියාවක් මත සිදුවිය යුතු වුවද එසේ නොමැතිව පෙනෙන, ඇසෙන, ආඝ්‍රාණය වන සහ ස්පර්ශ වන බවට අපගේ මනැස් තුළ වැරදි සංජානනයන් හටගන්නා සිදුවීම් ද තිබේ. ඒවා සම්බන්ධ විවිධ විද්‍යාත්මක අර්ථකථන ඇතත් පොදුවේ ගත් විට ඒ සියල්ල හඳුන්වනුයේ ව්‍යාජ භ්‍රාන්ති (Pseudohallucinetion) යනුවෙනි.


කිසිදු භෞතිකමය පදනමක් නොමැතිව හුදු මනෝමය සාධක මත අත්විඳීමට ලැබෙන මේ මායාත්මක සංවේදීතාවයන් සිත අරමුණුවලින් නිදහස් වීම,නිදිබර ගතිය,මත්පැන්-මත්ද්‍රව්‍ය භාවිතය, ස්නායු ආබාධ, මානසික ආබාධ සහ මානසික රෝග යන තත්ත්වයන් යටතේ වැඩිපුර අත් විඳීමට හැකි බව සනාථ වී තිබේ.

 

images 76සොහොන් පිටිය තුළින් එම අද්භූත හඬවල් නැගෙනුයේ නිහඬ හෝරාවන් තුළදී

හිටපු සුසාන භූමි පාලක ලක්ෂ්මන් ප්‍රනාන්දු වෙත විවිධ පුද්ගලයන් දැනුම් දී තිබූ අන්දමට සොහොන් පිටිය තුළින් එම අද්භූත හඬවල් නැගෙනුයේ නිහඬ හෝරාවන් තුළදී ය.විශේෂයෙන් ශීතල අලුයම් යාමයන්හි දීය.පූගොඩ පෙහෙ කම්හලෙන් හා ශ්‍රී පාද උඩ මලුවෙන් ඇසුණු කතාවේ තත්වය ද එය මය. ඉන් පැහැදිලි වනුයේ එම අත්දැකීම්වලට මුහුණ දෙන්නවුන් අර්ධ නිද්‍රාමය තත්ත්වයන් තුළ තමන්ගේ සිත තුළ ගබඩා වී පවතින එවන් විවිධ ශබ්ද තමන්ද නොදැනුවත්වම මනැසේ ප්‍රතිරාවය කරගන්නා බවකි.

සොහොන් බිම යනු බාල, තරුණ, වැඩිහිටි, මහළු ආදී භේදයකින් තොරව මළවුන් එක්ව සදාතනික නින්දට පිවිසි ‘සයනාගාරයක්’බැවින් ඔවුන්ගේ හඬවල් ඒ හාත්පස පරිසරයට මුසුවනු ඇතැයි යන ස්වභාවික සංජානනය ඕනෑම කෙනෙකු තුළ පිබිදිය හැක.


මෙහිදී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මෘත ශරීරාගාර සේවක සුනිල් ට අසන්නට ලැබුණු මෘත ශරීරාගාරයේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරන හඬ මළවුන්ගේ අත්භූත ක්‍රියා ලෙස සැලකිය නොහැක. මක්නිසාද යත් මියගිය පුද්ගලයන් සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරනුයේ ජීවත් වන්නවුන් බැවිනි. ඒ අනුව ඒවායේ හොල්මන් කරනුයේ ජීවත්ව හිඳින්නවුන් බව පෙනෙයි.

 

ewormඅප කොහේදී හෝ ඇසූ රසවත් ගීත ඉන්පසු පැය, දින ඇතැම්විට සති ගණනක් තිස්සේ අපේ මනැස තුළ ප්‍රතිවාදනය වන්නාක් මෙන් අපට ඇසෙයි. එය හැඳින්වෙනුයේ Earworm යනුවෙනි.

පූගොඩ පෙහෙකම් හලේ අතෝරක් නොමැතිව නැඟෙන විවීම් යන්ත්‍ර හඬ වසරකට දින දෙක තුනක් පමණක් නතර ව තිබුණ ද නිරතුරු එය අසා පුරුදු එහි ආරක්ෂක නිලධාරීන් ගේ සවන් පත් තුළ එය ප්‍රතිරාවය වීමේ අරුමයක් නැත.ශ්‍රී පාදස්ථානය මුර කළ තිස්ස කුමාර සම්බන්ධයෙන් කීමට ඇත්තේ ද ඒ ටිකම ය.

අප කොහේදී හෝ ඇසූ රසවත් ගීත ඉන්පසු පැය, දින ඇතැම්විට සති ගණනක් තිස්සේ අපේ මනැස තුළ ප්‍රතිවාදනය වන්නාක් මෙන් අපට ඇසෙයි. එය හැඳින්වෙනුයේ Earworm යනුවෙනි. ඉහත සඳහන් සොහොන්පිටිය සහ මෘත ශරීරාගාරය සහ කම්හල හා ශ්‍රී පාද මලුව ආශ්‍රිතව අසන්නට ලැබෙන එම හඬවල් ද එලෙස අපගේ මනැස් තුළ ප්‍රතිවාදනය වන්නක් මිස බාහිරින් ඇසෙන කිසිදු අද්භූත ක්‍රියාවලියක් නොවේ.



Thilak Senasinghe
(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...