The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලිලිපුට්ටන්ට සංස්කෘතික ගලිවරයෙකු එසවිය නොහැක | කුසල් පෙරේරා

T

The Leader Desk

January 9, 2025 • 11:47 AM

ලිලිපුට්ටන්ට සංස්කෘතික ගලිවරයෙකු එසවිය නොහැක | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත් ජාතික ජන බලවේගය නැතිනම් මාලිමා ආණ්ඩුවක් පත්කර ගැනීමට ජනතාව ඡන්දය දුන්නේ එවැනි ජීවිතයකට නොවේ.
  • “ජාතික සංවර්ධනය” සඳහා ඔවුන්ට වැඩපිළිවෙලක් නොමැතිවීම වසා ගනු ලැබුවේ, අනෙක් සියල්ලන් කෙරෙහි ඇති කළ වෛරී දේශපාලනයකින් ය.
  • එහෙත් එවැනි නාගරික පවුලක අවම අවශ්‍යතා සඳහා මාසික වියදම රුපියල් 95,392 ක් යැයිද එහි ගණන් බලා ඇත.
  • එම සමීක්ෂණයට අනුව ජනගහනයෙන් දුප්පත්ම සියයට 40 ක සාමාන්‍ය ආදායම රුපියල් 26,931 කි.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත් ජාතික ජන බලවේගය නැතිනම් මාලිමා ආණ්ඩුවක් පත්කර ගැනීමට ජනතාව ඡන්දය දුන්නේ එවැනි ජීවිතයකට නොවේ. ජ.වි.පෙ නායකත්වය මාලිමා ආණ්ඩුවක් සඳහා ඡන්දය ඉල්ලා සිටියේ පැහැදිලි ඉදිරි දර්ශනයකට නොවුනත් “වෙනසක්” සඳහාවූ ඡන්දයෙහි එවැනි බලාපොරොත්තුවක් තිබිණ.

 


යෝධ දූෂණ වංචා රාජපක්ෂලාට සීමා කරන්නට මිස, ජ.වි.පෙ හෝ ඔවුන්ගේ මාලිමා වෘත්තිකයින් දුප්පත්කම ගැන විශේෂයෙන් කතා කෙරුවේ නැත. “ජාතික සංවර්ධනය” සඳහා ඔවුන්ට වැඩපිළිවෙලක් නොමැතිවීම වසා ගනු ලැබුවේ, අනෙක් සියල්ලන් කෙරෙහි ඇති කළ වෛරී දේශපාලනයකින් ය. ඔවුන්ද හවුල් වී පත් කළ ජනාධිපතිවරුන්ට හා ඔවුන්ද ඇමතිකම් කළ ආණ්ඩු වෙත, ඔවුන්ගේ කිසිදු සම්බන්ධයක් නොවුනු ආකාරයට දොස් කීමෙන් ඇවිල වූ සමාජ වෛරයක් මගින් ය.

ආණ්ඩුව කාගේ වූවත් නව ලිබරල් ආර්ථිකයෙහි බහුතර දුප්පත්කම දිනපතා වර්ධනය වන්නකි. දුප්පත්කම ගණන් හදන්නේ එක් පුද්ගලයෙකුට දවසක් ජීවත්වීමට අවශ්‍ය යැයි සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තීන්දු කරන්නා වූ ආදායම අනුවය. ඒ අනුව “දරිද්‍රතා රේඛාව”ඇඳීමෙන් පසු, ඊට පහතින් ඉන්නා පවුල් හා පුද්ගල සංඛ්‍යාව දුප්පත් යැයි කියති. තවකක් වනුයේ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක ප්‍රධාන අවශ්‍යතා සඳහාවන මාසික ජීවන වියදම සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ගණන් හදන අයුරුය.

 

ආර්ථික අර්බුදයකට මුහුණ දිය හැක්කේ පරිපූර්ණ හා ගැඹුරු ප්‍රතිසංස්කරණවලින්  පමණි ; පැලැස්තර විසඳුම් නැත – ඩැනියෙල් ඇල්ෆොන්සස්

සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දැනට ප්‍රකාශිත 2019 “ගෘහියික ආදායම් හා වියදම් සමීක්ෂණයට” අනුව, සිව් දෙනෙකු ඉන්නා නාගරික පවුලක, පවුලේ ප්‍රධානීන් දෙදෙනම ආදායම් ලැබූවත් දෙදෙනාටම එක හා සමාන ආදායම් ලැබීමක් හැමවිට මෙන් නැතැයි ද, එවැනි නාගරික පවුලක මාසික දළ ආදායම රුපියල් 61,425 ක් යැයිද සඳහන් වන්නේ ය. එහෙත් එවැනි නාගරික පවුලක අවම අවශ්‍යතා සඳහා මාසික වියදම රුපියල් 95,392 ක් යැයිද එහි ගණන් බලා ඇත. ග්‍රාමීය හා වැවිලිකරයේ තත්ත්වය ඊට වඩා උග්‍ර වූවකි. 2019 එම සමීක්ෂණයට අනුව ජනගහනයෙන් දුප්පත්ම සියයට 40 ක සාමාන්‍ය ආදායම රුපියල් 26,931 කි. එනිසාම ඔවුහු ජීවිත හා පොර බදන වුන් මිස ජීවත්වන අය නොවන්නාහ.

සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මෙම ගණන් හැදීමේ බරපතල ගැටළුවක් ඇත. මේ ආදායම් ගණන් හැදීමෙහි පුද්ගලයෙකු දවසකට වැඩ කරන පැය ගණන සළකණු නොලැබේ. ඔවුන් ගණන් හදන්නේ පැය 08 ක වැඩ දිනයක් පාදක කර ගනිමින් නොවේ. මෙහි ඇත්තේ පුද්ගලයෙකු මාසයක් අවසානයේ අතට ගන්නා මුදල ය. එහි ඇති අතිකාල සේවය, නිවාඩු දිනවල වැඩ කිරීම, දෙවන තාවකාලික රැකියාවක් කිරීම වැනි අමතර ඉපැයීම් කිසිත් ගණන් හැදීමක් නැත. 

 
එවගේම, මේ ගණන් හැදීමෙහි පුද්ගලයකු හා පවුලක් ඔවුන්ගේ විනෝදය, විවේකය හා සංස්කෘතික ජීවිතය කැප කරන බව ගණන් බලා නැත. ඒ කැප කිරීමෙහි වටිනාකම ගණන් හැදීමක් නැත. ඉතාම කෙටියෙන් කිවහොත් මේ සමීක්ෂණ “මනුෂ්‍යයෙකු” යැයි අර්ථ ගන්වා ඇත්තේ “ඉපදුන නිසා කන බොන අඳින, කන බොන නිසා ජීවත් වන” රළු, වියළි, හිස් මිනිසෙකි. නව ලිබරල් ආර්ථිකයෙහි හැදෙන “පාරිභෝගික මිනිසා” යනු එවැන්නෙකි.

සමාජගත ඓතිහාසික සංස්කෘතික දුප්පත්කම
 
ආර්ථික අර්බුදයේ යතාර්ථය - (අජිත් රාජපක්ෂ)
මා නූතන ලෝකයේ “මනුෂ්‍යයා” යැයි අර්ථ ගන්වන්නේ අඛණ්ඩව දියුණුවන, සෞන්දර්යාත්මක වින්දනයක් ඇති සංස්කෘතික සත්වයෙකි. එබැවින් කිසිදු විවේකයක් නැතිව, කිසිදු නිදහස් කාලයක් නැතිව රැකියාව හා ආදායම් ඉපැයීම වෙනුවෙන් පමණක් දවසම ගෙවා දමන ජීවිත, දියණු මනුෂ්‍ය ජීවිත නොවේ යැයි මම තීරණය කරමි.
 
මගේ මිණුමට අනුව දුප්පත්කම ගණන් හැදීමේදී පාරිභෝගික ජීවිතය පමණක් නොව, විවේකය හා සෞන්දර්යාත්මක සංස්කෘතික ජීවිතයකට ඇති අවකාශයද ගණන් බැලිය යුතුය. කෙතරම් හම්බ කළද, ඒ හම්බ කරන්නා වූ මුදල විවේකය හා දියුණු සංස්කෘතික ජීවිතයක් වෙනුවෙන් වැය කිරීමට පුද්ගලයෙකුට සැළකිය යුතු කාලයක් ඉතිරි නොවන්නේ නම්, ඒ පුද්ගලයා පූර්ණ, දියුණු මනුෂ්‍යයෙකු නොවේ. ඒ පුද්ගලයා දුප්පතෙකි.
pzy34ImBCuu6PEbq 4ආනන්ද කුමාරස්වාමීඈත අතීතයේ සිටම අප සෞන්දර්යාත්මක වින්දනයක් ලැබූ ශිෂ්ඨාචාරයකට උරුමකම් කියා නැත. “නච්ච ගීත වාදිත, විසූක දස්සන මාලා...” යැයි වන සිංහල-බෞද්ධ හැදියාවෙහි, සෞන්දර්යාත්මක රස විඳින්නාවූ ලෞකික ජීවිතයකට ඇබ්බැහිවීමක් නොවීම ඉතිහාස පුරුද්දකි. එය සනාථ කරමින් ආනන්ද කුමාරස්වාමී 1906 දී “ලංකා විශ්ව විද්‍යාල සංගමයේ ප්‍රකාශනයට” ( Journal of the Ceylon University Association ) ලිපියක් ලියමින් යෝජනා කෙරුවේ, බටහිර සංස්කෘතිකාංග වලට නතු වන්නට පෙර අප ඉන්දියානු හින්දුස්ථාන රාගධාරී සංගීතය අපේ කරගත යුතුයැයි කියා ය. ඊට හේතුව, අපට අපගේ යැයි සංගීත සම්ප්‍රදායක් නොවීම ය. 

sunil shantha සුනිල් සාන්තසිංහල ගී ආරක් හැදීමට සිය දැනුම, කාලය හා මහන්සිය වැය කළ සුනිල් සාන්ත, සංස්කෘත බසින් මිදුණු හෙළ හවුලේ හෙළ බසටත් බෙංගාලී සංගීත ආරටත් ගොඩ වූයේ හින්දුස්ථානි රාගධාරී සංගීතයෙහි “සිංහල ආත්මය” සඳහා ඉඩක් නැතැයි සිතූයෙනි. කතෝලිකයෙකු ලෙස ඔහු පල්ලියේ ගීත ආභාෂය ලබා තිබූයෙන්, එහි වර්ණ ගැන්වීම්ද සුනිල් සාන්ත සංගීතයෙහි ඇත. කෙටියෙන් කිවහොත් 50 දසකය පසුවන තෙක් සිංහල සංගීත ලෝකයෙහි සිංහල බෞද්ධයින් නොවීය. සියල්ලන් දකුණු ඉන්දියානු සම්භවයක් තිබූ හා කතෝලික-ක්‍රිස්තියානි හැදියාවක් තිබූ අය වූහ.

යටත් විජිත පාලන සමයේ ලැබුණු සාහිත්‍ය (කෙටි කතා-නවකතාද සමග) සෞන්දර්ය කලා ජීවිත ඇසුර, වසර තිහ-හතළිහකට වැඩි නොවුනු අපේ සමාජයේ මුල් ඇදුණු සෞන්දර්යාත්මක සංස්කෘතික උරුමයන් නොවූයෙන් එවන් ජීවිතයක් සඳහා ඉල්ලුමක් ඇත්තේ නැත. එහෙත් නූතන ලෝකයේ ආදායම් මාර්ගයක් ලෙස විශේෂයෙන් රැකියාවක් අවශ්‍ය වන්නේ වැදගත් මනුෂ්‍ය ජීවිතයක් සඳහාය.
 
emotional rest
නූතන සමාජයේ සුවපහසු, සෞඛ්‍ය සම්පන්න, දියුණු සංස්කෘතිකමය ජීවිතයක් ගත කරන්නටය. “පැය 08 ක වැඩ දිනයක” ඇති විශේෂ වැදගත්කම එය ය. පැය 08 ක වැඩ දිනයකින් උපයන ආදායම ඊළඟ පැය 08 තුල පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් සඳහා ප්‍රමාණවත් විය යුතු ය. ඉතිරි පැය 08 ඊළඟ දිනයේ පැය 08 ක් වැඩ කිරීම සඳහා අවශ්‍ය විවේකය වෙනුවෙන් තිබිය යුතුය. පැය 08 ක වැඩ දිනයේ සූත්‍රය එවැනි ය. මේ නූතන ලෝකයේ වැඩ දිනය පැය 06 ට අඩු කළ දියුණු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටවල්ද ඇත. එවැනි තීන්දුවක පදනම වන්නේ ආතතියකින් තොර මනුස්ස ජීවිතයට නිදහස, විවේකය අත්‍යාවශ්‍ය වන්නේය යන්නය.
එහෙත් මේ ගෝලීය නව ලිබරල් ආර්ථිකයේ “ජාතික සංවර්ධනය” ගැන කතාව යනු විවෘත වෙළඳපල නාගරික “පාරිභෝගික ජීවිතය” ගැන කතාවක් පමණි. “මහ නගර හා මැද පංතිය” නව ලිබරල් ආර්ථිකයෙහි කේන්ද්‍රීය සාධක වන්නේද එබැවින්ම ය. නරේන්ද්‍ර මෝඩි 2014 දී අගමැති ලෙස ඉන්දීය ආණ්ඩු පාලනය සියතට ගත් පසු ඔහුගේ සංවර්ධන සැළැස්මෙහි ප්‍රධාන යෝජනාවක් වූයේ නවීන “ස්මාට්” නගර 100 ක් හැදීම ය. එවැනි මහ නගර හැදීමට නොහැකි වූයේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි ආණ්ඩු වලට ඒ මට්ටමෙන් හෝ සැළසුම් ක්‍රියාත්මක කළ නොහැකි හෙයිනි. 

එනමුත් ඒවායේ මූලික ලක්ෂණ ලෙස සඳහන් වූයේ ගමනාගමනය හැකි තරම් කාර්යක්ෂම කිරීමත් නිවාස සඳහා අන්තර්ජාල පහසුකම් සියයට 100 ක් දක්වා වර්ධනය කිරීමත් සීඝ්‍ර කාර්යක්ෂම කසළ ඉවත් කිරීමත් ය. ඒ සමග 2030 වන විට ඉන්දීය නාගරික ජනගහනය මිලියන 375 සිට මිලියන 590 දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරුණි.

යුද්ධය නිමාවෙන් පසු  අපේ “සංවර්ධනය” රාජපක්ෂ පාලනය මගින් සැළසුම් කෙරුණේද එවැනිම යොමුවක් ඇතිව ය. සියලු අධිවේගී සහ වටරවුම් මාර්ග සැළසුම් කෙරුණේ මහ කොළඹ වෙනුවෙනි. කොළඹ නගරය අලංකරණය කිරීමද දුප්පතුන් ඉවත් කර පටන් ගැණුනකි. 2015 මෛත්‍රීපාල-වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුව විසින් විශාල ගෝසාවක් සමගින් පාඨලී චම්පික ඇමතිට බාර දුන් බස්නාහිර පළාත් “මෙගා-පොලිස්” සැළසුමද මෝඩිගේ “ස්මාට්” නගර 100 ක් හැදීම වැනි හිස් කතාවක් වූවකි.
 
pcr76
මේ බස්නාහිර පළාත් යෝධ සංවර්ධනය 2016 ජනවාරි 29 වන දින නිදහස් චතුරශ්‍රයේදී එළි දක්වමින් අගමැති වික්‍රමසිංහ කියුවේ 20 වන සියවස අවසන් වන විට ලෝකයේ දියුණු රටවල පිළිගැනීමට අනුව රටක් දියුණු කරන්නට නගරයක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා මහා පුරවරයක් අවශ්‍යවන බවත් ය. අගමැති වික්‍රමසිංහ කියූ මේ මහා පුරවරයේ ආර්ථික ක්‍රියාකාරකම් කොතැනකවත් නිශ්චිතව සඳහන් නොවූවකි.
එහෙත් මේ මහා පුරවර සංවර්ධනය “ජාතික” සංවර්ධනයක් යැයි උදම් අණමින් එවක විෂය භාර ඇමති වූ චම්පික රණවක නිදහස් චතුරශ්‍රයේ පැවති උත්සවය අමතා කියුවේ, “මෙහිදී අපි කුළුණු 04 ක් මේ මහා සංවර්ධන සැළැස්මෙහි තේමා 04 බවට පත්කර ගත්තා........ එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි, අරෝග්‍යා පරමා ලාභා-සන්තුෂ්ඨි පරමන් දනන් යන බුදු වදන පදනම් කර ගනිමින් සියලුම දෙනාට සුව සතුට ලැබෙන, සංතුෂ්ඨිය පදනම කරගත් සංස්කෘතික මිනිසකු සිටිනා ප්‍රධානම රටක් බවට අපේ රට පත්කර ගැනීම, මේ මහා කුළුණු හතරේ අරමුණයි” කියා ය. කතාව මිස එහි ඉතිරිව ඇති කිසිත් නැත.

ඒ සංවර්ධන ආකෘතියෙහි ඉතිරි වන්නේ දවසේ ආදායම සොයන්නට හති වැටෙන තුරු මහා තරගයකට දුවන්නට සිදුවන පාරිභෝගිකයින්ගේ සංකීර්ණ නාගරික වෙළඳ පලකි. ඒ තරගයට දියුණු සංස්කෘතික මිනිසකු හදන්නට නොහැක. එබැවින් දියුණු සංස්කෘතික ජීවිතයක් සඳහා අවශ්‍ය බුද්ධිමය නගර මේ විවෘත වෙළඳපල ආර්ථිකයේ කොතැනකවත් නැත. ළමුන්ට හා වැඩිහිටියනට නවීන කියවීම් ශාලා හා දියුණු පුස්තකාල මේ මහා නගර සංවර්ධනයට අදාල නොවේ. 
 
කොළඹ නගර අලංකරණයට විශේෂ මෙහෙයුමක් 
විවිධ තේමා හා විෂයනට අදාල දියුණු කෞතුකාගාර මේ විවෘත වෙළඳපල ආර්ථිකයට අවශ්‍ය නොවේ. සම්මන්ත්‍රණ ශාලා, නෘත්‍යාගාර, කලාගාර, සිනමා ශාලා අවශ්‍ය නොවේ. ළමුන් සඳහා වන ක්‍රිඩා පිටි, උද්‍යාන අවශ්‍ය නොවේ. එවැනි පහසුකම් සඳහා මේ සමාජයේ ඉල්ලීම් ඇත්තේද නැත.

බරපතලම කාරණාව නම්, ඒ සියල්ල වෙනස් කරන්නට පොරොන්දුවූ ජ.වි.පෙ මෙහෙයවන මාලිමා ආණ්ඩුවටද සංස්කෘතික මිනිසෙකු හැදීමේ නවීන සංවර්ධනයක් ගැන කිසි අදහසක් නොමැති වීම ය.

නව ලිබරල් ආර්ථික ආකෘතියෙහි හිරවීම
 
වරද ඇත්තේ විවෘත ආර්ථිකයේ නොවේ!' -මහාචාර්ය චරිත හේරත්
විවෘත වෙළඳපල ආර්ථිකයෙහි අවුරුදු 45 ක කාලයක් ජීවත්වීම යනු ඊට ඇබ්බැහි වීමකි. අවුරුදු 45 ක් යනු පරම්පරා 03 කි. 1978 දී විවෘත වෙළඳපල ආර්ථිකයට ඉපිද, එහිම හැදී වැඩුණු පරම්පරාව, මේ වනවිට අවුරුදු 45 ක් වයසැති මැදි වයස් පරම්පරාවකි. මේ කිසිවකු වෙළඳපල ජීවිතය හැර වෙනකක් නොදනිති. සිතන්නට මොහොතක් හෝ ඉඩක් නොදෙන රූපවාහිනි, පුවත්පත් හා මගතොටේදී දිනපතා ඇහෙන, දකින කියවන මහා වෙළඳ ප්‍රචාරක ප්‍රහාරයකට හසුවූවන් ය. 

එබැවින් ඔවුන් තීන්දු ගන්නට දන්නේද කැමැත්තේද වෙළඳපල හැසිරීම් අනුවය. ඔවුන්ගේ ජීවන රටාවන්ද ඒ අනුවම හැඩ ගැසුණු රටාවන් ය. සමාජීය හා පුද්ගල වටිනාකම්ද එළෙසින්ම හැඩ ගැසුණු වටිනාකම් ය. එබැවින් ඔවුන්ගේ ජීවන අවශ්‍යතා තීන්දු වන්නේ අතිශය තරගකාරී වෙළඳපලට ගැලපෙන හා ඔරොත්තු දිය හැකි අයුරුය.
 
එවැනි ජීවිත වලට පැය 08 ක කතා අදාල නැත. ඔවුන්ට වැදගත් වන්නේ වැඩ කරන පැය ගණන නොව, අතට ගන්නා මුදල ය. ඔවුන් උපයන මුදලින් ඔවුන්ගේ අවශ්‍යතා වෙළඳපල ආර්ථිකයෙහි පිරිමැසිය හැකිනම්, ඔවුන්ට චම්පික රණවක කියන “සුව සතුට ලැබෙන, සංතුෂ්ඨිය” එය ය. එයද එක්තරා සංස්කෘතියකි. එහෙත් එය මා කතා කරන පොත පත, සාහිත්‍ය, නාට්‍ය කලාව, සංගීතය සමගින් දියුණු කරගන්නා රසාස්වාදය සමග ගොඩ නැගෙන සංතෘප්ත ජීවිතයක විවේකී දියුණු සංස්කෘතිය නොවේ.
සිරසෙන් කිච කරන කෑම - (අජිත් පැරකුම් ජයසිංහ)
 
ඒ සංස්කෘතියෙහි ඇත්තේ අතෘප්තිකර කාල සටහනක දෛනිකව වැඩිවන ආතතියක් සහිත ජීවිතයකි. අලුත්ම සෞඛ්‍ය තොරතුරු හා දත්ත වලට අනුව නාගරික සමාජයේත් කර්මාන්ත ශාලා කම්කරුවන් අතරත් තරග විභාග වෙනුවෙන් දිනපතා අමතර පංති හා සම්මන්ත්‍රණ වෙත තල්ලු කෙරෙන සිසු සිසුවියන් අතරත් “ගැස්ට්‍රයිටිස්” (උදර ආම්ලිකත්වය) බහුලව ඇති රෝග තත්ත්වයකි. එය නිසි වෙලාවකට ආහාර නොගැනීම හා ගොඩ ගැසෙන වගකීම් හේතුවෙන් ඇතිවන ආතතිය මුල්වන රෝගී තත්ත්වයකි. විවේකයක්, මානසික සහනයක් නොලැබෙන, හැමවිටම ඊළඟ පැය ගැන කල්පනා කිරීමට සිදුවන සහ ඉපැයිය හැකි මුදල ප්‍රමාණවත් යැයි සිතන්නට නොහැකි නව ලිබරල් ආර්ථිකයෙහි ගැස්ට්‍රයිටිස් සුලභ රෝගයකි.

මෙය අවුරුදු 45 ක කාලයක “සාමාන්‍ය” ජීවිතය බවට පත්ව ඇති හෙයින් වෘත්තීය සමිතිද සේවක අභිවෘද්ධිය ගැන දක්වන්නේ දියුණු අනාගතවාදී දෘෂ්ටියක් නොවේ. ඔවුන් අනුගතව ඇත්තේද නව ලිබරල් ආර්ථික ක්‍රියාවලියටම ගැලපෙන දෘෂ්ටියකට ය. එබැවින් රැකියා සම්බන්ධයෙන් මැදිහත් වන්නට වෘත්තීය සමිති නායකයින් පුරුදු පුහුණුව සිටින්නේ ජීවන වියදමට සරිළන වැටුප් ඉල්ලීම්, වැඩිවන ජීවන අංකයට අනුව ජීවන වියදම් දීමනා ඉල්ලීම් වැනි ආර්ථික ඉල්ලීම් වෙනුවෙන් හඬ නගන්නට හා පෙනී සිටින්නටය.
 
අද වැටුප සහ දීමනා වැඩිකර ගැනීමේ ගමන, නව ලිබරල් ආර්ථිකයෙහි කෙළවරක් නැති සංසාර ගමනකි. ඒ අනුව වෘත්තීය සමිති ගණන් හදන්නේද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අර්ථකතනයට සමානව “ඉපදුන නිසා කන බොන අඳින, කන බොන නිසා ජීවත් වන” හිස් රූකඩ මිනිසෙකු වෙනුවෙන් වාර්ෂිකව වැඩි කරගත යුතු වැටුපක් සඳහා වන ඉල්ලීම් ය. සියලු තර්ක විතර්ක ගොඩනගා ගන්නේද ඒ සඳහා ය.
රජයේ සේවක වැටුප රු.10,000කින් නගී !
 
නව ලිබරල්වාදීන් මෙන්ම ඔවුන්ගේ දෘෂ්ඨියෙහිද තම සාමාජිකයා දියුණු සංස්කෘතික මිනිසෙකුගේ තත්ත්වයට එසැවීම පිළිබඳ අදහසක් නැත. එනිසා අද කිසිදු වෘත්තීය සමිතියක් පැය 08 ක වැඩ දිනයක් වෙනුවෙන් දවසක් ජීවත්විය හැකි වැටුපක් ඉල්ලන්නේ නැත. විවෘතව කිවහොත් වෘත්තීය සමිති නායකයින් කියන්නේද විවෘත වෙළඳපල ආර්ථික රැල්ලේ ඉන්නා සාම්ප්‍රදායක පිරිසකි.

සාහිත්‍ය, සිනමා හා නාට්‍ය කලාකරුවන්ද එවැනිම ය. ඔවුන් එකතු වන්නේ ආණ්ඩු වලින් සහන ඉල්ලීමට පමණය. ඒ හැමකක්ම වාගේ ඔවුන්ගේ වෘත්තීය දියුණුවට යැයි තර්ක කෙරෙන ඉල්ලීම් ය. එහෙත් සාහිත්‍ය කලාකරුවන්ගේ ඉල්ලීම් සියල්ල ඔවුන්ට ලබා දුන්නද, මේ නව ලිබරල් ආර්ථිකයෙහි ඔවුන්ට දියුණු රස වින්දනයක් ඇති ප්‍රේක්ෂකයින්, අසන්නන් හා කියවන්නන් හැදීමට නොහැකි බැව් ඔවුන් තේරුම් ගන්නේ නැත. දියුණු විචාර කලාවක් එනිසාම ගොඩ නැගෙන්නේ නැති බවද ඔවුන් තේරුම් නොගන්නකි.

එය අද පොදු තත්ත්වයකි. සියල්ලන් සිතන්න පතන්න පුරුදු පුහුණු වී ඉන්නේ නව ලිබරල්වාදීන් මෙනි. බොහෝ වෘත්තීන්ට එය ප්‍රශ්නයක්ද නොවේ.

විකල්පයකට පය තැබීමට නම්....
 
නව සංස්කෘතික මිනිසා බිහිකිරීමට කාලය එළැඹ ඇත -(මහිම සුජීව ගමගේ)
මේ අධි මිල එහෙත් කර්කශ, වියළි පාරිභෝගික සමාජයෙන් ගැලවී දියුණු සංස්කෘතික මිනිසකු ලෙස ජීවත්වීමේ අයිතිය ගැන අපි නොදන්නෙමු. එනිසා ඒ සංස්කෘතික අයිතිය ගැන මේ සමාජයේ කතා නොවේ. එනමුත් සංස්කෘතික අයිතිය ඉදිරියට ගන්නා තෙක් මේ නව ලිබරල් ආර්ථිකයට විකල්ප කතා කරන්නට නොහැකි යැයි මම කියමි. එසේ කියන්නට මගේ තේරුමේ හැටියට වැදගත් ප්‍රබල හේතුවක් ඇත. එය ඉතා සරළ පහසු තේරුම් ගැනීමකි.
 
මනුස්ස ජීවිතය කන්න බොන්න, අඳින්න පළඳින්නට වාගේම දරු පවුල් රකින්නට පමණක් සීමා නොවන්නකි. මනුස්ස ජීවිතයට විවේකය, රස වින්දනය, දැනුම, විචාර බුද්ධිය, සමාජ ඇසුර අවශ්‍ය වන්නකි. අතීතයේ සිට ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයා සමාජයේ වැදගත් ප්‍රභූ පුද්ගලයෙකු ලෙස සැළකුණේ එබැවින්ය. සම්පූර්ණ මිනිසකු යනු එවැන්නෙකි. මිනිසා දියුණු සංස්කෘතික සත්වයෙකු යැයි පිළිගත හැක්කේ එවැනි වර්ධනයක් ලබන්නේ නම් පමණි.
 
එබැවින් අපි දුප්පත්කම මැනීමේ අලුත් නිර්ණායකයන් තීන්දු කළ යුතුව ඇත්තෙමු. ඒවා ආර්ථික ලැබීම් මත පමණක් තීන්දු නොවෙන, නව නිර්ණායකයන් විය යුතුය. දියුණු පුස්තකාල, කියවීමේ ශාලා, කෞතුකාගාර, නෘත්‍යාගාර, සිනමා හල්, සම්මන්ත්‍රණ ශාලා සහ ප්‍රබුද්ධ මාධ්‍ය භාවිතය වැනි පොදු සාධකද සමගින් තීන්දු විය යුතුය. දියුණු සංස්කෘතික ජීවිතයකට පුද්ගලයෙකුට ඇති අවකාශයද දුප්පත්කම ගණන් හැදීමේ අනිවාර්ය මිණුම් දඬු විය යුතුය. 

නව සංවර්ධනයක් ගැන කතා කිරීමේදී විවෘත වෙළඳපල ආර්ථිකයට විකල්ප සෙවිය හැක්කේ දුප්පත්කම ගැන ඒ මූලික වෙනස නැතිනම් නව අර්ථකතනය පිළිගන්නේ නම් පමණි. ඒ සඳහාවන විවෘත මනසක් වගා කර ගන්නේ නම් පමණි. නැතිනම් අප නැවත කතා කරනු ඇත්තේ ආර්ථිකවාදී පාරිභෝගික සමාජයක් ගැන මිස සියලු ජන වර්ගයන්ට සමානයින් ලෙස, අන්‍යොන්‍ය ගරුත්වයක්, මානව අභිමානයක් ඇතිව ජීවත් විය හැකි සමාජ සාධාරණත්වයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගැන නොවන්නේ ය. දියුණු සංස්කෘතික මිනිසුන් සහිත සමාජයකට මිස එවැනි පොදු බවක් පිළිගැනීමටද නොහැක. අප එබැවින් තේරුම් ගත යුත්තේ ලිලිපුට්ටන්ට සංස්කෘතික ගලිවරයෙකු එසවිය නොහැකි බවය.

දුප්පත් කමෙන් මිදීම යනු එනිසා, වැටුප් හා ආදායම් වලට සීමා නොවන බුද්ධිමය හා සංස්කෘතික දිළිඳුකමෙන් මිදීමක් ද වන්නාහ.

(මෙය මීට අවුරුදු 08 ට පමණ පෙර 2016 ජුනි 25 වන දින ලියූවක් වර්තමානයට ගැලපෙන ලෙස සංඛ්‍යා හා දත්ත සංශෝධනය කර ඉදිරිපත් කරන්නකි)

(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2025 ජනවාරි 08 වන දින

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...