The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මෙදා සැරේ වතුකරයට පොන්ගල් බත අහිමි වේ ද? | රේණුකා දමයන්ති ගමගේ

T

The Leader Desk

January 11, 2025 • 11:00 AM

මෙදා සැරේ වතුකරයට පොන්ගල් බත අහිමි වේ ද? | රේණුකා දමයන්ති ගමගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙය සත්‍යයක් නම් ඉතා බරපතල ප්‍රකාශයකි.
  • එබැවින් ආණ්ඩුව වහා මෙහි ඇත්ත නැත්ත විමසා බැලිය යුතු ය.
  • එමෙන්ම සහල් මෙන්ම කහ ද තෛපොංගල් උත්සවයේ ආගමික හා සංස්කෘතික කටයුතුවලට අත්‍යවශ්‍ය දෙයක් බවත්, මීට ප්‍රථම ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ තෛපොංගල් දින රටේ කහ හිඟයක් පැවතීම මුල් කොට ඉන් පසුව රටට බරපතල අයහපතක් සිදු වූ බව ද පුෂ්පා විශ්වනාත් අනාවැකියක සවරූපයෙන් පවසා තිබේ.
  • අප රටේ දැවෙන ජනතා ප්‍රශ්න ලෙස හඳුන්වනුයේ සමාජයේ වැඩිම පිරිසකට පීඩාවක් ගෙන දෙන ප්‍රශ්න බව නිසැක ය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙය සත්‍යයක් නම් ඉතා බරපතල ප්‍රකාශයකි. එබැවින් ආණ්ඩුව වහා මෙහි ඇත්ත නැත්ත විමසා බැලිය යුතු ය.

ලේකම්වරයා වැඩි දුරටත් පවසා ඇත්තේ හින්දු ජනතාවගේ සුවිශේෂ ආගමික සංස්කෘතික උත්සවයක් වන තෛපොංගල් උත්සවයේ ප්‍රධානතම අංගය හිරු උදාවට ප්‍රථම අලුතින් නිවස ඉදිරිපිට ළිප් බැඳ නැවුම් මුට්ටිවල රතු සහලට ධාන්‍ය වර්ග කිහිපයක් එකතු කර විශේෂ කිරිබතක් සකස් කර සුදු සහල් වලින් තවත් කිරිබතක් පිළියෙල කර එය සූර්ය රාජයාට පූජා කිරීම වුව එසේ කිරීමට නොහැකි තත්වයක් මෙවර උද්ගතව ඇති බවකි.


හැටන් කොටගල වෙළද සංගමයේ ලේකම් පුෂ්පා විශ්වනාත්

හින්දු ජනතාව ආගමික හා සංස්කෘතික වශයෙන් නව වසරක උදාව තෛපොංගල් දිනයෙන් ආරම්භ වන බව විශ්වාස කරන බවත්, ඉදිරි වසර පුරා ගොවිතැනෙන් සහ තමන් සිදු කරන රැකියාවෙන් සෞභාග්‍යය උදා කර ගැනීමේ අරමුණින් නිවාස ඉදිරිපිට කිරිබත් පිළියෙල කර තෛපොංගල් දින උත්සවය සමරන බවත් පුෂ්පා විශ්වනාත් පෙන්වා දී තිබේ.

නමුත් මේ වන විට වතුකරය ආශ්‍රිත ප්‍රදේශ වල වැඩි මිලට හෝ සුදු සහ රතු සහල් මිලදී ගැනීමට නොහැකි වීම මත වතුකරයේ ජනතාවට තෛපොංගල් දින උත්සවයේ ප්‍රධාන සංස්කෘතික අංගය වන ළිප් බැඳ කිරි බත් පිළියෙල කිරීමට නොහැකි වී ඇති අතර එය හින්දු ජනතාවට මෙන්ම රටට එතරම් සුබදායක නොවන බවත් ඔහු අවධාරණය කරයි.

 

pongal22

මෙම සුවිශේෂ ආහාරය සිංහල ජනතාව විසින් පොන්ගල් බත නමින් හඳුන්වනු ලැබේ. එමෙන්ම සහල් මෙන්ම කහ ද තෛපොංගල් උත්සවයේ ආගමික හා සංස්කෘතික කටයුතුවලට අත්‍යවශ්‍ය දෙයක් බවත්, මීට ප්‍රථම ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ තෛපොංගල් දින රටේ කහ හිඟයක් පැවතීම මුල් කොට ඉන් පසුව රටට බරපතල අයහපතක් සිදු වූ බව ද පුෂ්පා විශ්වනාත් අනාවැකියක සවරූපයෙන් පවසා තිබේ. නමුත් එහි කිසියම් ගුප්ත අරුතක් තිබේ ද යන්න අපි නොදනිමු. 

 

තව ද තෛපොංගල් දිනයට පසු දින එනම් මාට්ටු පොංගල් දිනයේ දී මිනිසාට ගොවිතැනේදී සූර්ය රාජයාට පමණක් දෙවැනිව විශාල දායකත්වයත් සපයන ගවයන්ට සේම එළුවන්ට ද උපහාර දක්වන බවත්, එම උපහාරයේ දී එම සතුන් වෙනුවෙන්ද රතු සහ සුදු සහල්වලින් සතුන් ගාල් කර තිබෙන පට්ටිවල කිරිබත් පිළියෙල කොට මාට්ටු පොංගල් සැමරීමට සූදානම් විය යුතු වුව ද මෙවර එවැන්නක් ද සූදානම් කොට නොමැති බව ද හැටන් – කොටගල වෙළෙඳ සංගමයේ ලේකම් පුෂ්පා විශ්වනාත් වැඩි දුරටත් අනාවරණය කොට ඇත.


අප රටේ දැවෙන ජනතා ප්‍රශ්න ලෙස හඳුන්වනුයේ සමාජයේ වැඩිම පිරිසකට පීඩාවක් ගෙන දෙන ප්‍රශ්න බව නිසැක ය. එසේ නොවන සෙසු ජන කොටස් වල ප්‍රශ්න ජාතික වශයෙන් එතරම් වැදගත් නොමැති බවක් අඟවන මාධ්‍ය කරුවෝ ද එම පුවත් එදිනෙදා පුවත් අතර “පසු පෙළ අසුන් වල” තැබීමට වෙර දරති. එහෙත්, දහ නව වන සියවසේ මුල භාගයේ සිට වතු වගා ක්ෂේත්‍රය මඟින් ශ්‍රී ලංකා ආර්ථිකයට සුවිසල් මෙහෙවරක් සිදු කරන වතුකරයේ ජනතාව ගේ මෙවන් ගැටළු අර්බුද කෙරෙහි අප මීට වඩා සංවේදී විය යුතු බව අප ගේ විශ්වාසයයි. මෙම සටහන ලියැවෙනුයේ ඒ අනුව ය.

gayan sil 04

ශ්‍රී ලාංකේය සිංහල බෞද්ධ බහුතරය තුළ එතරම් තැකීමක් නොමැති වුවද තෛපොංගල් යනු හින්දු දින දර්ශනයෙහි නව වසරේ උදාව වර්ෂයේ උදාව ය. එම දින දර්ශනයට අනුව වසරේ මුල් මාසය, තෛයි හෙවත් තායි යනුවෙන් හැඳින්වෙන අතර, පොංගල් යන්නෙහි අර්ථය ඉතිරවීම යන්න ය. වසර පුරා කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් දුන් ශක්තියට කෘත ගුණ සැලකීම, මෙම උත්සවයේ මූලික අරමුණ බව පැවසෙයි. එනිසා නෙළා ගත් අස්වැන්නේ මුල් කොටස හිරු දෙවියන්ට පුජා කිරීම මෙහි සුවිශේෂී කාර්යයකි.


මෙය වී ගොවිතැනට ප්‍රධාන තැනක් හිමි වූ දකුණු ඉන්දියාවේ වසර දහස් ගණනක සිට පැවත එන්නකි. එමෙන්ම මේ වන විට දෙමළ ප්‍රජාවන් වෙසෙන ලොව සෑම රටකම විවිධාකාරයෙන් තෛපොංගල් සමරන අතර එය ගෝලීය වශයෙන් සිංහල අලුත් අවුරුද්දට වඩා පුළුල් ව්‍යාප්තියක් පළ කරන බව ද අප අවංකවම පිළිගත යුතු ය. ඒ ඇතැම් රටවල තෛපොංගල් උත්සව සඳහා ඒවායේ රාජ්‍ය නායකයන් ද එක් වන බැවිනි.

 

Thai Pongal 2024 Date Location Celebration

සොබා දහම හා දේවත්වය සුසංයෝග කොට සිදු කරන පූජෝත්සව අතුරින් ප්‍රමුඛ ස්ථානයක් හිමි වන මෙම උත්සවයට හින්දු බැතිමතුන් ප්‍රමුඛ ස්ථානයක් හිමි කර දෙන අතර එදින හිරු උදාවත් සමඟ සෞභාග්‍යමත් නව වසරක් පතා හින්දු බැතිමතුන් සූර්ය නමස්කාරය ප්‍රමුඛ කොට ගත් ආගමික වතාවත්වල නිරතවනු දැකිය හැකි ය. වී අස්වැන්න නෙළා ලබා ගත් අලුත් සහල් ද, අලුත් උක් ගසකින් ගත් පැණි ද, එළකිරි යෙදු කිරිබත් ද, පවිත්‍රතාව සංකේත්වත් කරන මංගල ද්‍රව්‍යයක් ලෙස කහ පිඩක් ද හිරු දෙවියන්ට පූජා කිරීම තෛපොංගල් උත්සවයේ මුලික චාරිත්‍ර අතරේ තිබේ. නමුත් එක් එක් ප්‍රජාවන් අතරේ මේවායේ සුළු විෂමතා ද දක්නට පුළුවන..


අප රටේ සිංහල බෞද්ධ සමාජයේ බහුතර සිතනුයේ සිංහල අලුත් අවුරුද්ද සිංහල දෙමළ යන නමින් හැඳින්වීම මත එය බෞද්ධ හා හින්දු ජන සංස්කෘතිකාංගයක් ලෙසිනි. එහෙත්, සැබැවින්ම සිංහල අලුත් අවුරුද්ද හින්දූන්ට ආගමික සංස්කෘතික වශයෙන් එතරම් වැදගත් වූවක් නොවේ .එය ඔවුනට චිත්තරෙයි පුතාඬු හෙවත් චිත්‍රා මාසයේ අවුරුද්ද නම් වන එක් දින සැමරුමකි.

 
එහෙත්, සිංහල අලුත් අවුරුදු කාලයට බතික් ඇඳුම් ඇඳ කෘත්‍රිමව තැනූ ගැමි පැල්පත් වල ආකෘතීන් තුළ හිඳ බහු ජාතික සමාගම් ඇතුළු ව්‍යාපාරිකයන් ගේ ප්‍රචාරක රූකඩ පැංචන් ලෙස සිංහල අලුත් අවුරුද්දේ නැති ගුණ රුව වර්ණනා කරන “ප්‍රාසාංගික පඬිවරුන්” සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද යනු එකම නැකත් සීට්ටුවක් මත පදනම් වන ජාතික සැමරුමක් බවට කෙබර ඇද බාති.


mattuමාට්ටු පොංගල්
 
එහෙත්; අප ගේ සිංහල අවුරුද්ද සූර්ය මංගල්‍යයක් වීම කෙසේ වෙතත් “සූර් මංගල්‍යයක්” සේ දින කිහිපයක් පවතින අතරේ අතිශය ශික්ෂාකාමී ලෙස ගත වන හින්දූන් ගේ චිත්තරෙයි පුතාඬු එදින හිරු බැස යාමත් සමඟ නිමා වේ. එමෙන්ම කෘෂිකර්මයේ දී මිනිසාට සහාය දක්වන ගව මහේෂාදීන්ට කෘතවේදීත්වය පළ කිරීම වැනි සිංහල අවුරුදු සැමරුමට අයත් නොවන උත්තමාංග මාට්ටු පොංගල් නමින් මීට එක් කොට තිබීම ද අප වෙසෙසින් අගය කළ යුත්තකි.

තෛපොංගල් උත්සවය යනු හුදු වී ගොවිතැන හා ගවයා යන සාධක දෙක පදනම් වූ සූර්ය මංගල්‍යයක් වන අතර වතුකරයේ එවන් කෘෂිකාර්මිකජන සංකෘතිකාංග වලින් සපිරි පරිසරයක් නොමැති බැවින් ඔව්හු වෙළඳ පලින් සහල් මිලට ගෙන එම ආගමික සංස්කෘතික චාරිත්‍ර ධර්ම අනුගමනය කරති.

එබැවින් ඉදිරි දින දෙක තුන තුළ වතුකරයේ ජනතාවට පාලන මිලට රතු සහ සුදු සහල් ලබා දීමට රජය කටයුතු කළ යුතු බව හැටන් – කොටගල වෙළෙඳ සංගමයේ ලේකම් පුෂ්පා විශ්වනාත් අවධාරණය කරනුයේ මෙවන් උතුම් කරුණක් විෂයෙහි ආණ්ඩුව වතුකරයේ ජනතාව කෙරෙහි සංවේදී නොවීම නම් වන කුඩා බිබිල පසුව ශරීරය පුරා දෙවෙන මාරාන්තික පිළිකාවක් සේ වර්ධනය විය හැකි බව නොකියා කියමිනි.


gawaya5මාට්ටු පොංගල්

පසුගිය ජනපතිවරණ සහ මහමැතිවරණ සමයේ රටේ පවත්නා බරපතල ප්‍රශ්න අර්බුද සම්බන්ධයෙන් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් ජනතාවගේ විශ්වාසය උපරිම ලෙස දිනා ගත් ජාතික ජන බලවේග ආණ්ඩුවව හැන්ද අතේ තබා ගෙන අනුන්ට දොස් පැවරීමේ කාරිය දැන් වත් නතර කොට රටේ පවත්නා මෙවන් ගැටළු අර්බුද සඳහා කඩිනම් විසඳුම් සපයා දිය යුතු ය.

මක් නිසා ද ඔවුන් එසේ නොකළ හොත් “කතාව දෝලාවෙන් ගමන පයින් “යන ජන පිරුළ ආණ්ඩුව විෂයෙහි “කතාව දෝලාවෙන් ගමන හතර ගාතෙන්” යනුවෙන් ප්‍රති නිර්මාණය වීමේ පහසු ඉඩක් පවතින බැවිනි.



(සටහන | රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...