කුඩා නමුදු අනුහස් පිළිබඳ ප්‍රකට වූ දෙවොලකි. ජනී-ජනයා ගේ සැබෑ දුක්ඛ-දෝමනස්සයන් ගැන දැනගැනීමට මේ සුදුසු ම ඉසව්වකි.
"නැති වූ දෙයක් ගැන දැනගැනීම යි අපේක්ෂාව!" ඒ කපු මහතා ගේ හඬ.
"ඔව්."
"පණ තියෙන වස්තුවකුත් අහිමි වෙලා ද... පණ නැති වටනා-කියන දේකුත් අහිමි වෙලා... ඒ ගැන මොකට ද... පණ තියෙන වස්තුව නේ වටින්නේ!"
"අනේ නෑ කපු මහත්තයෝ... පණ තියෙන දේ මෙලෝ රහක් නෑ... තිබුණත් නෑ වගේ... පණ නැති වස්තුව හොයලා දෙන්න!"
"ඒක නම් තදබල ග්‍රහණයකට හසුවුණු පාට යි!"
"නැතුව, අපේ ගොන් වහන්සේ රැවටුනාට, ඇත්තට ම ආලේ ප්‍රාඩෝවට තමයි! ඒක තදින් ම අල්ලාගෙන තමයි ඇත්තේ."
"හා! අර අර, ප්‍රාඩෝවක් නේ ද ආවේ?"
"හානේ... මගේ වාහනේ වගේ ම යි! මගේ ප්‍රාඩෝව!"

"ඒක නේ... මෙ තැන එහෙවු අනුහස් ඇති තැන. අනේ ඔබතුමිය රණ්ඩු-සරුවල් නොවී මෙ තැනට වහන් වෙලා ඉන්න. ඔබතුමිය ගේ පැතුම ඉෂ්ට වන බව ඒකාන්ත යි!"
× × × × × ×
"මේ අපේ මැණිකේ නේ... මේ පැත්තේ?"
"පිළිසරණක් පතාගෙන, ඇත්ත නැත්ත හොයාගෙන!"
"වටනා-කියන යමක අයිතිය ගැන."
"ඔව්, ආදරය, ප්‍රේමය, පණ කිවුවාට... ඕවා වචන විතර නේ... ඒත්..."

"ඇත්ත, මැණිකේ ගේ හිත තියෙන්නේ වටනා-කියන භාණ්ඩයක අයිතිය ගැන. ඉස්සර ඕවා ලබාගන්න, දියවන්නා ගිය අයට ඉඩ ලැබුණාට කාලෙකින් එහෙම අවසරයක් ලැබිලත් නෑ නේ."
"ඒක නේ... ආදරේ වගේ කතා නම්, අපේ ජන්ද පොරොන්දු වගේ නේ.. ඒත් මේ..
මේ.. ප්‍රාඩෝව... ඒක ඇත්තක්! ඒක පවතිනවා. ඇත්තට ම ඒක මගේ ද? නැතිනම්..."
"ඇයි දැන් මැණිකේ නේ ප්‍රාඩෝව පැදගෙන ආවේ..."
"එහෙම පැද්දාම මගේ වෙනවා නම්! අනේ මන්දා... මම ඊටත් වටිනවා කියලා යි දුන්නේ... ඒත් මේ මේක දැන් තව කාටද අයිතියි කියලා පොලිසියටත් ගිහිල්ලා ලු නේ... එතකොට ඇත්ත මොකක් ද... බොරුව මොකක් ද... ඒක තමයි මට විසඳගන්න ඕනේ."
"අනේ මන්දා මැණිකේ... ඇත්ත... බොරුව... මැණිකේ ම නේ කිවුවේ, ඕනේ ම බොරුවක් ඇත්තක් කියත හැකි... ඕනේ ම ඇත්තක් බොරුවක් කියත හැකි කියලා! දැන් මේවා ටැපලිලා"

"අනේ මන්දා... දැන් ඔන්න කවුද එකෙක් මුහුණුපොතේ දාලා ලු මම සල්ලිවලට බුදිය ගත්තා කියලා... වැඩේ ම යි... අඩුගාණේ ප්‍රාඩෝවකට කිවුවා නම් වෙන කතාවක්. මෙහෙම අසම්බන්ධ බොරු කියන්න පුළුවන් ද?"
"ඉතින් මැණිකේ.... ඕන බොරුවක් ඇත්ත කියන්න පුලුවන් නම්, ඕනේ බොරුවක් ඇත්ත කියන්න පුළුවන් නම්... අනේ මන්දා.. ඇත්ත බොරුව කරලා, බොරුව ඇත්ත කරලා... එක අතකට බැලුවා ම අපව හැමදාම රැවැට්ටුවේ එහෙම තමයි... මැණිකේ විතර ද ඇත්ත කිවුවේ... ඇත්ත.. බොරුව... මට නම් පිස්සු වගේ!"
"ඇත්ත නැත්ත, නැත්ත ඇත්ත... ඇත්තට ම දෙයියෝ ඉන්නවා ද?"
"අනේ අප්පේ... දෙයියෝ බුදුන් ගැන විශ්වාසෙත් නැති කරගත්තොත් මැණිකේ... කොහොම ද අපි ජීවත් වෙන්නේ? මිනිස්සු රැවටිලා රැවටිලා, යන්තම් පිස්සු නොවැටි ඉන්නේ. . දෙයියන්ට බුදුන්ට පහනක් පත්තු කරලා... අනේ මන්දා! මිනිස්සු බලාපොරොත්තු වුණේ පොහොසත් රටක්! ලස්සන ජීවිතයක්!"
"හා, පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්, තියෙන්න පුළුවන් ද ප්‍රාඩෝවක්වත් නැතිව! හා, කියන්න, එහෙම වෙන්න පුළුවන් ද? වෙන්න පුළුවන් ද?"
"මොනවා ද මැණිකේ මේ කියන්නේ... හොඳට ඉගෙන-ගෙන, හොඳ රැකියාවක් කරගෙන, දැන් දියවන්නාවටත් ගිහිල්ලා...?"

"ඉතින් දෙයියනේ ඒක තමයි! පාඩම් කරලා, කරලා, නීතිඥයෙක් වෙලා, කෝ... කිසි ම රහක් නෑ නේ මේ ජීවිතේ.. ඒක නේ මේ දුක් විඳින අපි වෙනුවෙන් ඉදිරිපත් වුණේ... ඒ විතරක් ද... කොටු පැනිලි, බෙලි කැපිලි... නෑ, ඒවා ඕනේ නෑ. ඒත් ඉතින් ප්‍රාඩෝව මගේ ද... නැද්ද... හපොයි! මේ කවුද මේ... ප්‍රාඩෝව! එයා ගේ ද... මගේ ද... ? ඒක මට දුන්නා නේ... ඇත්තට ද... බොරුවට ද.. අනේ මගේ ප්‍රාඩෝව!"
× × × × × ×
"දැන් ඔය කියන මැණිකේ එක්ක බුදියෙවුවා ද... රුපියල් සතවලට?"
"පිස්සු ද රාළහාමි, මුන් මේවා කරලා කොහොම ඉන්නවා ද මන්දා... අපි කළොත් ගෙදර ඉදලා හමාර යි."
"එහෙනම් මුහුණුපොතේ දැම්මේ..."
"ඉතින්, ඕනේ බොරුවක් ඇත්තක් කියන්න පුලුවන්, ඕනේ ඇත්තක් බොරුවක් කියන්න පුලුවන් කිවුවා ම, මම හිතුවේ බොක්කෙන් ම කියලා... දෙ වැනි පාරටත් රැවටුනා!"
"දෙ වැනි පාරට?"
"ඇයි රාළහාමි, අපි ඡන්දෙත් දුන්නේ! මම විතරක් ද... 56 ලක්ෂයක් ම."
"දැන් ඔබතුමා වෙන පක්ෂයක මන්ත්‍රී කෙනෙක් නේ... බොරුව නවත්තමු!"

"ඒක තමයි, රාළහාමිට තේරෙනවා... බොරු කියන්න හොඳ නෑ!"
"ඇයි, බොරු කියන එක හරි කියලා කවුරුවත් කිවුවා ද?"
"කිවුවා දත් අහනවා... රාළහාමිත් නොදන්නවා වගේ අහන්නේ... කිවුවා කියන්නේ... නීති හදන තැන මැණිකේලා ම නේ කිවුවේ!"
"අනේ මම දන්නේ නෑ... මේක මාර නඩුවක් නේ..."
"ඒක තමයි රාළහාමි, දැන් උගන්ඩාවට ද කොහාට ද මහින්ද මහත්තයලා අපේ සල්ලි ගෙනිහිල්ලා කිවුවා... ඒවා අපි ගන්න එපා ද කියලා ඇහුවා."
"ඉතින්?"
"ඉතින් තමයි, අපිත් ඡන්දේ දුන්නා!"
"මේ මේ, මේ පැමිණිලි විභාගයක්. දේශපාලන කතා නැතුව මුහුණුපොතේ බොරු දැම්මේ මොකද කිවුවානම් අපිට මේක ඉක්මනට ඉවරයක් කරත හැකි යි."
"මේක හරි වැඩක් නේ... මගෙන් ද අහන්නේ... උගන්ඩාවේ තියෙන අපේ සල්ලි ගන්න එපා ද අහලා, අපි ඡන්දේ දුන්නාට පස්සේ වෙන කතාවක් කියපු කෙනා ගෙන් නෙවේ ද අහන්න ඕනේ?"
"මොකක් ද වෙන කතාව?"
"ඇයි රාළහාමි, රාළහාමි තාම ඒ කතාවට රැවටිලා ද කොහේ ද... උගන්ඩාවේ තියෙන අපේ සල්ලි ගන්න එපා ද කියලා අහපු අය ම නේ කිවුවේ... ඒ අහස් යාත්‍රාවෙන් ගෙනිච්චේ ඒ රටේ සල්ලි... ඒක මම දැනගෙන හිටියේ, මම අවබෝධයෙන් බොරු කිවුවේ කියලා!"

"එහෙමත් කිවුවා ද.. ඒත් ඉතින් ඕවා දේශපාලන කතා නේ... මේක එහෙම නෙවේ නේ... පෞද්ගලික කතාවක්. බොරුවක්, අපහාසයක් නේ!"
"ඒක හරි කතාවක් නේ රාළහාමි... දැන් මගේ කතාවට කවුද රැවටුණේ... ඒ අම්මණ්ඩි රැවටිලා ද... ඇත්තට ම එහෙම යනවාලු ද.."
"මේ මේ, මේ පොලිසිය!"
"නෑ රාළහාමි, මගේ බොරුවට කවුද රැවටුණේ, එච්චර දෙයක් පුළුවන් නම් බැරි ය කියලා ගෙදර උන්දැත් කෙණ්ඩියට හිනාවුණා... ඇත්තට ම සර්, මම මකලා දැම්මේ ඊට පස්සේ."
"ඒත් ඒත්, අර අවබෝධයෙන් කිවුව බොරුවට එහෙම ද... කී ලක්ෂයක් නම් රැවටුණා ද... පනස්හයක්! පනස්හය ලක්ෂයක්! ඒකට නේ රාළහාමි නඩුදාන්න ඕනේ!'
| ගජබා
(උපුටා ගැනීම : 'දිවයින ඉරිදා සංග්‍රහය - 2025/01/12)



