The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ප්‍රතිපත්ති ප්‍රකාශය අනුගමනය කරනවාද, නැද්ද? | රොහාන් සමරජීව

T

The Leader Desk

January 12, 2025 • 4:14 PM

ප්‍රතිපත්ති ප්‍රකාශය අනුගමනය කරනවාද, නැද්ද? | රොහාන් සමරජීව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපේ වත්මන් පාලකයන් දුන් පොරොන්දු සහ ක්‍රියාකාරීත්වය අතර ඇති වෙනස පෙන්වා දෙමින් ඔවුන් අපහසුවට පත්කිරීමට ඇතැමෙකු කැමතිය.
  • ප්‍රතිපත්ති ප්‍රකාශ පිළිබඳ අත්දැකීම් ප්‍රතිපත්ති ප්‍රකාශයක අරමුණ වන්නේ එය ඉදිරිපත් කරන අපේක්ෂකයාට හෝ දේශපාලන පක්ෂයට සහාය දෙන ලෙස ඡන්දදායකයින්ට ඒත්තු ගැන්වීමයි.
  • ප්‍රතිපත්ති ප්‍රකාශන සම්පාදනය දේශපාලනිකය.
  • ප්‍රවීණයන් හෝ ප්‍රවීණයන් ලෙස සැලකෙන අය ප්‍රතිපත්ති ප්‍රකාශන සම්පාදනය සඳහා දායක වීම සඳහා කැඳවිය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):


අපේ වත්මන් පාලකයන් දුන් පොරොන්දු සහ ක්‍රියාකාරීත්වය අතර ඇති වෙනස පෙන්වා දෙමින් ඔවුන් අපහසුවට පත්කිරීමට ඇතැමෙකු කැමතිය. මෙය ඵලදායී ක්‍රියාමාර්ගයක්ද?

ප්‍රතිපත්ති ප්‍රකාශ පිළිබඳ අත්දැකීම්

xfgt45f

ප්‍රතිපත්ති ප්‍රකාශයක අරමුණ වන්නේ එය ඉදිරිපත් කරන අපේක්ෂකයාට හෝ දේශපාලන පක්ෂයට සහාය දෙන ලෙස ඡන්දදායකයින්ට ඒත්තු ගැන්වීමයි.

ප්‍රතිපත්ති ප්‍රකාශන සම්පාදනය දේශපාලනිකය. ප්‍රවීණයන් හෝ ප්‍රවීණයන් ලෙස සැලකෙන අය ප්‍රතිපත්ති ප්‍රකාශන සම්පාදනය සඳහා දායක වීම සඳහා කැඳවිය හැකිය. එහෙත්, ලේඛනයට ඇතුළත් වන දේ තෝරාගැනීමේ ප්‍රධාන නිර්ණායකය වන්නේ එම ප්‍රතිපත්ති විවිධ සමාජ ස්ථරවල සහාය ලබා ගන්නේද යන්න මිස එය යෝජනා කරන්නාගේ ප්‍රවීණත්වය නොවේ.

සැලකිය යුතු පිරිසක් අසතුටට පත් කිරීමට හේතු වන කරුණු ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් බැහැර කරනු ලැබේ.

අනාගතය සම්පූර්ණයෙන් දැනගත නොහැක. 2019දී වියත් මග විසින් ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්පාදනය කරද්දී කෝවිඩ් අධි වසංගතය පැනනැගීම හා එහිදී ගත යුතු තීරණ ගැන දැන ගැනීමට ක්‍රමයක් නොතිබුණි. එබැවින්, ප්‍රතිපත්ති ප්‍රකාශනයක් යනු අනිවාර්යයෙන්ම අසම්පූර්ණ එකකි.  

එම අසම්පූර්ණභාවය තේරුම් ගත හැකි කරුණකි. එමෙන්ම, ප්‍රතිපත්ති ප්‍රකාශනවල පොරොන්දු ද වැරදි විය හැකිය. උදාහරණයක් වශයෙන්, විනාශය විද්‍යාමාන වීමට පෙර වියත් මග නායකයකු වූ නාලක ගොඩහේවා මෙසේ පුරසාරම් දෙඩුවේය: “අපේ නායකයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වූ විට, අපි වසර ගණනාවක් තිස්සේ ගොඩනඟා ගත් ප්‍රතිපත්ති ජාතික ප්‍රතිපත්තිය බවට පත් විය. වසර හතරක් පුරාවට අනාගත රජයේ ආර්ථික ප්‍රතිපත්තිය කුමක් විය යුතුද යන්න පිළිබඳව වෘත්තිකයන් පිරිසක් සාකච්ඡා කළ මුත්, ඒ වෙලාවේ එය සිදු කළේ රට කරන අදහසින් නොවේ. ආපසු හැරී බලා වැරදී ඇති දේ විග්‍රහ කිරීමට සහ අප ලබාගත යුතුව තිබුණු සංවර්ධන වේගය සාක්ෂාත් කර නොගත්තේ මන්දැයි විග්‍රහ කරගැනීමට විපක්‍ෂයේ සිටීමෙන් අපට අවස්ථාවක් ලැබිණි.”

එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික ක්‍රියාකාරකම් දිරිගැන්වීමේ අරමුණින් රජය විශාල බදු කප්පාදුවක් ගෙනා බව ගොඩහේවා 2020 ජනවාරි මාසයේදී ආඩම්බරයෙන් ප්‍රකාශ කළේය. එමගින් සිදුකලේ රට බංකොලොත් කිරීම බව සහ අප කාගේත් ජීවන තත්ත්වයන් විඛාධනය කිරීම බව අද අපි දනිමු.

කලින් පැවති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙහිදී උදාහරණයට ගත්තේ එය ක්‍රියාත්මක වූ ආකාරය සහ ප්‍රතිපත්ති ප්‍රකාශ ක්‍රියාවට නැංවීමේ ප්‍රතිඵල අප දන්නා නිසා සහ එහි හේතු-ඵල සම්බන්ධතා දැකීමට පහසු නිසාය. 2024 පොරොන්දුවල ආදීනව පාක්ෂිකයන්ට සහ රැවටුන අයට ඒත්තු ගැන්වීම මේ මොහොතේ එතරම් පහසු නැත. නමුත් වූනායින් පසු කියලා වැඩක් නැත.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය

xfge463

ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශය ද වියත් මග/ පොහොට්ටු ප්‍රතිපත්ති ලේඛනය වැනිම එකකි. එය වෙනුවෙන් වැඩ කළ කණ්ඩායම් දහය වසර හතරකට අඩු වැඩි කාලයක් වෙහෙස මහන්සි වී වැඩ කරන්නට ඇත.

ඔවුන් බොහෝ විට 2019-2022 විනාශයට දායක වූවන්ට වඩා වෙනස් පුද්ගලයින් ප්‍රතිපත්ති සම්පාදනයට ඇතුළත් කරන්නට ඇත. එහෙත් ජාජබ පොරොන්දු සියල්ල කියූ ලෙසම ක්‍රියාත්මක කළහොත් ප්‍රතිඵලය කලින් අවස්ථාවට වඩා වෙනස් නොවනු ඇත. ආදායම අඩු වනු ඇත; වියදම් වැඩි වනු ඇත. ණය ගැනීම වැඩි කළ යුතු අතර ණය ගෙවීමේ හැකියාව අඩු වනු ඇත. ආර්ථික අර්බුදය නැවත පැනනැගීම නොවැළැක්විය හැකිය.

ප්‍රතිපත්ති ප්‍රකාශයක් සම්පාදනය කිරීම නරක දෙයක් නොවේ. අපේක්ෂකයාගේ චරිතය හෝ පක්ෂයේ වටිනාකම් සහ තේරී පත් වුවහොත් ඔවුන් විසින් අනුගමනය කිරීමට ඉඩ ඇති සමස්ත දිශානතිය පිළිබඳව එමගින් බොහෝ දේ උකහා ගත හැක. ප්‍රශ්නය වන්නේ දේශපාලකයන්, විශේෂඥ දැනුම සහ පිටකොන්ද යන දෙකම නැති නිලධාරීන් සහ සාමාන්‍ය ජනතාව ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඇති කරුණු සහ එමගින් කළ හැකි දේ ගැන නැති වැදගත් කමක් දීමයි.

ඉටු කරන පොරොන්දු මොනවාද?

he56546

අපගේ පෞද්ගලික ජීවිතයේදී, අපි බොහෝ දෙනෙකු පොරොන්දු දීමට පෙර ඒවා ඉටු කිරීමට අවශ්‍ය කාලය, මුදල්, හැකියාව වැනි සම්පත් තිබේදැයි සලකා බලන්නෙමු. එසේ නොකරන අයට මිතුරන් හා කීර්තිය ඉක්මනින් නැති කර ගැනීමට සිදු වේ. ඇතැම් විට, ප්‍රතිවිපාක වඩාත් බරපතල විය හැකිය.

දිගු කලක් තිස්සේ අපේ දේශපාලකයන් හැසිරුණේ වෙනස් ආකාරයකටය. ඔවුන් පොරොන්දු දුන්නේ සම්පත් සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකරමිනි. මුදල් මැවිය හැකි වනු ඇතැයි ඔවුහු සිතූහ. එසේත් නැතිනම් නූතන මූල්‍ය න්‍යාය ඇදහු ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් වැන්නවුන් කී දේ ඔවුහු විශ්වාස කළහ. අපේ ඡන්දදායකයින් ඡන්ද ලබා දුන්නේ වැඩිපුරම දීමනා පොරොන්දු වූ අයටය. අපගේ බංකොලොත්භාවයට හේතු වූයේ දූෂණයට වඩා එම යථාර්ථවාදී නොවන පොරොන්දු ඉටු කිරීමට යාමයි.

වඩාත්ම යථාර්ථවාදී නොවන පොරොන්දු දුන් අයට ඡන්දය දුන් අප ද මෙම දෝෂාරෝපණයෙන් කොටසක් බෙදා ගත යුතුය.

දැන් තත්වය වෙනස්ය. රාජ්‍ය මූල්‍ය විනය නීතිගත කර ඇත. අපි දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3ක අවම ප්‍රාථමික අතිරික්තයක් (ණය සහ පොළී පසෙකින් තබා, වියදම්වලට වඩා වැඩි රාජ්‍ය ආදායමක්) පවත්වා ගත යුතුය. බදු රහිත ආදායම් සීමාව මසකට රු. 150,000 දක්වා ඉහළ දැමීම වැනි ආදායම අත්හරින සෑම අවස්ථාවකම වුනු පාඩුව වෙනත් තැනකින් පියවා ගැනීමට සිදුවේ. තැන්පතු පොළී මත රඳවා ගැනීමේ බද්දේ ප්‍රතිශතය දෙගුණ කිරීම මගින් කලේ මෙයයි.

නව වියදම් සඳහා ද එය අදාළ වේ. ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් රාජ්‍ය සේවකයින් සඳහා අඩු පොළී සහ දිගු ආපසු ගෙවීමේ කාලයන් සහිත නිවාස ණය සහ නිල නිවාස වැනි පොරොන්දු ලබා දී තිබේ. වාණිජ හෝ රාජ්‍ය බැංකු මගින් අඩු පොළී ණය ලබා දිය හැකිය. එහෙත්, පොළී සහනාධාරවල පිරිවැය රජය විසින් බැංකුවලට ලබාදිය යුතුය. රාජ්‍ය සේවකයින් සඳහා නිල නිවාස වෙනුවෙන් වන වියදම නම් සම්පූර්ණයෙන්ම රජය විසින් දැරිය යුතුය.

තරුණ තරුණියන්ට ස්වෝත්සාහයෙන් තමන්ගේම නිවසක් ලබා ගැනීම අතිශය දුෂ්කර වී ඇත. රාජ්‍ය සේවකයින් අත්විඳින නිවාස දුෂ්කරතා හේතුවෙන් රාජ්‍ය ආයතනවල ඵලදායිතාව අඩු වී ඇත. මේවා අවධානයට ලක්විය යුතු සැබෑ ගැටලු වේ. එහෙත්, අරමුදල් නැත. සැබෑ නව්‍ය විසඳුම් සොයා නොගතහොත්, මෙම පොරොන්දු ඉටු කළ නොහැකිය.

ජාතික ජන බලවේගය ද ලබාදී තිබෙන්නේ වැඩි ප්‍රමාණයක් ඉටු කළ නොහැකි පොරොන්දුය. ඒ බව දැන දැනම අපි ඒවා ඉටු කරන්නැයි ඔවුන්ට බල කළ යුතුද? එසේ කිරීම විනෝදජනක විය හැකි මුත් එය ඵලදායී ක්‍රියාමාර්ගයක්ද?

ජනාධිපති ගෝඨාභය කළාක් මෙන් ඔවුන් ද පොරොන්දු ඉටු කිරීමට උත්සාහ කළහොත්, අප සියල්ලන්ටම සිදුවන්නේ නැවත පෝලිම්වල ලැගීමට සහ/හෝ පැලවත්ත මූලස්ථානය වැටලීමටයි.

Rohan Samarajiva LIRNEasia 1x1(සටහන | මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  
rohan@lirneasia.net

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි.)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ප්‍රතිපත්ති ප්‍රකාශය අනුගමනය කරනවාද, නැද්ද? | රොහාන් සමරජීව | The Leader