පසුගිය 19 වැනිදා මුලතිව් මුල්ලයිවායිකාල් මුහුදු තීරය ආසන්නයෙන් හමු වූ, මියන්මාරයේ සිට පැමිණි රොහින්ග්‍යා සරණාගතයෝ සිය බිහිසුණු අත්දැකීම් එසේ විස්තර කරති.

“අපි අවුරුදු 12ක් මියන්මාරයේ පුනරුත්ථාපන කඳවුරුවල ජීවත් වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය අපිව බලා ගත්තා. ඒත් මාස 18කට කලින් ඒගොල්ලො අපේ රටෙන් ඉවත් වුණා. අපට තවදුරටත් එහේ ජීවත්වෙන්න විදියක් තිබුණෙ නැහැ. ඊට පස්සෙ තමයි අපි ලංකාවට එන්න තීරණය කළේ. ඒ වෙනුවෙන් අපි අපේ දේපළ සියල්ල විකුණලා බෝට්ටුවක් අරන් තමයි ඉකුත් දෙසැම්බර් 04 වැනිදා එහෙත් පිටත් වුණේ.”
මේ කතාවේ තවත් බොහෝ ත්‍රාසජනක මෙන්ම මානුෂීය හදවත් කම්පාකරවනසුලු පරිච්ඡේද තිබෙනු ඇති බවට සැකයක් නැත. එහෙත් දැනට ඔවුන් ගැන ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය දන්නේ, ඔවුන් ලංකාවට පැමිණි අවස්ථාවේ විමර්ශනවලදී පැවසූ මේ කරුණු පමණි. එයට හේතුව, මේ වන විට ඔවුන් සියලු දෙනා මුලතිව් ගුවන් හමුදා කඳවුර තුළ, කිසිදු බාහිර සබඳතාවකට ඉඩක් නොමැතිව සිරකරුවන් සේ රඳවාගෙන තිබීමයි.
එමෙන්ම එම බෝට්ටුව පැදවූ නාවිකයා ඇතුළු 11 දෙනෙකුට එරෙහිව ආගමන විගමන පනත යටතේ ශ්‍රී ලංකා පොලිසිය විසින් නඩු පවරා තිබේ. ඔවුන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී දින 14ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිණි.
හමුවීමට අවසර නැහැ
සරණාගතයන් සිටින මුලතිවු ගුවන් හමුදා කඳවුර
මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් ඉකුත් 09 වැනිදා එම සරණාගතයින් හමුවීම සඳහා කොළඹ සිට මුලතිව් බලා පිටත් විය. ඒ රජය නිවේදනය කර තිබූ ආකාරයට මොවුන්ව මුණගැසීම සඳහා අවශ්‍ය වන ලිඛිත ඉල්ලීම, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සහ ආගමන විගමන පාලක ජනරාල් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
නමුත් මුලතිව් ගුවන් හමුදා කඳවුරේ පිවිසුමේදී අපට ඇතුළට යාම සඳහා අවසර ලැබුණේ නැත. එමෙන්ම එම ස්ථානයේදී කිසිදු ආගමන විගමන නිලධාරියකු නොමැති බවත් ගුවන් හමුදා නිලධාරීන් අපට පැවසූහ.
එසේ නම් අපට පැන නැගුණ ප්‍රශ්නය, ඔවන් ගුවන් හමුදාව භාරයේ රඳවා සිටින්නේ කුමන නීති ප්‍රතිපාදන යටතේද යන්නයි. මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට පවා ඇතුළු වීමට අවසර ලබා නොදෙන තරමට එම හමුදා කඳවුර තුළ සිදුවන්නේ කුමක්ද?
මුලදී ඔවුන් ත්‍රිකුණාමලය ජමාලියා මුස්ලිම් මහා විද්‍යාලයේ ආරක්ෂිතව රඳවා සිටි අතර ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් රජයෙන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලබා දීමට කටයුතු කර තිබිණි. එමෙන්ම තවත් බොහෝ පරිත්‍යාගශීලීන්ගෙන්ද ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ලැබෙමින් පැවතිණි.
සරණාගතයන් සිටින මුලතිවු ගුවන් හමුදා කඳවුර
අරුන් හේමචන්ද්‍ර “අපි කවදාවත් මේ අයව අතාරින්නෙ නෑ. කිසිම ජාති භේදයකින් තොරව ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය අපි තහවුරු කරනවා. අපි ඔවුන්ට ආරක්ෂිත ස්ථානවල නවාතැන් පහසුකම් සකසා දී තිබෙනවා. ඊට අමතරව ආහාරපාන තවත් අත්‍යවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සියල්ල හැකි ආකාරයෙන් ලබා දී තිබෙනවා. ඔවුන්ව අපි මේ මොහොතේ රඳවා තිබෙන්නේ මුස්ලිම් ගම්මානයක තිබෙන මුස්ලිම් පාසලකයි. එමෙන්ම අවට ගම්වල ජනතාව පවා මේ අය ගැන සහනුකම්පාවෙන් සහ අවධානයෙන් සිටිනවා. යුද්ධයකදී මෙසේ උන් හිටි තැන් අහිමිව සරණාගතයන් බවට පත්වීම ඉතාමත් ඛේදනීය තත්ත්වයක්. අපි මානුෂීයව මේක දකිනවා.” එහෙත් මේ වන විට දක්නට ලැබෙන්නේ ඇමතිවරයාගේ ප්‍රකාශයට පරස්පර තත්ත්වයකි.
ධීවරයන්ගේ මානුෂීය මෙහෙයුම

“මම මාළු ටික අදින්න උදේ නමයට විතර මුහුදට ගිය වෙලාවේ තමයි මේ බෝට්ටුව දැක්කේ. ඊට පස්සේ ඉක්මනට තවත් යාළුවො දෙන්නෙක් එක්ක අපි ගිහිල්ල බැලුවා. පොඩි ළමයි ගොඩක් හිටියා මිනිස්සු ඒ බෝට්ටුවේ මැරිලා වගේ තමයි හිටියේ. ඉක්මනට අපි ගොඩ බිමට ඇවිල්ලා වතුර අරගෙන ගිහිල්ල දුන්නා. ඒත් එක්කම අවශ්‍ය නිලධාරීන් මේ ගැන දැනුවත් කළා. මට මතකයි එතන හිටපු කාන්තාවක් එයාගේ ඇඳුම උස්සල බඩ පෙන්නලා ‘හොස්පිටල් හොස්පිටල්’ කිව්වා. මං හිතන්නෙ එයා ගැබිණි කාන්තාවක්” අපට මෙසේ පැවසුවේ, මෙම සරණාගතයන් පිරිස ප්‍රථම වතාවට අපේ රටේ මුහුදු සීමාව තුළදී දුටු තීපන් ය.
තීපන්“අපි මේ බෝට්ටුව උදේ දැකපු ගමන් හමුදාවටයි පොලිසියටයි හැමෝටම කිව්ව. පැය තුනකට විතර පස්සේ ඒගොල්ලෝ ආවෙ. හමුදාව එයාලව ත්‍රිකුණාමලයට අරන් යනකොට හවස පහ විතර ඇති. එතකං අපි තමයි බලා ගත්තේ. ගොඩබිමේ හිටපු හැමෝම කිව්ව බෝට්ටුවේ ඉන්න අයව ගොඩබිමට අරන් ඇවිල්ලා කන්න දෙමු කියල. ඒත් ඒ මිනිස්සුන්ව කොහොමද පරිස්සමට අරන් එන්න කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බා. මොකද අපි ගාව තියෙන්නෙ පොඩි බෝට්ටු. එදා මුහුද හරි රළුයි”
තීපන්ලාගේ මානුෂීය මැදිහත්වීම පසුපස, දැවැන්ත කතන්දරයක් තිබේ. එය තනි වචනයකින් කිවහොත් ඒ ‘සහකම්පනය’යි.
“අවුරුදු දහසයකට කලින් මේ මුල්ලිවායිකල්වලම, මේ විදිහටම අවතැන් වූ අපේම අතීතය අපට මතකයි. අපිත් එදා මෙහෙමම තමයි පණ බේරගන්න බෝට්ටුවල නැගලා යාපනය පැත්තට ගියේ. ගොඩබිමේ හිටපු අපි හැමෝටම ආයෙමත් සැරයක් අපේ අතීතය මතක් වුණා. අපේ අතේ තිබුණු සල්ලියි අපේ ධීවර සංගමය සතුව තිබුණු සල්ලියි වියදම් කරලා තමයි ඒ අයට කෑම බීම අරන් දුන්නේ. මං හිතන්නේ දැන් එයාලා ඉන්නෙත් මේ මුලතිව්වලම තමයි. මුලින්ම එයාලව දැකපු සහ එයාලට කන්න දීපු අපි තුන්දෙනාටම එයාලව ආයෙමත් සැරයක් බලන්නත් ආසයි. එහෙම අවස්ථාවක් ලැබුණොත් අපි හරි සතුටු වෙනවා”
මුලතිවු මුහුදේ බෝට්ටුවෙ සිටි සරණාගතයින්මියන්මාරයේ රඛයින් ප්‍රාන්තය නිජබිම කරගත් මෙම රොහින්ග්‍යා මුස්ලිම්වරුන් දශක ගණනාවක් තිස්සේ මියන්මාර රජයේ ප්‍රචණ්ඩත්වයට සහ හිංසාවට ලක්ව සිටින ප්‍රජාවකි. මුල්වරට ඔවුන්ගේ පුරවැසිභාවය 1982 මියන්මාර පුරවැසි පනත මගින් අහෝසි කරන ලදී. ඉන් පසු ඔවුන්ගේ සාමාන්‍ය ජන ජීවිතයට නොයෙක් බලපෑම් එල්ලවන්නට විය. විශේෂයෙන් අධ්‍යාපනය, රැකියාවක නිරත වීම වැනි මූලික අයිතිවාසිකම් සියල්ල ඔවුන්ට අහිමි විය.
එය එසේ තිබියේදී , 2017 දී මියන්මාර හමුදාව මිලේච්ඡ ජන සංහාරය දියත් කළේය. මෙම නිසා 700,000කට අධික රෝහින්ග්‍යා ජනතාව සරණාගතයන් ලෙස අසල්වැසි බංග්ලාදේශයට පලා ගියහ. තවත් විශාල පිරිසක් ඝාතනයට ලක්ව ඇති අතර දහස් ගණන් කාන්තාව කෲර ලෙස දූෂණයට ලක් කෙරිණි.

“ඔවුන් මගේ සැමියාට පිහියෙන් ඇනලා මැරුවා” යැයි දිවි ගලවා ගත් කාන්තාවක් පවසයි. තවත් එක් කාන්තාවක් මෙසේ පැවසුවාය: “ඔවුන් පස් දෙනෙක් මගේ ඇඳුම් ගලවා මාව දූෂණය කළා. මගේ මාස 8ක් වයසැති පුතා මව්කිරි ඉල්ලා ගෙදර අඬමින් සිටියා. දරුවා අඬන එක නවත්තන්න ඒ අය මගේ ළමයව පිහියෙන් ඇනලා මැරුවා.”
ලතීෆ් පාරක් නම් ලේඛකයා විසින් සම්පාදනය කරන ලද ‘The Genocide of Rohingya Minority’ නම් ග්‍රන්ථයේ මෙම මිනිස් සංහාරය පිළිබඳව ගැඹුරු කරුණු රාශියක් පෙන්වා දී තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ වාර්තාවක සඳහන් වූයේ මියන්මාර රජයේ අභිප්‍රාය වූයේ මෙම ම්ලේච්ඡ ප්‍රහාර හරහා මිනිසුන්ගේ සිත් තුළ “යම් ආකාරයක කම්පනයක් සහ බියක්” ඇති කිරීම බවයි.
රෝහින්ග්‍යා සරණාගතයින් සහ ශ්‍රී ලංකාව
මුලතිවු මුහුදේ බෝට්ටුවෙ සිටි සරණාගතයින්ශ්රී ලංකාවට අයත් මුහුදු තීරයෙන් රොහින්ග්‍යා සරණාගතයින් සොයා ගැනීමේ සිද්ධීන් කිහිපයක්ම මෑත කාලයේ දී වාර්තා විය. විශේෂයෙන්ම 2017 සහ 2022 වර්ෂවලදී ඔවුන්ව උතුරු නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල සරණාගතයන් ලෙස මුදාගෙන ඇත. ඔවුන් සරණාගතයන් ලෙස හමු වූ සෑම අවස්ථාවකදීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සුදුසු පාර්ශ්වයන් වෙත භාර දීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබේ.
2017දී, කාන්තාවන් සහ ළමුන් ඇතුළු රෝහින්ග්‍යා සරණාගතයින් 30 දෙනෙකු කනකසන්තුරේ වෙරළ තීරයේදී මුදාගෙන මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ සිට පසුව කොළඹ ගල්කිස්ස ප්‍රදේශයේ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් (UNHCR) කාර්යාලයට අයත් රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තිබුණේය.
එම අවස්ථාවේදී 2017 සැප්තැම්බර් 26 වැනි දින භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් එම රැඳවුම් මධ්‍යස්ථානය වට කර පහර දුන්හ. “මුන් ත්‍රස්තවාදීන්, මියන්මාරයේ බෞද්ධයන් මරා තිබෙනවා, වහාම රටින් පිටුවහල් කරන්න” යි හඬ නැගූහ. ටික වෙලාවකින් එහි පැමිණි පොලිසිය එම සරණාගතයන් එම ස්ථානයෙන් ඉවත් කොට බූස්ස හමුදා කඳවුරට රැගෙන යන ලදි. එය එල්ටීටීඊ සැකකරුවන් හා අපරාධකරුවන් රඳවා තැබෙන අධි ආරක්ෂිත ස්ථානයකි.
විරෝධය පිටුපස දූෂණ සිද්ධියක්

ඉහත සිදුවීම හුදෙක් රොහින්ග්‍යා සරණාගතයින් ඉලක්ක කරගත් එකක් බව පෙනෙන්නට තිබුණද එහි සැබෑ අරමුණ කුමක්දැයි පසුව අනාවරණය විය.
අදාළ සරණාගතයින් 2017 සැප්තැම්බර් මාසයේදී කොළඹ ගල්කිස්ස පිහිටි රැඳවුම් මධ්‍යස්ථානය වෙත ගෙන යාමට පෙර ඔවුන් සිටියේ මිරිහාන රඳවුම් මධ්‍යස්ථානයේය. එසේ සිටියදී එම රැඳවුම් කඳවුරේ සිටි අවුරුදු 21 රෝහින්ග්‍යා කාන්තාවක් පොලිස් නිලධාරියකු විසින් දූෂණයට ලක් කෙරිණි. දෑත් ගැටගසා දූෂණයට ලක් කෙරුණු ඇය, කළුබෝවිල රෝහල අසල දමා ගොස් තිබිණි.
එම ස්ත්‍රී දූෂණ නඩුවේ මීළඟ නඩු විභාගය 2017 ඔක්තෝබර් 26 වැනි දිනට කල් තැබිණි. දූෂණ සිද්ධියෙන් පසු, 2017 ජුනි මාසයේදී එම වින්දිත කාන්තාව ඇතුළු සරණාගතයින් මිරිහානේ සිට ගල්කිස්ස ප්‍රදේශයට ගෙන යන ලදි. එ වන එම දූෂණයේ සැකකාර පොලිස් නිලධාරියා ඇප ලබා සිටින අතර ගල්කිස්සේ රැඳවුම් නිවාසයට පහර දී සරණාගතයින් බිය ගන්වා ඔවුන්ව රටින් පිටුවහල් කිරීමේ වෑයම, එම පොලිස් නිලධාරියාගේ සැලසුමක් බව පසුව හෙළි විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස එවකට ශ්‍රී ලංකා මානව හිමිකම් හා පර්යේෂණ මධ්‍යස්ථානයේ (CHRR) සභාපති රජිත් කීර්ති තෙන්නගෝන් මහතා ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහුගේ සමාජ මාධ්‍ය පිටුවේ ද සටහනක් පළ කර තිබිණි.
එහෙත්, අවිහිංසාව සහ සාමය උගන්වන බෞද්ධාගමට මුවා වී එදා සරණාගතයින්ට එරෙහිව මහජන කෝපය ඇතිකරමින් ස්ත්‍රී දූෂකයකුගේ ආරක්ෂාව පිණිස කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කළ අය තවමත් සිටින්නේ නිදැල්ලේය. මෙවැනි සිද්ධීන් නැවත වරක් මතක් කරන්නේ ශ්‍රී ලංකාව තුළ නීතියේ ආධිපත්‍ය සහ යුක්තිය පිළිබඳව තිබෙන ගැටලුවයි.
මුලතිවු පැවැති විරෝධතාවමෙම සරණාගත පිරිස සම්බන්ධයෙන් තවමත් රජය නිශ්චිත තීරණයක් ගෙන නොමැත. නමුත් ඔවුන්ව නැවතත් මියන්මාරයටම පිටුවහල් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ඇතැම් මාධ්‍ය ප්‍රවෘත්ති පළ කර තිබිණි. එ මෙන්ම මෙයට විරුද්ධව ද පාර්ශ්ව කිහිපයක් තමන්ගේ විරෝධතාවය රජයට ප්‍රකාශ කර තිබූ අතර මොවුන් නැවතත් එම රටටම යැවීම යනු ඉතාමත් අමානුෂික ක්‍රියාවක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී තිබිණි.
ඒ අතර ඉකුත් නමවෙනිදා උතුරු නැගෙනහිර සම්බන්ධීකරණ කමිටුව (NECC) ඇතුළු තවත් සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. එහිදී ඔවුන් ශ්‍රී ලංකා රජයට බල කර තිබුණේ, ජීවිත තර්ජනයක් සහිතව ශ්‍රී ලංකාවට පැමිණි මෙම සරණාගතයන් නැවතත් ඔවුන්ගේ රටටම පිටුවහල් කිරීම ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවලට පවා පටහැනි දෙයක් බවයි.
(සටහන | ශබීර් මොහොමඩ්)
byshabeer@gmail.com
සබැඳි පුවතක් :
රොහින්ග්යාවරුන් ලංකාවෙන් ‘ක්ලීන් නොකරන බවට’ ඉහලින්ම සහතිකයක්



