The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අතීතයේ අලි මිනිස් ගැටුමකට ඉඩක් නොතැබූ දහනක බණ්ඩාර දෙවියන්ටත් 'අලි වෙඩි'?

T

The Leader Desk

January 14, 2025 • 8:41 AM

අතීතයේ අලි මිනිස් ගැටුමකට ඉඩක් නොතැබූ දහනක බණ්ඩාර දෙවියන්ටත් 'අලි වෙඩි'?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සොබා දහමේ සුවිශේෂ දායාදයන් වන ඇතා, තුරඟා, මොනරා සේම මිනිසා ගේ සමීපතම හිතවතා සේ සැලකෙන සුනඛයා ද එසේ දිව්‍යමය වාහන වශයෙන් ජනතාව සලකති.
  • එමෙන්ම සුමන සමන් සහ අයියනායක යන දෙවි වරුන් හස්ති වාහනාරූඪ බවට ද ජන සම්මතයක් තිබේ.
  • එහෙත්, අප රටේ ප්‍රධාන දෙවිවරුන් අතරට අයත් නොවුණ ද මාතලේ දිස්ත්‍රික්කයට මායිම්ව කුරුණෑගල, අනුරාධපුර දිස්ත්‍රික්ක ආශ්‍රිතව පිහිටි වත්මන් කහල්ල, පල්ලෙකැලේ අභය භූමිය ප්‍රදේශ නිජ බිම කර ගත් ඇත් පරපුර භාරව වැඩ සිටි ප්‍රාදේශීය දෙවියකු පිළිබඳව අප කුඩා කාලයේ ඕනෑ තරම් තොරතුරු අසා තිබිණ.
  • විද්‍යාත්මක වශයෙන් විස්තර කළ නොහැකි වුව ද මෙම ඇත් කුල දෙක අතුරින් කහල්ල පල්ලේකැලේ දෙසින් එන වටකුරු හැඩයේ අලි ඇතුන් දහනක බණ්ඩාර දෙවිඳුන් ගේ අලි ඇතුන් ලෙස වෙන් කොට ගන්නට බැලූ බැල්මට වුව ඕනෑම කෙනෙකුට හැකි වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


සොබා දහමේ සුවිශේෂ දායාදයන් වන ඇතා, තුරඟා, මොනරා සේම මිනිසා ගේ සමීපතම හිතවතා සේ සැලකෙන සුනඛයා ද එසේ දිව්‍යමය වාහන වශයෙන් ජනතාව සලකති.

වර්තමානයේ බොහෝ දෙනකු නොදත් නමුදු දේශීය සම්භවයකින් යුතු මොරටු දෙවියන්ගේ වන්නි හත්පත්තුවේ අදහනු ලබන බහිරව මුත්තා නම් ග්‍රාම දේවතාවාගේ මෙන්ම මිහිපිට සම්පත් වලට අධිගෘහිත ආතාල බහිරව නම් යක්ෂ සම්භවයකින් යුතු දේවතාවා ගේ ද වාහනය සුනඛයා ය.

එමෙන්ම සුමන සමන් සහ අයියනායක යන දෙවි වරුන් හස්ති වාහනාරූඪ බවට ද ජන සම්මතයක් තිබේ. එහෙත්, අප රටේ ප්‍රධාන දෙවිවරුන් අතරට අයත් නොවුණ ද මාතලේ දිස්ත්‍රික්කයට මායිම්ව කුරුණෑගල, අනුරාධපුර දිස්ත්‍රික්ක ආශ්‍රිතව පිහිටි වත්මන් කහල්ල, පල්ලෙකැලේ අභය භූමිය ප්‍රදේශ නිජ බිම කර ගත් ඇත් පරපුර භාරව වැඩ සිටි ප්‍රාදේශීය දෙවියකු පිළිබඳව අප කුඩා කාලයේ ඕනෑ තරම් තොරතුරු අසා තිබිණ. ඒ දහනක බණ්ඩාර දෙවියන් ය.

 

සුමන සමන් සහ අයියනායක යන දෙවි වරුන් හස්ති වාහනාරූඪ බව

මහනුවර රජ කළ දෙවන රාජසිංහ රජු සමයේ පමණ වත්මන් කහල්ල පල්ලේකැලේ වන රක්ෂිතය තුළ තිබූ බව පැවසෙන කහල්ල වලව්වේ දහනක මුදළිඳුගේ පුතකු වන හැඩි දැඩි හිතුවක්කාර තරුණයකු යොවුන් වියේදීම ගම්මුන් ගේ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙස කුරිරු ඝාතනයට ලක් වීමෙන් පසු ප්‍රබල යක්ෂාත්මයක් ලැබ ඒ අවට ගම්බිම් වනසන්නට වූ බවට ප්‍රකට ජන ප්‍රවාදයක් තිබේ.


පසුව එම ගම් වැසියන්ට ඔහුගෙන් අත්වන විපත දුටු රිදී විහාරයට අධිගෘහිත කුමාර බණ්ඩාර දෙවියන් විසින් මෙම දහනක යක්ෂයා කතරගම දෙවියන් හමුවට පමුණුවා ඔහු දමනය කරවූ බවටත් මෙම ප්‍රදේශවල මේ වන විට අභාවයට යමින් පවතින පාරම්පරික ජන විශ්වාසයක් පවතී.පසුව කතරගම දෙවියන් විසින් සිය ඇත් සේනාව ප්‍රවර්ධනය කිරීම දහනක බණ්ඩාරයන් හට භාර දීමත් සමඟ එතුමා කහල්ල වනයේ තිබූ ඇතිනි ඇට සැකිල්ලකට ජීවය දී ඇගෙන් තුන්සිය පනස් තුනක අලි ඇත් සේනාවක් තනා තම දේවත්වය ප්‍රකාශ කොට තිබේ.

 

katharagama ගම් වැසියන්ට ඔහුගෙන් අත්වන විපත දුටු රිදී විහාරයට අධිගෘහිත කුමාර බණ්ඩාර දෙවියන් විසින් මෙම දහනක යක්ෂයා කතරගම දෙවියන් හමුවට පමුණුවා ඔහු දමනය කරවූ බව

වර්තමානයේ පවා ගල්ගමුව ආශ්‍රිතව කුල දෙකක ඇතුන් දක්නට ලැබෙන අතර අදටත් කහල්ල පල්ලේකැලේ දෙසින් පැමිණෙන වටකුරු හැඩයේ අලි ඇතුන් සහ තබ්බෝව දෙසින් පැමිණෙන දඬු හැඩයෙන් යුතු ඇතුන් ලෙස පහසුවෙන් හැඳින ගන්නට අපට පුළුවන. විද්‍යාත්මක වශයෙන් විස්තර කළ නොහැකි වුව ද මෙම ඇත් කුල දෙක අතුරින් කහල්ල පල්ලේකැලේ දෙසින් එන වටකුරු හැඩයේ අලි ඇතුන් දහනක බණ්ඩාර දෙවිඳුන් ගේ අලි ඇතුන් ලෙස වෙන් කොට ගන්නට බැලූ බැල්මට වුව ඕනෑම කෙනෙකුට හැකි වේ.


එමෙන්ම අප ගේ පෞද්ගලික නිරීක්ෂණ අනුව මේ වන විට ගල්ගමුව ආශ්‍රිත වන කලාප වල දී වැඩිපුරම හායනයට ලක් වනුයේ ද කහල්ල පල්ලේකැලේ දෙසින් පැමිණෙන වටකුරු හැඩයේ අලි ඇතුන්ය.

අතීතයේ ගල්ගමු ප්‍රදේශයට එන වන අලින් අතුරින් දහනක බණ්ඩාර දෙවිඳුන් ගේ වටකුරු හැඩයේ අලි ඇතුන් ගැමියන් විසින් පහසුවෙන් හඳුනා ගත් සේම අලි මන්තර මඟින් හෝ ඔවුන් පලවා හැරීමට පෙර දහනක බණ්ඩාර දෙවියන් ඔවුන් පිටින් බිමට වැඩමවීම පිණිස වෙනම කන්නලව්වක් ද කරන ලදී.

ඊට ප්‍රධාන හේතු දෙකක් තිබිණ. එම අලි ඇතුන් මත වැඩ හිඳින දහනක බණ්ඩාර දෙවියන් ගේ බලය හමුවේ ඒ අලි මන්තර බලය සුණු විසුණු වීම ඊට බලපෑ මුල්ම හේතුව විය.දෙවන හේතුව වූයේ එසේ දහනක බණ්ඩාර දෙවිඳුන් වාහනාරූඪව වැඩ හිඳින වන අලි ඇතුනට ගැමියන් අලි මන්තර කීමෙන් දෙවිඳුන් කෝප වෙතැයි ගැමියන් තුළ පැවැති බියයි.

 

ele4අලි වෙඩි වන අලින් පලවා හැරීම පිණිස වන ප්‍රචලිතම ක්‍රමය බවට පත්ව තිබේ

නමුත් අතීතයේ ගල්ගමුව ප්‍රදේශයේ පැවැති දහනක බණ්ඩාර දේව විශ්වාසය මේ වන විට නාම මාත්‍රික මට්ටමක් තෙක් පහල වැටී ඇති අතර මේ වන විට අලි වෙඩි වන අලින් පලවා හැරීම පිණිස වන ප්‍රචලිතම ක්‍රමය බවට පත්ව තිබේ. එය අනියම් වශයෙන් දහනක බණ්ඩාර දෙවියන් ද බියපත් කොට පලවා හැරීමකැයි මට සිතෙයි.

එහෙත්, අලි ඇතුන් ඇතුළු වන සතුන්ට ආදරයක් කරුණාව පාන තම ඇකයේ හොවා ගත් දරුවන් මෙන් රකින බවට දහනක බණ්ඩාර දෙවියන් කතරගම දෙවියන් හමුවේ පොරොන්දු වූ පුවත මෑතක් වන තුරුම මෙම ප්‍රදේශවල පැරණි ගැමියන් අතරේ පැවතිණ. නමුත් මේ වන විට එම පාරම්පරික ජන විශ්වාසයන් ඉතා අවාසනාවන්ත ලෙස වත්මන් සමාජයෙන් ගිලිහී ගොස් තිබේ.මීට දශක කිහිපයකට පෙර අපට කිසිදා අසන්නට නොලැබුණු “අලි-මිනිස් ගැටුම”නම් වන ඛේදවාචකය සමාජය හමුවට පැමිණෙනුයේ එවන් පසුබිමක ය.

ඒ අනුව මා ළමා වියේ සිට මා ගල්ගමුව ප්‍රදේශයේ වැඩිහිටියන් ගෙන් අසා දැන ගත් දහනක බණ්ඩාර දෙවිඳුන් පිළිබඳ සුවිශේෂතා කිහිපයක් ඔබ හමුවේ තැබීමට උත්සාහ දරමි..

ඉන් පළමු වැන්න සෙසු බොහෝ දෙවිවරුන් මෙන් නොව මිනිස් ස්වරූපයෙන් හැඳුනුම් ලැබීමට ඇති කැමැත්ත ය. මට දෙයියෙකුට වගේ නෙවෙයි “ගොයියෙකු”ට වගේ සලකපල්ලා යනුවෙන් දහනක බණ්ඩාර දෙවියන් අතීතයේ තම බැතිමතුන්ට පවසා ඇති බවට මුඛ පරම්පරාගතව පවතී. අද සමාජයේ හුදෙක් කවට උපහාස යෙදුමක් හා හැඳින්වුමක් ලෙස සැලකුව ද අතීතයේ මෙම ප්‍රදේශවල “ගොයියා” යනු ගෞරවාන්විත පුද්ගලයකු හැඳින්වීම පිණිස යොදනු ලබන වදනකි. එය වර්තමානයේ සුලබව යෙදෙන ‘මහත්තයා’ යන්නට බෙහෙවින් සමාන ගැමි වහරකි.


සෙසු බොහෝ දෙවිවරුන් දේවාල දේව මන්දිර ආදියේ වැඩ සිටීමට ප්‍රිය කරන මුත් දහනක බණ්ඩාර දෙවියන් තුරුලිය බහුල පරිසරයන් හි එළිමහනේ වැඩ විසීමට රුචියක් පළ කරන බව අප ප්‍රදේශවල වැඩිහිටියන් පවසනු මා කුඩා කාලයේ අසා තිබේ. එනිසාම දහනක බණ්ඩාර දෙවියන් උදෙසා දේවාල වෙනුවට සංහිඳ පමණක් අතිතයේ තිබී ඇත. නමුත් මේ වන විට දහනක බණ්ඩාර දෙවියන් උදෙසා කැප වුණු එකම සංහිඳක් වත් ඇති බවක් මම නම් නොදනිමි.

එමෙන්ම අප රටේ බොහෝ ප්‍රදේශවල අදහනු ලබන ග්‍රාම දේවතාවන් සඳහා ද දේවාල වෙනුවට සංහිඳ පමණක් දක්නට ලැබීම පිළිබඳව ද මෙහි දී අප ගේ අවධානය යොමු විය යුතු ය.

 

pooja wattiවර්තමාන දේව වන්දනයේ ප්‍රධානතම තැනක් හිමි කරගෙන ඇති පූජා වට්ටිය හුදෙක් ඉන්දියානු හින්දු දෙවිවරුන් හට පුද පූජා සිදුකිරීම පිණිස යොදා ගනු ලබන්නකි

වර්තමාන දේව වන්දනයේ ප්‍රධානතම තැනක් හිමි කරගෙන ඇති පූජා වට්ටිය හුදෙක් ඉන්දියානු හින්දු දෙවිවරුන් හට පුද පූජා සිදුකිරීම පිණිස යොදා ගනු ලබන්නකි. එහෙත්, අද වන විට ඒ පූජා වට්ටි සංස්කෘතිය කෙතරම් ව්‍යාප්ත වී තිබේ ද යත් මුළුමනින් දේශීය සම්භවයක් සහිත දෙවිවරුන්ට සේම ග්‍රාම දේවතාවන් උදෙසා ද පූජා වට්ටි තැබීමට ඇතැමෙක් පුරුදුව සිටිති.

එහෙත්, මෙම දහනක බණ්ඩාර දෙවියන් පූජා වට්ටි, නානුමුර, වාර්ෂික දේව මංගල්‍ය ආදිය මුළුමනින් ප්‍රතික්ෂේප කරන බව උතුරුමැද පළාතේ කලාගම්පත්තුවට අයත් මල්බෙලිගල පුරාණ රත්න කම්බිලි දේවාල මංගල්‍යයන් හිදී ආරූඪයට පත් කපු මහතුන් ගෙන් පැවසී තිබූ බවක් මීට දශක පනහකට පමණ පෙර අප ගේ වැඩිහිටියන් අප හා පවසා තිබේ. එමෙන්ම දහනක බණ්ඩාර ග්‍රාමීය දෙවියකු වුවද එතුමන් “මුත්තා දෙවි කෙනකු” සේ සලකනු නොලැබේ. ඒ දහනක බණ්ඩාර දෙවියන් මිනිසත් බවේ දී තරුණ වියේ දීම මරණයට පත් වූ නිසා ය.

673

ඒ අතර දහනක බණ්ඩාර දෙවියන් වෙතින් පිහිටාරක්ෂාව පතන බැතිමතුන් නියත වශයෙන්ම අලි ඇතුන් සියළු වර්ගවලට අයත් සතුන්ට ආදරය කරුණාව දැක්විය යුතු බවට ද ජන සම්මතයක් අතීතයේ සිට අප ජන සමාජයේ විය. මෙය ඉතා වැදගත් වනුයේ එම හැඟීම මත ද අතීතයේ වන අලි ඇතුනට විශේෂ ආරක්ෂාවක් හිමි වූ බැවිනි. එවන් ජනයා විසින් පුදනු ලබන පුද පඬුරු කෙරෙහි පවා විශේෂ උනන්දුවක් පළ නොකරන දහනක බණ්ඩාර දෙවියන් තමන් උදෙසා දැක් වූ පහනකින් තෙල් ස්වල්පයක් හිස ගල්වා ගැනීමෙන්ම එම බැතිමතා තම පිහිටාරක්ෂාවට සුදුස්සකු සේ සළකන බව කියනු ලැබේ.


මෙහිදී අපට සිහිපත් වනුයේ පුරාණ අයියනායක දේව කන්නලව්වක එන “පුද පඬුරු මල් බුලත් කිසිවක් නැතත් තම නම සිහි කොට ගසකින් කඩා ගත් අතු කැබැල්ලක් රුක් දෙබලක එල්ලීමෙන් පවා පිහිටාරක්ෂාව සලසන” යන කොටස ය. ඒ අනුව බලන විට මෙම දහනක බණ්ඩාර දෙවියන් ද අයියනායක දෙවියන් හා යම් සමානත්වයක් දරන බව පෙනේ.

මෙහි දී අප ළමා වියේ දී අසා ඇති අන්දමට දහනක බණ්ඩාර දෙවියෝ පොල් තෙල් පහනින් පිදුම් ලැබීමට රුචි නොවෙති.ඒ එතුමන් සොබා දහමට දක්වන ලොල් බව නිසා යැයි මට සිතෙයි.එබැවින් දහනක බණ්ඩාර දෙවියන් සඳහා පහන් දැල්වීමේ දී පොල් තෙල් වෙනුවට මී, නා, දොඹ, කීන,කැකුණ, කොහොඹ, තොලොල්, කොට්‌ටම්බා, කරඳ, හිඟුල්, මඩොල්, කොකුන්, එඬරු ආදී තෙල් වර්ගයක් භාවිතා කළ යුතු බවට අතීත සමාජයේ විශ්වාසයක් පැවතිණ.

අප සමාජයේ දේව වන්දනා, ඇදහීම් සහ යාතු කර්ම සඳහා යොදා ගන්නේ ගැමි වහරේ කෙම්මුර ලෙස හැඳින්වෙන බදාදා සහ සෙනසුරාදා පමණි. මෙම කෙම්මුර යන්නෙහි අරුත “ක්ෂේම වර” හෙවත් ආරක්ෂක අවස්ථා යන්න ය. ඒ අනුව මෙම දහනක බණ්ඩාර දෙවියන් පිදීම ද කෙම්මුර දිනවලදී පමණක් සිදු කිරීමේ චාරිත්‍රයක් අතීතයේ සිට පැවතුණ බව පැවසෙයි. ඒ දහනක බණ්ඩාරයන් ගේ දේවාත්මය මිනිසුන් කෙරෙහි ඇළුම් බැලුම් පෑම කෙම්මුර දිනයන් හිදී පමණක් සිදුකරන නිසා විය හැක.

king riding elephant for kingdom of myths game by zenart07 dg6ay0b pre

එමෙන්ම දහනක බණ්ඩාර යනු හුදෙක් ප්‍රාදේශීය දෙවියකු වුව උන්වහන්සේ ගේ පිහිටාරක්ෂාව කිසියම් ප්‍රදේශයක ජනතාවට පමණක් සීමා වූ බවක් දැන ගන්නට නැත. අප දන්නා හා විශ්වාස කරන අන්දමට වන අලි ඇතුන් ඇතුළු වන සතුන්ටත් සෙසු සියලු සතුන්ටත් ආදරය කරුණාව දක්වන සියල්ලෝ දහනක බණ්ඩාර දෙවියන් ගේ පිහිටාරක්ෂාව ලැබීමට සුදුස්සෝ වෙති.” මතු බුදු වන දහනක බණ්ඩාර දේවතාවුන් වහන්ස, ඔබ වහන්සේ ඉදිරියට පැමිණ මෙසේ යටහත් පහත් ව බැගෑපත්ව සැළ කර සිටිනුයේ අද මේ ඔබ වහන්සේ ගෙන් පිහිටාරක්ෂාව යදින සකල ආතුරයන් ගේ ජාතියක්, ජන්මයක්, නිලයක්, බලයක් තිරාතිරමක් නොතකා මොවුන් ගේ සකල විධ දෝෂාන්ධකාර දුරු කොට මේ ආතුර පංචස්කන්ධයනට වැළඳ වැද්ද ගන්නා වූ අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි දෙතිස් තුනක් අතුරු අන්තරා දූරීභූත කොට සකල යහපත් වූ ඉෂ්ටාර්ථ සිද්ධීන් අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කර දෙන ලෙසයි”යන දේව කන්නලව්ව ඒ සඳහා වන හොඳම සාක්ෂියකි.


ඉහත සඳහන් කරුණු සියල්ල විද්‍යාත්මක චින්තනයට යොමු නොවූ අතීත නූගත් ගැමි සමාජයීය හිතලු යැයි යමකුට හැඟෙන්නට පුළුවන.නමුත් දාර්ශනිකව සිතිය යුතු දේ විද්‍යාත්මක කෝණවලින් විමසීම ලාස් කුරුණි යොදා ගව් යොදුන් දුර මැනීමට වෙර දැරීමකි.

vimalarathne 184x320 1

 

(සටහන | එච්.කේ. විමලරත්න)
හිටපු සභාපති
ගල්ගමුව ප්‍රාදේශීය සභාව

උපුටා ගැනීම - vinivida.lk

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...