මහර බන්ධනාගාරයේ සිද්ධියෙන් මියගිය සම්පත් පුෂ්ප කුමාර රැඳවියාගේ බිරිඳ වන එම්.ජී. ලසන්ති මහත්මිය ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ වැලිසර මහෙස්ත්‍රාත්වරයා නම්කර තිබේ.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 396 වන වගන්තිය යටතේ නඩුවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නීතිපතිවරයාට තීන්දුවක් ගැනීමට බලය පැවරී ඇත්තේ ඊට අදාළ ලඝු නොවන නඩු විභාගය අවසන් වීමෙන් පසුවය.

නමුත් මහර බන්ධනාගාරයේ සිද්ධියට අදාළ නඩුවේදී ලඝු නොවන නඩු විභාගයක් ආරම්භ වීමටත් පෙර නීතිපතිවරයා නඩු කටයුතු අවසන් කිරීමට තීරණය කිරීම නීතියට පටහැනි බවට පෙත්සම මගින් චෝදනා කර ඇත.
2020 වසරේදී මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නැතැයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නීතිපතිවරයා ලිඛිතව දැනුම්දී තිබුණේ 2024 අගෝස්තු 30 වන දාය.

නිලධාරීන්ගේ සහ රැඳෙවියන්ගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් නීත්‍යානුකූලව කටයුතු කර ඇති බවත්, ඔවුන් පෞද්ගලික ආරක්ෂාවේ නීතිය ඉක්මවා ක්‍රියාකර නොමැති බව නිරීක්ෂණය වී ඇති බවත්, එම නිසා මෙම සිදුවීමට අදාළව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බවත්, දෙපාර්තමේන්තුවේ පවත්වාගෙන යන ගොනුව වසා දැමීමට පියවර ගන්නා බවත් නීතිපතිවරයා එම ලිපිය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබිණි.
2024 අගෝස්තු 30 වන දා නීතිපතිවරයා වෙනුවෙන්, අතිරේක සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දරගේ අත්සනින් යුතු ලිපියක් මගින් මෙම දැනුම් දීම සිදු කර තිබිණි.
නීතිපතිවරයා මෙසේ දැනුම් දී තිබුණේ, මහර රැඳවියන්ගේ මරණ අපරාධයක් බවට තීරණය කරමින් එම අපරාධයට සම්බන්ධ බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට 2023 වසරේ අප්‍රේල් 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැලිසර මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබියදීය.
ඒ අනුව 2024 සැප්තැම්බර් 26 වන දා නීතිපති උපදෙස් අනුව ලිපියක් ඉදිරිපත් කරමින් මහර බන්ධනාගාරයේ සිදුවීමට අදාළ නඩු ගොනුව වසා තබන ලෙස වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ද ඉල්ලා තිබිණි.

නමුත් එම ලිපි ගොනුව වසා දැමීම ප්‍රතික්ෂේප කළ වැලිසර මහේස්ත්‍රාත්වරයා, නීතිපතිවරයා ගෙන ඇති පියවර අගතියට පත් පාර්ශවය වෙත දැන්වීම සඳහා 2024 නොවැම්බර් 22 දින එම නඩුව යලි කැඳවන ලදී.
නඩුව යලි කැඳවූ අවස්ථාවේදී අදහස් දැක්වූ වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩිවවිදාන මහතා කියා සිටියේ,
“මේ නඩුවේ මුල් අවස්ථාවේදීම පැමිණිල්ල විසින් මේ සිදුවීමේදී මිය ගිය අයගේ මෘත ශරීර කොරෝනා ආසාධිත නිසා පුළුස්සා විනාශ කිරීමට උත්සාහ කළා. අගතියට පත් පුද්ගලයින්ගේ නීතිඥ මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් එය වැලකුණා.
ඒ වගේම සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මේ මරණ එකොළහම සිදුවෙලා තියෙන්නේ උදරයෙන් ඉහළට වෙඩි තැබීම නිසා කියලත් අනාවරණය වුණා. ඒක කලහකාරී තත්ත්වයක් පාලනය කරන්න අවම බලය පාවිච්චි කිරීමක් ලෙස කිසිසේත්ම සලකන්න බෑ. ඒ නිසා අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න කියල මම නියෝග කළා.
නීතිපතිවරයා එවා ඇති උපදෙස් ලිපියේ දැක්වෙන්නේ බන්ධනාගාර නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකාය නීත්‍යානුකූලව කටයුතු කළා කියල. ඒ ගැන මම පුදුම වෙනවා. පැහැදිලිවම මෙහිදී මගේ නියෝග සහ නීතිපතිගේ මතයයි අතර ගැටීමක් සිදු වෙනවා.

මෙය කිසිසේත්ම නඩු නිමිත්තක් නැහැ කියලා කියන්න පුළුවන් සිදුවීමක් නොවෙයි. මෙම අවස්ථාවේත් අධිකරණයේ මතය වන්නේ මෙම සිදු වීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තියේ එන ‘මිනීමැරුම’ හෝ 298 වගන්තියේ එන ‘නොසැලකිලිමත්කමින් මරණය සිදු කිරීම’ යන වරද යටතේ චෝදනා ගොනුකළ හැකි බවයි.
නමුත් මෙම අධිකරණයට නීතිපතිවරයාගේ බලය අතික්‍රමණය කරන්න බලයක් නැහැ. ඉතිරි වී ඇති එකම විකල්පය වන්නේ අභියාචනාධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කිරීම පමණයි.”
නීතිපතිවරයා පවරන ලද නඩු, නීතිපතිවරයා විසින්ම ඉල්ලා අස්කර ගැනීම මෙරට බහුල වශයෙන් සිදු වූ සහ සිදුවෙමින් පවතින විවාදාත්මක ක්‍රියාවලියකි. එසේම මෙය නීතිපතිධුරය සහ නීතියේ ස්වාධීනත්වය පිළිබඳ ගැටුමක් වශයෙන් නීති විශාරදයින් හඳුන්වයි.
නීතිපතිවරයා පවරන ලද නඩුවක් නීතිපතිවරයා විසින්ම ඉවත් කරගත් පළමු හා අවසන් අවස්ථාව මෙය නොවන අතර, එවැනි අවස්ථා බොහෝමයක් මෑත ඉතිහාසයේ දකින්නට ලැබුණි. මෙය එක් අතකින් නීතියේ ආධිපත්‍ය සැමට සාධාරණව ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රශ්නයක් වන අතර, තවත් අතකින් මහජනයාට යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය වීමක් ලෙස ද සැලකිය හැකිය.
බැසිල්ගේ ජී.අයි. බට නඩුව

2015 ජනාධිපතිවරණය ආසන්න කාලවකවානුවේදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජී.අයි. බට මිලදීගැනීම සඳහා මුදල් වෙන් කිරීමේදී රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා පවරා තිබූ නඩුව, නීතිපතිවරයා විසින්ම ඉල්ලා අස්කරගත්තේය.
2014 ඔක්තෝබර් 31 සහ දෙසැම්බර් 31 අතර කාලය තුළ, ප්‍රාදේශීය සභා අතර ජී.අයි. බට බෙදා හැර රජයට රුපියල් 36, 509, 127. 78 ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ සහ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාට එරෙහිව, චෝදනා තුනක් යටතේ මෙම නඩුව පවරා තිබිණි.
මෙම නඩුවට අදාළ සිදුවීම සිදු වන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ සහෝදරයා වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදීය. 2014 වසරේදීය. නඩුව පැවරුවේ 2018 යහපාලන සමයේදී වන අතර, නීතිපතිවරයා එය ඉල්ලා අස්කර ගත්තේ 2019 ජනාධිපතිවරණයෙන් බැසිල් රාජපක්ෂ මහතාගේ අනෙක් සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වීමෙන් පසු, එනම් 2021 වසරේදීය.
නඩුව පවරන විට නීතිපතිවරයා වූයේ ජයන්ත ජයසූරිය මහතාය. නඩුව ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළ නීතිපතිවරයා වූයේ සංජය රාජරත්නම් මහතාය. නඩුව ඉල්ලා අස්කරගන්නා අවස්ථාවේ ජයන්ත ජයසූරිය මහතා අග්‍රවිනිෂ්චයකාරවරයාය.
ජයන්ත ජයසූරිය
මෙසේ එක් ආණ්ඩුවක් යටතේ සිදු කළ වරදකට ඊ ළඟ ආණ්ඩුව යටතේ නඩු පවරමින්, තවත් ආණ්ඩුවක් යටතේ එම නඩු ඉල්ලා අස්කර ගැනීමේ සිද්ධිදාමයෙන් පෙනී යන්නේ නීතිපතිධුරය තවදුරටත් පුරවැසියාටත්, රාජ්‍යටත් වගවෙන, ස්වාධීන හා අපක්ෂපාතී ධූරයකට වඩා ඒය දේශපාලන අධිකාරයේ බලයට යටත්ව සහ අනුගතව ක්‍රියාකරන ධුරයක් බවත්ය.
කරන්නාගොඩ සිද්ධිය

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වාසය කළ දමිළ හා මුස්ලිම් තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබා ගැනීමේ අරමුණින් පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා පවරා තිබූ නඩුවේ නම්කළ සැකකාරයෙක් වූ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හා සම්බන්ධ චෝදනා පත්‍රය නීතිපතිවරයාම ඉල්ලා අස්කර ගත්තේය.
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මෙම නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම්කරන්නේ, දරුවන් පැහැරගෙන යාමට, කප්පම් ගැනීමට සහ අතුරුදන් කිරීමට අනුබල දීම යන කාරණා සම්බන්ධයෙන් ඔහු සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ බව නීතිපති දෙපාර්තමේන්තුව විමර්ශණය කිරීමෙන් පසුවය. නමුත් හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව ගොනු කෙරුණු අධි චෝදනා පත්‍ර තවදුරටත් පවත්වාගෙන නොයාමට 2021 වසරේ අගෝස්තු මස 08 වනදා නීතිපතිවරයා තීරණය කර තිබිණි.
අතුරුදන් තරුණයින් 11 දෙනාගෙන් එක් තරුණයෙකුගේ මවක් වන ජෙනිෆර් වීරසිංහ මහත්මිය බීබීසී ය වෙත දක්වා තිබූ අදහස නීතිපතිධුරයේ මේ විවාදාත්මක හැසිරීම පිළිබඳ මනාව පැහැදිලි කරයි.

"මගේ දරුවා ඇතුළු දරුවන් පස්දෙනෙක් පැහැරගෙන ගිය සිදුවීම සමබන්ධයෙන් පැහැදිලි සාක්ෂි තියෙනවා. මේ චෝදනා වසන්ත කරන්නාගොඩට එල්ල කළේ අපි නොවෙයි, නීතිපති දෙපාර්තමේන්තුවෙන්. පරීක්ෂණ පැවැත්වුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. අපි මැයි 13 නඩුවට ගියාම, අපි වෙනුවෙන් පෙනී සිටිය යුතු නීතිපතිවරයා පෙනී ඉන්නේ චූදිතයන් වෙනුවෙන් කියලා තමයි අපට දැනුණේ."
පිල්ලෙයාන්ගේ මිනී මැරුම් නඩුව
දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංහම් මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේශතුරෙයි චන්ද්‍රසේකරන් නොහොත් පිල්ලෙයාන්ට එරෙහිව මඩකලපුව මහාධිකරණයේ විභාග වූ නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව 2021 ජනවාරි 11 දින අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු චූදිතයන් පස් දෙනා නිදොස් කොට නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණ විනිසුරුවරයා 2021 ජනවාරි 13 දා නියෝග කළේය.

2005 නත්තල් දින (දෙසැම්බර් 25) දේවමෙහෙයට එක්වී සිටියදී මඩකලපුව ශාන්ත මේරි දේවස්ථානයෙදී වෙඩික්කරුවෙක් විසින් පරරාජසිංහම් මහතාව ඝාතනය කෙරිණි.
පරරාජසිංහම් මහතාගේ ඝාතනය සිදු වන්නේ 2005 වසරේදීය. ඒ වන විට ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතාය. ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගන්නේ 2015 වසරේදීය. ආසන්න වශයෙන් වසර 10 කට පසුවය. අත්අඩංගුවට ගන්නා විට ජනාධිපතිවරයා වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. නීතිපතිවරයා විසින් නඩුව ඉල්ලා අස්කර ගන්නේ 2021 වසරේදීය. ඒ වන විට ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරා වන ගෝඨාභය රාජපක්ෂය.
පාවෙන අවි ගබඩා නඩුව
ගාල්ල වරායේ නැංගුරම්ලා තිබූ එම්.වි. මහනුවර නෞකාවේ තිබි සොයා ගන්නා ලද පාවෙන අවි ගබඩාව සම්බන්ධ නඩු කටයුත්ත අවසන් කිරිම නීතිපතිවරයාගේ නඩු ඉල්ලා අස්කර ගැනීමට තවත් එක් උදාහරණයකි.
ගාල්ල වරායේ නැංගුරම්ලා තිබූ එම්.වී. මහනුවර නැවේ ඇවන්ගාඞ් සමාගම කන්ටේනර් විසි දෙකක ගබඩා කර තිබූ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ගාලූ දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණ තොරතුරක් අනුව වරාය පොලිසිය විසින් 2015 ජනවාරි 18 දින එය අත් අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබිණි.

එහිදි කරන ලද විමර්ශණ අනුව කන්ටේනර් 22ක තිබි ටී. 56 ගිනි අවි, මැෂින් තුවක්කු, 84එස්. රයිෆල් ඇතුළු ආයුධ 3000කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබිණි.
මේ සම්බන්ධ නඩුව ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේදි පළමු වරට කැඳවූ අවස්ථාවේ නැව අයත් සමාගම වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ රාජ්‍ය මුහුදේ යාත‍්‍රා කරන නැව්වලට ආරක්ෂාව සැපයීම සඳහා, ආරක්ෂක අමාත්‍යංශයේ අවසර ලබාගෙන, ඇවන්ගාඞ් සමාගම මෙම අවි ගබඩාව පවත්වා ගෙන ගිය බවය.
පාවෙන අවි ගබඩාව සම්බන්ධ නඩු කටයුත්ත අවසන් කිරීමට ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජිවනි පතිරණ මහත්මිය නියෝග කළේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුගත් කුමාර මහතා මෝසමක් මගින් කරණ ලද කරුණු දැක්විමෙන් පසුවය. මෙහි අපරාධ චෝදනාවක් ගොනු කිරීමට කරුණු නොමැති බැවින් නඩුව අවසන් කිරීමට නිතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව එහිදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේය.
නීතිපතිවරයා ප්‍රමුඛ නීතිපති දෙපාර්තමේන්තුව විමර්ශණවලින් පසුව යම් පුද්ගලයෙකුට ඒරෙහිව නඩුවක් ගොනු කරන්නේ නම්, ඊළගට විය යුත්තේ ඒ නඩුව අධිකරණය ඉදිරියේ විභාග කිරීමට සහයෝගය ලබා දීමය. නීතිපතිවරයා ප්‍රමුඛ නීතිපති දෙපාර්තමේන්තුව දිගින් දිගටම අධිකරණය ඉදිරියේ පවත්වාගෙන යා නොහැකි නඩු පවරමින් සිටින්නේ නම් හෝ වරෙක නඩු පවරමින් නැවත ඒවා ඉල්ලා අස්කර ගන්නා භූමිකාවක නිරත වන්නේනම් එය බරපතළ ගැටලු සහගත තත්ත්වයකි.
විශේෂයෙන් දේශපාලකයින් සම්බන්ධ නඩු සහ ප්‍රබල දේශපාලන ක්‍රියාකාරිකයින් සම්බන්ධ නඩු මෙලෙස ඉල්ලා අස්කරගැනීමේ තත්ත්වය මේ වනවිට නීතියේ මූලික මූලධර්ම සහ නීතිමය ක්‍රියාදාමයන් සම්බන්ධ මහජන විස්වසනීයත්වය පිළිබඳ සැක සංකා මතුවන තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබේ.
නීතිපතිවරයාගේ නඩු ඉල්ලා අස්කර ගැනීම පිළිබඳ මේ වන විට නීති ප්‍රජාවේත්, සිවිල් සමාජයේත් සිදුවන සාකච්ඡාව යහ පාලනයක් තුළ දැඩි අවධානයට ලක් විය යුත්තකි.
නීතිපතිධුරයේ සහ එම දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන් කාලයක් තිස්සේ උනන්දුවක් දක්වන, බීබීසී ලෝක සේවයේ හිටපු මාධ්‍යවේදි සරෝජ් පතිරණ මහතා ඒ පිළිබඳ දක්වන්නේ මෙවැනි අදහසකි.
සරෝජ් පතිරණ
“මහර බන්ධනාගාරයේ සිදුවීමට අදාළව නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය නිසා, පැහැදිලිවම අගතියට පත් පාර්ශවයේ එකොළොස් දෙනාට සහ ඔවුන්ගේ පවුල්වල උදවියට විශාල අසාධාරණයක් සිදු වෙනවා.
මේ ලබැඳියාවන් අතර ගැටීම ඇති වෙන්නේම, නඩු පවරන්නා සහ ආණ්ඩුවේ නීති උපදේශකයා කියන අවස්ථා දෙකම නීතිපතිවරයා විසින් නියෝජනය කිරීම හේතුවෙන්.”
අපේ රටේ මේ වගේ දෙයක් සිදුවුණ පළමු හා අවසන් අවස්ථාව මේක නොවෙයි. ඒ නිසා, නීතිපති කියන ආයතනය ආණ්ඩුව යටතේ තිබියදී, මේ වගේ අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා ස්වාධින කොමිසමක් වගේ වෙනම ස්වාධීන යාන්ත්‍රණයක්, අභිචෝදක කාර්යාලයක් තියෙන්න ඕනෑ. ඒක කිසිසේත්ම ආණ්ඩුවේ පාලනය යටතේ තියන ආයතනයක් නොවිය යුතුයි.”
ඉඩම් කොමසාරිස්වරයාට එදිරිව ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් නඩු විභාගයේදී එවකට අගවිනිසුර නෙවිල් සමරකොන් මහතා නීතිපතිධුරය පිළිබඳ මෙවැනි අදහසක් ඉදිරිපත් කර තිබේ.,
“නීතිපති රජයේ ප්‍රධාන නීති නිලධාරියා සහ නීති උපදේශකවරයා බැවින් ඔහු ස්වාධිපත්‍යයාගේ උපදේශකයෙකි යැයි සඳහන් කරයි. නීතිපති ලෙස ඔහුට අධිකරණය කෙරෙහි, රජය කෙරෙහි සහ ජනතාව කෙරෙහි යුතුකමක් ඇති අතර එය බැඳීමකින් තොරව ස්වාධීනව සහ පක්ෂග්‍රාහී නොවී සත්‍ය තහවුරු කිරීමේ කාර්යය සඳහා ඉටු කළ යුතු යුතුකම් රැසකින් සමන්විත වේ.”
නීතිපතිවරයාට යම් කණ්ඩායමකට පක්ෂපාතීව කටයුතු කළ නොහැකි බවත්, ඔහු ජනතා යුක්තිය වෙනුවෙන් කටයුතු කළ යුතු බවත් නෙවිල් සමරකොන් අගවිනිසුරුවරයා පැවසුවද, ප්‍රයෝගිකව එම වගකීම සහ වගවීම සිදු නොවන බව පැහහැදිලිය.
නීතිපතිධුරයෙහි ඇති ලබැඳියාවන් පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂවරයා වන ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු දක්වන්නේ මෙවැනි අදහසකි.
ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු
“අපි මේ රටේ අපරාධ, වංචා, දූෂණ ගැන අවධානය යොමු කරනවා නම් ඉස්සෙල්ලාම නීතිපති දෙපාර්තමේන්තුව හරියට ස්ථාපිත කරන්න ඕනෑ. දැනට තිබෙන තත්ත්වය යටතේ නීතිපතිවරයා තමයි නඩු ගැන ආණ්ඩුවට උපදෙස් දෙන්නේ සහ උසාවියේදී ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින්නේ. අපට මහාධිකරණයේ නඩුවක් පවරන්න ඕනෑ නම් නීතිපති දෙපාර්තමේන්තුව තමයි ඒක කරන්නේ. නඩුවක් ගෙනියන්න තියෙනවා නම් නීතිපති දෙපාර්තමේන්තුව තමයි ඒක ගෙනියන්නේ. හැබැයි අපේ රටේ වැඩියෙන්ම දූෂණ වංචා ගැන චෝදනා තියෙන්නේ ආණ්ඩුවට. ඒ නිසා එතන පරස්පර විරෝධී ස්වභාවයක් තිබෙනවා. එක පැත්තකින් නීතිපතිවරයා හෝ ඔහුගේ දෙපාර්තමේන්තුව ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිනවා. අනෙක් පැත්තෙන් ඔහු ආණ්ඩුවේ දූෂණ, වංචාවලට එරෙහිව නඩු පවරලා පවත්වාගෙන යනවා. ඒ නිසා ආණ්ඩුවට එරෙහි නඩු පවරලා පවත්වාගෙන යන්න මහජන අභිචෝදකවරයෙක් සහ කාර්යාලයක් ස්ථාපිත කරන්න අවශ්‍යයි. අපිට 72 ව්‍යවස්ථාවේ එහෙම කෙනෙක් හිටියා. එතකොට එයා තමයි දූෂණ, වංචා ඇතුළු අපරාධවල නඩු පවරන්නේ සහ පවත්වාගෙන යන්නේ. නීතිපතිවරයාට හා එම දෙපාර්තමේන්තුවට පුළුවන් ආණ්ඩුවට උපදෙස් දෙන්න. ආණ්ඩුව ආරක්ෂා කරන්න.”
නීතිපතිවරයා තමන් පවරන නඩු ඉවත්කරගැනීම පිළිබඳ නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ අදහස මෙවැන්නකි.
ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
“නීතිපතිවරයා නඩුවක් ඉල්ලා අස්කර ගන්නවා නම්, ඒ නඩුව ඉල්ලා අස්කරගන්නේ ඇයි කියලා හේතු දක්වන සම්ප්‍රදායක් ඇති වීම වැදගත්. ඉස්සර සම්ප්‍රදාය වුණේ නීතිපතිවරයා නඩුව ගෙනියන්නේ නැත්නම් ‘නෑ’ කියන එක. නමුත් අද පරිපාලන නීති සම්බන්ධ මූලධර්ම ගත්තොත්, නිලධාරීන් හේතු දක්වන්න ඕනෑ. ඒක හොඳ තත්වයක්.
ඒ නිසා වඩා වැදගත් වෙන්නේ නීතිපති, ධුරයේ ස්වාධීනභාවය ආරක්ෂා කිරීමයි. මොකද නීතිපතිවරයා කියන්නේ පවතින් ආණ්ඩුව නියෝජනය කරන රාජ්‍ය නිලධාරියෙක් නෙවෙයි; ශ්‍රී ලංකාව කියන රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක්. ඒ නිසා නීතිපතිවරයා ජනතාවගේ අයිතිවාසිකම් ගැනත්, අවබෝධයක් ඇතිව කටයුතු කරන්න ඕනෑ.
නීතිපතිධුරය ස්වාධීනව පවත්වාගෙන යාම සඳහා දැනට තියෙන ප්‍රතිපාදන ප්‍රමාණවත්. ප්‍රශ්නය තියෙනනේ, නීතිපතිවරයා ඇවිල්ලා පවතින ආණ්ඩුවේ ස්ථාවරය ඉදිරිපත් කරනකොට පවතින ආණ්ඩුවේ දේශපාලන වුවමණාවන්ට අනුව නීතිපතිවරයා කටයුතු කරනවා කියලා මතයක් ඇති වෙලා කියෙනවා. ඒ මතය බැහැර කරන්න පුළුවන් වෙන්නේ, නීතිපතිවරයා පවතින ආණ්ඩුවට පක්ෂපාතී නොවී කටයුතු කරනවා කියලා පෙන්වන්න ඕනෑ. ඒ මහජන විස්වාසය දිනාගන්න පුළුවන් වෙන්න ඕනෑ. එහෙම නොවෙන අවස්ථාවල ගැටලු ඇති වෙන්න පුළුවන්. හැබැයි යම් නඩුවක් පවත්වාගෙන යන්න සාක්ෂි නැතිනම් ඒ නඩුව ඉල්ලා අස්කරගන්න නීතිපතිවරයාට පුළුවන් වෙන්න ඕනෑ.
රාජ්‍යය වෙනුවෙන් පෙනී සිටීම සහ අපරාධ නඩු පැවරීම කියන කාරණා දෙක එකිනෙකට ස්වාධීන කරන්න ඩිරෙක්ටර් පබ්ලික් ප්‍රොසිකියුටර් කෙනෙක් පත් කරන ඕනෑ කියලා අදහසක් තියෙනවා. 72 ඉඳලා 75 විතර වෙනකල් එවැනි තනතුරක් තිබුණා. එයින් අවශ්‍ය කාරණා ඉටු නොවූ නිසා තමයි, ඒ ධුරය අයින් කළේ.”

නීතිය ස්වාධීන විය යුතු බව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබුණද මේ සිදුවීම්වලින් පෙනෙන්නේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ ප්‍රමුඛ කාර්‍යභාරයක් හා වගකීමක් පැවරී ඇති නීතිපති දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා ස්වාධීන හා අපක්ෂපාතී නොවන බවය.
දේශපාලනික අරමුණු සඳහා අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය අනිසි ලෙස භාවිත කිරීම ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ ගැඹුරින් මුල්බැස ඇති ව්‍යුහාත්මක ගැටලුවකි. දේශපාලන උත්තේජනයන් මත නීතිපතිධුරය ප්‍රමුඛ එම දෙපාර්තමේන්තුව බරපතළ අපරාධ නඩු ඉල්ලා අස්කරගැනීමෙන් අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි උද්ගත විය හැකි ප්‍රතිවිපාක බරපතලය.
වඩාත් යහපත් රටක් ඇතිකරගැනීම වෙනුවෙන් සිදුකෙරෙන ප්‍රතිසංස්කරණවලට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලදී අදාළ පාර්ශවයන් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුව තිබේ.
(සටහන | ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර)
priyanjithab@gmail.com



