විශේෂයෙන් මන්නාරම් සතොස වෙළඳ සැල අසලින් මතුවූ ලංකාවේ විශාලතම සමුහ මිනී වලත්, පාරිසරික හානි පමුණුවමින් කෙරෙන නීතිවිරෝධී ඛනිජ සම්පත් කැනීමත්, රජයේ ආරක්ෂක හමුදා වාඩිලා සිටින ජනතාව පදිංචිව සිටී ගම්මාන හා සුළං බල ව්‍යාපෘති, මුහුදු සිමා පැන මත්ස්‍ය සම්පත් කොල්ල කන ධීවරයන් ඔස්සේ එන ඉන්දීය ආධිපත්‍ය නිසාත් ගෙවී ගිය පහළොස් වසර පුරාවටම මන්නාරම කතා බහට ලක්විණි.
රිෂාඩ් බදියුර්දින්
මන්නාරම, වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික් ඒකාබද්ධ කරමින් මැතිවරණ පැවැත්වෙන වන්නි දිස්ත්‍රික්කය ජය ගැනීමට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජනබලවේගය [NPP] සමත් විය. එහෙත් මන්නාරම් දිස්ත්‍රික්කය ජන්ද 15,007 ක් එනම් සියයට 25.28 ක ප්‍රතිශතයක් ලබා ගනිමින් ජය තහවුරු කර ගත්තේ සමගි ජන බලවේගයයි [SJB]. ඒ සඳහා පෙරමුණ ගත්තේ රාජපක්‍ෂ හා යහපාලන ආණ්ඩුවල කැබිනට් ඇමතිවරයෙකු වූ රිෂාඩ් බදියුර්දින් ය.
ජන්ද 7,948 ක් සියයට 13.37 ක් ලබා ගත් පාලක ජනබලවේගය තෙවැනි තැනට පත්කරමින් මෙතෙක් මන්නාරමේ බලය සතුව සිටී දෙමළ ජාතික සන්ධානයෙන් [TNA ] බිඳුණු ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය [DTNA] ජන්ද 8,648 ක් එනම්, ප්‍රතිශතය සියයට 14.61 ක් ලබා දෙවැනි ස්ථානය හිමි කරගනු ලැබිණි.
ජන්ද 7,490 ක් ලබා සියයට 12.6 ක ප්‍රතිශතයක් පෙන්නුම් කළ ඉලංගෙයි තමිල් අරසු කච්චි [ ITAK ] සිව්වැනි තැනට පත් විණි.
ජන්ද ප්‍රථිපල සටහන අනුව ගත් කළ මන්නාරමේ සමස්ත ජන්ද දායකයන් ගෙන් බහුතරය විවිධ මට්ටමින් ආණ්ඩු පක්‍ෂ විරෝධින්ය.

''ඉඩම් නිදහස් කරන්න''
පැවති සෑම ආණ්ඩුවක්ම මන්නාරම් ජනයාට ඉතිරි කර ඇත්තේ ප්‍රශ්න වැලකි. එයින් ප්‍රධාන තැනක් ගන්නේ රජයේ ආරක්ෂක හමුදා වාඩිලා සිටින පොදු ජනයා පදිංචිව සිටී ඉඩම් හා වගා බිම්ය.
සෙල්වම් අඩෛක්කලනාදන්
ඉකුත් මැතිවරණයෙන් යළි පාර්ලිමේන්තුවට පිවිසි තමිල් ඊළාම් විමුක්ති සංවිධානයේ [TELO ] නායක සෙල්වම් අඩෛක්කලනාදන් විසින් 2024 නොවැම්බර් 25 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් මගින් දැනුම් දී තිබුනේ දෙමළ ජනයාට අයත් ඉඩම් තවමත් නාවික හමුදාව යටතේ පැවතීම නිසා ඔවුන්ගේ දෛනික ජිවිකාව අහිමිවී ඇති බවයි. එබැවින් ඔහු ඉල්ලා සිටින්නේ ඒවා හිමිකරුවන් වෙත නිදහස් කරන ලෙසයි.
2007 වසරේ සැප්තැම්බර් මස 7 වැනිදා මුල්ලිකුලම් ප්‍රදේශයේ සිටි දෙමළ ජනතාව රජයේ ආරක්ෂක අංශ විසින් පිටමං කිරීමෙන් අනතුරුව, අක්කර 1,000 කට අධික ඉඩම් ප්‍රමාණයක් ඔවුන්ගේ පාලනයට ගත් බව මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ. එහෙත් එම ඉඩම් වලින් මෙතෙක් නිදහස් කර ඇත්තේ අක්කර 100 ක ප්‍රමාණයකි.
“වැව් හතරක් සමග වගා බිම් මෙන්ම ජනතාව පදිංචිව සිටි ඉඩම් ඇතුළු තවත් අක්කර 900ක් පමණ මෙතෙක් නිදහස් කර නොමැත ” යැයි පවසන ටෙලෝ නායක සෙල්වම් පෙන්වා දෙන්නේ වයඹ නාවික හමුදා මුලස්ථානය ස්ථාපිත කිරීමෙන් පසු ඒ ඉඩම් සිය ග්‍රහණය යටතේ තබා ගැනීමට නාවික හමුදාව ක්‍රියා කර ඇතිබවය.
තලෛයිමන්නාරම ජැටිය පෙදෙස අසල ඇති මඩු මාතා පල්ලියට අයත් අවම අවශයෙන් ඉඩම් අක්කර දහයක් පමණ තවමත් පවතින්නේ එහි පිහිටුවා ඇති උතුරු මැද නාවික හමුදා මුලස්ථානය යටතේය. මෙහි ඇති අප ස්වාමි දුවගේ කතෝලික දේවස්ථානයේ ඉරිදා දේව මෙහෙයට පමණක් ගම්වැසියන්ට අවසරය හිමි වුවද, ඉඩම් නිදහස් කිරීමක් ගැන ගෙවුණු දශකය පුරාම කිසිදු කතා බහක් නොමැත.

අඩෛක්කලනාදන්ගේ ලිපියේ දැක්වෙන පරිදි ලංකාවේ කිසිඳු ප්‍රදේශයක නාවික අණදෙන මූලස්ථාන මෙතරම් ආසන්නයේ පිහිටුවා නොමැති බවත්, එයද එක් දිස්ත්‍රික්කයක් තුළ පිහිටීම ප්‍රශ්නකාරී බවය.
පල්ලිමුනෛ පිහිටුවා ඇති නාවික හමුදා කඳවුර අයත් භුමිය ජනයා පදිංචිව සිටි අතර වන්කලායි-නානාට්ටම් මාර්ගයේ ඇති පුස්සදේව නාවික කඳවුර තනි පුද්ගලයෙකුට අයත් පෞද්ගලික ඉඩමක ඉදිකර ඇති බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලානාදන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය මගින් පෙන්වා දී ඇත.
මුර කපොලු මැද
යුද්ධය අවසන්ව පහළොස් වසක් ගතවුවද මන්නාරමේ ආරක්ෂක මුරකපොලු, මාර්ග බාධක, විශාල කඳවුරු මෙන්ම කුඩා ප්‍රමාණයේ කඳවුරුද නිසා ජන ජිවිතයට බලපෑමක් එල්ලවීම වැළක්විය නොහැක්කකි.
මුජිබර් රහුමාන්
''මන්නාරම් දුපතට ඇතුල්වෙන පාලම ගාවත්, මන්නාරම් -මැදවච්චිය පාරේ කුන්ජිකුලම් හන්දියේත්, මන්නාරම් - මැදවච්චිය පාරේ වව්නියාවට හැරෙන පරයනායලම්කුලම් වලත්, ඒ 32 යාපනේ පාරේ වෙඩිතලතිව් හන්දියේත්, වෙල්ලාන්කුලම් හන්දියෙත් හමුදාව -පොලිසිය ඉන්න චෙක් පොයින්ට් තියෙනවා.``යැයි යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ [NFGG] , ජාතික සංවිධායක මුජිබර් රහුමාන් පෙන්වා දෙයි.
රහුමාන්, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට සිය පෙරමුණෙන් තරඟ කළ ද සුළු ජන්ද ප්‍රමාණයකින් මන්ත්‍රීධුරයක් ලබා ගැනීමේ අවස්තාව අහිමිවූ අයෙකි. දෙමළ විමුක්ති කොටි සංවිධානය විසින් මන්නාරමෙන් පිටමං කළ මුස්ලිම් ජනයාගේ පරම්පරාවට අයත් වුවෙකු වූ ඔහු යුද්ධය අවසන්වූ පසු සිය උපන් ගම වූ සිලාවතුරේ යළි පදිංචියට පැමිණ දැනට පහළොස් වසක් ගෙවා දමා හමාරය.

``මන්නාරමේ වැඩිපුර ඉන්නේ ගොවියෝ සහ ධීවරයෝ. ඒත් මෙතෙක් හිටිය පාලකයෝ ඒ අයට කරපු දෙයක් නැහැ. තවමත් ධීවරයන්ට මුහුදු යන්න නේවි එකෙන් පාස් ගන්න ඕනේ. මුල්ලිකුලම් ඉඳලා වෙඩිතලතිව් වෙනකම්, සිලාවතුර, වන්කාලෛ, පේසාලයි, තලෛමන්නාරම වෙනකම්ම ලොකු කුඩා නේවි කෑම්ප්. ධීවර බෝට්ටු නවත්වන හැම තැනකම නේවි ඉන්නවා.`` යැයි පවසන මුජිබර් රහුමාන් පෙන්වා දෙන්නේ ට්‍රෝලර් යාත්‍රා වලින් පැමිණ මුහුදු සිමා ආක්‍රමණය කරන ඉන්දීය ධීවරයන් මත්ස්‍ය සම්පත රිසි සේ කොල්ල කන බවයි.
සිලාවතුර, අරිප්පු, කර්දිකුලෙයි, කායක්කුලි, සහ නේස්මාරි වැනි බෝට්ටු නැංගුරම් ලන ධීවර වාඩි ආසන්නයේම නාවික හමුදාවද ලැගුම් ගන්නේ ආරක්‍ෂව පෙරදැරි කරගෙනය.
මන්නාරම් දූව වටා පිහිටි සෑම නාවික හමුදා කඳවුරක් ආසන්නයේම ඉන්දීය අදානි සමාගමේ සුළං මෝල් ක්‍රියාත්මක වන බව පවසන රහුමාන් ඉස්තරම් වර්ගයේ ඉස්සෝ ගහණයක් පවතින වෙඩිතලතිව් හි ඉස්සෝ ගොවිපොළ සඳහා ඉන්දිය සමාගම් වෙත අවසර ලබා දී ඇති බවද අවධාරණය කරයි.

යුද්ධය නිසා අවතැන්වූ මන්නාරම් ජනයා යළි පදිංචි කිරීමේදී ඉඩම් ලබා දීමේත්, නිවාස ඉදී කිරීමේදීත් වංචා දුෂණ රැසක් සිදුව ඇති බවට ද චෝදනාවකි. ඉදිකරන ලද නිවාස ප්‍රමිතියෙන් තොරවන අතර ඒ සදහා කටාර් රාජ්‍යයෙන් ලැබුණු ආධාර මුදල් නිසි ලෙස යෙදවුවේද යන්න විමර්ෂණය කළ යුතු බව යි යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ, ජාතික සංවිධායකවරයාගේ ඉල්ලීම.
බහුතරය දෙමළ බස කතා කරන මන්නාරමේ ජනයා ආගමික වශයෙන් ගතහොත් කතෝලික , හින්දු හා ඉස්ලාම් ලෙස කොටස් තුනකි. දශක ගණනාවක යුද්ධයෙන් දැඩි ලෙස පිඩාවට පත් මෙම ප්‍රජාව තම ආදරණිය සමීපතමයන් අහිමිවීම්, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, දේපොළ විනාශ කිරීම හා මානව හිමිකම් උල්ලංඝණය කිරීම් වෙනුවෙන් යුක්තිය හා සාධාරණය අපේක්‍ෂා කරති.

බහුතරයක් වූ ගොවි හා ධීවර ජනයා දෛනිකව ඔවුන් මුහුණ දෙමින් සිටින ගැටළු වලට සාධනීය විසදුම් අපේක්‍ෂා කරති. මෙරට මත්ස්‍ය සම්පත කොල්ල කන ඉන්දීය ධිවරයන්ට එරෙහිව පියවර ගැනීම, ධීවර පාස් ක්‍රමය ඉවත් කරමින් නිදහසේ සිය රැකියාව කරගෙන යාමේ අවස්තාව ලබා ගැනීමත්, රජයේ ආරක්ෂක හමුදා වාඩිලා සිටින ගොවීන්ගේ වගා බිම් හා ඒ ආශ්‍රිත වැව් අමුණු නිදහස් කර ගැනීමත් ප්‍රමුඛතා ලෙස ඔව්හු සලකති.
(සටහන | ඉෂංඛා සිංහආරච්චි)
නිදහස් මාධ්‍යවේදිනි
ishanka.singhe@gmail.com
[මෙම ලිපිය 'අනිද්දා' සතිඅන්ත පුවත් පතේ පළ වුවකි]



