The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නාඩු වලින් පටන් ගෙන කැකුළු හාල් වලින් නිමා කළ සහල් ප්‍රශ්නය | සුනිල් කන්නන්ගර

T

The Leader Desk

January 17, 2025 • 7:18 AM

නාඩු වලින් පටන් ගෙන කැකුළු හාල් වලින් නිමා කළ සහල් ප්‍රශ්නය | සුනිල් කන්නන්ගර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දීය ආනයනික සහල් වෙළඳ පළට ලැබීමත් සමග නාඩු සහල් හිඟය යන්තම් පියවී ගියත් මේ වන විට කැකුළු සහල් හිඟය රට පුරා බලවත් ගැටළුවක්ව ඉදිරියට පැමිණ ඇත.
  • කැකුළු සහල් හිඟයෙන් වඩාත් දැඩිව රටට දැනී ඇත්තේ රතු කැකුළු සහල් හිඟයයි.
  • මේ අනුව කැකුළු සහල් හිඟය ප්‍රථම වතාවට රටේ සියලු ප්‍රදේශ වලට දැනෙන පොදු ප්‍රශ්නයක් බවට පත්ව ඇත.
  • සහල් මුල් කරගෙන මේ අන්දමේ දැවෙන ප්‍රශ්නයක් ඇතිවීමට හේතු වූ කරුණු මොනවාදැයි සොයා බැලීම සහල් ප්‍රධාන ආහාරය ලෙස යොදාගන්නා මේ රටේ අනාගත යහපතට හේතුවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන්දීය ආනයනික සහල් වෙළඳ පළට ලැබීමත් සමග නාඩු සහල් හිඟය යන්තම් පියවී ගියත් මේ වන විට කැකුළු සහල් හිඟය රට පුරා බලවත් ගැටළුවක්ව ඉදිරියට පැමිණ ඇත.

කැකුළු සහල් හිඟයෙන් වඩාත් දැඩිව රටට දැනී ඇත්තේ රතු කැකුළු සහල් හිඟයයි. රතු කැකුළු සහල් ආහාරයට ගන්නා ස්ථාවර පාරිභෝගිකයින් සැලකිය යුතු පිරිසක් රටේ සිටිති. එසේම තෛපොංගල් දිනය වෙනුවෙන් හින්දු භක්තියකයන් සකසන කිරිබත් සඳහා රතු කැකුළු අනිවාර්ය වී තිබුණි. පසුගිය ජනවාරි පලමු වෙනිදාට කිරිබත් පිසීම සඳහා ද සුදු හෝ රතු කැකුළු සහල් සොයා ගැනීම බොහෝ ප්‍රදේශවල අසීරු කාර්යයක්ව තිබිණි.

මේ අනුව කැකුළු සහල් හිඟය ප්‍රථම වතාවට රටේ සියලු ප්‍රදේශ වලට දැනෙන පොදු ප්‍රශ්නයක් බවට පත්ව ඇත. සහල් මුල් කරගෙන මේ අන්දමේ දැවෙන ප්‍රශ්නයක් ඇතිවීමට හේතු වූ කරුණු මොනවාදැයි සොයා බැලීම සහල් ප්‍රධාන ආහාරය ලෙස යොදාගන්නා මේ රටේ අනාගත යහපතට හේතුවෙයි.

383ed5a657ff1a72c844e75c65130134 XL

සෑම වසරකදීම නොවැම්බර් මස අග භාගයේ සිට ඊළඟ ජනවාරි මස අවසාන දක්වා මාස දෙකක පමණ කාල පරිච්ඡේදය මෙරට වෙළඳපොලේ සහල් මිල ඉහළ යාම දිගු කලක සිට සිදු වන දෙයකි. ඊට ප්‍රධානම හේතුව ජුලි අගෝස්තු මාස වල අස්වැන්න නෙලන යල කන්නයේ වී වගා කරන කුඹුරු ඉඩම් ප්‍රමාණය මහ කන්නයට සාපේක්ෂව අඩු ප්‍රමාණයක් වීමත් එම අස්වැන්නෙන් වෙළඳපොළට සැපයෙන වී ප්‍රමාණය රටේ මාස හයක අවශ්‍යතාව සඳහා ප්‍රමාණවත් නොවීමත්‍ ය.


දෙසැම්බර් මාසයේදී සහල් මිල ඉහළ යාමත් සමග වී සඳහා වැඩි මිලක් ලැබෙන බැවින් ගොවීහු යල කන්නයේ අස්වැන්නෙන් කොටසක් මේ ඉහළ මිලට විකිණීම සඳහා රඳවා ගනිති.

එසේම යල කන්නයේ දී ගොවීන්ගෙන් වී මිලදී ගන්නා ලාභාපේක්ෂාවෙන් තොග රැස් කරන්නන් ද සිය වී තොග සහල් සැකසීම සඳහා අලෙවි කිරීම අරඹන්නේ ද නොවැම්බර් මාසයේ මිල ඉහළ යාමෙන් පසුව ය.

ඒ අනුව මහ කන්නයේ අස්වැන්න වෙළදපොලට එන තුරු මාස දෙකක පමණ කාලයක් වෙළඳපොලේ සහල් මිල ඉහළ යාම සිදුවන බව තේරුම් ගත යුතු වේ.

unnamed 8

මෙවර මේ ක්‍රියාවලියේ විශේෂයක් සිදුවී ඇති බව පෙනේ. ඒ මිල ඉහළ යාමට අමතරව සහල් හිඟයක් ද ඇති වීම ය. මුලින්ම මේ සහල් හිඟය ඇතිවුණේ නාඩු සහල් වල ය. නාඩු සහල් යනු සුදු හෝ රතු දිගැටි ඇටය සහිත වී වර්ගවලින් නිපදවන ලබන සහල් වර්ගයකි. මේ වී වර්ග වාෂ්පයෙන් කිසියම් ප්‍රමාණයකට තැම්බීමට ලක්කර සකසන සහල් නාඩු සහල් ලෙස සැලකේ. මේ වී වර්ගම තැම්බීමට ලක් නොකර සහල් නිපදවීමේ දී කැකුළු සහල් ලෙස හැඳින්වේ. රවුම් හැඩය සහිත ඇටයකින් යුතු වී වර්ග සම්බා ලෙස හඳුන්වන අතර සම්බා වී වර්ග තැම්බීමට ලක් නොකර සහල් නිපදවුවොත් සම්බා කැකුළු ලෙස හැඳින්වේ.


මීට අමතරව වෙළඳපොළේ ඇති තම්බපු සහල් යනු වී ඇට ජලයේ බහා පොත්ත පුපුරුන තුරු තම්බා වේලා ගැනීමෙන් පසු සකසන සහල් වේ. ඒ අනුව මේ කැකුළු සහල් හිඟයට හේතුව සෙවීමේ දී මේ කරුණු ඉතා වැදගත් වේ.

නොවැම්බර් මස සිට ඇතිවුණු නාඩු සහල් හිඟයේ දී රජයේ පැවතුණු පාලන මිලට නාඩු සහල් වෙළඳ පොලට සැපයීමට මෙරට නාඩු සහල් නිපදවන නිෂ්පාදකයන්ට අපහසු බව අප ලිපි මගින් පෙන්වා දී ඇත. ඒ ඔවුන් වී තොග රැස්කිරීමේ දී ගොවීන්ට වී සඳහා ගෙවූ ඉහළ මිල නිසා සහල් පාලන මිලට සැපයීමෙන් ඔවුන්ට ලාභයක් ලැබිය නොහැකි වූ නිසා ය.

 

rice2 1 මහා පරිමාන වී මෝල් සංකීර්ණ සතු වී තොග නාඩු සහල් නිපදවීමට වැඩි වශයෙන් යොදා ගැනීම ය. ඊට සාපේක්ෂව මහා පරිමාන සහල් නිපදවන්නන්ගේ කැකුළු සහල් නිපදවීම අඩු විය.

නාඩු සහල් බහුලව නිපදවන්නේ මහා පරිමාන මෝල් හිමියන් විසිනි. රජය නාඩු හිඟය කලමනාකරණය සඳහා ඉන්දියාවෙන් සහල් ගෙන්වීමට තීරණය කිරීමත් නාඩු සහල් පාලන මිල රුපියල් 230 දක්වා වැඩි කිරීමත් සිදුකර මහා පරිමාන මෝල් සංකීර්ණවල නිෂ්පාදනය දෛනික අධීක්ෂණය කිරීමටත් කටයුතු යෙදුණි.

ඉන් සිදුවුණේ මහා පරිමාන වී මෝල් සංකීර්ණ සතු වී තොග නාඩු සහල් නිපදවීමට වැඩි වශයෙන් යොදා ගැනීම ය. ඊට සාපේක්ෂව මහා පරිමාන සහල් නිපදවන්නන්ගේ කැකුළු සහල් නිපදවීම අඩු විය.

සාමාන්‍යයෙන් කැකුළු සහල් මුල් කරගෙන සහල් බහුලව නිපදවන්නේ සුළු හා මධ්‍ය පරිමාන වී මෝල්වල ය.

නාඩු හිඟය සඳහා විකල්පය ලෙස ද භාවිතා වුණේ කැකුළු සහල් නිසා වෙළඳපළේ වූ නාඩු හිඟය ආවරණය කිරීමට කැකුළු සහල් නිෂ්පාදනය වැඩි කරන ලදී. රජය දැඩිව පවත්වා ගෙන ගිය පාලන මිල ප්‍රතිපත්තිය නිසා සුළු හා මධ්‍ය පරිමාන මෝල් හිමියෝ ගොවීන් ළඟ ඉතුරුව තිබූ වී ඉහළ මිලකට මිලට ගැනීමට ද නතර කළහ. ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාන වී මෝල් හිමියෝ ද තමන් සතුව තිබූ වී තොග අවසන් වන තුරු කැකුළු සහල් වෙළඳපොලට සපයා අනතුරුව නිහඬ වූහ.

 

Rice Mafiaභාණ්ඩ හිඟයත් සමග සිදුවන ඊළඟ ප්‍රතිඵලය වන කළුකඩ වෙළඳාම ආරම්හ වී ඇත.

ඒ අනුව මේ පවතින කැකුළු සහල් හිඟයට ප්‍රධාන හේතුව වෙළඳපොලට වැඩි වශයෙන් කැකූළු සහල් සැපයූ සුළු හා මධ්‍ය පරිමාන වී මෝල් හිමියන්ගේ වී තොග අවසන් වීම බව පැහැදිලි ය. වෙන වසර වල දී මෙන් ගොවීන් සතු අතිරේක සුළු පරිමාන වී තොග අඛණ්ඩව රැස් කර ගැනීමට එම මෝල් හිමියන් මෙවර ක්‍රියා නොකළේ දැඩිව ක්‍රියත්මක කරන සහල් පාලන මිලට මෙවර එසේ මිලදී ගන්නා වී යොදාගෙන සහල් සැපයීම පාඩු දායක කාර්යයක් වීම නිසා ය.

මේ අනුව වෙළඳපොලේ ඉල්ලුමට සරිලන කැකුළු සහල් ප්‍රමාණය සැපයීමට නොහැකි වී සහල් හිඟයක් නිර්මාණය වී ඇත. මේ නිසාම භාණ්ඩ හිඟයත් සමග සිදුවන ඊළඟ ප්‍රතිඵලය වන කළුකඩ වෙළඳාම ආරම්හ වී ඇත.

රතු කැකුළු සහල් හිඟය එහිදී වඩාත් දරුණුවට බලපා ඇත්තේ රතු සහල් නිපදවන වී නිෂ්පාදනය සාපේක්ෂව අඩු නිසා ය. අපේ රටේ ප්‍රධාන වශයෙන් රතු කැකුළු ආහාරයට ගන්නේ දකුණු පලාතේ ජනතාව ය. ඒ නිසාම දකුණු පලාතේ වැඩි වශයෙන් වගා කරන්නේ ද රතු වී වර්ගයි. නමුත් ප්‍රධාන වී නිපදවන අම්පාර, පොලොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවල වැඩිපුර වගා කරන්නේ සුදු හෝ සම්බා වී වර්ගයි. මේ නිසා සාමාන්‍යයෙන් රතු වී වර්ගවලට ඇති ඉල්ලුම සාපේක්ෂව අඩු නිසා ගොවීන් එම වර්ග වගාවට පෙළඹීම අඩු ය. මේ නිසා මේ වන විට රතු සහල් දැඩි ලෙස හිඟ වී ඇත. ඒ නිසාම දරුණුතම කළුකඩ වෙළඳාම ඇත්තේ රතු කැකුළු සහල්වලට ය.

 

unnamed file 228තෛපොංගල් කිරිබත සඳහා අත්‍යාවශ්‍ය වූ රතු කැකුළු මෙවර මිලදී ගනීමට සිදුවූයේ ගමේ කසිප්පු මිලදී ගන්නා අන්දමට දැන හැඳුනුම් කමක් ඇති අයට පමණක් රහසේ මිලදී ගත හැකි දෙයක් ලෙසට ය.

කළු කඩ වෙළඳාමේ රතු කැකුළු කිලෝ එකක මිල රුපියල් 300 මට්ටමටම ගොස් ඇත. තෛපොංගල් කිරිබත සඳහා අත්‍යාවශ්‍ය වූ රතු කැකුළු මෙවර මිලදී ගනීමට සිදුවූයේ ගමේ කසිප්පු මිලදී ගන්නා අන්දමට දැන හැඳුනුම් කමක් ඇති අයට පමණක් රහසේ මිලදී ගත හැකි දෙයක් ලෙසට ය.

සහල් වෙළඳපොල මේ තත්වයට පත්වුණේ ප්‍රායෝගික නොවන කෘත්‍රිම පාලන මිලක් පවත්වගෙන යාමට රජයෙන් ගත් උත්සාහය නිසා බව පෙන්වා දිය යුතු ය.

සෑම වර්ෂයකම අවසාන කාලයේ සහල් වෙළඳපොලේ ඇතිවන මෙම මිල ඉහල යාම නිවැරදිව විෂ්ලේෂණය කර ගොවියාත් සහල් නිෂ්පාදකයාත් පාරිභෝගිකයාත් යන පාර්ශව තුනම ආරක්ෂ වන ප්‍රායෝගික විසඳුමක් වෙනුවට මහ පරිමාන සහල් මෝල් හිමියන් ඇතුලු සහල් නිෂ්පාදකයින්ට පාඩමක් උගන්වා සහල් වෙළඳපොල පාලනය කරන්න යාමෙන් සිදුවිය හැකි අනර්ථය ප්‍රායෝගිකවම ඉගෙන ගැනීමේ අපූරු අවස්ථාව දැන් බලධාරීන්ට ලැබී ඇත.නමුත් සැබෑ අර්බුදය නිර්මාණය වූයේ එහි වේදනාව පොඩි මිනිහාගේ හද පත්ලටම දැනීම නිසා ය.


මේ වන විට දැනගන්නට ලැබී ඇති පරිදි අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුවෙන් පහළ කොටස්වල ඇතැම් තැන්වල අස්වනු නෙලීම ඇරඹී ඇත. එහිදී රතු වී සඳහා ඉහළ මිලක් තිබුණු බවත් දැනගන්නට තිබේ. මේවන විටත් එහි ගොවීන් මුහුණ දී ඇති බරපතලම ගැටළු වන්නේ අධික වර්ෂාව නිසා පැසුණු කුඹුරුවල අස්වනු නෙලීමට බාධා වීමත් පීදුණු කුඹුරු දැඩි වර්ෂාවට හසු වීම නිසා අස්වනු බොල් වීමේ අවදානමට මුහුණ දීමත්‍ ය.

 



 ඉදිරි සති කීපය තුළ අම්පාර දිස්ත්‍රික්කයේ වී අස්වනු වෙළඳපොලට එන විට ආනයනික සහල් හා ඊනියා සහල් පාලන මිල නිසා වී මිල පහල බැස්සොත් ගොවීන්ගේ ප්‍රතිචාර වලට මුහුණ දීමට වන්නේත් සහල් වෙළඳපොල අච්චාරුවක් කළ බලධාරීන්ටම ය. ආණ්ඩුව පැත්තෙන් නම් මේ සියල්ලටම කෝකටත් තෛලය ලෙස වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගෙන ආරක්ෂිත තොග පවත්වා ගෙන ගොස් සහල් වෙළඳපොල පාලනය කිරීමේ සුවිශේෂ වැඩපිළිවෙලක් ගැන ප්‍රචාරයක් දෙමින් සිටියි.

පසුගිය දිනවල බලධාරීන් පරණ වී ගබඩා හා අතහැර දැමූ හාල් මෝල් අස්සේ රිංගමින් මේ මහා පරිමාන වැඩපිළිවෙල ගැන මාධ්‍යයට කතා කරනු දක්නට ලැබුණි. ඔය කොයි වැඩ පිළිවෙලත් කටවල් ඇද හැර කතා කරන්න නම් අපූරු ය. දරන්න බැරිවෙන්නේ ප්‍රතිඵල එනකොට ය. ඒනිසාම අපට කළ හැක්කේ ඒකවත් සාර්ථක වී මේ සහල් හිඟය නම් උරචක්‍රමාලයෙන් ගැලවීමට පොදු ජනතාවට හැකිවේවායි ප්‍රාර්ථනා කිරීමට පමණි.

sunil Kannangara
(සටහන | සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...