The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'වපුලේ මකර දත්‍ ය - පල ලැබී ඇත්තේ හෝහපුටුවන් ය' - දින සීය ගැන චරිතගෙන් විග්‍රහයක්

T

The Leader Desk

January 18, 2025 • 7:10 AM

'වපුලේ මකර දත්‍ ය - පල ලැබී ඇත්තේ හෝහපුටුවන් ය' - දින සීය ගැන චරිතගෙන් විග්‍රහයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුවේ පැත්තෙන් කතාව කියන්නට සමහරුන් උත්සාහ කරන බව සැබෑය.
  • එහෙත් එය නොඇසෙන ගානට ආණ්ඩුවට විරුද්ධව මතුවන විවේචනය වර්ධනය වී ඇත.
  • මේ දිනවල සිදුවෙමින් පවතින තවත් සමහර වැදගත් සිදුවීම් කීපයක්ම තිබෙන බව සැබෑය.
  • ආණ්ඩුවට තමන්ට හරියට ‘‘මාකට්’’ කර ගැනීමට හැකියාවක් නැති බව පෙනෙන්නේ මම කියන මේ කතිකා අවකාශය පිළිබඳව අවධානයක් නොමැතිකම නිසාය.
අකුරු ප්‍රමාණය (Font Size):

ආණ්ඩුවේ පැත්තෙන් කතාව කියන්නට සමහරුන් උත්සාහ කරන බව සැබෑය. එහෙත් එය නොඇසෙන ගානට ආණ්ඩුවට විරුද්ධව මතුවන විවේචනය වර්ධනය වී ඇත.

මේ තත්වය තුළ මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ ආණ්ඩුවේ දින සීයේ ප්‍රගතිය පිළිබඳවය. මේ දිනවල සිදුවෙමින් පවතින තවත් සමහර වැදගත් සිදුවීම් කීපයක්ම තිබෙන බව සැබෑය. ජනාධිපතිවරයා මේ වන විට සිටින්නේ චීනයේ නිල සංචාරයකය. මේ ආණ්ඩුවේ ඉන්දු - චීන සම්බන්ධතාවල ස්වභාවය පිළිබඳව ද ලිවිය යුතුය. එහෙත් ඒ සියල්ල පසු දිනයකට කල් දමා, දින සීයේ ශේෂ පත්‍රය ගැන ලිවිය යුතුය.

ආණ්ඩුව හැදෙන කතිකා අවකාශය

ආණ්ඩුවේ දින සීයේ ප්‍රගතිය ගැන සාකච්ඡා කිරීමේදී ඉතාමත් වැදගත් වන කාරණයක් වන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත්වන කතිකා අවකාශය හෙවත් ‘‘ඩිස්කෝස්’’ (Discourse) එක පිළිබඳව අවධානය යොමු කිරීමය. ආණ්ඩුවට තමන්ට හරියට ‘‘මාකට්’’ කර ගැනීමට හැකියාවක් නැති බව පෙනෙන්නේ මම කියන මේ කතිකා අවකාශය පිළිබඳව අවධානයක් නොමැතිකම නිසාය.

මේ කාරණය පැහැදිලි කිරීමට පොඩි දාර්ශනික කාරණයක් ප්‍රකාශ කිරීම වැදගත්ය. සමකාලීන බටහිර යුරෝපීය දර්ශනයේ ඉතාමත් කේන්ද්‍රීය දාර්ශනිකයෙක් වන ජර්ගන් හබර්මාස් (Jurgen Habermas) විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධාන අදහසක් වන්නේ ‘‘යම් ස්ථාවරයක් හෝ ආස්ථානයක් හෝ නිවැරැදි යැයි ස්ථාපිත වන්නේ එම ස්ථාවරය හෝ ආස්ථානය යුක්ති සහගත කිරීමට ගොඩනැගෙන කතිකා අවකාශය (Discoursive Space) තුළ’’ බවයි. එපමණක් ද නොවේ.


එම කතිකා අවකාශය තුළ පිළිගනු ලබන විනිශ්ච (ඒවාට දාර්ශනික සංවාදයේදී කියන්නේ ප්‍රතීයමාන විනිශ්ච හෙවත් Mormative Judgments කියාය) නිර්මාණය වන්නේ එම සංවාද අවකාශයේ යෙදී සිටින අය විසින් නිර්මාණය කරගන්නා සන්නිවේදන තාර්කිකත්වය හෙවත් Communicative Rationality එක මතය.

කිවිදා දැක්ම වෙත තවදුරටත් වඩා බර හා තාක්ෂණික වචන කීපයක් යොදා ගත්තාට සමහර පාඨකයන් මනාප නැතුවා විය හැකිය. එහෙත් මා කියන කාරණය පැහැදිලි කරන්නට ඉහත සඳහන් කතිකා අවකාශ තර්කය ඉතාමත් ප්‍රයෝජනවත්ය.

දැන් වත්මන් ආණ්ඩුව අප ස්ථාපනය කළ යුත්තේ එය ගොඩනැංවීමට නිර්මාණය කළ කතිකා අවකාශය තුළය. එසේ නොමැතිව රාජපක්ෂ වික්‍රමසිංහ ආණ්ඩු කරපු - කියපු දේවල් සමග සංසන්දනය කිරීම තුළ නොවේ.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීම යනු මෙරට දේශපාලනයේ ඉතාමත් වෙනස් සිදුවීමක් බවද මෙහිදී සඳහන් කිරීම අවශ්‍යය. මා එසේ කියන්නේ ‘‘ජයවර්ධන, සේනානායක, බණ්ඩාරනායක, රාජපක්ෂ වික්‍රමසිංහ වැනි පවුල් දේශපාලන ධාරාවක් හරහා මේ ආණ්ඩුව පත්වුණේ නැත’’ යන සරල තේරුමෙන් නොවේ. ඒ කතාව ඇත්තය. මේ ආණ්ඩුව යනු සමාජයේ නිර්ප්‍රභූ දෙශපාලනයේ මතුවීමක් බව සැබෑවක්ය.

 

ඊටත් වඩා වැදගත් කාරණයක් වන්නේ මේ ආණ්ඩුව යනු ‘‘වෙනස් කතිකාවක් නිර්මාණය කරමින්, ඒ කතිකාව තුළ සාධාරණය සහ සත්‍ය පිළිබඳව තාර්කිකත්වයක් හා සාධාරණීයකරණයක් ගොඩනගා ගනිමින් හැදූ’’ ආණ්ඩුවක් ය යන එකය.


මේ ආණ්ඩුවේ ප්‍රගතිය මැනිය හැක්කේ ඊට පෙර තිබූ රාජපක්ෂ ආණ්ඩුවට හෝ වික්‍රමසිංහ ආණ්ඩුවට සාපේක්ෂව නොවන තැනට පත්වී ඇත්තේ මේ නිසාය.

මේ ආණ්ඩුව බලයට පත් කරන්නට එහි පාර්ශවකරුවන් විසින් ගොඩ නගන ලද සන්නිවේදන තාර්කිකත්වය (Communicative Rationality) තුළ රාජපක්ෂලා හෝ වික්‍රමසිංහලා හෝ යනු සදාචාර පැවැත්මක් තිබෙන දේවල් නොවේ. ඒ නිසා ඒ ආණ්ඩු (රාජපක්ෂ ආණ්ඩු/ වික්‍රමසිංහ ආණ්ඩු) යනු මේ කතිකා අවකාශයේ කිසිදු ‘‘හොඳක්’’ තිබෙන ඒවා නොවේ.

එවැනි ගොඩනැගීමක් තුළ ආණ්ඩුවේ අය පැමිණ ‘‘මේ දින සියය රනිල්ගේ හෝ මහින්දගේ දින සියයට වඩා හොඳයි’’ යැයි කීම කිසිදු තේරුමක් ඇති දෙයක් වන්නේ නැත. ඒ කතාවට වැඩියෙන්ම කිපෙන්නේ මාලිමාවට ඡන්දය දුන් ආණ්ඩුවේ හිතවතුන්ය. එසේ වන්නේ මා ඉහතින් කියූ දාර්ශනික පදනම නිසාය.

459369630 1099845034845058 9063984441880125902 n

මාලිමා පාක්ෂිකයන්ට අනුව තවදුරටත් රාජපක්ෂලා හෝ වික්‍රමසිංහලා හෝ ඒ අයගේ කතා විශ්වයේ වීරයෝ නොවේ. තමන්ම නිර්මාණය කළ සන්නිවේදන තාර්කිකත්වය හා කතිකා අවකාශය තුළ අනුර දිසානායක යනු එකම සහ ශක්තිමත්ම වීරයා බවට පත්කර හමාරය.


ඒ නිසා ‘‘අනුර රනිල්ට වඩා හොඳයි’’ වැනි තර්ක ඒ පාක්ෂිකයන්ට කිසිදු වටිනාකමක් නැත. එය හරියට සමාන වන්නේ ‘‘දෙවියන් වහන්සේ සාතන්ට වඩා හොඳයි’’ වැනි ප්‍රකාශයකටය. එවැනි ප්‍රකාශයකින් තමන්ගේ ශ්‍රාවකයන් අමනාපයට පත්වීම තේරුම් ගැනීමට අපහසු නැත.

ඒ නිසා මේ දින සියය සම්බන්ධව අගය කිරීමත්, ප්‍රගතිය මැනීමත් සිදුවන්නේ ඉහතින් සඳහන් කළ කතිකා අවකාශයට සාපේක්ෂව මිස එයින් හුදකලාව නොවේ. ආණ්ඩුවේ සමහරුන්ට තේරෙන්නේ නැති කාරණය වන්නේ ඒකය. ආණ්ඩුවේ රූපවාහිනී, පත්තර කරන්නට හදන්නේ පැරණි ආණ්ඩුවලට වඩා මේ දින සියය හොඳ බවයි. එහෙත් ඒ උත්සාහය සමාජයේ තබා තමන්ගේ පාක්ෂිකයන් අතරවත් කිසිදු ධනාත්මක අගයක් එකතු නොකරන්නේ ඉහත සඳහන් තත්වය තුළ බව මගේ අදහසය.

දින සීයේ ප්‍රගතිය

දැන් ඉහත විග්‍රහය සමගින් වත්මන් ආණ්ඩුවේ දින 100යේ ප්‍රගතිය සම්බන්ධව විමසා බැලීම අවශ්‍යයි. එසේ බලන විට පෙනී යන පළමු වන කාරණය වන්නේ තමන්ගේ දේශපාලන සංවාද අවකාශයේ ‘‘හදපු ආණ්ඩුව’’ සහ පාර්ලිමේන්තුව තුළ හා කැබිනට් මණ්ඩලය තුළ ‘‘හැදී ඇති ආණ්ඩුව’’ අතර තිබෙන්නේ අහසට - පොළව තරමේ වෙනසක් බවයි.

 

 

පැරණි සිංහල පාඨ ග්‍රන්ථයක මේ වගේ අවස්ථාවක් පෙන්නුම් කිරීමට යොදාගත් කදිම පාඨයක් මගේ මතකයට එයි. එහි කියවෙන්නේ ‘‘මා වපුළේ මකර දත්ය - පල ලැබී ඇත්තේ හෝහපුටුවන්ය’’ කියාය. මකරෙක් හදන්නට තැත් කළ නමුත්, හැදී ඇත්තේ හෝහපුටුවන් වැනි නොසලකා හැරිය හැකි තරමේ ජීවියෙක් බව මෙහි අදහසය. ‘‘කන්දක් විලි ලා මී පැටියෙක් වදනවා’’ කියා තවත් කියමනක් තිබෙන්නේත් මේ අදහසටමය.


ඒ නිසා දින සියයේ පසුවිපරමේ පළමු නිරීක්ෂණය වන්නේ කතා විශ්වයේ සිටි ආණ්ඩුව සහ පාර්ලිමේන්තුවේ පෙනෙන ආණ්ඩුව අතර විසඳිය නොහැකි පරස්පරයක් තිබෙන බවයි.

දෙවැනි වැදගත් නිරීක්ෂණය වන්නේ ආණ්ඩුවේ නායකයන් මේ බල මාරුව තේරුම් ගෙන ඇති ආකාරයේ ගැටලුවක් ඇති බවය. ආණ්ඩුවේ නායකයන් හදන්නේ වික්‍රමසිංහ පාලනය ඒ ආකාරයෙන්ම ආර්ථික ක්ෂේත්‍රය තුළ කරගෙන යන්නටය. රනිල්ගේ ආකෘතිය හරහා IMF එකඟතාව, ඉන්දීය ආර්ථික සම්බන්ධතා වැනි එහෙමම කරගෙන යාමය. වෙන විදියකට මේ ප්‍රශ්නය ඇසුවහොත් පසුගිය ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා දිනුවා නම් කරන ආකාරය සහ වත්මන් පාලනය කරගෙන යන ආකාරය අතර වෙනසක් තිබේද කියා ඇසිය හැකිය. එවැනි කිසිම වෙනසක් ආර්ථික ක්ෂේත්‍රයේ තවම පෙනෙන්නේ නැත.

 

ranil 2022.3.21 1රනිල්ගේ ආකෘතිය හරහා IMF එකඟතාව, ඉන්දීය ආර්ථික සම්බන්ධතා වැනි එහෙමම කරගෙන යාමය.

ඒ ප්‍රශ්නයම තවත් විදිහකට ඇසිය හැක. මාලිමාවේ මැතිවරණ ප්‍රකාශයේ සඳහන් වූ ආකාරයේ ‘‘අලුත්’’ සහ ‘‘වෙනස්’’ ආර්ථික උපායමාර්ග හඳුන්වා දෙන්නේ නැද්ද කියාය.

තුන්වෙනුව මේ දින 100යේ ප්‍රගතිය දෙස බැලිය යුත්තේ ‘‘ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය’’ තුළ තබාය. මාලිමාවේ කතා අවකාශය තුළ සමහරුන් තර්ක කළේ ‘‘විප්ලවයක්’’ පිළිබඳවය. තවත් සමහරුන් තර්ක කළේ ප්‍රතිසංස්කරණයක් පිළිබඳවය. (ශ්‍රමදානයක් ගැන කතා කළ අය මේ දෙකෙන් කුමක් හෝ හිතේ තබාගෙන එය කතා කරන්නට ඇත) විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ සිටින බුද්ධිමතුන් වශයෙන් නම් කෙරෙන අය බොහෝ විට කීවේ ‘‘ආර්ථිකයේ සහ දේශපාලනයේ බරපතළ ප්‍රතිසංස්කරණයක්’’ සිදු කරන බවයි.


සමහරුන් තමන්ගේ සමාජ මාධ්‍ය අවකාශවල පෙනී සිටියේ ‘‘රට ගලවා ගන්නා පෙරගමන්කරුවන්’’ වශයෙන්. ඒ අර්ථයෙන් සලකා බලන විට මේ දවස් 100 තුළ ඒ කියන ආර්ථික හෝ දේශපාලන ප්‍රතිසංස්කරණවල කිසිදු ආරම්භයක් පෙන්නුම් කළේ නැත.

මෙහිදී සඳහන් කළ යුතු කාරණයක් වන්නේ ජනාධිපතිවරයා ඔහුගේ වපසරිය තුළ යම් ආකාරයක හුදෙකලා උත්සාහයක් ගන්නා බවත් පෙනෙන බවය.  එහෙත් කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව යන ආයතනික ව්‍යුහ තුළ සිටින අය කවුරුවත් සමාජයේ පිළිගැනෙන ආකාරයේ මැදිහත්වීමක් කරන්නේ නැති බවය.

මේ තත්ත්වයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ආණ්ඩුවේ ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් තවමත් සිටින්නේ රාජ්‍යයට සහ ආණ්ඩුවට පිටස්තරයන් වශයෙන් වීමය. ‘‘හොඳ වාහනයක නොයන, සැප පහසු නිවසක නොවසන, දුක හිතෙන සුළු ජීවිතයක්’’ පෙන්නන්නට යනවා මිස රටේ රාජ්‍යයේ අලුත් ප්‍රතිසංස්කරණ සඳහා බර සාර මැදිහත්වීමක් ඒ අය නොකරන්නේ මේ ‘‘පිටස්තර’’ බව නිසාය.

Clean sri lanka 250113Cleaning sri Lanka ව්‍යාපෘති

තවත් පැත්තකින් ආණ්ඩුවේ ප්‍රමුඛතා ලැයිස්තුව තවම හඳුනාගෙන නැති ගානය. මුළු රටේ ආර්ථික ක්ෂේත්‍රයේ කිසිදු සාධනීය පියවරක් ගැනීම පසෙකලා Cleaning sri Lanka වැනි ව්‍යාපෘතිවලට මුළු රාජ්‍ය යාන්ත්‍රණයම මුසු කරන්නේ ඒ ප්‍රමුඛතා ලේඛනය නොමැති නිසාය.

ඒ අනුව මගේ තක්සේරුව වන්නේ පසුගිය දින සියය තුළ හා අනාගතයේ මේ රජය උත්සාහ කරනු ඇත්තේ තමන් බලය ලබා ගත් කතිකා අවකාශය තුළට ගමන් කරන්නට නොහැකියාවෙන් මතුකරන ස්වයං විසංවාදයට උත්තර දෙන්නටය. ඒ මහන්සිය නිසා කිසිදු ප්‍රතිසංස්කරණයකින් තොරව ඊළඟ දින 100, 200, 300 ගතවන්නට තිබෙන ඉඩ විශාල බවය.


charitha (සටහන | මහාචාර්ය චරිත හේරත්)
charith9@yahoo.com

 (ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත්, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ලෙසත් කටයුතු කළේය.)


(කිවිදා දැක්ම : ලංකාදීප- 2025 ජනවාරි මස 17)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'වපුලේ මකර දත්‍ ය - පල ලැබී ඇත්තේ හෝහපුටුවන් ය' - දින සීය ගැන චරිතගෙන් විග්‍රහයක් | The Leader