කොලම ලියන ආර තරමක් සැහැසි ය. ඒ එසේ වන්නේ බස සදොසින් ලියන්නාගේ තරාතිරම නොබලා එවැන්නන් වැජඹෙන වියත් සභා මැද ම නිරුවත් කිරීම නිසා ය. කොළඹ සරසවියේ සිංහල මහැදැරු සඳගෝමී කෝපරහේවා, 'බස් පාර කියන්නේ බසින් කෙරෙන පහරට' කියා' කීවේ, කොලමේ කතුවරයාගේ සමාජ මාධ්‍ය පෝස්ටුවකට විහිළු පෝස්ටුවක් දැමීමෙනි. කතුවරයා ද එකල සේවය කළේ කොළඹ සරසවියේ ම ය. එහෙත් එහි ඔහු උගැන්වූයේ ඉංග්‍රීසි බස ය. ඊට සමාන්තර ව ගනුශ්ක රන්දුල නම් වූ මේ යොවුනා හෙළ හවුලේ ක්‍රියාකාරි සාමාජිකයෙකු වූවා පමණක් නොව වරෙක එහි ලේකම්වරයා ද විය.

මෑත කාලයේ සමාජ මාධ්‍යය අඩවිවල දැක බලා ගන්නට නොහැකි වූ රන්දුල ගැන මගේ මතකය ඇවිස්සුණේ දැන් සති දෙකකට පමණ පෙර සිරි ලක පුරා පමණක් නොව ලකෙන් පිට වසන ඩයස්මීවරුන් ද එක හැටියට නැටු නාඩගමක් නිසා ය. මේ නාඩගම නැටීමෙන් පළවා හරින්නට උත්සාහ කළේ බස් දොස් පමණක් නොව ටුක් දොස් ය. මීට ශත වර්ෂ කීපයකට පෙර යුරෝපයේ හමා ගිය පුනරුද සුළඟ, පමා වී හෝ සිරිලකට ළඟා වූයේ පසුගිය අවුරුද්දේ අග භාගයේ ය. පුනරුද වියරණ අනුව, බස මෙන් ටුක ද පමණ ඉක්මවා සදොස් ලෙස වැහැරේ. මෙහිලා නිවරද වියරණ අනුව වැහැරෙන බස ලෙස අප පාදක කර ගත යුත්තේ, කලකට පෙර තිබූ ආලවට්ටම්වලින් තොර සරල ටකරන් ලංගම බස ද යන්න කෙනෙකුට තර්ක කළ හැක.
සමාජ මාධ්‍ය පෝස්ටුවක්
එහෙත් සිරිලක පුනරුදයේ සක්‍රීය පාර්ශවකරුවන් කොටසක වන ඩයස්මීවරුන් සමාජ මාධ්‍යයේ උඩුගත කරන ලද තමන් සිටින රටවල බස් පොටෝ පෙළින් ගම්‍ය කරන්නට උත්සාහ කළේ බටහිර දියුණු රටවල බස් වියරණ අපට කරඬුවක් සේ ඉහළින් ඔසවා තැන්පත් කරන්නට හැකි බෙන්ච්මාර්කයක් ලෙස ය. වෙලාවට එන - වෙලාවට යන, කොන්දොස්තර නැතුව වුණත් දොර සීරුවට ඇරෙන වැහෙන, වැරදිලාවක්වත් නලාව නාද නොකරන, සැරසිලි, තොරම්බල, හුටප්පර නොමැති සිරිමත් බස් ගැන පොටෝ සාක්කි සහිත ව ලාංකීය ඩයස්මි බලකාය අපට පෙන්වා දුන්නේ පුලුවන් නම් මේවා බලාගෙන හරි හැදියල්ලා යන ආදරණීය දේශප්‍රේමී අවවාදය ය.
ඒ අනුව, සතියක් දෙකක් පමණ දිවයිනේ සෑම හන්දියක ම, බස් දොස් හා තුක් දොස් විමසීමට ට්‍රැපික් පොලිස්බට පිරිස් යොමු කළ හ. පෙර සිරිතට අනුව ටකරන් වියරණයට හෝ ඩයස්මි පෙදෙසෙන් නැගෙන වියරණයට පරිබාහිර ව වහරන ලද සියලු ම අනවසර ඇලුමිනියම්, අනියම් නිකල්, ටෙඩි බෙයාර, බහු-නලා, බපල, ඩිස්කො බලුප්, ආදී සියල්ල විසන්දි කිරීම මේ බට පිරිසේ වගකීම විය. මේ බස් දොස් සඳහා නිසි වියරණය සැපයීමේ ජාතික කර්තව්‍යයට වෙසෙසින් අනුග්‍රහය දැක්වුවේ ලාංකික හා ලාංකික ඩයස්මි බුකි වැසියන් ය. දුටුගැමුණු රජ දවසට පසු ව, මේ සා එක් සේසත් වූ දැයක් අප දැක්කේ ම නැත.
මීට පෝය හත අටකට පෙර නිර්ප්‍රභූ ලෙස ඔසවා තැබූ, බස හා තුක පදවන රියැදුරු දනන් එක රැයින් පාදඩයන් ලෙස හංවඩු ගැසිණ. ඔවුන් වියරණ කෙළෙසා බස හා තුක වහරණ අයුරු දැක්වෙන සලරූ පට සමාජ මාධ්‍ය පුරා තිරගත විණ. අනවැසි සන්ධි, විසන්ධි කරන ට්‍රැපික් පොලිස් පිරිස් වෙත සමස්ත ජනතා උත්තමාචාරය පිදිණ. මෙයාකාරයෙන් බසෙහි සදොස් වියරණ නසා, මනා ලෙස සකසා, කාටත් නොදෙවැනි බසක් වහරන දැයක් ලෙස අප ඉදිරියට එන සේයාවක් හා මහත් බලාපොරොත්තුවක් සියලු දනන් අතර දැල්විණ.
එහෙත් නොසිතූ පරිදි මේ තත්ත්වය තරමක් අඩාල කරනට හේතු වූයේ දතට දතක් මෙන් බසට බසක් වන ආකාරයකිණි. යට කීවා මෙන් පෙර රජ දවස අප දැය එක් සේසත් කළේ දුටුගැමුණු රජ ය. ඒ මග ඔස්සේ යමින් සමකාලීන රජ දවස බස එක් සේසත් කළේ ගැමුණු කුමරෙක් ය. කටවහරේ ඔහු රජ වූයේ බස් ගැමුණු ලෙස ය. කුමන හෝ හේතුවකට බස් දොස් නැසීමේ ජාතික ක්‍රියාන්විතයට ගැමුණු කුමරු වැඩි මනාපයක් නොදැක් වී ය. කුමරු තවත් බස් සෙන්පතීන් පිරිසක සමඟ සටන් බිමට ඒමට කල්පනා කරන බව වටින් පිටින් ආරංචි විය. බස් දොස් නැසීම දිගට ම කළහොත්, තම බස පාරට බැස වීම නුදුරේ නවත්වන බව බස් කුමරු ඇතුළු සෙන්පති පිරිස බස් දොස් නසන ක්‍රියාන්විතයට දන්වා සිටිය හ. පෙර මෙන් නොව මෙවර, බස් දොස් නැසුමෙන් ඔද වැඩුණු ලක් වැසියෝ ගැමුණු කුමරු ඇතුළු බස් සෙන්පතිනට තමන්ගේ දැඩි විරෝධය හා අප්‍රසාදය පළ කළ හ. ඔවුන් සිතුවේ බස් කුමරු හා ඔහුගේ සෙන්පති පිරිස මේ සටනින් ඉඳුරා ම කම්බස් වේ යයි කියා ය.
එහෙත් ඉන් අනතුරු ව සිදු වූ දේ තවමත් කාටවත් පැහැදිලි නැත. සටනක් සිදුවුණේත් නැත. බලාපොරොත්තු වූ පරාජයක් ද නොවී ය. ජයක් ද නොවී ය. එහෙත් බස් දොස් නැසුමේ උදේ හවා හන්දියක් හන්දියක් ගානේ කෙරුණු ක්‍රියාකාරකම් අතුරුදහන් වී ගියේ ය. යම් හේතුවක් මත තරඟය කලින් නවත්වන්නට සිදුවුවහොත් භාවිතා කරන 'දක්වත-ලුවිස' ක්‍රමයට හෝ දිනුමක් පරාජයක් සටනේ දක්නට නොමැති විය. සමහරු කීවේ යම් ගෙවීමක් කිරීමෙන් සදොස් බස් හා සදොස් තුක් ඒ දොස් සහිතව ම පවත්වා ගත හැකි බව ය.
මේ පිළිවෙත එක්තරා ආකාරයකට ප්‍රකට දෙටු මහැදුරෙකු වූ සිරි ගුනසිංහ ඇතුළු පිරිසක් පනහ දශකයේ අවසාන භාගයේ බස අරභයා කළ කථන බස ලිඛිත බස ලෙස ලිහිල් කිරීම, නණ-ලළ වෙනස නොතකා මුර්ධජය බැහැර කිරීම, ආදී වියරණ හා අකුරු විනිසේ වෙනස්කම්වලට තරමක් සමාන ය. ඒ වෙනස්කම්වලින් එතෙක් බස සම්බන්ධයෙන් තිබුණු දැඩි වියරණ හා සකු බසට අනුව පරිණාමය වූ අකුරු විනිසේ පිළිවෙත් ලිහිල් විය. මේ ලිහිල බස වහරන්නන්ට ප්‍රමිතියක් සේ සලකන්නට හැකි ද කියා මම නොදනිමි. ඒ ලිහිල සදොස් ද නිදොස් ද කියා විමසීමට බස් දොස් කොලමේ කතුවරයා ඇමතීමට මා ගත් උත්සාහය ව්‍යර්ථ වූ අතර කනින් කොනින් මට ආරංචි වූයේ එතුමා පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා විදෙස් ගත වූ බවකි.

බස් දොස් ගැන වැඩිමනක් දන්නා කෙනෙකු මා හමුවන තෙක්, තාවකාලික පිළියමක් ලෙස, "අනු රූ සේ පියෝනන් - වහරනු සෙරෙන් සපයා" යී සිදත් සඟරාවේ කියැවෙන ලෙස, "උගතුන්ගේ යෙදීම් අනුව, ව්‍යවහාරය ඇසුරෙන් සපයන්න" ගුරු කොට ගෙන බස් දොස් නැසුමේ සෙනික මෝචනාත්මක අවසානය මා තේරුම් ගැනීමට උත්සාහ කරමි.
(සටහන | ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
udanfer2014@gmail.com
(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )



