The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : නිර්ධනයන්ගේ මැසිවිලි

T

The Leader Desk

January 19, 2025 • 7:30 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : නිර්ධනයන්ගේ මැසිවිලි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය මැතිවරණ දෙකේදීම ඔහු මාලිමාවේය.
  • දෙදාහේ ‘මාලිමා බෝතලය’ ඉක්මන් නොකළොත් වතුකරයේ ඡන්ද ද නැතිවනු ඇත.
  • ඔවුන්ගේ දවසේ පඩිය දෙදාහ වන විට, බාගේ දාහ වනු ඇත.
  • ‘ඇති හිටියා’ වර්ගයේ කෂියා ඊට ලාභය.
අකුරු ප්‍රමාණය (Font Size):

පසුගිය මැතිවරණ දෙකේදීම ඔහු මාලිමාවේය.

මෑතකදී මම ඔහු හමුවන විට මුහුණ වැලි ලොරියකට යට වූ දෙල් ගෙඩියක් වගේය.

“සල්මන් අයියා, මොකද අප්සෙට් එකෙන් වගේ?” මම ඇසුවෙමි.

“අප්සෙට් නැද්ද බොස්, හැම ආණ්ඩුවක්ම ආපු ගමන්ම ගහන්නෙ නිර්ධන පන්තියටමනෙ.”

“මොකක්ද දැන් වෙලා තියෙන්නෙ?”

 

ශ්‍රී ලාංකික මධ්‍යම පන්තිය - ඇසට නොපෙනෙන යෝධයා (පළමු කොටස - 1)


“මං හිතුවෙ මේක අපි පත්කර ගත්තු අපේ ආණ්ඩුවක් කියලා. උනුත් කෙළියෙ නිර්ධන පන්තියටමනෙ.”

“මට පැහැදිලි නෑ සල්මන් අයියා.”

“බලන්ඩකෝ බොසා, සියයට හයකින් උස්සලනෙ.”

“මොනවද?”

“අරක්කු”

“අරක්කුවලට නිර්ධන පන්තියෙ සම්බන්ධය මොකක්ද?”

“බොසා බබා වෙන්ඩ එපා. ඒක නිර්ධන පන්තිකයාගෙ පානයනෙ. නැතුව අපි ඔහෙල වගේ විස්කි, බ්‍රැන්ඩි බොන්ඩයැ.”

 

සුරාබදු ආදායම අඩුවෙයි : රටපුරා 'හොර මත්පැන්' වැඩිවෙලා
සල්මන් කුඩාවට නමා තිබූ කමිස අත ඉහළට ඔසවා (පච්චය පෙනෙන සේ) මා දෙස රවා බැලුවේය.

“නිකරගුවාවට අත නොතබනු, කියුබාවට අත නොතබනු” යනුවෙන් රතු අකුරින් ලියූ ඩිමයි පෝස්ටර් රට පුරා ඇලෙව්වේද සල්මන් අයියලාමය. දැන් “නිර්ධන පන්තික බෝතලයට අත නොතබනු” යැයි පෝස්ටර් ඇලවීමටද ඉඩ තිබේ.

දෙදාහේ ‘මාලිමා බෝතලය’ ඉක්මන් නොකළොත් වතුකරයේ ඡන්ද ද නැතිවනු ඇත. ඔවුන්ගේ දවසේ පඩිය දෙදාහ වන විට, බාගේ දාහ වනු ඇත. ‘ඇති හිටියා’ වර්ගයේ කෂියා ඊට ලාභය. එහෙත් රෝහලට හෝ කනත්තට යාමද වඩා ඉක්මන්ය.

මට මේ ළඟදි මාලිමාවට වැඩ නොකළත් ඒ කෙරෙහි සානුකම්පිත දෘෂ්ටියකින් බලා සිටි මාධ්‍යවේදී මිත්‍රයකු මුණගැසිණි.

“මොකද දැන් ආණ්ඩුවෙ තත්වෙ?” මම ඇසුවෙමි.

balagrir
“ආණ්ඩුව ගැන කතා කරන එක මම අවුරුදු දෙක තුනකට කල් දැම්මා.”

“ඒ මොකද?”

“මේගොල්ලන්ගෙ වැඩත් සේරම කල් දානවනෙ. ලයිට් බිල අඩු කිරීම අවුරුදු තුනකින්ලු. හාල් ප්‍රශ්නෙටත් කල් ඕනලු. හොරු අල්ලන එකත් පොලිසියට බාර දීලලු. ලාබ බෝතලෙත් තාම නෑ. හැම එකම කල් දාලා.”

කෝටි 900ක් වංචා කළ මූල්‍ය හිමිකරු 'මිසින්' !

 

“ඒ වුණාට කරන්ඩ යන වැඩපිළිවෙළ නරක නෑ නේද? කොමිස්, වංචා, දූෂණ හෙම වෙන්නෙ නෑනෙ?”

“ඒවත් කල් දාලද දන්නෙ නෑ.” මිතුරා උපහාසයෙන් සිනාසුණේය.

දුම්රිය ස්ථානයේදී හමුවූ කෙනකුගෙන් මම මෙසේ ඇසුවෙමි.

“මොකද දැන් රටේ තත්වෙ? ආණ්ඩුව ගැන මොකද හිතන්නෙ?”

“බලාගෙන ඉන්ඩ තමයි වෙලා තියෙන්නෙ.”

“ඇයි එහෙම කියන්නෙ?”

“පොඩි මිනිහට දැනෙන කිසිම දෙයක් කරන්නෙ නෑනෙ.”

 

අධිෂ්ඨානයෙන් එක් වී ජයගත යුතු clean srilanka | ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ  විසිනි

“ඇයි එහෙම කියන්නෙ. ඉස්සෙල්ලා රටේ දියුණුවට අවශ්‍ය පසුබිම හදල ඉන්න එපායැ. දැන් බලන්ඩ සංචාරක ව්‍යාපාරය නැගල යනවා. ලෝකයේ විදේශ ගමන් දර්ශකයේ ලංකාව 96 වැනි ස්ථානයට ඇවිල්ල. ක්ලීන් ශ්‍රී ලංකා වැඩෙත් නැගල යනවා. තානාපති සේවයත් සුද්ද කරල ගන්නවා.”

මම තව තවත් දේවල් ටිකක් කියාගෙන ගියෙමි.

“ඕවා පොඩි මිනිහට දැනෙන්නෙත් නෑ. තේරෙන්නෙත් නෑ. අපි බලන් හිටියෙ පට් පට් ගාලා බඩු මිල අඩු කරයි කියලා. බස්වල, ත්‍රීවිල්වල අමතර කෑලි ගලවල හරියනවයැ. ඒවා පස්සෙ කරන්ඩ පුළුවන්නෙ. මේ කට්ටිය වැරදි කොණකින්නෙ පටන් අරන් තියෙන්නෙ.”

දුම්රිය මගියා ද දිගටම කියාගෙන ගියේය.

බස්වල කෑලි ගැලවීම ගැන මරු කෑල්ලක් පසුගියදා සමාජ මාධ්‍ය තුළ වයිරල් වී ගියේය. එය නුදුටු අයට රසවිඳීම පිණිස මෙසේ ලියා තබමි. බස් රියැදුරෙක් මෙසේ කියයි.

“මම අමතර කෑලි සේරම අයින් කෙරුවා. දැන් ඉන්නෙ වයිෆ් විතරයි.”

jkScreenshot 2025 01 19 at 12.46.08 copy
බ්‍රිතාන්‍යයේ විසූ ජෝර්ජ් ත්‍රැයිෂැන්ක් (1792 – 1878) ලෝකයේ මුල්ම දේශපාලන කාටූන්කාරයකු ලෙස සැලකේ. 1829 දී ඔහු පළ කළ කාටූනයක දැක්වෙන්නේ ප්‍රංශයේ XVIII වැනි ලුවී රජු නැපෝලියන්ගේ පාවහන් කුට්ටමක් පැළඳීමට ගන්නා උත්සාහයකි. ඔහු පාවහන් කකුලට දැමීමට වෙර ගනිද්දී හිසේ තිබෙන කිරුළ බිම වැටෙන්නට යයි.

මෙය හත්පරණ කාටූනයක් වුවත් ඉන් ගත හැකි ආදර්ශය නම් තවමත් වලංගුය. අනුන්ගේ සපත්තු දමා ගැනීමට පෙර තම හිස (ඔටුන්න) බේරාගත යුතුය. චර්චිල්ගේ තොප්පිය දමාගත් පලියට චර්චිල් වෙන්නෙ නැත.

 

F Image George Cruikshank the Caricature Artist and Humorist
හිටපු ජනාධිපතිතුමාගේ වැල් පාලම් කතාව දැන් කාටත් අමතකය. එහෙත් අලුත් කට්ටියත් තවම වැල් පාලමකය. විපක්ෂ සෙට් එක දෙපැත්තේ සිට පාලම සොලවති.

විධායක ජනාධිපති ධුරය අයින් කිරීමත් ඡන්ද පොරොන්දුවකි. දැන් එයත් කාටත් අමතකය. කෙඳිරිගානු ඇතැයි සිතූ උදවිය ද තාම සැපෙනි. වෙනදා මෙන්ම පොදු ජනතාවට නම් තවමත් කෙඳිරි ගෑවෙයි.

සමහර විට ව්‍යවස්ථාව වෙනස් කළ විට පොහොසත් සැපවත් රාජ්‍ය උදාවනු ඇත. ඊට තව වසර පහක්ම ගත නොවේවායි පතමු.

(ප.ලි. ඒ කෙසේ වෙතත් මෙවර මැයි දිනයේදී මා ගමන් කරන්නේ කාදිනල්තුමාගේ බැනරය යටය.)

කපිල කුමාර කාලිංගගේ හීසරය : ඉස්සන් මගුරන් ලොකු වැලිගොව්වන්(සටහන | කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com


(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...