The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වික්ටර් අයිවන් : මගේ මතක | සුනන්ද දේශප්‍රිය.

T

The Leader Desk

January 20, 2025 • 5:15 AM

වික්ටර් අයිවන් : මගේ මතක | සුනන්ද දේශප්‍රිය.

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සූදු කෙට්ටු සහෝදරයකු ගාලු දිස්ත්‍රික් කමිටුවට පළමු වතාවට පැමිණ සිටියේය.
  • හිතේ කෙටුන තරුණයා ඒ රැස්වීම ගැන මගේ මතකයේ කෙටී ඇති ප්‍රධාන සිදුවීම ඒ සුදු කෙට්ටු තරුණයා ය.
  • ඔහු පසුව පොඩි අතුල බවට පත් වික්ටර් අයිවන් ය.
  • ඔහු සිය දකුණු අත උළුක් කරමින් ව්‍යාපාරය වේගයෙන් කටයුතු කළ යුතු බවට උද්වේගකර තියුණූ අදහස් දැක්වීමක් කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
සූදු කෙට්ටු සහෝදරයකු ගාලු දිස්ත්‍රික් කමිටුවට පළමු වතාවට පැමිණ සිටියේය.


1969 දවසක ජනතා විමුක්ති පෙරමුණෙහි එම ගාල්ල දිස්ත්‍රික් කමිටු රැස්වීම පැවතියේ, මට මතක හැටියට බටපොල අතුලගේ ගෙදර ය. එය මෙහෙය වූයේ ජවිපෙ දෙවැනි නායකයා වූ විජේසේන ජී විතාන නොහොත් සනත් බොරළුකැටිය යි.

මා ඒ වන විට උසස්පෙළ පන්තියේ සිටිමින් පංති පැවැත්වීම අරඹා තිබුණි.

හිතේ කෙටුන තරුණයා

ඒ රැස්වීම ගැන මගේ මතකයේ කෙටී ඇති ප්‍රධාන සිදුවීම ඒ සුදු කෙට්ටු තරුණයා ය. ඔහු පසුව පොඩි අතුල බවට පත් වික්ටර් අයිවන් ය. ඔහු ගාල්ල ප්‍රදේශයේ අපේ පූර්ණකාලීනයා විය.

 

13 ක්‍රියාත්මක කිරීමේදී අලුත් ඇහැකින් බලමු - වික්ටර් අයිවන්

ඔහු සිය දකුණු අත උළුක් කරමින් ව්‍යාපාරය වේගයෙන් කටයුතු කළ යුතු බවට උද්වේගකර තියුණූ අදහස් දැක්වීමක් කළේ ය.

වික්ටර්ගේ කතා විලාශයෙහි ද දේශපාලන මැදිහත්වීම්හි ද සංකේතාත්මක ලකුණ වූයේ එයයි. එනම් ඉක්මන්, අධිශ්ඨාන සහගත, උද්වේගකර සහ නිගමනාත්කම බවයි.

එදා රැස්වීමෙහි දී වික්ටර්ගේ දෑතම යහතින් තිබුණි. මා ඉන්  කලකට පසු ඔහු හමුවන විට ඔහුගේ දකුණූ අත වැලමිටට පහළින් වෙන්ව ගොස් වම් අතෙහි ඇඟිලි  විකෘති වී තිබුණි.

වික්ටර්, පොඩි අතුල ලෙස කොළඹට

ව්‍යාපාරයේ කොළඹ වෘත්තීය (කම්කරු) අංශය  බාර ගැනීමට ගාල්ල හැර දා පැමිණි වික්ටර්, පොඩි අතුල බවට පත් විය. 

වෘත්තීය අංශයේ වැඩ කරන අතරම බෝම්බ නිෂ්පාදනයට අවශ්‍ය පොටෑෂ් (පොටෑසියම්) සහ මනෝසීල (නයිට්‍රජන්) පිටකොටුව පාතාලයෙන් මිල දී ගැනීම බාරව සිටියේ ද වික්ටර් ය. ඔහු බැරල් පිටින් එම “වෙඩි බෙහෙත්” මිල දී ගැනීමට මඟ පාදා ගත්තේ ය.

බෝම්බ සෑදීමේ ගුරුහරුකම් අප ලබා ගත්තේ විද්‍යාඥයින්ගෙන් නොව කොළඹ වනාතේ ගණංකාර කණ්ඩායම් වෙතිනි. 

එකල සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් තිබුණේ නැත. මැතිවරණවල දී පාවිච්චි කිරීමට මෙම අත්දැකීම සමසමාජ කොමියුනිස්ට් පක්ෂ ලබා ගත්තේ ද එලෙසයි.

දෙඅත නැති කළ තත්පර 3 සේව නූල

 

image 85ff43e03e
එලෙස සෑදු බෝම්බ අත්හදා බැලීමක දී වික්ටර්ට බෝම්බයට ගිනි අවුලවන සේව නූල හැකි තරම් කෙටි කිරීමට අවශ්‍ය වූයේ වහාම පුපුරා යන පරිදි අත් බෝම්බ එකලස් කිරිමට ය.

ඔහු තත්පර 03 ක දී පිපිරෙන ලෙස සේව නූල තබා, එයට ගිනි අවුලුවා බෝම්බය විසි කිරීමට පෙර එය පුපරා ගියේ ය. ඔහුට ජීවත්වීමට වාසනාව තිබූ නමුත් දෙ අතම නැති විය.

වික්ටර් තුළ වූ ඉක්මන් උද්යෝගය ඔහුට මාරකයක් බවට පැමුණුනි.

පෙට්රොල් මැක්ස් ලාම්පුවක් පුපුරා තුවාල වී යැයි රජයේ රෝහලට ඇතුළත් කළ ඔහු, හෙළිදරව්වීමට පෙර රහසිගතව රෝහලින් එළියට ගත්තේ ලොකු අතුලගේ ප්‍රධානත්වයෙනි.

දකුණු අත වැලමියටට පහලින බිදී ගොස් වම් අතෙහි ඇඟිලි වක්වීම වික්ටර්ගේ අධිෂ්ඨානය බිද දැමීමට අසමත් විය.

වක් වූ වමතේ ඇඟිලි වික්‍රමය

වම් අතෙහි වක් වූ ඇඟිලි අතර බෝල් පොයින්ට් පෑන රුවා එය කට ළගට ගෙන එහි ආවරණය ගලවා වම් අතින් ලිවීමට හුරුවීමට වික්ටර්ගේ අධිශ්ඨානය සහ උද්යෝගය බලවත් විය.

71 අරගලය ආසන්නයේ ව්‍යාපාරය තුළ  ඇති වූ බෙදීමෙහි දී වික්ටර්, විජේවීරගේ විශ්වාසවන්තයකු විය. ඒ කොතෙක් ද යත් කොළඹ අවට ගබඩා කර තිබූ සියලු පුපුරණ ද්‍රව්‍ය සහ අවි ආයුධ තමන්ට විශ්වාසී නිවෙස් කරා මාරු කිරීමට විජේවීර, විශ්වාසය තැබුවේ වික්ටර් කෙරෙහි ය.

1971 අප්‍රේල් නැගිටීම සහ වත්මන් දේශපාලන යථාර්ථයන් පිළිබඳ ආවර්ජනා - (ආචාර්ය  ලයනල් බෝපගේ)
විජේවීර වෙනුවෙන් ආයුධ ඉස්සීම

මේ පුපුරණ ද්‍රව්‍ය සහ අවි ආයුධ තිබුණේ පොඩි අතුල සහ ලොකු අතුල යන දෙදෙනා බාරයේ ය. 

එම අවි ආයුධ වෙනත් තැන් වලට මාරු කිරීමට විජේවීරට අවශ්‍ය වූයේ ලොකු අතුල ව්‍යාපාරයේ බෙදීමෙහි දී විජේවීර විවේචනය කරමින් සිටි නිසා ය. 

වික්ටර් එක් රැයක් තුළ ලොකු අතුලට කිසිදු පියවරක් ගැනීමට ඉඩ නොතබා සියලු පුපුරණ දුව්‍ය සහ අවි ආයුධ ඉස්සුවේ ය.

වික්ටර් සෑම විටම වාගේ තමන්ගේ මතය නිරපේක්ෂක ලෙස නිවරද යැයි කල්පනා කළේය. “මම හිතන විදිහට”  යන පද වෙනුවට ඔහු “මා කියන විදිහට” යන්න විශ්වාස කළ අයකු විය.

1971ට පෙර ජනතා විමුක්ති පෙරමුණ තුළ සිරස් සබඳතා මිස හරස් සබඳතාවයන්ට ඉඩක් නොතිබුණි. 

 

ජ.වි.පෙ. සැමවිටම නිර්දෝෂී වූයේ ද? 71 කැරැල්ලට 52 යි - (මහිම සුජීව ගමගේ)
වික්ටර් සමඟ 1971ට පෙර මගේ සබඳතා සහ අත්දැකීම් දුලබ වන්නේ එනිසා ය. 

ඔහු සමඟ කොළඹ වෘත්තීය අංශයේ කටයුතු කළ ප්‍රධානීන් බොහෝ දෙනෙක් දැන් ජීවතුන් අතර නැත.

කැරැල්ලට පෙර අත්අඩංගුවට

71 අප්‍රෙල් 02 දා වික්ටර් අත්අඩංගුවට පත් විය. දස වද දෙන ලද නමුත් ඔහු ව්‍යාපාරයේ කිසිවකු පාවා දුන්නේ නැත.

අප්‍රේල් මහ නඩුවෙහි මා පස් වැනි විත්තිකරු වන විට වික්ටර් හත් වැනි විත්තිකරු වූ අතර, හය වැනි විත්තිකරු වූයේ ලොකු අතුල ය.

වීරවිල සිර කඳවුරෙහි සිට මා වැලිකඩ ජී වාට්ටුවට ගෙනවිත් දැමූයේ මහ නඩුවෙහි විත්තිකරුවකු බවට නම් කිරීමෙන් පසු ය. 

ඒ වන විටත් ජී වාට්ටුවෙහි දෙවන මහළේ වම් අත පැත්තේ කෙළවරේ සිර මැදිරිය ඔහුට උරුම වී තිබුණි. 

දෙවසරක් පුරා අප එම සිර මැදිරියෙහි විවිධ සංවාදයන්හි යෙදුණෙමු.

වක් වූ ඇඟීලි තුල රැවාගත් බෙලෙක් පිඟාන

අපි රටක් හැටියට ඉන්නේ මහා ගිනි කන්දක් උඩ'' - වික්ටර් අයිවන් (වීඩියෝ)
ඔහු කෑම කෑවේ හැන්දෙනි. අතින් කෑමට තරම් ඔහුට ඇඟිලි  නම්‍යශීලී නොවීය. 

එනමුත් පෝලිමේ ගොස් වක් වූ ඇඟිලි අතර රුවා ගත් බෙලෙක් පිඟානට කෑම ගැනීමට ඔහු පුරුදු වී තිබුණි.

මා 1972 මුල් මාසයක දී වැලිකඩ ජී වාට්ටුවට එන විටත් වික්ටර් රටෙහි සිටි ප්‍රගතිශීලී පුද්ගලයින් වෙත අප්‍රේල් කැරැල්ල සහ අත්අඩංගුවට ගත් තරුණ ජනයා සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන දුසිම් ගණන් ලිපි යැවීමට ජාලයක් සකස් කර ගෙන තිබුණි. 

දෑත් අහිමිවීම වාසියකට ගත් වික්ටර් සිය කාලය සම්පූර්ණයෙන්ම වාගේ ගත කළේ ලිවීමට සහ කියවීමට ය.

කොල්බෘක්ස් ගැහිල්ල

ලිවීම අතරතුර වික්ටර් ඇති තරම් කොල්බෘක්ස් ගැසුවේ ය. 

කොල්බෘක්ස් යැයි අප කීවේ හතරැස්  පත්තර කඩදාසි කැබැල්ලක් මත තබන ලද හීනියට ලියන ලද රතු සුරුට්ටු දුම්කොල රෝල් කර සාදා ගන්නා ලද බීඩි හා සමාන සිගරට් වලට ය. සිගරට් වලට වඩා එය ලාභදායක විය.  

ඔහුට එලෙස කෝල්බෘක්ස් ඔතා දුන්නේ මහ නඩුවේ තවත් විත්තිකරුවකු වූ විජේපාලය. ඔහු ගෙඩි බෝම්බ නමින් අප නිෂ්පාදනය කළ චීනට්චට්ටි බෝම්බ කවර කර්මාන්ත ශාලාවේ පූර්ණකාලීනයකු විය. ඔහුගේ ප්‍රධානියා වූයේ වික්ටර් ය.

පසුකලෙක දුම්බීම ඔහුගේ මාරයකු බවට පත් වූයේ ජනමාධ්‍යවේදයේ අනිටු විපාකයක් වක මධ්‍යසාර ද සමඟිනි.

71 කැරැල්ල – ස්වයං විවේචනාක්මක බැලීමක් කරා

 

1971 කැරැල්ල සම්බන්ධයෙන් මා ඇතුළු ව්‍යාපාරයේ ප්‍රධානීන් විදුදය සිරකඳවුරෙහි දී එළඹි ස්වයං විවේචනාත්මක අදහස්වලට සමාන්තර අදහස් කරා වික්ටර් ද පැමිණ තිබුණි. අප අතර සමීප සබඳතාවක් ඒ මගින් ගොඩ නැගුණි.

විජේවීර, අප සමඟ එකඟ වූයේ නැත. 

කෙලී සේනානයක, ලයනල් බෝපගේ සහ ජයදේව උයන්ගොඩ විජේවීරගේ අනුගාමිකයින් ලෙස දිගටම රැදී සිටියහ. ඔව්හු නීතිමය රැකවරණය පිණිස සත්‍ය වසං කළ යුතු බවට තීරණය කළහ. 

අවසානයේ දී එය නීතිමය රැකවරණයක් නොවී 71 කැරැල්ල පිළිබඳ ව්‍යාජ දේශපාලන ස්ථාවරයක් බවට පත් විය.

ලොකු අතුල ප්‍රමුඛ කණ්ඩායමක් පුද්ගල නිදහස පිණිස රජයේ සාක්ෂිකරුවන් බවට පත් වූහ. එමගින් ඔවුහු අනෙක් විත්තිකරුවන් සිරගත කිරීම පිණිස රාජ්‍ය අතකොළු බවට පත් විය. එලෙස රජයේ සාක්ෂිකරුවන් වූ හතර දෙනා දැන් මිය ගොසිනි.

මහ නඩුවේ වරණවත් චරිතය

වික්ටර් සහ මම අප්‍රේල් අරගලය දෙස ස්වයං විවේචනාත්මකව බැලිය යුතු බවත්, නීතිමය රැකවරණය ලබා ගැනීම පිණිස අරගලය පිළිබඳ සත්‍ය වසං නොකළ යුතු බවත් නිගමනය කළෙමු. මහ නඩුවෙහි දී අප කටයුතු කළේ එකම ස්ථාවරයක් ඇතිවය.

මහ නඩුවෙහි සැකකරුවන් වූ පියසිරි කුලරත්න සහ ආනන්ද පෙරේරා ද එම ස්ථාවරයම ගත්හ.

 

සජීත්-ගෝඨා තරඟයෙන් සජීත්ට පහසු ජයක්'' -වික්ටර් අයිවන් (VIDEO)

වික්ටර් 71 අරගලය දෙස ස්වයං විවේචනාත්මක ලෙස බැලිය යුතු බවට ප්‍රබල මතයක් මහ නටුව තුළ දැරැවේය. 

1971 මහ නඩුව විභාග කළ අපරාධ විනිශ්චය කොමිෂන් සභාවේ තීන්දුවෙහි වික්ටර් හදුන්වා දෙන ලද්දේ  “විත්තිකරුවන් අතර වර්ණවක්ම චරිතය” ලෙසය. ඔහු නඩු විභාගය තුළ එතරම් කැපී පෙනුණි.

වික්ටර්ට පස් වසරක සිර දඬුවමක් නියම වූ අතර ඔහු ඉක්මනින්ම නිදහස් විය.

වික්ටර් 71 අරගලය මෙරට පවත්නා කුල පීඩනයේ ප්‍රකාශනයක් ලෙස නිගමනයක් ඉදිරිපත් කළේය. එය ආශික සාධකයක් පමණක් විය. ඉක්මන් නිගමන උද්වේගයෙන් ඉදිරිපත් කිරීම මා දුටු මුල් දවසේ සිටම වික්ටර්ගේ ලක්ෂනයක් විය.

රාවය සහ වාරණය නොවූ මගේ තීරු ලිපිය

වික්ටර් සර්වෝදය සමඟ එක්ව “රාවය” සඟරාව ආරම්භ කරන බව කීමට මා එකල සේවය කළ මර්ජ් ආයතනයට පැමිණයේය. “හැම අදහසකට ම ඉඩ තියෙනවා. ලියන්න” ඔහු කීවේය.

වික්ටර් රාවය කර්තෘ ධුරයෙන් ඉවත්ම යන තුරු 2001 සිට මම සතිපතා රාවයට ලිවීමි. වික්ටර්ගේ මතවාද විවේචනය කරමින් ද ලිවීමි. අප දේශපාලන වශයෙන් වෙනත් මාවත් ගනිමින් තිබිය දී පවා, එදා වික්ටර් කී ඒ වචන කිසිවිට වෙනස් නොවීය.

 

victor ivan
රාවය සඟරාව ආරම්භ කිරීමට පෙරම “අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?” මැයෙන් මහනුවර මුද්‍රණය වූ “විමසුම” සඟරාවෙහි අප දෙදෙනා අතර විවාදයක් ඇතිව තිබුණි. ඒ වික්ටර් ජාතික චින්තන මතවාදී ධාරාව කෙරෙහි ඇදී යමින් තිබූ කාලයයි. අප එකග නොවීමට එකඟ වූ බොහෝ අදහස් තිබුණි.


සමසමාජ පක්ෂයෙන් ගාල්ල ආසනයට තරඟ කර පරාජය වීමෙන් පසු වික්ටර් කලක් ගුණදාස අමරසේකරවාදියෙක් බවට පත් විය. ඔහු හමුවීමට ගිය අවස්ථාවක දී, ගාල්ල ආසනය ජය ගැනීමට හැකියාවක් ඇතයි ඔහු මා සමඟ කීවේ, පැරණි උද්යෝගකර තරුණයා සිහිපත් කරමිනි.

වික්ටර් “රාවය” සඟරාව දියත් කළ අතරවාරයේ මම වින්සන්ට් කුරුඹාපිටිය සංස්කරණය කළ “ විවරණ” සඟරාවේ ප්‍රධාන ලේඛකයකු වීමි. කුරුඹාපිටිය ද 71 ලාබාල කැරලිකරුවකු විය. ඔහු අකල්හි මිය ගියේය.

 

වික්ටර් අයිවන් : රාවයේ 'අමුතු' භූමිකාව - (උදන් ප්‍රනාන්දු)

පසුව වික්ටර් “රාවය” මෙරට අංක එකේ විවේචනාත්මක පුවත්පත් බවට වර්ධනය කළේ ය. මම,  ජනවාර්ගික සමානාත්මතාවය සහ මානව හිමිකම් වාර්තාකරණය ප්‍රමුඛ කර ගත් “යුක්තිය” පුවත්පත දියත් කළෙමි.

අප එලෙස උරුම කර ගත්තේ එහි දීප්තිමත් යුගයේ “ඇත්ත” පුවත් පත ගෙන ගිය සම්ප්‍රදායයි. මෙරට විකල්ප පුවත්පත් කලාවේ පුරෝගාමීන් වූයේ අප නොව “ඇත්ත” පත්තරයෙහි කතුවරුන් වූ බි.ඒ. සිරිවර්ධන, එස්.ජී.එස්. රත්නවීර සහ සුරත් අම්බලන්ගොඩගේය.

වික්ටර් සහ මම කිසිවිටෙක තරඟකරුවන් නොවීමු. දීර්ඝ කාලයක් පුරා එකම අරමුණක සටන් සගයන් වීමු. එකිනෙකාට ඇහුම්කම් දීමට විභවයක් තිබු අපි සමාන්තර ගමන් මාර්ග දෙකක ගමන් කළෙමු.

 

LAnka 6
2001 හෝ 2002 වසරෙහි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයෙහි විධායක අධ්‍යක්ෂක ධුරය බාර ගන්නා ලෙස මට ඇරයුමක් ලැබුණි. මම වික්ටර්ගෙන් ද ඒ ගැන ඇසීමි. “බාර ගන්න. වෙනසක් කරන්න” යැයි ඔහුගේ වචන විය.

ඉන්පසු පුවත්පත් ආයතනයට ආධාර දුන් රටවල තානාපති අංශ සමඟ ද පැවති සාකච්ජාවකින් පසු මගේ සාධනීය තීරණය ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයට දැන්වීමි. ඔවුහු එක් කොන්දේසියක් ඉදිරිපත් කළහ. එනම් මා “රාවය”ට ලියමින් සිටි තීරු ලිපිය නතර කළ යුතු බවයි.

මම වික්ටර්ට කතා කොට ඒ බව කීවෙමි. “ලිවීමේ අයිතියට සීමා කරනවා නම් නිදහස් මාධ්‍ය ප්‍රධානියෙක් වන ඔයා තනතුර නොගන්න එක තමයි හොඳ” යැයි වික්ටර් ගත්කටටම කීය. එම තනතුරේ වැටුප මා ලබමින් සිටි වැටුප මෙන් තුන් ගුණයක් විය. වගකීම ද විසල් විය. මම පුවත්පත් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රධානී සිංහ රත්නතුංගට කතා කර මා තනතුර බාර නොගන්නා බව දැන්වීමි.

ඒ ගස් ගල් කැඩීමට තරම්  දිරියක් තිබූ අපේ හොඳම කාලයයි. අප ලෝකය වෙනස් කරන්නට දෙවන හෝ තෙවන ජීවිත ගෙවමින් සිටි අපූරු ආශ්වාදජනක කාලයයි.

පසු කලෙක වික්ටර් රජුන් තැනීමේ භූමිකාව කරා ඇදී ගිය අතර මම මානව හිමිකම්, මාධ්‍ය නිදහස සහ යුද විරෝධී මාධ්‍ය භූමිකාව තෝරා ගත්තෙමි.

වික්ටර් මාධ්‍යවේදියකු සහ කතුවරයෙකු ලෙස “රාවය” මගින් පෑ පෙළහර සුවිශේෂිය. ඔහු යුගයක සංකේතයකි.

 

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වේ

වික්ටර්ගේ පසුකාලීන දේශපාලනය ගැන අප එකඟ වීමට ද නොවීමට ද පුළුවන. ඔහුගේ සියලු මතවාද  පිළි ගැනීමට ද අවශ්‍ය නැත. අපි හැම පෘතක්ජනයින් වෙමු.

ඒ කෙසේ වෙතත්, මාධ්‍යවේදියකු, කතුවරයකු, මාධ්‍ය නිදහසේ සහ අධිකරණ ස්වාධීනත්වයේ සටන්කරුවකු ලෙස ඉතිහාසයෙහි ඔහුගේ ලාංචනය නොමැකෙන සේ සනිටුහන් වී තිබීම අවිවාදාත්මකය.

එවැනි මිනිසුන් දුලබය. එවැනි හිස් තැන් පිරවිය නොහැක.

ඒ වෙනුවට වෙනත් අරගල නායක නායිකාවන් බිහි වනු ඇත. ඉතිහාසයේ කතාව එය යි. මන්ද යත් නිදහස සහ වෙනස සඳහා වන අධිෂ්ඨානය සහ උද්යෝගය මිනිස් ආත්මයේ ජීවය නිසා ය. මරණය නොබා ගැහුණු සහ පිරිමි ඒ සඳහා වෙර දරන්නේ එනිසාය.

මරණය අධිෂ්ඨානයක් කර ගත හැකි දුකකි. මා දැන සිටි වික්ටර්ගේ ආත්මය මෙසේ කියනු ඇති: “මරණයේ කඳුළු මට දී ඔබ ජීවිතය ගන්න.”

වික්ටර්, සුභ ගමන්! සුවෙන් නිදන්න.

රෙහානා පතීමා නිරුවත පෙන්වීයැයි චෝදනාවෙන් නිදහස්! - (සුනන්ද දේශප්‍රිය)(සටහන | සුනන්ද දේශප්‍රිය)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
sunandadeshapriya@gmail.com

(උපුටා ගැනීම - srilankabrief.org)
19.01.2025

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...